Sunday, July 30, 2017

කූඩැල්ලන්, දියබරියන් කාපු අපි කොළ පාට සමාජයට පිවිසීම



1977 එක්සත් ජාතික පක්ෂය හයෙන් පහක බලයක් සහිතව ජේ. ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් රාජ්‍ය බලය ලබා ගන්නා අවස්ථාවේදී ලංකාවේ තත්ත්වය වර්තමාන සමාජයට විශ්වාස කළ නොහැකි තරම් ශෝචනීය වේ. 1977 වන විට ලංකාවේ ජනතාවට බත් කෑම සීමා කොට තිබුණි. සතියට දවස් තුනක් පමණක් බත් ආහාර ලෙස ගත හැකිව තිබූ අතර එවකට වර්තමාන සමාජය විසින් ආහාරයට ගැනීමට අත්හරින ලද හබරල අල හා වෙනත් අල වර්ග කැළයේ වැවෙන කොළ මඩේ හැදෙන සතුන් ඉදිරි දින හතර තුළ ප්‍රධාන ආහාරය ලෙස ගැණුනි. වියළි කළාපයේ සමහරක් ගම්වල කූඩැල්ලන් හා දියබරියින් ආහාර ලෙස ගැණිනි. 77 ජේ. ආර්. ජයවර්ධන කනබොන රමණය කරන සමාජයක් යෝජනා කරනු ලැබුවේ කූඩැල්ලන් හා දියබරියින් ආහාරයට ගත් සමාජයකටය.

77 ට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එම පෙරමුණේ ආර්ථික දේශපාලන හා සමාජීය ව්‍යාපෘතිය තුළ සෑම දෙයටම රාජ්‍ය මැදිහත් වීමක් තිබූ අතර කොටින්ම විවාහ වීමට රජයේ අවසරය ලබාගත යුතු විය. නමුත් සීමාකම් පනවනු නොලැබුවේ ලිංගික කටයුතු හා වැසිකිළි යාමට පමණි. නමුත් මේ රටේ එවකට විසූ කිසිවෙකුට ලිංගික කටයුතු සිදුකිරීමට මානසික සහනයක්ද, ඒකාග්‍රතාවයක්ද, වැසිකිළි යාමට කුස පිරෙන්න ආහාරද නොතිබුණි. එම ආර්ථයෙන් ගත් කළ එවකට ජීවත්වූ ජනතාවගේ ජීවිත වාමාංශික අනුර දිසානායක කියනවාක් මෙන්, ඒවා ජීවිතද අප්පා යැයි මට සිතේ.

1977 දී ජනතාව හයෙන් පහක බලයක් එක්සත් ජාතික පක්ෂයට ලබාදෙනුයේ අදුරු ශෝචනීය කාළපරිච්ඡේදයෙන් රට හා ජනතාව මුදවන ලෙස ආයාචනා කරමිනි.  1977 ජූලි 22 වෙනිදා ජේ. ආර්. ජයවර්ධන මුහුණ දුන් ප්‍රධානතම අභියෝගය වනුයේ සත් වසරක් කුසගින්නේ සිටි සත්වසරක් විළි වසාගැනීමට ඇදුමක් නැතිව සිටි, හිසට වහළයක් නොමැති, දරුවන්ට අධ්‍යාපනය ලැබීමට පාසල් නැති, රමණයට ඇදක් නැති, බහිස්‍රාවියට වැසිකිළියක් නැති, අල තැම්බීමට මුට්ටියක් නැති, කිරි පිටි හැන්දකට සතියක් පෝළිමේ සිටිය යුතු, තමන් වැදු හා හැදු වැඩු දෙමාපියන්ට කැද උගුරක් බොන්නට හාල් සේරුවක් දුන් විට හිරේ විලංගුවේ වැටුණු ඊනියා දේශප්‍රේමී ජාතිකවාදී ආණ්ඩුව නිසා කරදරයේ වැටුණු ජනතාව ඉන් මුදවා ගැනීමයි. කාම්බෝජයේ පොල්පොට් පන්නයේ මහා සමූල ඝාතනයක් ආසන්නයේ සිටි ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිතය බේරා ගැනීමට ජේ. ආර්. ජයවර්ධන මුහුණ දුන් ප්‍රධානතම අභියෝගයයි. 77 දැවැන්ත ජයග්‍රහණයෙන් පසු රටේ ආර්ථිකයේ තිබූ සීමාකම ඉවත් කළ අතර සමාජයේ හා දේශපාලනයේ තිබූ දැඩි පාලනයද ඉවත් කළ හැරියේය. තනි මිනිසුන් හට තමන්ගේ ශක්තියෙන්, තමන්ගේ බුද්ධියෙන්, තමන්ගේ හැකියාවෙන් තම ජීවිතය ගොඩනගා ගැනීමේ අයිතිය ලබාදුණි. ජන ජීවිතයට රජයේ මැදිහත් වීම හැකිතාක් අවම කළ අතර රාජ්‍යය පරිපාලන උපකරණයක් බවට පත් කළේය. 1977 ආණ්ඩු වෙනසින් ලාංකික සමාජය ලැබූ ප්‍රධානතම දායාදය නම් තනි මිනිසාට තම ශක්තියෙන් නැගී සිටීමට ලැබුනු අවස්ථාවයි.

