Sunday, January 28, 2018

ජනවරම තාර්කික අවසානයකට ලගාවීම


ලංකාවේ දේශපාලනය තුළ මේ සතිය උණුසුම් වූයේ ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවල දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටින කාරණා පිළිබඳවය. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු මෙන්ම පාක්ෂිකයෝ ජනාධිපතිවරයා කෙරෙහි තදින් උරණව සිටී. ජනාධිපතිවරයාගේ මෙම හැසිරීම හා ඔහු විසින් මැතිවරණ වේදිකාවල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලබන ප්‍රකාශයන් නිසාවෙන් උකටලීව සිටි එක්සත් ජාතික පක්ෂයේ කොටසක් නැවතත් ක්‍රියාත්මක තත්වයට පත්වී ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ ප්‍රකාෂ කරයි. ඒ කෙසේ වුවද ජනාධිපතිවරයාගේ මෙම හැසිරීමට හේතු මොනවාදැයි එක්සත් ජාතික පාක්ෂිකයින් තදින් අවධාරණය කරගත යුතු බව මාගේ හැඟීමයි. ජනවාරි 8 වනදා එක්සත් ජාතික පක්ෂයේ පිහිටෙන් ජයග්‍රහණය ලැබූ ජනාධිපතිවරයා සැබවින්ම හදවතින් සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගයි. ඒ මන්දයත් ජනාධිපතිවරයාගේ දසක ගණනාවක දේශපාලනය තුළ ඔහු ගනුදෙනු කොට ඇත්තේ, ඇසුරු කර ඇත්තේ හා ක්‍රියාත්මකව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇත්තන් සමගය. විශේෂයෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ සමඟ ඇතිවූ සංවේදී කාරණා හා ගැටුම් කීපයක් නිසාවෙන් සිත්තැවුලට හා වේදනාවට පත්වූ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත්වූවද ඔහුට එතරම් තදින් එකල පැවති දේශපාලන තත්ත්වයේ ගැඹුර හෝ දිග පළල පිළිබඳ අවබෝධයක් නොතිබූ බව මාගේ තක්සේරුවයි. සැබවින්ම 2015 ජනවාරි 08 වනදාට පෙර රට මුහුණදී තිබූ දුර්දාන්ත පාලනය තුළ ජනාධිපතිවරයා එහි පාර්ශවකරුවකු වූවා සේම 2014 නොවැම්බර් 21 වනදා දක්වාම එය ආරක්ෂා කරන්නෙකුද විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරදා එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂකයා වන තුරුම ඔහු එම දුර්දාන්ත පාලනය ආරක්ෂා කරනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාද විය.

ජනාධිපතිවරයා හා රාජපක්ෂ රෙජීමය අතර තීරණාත්මක අර්බුදය ඇතිවීමට බලපෑ ආසන්නතම සිදුවීම වන්නේ ලංකා දුම්කොළ සමාගම සමග ඇතිකරගත් ආරවුලයි. එය පිළිබඳව තවදුරටත් ජනාධිපතිවරයාගේ වචනයෙන්ම කියන්නේ නම් ලංකා දුම්කොළ සමාගම, එහි අධ්‍යක්ෂක මණ්ඩලය ජනාධිපති මන්දිරයට කැඳවා ඔවුන් හා වාඩිවී සිටියදී හිටපු ජනාධිපතිවරයා විසින් එවකට සෞඛ්‍ය ඇමතිවරයාව සිටි වර්තමාන ජනාධිපතිවරයාට වාඩිවීමට ආසනයක් පවා නොදී සිටවාම ප්‍රශ්න කළ බවයි. මෙම අකාරුණික සැලකීම තමන්ට සිදුකළ බරපතල සතුරුකමක් ලෙස එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා වූ වත්මන් ජනාධිපතිවරයා සංවේදීව සලකනු ලැබුවේය. එම අර්බුධකාරී අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මධ්‍යසාර හා දුම්වැටි නිවාරණ ක්ෂේත්‍රයේ කටයුතු කළ ශක්තිමත් සංවිධානවල ශක්තිය හා සහයෝගය ජනාධිපතිවරයාට ලැබුණි. එය පදනම් කරගෙන ලංකා දුම්කොල සමාගමට එරෙහිව හිටපු සෞඛ්‍ය ඇමතිවරයා වූ මෛත්‍රීපාල ජනාධිපතිවරයා තදින් ක්‍රියාකළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකා දුම්කොල සමාගම එවකට සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව නීති මගින් ක්‍රියාකරමින් ඔහු උසාවි ගානේ රස්තියාදු කළේය. මෙම ගැටුම රාජපක්ෂවරයා හා වත්මන් ජනාධිපතිතුමන් අතර තීරණාත්මක බෙදීමක් සනිටුහන් කළේය. මෙම බෙදීම හොදින් හදුනාගත් හිටපු ජනාධිපතිනියත්, එක්සත් ජාතික පක්ෂයත්, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂකයා ලෙස කරළියට ගෙන ආවේය. පොදු අපේක්ෂකයා ලෙස ගෙනඒමට ප්‍රථම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එකගවී සිටියේ රාජපක්ෂවරු පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂයට සහයදීමටයි. නමුත් මැතිඇමතිවරුන් විසිදෙදෙනෙකු සමග පැමිණෙනවායැයි තිබූ පොරොන්දුවත්, එම මොහොතේ රටේ දේශපාලනයේ තිබූ තත්ත්වයත්, සිවිල් සමාජවලට රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයකිරීමට තිබූ දැඩි උවමනාවත් නිසා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ කොන්දේසිය මත පොදු අපේක්ෂකත්වය ඔහුට ලබාදුනි. එය නිර්පාක්ෂික අපේක්ෂකත්වයයි. එහි අවසාන තීන්දුව ගනු ලැබූවේ 2014 නොවැම්බර් 20 වනදා එක්සත් ජාතික පක්ෂය පත්කළ විශේෂ මැතිවරණ මෙහෙයුම් කමිටුව විසිනුයි. නමුත් 2014 නොවැම්බර් 21 වනදා ඔහු නොසිතූ පරිදි හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය හා එක්සත් ජාතික පක්ෂයේ රවි කරුණානායක, මංගල සමරවීර මෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉල්ලීම පරිදි ඔහුට පොදු අපේක්ෂකයා වීමට අවස්ථාව හිමිවෙයි. විශේෂයෙන්ම නොවැම්බර් 21 වනදා ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට එන විට ඔහු සමග පැමිණියේ රාජිත සේනාරත්න, රජීව් විජේසිංහ, එම්. ඩී. කේ. එස්. ගුණවර්ධන හා දුමින්ද දිසානායක යන ඇමැතිවරු පමණි. වසන්ත සේනානායක, නවීන් දිසානායක යන මැතිඇමැතිවරු සහ අතුරලියේ රතන හිමි, එක්සත් ජාතික පක්ෂ හා පැවති වෙනත් සම්බන්ධතාවයක් නිසා පැමිණි අය වෙති. 

