Monday, January 16, 2017

හම්බන්තොටින් ගොඩයෑම



පසුගිය සති දෙක ශ්‍රී ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළේය. රාජපක්ෂවරු ප්‍රමුඛ එම බලවේගය චීන සබදතාවයන්ට ඔවුන් විසින්ම අවසන් ඇණය ගසා දැම්වේය.

සීලාචාර බටහිර ලෝකයේ දේශපාලන සම්බන්ධතා බිදදමමින්, දශක ගණනාවක් පවත්වාගෙන ආ පැරණි ධනවත් වැදගත් මිතුරන් වූ දියුණු ලෝකයේ රටවල් සියල්ල අතහරිමින්, රාජපක්ෂවරු විසින් චීනය සමග දැඩි බැදීමක් ඇති කරගන්නා ලදී. විටෙක එම බැදීම ‘චීනයේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාවේ බලය සදාකාලිකවම පවත්වාගත හැකිය‘ යන මතය රට තුළ ඔවුන්ගේ අනුගාමිකයන් අතර ගොඩනැගීමට පවා හැකිවූ ශක්තිමත් බැදීමකි. එම බැදීම නාමල් රාජපක්ෂ විසින් පසුගියදා සිදුකරණ ලද චීන විරෝධී, රාජ්‍ය විරෝධී හා ප්‍රතිගාමී උද්ඝෝෂණය තුළින් චීන රාජපක්ෂ සබදතා බිදදමා අවසන් ඇණයද ගසා දැමුවේය.

සැබවින්ම ශ්‍රී ලංකා රජයේ මේ මොහොතේ පවතින ව්‍යාපෘතීන් අතර හම්බන්තොට වරාය ව්‍යාපෘතිය කේන්ද්‍රීය වැදගත්කමකින් යුතු එකකි. ඒ සදහා රජයේත්, රජයට පක්ෂ සියලු බලවේගවලත්, රාජ්‍ය ආයතන පද්ධතිය තුළත්, ඉහල වැදගත්කමක් හා ප්‍රමුඛතාවයක් ලබාදේ. එවන් වැඩසටහනකට මිනිසුන් පන්සීයක් රැගෙන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රමුඛ කණ්ඩායම බලපෑම් එල්ල කිරීමට සැලසුම් කිරීම මෝඩ මජරි අදහසකි.
එදින හම්බන්තොට සිදුවූයේ අගමැතිවරයා හා චීන තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මැති ඇමතිවරුන් හා නිලධාරීන් විශාල සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පවත්වන ලද රාජ්‍ය උත්සවයකි. එම උත්සවයේ අධි ආරක්ෂිත කලාපයට ඒ ආසන්නයේ ඇති කැළෑ රොද තුළින්ද පිරිසක් කඩාවැදුණු අතර එම ස්ථානයට පැමිණි පොලීසිය ගැටුමට මැදි වූ දෙපාර්ශවයටම කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ලකොට විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ගැටුම සමතයකට පත් කළේය.

මෙම සිදුවීම මෙසේ සිදුවෙද්දී උත්සව සභාව තුළ සාමාන්‍ය පරිදි උත්සව කටයුතු සිදුවූ අතර එය සජීවීව ජාතික රූපවාහිනිය ඔස්සේ රටටම විකාශනය කළේය. මාගේ තක්සේරුව නම් චීන තානාපතිතුමන්ට එම උත්සව සභාවේ සිටි දේශපාලඥයින් විසින් ඉතා හොදින් තත්ත්වය වාර්ථා කරන්නට ඇති බවයි.

නාමල් රාජපක්ෂගේ හා ඩලස් අලහප්පෙරුමගේ මෙම ක්‍රියා කලාපය නිසා ජාත්‍යන්තර දේශපාලනය තුළ රාජපක්ෂවරුන්ට අල්ලපු අත්තත් පයගහපු අත්තත් දෙකම නැතිවී තිබේ. ඊට පසු දින හිටපු ජනාධිපතිවරයා චීන තානාපති කාර්යාලය සමග හානිය අවම කරගැනීමට උත්සහ කළත් එය අසාර්ථක වූ බව අපට ලැබී ඇති ආරංචි වේ.

හම්බන්තොට වරාය ජාතික ආර්ථිකයට එක්කර ගැනීම ආණ්ඩුව මුහුණදෙමින් සිටින ආර්ථික සටනේ ප්‍රමුඛ අභිලාෂයයි. ඩොලර් බිලියන 1.8 ක් වැයකොට ඉදිකරන ලද එම වරාය තුළ වරකට සේවා සැපයිය හැක්කේ එක් නැවකට පමණි. එනම් එම වරායටම ඇත්තේ දොඹකර දෙකකි. එම වරායට අවශ්‍ය යන්ත්‍රෝපකරණ සවිකොට කාර්යක්ෂමව මුළු ධාරිතාවම ක්‍රියාත්මක කළ හැකි වරායක් බවට පත්කිරීමට පමණක් තවත් ඩොලර් මිලියන 400 ක් අවශ්‍ය වී තිබේ. එසේම නාවික බංකරින් කටයුතු සදහා තෙල් ටැංකි හා ජල ටැංකි ඉදිකිරීමට ඒ හා සමාන මුදලක් වැය වේ. එසේම මෙම ආණ්ඩුව යෝජනාකරමින් සිටින අනාගත කර්මාන්ත පුරයන් සදහා අඛණ්ඩ ජල සැපයුමක් හා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට, බලාගාර හා පිරිපහදුහල් ගොඩනැගීමට තවත් විශාල මුදලක් වැයකළ යුතුය. එසේම චීනය සමග එළැඹීමට නියමිත ගිවිසුම නැති වුවහොත් අපට ඉහත වියදම් වලට අමතරව නව ආයෝජන වලට හා ව්‍යාපාරවලටද මුදල් යෙදවීමට සිදුවේ.

මේ මොහොතේ රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව ඉහත වියදම් කිසිසේත් මෙරට ආර්ථිකයට දැරිය නොහැකි අතර මෙම තත්ත්වයෙන් හම්බන්තොට වරාය ආදායමක් නොමැතිව පවත්වාගෙන යාමටද නොහැකිය. ආණ්ඩුව විසින් යෝජනා කරනු ලබන්නේ හම්බන්තොට වරාය හැකි ඉක්මණින් ජාතික ආර්ථිකයට එක්කරගත හැකි ක්‍රමවේදයකි. එය මේ මොහොතේ මෙරට ජීවත් වන ජනතාව මත බර පටවන්නේ නැති සෞඛ්‍ය සම්පන්න ක්‍රමවේදයකි.

අප හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ආණ්ඩුව යෝජනා කරන විසදුමට නොයන්නේ නම් චීන ණය ගෙවීම තවත් වටයකින් බදු ලෙස ජනතාව මත පැටවෙනු ඇත. අප මේ කටුක යථාර්ථය අවබෝධ කර ගත යුතුය.

No comments:

Post a Comment