Sunday, February 25, 2018

නියත ජයක්, අමාරු වසර දෙකක්

පසුගිය වසර තුන තුල ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මේ රටේ සියලුම ජන කොටස් වලට එක්තරා ආකාරයකට කුකුසක් තිබුණි. එය සාමාන්‍ය තත්ත්වයක් ලෙසද හදුනාගත හැකිය. විශේෂයෙන් ප්‍රබල දරුණු පාලනයක් දිගු කලක් තිබුණු සමාජයකට එම රෙජිමය අවසන් වීමෙන් පසු ගොඩනැගෙන පාලන ක්‍රමයට හුරුවීමට එක්තරා කාලයක් ගතවේ. එසේම දුෂිතව යැපුණු බොහෝ කණ්ඩායම් නව පාලන ක්‍රමයට අකුල් හෙලීම සාමාන්‍ය දෙයකි. ලිබියාවේ, ඉරාකයේ හා ඉරානයේ සිදුවුයේ එයයි. එයම ප්‍රංශ විප්ලවයෙන් පසු 1789 සිට නැපෝලියන් බලට පත්වන තුරුම එනම් 1799 වතුරුම පැවතුණි. ප්‍රංශ විප්ලවය යනු සමාජ විපලවයකි. එය පැරණි සමාජ, දේශපාලන, ආර්ථික ක්‍රමය නියෝජන කල සියලුම දෙනා ඝාතනයකොට ගොඩනැගු සමාජ ක්‍රමයකි. නැතහොත් ගිලට්නය විසින් ගොඩනැගු ක්‍රමවේදයකි. එදා ප්‍රංශය ස්ථාවර වීමටත් වසර 11 ක් පමණ ගතවුණි නම් තොරතුරු හා දැනුම වතුර මෙන් සුලබ වූ යුගයක එම තත්ත්වය එයට වඩා අපහසු වන බව මාගේ තක්සේරුවයි. වර්තමාන ආණ්ඩුව හා එක්සත් ජාතික පක්ෂය මුහුණදෙමින් සිටින ප්‍රතිවිප්ලවකරුවන් ආණ්ඩුව තුල මෙන්ම ඉන් පිටතද ශක්තිමත්ව සිටී. පක්ෂයක් ලෙස පාක්ෂිකයින් අතර මෙන්ම පක්ෂයේ දීර්ඝකාලීන මිතුරන් අතර බරපතල විවේචනයන්ට මුහුණ දෙමින් සිටින තත්ත්වයක් තුල මැතිවරණයකදී දුර්වල වීම අරුමයක් නොවන්නේය. විවේචන එල්ලවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටි ආකාරයද එක්තරා ආකාරයක පිටුවහලක් සැපයු බව මාගේ හැගීමයි.

විශේෂයෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමේදී මේ රටේ ජනතාවක් වෙසෙන බවත්, එම ජනතාවට සංස්කෘතියක් හා ආකල්ප තිබෙන බවත්  පිළිගත යුතු අතර ඒවාට ගැළපෙන පරිදි ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකළ යුතුවේ. මන්දයත් ප්‍රමුඛම කාරණය වන්නේ බලය පවත්වා ගැනීමයි. බලය පවත්වාගතහොත් විනා මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කල නොහැකිවන බව පිළිබද එතරම් අවබෝධයක් තිබු බවක් පෙනෙන්නට නොතිබිණි.

ආණ්ඩුවේ කටයුතුවල එක්තරා ආකාරයක සන්විධිත බවක් අපේක්ෂා කලද එම ඉල්ලකය කරා කටයුතු මෙහෙයවීමේදී දැකිය හැකි නිලදධාරී පැලැන්තියේ ප්‍රතිගාමී බව රාජ්‍ය සේවයේ දීර්ඝකාලීන අකාර්යක්ෂමතාවය, රජයේ කටයුතු විධිමත්ව පවත්වා ගැනීමේ විශාල බාධාවක්ව පවතී. එමෙන්ම කැබිනට් සංශෝදනය මගින් අගමැතිතුමා නීතිය හා සාමය අමාත්‍යංශය ලබාගැනීම එතුමාගේ 2020 ඉරණම එතුමා විසින්ම විසදා ගැනීමක් වැනිය.