මෙහිදී ප්‍රධානතම කොන්දේසිය වූයේ ප්‍රථම දින සීයයේදී විධායක ජනාධිපති ධූරය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු බවයි. එය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කිරීමට ජනාධිපතිවරයා එවකට මැතිවරණ මෙහෙයුම් කමිටුවත්, සිවිල් සංවිධානවල සියළුම දෙනා සමගත් එකඟ වූ බව පුවත්පත්වල පොල් ගෙඩි අකුරින් පළ විය. එකල ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ තත්ත්වයේ සිටි හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ජාතික තලයේ ආකර්ෂණීය නායකයකු බවට පත්වීමේ ක්‍රියාවලිය එක්සත් ජාතික පක්ෂය විසින් ආරම්භ කළ අතර ඒ සඳහා අවශ්‍ය ධනය,  හැකියාව හා පිරිස් බලය එක්සත් ජාතික පක්ෂය සතුව තිබුණු බව මාගේ හැගීමයි. ජනවාරි 8 ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා විසින් ඔහුට මේ රටේ ඉරණම හා දෛවය විසින් ඔහු වෙත පටවන ලද තීරණයට පිටු පාමින් ඔහු කිසිදු න්‍යාය පත්‍රයක් හෝ වැඩ පිළිවෙළක් නැති තමන්ට ලැබුණු හා ගිවිසුම්ගත ජනමතය පිළිබඳවද අවබෝධයක්ද නැති, එදිනෙදා තම කුඩා මනසට කවුරුන් හෝ ප්‍රකාශ කරන කරුණු කාරණා වලට අදාලව කටයුතු කරන ජන නායකයා බවට පත් විය. මාගේ පෞද්ගලික තක්සේරුව නම් ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා බවට පත්වීම මේ රටේ අනාගතයට ඉතාම හොද තත්ත්වයකි. නමුත් ජනාධිපතිවරයා එම වාසිය රටට දිනා දීමට හැකියාවක් දැක්වූවාද යන්න ප්‍රශ්නයකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ට කයිරාටික ඇමතිවරු හා පාක්ෂිකයින් විසින් ජනාධිපතිතුමා අසරණ තත්ත්වයට පත්කර ඇති බව සත්‍ය කතාවයි. ජනාධිපතිතුමා විසින් පසුගිය කාලයේ ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රකාශ කරන ලද කරුණු උඩ බලාගෙන කෙල ගසනවා වැනි තත්ත්වයකි. තමන් නායකත්වය දුන් ආණ්ඩුව මගින් සිදුවූවායැයි කියන අකටයුතුකම් පිළිබඳව ජනාධිපතිතුමා ප්‍රකාශ කරද්දී එය එක්සත් ජාතික පක්ෂයට හානීදායක වනවා සේම ජනාධිපතිතුමාගේ පෞද්ගලික ප්‍රතිරූපයටද විශාල හානියක් සිදු කරයි. සැබැවින්ම රාජපක්ෂවරුන්ටත්, එක්සත් ජාතික පක්ෂයටත් හොරා හොරා කියා ප්‍රකාශ කරද්දී එම වේදිකාවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් බොහෝ දෙනෙකුටද දුෂණ චෝදනා තිබේ. ඒවා සුසිල් ප්‍රේමජයන්තගේ සිට දයාසිරි ජයසේකර දක්වා සියලුම දෙනාට අදාළය.

ජනාධිපතිතුමා රාජ්‍යතාන්ත්‍රිකයකුගේ සිට විහිළුකාරයෙකු බවට මෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් පත්කොට තිබේ. එතුමාගේ දේශපාලන ක්‍රියාකාරිත්වය අපිරිසිදු, අණක් ගුණක් නැති, කිසිවෙකුටත් පාලනයක් නැති තත්ත්වයකට පත්කොට තිබේ. පෙබරවාරි 10 වනදා මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ ජනාධිපති තුමාගේ දේශපාලන ක්‍රියාකාරිත්වය හා එතුමා පසුගිය වසර තුන තුළ ජනවරමට අදාලව කටයුතු කළ ආකාරය පිළිබඳව තාර්කික අවසානයකට පැමිණෙනු ඇත. දැනට ලැබෙමින් පවතින ආරංචි අනුව ජනාධිපතිතුමාගේ ඉදිරි වසර දෙකක කාලය අර්බුද වලින් ගහන කාලයක් වන අතර එතුමාට එතුමා දිනාගන්නා ලද ජනවරමෙන් ව්‍යුක්ත පුද්ගලයකු බවට පත්වීම නොවැළැක්විය හැකිය. මේ අනුව අවසාන වශයෙන් කිවයුත්තේ ජනාධිපතිතුමා වපුරා ගත් දේ නෙළා ගනිමින් තිබෙන බවයි. එයට කිසිවෙකුත් වගකිව යුතු නොවේ.

Sunday, January 21, 2018

සිරසයි පාර කියන්නේ


ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානතම මාධ්‍ය සමූහයක ප්‍රධාන හිමිකරුවා වන්නේ ලංකාවේ ප්‍රමුඛතම වතුර බට නිෂ්පාදකයාය. වතුර බට නිෂ්පාදනයේ යෙදෙමින් ව්‍යාපාරවල යෙදුණු ඔහු මාධ්‍ය ව්‍යාපාරට පැමිණෙනුයේ මියගිය නිමල් ලක්ෂපතිආරච්චි මහතාගේ රසවත් ඇසුර නිසාවෙනි. පයිප්ප නිෂ්පාදනය කරමින් මුදල් උපයමින් පයිප්ප කොම්පැණියේ කාන්තාවන් හා කොළඹ මැදිවියේ ගැහැණුන් හා මිනිසුන් සමග ඇසුරු කරමින් කිසිවෙකුගේත් අවධානයට ලක් නොවූ චින්තනමය දිළින්දෙකු වූ මෙම හිමිකරුට මහරාජා කෙනෙකුට මෙන් අතිරික්ත මුදල් තිබුණි. මෙලෝ රහක් නැති ඔහුගේ ජීවිතය රසවත්, බලවත් හැමකෙනාගේම අවධානයට ලක්වන ජීවිතයක් බවට පත්වූයේ ඔහුගේ අතිරික්ත ධනය මාධ්‍ය ව්‍යාපාරයට යොදවා ගොඩනැගු මෙම මාධ්‍ය ආයතනය නිසාවෙනි. ඒ සදහා පුරෝගාමී වූයේ කීර්තිමත් හා රසවත් මිනිසෙකු වූ නිමල් ලක්ෂපතිආරච්චිය.

