Sunday, May 20, 2018

දුෂ්ට මතවාද

ආණ්ඩුවේ කටයුතු පිළිබඳව ජනතාව තුළ එක්තරා ආකාරයක විචිකිච්ඡාවක් ඇති වී තිබේ. ඒ සඳහා බලපානු ලබන ප්‍රධානම හේතුවක් ලෙස මා හට පෙනී යන්නේ මෙම ආණ්ඩුවේ කටයුතු වල ඇති විනිවිදභාවය හා ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයයි. විශේෂයෙන් ආණ්ඩුවේ කටයුතුවල විශේෂ රහස් ස්වභාවයක් දැකිය නොහැකි අතර රට තුළ සිදුවන සියලුම කටයුතු මහජනතාවට හා ජනමාධ්‍ය වලට විවෘත වී තිබේ. එය එක අතකින් ප්‍රජාතන්ත්‍රවාදයේ දියුණු ලක්ෂණයක් වන අතරම තුන්වන ලෝකයේ රටක් වන අපගේ ජනතාවට එය එක්තරා ආකාරයක අලුත් අත්දැකීමක් වේ. විශේෂයෙන් පසුගිය වසර හැත්තෑවක කාලය තුළ මෙම වසර තුන තරම්ම ආණ්ඩුවේ කටයුතු වලට ජනතාවගේ මැදිහත් වීමක් හෝ විවේචනයන් ඉදිරිපත් වූ අවස්ථාවක් දැකිය නො හැකිය.

මෙම ආණ්ඩුව බලයට පත්වන්නේ එම ජනතාවට එවැනි තොරතුරු දැනගැනීමට ඇති අයිතිය ආදී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හා ලක්ෂණ, ආර්ථික ප්‍රතිසංස්කරණ  පොරොන්දු වෙමිනි. නමුත් මෙම කටයුතු සිදුකිරීමේදී ආණ්ඩුවේ මෙම ලක්ෂණය දුර්වලතාවක් ලෙස දැකීමට ද සමහරක් අය පුරුදු වී තිබේ. විශේෂයෙන් ආණ්ඩුවේ සියලුම කටයුතු සඳහා ජනතාවගේ මැදිහත් වීම ඉතා විශාල ලෙස ඉහල ගොස් ඇති අතර එය බදු ගැසීමේ සිට පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම දක්වාත්, සෞඛ්‍ය හා රෝගීන්ට වෙදකම් කිරීමේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය පරිපාලනය කිරීම දක්වාත් සියලුම ක්ෂේත්‍ර තුළ මුල සිට අගටත්, අගසිට මුලට ජනතාවගේ මැදිහත් වීමක් දැකිය හැකිය.

ආණ්ඩුවේ තොරතුරු දැනගැනීමේ පනත අද ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පරිපාලන ක්‍රමයේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩත් මෙම මහජන මැදිහත් වීමට විශාල උපකාරයක් වී තිබේ. එය එක් අතකින් දියුණු ලක්ෂණයක් ලෙස පෙනුනද අනිත් අතින් ආණ්ඩුවේ වැඩකටයුතු වලට විශාල බාධාවක් වී තිබෙන බව ද මා හට පෙනී යයි. මෙම තත්ත්වය අවස්ථාවාදී දේශපාලන ව්‍යාපාර වලට හා පසුගිය රෙජීමය විසින් පරාජය නොකරන ලද කණ්ඩායම් නැවතත් එම දුෂ්ඨ මතවාදය ද සමග නැගී සිටීමට මෙම තත්ත්වය ඉවහල් වී තිබෙන බව මගේ නිරීක්ෂණයයි. ඒ කෙසේ නමුදු 2015 ජනවාරි 8 වෙනිදා මෙම ආණ්ඩුව මේ රටේ ජනතාවට පොරොන්දු වූ පරිදි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඉටු කිරීමට ඇප කැප වී ඇති බව පෙනී යයි.