රට තුලින් මතුව එන හොරු අල්ලමු සටන් පාඨය එතුමා අතට ගැනීම කෙතරම් නිවැරදිදැයි අනාගතයේදී තීරණය වනු ඇත. ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කල යුත්තේ මුලින්ම හොද ස්ථාවර තත්ත්වයක් තුල සිටය. එසේ නොවන අවස්ථාවකදී ඇද වැටීමට ඇති ඉඩ කඩ වැඩිවේ. විශේෂයෙන් වසර 2500 පැරණි සමාජයකට ප්‍රතිචාර දක්වනුයේ ඉතාම සෙමිනි. ඒ පිළිබද අවබෝධයක් ආණ්ඩුවේ පාර්ශව වලට තිබිය යුතු බව මාගේ‍ හැගීමයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩි පිරිසක් 2020 මැතිවරණයේදී නැවත රාජපක්ෂවරුන්ගේ දෑත් ශක්තිමත් කිරීමට යන බව පිළිබද අවබෝදයක් එක්සත් ජාතික පක්ෂයට තිබිය යුතු අතර එතෙක් ආණ්ඩුව දුර්වල කිරීමට අවශ්‍ය සියලුම කටයුතු ඔවුන් විසින් සිදුකරමින් කටයුතු කරන බව අවබෝධ කරගත යුතු වේ. මෙතැන් සිට එළඹෙන යුගය වන්නේ ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලනය ගිහිලිහෙන යුගයයි. එහි ඡන්ද පදනම දැනටමත් ගිලිහී ඇති අතර එතුමන් විසින් ලබාගන්න ලද ඡන්ද ලක්ෂ 15 යහපාලනය වෙනුවෙ ඡන්දය ලබාදුන් පාවෙන ඡන්ද ලෙසද හැදින්විය හැක. එතුමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානතම ඉල්ලකය බවට එක්සත් ජාතික පක්ෂය පත්වූ බැවින් එමගින් අහිමි වූ ඡන්ද පදනම ලෙසද දැක්විය හැකිය.

කෑගල්ල හා ගම්පහ පසු ගිය මැතිවරණ වලදී එක්සත් ජාතික පක්ෂය ලබා ගත් ඡන්ද වලින් අහිමි වූ ඡන්ද වලට ආසන්න ප්‍රමාණයක් ජනාධිපතිතුමා ලබාගෙන ඇති බැවින් කිව හැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ‍ඔවුන්ගේ සම්ප්‍රදායික ඡන්ද වෙනුවට ආණ්ඩුවෙන් කැඩී ගිය ඡන්ද ලබා ඇති බවයි. මෙය එක්සත් ජාතික පක්ෂය අපේක්ෂා කළ තත්ත්වයට හාත්පසින්ම වෙනස් ප්‍රතිඵලයකි. එබැවින් එකට ආණ්ඩු කරමින් අලුත් සතුරන්ට අලුත් ප්‍රහාර වටයක් දියත් කල යුතු වේ. එය ලංකාවට අලුත් අත්දැකීමක් වනු ඇත.

මේ සියල්ලම මැද මිලියන 23ක් ජනතාවට එදිනෙදා කටයුතු සදහා ආණ්ඩුකරණය කලයුතු අතර ණය ගෙවීම, ආර්ථිකය ගොඩනැගීම, අධ්‍යාපන, සෞඛ්‍ය පහසුකම් ලබාදීම වැනි කටයුතු සිදුකල යුතු වේ. අවසාන වශයෙන් මට කිවහැක්කේ මෙයට සාර්ථකව මුහුණදීම මත 2020 ජයග්‍රහණය තීරණය වන බවයි. 2020  ජයගැනීමට සම්ප්‍රදායික දෙමල හා මුස්ලිම් ඡන්ද පදනම රැක ගතයුතු අතරම සිංහල ඡන්ද වලින් 50% ලබාගත යුතු වේ. එමෙන්ම වඩාත් වැදගත් දෙයනම් පක්ෂ අභ්‍යන්තරයේ කකුල් මාට්ටු දැමීම, කුමන්ත්‍රණය කිරීම අවසන් කල යුතු අතර එවැනි අය ජනතාවට හෙළිකල යුතු වේ. මෙම අමාරු කාලය අවසන් වන්නේ තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ගොඩ නැගුනු 2020 දීය. එතෙක් පක්ෂය කළමනාකරණය කරගැනීමත්, ජනතාව දිනාගැනීමත් කල හැකි, කල යුතු දෙයකි.