මෙම මාධ්‍ය ආයතනයේ සේවය කරන්නන් සියලු දෙනාටම පාහේ ඇත්තේ එක සමාන සුදුසුකම්ය. මෙහි විදිමත් අධ්‍යාපනයක් ලබා ඉහළ හෝ අදාළ තනතුරුවල කටයුතු කරන කිසිවෙකුත් නැති තරම්ය. මෙම ආයතනයේ ඉහළම තනතුර වන සමූහ අධ්‍යක්ෂක තනතුරේ සිට පහළම තනතුර වන සනීපාරක්ෂක කම්කරු තනතුර දක්වා සියලු දෙනාටම ඇත්තේ එක සමාන අධ්‍යාපන සුදුසුකම්ය. ඔවුන් අතර වෙනසක් ඇත්නම් ඒ ඔවුන්ගේ තනතුරු නාමය, මාධ්‍ය ආයතනයක සේවය කිරීම නිසා එකිනෙකා තනි තනිව හදාගත් සිවිල් බලය හා අගපසග පමණි. එය නිමල්ගේ, සෙනරත්ගේ සිට සූරියබණ්ඩාර හරහා රත්නායක මෙන්ම මරික්කාර් දක්වාද අදාළය. ඔවුන් සියල්ලෝම උසස් පෙළ සමතුන් වෙති. එබැවින් එම ආයතනයේ සනීපාරක්ෂක කම්කරුවෝද උසස් පෙළ සමතුන් විය යුතුය. මන්ද උසස් පෙළ සමත් වීම තවදුරටත් ලංකාවේ මැජික් එකක් නොවේ. නමුත් මෙම ආයතනයේ මෙම සුදුසුකම් රහිත නූගත් ඊනියා මාධ්‍යවේදීන් ප්‍රවෘත්ති විකාශයන් තුළත්, දේශපාලන වැඩසටහන් තුළත් හැසිරෙනුයේ ලෝකයේ පිළිගත් මාධ්‍ය සදාචාර, ආචාර ධර්ම තුට්ටුවකට මායිම් නොකරමිනි.  මේ සදහා හොදම උදාහරණය වන්නේ රාජගිරිය ගුවන් පාලම සම්බන්ධයෙන් ඔවුන් හැසිරුණු ආකාරයයි. අද එම පාලම නිසා රථ වාහන තදබදය සියයට හැත්තෑවකටත් වඩා අඩු වී තිබේ. නමුත් ගුවන් පාලම විවෘත කළ දින වල විවිධ ඩිජිටල් ග්‍රැෆික් පෙන්වමින් සාමාන්‍ය නිවේදකයින් ලවා ඉන්ජිනේරුවන්ගේ මතයට අභියෝග කරමින් මොකද්දෝ අන්ඩර දෙමළයක් දෙසා බෑවේය. අද එය සම්පූර්ණයෙන්ම කෙබරයක් බවට පත් වී තිබේ. ඒ පිළිබද අද ඔවුන්ට වගේ වගක් හෝ ලැජ්ජාවක් නොමැත. දැන් ඔවුන් වෙනත් බොරුවක් ප්‍රකාශ කරයි.

මාධ්‍ය ආයතනයකට ලබාදෙනු ලබන ඉඩකඩ හා සංඛ්‍යාත රජයක් විසින් නියාමනය කරනුයේ එමගින් විශාල සමාජ හානියක් සිදුකිරීමට මාධ්‍ය ආයතන වලට ඉඩ තිබූ නිසාවෙනි. නමුත් මෙම සමාගමේ හිමිකරු අඩු සුදුසුකම් සහිත, දුර්වල, ගැඹුරක්, දිගක්, පළලක් නැති මිනිසුන් යොදා ගනිමින් පයිප්ප විකුණමින් සිටි තමන්ගේ ජීවිතයේ ෆැන්ටසි ඉටුකර ගැනීමට උත්සහ කරයි.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ආයතනයේ සේවය කරන සියල්ලෝම පාහේ මෙම සමාගමේ හිමිකරුගේ මනුෂ්‍යයත්වයට නිගාදෙන කටයුතුවල ගොදුරක් බවට පත්වේ. සාමාන්‍යයෙන් කොළඹ සමාජයේ ප්‍රසිද්ධ කතාවක් වන්නේ මහරාජා මෙන් වූ මෙම ව්‍යාපාරිකයාට අතට අත දුන්නොත් අත නැවත ගෙන ඇගිලි දහයම අතේ තිබේදැයි ගැන බැලිය යුතු බවයි. ඔහු එතරම්ම මනුෂ්‍යත්වයට නිගාදෙන දීන මිනිසෙකු වේ.

මෙම ආයතනයේ සේවයට පැමිණෙන කවරෙකු හෝ පළමු මාස හතර ගත කළහොත් ඔහු දිගු කාලයක් එම ආයතනයේ සේවය කරන බවට කතාවක් පවතී. මන්ද මෙම පළමු මාස හතර තුළ ආත්ම ගරුත්වයක් ඇති, පෞර්ෂයක් ඇති ඕනෑම කෙනෙකු මෙම ආයතනය අතහැර යන බැවිනි. එසේ නොවන්නෝ හොරි කසමින්, කබ කඩමින්, ඇස් ඉස් මස් දන් දෙමින් මෙම ආයතනයේ සේවය කරයි.

මෙම ආයතනයේ හිමිකරුට සෑම වෙලාවේම මුහුණ දෙන ඇරියස් තිබේ. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සමග ඇති අර්බුධය මේ සදහා ඇති හොදම උදාහරණයයි. එක්සත් ජාතික පක්ෂය වැඩකටයුතු කළ යුත්තේ තමන්ගේ සිතැගි අනුව බවට සිතන තරමට මෙම පයිප්ප ව්‍යාපාරිකයා ලොකු වී තිබේ. එසේ වුවද ඡන්දයක් පැමිණි විට පක්ෂයේ සාමාජිකයින් රුපියල් විස්ස විස්ස එකතු කොට සාදාගන්නා ලද මුලු අරමුදලම එම සමාගම මගින් බලහත්කාරයෙන් ඉල්ලා සිටී. එසේ නොදෙන විට ඔවුන් රනිල් වික්‍රමසිංහට ප්‍රහාර එල්ල කරයි.

2001, 2004 ආණ්ඩුවේදී කිලී මහරාජාට ආරක්ෂක, මුදල් හා විදේශ ඇමතිකම් තමන් යෝජනා කරන අයට ලබාදිය යුතු බව එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට දැනුම් දුන්නේය. එය ප්‍රතික්ෂේප කළවිට එදා සිට අද දක්වා අඛණ්ඩ වෛරයක් රනිල් වික්‍රමසිංහ කෙරෙහි මෙම පයිප්ප ව්‍යාපාරිකයාට තිබේ. ඒ මත පදනම්ව එක්සත් ජාතික පක්ෂයේ අරමුදල් මංකොල්ල කෑමේ සිට නායකයා වෙනස් කිරීම දක්වා වූ සියලුම කටයුතු වලට ඔවුන්ගේ මාධ්‍ය ආයතන තුළින් බලපෑම් කරමින්, මෙම සමාගම මැදිහත් වේ. දශක එකහමාරක් තිස්සේ ඔවුන් කෙතරම් උත්සහ කළද රනිල් වික්‍රමසිංහටවත්, එක්සත් ජාතික පක්ෂයටවත් ඔවුන්ට කළ හැකි කිසිවක් නොවීය.

රටේ කටයුතු වලදී රටේ සියලුම සංවර්ධන ව්‍යාපෘතිවල ටෙන්ඩර්, කොන්ත්‍රාත්, කොමිස් මුදල් හා ඒකාධිකාරය තිබිය යුත්තේ තම සමාගම සතුව යැයි මෙම පයිප්ප බාස් කල්පනා කරයි. ඔවුන් කොළඹ පෝර්ට් සිටියෙන්, නුවර අධිවේගී මාර්ග වලින් හා තවත් ව්‍යාපෘති ගණනාවකින්, තම මාධ්‍ය මගින් තර්ජනය කොට විශාල කප්පම් මුදල් ලබාගත් බවට තොරතුරු ජනතාව අතර සංසරණය වේ.