1977 ට පෙර තිබූ රෙජීමය විසින් ක්‍රියාත්මක කරන ලද අදූරදර්ශී අයුක්ති සහගත ක්‍රමයට පක්ෂපාතී වූ පුද්ගලයින් හා දේශපාලන කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් රට තුළ සිටි අතර ඔවුන් ජනතාවගේ මුදල් කොල්ල කමින් රජයේ දේපළ අයුතු පරිහරණය කරමින් බඩු භාණ්ඩ හිගය හා දැනුමේ සම්බාධක මත පදනම් වූ කළු කඩ පවත්වාගෙන යාමෙන් සුඛෝපභෝගී ජීවිත ගත කළ අයයි. ඔවුන් රජයේ ගුවන් විදුලිය හා රජයේ පුවත්පත් භාවිතා කරමින් ඔවුන්ගේ අවිද්‍යාත්මක ප්‍රචාරණ ව්‍යාපාරය පවත්වාගෙන ගිය අයයි. 1977 න් පසු ඉදිරි වසර කිහිපය තුල ලාංකාවේ ධනවත්ම හා බලවත්ම සමාජ ස්ථරය වූයේ මෙම වාමවාදී ඊනියා ජාතිකවාදී හා ප්‍රගතිශීලි සමාජ කොටසයි. ඔවුන් රටේ සියලුම වෘත්තීය සමිතිවල බලය අත්පත් කොටගෙන සිටි අතර එමගින් හයෙන් පහක බලයක් සහිත ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවට විශාල වශයෙන් බලපෑම් කරමින් රට අවුලෙන් අවුලට පත් කිරීමට උත්සහ කළේය. 77 න් පසු බිහිවූ නව ධනපති පන්තිය ගොඩනැගෙන තෙක් අන්තර් කාල සීමාව තුළ මෙම අයුක්ති සහගත ලෙස මුදල් ඉපයූ එම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රෙජීමයේ ධනපතියන් විසින් අතිවිශාල ලෙස මුදල් ආණ්ඩු විරෝධි ප්‍රචාරණයට යොදා ගනිමින් රාජ්‍ය පාලනය ඉතා අපහසු කටයුත්තක් බවට පත් කළේය. නමුත් 1980 ජූලි මාසයේදී කැදවන ලද ජාතික මට්ටමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මර්ධනය කරමින් ඔවුන් රැකියා වලින් එළියට දමමින් ජේ. ආර්. ජයවර්ධන විසින් අයුක්ති සහගත දේශපාලන ව්‍යාපාරයේ අවසන් ඇණය ගසා දැමුවේය. ඉන්පසු බිහිවූ සමාජ ආර්ථික හා දේශපාලනික හැඩය වසර 37 ක් පුරා ලංකාවේ මූලෝපායික වශයෙන් ප්‍රධානතම වැඩපිළිවෙල බවට පත්ව අදත් වැජඹේ. තිස් අවුරුදු යුද්ධයකට පසුත් ශ්‍රී ලංකාව නොනැසි නොවැටී පවතින්නේ එම ශක්තිමත් අත්තිවාරම මතයි.

1977 බිහිවූ දේශපාලන නායකයින් අතර රනිල් වික්‍රමසිංහ පෙරගමන්කරුවෙකු වන්නේ 77 න් පසු බිහිවූ සමාජයේ විද්‍යාත්මක පසුබිම පිළිබදව මනා අවබෝධයක් තිබූ නායකයා නිසාය. ඔහු විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයට දායාද කරන ලද වෙනස්කම් අදද මේ රටේ පවතින ප්‍රගතිශීලි වෙනස්කම් වේ. නමුත් ඔහුගේ වර්තමාන මතය වන්නේ එම වෙනස්කම් අද යල්පැන ගොස් ඇති අතර නව වෙනස්කම් සදහා ඉඩකඩ සකසා ගත යුතු බවයි. එසේම කර්මාන්ත ක්ෂේත්‍රයේ ඔහු සිදුකරන ලද වෙනස්කම් අදද දේශපාලන නායකයෙකු කර්මාන්ත ක්ෂේත්‍රයේ සිදුකරන ලද විශාලතම වෙනස්කම් වේ. කොළපාට සමාජය යනු සැමදෙනාටම සහභාගී විය හැකි, සැමදෙනාටම අවස්ථාවක් ඇති, බුද්ධිය විශාලම ධනය ලෙස සලකනු ලබන, සතුට හා විනෝදය සංවර්ධනයේ ප්‍රධානම මිම්ම වන සමාජ ආර්ථික හා දේශපාලන ක්‍රමයකි. එම මොහොතේ පවතින හා පැවතිය යුතු දේශපාලන ආර්ථික හා සමාජ වෙනස්කම් සදහා ඉඩකඩ විවර කර දෙන ප්‍රගතිශීලී නව ලිබරල්වාදී ප්‍රතිපත්තිය 77 ත්, අදත් එක්සත් ජාතික පක්ෂයේ අධිපතිවාදී මතයයි. එම පක්ෂය කල්පනා කරනුයේ සාමය, සංහිදියාව, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය හා තනි පුද්ගල නිදහස ආණ්ඩුවේ පදනම බවයි. 77 න් පසු බිහිවූ සමාජය හා එම සමාජ ක්‍රමය ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු පසුගිය වසර 40 න් වසර 20 ක් පවත්වාගෙන ආවේය. 77 විප්ලවය ආපසු හැරවීමට හැකිවූ ජගතෙකු මෙරට දේශපාලනය තුළ බිහි නොවූ අතර අදද අපට සිදුකළ හැකි වන්නේ වඩාත් කාර්යක්ෂම හා ප්‍රගතිශීලී ලෙස මෙම ක්‍රමවේදය ඉදිරියට පවත්වාගෙන යාමය. එසේම එහි ඇති ප්‍රතිගාමී හා විකෘති සහගත තත්ත්වයන් හැකි ඉක්මනින් ප්‍රතිසංස්කරණය කළ යුතුය.