Sunday, February 18, 2018

අලුතින් හිතමු



අප ජීවත්වන්නේ ලංකාවේ අරුම පුදුම යුගයකය. නිදහස ලබා හැත්තෑ වසරකට පසු, ලෝකයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතරින් අප එක්තරා ආකාරයකට පසුබෑමට ලක් වූ රටක්  බවට පත්වී තිබේ. ඒ සඳහා බලපෑ හේතු විශාල සංඛ්‍යාවක් තිබුණද ප්‍රධානතම හේතුව ලෙස මට පෙනීයන්නේ නිදහසෙන් පසු අපට දිගින් දිගටම සිවිල් අරගලයන් කිහිපයකට මුහුණ දීමට සිදු වීමයි. එනම් දකුණේ සිංහල තරුණයින් අතර හටගත් සිවිල් අරගල දෙකක්ද, එසේම උතුරේ ද්‍රවිඩ තරුණයන් අතර අදටත් කතාවන, තිස් වසරක් දිග්ගැස්සී ගිය විශාල යුද්ධයක් බවට පත්වූ සිවිල් අරගලයකින්ද අප පීඩාවට පත්විය. මෙම තත්ත්වයන් අපේ ඉතිහාසය තුළ සිටම පැවත එයි. මෙරට ජීවත්වන ජන කණ්ඩායම් අතර විශාල වෙනස්කම් සහිතව එම වෙනස්කම් එකිනෙකා පිළිගනිමින් ජීවත්වීම වෙනුවට තව තවත් බෙදී වෙන්වී ජීවත්වීමට තිරණය කර ඇති නිසා මෙම අසාර්ථක වීමට විශාල වශයෙන් බලපෑමක් සිදුවී තිබේ. අපේ රටේ බොහෝ බුද්ධිමතුන් හා ඊනියා සිවිල් ප්‍රජාව මේ වෙනුවෙන් චෝදනා එල්ලකරනු ලබන්නේ මේ රටේ දේශපාලනය පන්තියටයි. නමුත් සැබෑවටම මේ රටේ ගැටලුව විශාල ප්‍රමාණයකට වගකිව යුත්තේ ලංකාවේ ඓතිහාසික සමාජ ක්‍රමයයි. නමුත් එකිනෙකා හා බෙදී වෙන්වී ජීවත් වීමට අවශ්‍යවන හේතු ඕනෑ තරම් අපේ සමාජය තුළත්, සංස්කෘතික වටපිටාව තුළත් තිබේ. දිවයිනක් ලෙස අප මුහුණදෙන සම්පත්වල සීමාන්තික බව නිසාම රාජ්‍ය දේපල කෙරෙහි අරගලයක් ගොඩනැගී තිබේ. සැබැවින්ම ශ්‍රී ලාංකික ජනතාව ආකල්පමය වශයෙන් මේ රටේ සීමිත සම්පත්වල අයිතීන්ගෙන් තමන්ගේ කොටස වෙන්කරගැනීම සඳහා දෛනික හා ඓතිහාසික අරගලයක නිරත වෙමින් තිබේ. එම නිසාම දේශපාලනඥයින්ගේ සිට වෘත්තියකින්, ව්‍යාපාරිකයින්ගේ සිට අන්ත දිළිඳු ජනතාව දක්වා සියලුම දෙනාම රාජ්‍ය සම්පත් වලින් තමන්ගේ කොටස වෙන්කර ගැනීමේ අරගලයක නිරත වෙමින් තිබේ. ඔවුන් සමාජ සුභසාධනවාදී රාජ්‍යයේ පැවැත්ම තව තවත් ශක්තිමත් කරමින් තිබේ. එය තවත් පුළුල්වෙමින් සම්පත් ජාතීන් අතර බෙදාගැනීමටද උත්සුක වෙමින් තිබේ.

මෙවැනි තත්ත්වයක් යටතේ මහින්ද රාජපක්ෂ විසින් යෝජනා කරනු ලබන ක්‍රමවේදය වඩාත් ශක්තිමත් ප්‍රගතිශීලී පියවරක් ලෙස මේ රටේ පාලක ස්ථරයේත්, බොහෝ ව්‍යාපාරිකයන්ගේත් සතුටට හේතු වී තිබේ. නමුත් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂට ලබාගත හැකිවූයේ කොහොමටත් ඔහු සතුව තිබූ ඡන්ද පදනමේ සමාජ සුභසාධනවාදී, ජාතිකවාදී ආණ්ඩුවක් මේ රටේ බිහි කිරීමට උත්සාහ කරනු ලබන, ඒ වෙනුවෙන් කැපවෙන ඡන්ද ස්තරයයි.