එසේම කප්පම් ලබාගනිමින් නොනවතින මෙම ව්‍යාපාරික සමාගම ජනාධිපති ලේකම් කාර්යාලයේ, ජනාධිපති මාධ්‍ය අංශය හා කාර්යාලයේ බොහෝ තනතුරු පුරවා ඇත්තේ මෙම සමාගමේ සේවය කළ හෝ සේවය කරමින් සිටින අයගෙනි. මෙම මාධ්‍ය ආයතනයේ එම බලය හා හැඩය උපයෝගී කරගනිමින් ලංකාවේ බොහෝ ආයතන වලට කතා කරමින් ජනාධිපතිතුමන්ගේද නම ගාවා වෙළද දැන්වීම් ලබාගනී. මේ ලියුම්කරුට (මට) මෙම සමාගමෙන් එක් දිනක් දුරකතන ඇමතුමක් පැමිණි අතර එම දුරකතන ඇමතුමේ වැඩි ප්‍රමාණයක් තිබුණේ, ජනාධිපතිතුමා කීවා, ජනාධිපතිතුමාට අදාළව, ජනාධිපතිතුමා වෙනුවෙන් යන යෙදුම්ය. මා අවසානයේ ඔවුන්ගෙන් ඇසුවේ මේ ඇමතුම ඔබේ පයිප්ප කොම්පැණියෙන්ද, නැතිනම් ජනාධිපති ලේකම් කාර්යාලයෙන්ද කියාය. එම ඇමතුම මගින් ඔවුන් එතරම් දුරට ජනාධිපතිතුමන් විකුණා දැමුවේය.

යහපාලන රජයට චෝදනා එල්ලවන තවත් ප්‍රධාන ගණුදෙනුවක් වන්නේ රජයේ ගුවන්විදුලි හා රූපවාහිනි සංඛ්‍යාත මගඩියයි. එහි වටිනාකම කෝටි 3000 ක් පමණ යැයි රජය තක්සේරු කර තිබේ. මෙම සංඛ්‍යාත සියල්ල මෙම කුප්‍රකට පයිප්ප හා මාධ්‍ය ආයතනය හිමිකරගෙන ඇති අතර එම නිසා ලංකාව ඩිජිටල්කරණයේදී ලංකා ආණ්ඩුව මෙම සමාගමට මුදල් ගෙවා ඔවුන් යටතේ සිදුකිරීමට සිදු වී තිබේ. මෙම සංඛ්‍යාත මගඩිය සදහා ජනාධිපතිවරයාගේ නමද ඈදී ඇති බව මා පුවත්පත් ගණනාවක දැක්කේය.

මෙවැනිම ඒකාධිකාරයක් පවත්වාගෙන යන අනෙකුත් ක්ෂේත්‍රය වන්නේ ලංකාවේ අලිවැටවල් ගැසීමයි. ගම් මැද්දේ අලි වැටවල් ගැසීම මෙම සමාගමේ ඒකාධිකාරයක් බවට ඔවුන් පත්කරගෙන තිබේ.

අවසාන වශයෙන් කිව යුත්තේ මෙම සමාගම කල්පනා කරනුයේ, එහි හිමිකරුට මේ රටේ සියලුම බලයන් කේන්ද්‍රගත කළ යතු බවයි. එය රටේ ස්වාධිපත්‍යයට, ප්‍රජාතන්ත්‍රවාදයට, මාධ්‍ය නිදහසට දැඩි හානියකි. නමුත් ඔහු තේරුම් නොගන්නා දෙය නම්, නාකි හම්පඩ මහල්ලෙකු වන ඔහු මේ සියල්ල හැරදමා මියයන බවයි. මෙම මානසික රෝගියාගෙන් ආණ්ඩුව බේරා ගැනීම ජනාධිපතිතුමන්ගේ වගකීමකි. එසේම මොවුන් විසින් ජනාධිපතිතුමාගේත්, ආණ්ඩුවේත් සහයෝගයට විශාල හානියක් හිතාමතාම කුමන්ත්‍රණකාරී ලෙසින් සිදුකරයි. එය ජනාධිපතිවරයාට මාරාන්තිකයි.

Sunday, January 14, 2018

වයර්ලස් යුගයේ සිට ඩිජිටල් යුගය දක්වා රනිල්


1970 රනිල් වික්‍රමසිංහ දේශපාලනයට පිවිසෙන විට ශ්‍රී ලංකාවේ අධිපති මාධ්‍ය වුයේ පුවත්පත් හා වයර්ලස් නැතහොත් නීත්‍යානුකූලව ක්‍රියාත්මක වූ ගුවන්විදුලියයි. එවකට ප්‍රමුඛම පුවත්පත් වූයේ රනිල් වික්‍රමසිංහගේ පවුලට අයත්ව තිබූ ලේක් හවුස් ආයතනයයි. එසේම ලංකාවේ නිත්‍යානුකූලව ක්‍රියාත්මක වූ එකම ගුවන්විදුලි සේවය වූයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි.

හැත්තෑව දශකයේ දේශපාලනයට පැමිණි ශ්‍රී ලංකාවේ එලිට් පවුල්වල සියලුම දෙනා පාහේ ශ්‍රී ලංකාවෙන් පිටත යුරෝපයේ අධ්‍යාපනය ලැබූ අය විය. විශේෂයෙන්ම මැතිවරණයකට ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තු ගතවී මැති ඇමැතිකම් ගත් කොළඹ එලිට් පවුල්වල සියලුම දෙනා පාහේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලැබූ උගත්තු වූහ. නමුත් ලංකාවේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබා නීති උපාධිය ලබාගෙන නීතිඥයකු බවට පත්වූ රනිල් වික්‍රමසිංහ ප්‍රථමයෙන් කැලණිය කොට්ඨාශයෙනුත් දෙවනුව බියගම කොට්ඨාශයේත් ආසන සංවිධායකවරයා බවට එක්සත් ජාතික පක්ෂයේ පත්වෙද්දී ඔහු ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබා මැතිවරණයකට ඉදිරිපත් වූ දෙවන එලිට් පවුලක සාමාජිකයා විය. ප්‍රථමයා වන්නේ ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාය.

හැත්තෑව දශකය යනු මේ රටේ දේශපාලනයේ ජනමාධ්‍යයේ වයර්ලස් යුගයයි. එකල හේන් ගොවිතැන් කරන, කුඹුරු වැඩ කරන ගොවීන් හා රැකියාවල නිරත වන ශ්‍රී ලාංකිකයින් සියලුම දෙනා සවස් කාලයේ තමන්ගේ ගෙදර හෝ තම අසල්වැසි නිවසක තිබූ වෑර්ලස් යන්ත්‍රය වටා එකතු වී සින්දු අසමින්, ගුවන්විදුලි නාට්‍යය වලට සවන් දෙමින්, ප්‍රවෘත්ති ප්‍රචාරයට සවන් දෙමින් කාලය ගත කළේය. හැත්තෑව දශකයේ අග භාගයේ සහ අසූව දශකය මුල් භාගයේ ලංකාවේ දේශපාලනයේ කේන්ද්‍රීය ආයතනය වූයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. එසේම පුවත්පත් මුද්‍රණය කළද ශ්‍රී ලංකාවේ ඈත පළාත්වලට පුවත්පත් බෙදාහැරීමේ විශාල දුර්වලතා තිබුණු අතර සමාජීය තොරතුරු දැනගැනීමේ හෝ තොරතුරු දැනුම ලබාගැනීමේ විශාල බාධාවන්ගෙන් පීඩිතව තිබුණි. කොළඹ ජීවත් වූ බොහෝ දෙනා වඩාත් බලවත්, වඩාත් ධනවාදී, ශ්‍රී ලංකාවේ සම්පත් වැඩියෙන් පරිභෝජනය කරන කොට්ඨාසයක් බවට පත්ව තිබූ අතර ඔවුන් දැනුම නිසාම සමාජයේ විශේෂ වරප්‍රසාදිතයෝ වූහ. 