නමුත් ප්‍රශ්නය ඇත්තේ ආණ්ඩුව විසින් යෝජනා කරනු ලබන අලුත් ප්‍රතිසංස්කරණ යෝජනා පිළිබඳව සෑම විටම ජනතාව සැක සහිතව බැලීමට පෙළඹවීමයි. එයට ප්‍රධාන හේතුවක් වන්නේ සියලු තොරතුරු ජනගත වීමට ඇති අපහසුවයි. විශේෂයෙන් සමාජ ක්‍රියාකාරීත්වයත්, ආණ්ඩුවේ නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වයත් මෙම සත්‍යයට හේතුවී ඇති බව මාගේ තක්සේරුවයි. මෙය කෙතරම් විපරීත තත්ත්වයක් දැයි කිවහොත් ආණ්ඩුව මගින් සියලුම දෑ නොමිලේ ලබාදිය යුතු යැයි ජනතාව අපේක්ෂා කරනු ලබන අතර අධ්‍යාපනය සෞඛ්‍ය හා අනිකුත් සියලුම පහසුකම් ඉහළ මට්ටමෙන් ජනතාව අපේක්ෂා කරන අතර අනෙක් අතින් ආණ්ඩුවේ ආදායම ඉහළ නංවා ගැනීම සඳහා ආණ්ඩුව විසින් යෝජනා කරනු ලබන ක්‍රමවේදයන්ට මාරාන්තික විරෝධයක් රට තුළ ඇති කොට තිබේ. රටේ ජනතාව හා විපක්ෂ කණ්ඩායම කල්පනා කරන ආකාරය තේරුම් ගැනීමට හොඳම උදාහරණය, ආණ්ඩුව රජයේ ආදායම ඉහළ දමාගැනීම සඳහා සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණ සඳහා දක්වනු ලබන විරෝධය දක්වා සිටිය හැක.

සැබවින්ම පසුගිය රෙජීමය විසින් මෙම ආණ්ඩුවට රට භාරදෙන විට ආණ්ඩුවේ ආදායම මුළු ජාතික ආදායමෙන් 11% තත්ත්වයේ තිබිණි. නමුත් ලංකාව වැනි මධ්‍යම ප්‍රමාණයේ ආර්ථිකයක් ඇති රටක රජයේ ආදායම රටේ මුළු ජාතික ආදායමෙන් සියයට 22% තත්වයේ තිබිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් නිර්දේශ නිකුත් කොට තිබිණි. එම තත්ත්වයන්ට ආණ්ඩුවකට එකඟ විය නොහැකි නම් එම මූල්‍ය ආයතන විසින් කිසිදු විටක මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙනු නොලැබේ. මන්දයත් රජයේ ආදායම එතරම් අඩු තත්ත්වයක තිබියදී මුදල් නැවත ගෙවීමට ඇති හැකියාව ඉතාම අවම මට්ටමේ ඇති බැවින් කිසිදු මූල්‍ය ආයතනයක් ණය ලබාදෙනු නොලැබේ. එම නිසා මෙම ආණ්ඩුව බලයට පත් වූ විට තිබූ ප්‍රධානතම අභියෝගයක් වූයේ රජයේ ආදායම අවම වශයෙන් 18% මට්ටමටවත් පවත්වා ගත යුතු වීමයි. ආණ්ඩුව විසින් ඒ සඳහා බදු ක්‍රමය මාරු කිරීම සඳහා බදු පනතක් ඉදිරිපත් කළ අතර අපේ මුළු ආදායමෙන් සියයට අසූවකටත් වඩා ලබාගත් වක්‍ර බදු ක්‍රමය වෙනුවට ඍජු බදු ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මෙමගින් ආණ්ඩුව මූලික වශයෙන් අපේක්ෂා කරනු ලබන්නේ බදු ගෙවිය හැකි බදු ගෙවිය යුතු අයගෙන් බදු අයකොට දුප්පතුන්ගෙන් අයකරන බදු නවතා දැමීම හෝ අවම කිරීමයි. මන්දයත් වක්‍ර බදු මගින් හාල්, පොල්, සීනි, තේ කොළ හා කොත්තමල්ලි වැනි දෑට විශාල වශයෙන් බදු අය කොට එම බදු භාවිතා කරනු ලබන දුප්පතුන්ගෙන් එය අය කර ගැනීම ඉතාම අසාධාරණ ක්‍රමයකි. මෙම නිසා විශාල ආදායම් ලබන්නන්ගෙන් බදු අයකර ගනිමින් රජයේ ආදායම ඉහළ දමා ගැනීම ආණ්ඩුවේ අරමුණයි.