Monday, July 17, 2017

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි මිනිසෙකුගේ දේශපාලන ඉව හා ෆැන්ටසිය මත පදනම් වූවකි. බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලද සුදු අදිරාජ්‍යවාදීන්ගේ කීකරු සේවක පෙළපතකින් පැමිණි එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා විසින් ආරම්භ කරනු ලැබු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, 1952 වර්ෂයේ එවකට තිබූ දේශපාලන තත්ත්වය අනුව මෝරායමින් තිබූ සිංහල ජාතිකත්ව නවෝදයට රුකුල් දීමට බණ්ඩාරනායක ශ්‍රීමතානන් විසින් පවත්වාගෙන ආ මහා සිංහල සංගමයේ දේශපාලන ප්‍රකාශනයයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක න්‍යාය වනුයේ සිංහල ජාතිකත්වය හා ධනපති විරෝධයයි. එසේම එම න්‍යායට පත අට එකට සිදුවා අවස්ථාවාදය හා කුහකත්වය එකතු කර ගොඩනගන ලද්දකි. එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැවැන්ත වෘක්ෂයක් ලෙස සිංහල සමාජය තුළ මුල් බැසගන්නේ එම පක්ෂයටම ආවේණික වූ ශ්‍රී ලාංකික නාඩි ඇල්ලීමේ කලාව නිසාවෙනි. 1956 දී බහුවාර්ගික සමාජයක් වූ ශ්‍රී ලාංකික සමාජයට බටහිර උගත් හැදි ගෑරප්පුවෙන් කෑම බීම කන, බොන, ඉංග්‍රීසී සහ ලතින් භාෂා හැර වෙනත් කිසිදු භාෂාවක් හොදින් කතා නොකරන, කොම්පද්‍රෝරු ධනපතියෙකු වන එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ඔහුත් නොදන්නා ඔහුගේ හත්මුතු පරම්පරාවේ කිසිවෙකුටත් අවබෝධයක් නැති සිංහල පමණක් ප්‍රතිපත්තිය තුළින් බලය ලබා ගත්තේය. තම පන්තියේ ධනය ජනසතු කරමින් ආණ්ඩුවට පවරා ගැනීමට පොරොන්දු විය. එම අවස්ථාවාදයෙන් බලයට පත් බණ්ඩාරනායක ශ්‍රීමතානන් කුහකත්වයේ සිරකරුවෙකු බවට පත්ව ඉතාම අකමැත්තෙන් එමගින් ශ්‍රී ලාංකීය සමාජයට වන හානිය පිළිබදව අවබෝධයන් ඇතිව පොරොන්දුව ඉටුකර ඔහු ඔහුගේ ජීවිතයෙන් වන්දි ගෙවීය.

ඉන්පසු එළඹි දශක ගණනාව තුළ 56 විප්ලවයෙන් බිහිවූ විකෘතිය නිසාම ඇතිවූ සිවිල් යුද්ධ තුනකින් මිනිසුන් ලක්ෂ ගණනාවක් මිය ගියේය.

සිංහල පමණක් උගත් දකුණේ තරුණයන් විරැකියාව හා කුල පීඩනය පදනම් කරගෙන 1971 දීත් 1989 දීත් දහස් ගණනින් මියගිය අතර, ජාතිකත්වය හා ආගම පදනම් වූ සමාජ අසාධාරණයට එරෙහිව සටන්කොට වසර 30 ක් දිග්ගැස්සුණු යුද්ධයකට මුහුණදී උතුරේත් දකුණේත් මිනිසුන් දහස් ගණනක් මිය ගියේය.

1956 විප්ලවය යනු සිංහල සමාජය නිදහසින් පසු උන්මාදයට හා නොමගට යොමු කළ සමාජ විකෘතියයි. මේ විකෘතිය මත බිහි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එය ආරම්භයේ සිට අද දක්වා මෙම රටට සිදුකළ තිරසාර ප්‍රගතිශීලී කිසිවක් නැත. ඔවුන් පෙනී සිටි බොහෝ දේශපාලන ආර්ථික සහ සමාජ ව්‍යාපෘති මහ ව්‍යසනයන් බවට පත්වූ විට බලය අතහැර යන ඔවුන් එම අසීරු අවස්ථාවන් ජයගැනීමට එක්සත් ජාතික පක්ෂයට බලපෑම් කරයි. එක්සත් ජාතික පක්ෂයට ඉතිහාසට පුරාවටම සිදුවූයේ බලයට පත්වූ සෑම අවස්ථාවකදීම එම ධූර කාලයෙන් අඩක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවුල් නිරවුල් කිරීමටත්, ඉතිරි අඩ සංවර්ධන කටයුතුවල යෙදීමටත්ය. ඒ සදහා උදාහරණ බොහෝය.

1965 දී ඩඩ්ලි සේනානායක බලයට පත්වන විට දස අවුරුදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රාජ්‍ය පාලනය තුළ බිහිකළ අවුල් වියවුල් රට ප්‍රපාතය කරා ගෙනයෑම ආරම්භ කර තිබුණි. එය කෙතෙක් දරුණු තත්ත්වයක් වීද යත් ඩඩ්ලි සේනානායකයන් එම පස් අවුරුදු කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගින් රටතුළ ගොඩනැගු එම අවුල් සහගත තත්ත්වය නිරවුල් කිරීමට ගොස් ඔහු සදාකාලීක රෝගියෙකු වූ අතර රටේ ආර්ථික, සමාජයීය හා දේශපාලන තත්ත්වය නිවැරදි කිරීම කෙසේවත් කළ නොහැකි මහ ව්‍යසනයක් බවට පත්වී තිබුණි.