හැටේ දශකයේදී ලෝකයේ බොහෝ රටවල රූපවාහිනී සේවා ආරම්භ වුවත් ලංකාවේ ප්‍රථමයෙන් රූපවානිය ආර්ම්භ වන්නේ අසූව දශකයේ මුල් කාර්තුවේය. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයා වූ ශාන් වික්‍රමසිංහ මහතා විසින් ස්වාධීන රූපවාහිනිය ආරම්භ කරමිනි. රනිල් වික්‍රමසිංහ වයර්ලස් යුගයේ සිට වර්ථමාන ඩිජිටල් යුගය දක්වා අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කරයි. වයර්ලස් යුගයේ අවසන් කාර්තුවේදී රනිල් වික්‍රමසිංහ සාර්ථක දේශපාලනඥයකු ලෙස වර්ධනය වෙද්දී "රනිල් රනිල් ගොනා ගොනා, ගොන් පනතක් ගෙනා ගෙනා" යනුවෙන් එවකට සිටි ඊනියා මාධ්‍යෙව්දීන්, දේශපාලනඥයින් හා ප්‍රොපගැන්ඩා ඔස්තාර්ලා රනිල් වික්‍රමසිංහ විනාශකිරීමේ කටයුතුවල යෙදුනි. දශක තුනකට පසුවත් අදත් රනිල් වික්‍රමසිංහ ලංකාවේ සියලුම පුවත්පත්වල, ගුවන්විදුලියේ, රූපවාහිනියේ හා ඩිජිටල් මාධ්‍ය තුල ප්‍රමුඛ පුවත් මවන්නා වන අතර මීට දශක තුනකට පෙර ඔහු විනාශ කිරීමේ මාධ්‍ය මෙහෙයුම්වල යෙදුනු මාධ්‍ය සම්බැට්ටයින්ට වෙච්ච කෙරිච්ච දෙයක් නැත. ඔවුන් එකිනෙකාගේ ඉත්තන් බවට පත්ව රනිල් වික්‍රමසිංහ විනාශ කිරීමේ ව්‍යාපෘතිවල යෙදී අවසානයේ තමන්ට තිබූ තත්ත්වයද අහිමිකොටගෙන වේදිකාවෙන් බැස ගියේය. නමුත් රනිල් වික්‍රමසිංහ හා ඔහුගේ අනපනත් තීරණාත්මක සේවයක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනට සිදුකරමින් යහමින් වැජඹේ.

1994 න් පසුව එළඹුණු කාලයේ රූපවාහිනී යුගයේදී රටේ සියලුම රූපවාහිනී ප්‍රවෘත්ති වල වැඩි ඉඩක් වෙන්කරනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ බටලන්දට ඇති සම්බන්ධය මේ රටේ ජනතාවට පැහැදිලිකර දීමටය. එවකට රූපවාහිනී මාධ්‍යයේ ප්‍රමුඛතම ව්‍යාපෘතියක් වූයේ චන්ද්‍රිකා ජනාධිපතිනිය පිනවීමට රනිල් වික්‍රමසිංහ වැනසීමේ ව්‍යාපෘතියේ යෙදීමයි. රූපවාහිනිය ලංකාවට හදුන්වාදුන් වික්‍රමසිංහලාගෙන් කෙනෙකු වූ රනිල් වික්‍රමසිංහ එම මාධයේ දිග පළල හොදින් දැනසිටි අතර එදා ඔහුට ප්‍රහාර එල්ලකළ බොහෝ දෙනා වේදිකාවෙන් බැසගොස් තිබෙන නමුත් තවමත් රනිල් වික්‍රමසිංහ වේදිකාවේ සිටී. රූපවාහිනී මාධ්‍යයේ අදත් පුවත් මවන ප්‍රධානම දේශපාලනඥයා වන්නේ රනිල් වික්‍රමසිංහයි.

රූපවාහිනිය ඉදිරියේ වයර්ලස් හා පුවත්පත් පරාජය පිළිගෙන බැසගියා සේ ඩිජිටල් මාධ්‍ය ඉදිරියේ රූපවාහිනිය බැසයද්දී රනිල් වික්‍රමසිංහත් එක්සත් ජාතික පක්ෂයත් මේ රටේ දේශපාලන බලය හොබවමින් නිරුපද්‍රිතව සිටී.

අදද රනිල් වික්‍රමසිංහට ඔහුගේ දේශපාලන ජීවිතයේ හැමදාම මෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ලවේ. ඒ පිටුපස දැවැන්ත මාධ්‍ය හා ව්‍යාපාරික මාෆියාකරුවන් කිහිපදෙනෙකු සිටී. රනිල් වික්‍රමසිංහ එම කුඩා මාධ්‍යකරුවන්ට අලුත් සතුරෙකු හෝ අලුත් අත්දැකීමක් වුවද රනිල් වික්‍රමසිංහට මේ ඔහුගේ ජීවිත කාලය පුරාම ඔහුට එල්ලවූ ප්‍රචාරණ අභියෝගයයි. වයර්ලස් යුගයේ සිට ඩිජිටල් යුගය දක්වා අනුවර්ථනය වෙමින්, නවීකරණය වෙමින් එක්සත් ජාතික පක්ෂයත්, තමනුත් ආරක්ෂා වෙමින් ඉදිරියට ආ රනිල් වික්‍රමසිංහට මෙම මාධ්‍ය හා දේශපාලන මෙහෙයුම තම ජීවිතයේ මුහුණදුන් තවත් එක් සිදුවීමක් පමණි.

රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ජීවිතය අවසන් කිරීමට වසර හතලිහක් තිස්සේ වයර්ලස් යුගයේ සිට ඩිජිටල් යුගය දක්වා ප්‍රචාරක මෙහෙයුම් ක්‍රියාත්මක කළ සියලුම දෙනා වේදිකාවෙන් බැසයද්දී, තම ස්වයං විනාශය කැදවාගනිද්දී, තමන් සමාජයේ අවළංගු කාසි බවට පත්වද්දී රනිල් වික්‍රමසිංහ හැමදාම දේශපාලන කරළියේ ප්‍රමුඛ පුවත් මවන්නා විය. ඔහුගේ පැවැත්ම ස්ථිරසාරය. ඔහු සෙමින් අඩිය තියමින් බොහෝ දුර පැමිණ තිබේ. වසර හතලිහක් පාර්ලිමේන්තුව නියෝජනයකොට තිබේ. අද අපි දකිනා මෙම සමාජ ක්‍රමයට, ආර්ථික ක්‍රමයට අත්තිවාරම දැමූ නායකයා ඔහුයි. පෞද්ගලිකව මා කල්පනාකරනුයේ එතෙක් මෙතෙක් බිහිවූ දේශපාලනඥයින්ගෙන් සාර්ථකම දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ බවයි. එම දශක හතරක කාලය තුල බොහෝ දෙනා කරළිට පැමිණ වේදිකාවේ රගපා ඉන් බැසගියේය. ඒ අතර ජනාධිපතිවරු, අගමැතිවරු, ඇමතිවරු, කැරළිකරුවෝ ඇතුලු බොහෝදෙනා විය. ඔවුන් සියලු දෙනාම බැසගියද රනිල් වික්‍රමසිංහ තවමත් වේදිකාවේ සිටී.