පසුගිය රෙජීමය විසින් සිදු කරන ලද්දේ විශාල වශයෙන් චීනයේ වාණිජ බැංකුවලින් ණය ලබාගෙන එම මුදල් රටේ ආර්ථිකයට එකතු කරගනිමින් රජයේ ආදායම ඉහළ දමාගැනීමට කිසිදු උත්සාහයක් නොගෙන රට පවත්වාගෙන යෑමයි. මෙම ආණ්ඩුව බලයට පත්වන විට එහි අවසානයකට පැමිණ තිබූ අතර තවදුරටත් ණය ලබාගත නොහැකි තත්ත්වයකට රට පත්වී තිබුණි.

මේ අනුව කිව හැක්කේ එක අතකින් රජයේ ආදායම වැඩිකර ගැනීමට රජය දරන උත්සාහයට මාරාන්තික විරෝධයක් හා බාධාවන් සිදුකරන අතර අනිත් අතින් රජයේ සුභසාධන කටයුතු ඉහළ දමන ලෙස රජයට බලපෑම් කිරීමයි. මෙම දෙක අතර ඇති අන්තර් සම්බන්ධය තේරුම් ගැනීමට හෝ එහි ඇති යතාර්ථවාදී බව අවබෝධ කර ගැනීමට කිසිවෙකුටත් අවශ්‍යතාවයක් නැති බව පෙනීයයි.