1970 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළා නොව, එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළින් එම උරුම කර තිබූ අවුල් වියවුල් තුළින් රට ගොඩ නැගීමට නොහැකි වීමෙන් ඩඩ්ලි සේනානායක ප්‍රමුඛ එම ආණ්ඩුව දේශපාලන බලය අත්හැරියේය. 1970 මැතිවරණයෙන් පසු ඩඩ්ලි සේනානායක දේශපාලනයෙන් සමුගත් අතර, ඊට වසර තුනකට පසු ජීවිතයෙන්ද සමු ගත්තේය. ඉන්පසු බලයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හදා බැලූ හා ක්‍රියාත්මක කළ විකාර රූපී ආර්ථික හා සමාජ ක්‍රමය ශ්‍රී ලාංකීය සමාජයේ ඉතිරිව තිබූ ඉතිරි සාධනීය ලක්ෂණයද විනාශ කර දැම්මේය. එම ක්‍රමයේ ඇති විකාරරූපි බව තේරුම් ගැනීමට හොදම උදාහරණය නම් සතියට දවස් තුනක් බත් කෑමට තහනම් කිරීමය, ඇදුම් ඇදීම තහනම් කිරීමය, සාද පැවැත්වීම සදහා රජයේ අවසරය ලබා ගැනීමය. මුළු ලෝකයම විශාල සංවර්ධන පිම්මක් ගත් හැත්තෑව දශකයේදී අප රිවස් ගියරය දමා වේගයෙන් පස්සට ගියේය. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවන ආණ්ඩුවයි.

1977 ජේ. ආර්. ජයවර්ධන සමග එක්සත් ජාතික පක්ෂය බලයට පත්වෙද්දී හබරල අල කන, සීනී නැතිව තේ බොන, විලි වසා ගැනීමට රෙදි කඩ මල්ලක් ගැනීමට දවස් තුනක් පෝලිමේ සිටින, දොල දුකට පරිප්පු හොද්දක් කෑමට පරිප්පු රාත්තලක් සමූපකාරයෙන් මිලදී ගැනීමට ඉඩම් කැබැල්ලක් විකිණිය යුතු තත්ත්වයට අප පත්ව තිබිණි.
රටේ මහා පරිමාණ ව්‍යාපාර සියල්ල දේශපාලන හෙන්චයියන් අතට පත්වී තිබූ අතර වතු සමාගම් වසා දමා සමාගම් අයිතිකරුවන් ඇදි වත පමණක් අයිතිව පිටරට ගොස් තිබිණි. රටේ ආර්ථිකය කියා දෙයක් නොතිබුණි. සහල් ප්‍රවාහනය නීතී විරෝධී කටයුත්තක් වූ අතර දෙමාපියන් හා නෑදෑ හිතවතුන්ගේ කුස ගින්නට වැඩිපුර තිබූ සහල් සේරුවක් ගෙනගොස් දීම හිරේ විලංගුවේ වැ‍ටෙන තත්ත්වයක් බවට පත්ව තිබුණි.

එම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු යුගයේදී සලාක ක්‍රමයකින් හෝ සීමා කිරීමකින් තොරව ශ්‍රී ලාංකික ජනතාවට සිදුකළ හැකිව තිබුණේ ලිංගික කටයුතු හා වැසිකිළි යාම පමණි. මනුෂ්‍ය ජීවිතයේ අනෙකුත් සියල්ල පාලනය කොට තිබුණි.

1977 බලයට පත් එක්සත් ජාතික පක්ෂයට මෙම විශාල අවුල් සහගත තත්ත්වයෙන් රට ගොඩගෙන ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට වසර කිහිපයක් ගතවිය.
1994 බලයට පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව 2001 එක්සත් ජාතික පක්ෂයට බලය ලබාදීමේදී රටේ ආර්ථිකය සෘණ අගයක් ගත්තේය. දවසට පැය 8ක් පුරා විදුලි කප්පාදුවක් තිබුණි. උතුර ප්‍රභාකරන් යටතේ වෙනම රාජ්‍යයක් ලෙස ගොඩනැගී තිබුණි. අධ්‍යාපනය, ප්‍රවාහනය, නීති ක්ෂේත්‍රය හා රටේ ආරක්ෂාව අවුල් ජාලාවක් බවට පත්ව තිබූ අතර රාජ්‍ය නායිකාවගේ දෛනික චර්යාවේ ප්‍රමාදය පැය 08ක් තරම් විය. ආණ්ඩුකරනය විහිළුවක් බවට පත්ව තිබුණි. 2001 බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂයට මුළු කාලයම ගතවූයේ එම අවුලින් රට ගලවා ගැනීමටය. එම පරිශ්‍රමයේදී රට තුළත්, පක්ෂ අභ්‍යන්තරයේත් අපකීර්තියට පත් එම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජයට පත්වී ගෙදර ගියේය.
ඉන් පසු එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදීන් හා විශාල ගනුදෙනුවකින් බලයට පත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව රටට සිදුකළ විශාල හානිය කොතරම්ද යත් වර්ථමාන ආණ්ඩුවේ නිල කාලයේ මුල් වසර කිහිපයම ගතවන්නේ පසුගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවෙන් සිදු වූ විශාල අවුලෙන් රට ගලවා ගැනීමටය.

නමුත් මෙවර තත්ත්වය වෙනම හැඩයක් ගෙන තිබේ. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරි මැදින් දෙකට වෙන්වී ඇති අතර, එක් පාර්ශවයක් එක්සත් ජාතික පක්ෂය හා එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෙර වැරදි පිළිබද ජනතාවගෙන් සමාව ඉල්ලමින් ඒවා නිවැරදි කිරීමට එක්සත් ජාතික පක්ෂය හා අත්වැල් බැදගෙන දිවීමයි. අනෙක් කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිල ලාංඡනයෙන් වෙන්වී නව පක්ෂයක් පිහිටුවාගෙන රටපුරා අවුල් වියවුල් ඇතිකරමින් මීට පෙර ඔවුන් විසින් ඇතිකරන ලද ක්‍රමවේදයන් නිවැරදි කිරීමට එරෙහි වෙමින්, ඔවුන්ද නිවැරදි නොවී බලය ලබාගැනීමේ ව්‍යාපෘතියක නිරත වේ.