එමනිසා අද රනිල් වික්‍රමසිංහට තර්ජනය කරන, අභියෝග එල්ල කරන බොහෝදෙනා වේදිකාවෙන් බැසයාමට නියමිත අතර ඔවුන් සමග ඔවුන්ට සම්බැට්ටකම් කරන මාෆියා මාධ්‍ය ආයතනද තමන්ගේ ගමන අවසන් කරනු ඇත. නමුත් රනිල් වික්‍රමසිංහත්, එක්සත් ජාතික පක්ෂයත් අඛණ්ඩව ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියේ පුවත් මවමින් වැජඹෙනු ඇත. එය රනිල් වික්‍රමසිංහගේ වචනයෙන් පැහැදිලි කරන්නේනම්, මේ රටේ ජනතාවට පොරොන්දු වූ ආර්ථික සමෘද්ධිය ලබාදෙන තුරු ඔහු දේශපාලන කරළියේ සිටිනු ඇත.

Sunday, January 7, 2018

මෝස්තර තැතුව වැරදිකරුවන් හිරේ යවමු


රටක් හැටියට අපි ව්‍යාපාරිකයින්, පොහොසතුන්, ධනවතුන්, බලවතුන්, හොරි හැදුණු මිනිසුන් සේ දැකීමට කැමති ජාතියකි. සාර්ථක ව්‍යාපාරිකයින් රැකියාවන් දහස් ගණනක් රටට බිහිකරයි. ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙමින් රජයට බදු ගෙවයි. විදේශ විනිමය රැගෙන එයි. නමුත් පත්තර පඩංගුවල, වෙබ් අඩවිවල, ටෙලිවිෂන් මුදලාලිලාගේ සාක්කුවල සහ දේශපාලන ඇම්බැට්ටයින්ගේ යටිපතුල් ලෙවකන ඊනියා විචාරකයින්, බුද්ධිමතුන්, සාර්ථක ව්‍යාපාරිකයින් කෙරෙහි වෛරයක් සමාජ ගත කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යවසායකයින් කෙරෙහි ඇති මෙම අදුරු ආකල්පය නිසාම මේ රටේ මධ්‍යම පාන්තිකයින්ගේ හා ග්‍රාමීය ජනතාවගේ දරුවන් ව්‍යවසායකයින් වනවා වෙනුවට ආණ්ඩුවේ කන්තෝරුවල ලියන මහත්වරු වීමටත්, හමුදාවේ සොල්දාදුවන් වීමටත්, ඉංජීනේරුවන්, දොස්තරවරුන් වීමටත් සිහින මවති. කුඩා කාලයේ දරුවෙකුගෙන් ඔබ වැඩිවියට පත්ව කුමක් කරන්නට අදහස් කරන්නේද ඇසුවොත් ඔහු කිසිවිටකත් ව්‍යාපාරිකයෙකු වෙනවායැයි ශ්‍රී ලාංකික සමාජය තුළ කිසිවෙකුත් ප්‍රකාශ නොකරයි.

එම ආකල්පය මේ රටේ රැකියා වෙළදපොලට දැඩි ලෙස බලපා ඇති අතර සියලුදෙනා පාහේ රැකියා හිගමනේ යෙදෙමින් දේශපාලනඥයින් පසුපස වැටී සිටී. කිසිවෙකුත් රැකියා බිහිකරන රටට වැඩදායී පුද්ගලයෙකු වීමට අදහස් නොකරයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධය, නිදහස් අධ්‍යාපනය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විරෝධය, රැකියා විරහිත උපාධිධාරී විරෝධය, දේවාල පන්සල් වැනි මේ මොහොතේ රට මුහුණ දෙමින් සිටින බරපතල සමාජ ප්‍රශ්න මෙම අදුරු ආකල්පයේ ප්‍රතිඵලය. ශ්‍රී ලාංකික සමාජය තුල නිතැතින්ම ඇති මෙම විරෝදය අපට බොහෝ දේ අහිමිකර ඇත. අප කලාපය විශාල ව්‍යාපාරිකයින්, ධනවත් සමාගම් බිහිකළ කලාපයක් වද්දී අපි ජාතිය අගම වැනි පාරභෞතික කාරණා වලට එකිනෙකා මරාගන්නා සමාජයක් බවට පත්විණි. රට තුළ බිහි වූ බොහෝ ව්‍යාපාරිකයින් හා ව්‍යාපාර කෙරෙහි අප සමාජය තුළ වූ විරෝදය පසුගිය හැත්තෑපස් වසර තුළ රට වලපල්ලට ගෙන ගියේය. රටේ බහුතරය රාජ්‍යට අතපාන, රාජ්‍ය මත යැපෙන්නන් බවට පත්විය. රට පෙළෙන සියළු ව්‍යාදීන් රාජ්‍ය විසින් විසදිය යුතු යැයි අප කල්පනා කරන්නේය.

රවී කරුණානායක සම්බන්ධයෙන් මේ මොහොතේ රටේ ගොඩනැගීමට උත්සහ කරන විරෝධයේ පදනමද එයයි. රවී කරුණානායක සාර්ථක ව්‍යාපාරිකයෙක් වීම, රටේ වටිනා බිම්කඩක ඇති විශාල නිවසක ජීවත්වීම, ධනවත් සමාගම් කිහිපයක හිමිකරුවෙකු වීම, රූමත් බිරිදක් හා දරුවන් සිටීම, දේශපාලන බලය හෙබවීම වැනි කාරණා අප වැනි සමාජයක ඔහු කෙරෙහි වෛර කිරීමට, විචාර බුද්ධියෙන් තොරව විරෝධය පෑමට ප්‍රමාණවත් හේතුවකි. මහ බැංකු බැදුම්කර ගණුදෙනුවේදී රවී කරුණානායකගේ නම කිසිදු අවස්ථාවක සදහන් නොවුණු අතර ඔහුගේ නම විරුද්ධවාදීන්ගේත්, මාධ්‍ය වලත්, මධ්‍යම පන්තියේත්, අවධානයට යොමුවන්නේ ( බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් ) ඔහු ප්‍රථම වතාවට ස්වේච්ඡාවෙන් පැමිණ බැදුම්කර ගණුදෙනුව සම්බන්ධ විශේෂ විමර්ශන කොමිසමට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි. එනම් එම ප්‍රකාශය අතරතුර රජයේ නීතිඥවරයා රවී කරුණානායක ඇමතිවරයාගෙන් ඔහු කුලී පදනමට ගත් නිවසේ කුලී ගෙවීමේදී අර්ජුන ඇලෝසියස් මහතාගෙන් රවී කරුණානායක ඇමතිවරයාගේ බිරිද විසින් අතමාරුවක් ලබා ගැනීම පිළිබදව අතිශෝක්තියෙන් ප්‍රශ්න කිරීමයි. එහිදී රවී කරුණානායක ඇමතිවරයා සත්‍ය සැගවූ බවට එම රජයේ නීතීඥවරයාත්, පසුව කොමිසන් වාර්තාවත්, එය පදනම් කරගෙන ජනාධිපතිවරයාත් ප්‍රකාශ කළේය. සත්‍ය සැගවීම සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරිය යුතු බවට ජනාධිපතිවරයා නීතිපතිවරයාට උපදෙස් දුන් බවට ප්‍රකාශ කළේය. ලංකාවේ බොරුකීම නිසා දීර්ඝ කාලයකට හිරේ ගිය හෝ එල්ලුම් ගස් ගිය කිසිවෙකුත් පසුගිය වසර 2500 ක ඉතිහාසය තුළ නොසිටී. මට ඇති මවිතය නම් බොරු කීමේ චෝදනාවට ලක්වීම නිසාවෙන් රවී කරුණානායක ඇමතිවරයා අමාත්‍ය ධූරය අතහැරියේ ඇයි?