නමුත් යතාර්ථය වන්නේ තවදුරටත් මේ රටේ ආර්ථිකයට අනුව සමාජ සුභසාධනවාදී රාජ්‍යයක් පවත්වාගත නොහැකි අතර කෙසේ වුවත් ජාතිකවාදී රජයක් පහසුවෙන්ම පවත්වාගත හැකි බවයි. බෙදා වෙන්කර පාලනයකිරීම ඉතා පැරණි පාලන ක්‍රමයක් වුවත් ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයකට තියුණු ශීලාචාර එකමුතු රාජ්‍යයකට වඩා බෙදා වෙන්කර පාලනය කිරීමේ ක්‍රමවේදය එක්තරා ප්‍රමාණයකට ගැලපේ. ඊට ප්‍රධාන හේතුව නම් අප ඓතිහාසික ලෙස සංස්කෘතික විවිධත්වයකින් යුතුව බෙදා වෙන් වූ සමාජයක් ලෙස ජීවත්වීමයි. රාජපක්ෂවරු විසින් ඉදිරිපත් කරනු ලබන මෙම ජාතිකවාදී මොඩලය බොහෝ අප්‍රිකානු රටවල ක්‍රියාත්මකකොට අසාර්ථකවී ඒ රටවල් වල පල්ලටම වැටුණි.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන්ට ගිය හැකි උපරිම දුර ජනාධිපතිවරණ මැතිවරණයකි. මෙහිදී එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පසුගිය මහ මැතිවරණයේදී හා ජනාධිපතිවරණයේදී ඡන්දය ලබා දුන් බොහෝ දෙනෙකු මෙවර පොහොට්ටුවට ඡන්දය ලබාදුන් අතර එය එක්තරා ආකාරයක විරෝධතා ඡන්දයක්ද විය. එය මිලියන එකහමාරක් පමණ වෙතැයි මට සිතේ. එනම් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින වැඩපිළිවෙළ හා ක්‍රියාකලාපය පිළිබඳව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේද පවතින විරෝධය කියාපෑමක් වේ.

2020 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයට එම පක්ෂ අභ්‍යන්තරයේ විශාල ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකළ යුතු අතර ආණ්ඩුකරණයේදී ද විශාල වශයෙන් ආකල්පමය වෙනසක් විය යුතු බව මාගේ හැඟීමයි. විශේෂයෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමේදී මේ රටේ ජනතාවක් වෙසෙන බවත් එම ජනතාවට සංස්කෘතියක් හා ආකල්ප තිබෙන බවත් අප පිළිගත යුතු අතර ඒවාට ගැළපෙන පරිදි ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුවේ. මන්දයත් ප්‍රමුඛම කාරණය වන්නේ බලය පවත්වා ගැනීමයි. බලය පවත්වාගතහොත් විනා මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කල නොහැකිවේ. බලය පවත්වාගැනීමෙන් ප්‍රතිසංස්කරණය කළ හැකිවිය යුතුය. එයට අනුගමනය කරන ක්‍රියාමාර්ග, රාජ්‍ය කටයුතු, ආණ්ඩුකරණ කටයුතු පවතින අතරම විධිමත් දේශපාලන වැඩපිළිවෙළක්ද පවත්වාගෙන යායුතු වේ. එමෙන්ම රජයේ පාලනයෙන් මිදී සිටි බොහෝ රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු තුළට නව රජයේ ප්‍රතිපත්තිමය කරුණු මත පදනම් වූ පාලනයක් යොදාගත යුතු අතර රාජ්‍ය පාලනය බලවත් හා ශක්තිමත් ක්‍රියාවලියක් බවට පත්කළ යුතු වෙයි.