Tuesday, May 15, 2018

ආණ්ඩුව ප්‍රචාරය හා මිත්‍යාව


යහපාලන රජය බලයට පත් වීමට ප්‍රථමයෙන් ලංකාවේ දේශපාලන සන්නිවේදනයේ කෙරුමෝ සියල්ල සිටියේ එවකට පැවති ආණ්ඩුව සමගිනි. ජනමාධ්‍ය ආයතන රාජපක්ෂවරුන්ට වහවැටී සිටියේය. මන්ද රජයේ මුදල්, ප්‍රචාරයට වියදම් කිරීමේදී කිසිදු වගවීමක් නොතිබුන රාජපක්ෂවරුන්ට අවශ්‍ය ඕනෑම ආකාරයකට ප්‍රචාරය දීමට ඔවුන් සැදී පැහැදී සිටියේය. රටේ සියලුම විද්‍යුත් ජනමාධ්‍ය ආයතන, පුවත් පත්, වෙබ් හා ලියන කියන මහත්වරු සියල්ල මහින්දගේ පැණි මුලට වහවැටී සිටියේය. විපක්ෂයට සතුව තිබුනේ මංගලගේ සම්බන්ධයන් තිබු වෙබ් පිටු කීපයත්, යුද හමුදාවේ බුද්ධි අංශය මගින් විපක්ෂයේ සටන් වලට යොදවා තිබු නිලධාරීන් විසින් පවත්වාගෙන ගිය වෙබ් පිටු 2ත් පමණි. (ඔවුන් කවුදැයි අපි හදුනාගෙන සිටි අතර දැලි පිහියෙන් කිරි කෑමට ඉගැන්වූයේ අප අතරින් සදහටම වෙන් වූ අසංග කරුණාරත්නය. ඒ ගැන පොතක් වුව ලිවිය හැකිය)
අවසාන මොහොතේදී හිරු එකතු වූ අතර සිරස වැනෙමින් නමුත් විපක්ෂයට යම් සහයක් ලබා දෙනු ලැබුවේය. මෙම තත්ත්වය නිසාම නිර්මාණශීලි තරුණ තරුණියන්ට සැලකිය යුතු ඉඩක් විවර වූ අතර නව යොවුන් වියේ සිටි කණ්ඩායම් ආණ්ඩු විරෝදී වෙබ් පිටු හා සමාජ ජාලා වැඩසටහන් වෙනුවෙන් පෙළ ගැසුණි. විශේෂයෙන් එවකට විපක්ෂයේ මාධ්‍ය මෙහෙයුම් බාරව සිටි බොහෝ දෙනෙකුට සමාජ මාධ්‍ය පිළිබද අද තරම් අවබෝධයක් නොතිබුන බැවින් තරුණ කණ්ඩායම් වලට නිදහසේ වැඩ කටයුතු කිරීමට අවස්ථාවක් ලැබුණි. මාගේ පුද්ගලික තක්සේරුවනම් මුළු රටේම ලක්ෂ පහක පමණ තරුණ පිරිසක් අවිදිමත් ආකාරයෙන් එම මැතිවරණයේදී පොදු අපේක්ෂකයා දිනවීමට කටයුතු කල අතර එය ලංකාවේ දේශපාලන ව්‍යාපාරයක වැඩිම ජන ක්‍රියාකාරිත්වයක් ලැබුණු අවස්ථාවයි. එම මැතිවරණ ව්‍යාපාරයේදී සමාජ මාධ්‍ය වෙනුවෙන් මුදල් වෙන් නොවුණු අතර ප්‍රජා සහභාගීත්ව ප්‍රවේශයකින් සිදු විය. කලකට ඉහත සමාජ ක්‍රියාකාරීන් වහවැටී සිටි PR ක්‍රමය හොදින් භාවිතයට ගත අවස්ථාවක් විය. සමාජ මාධ්‍ය යනු තොරතුරු තාක්ෂණයට අදාළ විෂයක් නොව මනෝ සමාජයීය විෂයක් බව මා ලියු විට දේශපාලන සන්නිවේදක කෙරුමෙකු මේ ලියුම්කරුට සත පහ දැමු හැටි තවම මතකයේ තිබේ. (අවුරුදු තුනයිනේ )

ජනවාරි නමවැනිදායින් පසු යුගය ඊට පෙර දිනයට වඩා වෙනස් දිනයකි. සියලුම දෙනා වෙහෙස මහන්සි වී වැඩ කරද්දී එදා විපක්ෂ බලවේගය තුල තවත් අපුරු කණ්ඩායමක් විය. ඒ දේශපාලන සන්නිවේදන කෙරුමෝය. ඔවුන් බොහෝ කාලයක් විපක්ෂයේ ගතකොට පරාජිත මැතිවරණ රාශියක කටයුතු කොට විපක්ෂ බලවේග අතර නම් දරු කණ්ඩායමයි. ඔවුන් තුල අපුරු අාකල්පයක්ද විය. එනම් උඹලා ආණ්ඩුව ගනිල්ලකෝ අපිනේ රට කොරන්නේ යන ආකල්පයයි. සමහර අවස්ථාවල ඔවුන් එය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කල අතර සබෑ ලෙසම එය එලෙසම සිදු විය.