ග්‍රීසියේ මහ බැංකුව බංකොලොත් වී වසා දැමීමට පැය කිහිපයක් තිබියදී ලංකා රජයේ මුදල් යොදවා ග්‍රීසියේ බැදුම්කර මිලදී ගැනීමේ මහින්ද රාජපක්ෂලාගේ ආණ්ඩුව සිදුකළ කූට ගණුදෙනුවෙන් රජයට අහිමී වූ මුදල රුපියල් බිලියන විස්සකට වැඩිය. ඒ සදහා ගතවූයේ පැය කිහිපයක් පමණි. එසේම 2008 සිට 2015 දක්වාම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රාථමික වෙළදපොලේ සිදුකරන ලද බැදුම්කර ගණුදෙණු වලදී අර්ජුන ඇලෝසියස්ගේ සමාගම උපයාගන්නා ලද අති විශාල ලාභයත්, එයින් රටට යම් පාඩුවක් සිදුවූයේනම් එයත් ගණනය කළ යුතුය. ඒ සම්බන්ධයෙන්ද කොමිසමක් පත්කළ යුතුය. එසේම 2015 වසරේ මැද කාලයේ වර්ථමාන ආණ්ඩුවට මෙම චෝදනාව එල්ලවන කාලයේ අර්ජුන ඇලෝසියස්ගේ සාක්කුවේ බොහෝ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් සිටි බව මා හොදින් දැන සිටිමි. එකල අර්ජුන ඇලෝසියස් යනු ධනවත් සුපිරි යාලුවෙකි. නාමල් රාජපක්ෂගේ සිට මිලින්ද රාජපක්ෂ දක්වා පොහොට්ටුවේ ප්‍රධානීන් හවසට සෙට්වී කනබොන රමණය කරන තැන අර්ජුන ඇලෝසියස්ගේ මිතුරු සමාගමයි.

බැදුම්කර ගණුදෙනුව සම්බන්ධ විශේෂ විමර්ශන කොමිසම ඉදිරිපත් කර ඇති නිර්දේශ පදනම් කරගෙන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කතාවට අනුව බැදුම්කර ගණුදෙනුවට වගකිව යුත්තේ එවකට හිටපු මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන ඇලෝසියස් හා එම සමාගමත්, එසේම දැනට වැඩ තහනමකට ලක්ව ඇති මහා බැංකුවේ නිලධාරීන් රාශියකි. බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයටවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටවත්, වෙනත් කිසිදු දේශපාලනඥයෙකුවත් වගකිව යුතු බව ජනාධිපතිවරයාගේ කතාවෙන් විද්‍යමාන නොවේ. එම නිසාම එක්සත් ජාතික පක්ෂය යෝජනා කර සිටින්නේ හැකි ඉක්මනින් අදාළ වගකිව යුත්තන්ට නඩු පවරා දඩුවම් කරන ලෙසයි. මාගේ පෞද්ගලික මතය නම් රවී කරුණානායක ඇමතිවරයා ස්වේච්ඡාවෙන් කොමිසම ඉදිරියට පැමිණ බොරු දෙසාබා ඇතැයි කියා නීතිපතිවරයා තීන්දු කරන්නේ නම් ඔහුට නඩු පවරා බොරු කීවාට හිරේ යැවිය යුතුයි. ( ලංකාවේ දේශපාලනඥයින් බොරු නොකියන හා බොරුකීමට තහනම් නිසා ) මුලු රටම කිසිවෙකුටත් නොතේරෙන බොන්ඩ් ගණුදෙනුවකට එල්ලීමට උත්සහ කිරීමෙන් ඒ පිළිබද මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් අපට විශාල ආර්ථික හානියක් සිදුවේ. ලෝකය පුරා සිටින අතිරේක මූල්‍ය ධනය සහිත ව්‍යාපාරිකයින්ට ලංකාවේ ආයෝජනයට අත වනන ගමන් අනිත් අතින් ආයෝජන සදහා එකග නොවන දේශපාලන හේතු මත ආර්ථික කාරණා පදනම් කරගත් මාධ්‍ය සංදර්ශන පවත්වාගෙන යෑම මටනම් උවතෝකෝටිකයකි. මහ බැංකු බැදුම්කර සම්බන්ධයෙන් වරදක් සිදුවී ඇත්නම් කළ යුත්තේ නඩු දමා සියල්ලෝම හිරේ යැවීමයි. එය අපේ ගම් දනව්වල සිටින ඕනෑම සයිමන් කෙනෙක් දන්නා උපක්‍රමයකි. මෙය උඩ පැන පැනා නැටීමෙන් රටට බොහෝ දේ අහිමි වන්නේය.

Monday, January 1, 2018

අකිල මේ පාරත් පාස්ද?




පසුගිය සතියේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූවා. මෙවර උසස් පෙළ ප්‍රතිඵල වල දැකිය හැකි විශේෂ ලක්ෂණය නම් රට පුරා ඇති සියලුම පාසල් වල උසස් පෙළ ශිෂ්‍ය, ශිෂ්‍යාවන් අතර සම සමව ප්‍රතිඵල බෙදී යාමයි. මීට වසර කිහිපයකට පෙර, දශක ගණනාවක් පසුපසට උසස් පෙළ ප්‍රතිඵල සමාලෝචනය කළ විට පෙනී ගිය කාරණයක් නම් විශ්ව විද්‍යාල වරප්‍රසාද ලබාගනු ලැබුවේ හෝ උසස් පෙළින් වැඩිම ලකුණු ලබාගනු ලැබුවේ කොළඹ හා තදාසන්න නගරවල වරප්‍රසාධිත පාසල්ය. උදාහරණයක් ලෙස ගතහොත් පසුගිය දශක ගණනාව තුළ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා සුදුසුකම් ලැබුවේ කොළඹ ප්‍රධාන පාසල් තුන හතරකුත්, කුරුණෑගල හෝ තදාසන්න නගරවල ප්‍රධාන පාසලුත්, අනුරාධපුරය, මහනුවර, මාතර, ගාල්ල, හම්බන්තොට වැනි ප්‍රධාන නගරවල පිහිටි පාසල්වල සිසු සිසුවියන්ය. එනම් අප කුලකයක් ලෙස ගතහොත් රට පුරා පිහිටි ජනප්‍රිය පාසල් දෙසීයකටත් වඩා අඩු සංඛ්‍යාවකින් උසස් පෙළ ප්‍රතිඵල තබා ළමුන් විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබුවේය. නමුත් මෙවර එම තත්ත්වය වෙනස් වී තිබේ. මෙවර උසස් පෙළ ප්‍රතිඵල සමාලෝචනය කිරීමේදී රට පුරා ඇති ප්‍රධාන පාසල් වල ළමයින් පමණක් නොව ඈත ගම් දනව් වල පාසල් වලින්ද උසස් පෙළ ඉහළම ප්‍රතිඵල ලබා විශ්ව විද්‍යාලයට සිසු සිසුවියන් තේරී තිබේ. උදාහරණයක් ලෙස බණ්ඩාරවෙල දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි හුරුකුඩේ සාරිපුත්‍ර විද්‍යාලය දශක ගණනාවකට පසු මෙවර උසස් පෙළ විභාගයෙන් සිසුවියකට විශ්ව විද්‍යාල වරම් ලබා දී ඇත. එමෙන්ම රත්නපුරය වැනි අධ්‍යාපනය සදහා වැඩි නැඹුරුවක් නොදැක්වූ දිස්ත්‍රික්ක වල සිසු සිසුවියන්ද මෙවර ඉතා ඉහළ ප්‍රතිඵල ලබා දී තිබේ. එහිදී ඈත උතුරේ යාපනය මෙන්ම, මෑත දකුණේ මාතරද උසස් පෙළින් ඉහළම ප්‍රතිඵල ලබා ගනිමින් කොළඹ පාසල් පරදවා තිබේ. මාගේ පෞද්ගලික තක්සේරුව නම් එය වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබද කැඩපතයි.