මේ මොහොතේ රට පුරා සිටින සියලුම දෙපාර්තමේන්තු හා අමාත්‍යංශවල නිලධාරීන්ගේ ශක්තිමත් බව නිසාම ඔවුන් විසින් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේදී දක්වනු ලබන අලස සහ අකාර්යක්ෂම බව වැළැක්වීම උදෙසා රාජ්‍ය සේවයට දේශපාලන අධිකාරියේ දැඩි මැදිහත්වීමක් අවශ්‍ය බව මාගේ අදහසයි. මන්දයත් දේශපාලන පක්ෂ විසින් ජනතාවගේ ජනවරම ලබාගත් පසු එය ක්‍රියාත්මක කිරීමේදී, ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී දේශපාලන අධිකාරියට විශාල බලයක් තිබේ. නමුත් මෙම ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය නිලධාරින්ට වඩා දුර්වල බව පෙන්නුම් කරන අතර බොහෝ තීන්දු තීරණ හා ප්‍රතිපත්තිමය තීන්දුව ගනු ලබන්නේ නිලධාරීන් විසිනි. එම නිසා මේ යුගයේදී රජයේ කටයුතුවල විශාල අවුලක් දැකිය හැකිය. එය පොහොර බෙදාහැරීමේ සිට ව්‍යවස්ථා සම්පාදනය දක්වාම එක සේ බලපානු ලබයි. එනම් දේශපාලන අධිකාරියේ මැදිහත් වීමකින් තොරව නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවල විශාල අසාර්ථක බවක් පෙන්වනු ලැබේ. එනම් නිලධාරීන් මේ රජය ප්‍රතිපත්තිය සාර්ථක කරගැනීමට වගකියන්නේ නැත. ඔවුන් සිටිනුයේ දේශපාලන අධිකාරිය විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීන්දුව ක්‍රියාත්මක කිරීමටය. නමුත් ප්‍රතිපත්ති තීන්දු ක්‍රියාත්මක කිරීම නිලධාරීන්ට පවරා ඇත්නම් එය කාට කියන්නද?

පසුගිය මැතිවරණයේ ප්‍රතිඵල වලට විශේෂයෙන්ම මෙම නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවයත්, ඔවුන්ගේ අන්තනෝමතික ක්‍රියා කලාපයත් බලපෑ බව අවිවාදයෙන් කිව යුතුය. මන්දයත් දේශපාලන අධිකාරියට මෙම නිලධාරීන්ගේ ක්‍රියාකලාපය කළමනාකරණය කර ගැනීමට හැකියාවක් නොලැබුණු බව මාගේ මාගේ විශ්වාසයයි. එසේම රට තුළ ස්වාභාවික විපත් එක පිට එක සිදුවූ ස්වරූපයත්, එම ස්වාභාවික විපත්වලින් හානියට පත් ජනතාවට සහන සැලසීමේදී රාජ්‍ය දැක්වූ මන්දගාමී බවත්, ආණ්ඩුවේ උවමනාවට වඩා නිලධාරීන්ගේ ආකාර්යක්ෂමතාවයත් මෙම මැතිවරණ ප්‍රතිඵලයට බලපෑ බව කිව හැකිය. එමෙන්ම පොහොර සැපයුම අඩාලවීම, විදුලි සැපයුම සම්බන්ධ ගැටලුවත්, ඉන්ධන සම්බන්ධ ගැටලුව හා අඛණ්ඩව සිදුවූ දූෂණ, උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර වලින් සමාජයට සිදුවූ බලපෑම කළමනාකරණය කරගැනීමට රජය දැක්වූ අසමත් බවද, පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑ බව තක්සේරු කළ හැකිය.

කෙසේ වුවත් මෙම ප්‍රතිඵලයද 2015 ජනවාරි 8 වැනිදා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ බලවේගය ලබාගත් ජනවරමට අනුව සමානය. 2020 මැතිවරණය දක්වා, මෙම වෙනස්කම් සිදුකර සාර්ථක ආණ්ඩුකරණයක් පවත්වාගෙන ගියහොත් එක්සත් ජාතික පක්ෂයට අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ හැකි වන්නේය. ඒ සදහා කළහැකි දේශපාලනික වෙනස්කම් අනිවාර්යයෙන්ම රාජ්‍ය පාලනය තුළත්, පක්ෂය තුළත් සිදුකළ යුතු බව මාගේ පෞද්ගලික හැඟීමයි.