මාගේ අදහස නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුගේ අවස්ථාවාදයේ හා ජාතික වාදයේ තීරණාත්මක කඩඉමකට පැමිණ ඇති බවයි. ඔවුන් හරි මැදින් දෙකට වෙන් වී තිබේ. දෙපාර්ශවයේම දේශපාලනය හා පැවැත්ම තීන්දු කරනු ලබන ගාමක බලවේගය බවට එක්සත් ජාතික පක්ෂය පත්ව තිබේ.

මේ අනුව පෙනී යන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් තොරව අනාගත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ එයින් කැඩීගිය බලවේගයට පැවැත්මක් නොමැති බවය. අවසාන වශයෙන් කිව යුත්තේ රෝහණ විජේවීර කීවාක් මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තාර්කික අවසානයකට ළගාවෙමින් පවතින බවයි. ඔවුන්ගේ අවස්ථාවාදයන්, දේශපාලන කුහකත්වයන්, අකාර්යක්ෂම පාලනයන්, අවිද්‍යාවන්, ඔවුන්ට හිමි තැන උරුමකර දෙමින් තිබේ.

Sunday, July 9, 2017

සංඝ භේදය නොහොත් රාජපක්ෂලාගේ ආනන්තරීය පාපකර්ම




පසුගිය රෙජීමය බලය පවත්වා ගැනීම සදහා භාවිතා කරන ලද ප්‍රධානතම හා අධිපතිවාදී න්‍යාය වනුයේ ආගම සහ සිංහල ජාතිකත්වයයි. එය දේශපාලන උපකරණයක් ලෙස භාවිතා කිරීමේදී රාජපක්ෂලා තරම් දක්ෂයන් මහවංශයේ කිසිදු යුගයක දැකිය නොහැක. සිංහල ජාතිකත්වය  හා බුද්ධාගම දේශපාලනයට යොදා ගැනීමේදී ලංකාවේ කිසිදු රජවරයෙකුට වඩා සාර්ථකත්වයක් පෙන්නුම් කළේය. අපේ යුගයේ සිංහල ජාතිකත්ව දේශපාලනයේ න්‍යායාචාර්යවරුන් වන දොස්තර ගුණදාස අමරසේකර හා මහාචාර්ය නලින්ද සිල්වා පවා මවිත කරවීමට රාජපක්ෂවරුන්ට හැකිවිය. මහාචාර්ය නලින්ද සිල්වා ඔහුගේ ජීවිතයේ කිසිදු දිනක ජාතික චින්තක මතවාදය බලයට පත් වෙතැයි අපේක්ෂා නොකල අතර එම සිහිනය සැබෑකල රාජපක්ෂවරුන්ගේ ඔටුන්න හිමි නාමල් කුමරුට කොන්ද නමා වැද වැටීමට පවා මහාචාර්යවරයා පෙළඹුනේ එම සාර්ථකත්වය නිසාවෙනි.

නමුත් එම ආණ්ඩුවේ ප්‍රධානතම තාක්ෂණික දුර්වලතාවය වන්නේ තමන් රටට කියු ජාතිකවාදී ආගම්වාදී මතවාදය රාජපක්ෂවරුන්ද විශ්වාස නොකිරීමයි. එසේම එම මතවාදය පිළිබද රාජපක්ෂ පවුලේ (ආණ්ඩුවේ නොවේ ) දැනුම ඉතාම දුර්වල මට්ටමක තිබුණි. එම නිසාම ඔවුන්ට බුද්ධ දර්ශනය හා ජාතිකත්වය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දේශපාලන උපකරණයක් විය. එම තත්ත්වයෙන් ප්‍රයෝජනය ගත් ප්‍රධානතම බලවේගය වන්නේ මෙරට භික්ෂු සමාජය නොහොත් ගරුතර මහා සංඝරත්නයයි. එම නිසා රජයේ මුදල් රටපුරා තිබූ ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘතියට සම්බන්ධ පන්සල් වලට බෙදා හැරිණි. විහාර හා දේවාලගම් පනත වෙනස් කරමින් පවුලේ හා ආධාරකරුවන්ට හිතුමනාපෙට දේවාල හා පන්සල් පිංකැට මංකොල්ල කෑමට ඉඩ සැලසීය. එසේම බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා අකර්මණ්‍ය කළ අතර ප්‍රධාන විහාරස්ථානවල ආදායම් විගණන කටයුතු අවිධිමත් කළේය. එම විහාරස්ථානවල නායක ස්වාමීන්වහන්සේලාට දායක මුදල් රිසිසේ පරිහරණය කරන්නට ඉඩ ලබාදුන් අතර, එම සාංඝික මුදල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා රාජපක්ෂලාගේ මැතිවරණ කටයුතුවලට යොදා ගැනිණි. එහි ප්‍රතිඵලයක් ලෙස එම යුගයේදී අස්ගිරි - මල්වතු පාර්ශවයේ නායක ස්වාමීන්වහන්සේලාට වඩා බලවත් පාර්ශවයන් ශ්‍රී ලාංකික සංඝ සමාජය තුළ බිහිවිය.

