Monday, January 2, 2017

උඩ බලාගෙන කෙළ ගැසීම නොහොත් ජනවරමට කොලොප්පම් කිරීම




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදේශීය ජනමාධ්‍ය කැදවා කරන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී 2017 වසරේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග ඔහුගේ ප්‍රධානත්වයෙන් යුතු ආණ්ඩුවක් සෑදීමට ඔහුගේ ඇති කැමැත්ත ප්‍රකාශ කර සිටියා. විශේෂයෙන් එදින ආරාධනා කර සිටි විදේශ මාධ්‍ය ආයතන ඉදිරියේ යුද්ධය ජයග්‍රහණය කිරීම උදෙසා RAW සංවිධානයේ සහ CIA සංවිධානයේ සහයෝගය මතක්කර සිටි අතර එම සහයෝගය නිසා යුද්ධය ජයග්‍රහණය කළ බවද ප්‍රකාශකර සිටියා.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව මගින් මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ අලුත් ප්‍රශ්න ගණනාවක් පැන නැගී තිබෙනවා. ඉන් ප්‍රධානම දෙය නම් යුධ ජයග්‍රහණය මත පදනම්ව දේශපාලනයේ යෙදෙන ජාතිකවාදී බලවේගවල න්‍යායාත්මක පදනමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් විශාල ප්‍රහාරයක් එල්ලකර තිබීමයි. එනම් ජාත්‍යන්තර ඔත්තු සේවා ප්‍රභාකරන් පරාජය කිරීමේ යුද්ධයේදී ආණ්ඩුව සමග කටයුතු කළ බවයි. එය මේ මොහොතේ රාජපක්ෂවරුන්ගේ දේශපාලනයේ ප්‍රමුඛ කස කරකවන්නන් හා බෙරවායන් වන විමල් වීරවංශ, ගම්මන්පිල, නලින්ද සිල්වා, ගුණදාස අමරසේකර වැන්නවුන්ගේ මතවාදයන් උඩු යටිකුරු කර පොළොවට ඇද දැමීමකි. එමගින් මහින්ද රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපෘතිය නැවත වතාවක් ප්‍රශ්න කිරීමට ජාතිකවාදීන්ට අවස්ථාවක් ලබා දී ඇත. එසේම එහිදී බොදු බල සේනා ව්‍යාපෘතිය චම්පික රණවක විසින් මහින්ද රාජපක්ෂට අටවන ලද උගුලක් බව ඔහු ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ පිළිගත්තේය. එම කතාව තුළදීම හිටපු ජනාධිපතිවරයා වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා සමග හවුල් ආණ්ඩුවකට යෑමට ඇති ඔහුගේ අභිලාෂය ප්‍රකාශ කර සිටියේය. මෙම ප්‍රකාශයෙන් වඩාත් විශාල අර්බුදයක් කරා ගමන් කරනුයේ වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාය. මන්දයත් මහින්ද රාජපක්ෂ විසින් සිතාමතාම ජනාධිපතිවරයා වෙත එල්ල කරන ලද එම දැවැන්ත ප්‍රහාරයෙන් ජනාධිපතිවරයා කෙරෙහි එක්සත් ජාතික පාක්ෂිකයින් තුළ තිබු ගෞරවයට විශාල හානියක් සිදු විය.

ජනාධිපතිවරයාගේ ජනවාරි අට ජයග්‍රහණය සදහා දිවි පරදුවට තැබු එක්සත් ජාතික පාක්ෂිකයින් තුළ ජනාධිපතිවරයා කෙරෙහි ඇති ගෞරවය හා බැදීම විනාශ කිරීමේ සූක්ෂම හා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බව මාගේ හැගීමයි. ඩිලාන් පෙරේරා එක්සත් ජාතික පක්ෂය හා පාක්ෂිකයින් විවේචනය කිරීමත්, මහින්දවාදී ප්‍රධාන පෞද්ගලික නාලිකා තුළ වැඩි ඉඩක් ගනිමින් එම කතා විකාශනය කිරීමත්, එසේම විශේෂ විදිවිධාන පනත කිසිදු ප්‍රකාශ කළ හැකි සාධාරණ හේතුවක් නොමැතිව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බලය හොබවනු ලබන පළාත් සභා වල පරාජය කිරීමත්, එසේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග ඒකාබද්ධ ආණ්ඩුවක් ගොඩනගන බව ප්‍රකාශ කිරීමත් යන කාරණා එකිනෙක ගැට ගැසුණු ඒකාබද්ධ කුමන්ත්‍රණයක කොටස් වේ. දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන් සැලකිය යුතු පිරිසක් අතර විශාල විවේචනයකට හා වෛරයකට ලක්ව තිබෙන ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ඔහුට මේ මොහොතේ ශක්තියක් හා සහයෝගයක් ලබා දෙන එක්සත් ජාතික පාක්ෂිකයින් අතරද වෛරයක් හා විරෝධයක් ඇති කිරීම එහි අරමුණයි. එක්සත් ජාතික පාක්ෂිකයින් හා කේඩරයින් හා නායකයින් අතර ජනාධිපතිවරයාට එරෙහි මතයක් ගොඩනැගුණහොත් ඔහු මේ රට තුළ හුදෙකළා නායකයෙකු බවට පත්වනු ඇත. මන්දයත් ඔහුගේ ජනවරම ඇත්තේ එක්සත් ජාතික පාක්ෂිකයින් පදනම් කරගෙනය.

එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේ සිටිනුයේ සුරක්ෂිත සරළ බහුතරය අගමැතිවරයාගේ ආණ්ඩුවට ලබාගෙනය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ කණ්ඩායම විසින් මෙම යහපාලන ආණ්ඩුවට ලබාදෙනුයේ තුනෙන් දෙකේ බහුතරයයි. ආණ්ඩුව පවත්වාගෙන යාම සදහා ප්‍රමාණවත් දෙකෙන් එකේ බහුතරය ඇති එක්සත් ජාතික පක්ෂය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කතාවෙන් අමන්දානන්දයට පත්වනු නිසැකය. මන්ද ඔවුන්ට වර්තමාන පාර්ලිමේන්තුවේ සරළ බහුතරයක් සුරක්ෂිතවී ඇති අවස්ථාවක එම ආණ්ඩුව පළවා හැර වෙනත් ආණ්ඩුවක් ගොඩනගනවා යැයි වහසි බස් දෙඩීම තුළ ඇති සූක්ෂම උපාය උපක්‍රම තුළින් වැඩි වාසිය ලැබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර මතයටයි. එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ව්‍යුක්තව හා එදිරිවාදීව පවත්වාගනිමින් මෙම ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාමට හැකිනම් එය එක්සත් ජාතික පක්ෂය ලබන ලොකුම ජයග්‍රහණයයි. ජනාධිපතිවරයා කෙරෙහි වුවද එක්සත් ජාතික පාක්ෂිකයින් අතර ප්‍රසාදයක් ඇතිවීම අනාගත දේශපාලන ව්‍යාපෘතිවලට සෞඛය සම්පන්න නොවන බවට එක්සත් ජාතික පක්ෂ නායකයින් අතර තක්සේරුවක් ඇති බව මාගේ විශ්වාසයයි. එබැවින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අභිලාශය ප්‍රකාශ කිරීම ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂයේ කොටස් අතර අමන්දානන්දයට හේතු වේ.

මේ තත්ත්වයන් කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂය විසින් මාස 60 කින් අලුත් රටක් බිහි කිරීමේ ක්‍රියාවලිය ඵලදරමින් තිබේ. විශේෂයෙන් පසුගිය මහමැතිවරණයේදී පොරොන්දු වූ රථවාහන කොටස් එකලස් කිරීමේ කර්මාන්තශාලාව මෙම සතියේ කුලියාපිටියේදී නිල වශයෙන් ආරම්භ වේ. රටේ ආර්ථිකය නිවැරදි දිශාවට ගමන් කරන බවට ලබා ගත හැකි හොදම උදාහරණය නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ආසියානු සංවර්ධන බැංකුවත් සහන පොලී පදනම මත දීර්ඝ කාලීනව ආපසු ගෙවිය යුතු ණය ලබා දීම නැවත ආරම්භ කර තිබීමය.
හම්බන්තොට වරාය හා ගුවන්තොටුපළ චීන ආයෝජන මත නැවත ඵලදායී ජාතික ආර්ථිකයට වාසි ලැබෙන ව්‍යාපෘතීන් බවට පත්කෙරෙමින් තිබේ. අලුත් අධිවේගී මාර්ග, මහා මාර්ග හා ග්‍රාමීය මාර්ග ඉදිවෙමින් පවතී. නව නගර සැලසුම්, අලුත් විශ්ව විද්‍යාල, තාක්ෂණික ආයතන, පාසල් යටිතල පහසුකම් සැලසුම් කරමින් පවතින අතර සමහරක් දැනටමත් ඉදි කිරීම්ද ආරම්භ කර ඇත. රජයේ රැකියා සාධාරණ ක්‍රමවේද මත සුදුස්සන්ටම ලැබෙමින් පවතී. නීතියේ ආධිපත්‍යය සාපේක්ෂව ස්ථාපිත වී ඇති අතර ආණ්ඩුවේ ඇගිලි ගැසීම්වලින් තොර වී ඇත.

අගමැතිවරයා පොරොන්දු වූ පරිදි මාස 60 කින් අලුත් රටක් ගොඩනැගීමේ ක්‍රියාන්විතය ආරම්භවී තිබේ. නමුත් අපේක්ෂා කළ පරිදිම කකුල් මාට්ටු දැමීම්, වෙට්ටු දැමීම්, බොරු ප්‍රචාර වලින් මෙම ආණ්ඩුවට කිසිම මදිපාඩුවක් නැත. ඒ සදහා හොදම උදාහරණය නම් සංවර්ධන විශේෂ විදිවිධාන පනතයි. ආයෝජකයින්ට තම ආයෝජන සුරක්ෂිත ලෙස ආයෝජනය කළ හැකි වටපිටාවක් ගොඩනැගීමට ඉදිරිපත් කළ එම පනත සුපිරි ඇමති පනතක් ලෙස යක් වෙස් ගන්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාලනය කරන පළාත් සභාවල පරාජය කළේ එබැවිනි.

2 comments:

  1. මයිත්‍රී වනාහි කන්න දුන් ඇත සපා කෑ ජාතියේ අදුරදර්ශී නායකයෙකි. ඔහුට පෞරුෂයක් තියා සමබර දේශනයක් හෝ ප්‍රකාශයක් කල නොහැක.

    දැන් ඔහුට තියෙන්නෙත් මහින්දට තිබූ බලතන්හාව නමැති සුව නොවෙන රෝගයයි.

    මේ නිසා මේ වගේ මරිමොඩ නායකයන් හොඳින් හෝ නරකින් පන්නා දමා එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරගැනීමට ක්‍රියා කල යුතුමය.

    මොකද රනිල් ට හැර වෙන කිසිදු නායකයෙකුට මේ රට ගොඩනැගීමේ චේතනාවක් සහසුද්දෙන්ම නැත.

    ReplyDelete
    Replies
    1. //මොකද රනිල් ට හැර වෙන කිසිදු නායකයෙකුට මේ රට ගොඩනැගීමේ චේතනාවක් සහසුද්දෙන්ම නැත//

      හුකෑස්

      Delete