Wednesday, February 7, 2018

තක්කඩිවාදය පරදවමු



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එයින් බිදී ගිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේත් න්‍යායාත්මක පදනම තක්කඩිවාදයයි. ජනාධිපතිතුමා තක්කඩින්ගේ කදවුරේ සිට එම කදවුර තිත්තවී, එපාවී එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ විය. එහි ප්‍රතිඵලයක් ලෙස එතුමානෝ එක්සත් ජාතික පක්ෂය හා මෙරට සිවිල් සමාජ දිවි පරදුවට තබා සටන් වැදි අරගලය තුළින් මේ රටේ ජනාධිපති ධූරයට පත්විය. එතුමා ජනාධිපති ධූරයට පත්කිරීමේදී එම බලවේගවල බලාපොරොත්තුව වූයේ එකම එක ඉල්ලීමකි. ඒ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. 1994 දීත්, 2000 දීත්, 2005 දීත්, 2010 දීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන පොරොන්දුව මත එල්. ටී. ටී. ඊ. සංවිධානයේද සහයෝගය ඇතිව සිංහල බෞද්ධ ඡන්ද රවටමින් ජයග්‍රහණය කළේය. එනමුත් තක්කඩිවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ධූරය අහෝසි නොකලා සේම එහි අන්ත දූෂිත අන්තයක් කරා රටත්, සමාජයත්, දේශපාලනයත් රැගෙන ගියේය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මෙරට මධ්‍යම පාන්තික සිවිල් සංවිධානවල හා මේ රටේ දැනුම් තේරුම් ඇති ජනතාවගේ දීර්ඝ කාලීන අරගලයයි. ඔවුන් දිවි පරදුවට තබා ලබාගත් ජයග්‍රහණය හා එම ජනවරමට පයින් ගසා ජනාධිපතිතුමා විසින් ජනාධිපති ධූරය තක්කඩි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පූජා කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයෝ උපන් ගෙයි තක්කඩිය. ඔවුහු එක රැයකින් මහින්ද රාජපක්ෂ අතහැර මෙතෙක් කල් තමන් භුක්තිවිදි ආණ්ඩුව පෙරළා දැමු ජනාධිපතිතුමා හා එක්වූයේ කිසිදු හිරිකිතයක් නැතුවය. ජනාධිපතිවරයාටද එසේම යැයි මට සිතේ.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිදී ගිය මහින්ද පිලද තක්කඩි ශාස්ත්‍රයේ කෙල පැමිණියෝය. ඔවුන් මහින්ද රාජපක්ෂගේ තුරුළේ ඉන්නා අතර එක්සත් ජාතික පක්ෂය හා ඩීල් දැමීමට උත්සහ කරති. අනෙක් අතින් රෑට රෑට ජනාධිපතිවරයා හමුවෙති. සිංහල ප්‍රදේශවලදි දෙමළාට හා මුසල්මානුවාට එරෙහිවත්, දෙමළ මුස්ලිම් ප්‍රදේශවලදී සිංහලයාට එරෙහිවත් දේශපාලනය කරති. ඔවුන් රටේ නීති තුට්ටුවට මායිම් නොකරන තක්කඩියෝය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, එම පක්ෂයේ මහින්ද පිලේත් ගෑවුනු ගෑවුනු තැන්වල ඇත්තේ තක්කඩිවාදයයි. මෙම මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තක්කඩිවාදය තීරණාත්මක ලෙස පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂයටත්, මේ රටේ බහුතර සිවිල් ජනතාවටත්, බුද්ධිමතුන්ටත් අවස්ථාවක් ලැබී තිබේ.

මිත්‍රවරුණි, 10 වෙනිදා ඡන්ද පොළට යමු. තක්කඩිවාදය තීරණාත්මක ලෙස පරාජය කරමු. ගම හදමු.