මහනුවර නගරයේ දළදා මාළිගාව ඉදිරිපිට කාර් රේස් පැදීම, රුසියානු ගණිකාවන් නැටවීම, අරක්කු බාර් දැමීම රාජපක්ෂවරුන් විසින් අස්ගිරි මල්වතු පාර්ශවයන්ට හිතාමතාම සිදුකරන ලද තර්ජනයන්ය. එසේම අස්ගිරි මල්වතු නාහිමියන්ගේ මූණටම එම පාර්ශවය දෙකඩ කොට ධනවත් බලවත් නව පාර්ශවයක් ගොඩනගන බවට තර්ජනය කරන ලද බව අග්‍රාමාත්‍යවරයා විසින් ජූලි 08 වැනිදා අනුරාධපුර රුවන්වැලි සෑය ඉදිරිපිටදී හෙළි කරන ලදි. එසේනම් රාජපක්ෂවරුන් සිංහල ජාතිකත්වය හා බුද්ධාගම ප්‍රධානතම දේශපාලන උපකරණය ලෙස භාවිතා කරමින් සංඝ භේදය ඇතිකරමින් ආනන්තරීය පාපකර්මයක යෙදී ඇත. ඒ සදහා පසුගිය රෙජීමයට විශාල වශයෙන් පිංකැට මුදල් ලැබුණු බවටද වාර්තා පළවෙමින් තිබේ. රාජපක්ෂවරුන්ගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනයේ අපූර්වත්වය වන්නේ ඔවුන් කිසිවෙකුටවත් අවංක නොවීමයි. ඔවුහු මුස්ලිම්වරුන්ට පහර දුන්හ. මුස්ලිම්වරුන්ගේ ව්‍යාපාර ගිනි තැබූහ. ද්‍රවිඩ ජනතාව සමූල ඝාතනය කළහ. ඔවුන්ගේ අයිතිවාසිකම් උදුරාගත්හ. වතුර ඉල්ලු සියනෑ කෝරළයේ සිංහල ජනතාව මරා දැමූහ. අස්ගිරි මල්වතු පාර්ශවය දෙකඩ කර සංඝ භේදය ඇතිකර ආනන්තරීය පාපකර්මයක් සිදුකළහ. එම පාපකර්මය පදනම් කොටගෙන බලයෙන් එළියට විසිවූ රාජපක්ෂලා තවමත් මේ රටත්, ජාතියත්, ආර්තිකයත්, ප්‍රජාතන්ත්‍රවාදයත් විනාශ කරමින් රට ගිනි තැබීමට උත්සහ කරති.

අස්ගිරි මල්වතු පාර්ශවයන් දෙකඩ කිරීමට උත්සහ කිරීමෙන් නොනැවතුණු රාජපක්ෂවරු අනුරාධපුර අටමස්ථානයටද අත තැබූහ. අටමස්ථානයේ විශාලතම ස්තූපය වන රුවන්වැලි සෑයට වඩා උසින් හා විශාලත්වයෙන් යුත් සෑයක් අනුරාධපුර පූජා නගරය තුළ ඉදිකොට අස්ගිරි මල්වතු පාර්ශවය දෙකඩ කර ගොඩනගන ලද නව පාර්ශවයකට බාරදීමට සැලසුම් කළේය. මේ සියලු කටයුතු සිදුකරනු ලැබුවේ අටමස්ථානාධිපති හිමිවරුන්ගේ දැඩි විරෝධතාවය මධ්‍යයේ රණවිරුන්ගේ නාමයෙනි. මේ සියලු කටයුතුවල මූලික පදනම වූයේ ඔවුන්ගේ පරම්පරා ගණනකට මුදල් ඉපයීමය. මර්වින් සිල්වා කැළණියේ වගුරු බිමක් පුදබිමක් කරමින් දැවැන්ත කෝවිලක් ඉදිකරන ලද්දේද එම අභිලාෂයෙනි. බුදු දහම දේශපාලන උපකරණයක් කරගත් පසුගිය රෙජීමය අත්හැරීම වෙනුවට බදාගැනීම ප්‍රගුණ කළේ එසේය. මේ පිළිබද අවධානය යොමු කරන විට මට සිහියට නැගෙන්නේ අපේ ගමේ බුද්ධදාසය. ඔහු රස්සාවට කළේ ගගේ මාළු ඇල්ලීමය.

මෙම නිසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියනවාක් මෙන් මෙම ආනන්තරීය පාපකර්මයෙන් යම් ආකාරයක හෝ සහනයක් ලැබීමට අවශ්‍ය නම් රාජපක්ෂවරුන් කළ යුත්තේ අස්ගිරි මල්වතු පාර්ශවයේ පන්සලකට ගොස් දිග ඇදී වැද වැටී සමාව අයැද මාසයක කාලයක් ඉදලක් ගෙන අස්ගිරි පන්සලේ හතර කොණ ඇමදීමය. එසේම නැවත අනුරාධපුරයට ගොස් අටමස්ථානාධිපති මහානායක ස්වාමීන්වහන්සේ අබියස දිග ඇදී වැද වැටී සමාව අයැද මාසයක කාලයක් ඉදලක් ගෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ හතර කොණ ඇමදිය යුතුය. එසේම තවත් මාසයක කාලයක් අපේ රුවන්වැලි සෑයේ මහනායක ස්වාමීන්වහන්සේ අබියස ඉහත කී ආකාරයටම දිග ඇදී වැද වැටී සමාව අයැද මාසයක කාලයක් තිස්සේ ඉදලක් ගෙන රුවන්වැලි සෑ මළුව හතර කොණ ඇමදිය යුතුය. මෙම වතාවත් සිදුකළ පසු වෙනත් පාප නැතිනම්, එළොව කෙසේ වෙතත් මෙලොව ජීවිතයේදී රාජපක්ෂවරුන්ට සැනසීමක් ලැබෙනු ඇත.

කෙසේ වුවද විහාර හා දේවාලගම් පනතින් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට ලැබී ඇති බලතල අනුව ආගමික ස්ථාන ආදායම් විගණනය පවත්වාගෙන යා යුතු අතර, එය බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ වගකීමකි. එසේම අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා යෝජනා කරන පරිදි පුරාණ ආගමික ස්ථානවලට විදේශ සංචාරකයින්ගෙන් ලැබෙන අතිවිශාල ධනයෙන් කොටසක් එම එම පුරාවිද්‍යා වටිනාකමකින් යත් ස්ථාන සංරක්ෂණය කිරීම සදහා යෙදවිය යුතුය.

Sunday, July 2, 2017

රනිල් පරාජය කළහැක්කේ කෙසේද ?