ඉන්පසු පසුගිය වසර තුන තුල සැබෑ ලෙසම මෙම ආණ්ඩුව බලයට පත්කල බලවේග ආණ්ඩුවේ හෝ පක්ෂයේ ප්‍රචාරක යාන්ත්‍රණයට සම්බන්ධකරගැනීමට කිසිදු උත්සහයක් නොගත් අතර එම බලවේග පිළිබද එක්කෝ අවොබෝධයක් නොතිබිණි. නැතිනම් ඔවුන්ට සත පහ දැමිණි. එහි ප්‍රතිඵලය වුයේ සුපුරුදු හැම ආණ්ඩුවක් සමගම ගනුදෙනු කරන කණ්ඩායම් සමග කටයුතු කිරීමයි. එමගින් සිදු වී ඇති හානියෙහි දිග පළල මේ වන විට සියල්ලන්ටම අවබෝධ වී තිබේ. එසේ මෙම ප්‍රචාරක යාන්ත්‍රණයට පාක්ෂිකයින් සම්බන්ධ කරගැනීමට හැකියාව තිබූ බලවත් පුගලයින් අදාළ තනතුරු සියල්ල පත්කරනු ලැබුවේ අරුම පුදුම දේශපාලනයකටය. එහි ගද අද ආණ්ඩුව පුරාමය.

දැන් ආණ්ඩුව පැමිණ තිබෙනුයේ තීරණාත්මක තලයකටය. ඉදිරි මාස දහඅටක කාලය තීරණාත්මකය. මොලය සේවයට කැදවිය යුතු මොහොත මෙයයි. මොලය පාවිචියෙන් මිස වෙන කිසිදු ශරීර අවයවයකින් මෙම මොහොත ජයගත නොහැක්කේය. මේ මොහොතේ භාවිතයට ගත හැකි සෑම සම්පතක්ම, පුද්ගලයෙක්ම හා අදහසක්ම වටින්නේය. කුඩුකේඩුකම් වලට ඉඩක් හෝ කාලයක් නැත්තේය. නිවැරදිව මේ මොහොත කළමනාකරණය කල නොගතහොත් ආණ්ඩුව පමණක් නොව රටද ජීවිතද අහිමි වනු ඇත.

නැවත සමාජ මාධ්‍ය වලට දේශපාලන අධිකාරී බලයක් ලැබෙනුයේ ජාතික මැතිවරණයක් තුලදීය. එය කෘතිමව පාලනය කල හැකි සීමාවක් තිබේ. නමුත් සාම්ප්‍රදායික මාධ්‍ය ආණ්ඩුවේ ප්‍රචාරයට නිවැරදිව යොදා ගැනීමත්, එම තත්ත්වය පදනම් කර ගනිමින් සමාජ මාධ්‍ය මෙහෙයවීමත් කල යුතුය. ආණ්ඩුවට අද දේශපාලන තර්ජනයක් තිබෙනවානම් ඒ ප්‍රධාන වශයෙන් ලංකාවේ ⁣පුද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතන තුනකින්. ඒවා කලමනාකරණය කරන අතරම රජය මාධ්‍ය දේශපාලනිකව කලමනාකරණය කල යුතුය.

ඉදිරියේදී පැමිණෙන පළමු මැතිවරණය පැහැදිලිය. ඒ ජනාධිපතිවරණයයි. ඒ සදහා ඉදිරිපත්වීමට සුදුසුම පුද්ගලයා වනුයේ රනිල් වික්‍රමසිංහය. ඔහු ඉදිරිපත් නොවන්නේනම් පමණක් තවත් එක්සත් ජාතික පක්ෂ නායකයෙකුට ඉඩ ඇත්තේය.

අවසාන වශයෙන් කිවයුත්තේ වර්ථමාන ආණ්ඩුව තුල සියලුම වර්ගයේ මිනිසුන් සිටි. මෙවැනි සංකීර්ණ ආණ්ඩුවක් නිදහසින් පසු බිහිවී නැත්තේය. එසේම ආණ්ඩුව විසින් රටට ලබාදී ඇති ජයග්‍රහණ බොහෝය. ඒවා ඉටුකරගන්නා මාර්ගය ඇත්තේ කටු උගුල් වලින් පිරි මාර්ගයකය. මෙම මාර්ගයේ සීරුවෙන් ඉදිරි කාලය ගමන් කිරීමෙන් පමණක් 2020 ජයගත හැකිය.