වර්තමාන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ ආණ්ඩුවේ සිටින ඇමතිවරුන් අතර තමා නිවැරදි යැයි කල්පනා කරනු ලබන තීන්දූ දැඩි ලෙස ක්‍රියාත්මක කරන, එමෙන්ම එම තීන්දු වෙනුවෙන් තදින් පෙනී සිටින, එසේම එම තීන්දූ ක්‍රියාත්මක කිරීමට යාමෙන් තමන්ගේ දේශපාලන අනාගතයම අවධානමකට හා සූදුවකට යොදවන තරුණ ඇමතිවරයෙකි. ඔහුගේ රාජ්‍ය පරිපාන ක්‍රියාවලිය හා දේශපාලන ක්‍රියාවලිය එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ හා එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ සිත් භීතියට පත් කරමින්, ශරීරයන්හී හිරිගඩු නන්වයි. මන්ද අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පසුගිය කාලයේ එතරම්ම ආන්දෝලනාත්මක තීන්දු තීරණ ගණනාවක් ගත් අතර ඒවා තීරණාත්මක ලෙස ලංකාවේ අධ්‍යාපනය වෙනස් කළේය.

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරණු ලබන ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය, රටේ ජනප්‍රිය පාසල් මිත්‍යාවෙන් මිදීම සදහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන ලද සාධනීයම වැඩසටහනයි. රටේ ජනප්‍රිය පාසල් කිහිපයක් වෙනුවට ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේ රට පුරාම පාසල් ප්‍රතිඵල පෙන්වීම ආරම්භ කොට තිබේ. මෙවර උසස් පෙළ ප්‍රතිඵල වලින් පෙන්වා දෙන්නේ ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතියේ සාර්ථකත්වයයි.

අධ්‍යාපන අමාත්‍යවරයා සුරක්ෂා රක්ෂණ ක්‍රමවේදය මගින් රටේ දරුවන්ගේ සෞඛ්‍ය රැකගන්නා අතරම පාසල් 3600 ක් සදහා ක්‍රීඩා පුහුණුකරුවන් බදවාගැනීමේ කටයුතු ආරම්භ කර තිබේ. දශකයකට පමණ පසු විධිමත් ක්‍රමවේදයක් මගින් තරුණ විදුහල්පතිවරුන් 5000 ක් බදවාගෙන ඔවුන්ට දේශීය හා විදේශීය පුහුණුවක් ලබාදෙමින් අවවරප්‍රසාධිත පාසල් දියුණු කිරීමට පියවර ගෙන තිබේ. අධ්‍යාපන පරිපාලන සේවයට නව නිලධාරීන් 800 ක් බදවාගෙන එම සේවය සක්‍රීයව අධ්‍යාපනයේ සංවර්ධනයට යොදාගෙන ඇති අතර පාසල් තුල භෞතික සංවර්ධනය සදහා පළාත් සභා හා ඒකාබද්ධව විශාල වශයෙන් ප්‍රතිපාදන යොදවා වැඩසටහන් ආරම්භ කර තිබේ. ඒවා මගින් නව විද්‍යාගාර, පාසල් ගොඩනැගිලි, පරිගණක අංශ, ක්‍රීඩා පිටි හා නාට්‍ය ශාලා රට පුරා පාසල් වල ඉදිවෙමින් තිබේ. අවිධිමත්ව මාෆියා ග්‍රහණයකට හසුව තිබූ ගුරු මාරුවීම් ක්‍රමවේදය දේශපාලන බලපෑම්වලින් තොරව විධිමත්, වඩාත් සාධාරණ තත්ත්වයකට ගෙනැවිත් ඇත. මෙකී නොකී සියලුම කාරණා අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා සිදුකර ඇති ප්‍රධානතම හා තීරණාත්මකම කාරණය වන්නේ පාසල් වලට ළමුන් ඇතුළත් කිරීමේ අවිධිමත් ක්‍රමවේදයන්ට තදින් ක්‍රියා කොට පාසල් වලට ළමුන් ඇතුළත් කිරීමට බලවතුන්ට තිබූ හැකියාව නැත්තට නැතිකොට තිබීමයි. එමගින් රටේ සියලුම පාසල් වලට ඉල්ලුමක් ඇතිවී තිබෙන අතර සෑම පාසලක්ම වරප්‍රසාධිත ජනප්‍රිය පාසලක් බවට පත්වී තිබේ. ළගම පාසල හොදම පාසල යනු යැයි, එනම් තමන්ට ළගම පාසල හොදම පාසල බවට පත්වීමයි.

රාජ්‍ය පරිපාලනය විෂයෙහි විශාරදයෙක් බවට අකිල ඇමැති වරයා පත්වෙමින් තිබේ. දැනටමත් ආණ්ඩුවේ කටයුතු මෙහෙයවීමේදී අකිල ඇමැතිවරයා දක්වන සාමාර්ථය දැක්වීමට බොහෝ අය අසමත් වී ඇත්තේ ඔවුන්ගේ කාලය, හැකියාවන්ගේ හා සබඳතාවයේ ඇති නොගැලපෙන බවත්, නිවැරදි නිලධාරීන් තෝරාගැනීමට ඇති නොහැකියාවත් නිසාවෙනි. එම නිසාම බොහෝ දෙනා නිලධාරීන්ගේ ලණු වළදද්දී, අකිල ඇමැතිවරයා යකුන්ගෙන් වැඩ ගනී. එබැවින් අකිල අධ්‍යාපන ඇමතිතුමා නැවතත් පාස්වී තිබේ. මේ අනුව කිව හැක්කේ රටේ විකෘතියක්ව තිබූ අධ්‍යාපන ක්‍රමවේදය සීඝ්‍රයෙන් ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් තිබෙන බවයි. විශේෂයෙන් අධ්‍යාපනයේ ව්‍යුහගත වෙනස්කම් මෙන්ම විෂයමාලා සංවර්ධනයේදී හා ප්‍රතිසංස්කරණ වලදී ආණ්ඩුව පෙන්වා ඇති සමත් බව මේ රටේ අනාගත පරපුරට සුභදායක බලාපොරොත්තුවක් ඇතිකොට තිබේ.

යහපාලන ආණ්ඩුවේ ප්‍රතිඵල ලේඛනයේ තිබිය යුතු අනිවාර්ය පොරොන්දුවක් වූයේ සැමට සමාන, නව ලොවට ගැලපෙන අධ්‍යාපනයක් රටේ සියලුම දරු දැරියන්ට සුරක්ෂිත කරවීමයි. ඒ අනුව යහපාලන ආණ්ඩුවේ ප්‍රතිඵල ලේඛනයේ A සාමාර්ථයක් අධ්‍යාපන අමාත්‍යංශයටත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලටත් ලැබී තිබේ. එම A සාමාර්ථයෙන් විශාල කොටසක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් තරුණ ඇමතිවරයාට හිමිවිය යුතු යැයි මට සිතේ.