ශ්‍රී ලංකාව වැනි ඉහල දේශපාලන සාක්ෂරතාවයක් හා උනන්දුවක් ඇති රටක ආණ්ඩුවක පැවැත්ම තීරණය කරනුයේ එම රටේ වාසය කරන ජනතාවගේ ඕනෑ එපාකම්වලට අනුවය. එබැවින් එවැනි සමාජයක් සහිත රටක දේශපාලන පක්ෂ, දේශපාලන නායකයින් හා මතහසුරුවන්නන්හට ඉහල වටිනාකමක් ලැබේ. එසේම එවැනි සමාජයක් සහිත රටක ජනමාධ්‍ය සුවිශේෂී තත්ත්වයක් උසුලනු ලබයි.

මේ නිසාම ශ්‍රී ලංකාවේ වර්ථමාන දේශපාලන තත්ත්වය හා අනාගතය ගැන විමසා බැලීමේදී අපට පෙනීයන්නේ පවතින ආණ්ඩුවේ පැවැත්ම තීරණය කරනු ලබන ප්‍රධාන සාධකය බවට පත්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ක්‍රියාකාරිත්වයයි. එම ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් එක්අතකින් පක්ෂ අභ්‍යන්තරයේ නොඉවසිලිමත් බවක් වර්ධනයවී ඇති බවද පෙනීයයි. ඒ පක්ෂයේ කේඩරයෙන් පක්ෂයේ ප්‍රාදේශීය මට්ටමේ නායකයින්ගේ සිට ජාතික මට්ටමේ නායකයින් දක්වා එල්ලවෙමින් පවතින අභ්‍යන්තර පීඩනය එහි අවසාන නැවතුම්පල වන රනිල් වික්‍රමසිංහ දක්වා එල්ලවීමයි.

රජයේ රැකියා පාක්ෂිකයින්ට ලබාදීම, රජයේ කොන්ත්‍රාත් පක්ෂයට හිතවත් කොන්ත්‍රාත්කරුවන්ට ලබාදීම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් පලවාහැරීම වැනි යෝජනාවන් පදනම්කොටගෙන පක්ෂ අභ්‍යන්තරයේ ඇතිවී තිබෙන මෙම උණුසුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් බරපතල ලෙස ගෙනඇති බව මාගේ විශ්වාසයයි. නමුත් ජනවාරි 08 වනදාත්, අගෝස්තු 17 වනදාත් මේ රටේ බහුතර ජනතාව එක්සත් ජාතික පක්ෂයට බලය ලබාදුන්නේ පාක්ෂිකයින්ට අවිධිමත් ලෙස රැකියා ලබාදීමට හෝ රජයේ කොන්ත්‍රාත් නුසුදුස්සන්ට ලබාදී රජයට පාඩු සිදුකිරීමට නොව වඩාත් සාධාරණ ක්‍රමවේදයන් මත ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමටය. එහිදී අගමැතිවරයා ජනවරමට අනුව කටයුතු කිරීමට උත්සහ කරන අතරම පක්ෂයේ පීඩනය කලමනාකරණය කිරීමටද උත්සහ කරයි. මන්ද පාක්ෂීකයා ඡන්දපොලට ගෙනයෑම ඕනෑම මැතිවරණයකදී පක්ෂයක් මුහුණදෙන ප්‍රධානතම අභියෝගයකි. එම අභියෝගයට එක්සත් ජාතික පක්ෂය මුහුණදෙමින් සිටින අතර එහි සාර්ථකත්වය මත රනිල් වික්‍රමසිංහගේ පැවැත්ම තීරණය වනු ඇත.

එය එසේ වුවද අසාධාරණ ලෙස රැකියා ලබාදෙමින් පක්ෂ අභ්‍යන්තරයේ කේඩරවරුන් කොන්ත්‍රාත්වලින් මුදල් ගසාකමින් අපකීර්තියට පත්වුවහොත් එමගින් විශාල හානියක් පක්ෂ යාන්ත්‍රණයට සිදුවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ග්‍රාමීය මට්ටමේ නායකයින්ගේ හොර ලේබලය අදත් සෝදා පිරිසිදුකල නොහැකි පාරාවළල්ලක් බවට එම පක්ෂය තුළ පත්වී තිබේ. පසුගිය ආණ්ඩුව කාලයේ බැසිල් රාජපක්ෂ විසින් ග්‍රාමීය මට්ටමේ නායකයින් වෙත බෙදාදෙන ලද ඊනියා සංවර්ධන ප්‍රතිපාදන ගසාකෑම් නිසාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ග්‍රාමීය මට්ටමේ යාන්ත්‍රණය හොරුන්, දූෂකයින් හා රස්තියාදුකාරයින්ගෙන් පිරීගිය එකක් බවට පත්ව තිබේ. එම නිසාම කවුරුන් කෙසේ කීවත් මැතිවරණයකදී මධ්‍යම පාන්තික හා මධ්‍යස්ථ ඡන්ද දිනාගැනීමේ නොහැකියාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පවතී. රනිල් වික්‍රමසිංහට අවශ්‍යවන්නේ එක්සත් ජාතික පක්ෂ යාන්ත්‍රණයෙන් පිරිසිදු, විශ්වාස කළහැකි, මධ්‍යම පන්තිය හා ගණුදෙණු කළ හැකි, මධ්‍යස්ථ ඡන්දවලට කතාකළහැකි යාන්ත්‍රණයක් ලෙස පවත්වාගැනීමයි. එමනිසා පක්ෂ අභ්‍යන්තරයේ උණුසුමට මැති ඇමතිවරු විසදුම් සෙවිය යුතු අතර අපේක්ෂාකරන පරිදිම පක්ෂ යාන්ත්‍රණය ජනතාවට විශ්වාස කළහැකි, පිරිසිදු, වැදගත් මට්ටමින් පවත්වාගත යුතුයැයි රනිල් වික්‍රමසිංහ සිතයි. රනිල් වික්‍රමසිංහ හෝ එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමට කවුරුන්හෝ සිතන්නේනම් කළයුතු එක් ව්‍යාපෘතියක් වන්නේ එක්සත් ජාතික පක්ෂ යාන්ත්‍රණය බිම්මට්ටමේ සිට ඉහලට අන්ත දූෂිත, රස්තියාදුකාර, විනාශකාරී එකක් බවට පත්කිරීමයි. එසේ නොවනතාක්කල් ඉදිරි දශකය තුළ එක්සත් ජාතික පක්ෂයට බලය හෙබවිය හැකිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිල ආණ්ඩුව සමග කටයුතු කිරීම අවාසිසහගත ලෙස පෙනුනේ පක්ෂයේ කේඩරවරුන්ට ආණ්ඩුවේ ලාභ ප්‍රයෝජන ලබාගැනීමට ඇති සීමාකම්වල ඇති අර්ථයෙනි. එසේ නොමැතිනම් ආසන 105ක් ගත් එක්සත් ජාතික පක්ෂයට ආසන 150ක් සහිත තුනෙන් දෙකක බහුතරයක් සහිත බලවත් ආණ්ඩුවක් ලැබී තිබේ. රනිල් වික්‍රමසිංහ හෝ එක්සත් ජාතික පක්ෂය පරාජයකිරීමට කවුරුන් හෝ සිතන්නේනම් කළයුතු අනෙක් කාරණය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂයට තල්ලුකිරීමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව සමග කටයුතුකිරීම මගින් දුර්වල වන්නේ එක්සත් ජාතික පක්ෂය නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. එම යතාර්ථය එක්සත් ජාතික පක්ෂයේ කේඩරවරුන් විසින් හදුනාගත යුතුය.

