Monday, December 19, 2016

යූ.එන්.පී යට සරළ බහුතරයක් මිස තුනෙන් දෙකක් මොකට ද ?



පසුගිය සතිය යහපාලන ආණ්ඩුවේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ සතියකි. මක් නිසාද යත් අයවැය පාර්ලිමේන්තුවේ ඡන්ද 165 ක් ලබා ගනිමින් තුනෙන් දෙකකටත් වඩා වැඩි බහුතරයකින් ජයග්‍රහණය කරන ලදි. නමුත් මා කියන්න අදහස් කරන්නේ රජයේ එම ජයග්‍රහණය ගැන නොව, එම ඡන්දයට පෙර දින උදෑසන එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාර ඉදුනිල්, මුජිබර් රහුමන් ඇතුළු තවත් මන්ත්‍රීන් කිහිපදෙනෙකු ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් පවත්වා ආණ්ඩුවේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ට දැඩි විවේචනයක් එල්ල කළේය. එසේම ඉන්නට බැරිනම් ආණ්ඩුවෙන් යන ලෙසද ප්‍රකාශ කළේය. එය සංකේතීය තර්ජනයකි.

මා සිතනුයේ අයවැය ඡන්දයට දිනකට පෙර එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් ප්‍රකාශ කරන්නට යෙදුණු එම ප්‍රකාශයට විශාල දේශපාලන අරුතක් ඇති බවයි. එය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ඔවුන් කියනුයේ උඹලා අපේ ආණ්ඩුවේ කකුලෙන් අදිමින් එක්සත් ජාතික පක්ෂයට හා පාක්ෂිකයින්ට ලැබිය යුතු රජයේ රැකියාවන්, තනතුරු, මැති ඇමතිධූර හා රාජ්‍ය බලය භුක්ති විදිමින් නොසිට මුලු ආණ්ඩුවම එක්සත් ජාතික පක්ෂයට දී එළියට බසින ලෙසය. මා පෞද්ගලිකව සිතනුයේ එම ප්‍රවෘත්ති සාකච්ඡාව අවස්ථාව වන විට ආණ්ඩුව දෙමළ සන්ධානයේ තොණ්ඩමන් පිළේ හා ඩග්ලස් දේවානන්ද පිළේ මන්ත්‍රීවරුන්ගේ ඡන්ද අයවැයට පක්ෂව ලබාගෙන එම අවස්ථාව වන විටත් දෙකෙන් එකේ වැඩි බහුතරය ලබාගෙන තිබු බවයි.

නමුත් පසුදින අයවැය ඡන්දයේදී ඊට දින කිහිපයකට පෙර ප්‍රවෘත්ති සාකච්ඡා තබා අගමැතිවරයාත් එක්සත් ජාතික පක්ෂයත් විවේචනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු හා හූවක් නොමැතිව අයවැයට ඡන්දය දුන්නේය. එය එක්තරා ආකාරයකට පසු බැසීමකි. සංකේතීයව තවදුරටත් ඔවුන්ට ආණ්ඩුවේ වරප්‍රසාද භුක්ති විදිමින් ආණ්ඩුවේ කටයුතු වලට අකුල් හෙළීමටත්, ආණ්ඩුවේ කටයුතු අවුල් කිරීමටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනි ආණ්ඩු හැදීමටත් කුමන්ත්‍රණය කිරීමට ඇති තාර්කික හැකියාව මෙරට ජනතාව අතර අවලංගු කර ගැනීමකි.

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් හා පාක්ෂිකයින් ප්‍රාර්ථනා කරනුයේ තුනෙන් දෙකක ආණ්ඩුවක් නොව එක්සත් ජාතික පාක්ෂිකයින් ඉන්න, ඔවුන් මැති ඇමතිධූර දරණ තමන්ගේ මිනිස්සුන්ට රස්සාවල් හම්බවෙන, සරළ බහුතරයක් ඇති යු. එන්. පී. ආණ්ඩුවකි. එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධීකාරී මණ්ඩල තීන්දුවකින් පවතින ජනාධිපතිධූරය පවත්වාගෙන යන්නේ නම්, ඒ සදහා කටයුතු කිරීමට පාර්ලිමේන්තු කණ්ඩායමට බලය පවරා තිබේ. එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තුනෙන් දෙක පෙන්වමින් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ විනාශ කරන බවට තර්ජනය කරමින්, එක්සත් ජාතික පක්ෂයට බලපෑම් කිරීමට ඇති හැකියාව අහිමිකොට ගෙන ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ රටේ සිදු නොවන්නේ නම්, ඒ සදහා කකුලෙන් අදින්නේ නම් තනි යු. එන්. පී. ආණ්ඩුවක් ගොඩ නැගීම පක්ෂයේ පැවැත්මටද, රටේ පැවැත්මටද හිතකරය. එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් කියනා පරිදි ජනාධිපතිතුමා සමග එක්සත් ජාතික පක්ෂයට සරළ බහුතරයකින් ආණ්ඩුවක් ඉදිරි වසර තුන හමාරක කාලයට පවත්වාගෙන යා හැකිය. ජනාධිපතිතුමා පත්කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් විසිනි. එබැවින් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඔවුන් තුළ කොහොමටත් ගෞරවයක් පවතී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ට ඉන්පසු කළ හැක්කේ තමන් වසර විස්සක් තිස්සේ භුක්ති විදින රාජ්‍ය බලය, කොන්ත්‍රාත්, යාන වාහන, නිල නිවාස, පඩුරු පාක්කුඩම් හා සියලුම වරප්‍රසාද අතහැර මහින්ද රාජපක්ෂගේ පිළ මෙන් මහ පාරට වැටී උද්ඝෝෂණ කරමින්, රැස්වීම් තබමින්, අතින් පෙට්‍රල් ගසමින්, දේශපාලන දුෂ්කර ක්‍රියාවේ යෙදීමයි. එසේ යෙදුනද ඔවුන්ට දේශපාලනික පැවැත්මක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් අතර නොමැති අතර ජනතාවගෙන් බලු බැනුම් අසමින් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ හොරුන් අතර හොරුන් වෙමින් රාජ්‍ය බලයෙන් වසා සිටින සුදු රෙදි වෙනුවට අදුරු පැහැති පාන්කඩ එළියට ප්‍රදර්ශනය කරමින් දුක් විදීමටය. මෙම සිදුවීමෙන්, අයවැයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් සතුව තිබු එක්සත් ජාතික පක්ෂයට බලපෑම් කිරීමේ තාර්කික හැකියාව අහෝසි වූ බව මගේ හැගීමයි.