දෙමළ, මුස්ලිම් හා කතෝලික ඡන්ද පදනම මුලුමනින්මපාහේ ගණුදෙණු කරනුයේ එක්සත් ජාතික පක්ෂය සමගය. මහින්ද රාජපක්ෂ රජයේ ජාතිකවාදී ප්‍රතිපත්ති නිසාවෙන් සිංහල බෞද්ධ ඡන්ද 70% යි 30% ට බෙදුනු අවස්ථාවේ ඉතාම අපහසු අඩියකට පක්ෂය වැටී තිබූ එම මොහොතේ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය සියළුම ජාතීන්ට, සියළුම ආගම්වලට ගණුදෙණු කළහැකි, එම පක්ෂයේ මූලික හරයන්ට අදාලව පවත්වාගෙන ගියේය. පක්ෂ අභ්‍යන්තරයෙන් විශාල පීඩනයක් එල්ලවද්දී කිසිදු හේතුවක් මත එක්සත් ජාතික පක්ෂය බහුවාර්ගික හා බහුආගමික පීල්ලෙන් පිටතට ගෙනඒමට රනිල් වික්‍රමසිංහ කටයුතු නොකළේය. එහි ප්‍රතිඵලයක් ලෙස 2015 ජනවාරි 08 වනදා නැවත බලය ලබාගත්තේය. කාටහෝ රනිල් වික්‍රමසිංහත්, එක්සත් ජාතික පක්ෂයත් පරාජය කිරීමට අවශ්‍යනම් කළයුත්තේ හැකිතාක් ඉක්මනින් පක්ෂයේ මූලික පදනමෙන් මිදී රටේ ජාතික සංහිදියාවට හානිවන දේශපාලන ව්‍යාපෘතිවල නිරතවීමයි. එසේ නොවනතාක්කල් ඉදිරි දශකය තුළ කවුරු මොනවා කිවුවත්, පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතන කුමන ආකාරයකට කටයුතු කළත්, එක්සත් ජාතික පක්ෂයත්, රනිල් වික්‍රමසිංහත් බලයේ සිටිනු ඇත.

විද්‍යුත් මාධ්‍ය හා රටේ සාම්ප්‍රධායික මාධ්‍යට රටේ ජනමතයට කළහැකි බලපෑම සීඝ්‍රයෙන් අහෝසිවෙමින් යන අතර සාම්ප්‍රධායික මාධ්‍ය ආයතනද එම ආයතන පවත්වාගෙනයාමේ විශාල අරගලයක නිරතවසිටී. ඔවුන්ට ආර්ථික, සමාජීය හා දේශපාලනික ගැටළු රාශියකට මුහුණදීමට සිදුවීතිබේ. එයට ප්‍රධානතම හේතුව සමාජ ජාලා වෙබ්අඩවිවල නැගීසිටීමයි. ඉතිහාසයේ කවරදාකටත් වඩා අදහස් ප්‍රකාශකිරීමේ නිදහස සීඝ්‍රයෙන් වර්ධනයවී, සරලවී ඇති මොහොතක සමාජ මාධ්‍ය රටේ ජනගහනයෙන් මිලියන 4ක් භාවිතකිරීමට ආරම්භකර ඇති අතර 2020 වෙද්දී එය මිලියන 8ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කරඇත. මිලියන 22ක් ජීවත්වන රටක මිලියන 8ක් යනු විශාල  සංඛ්‍යාවක් වන අතර රටේ දැනුම් තේරුම් ඇති සියළුමදෙනා මෙම මිලියන 8ට ඇතුලත්වේ. එබැවින් කාටහෝ රනිල් වික්‍රමසිංහත්, එක්සත් ජාතික පක්ෂයත් පරාජය කිරීමට අවශ්‍යනම් කළයුත්තේ සමාජ ජාලා හා වෙබ්අඩවිවල දේශපාලන සහභාගීත්වය පිළිබද අඩු තක්සේරුවකින් කටයුතු කිරීමයි.