එසේම පසුගිය සතියේ සිදු වූ අනිත් සිදුවීම වන්නේ හම්බන්තොට මාගම්පුර වරායේ සිදු වූ සිදුවීම් දාමයයි. එහිදි අප කවුරුත් දැනටමත් දන්නා පරිදි වරායේ කොන්ත්‍රාත් සේවකයින් විසින් මාගම්පුර වරායේ නවතා තිබු භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකක් අත්අඩංගුවට ගෙන පැය 72 කට වඩා වැඩි කාලයක් රදවා ගත්තේය. එය ජාත්‍යන්තර නාවුක නීතියට අනුව මුහුදු මංකොල්ලයකි (piracy).

රජය වරායේ කොන්ත්‍රාත් සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය සහතික කොට තිබියදී කඩාකප්පල්කාරී ලෙස වරායේ පොදු දේපළ වලට හානී සිදු කරමින් සේවකයින්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම පාලනය කිරීමට නාවික හමුදාවට අදාළ නියෝග රජය විසින් නිකුත් කරනු ලැබුවේය. නාවික හමුදාපතිවරයාට ඒ සදහා පෞද්ගලිකව මැදිහත් වීමට සිදුවූයේ හේතු දෙකක් මතය. එකක් ඔහු හොදින් පුහුණුව ලැබු පයිලට්වරයෙකු නිසාත්, අනෙක් කාරණය ඉන්දියානු සාගරයේ මුහුදු මංකොල්ලකෑම් වලින් තොරව පවත්වාගෙන යාමේ විශාල වගකීමක් ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා සතුව තිබෙන බැවිනි. එම සිදුවීම් දාමයෙන් පසු රට තුළ විවිධාකාරයේ උද්ඝෝෂණ නාවික හමුදාපතිවරයාට එරෙහිව පැන නැගුණද, රජය දැඩි ලෙස නාවික හමුදාපතිවරයා ආරක්ෂා කරනු ලබන ස්ථාවරයක සිටියේය.

මෙහි අපූරු සරදම වන්නේ හමුදා රණවිරුවන් වෙනුවෙන් දිවි නොතකා සටන් කරනවා යැයි කියනු ලබන, ඔවුන් වෙනුවෙන් මුදල් එකතු කරන, ප්‍රවෘත්ති සාකච්ඡා තබන ඒකාබද්ධ විපක්ෂය, ජාතිකවාදීන් හා ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කකුල් මාට්ටු දමන්නෝ හදිසියේම නාවික හමුදාපතිවරයාට හා නාවික හමුදාවට එරෙහිව ප්‍රාදේශීය මාධ්‍යවේදියාගේ පැත්තගෙන කටයුතු කිරීමය. මෙය ඔවුන්ගේ ස්ථාවරය උඩු යටිකුරු කිරීමකි.

මෙයින් මාගේ නිගමනය වන්නේ ඒකාබද්ධ විපක්ෂයටත් මෙරට ජාතික බලවේග වලටත් හොදින් සංවිධානය වූ න්‍යායාත්මක පදනමක් නොමැති අතර මාධ්‍ය ආයතන කිහිපයක කුඩා මාධ්‍යවේදීන් ඔවුන්ගේ දවසේ ප්‍රවෘත්ති විකාශය තුළ ගොඩනගනු ලබන සරළ තර්ක මත දේශපාලන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි. එය ආණ්ඩුවක් ගෙදර යැවීමට තරම් ප්‍රබල දේශපාලන ක්‍රියාදාමයක් නොවේ.

No comments:

Post a Comment