Sunday, February 4, 2018

අමාරුවෙන් මොනරාගලවත් දිනා ගැනීම


දේශපාලන ක්ෂේත්‍රය පසුගිය සතියේ ගෙවී ගියේ ඡන්ද උණුසුම සමගයි. පළාත් පාලන මැතිවරණයේ ඡන්ද උණුසුම නව මැතිවරණ ක්‍රමය නිසාවෙන් එක්තරා ප්‍රමාණයකට අඩුවී තිබුණද පක්ෂ අභ්‍යන්තර හා ග්‍රාමීය මට්ටමේ දේශපාලන ව්‍යුහයන් තුළ තදින් මැතිවරණ උණුසුම තිබුණි. මෙවර මැතිවරණය තීරණාත්මක ලෙස කොන් හතරක සටනක් බවට පත්වී තිබේ. එහිදී එක්සත් ජාතික පක්ෂ විසින් තම ශක්තිමත් පදනම තුල   රාජ්‍යයේ වාසියද අත්පත් කරගනිමින් මැතිවරණ සටන තනියම මෙහෙයවයි. එක්සත් ජාතික පක්ෂය සතුව ඇති ප්‍රබල මැතිවරණ යාන්ත්‍රනය, පක්ෂ ව්‍යුහය මේවනවිට සක්‍රීයවී ඇති අතර මැතිවරණ යාන්ත්‍රනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම් සපයමින් තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ඉහළම මට්ටමේ නායකයන්ගේ සිට ග්‍රාමීය මට්ටමේ අපේක්ෂකයා හා ශාඛා සමිති සංවිධායකයා දක්වා වූ සියලු දෙනා තුළම ඇත්තේ ජයග්‍රහණ මානසිකත්වයකි. ඔවුන් සිතනුයේ තමන් තරග කරණු ලබන සියලුම කොට්ඨාස ඔවුනට ජයග්‍රහණය කිරීමේ හැකියාවක් ඇති බවයි. ඔවුන් එසේ කල්පනාකිරීමේ කිසිදු වරදක් නොවන්නේ, මෙම මැතිවරණයේ වැඩිම වාසිය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බව බැලූ බැල්මට පෙනී යන බැවිනි. ඒ සඳහා සාධක ගණනාවක් බලපානු ලබයි. මින් ප්‍රධානම සාධකය වන්නේ මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් හා කතෝලික සියලුම ජන වර්ගයන්ගේ ක්‍රියාකාරී සහයෝගයක් එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති බැවිනි. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ අතරින් ඕනෑම අමාරු අවස්ථාවක සියලුම ජාතීන්ගේ විශ්වාසය දිනාගත් හා එම සියලුම ජාතීන් හා ජනවර්ග නියෝජනය කරන පක්ෂය ලෙස පැවතියේ එක්සත් ජාතික පක්ෂයයි.

විශේෂයෙන්ම රාජපක්ෂ රෙජීමය පැවති යුගයේ ලංකාවේ මුල්බැසගෙන තිබූ, සියලුම දෙනාගේ ලේ නහරවලට කිමිදී තිබූ සිංහල අධිපතිවාදී, ජාතිකවාදී දේශපාලන මතය විසින් රටේ සියලුම දෙනාගේ ඔලු හිරිවට්ටවා තිබුණු යුගයේදීත් එක්සත් ජාතික පක්ෂය විසින් ගත් ස්ථාවරය වූයේ වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම එක්සත් ජාතික පක්ෂ ලෙස එය පවත්වාගෙන යාමයි. එනම් සියලුම ජාතීන්ට, සියලුම ජන වර්ගයන්ට එකට ජීවත් විය හැකි රටක්, පක්ෂයක් ලෙස එය පවත්වාගෙන යාමයි. එමෙන්ම මෙම මැතිවරණයේදී ඉන්දියානු ද්‍රවිඩ සම්භවයක් සහිත සියළුම දේශපාලන නායකයින්ගේ සහයෝගය එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති අතර මුස්ලිම් පක්ෂ සියල්ලගේම හා එම නායකයින්ගේ සහයෝගයද එක්සත් ජාතික පෙරමුණට ලැබී තිබේ. මෙම තත්ත්වය මත විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය හා සුළු ජන කොටස් තරග කරණු ලබන සියලුම දිස්ත්‍රික්කයන් ජය ගැනීමේ හැකියාව ඇත්තේ එක්සත් ජාතික පෙරමුණටය.

මේ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කය, මහනුවර දිස්ත්‍රික්කය, බදුල්ල දිස්ත්‍රික්කය, මාතලේ දිස්ත්‍රික්කය, රත්නපුර දිස්ත්‍රික්කය හා අම්පාර යන දිස්ත්‍රික්ක ඉතාම පහසුවෙන් එක්සත් ජාතික පක්ෂය ජයගනු ඇත. එසේම මෙම ද්‍රවිඩ, මුස්ලිම් හා කතෝලික ජනතාවගේ සහයෝගය නිසා පහත සඳහන් දිස්ත්‍රික්කවල අවසාන ප්‍රතිඵලයටද එම ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කිරීම නිසාවෙන් එක්සත් ජාතික පක්ෂයට විශාල වාසියක් ලැබීමට නියමිතය. එම දිස්ත්‍රික්ක නම් ගම්පහ දිස්ත්‍රික්කය, කොළඹ දිස්ත්‍රික්කය හා අනුරාධපුර දිස්ත්‍රික්කය වේ.

මෙහිදී කුරුණෑගල දිස්ත්‍රික්කය සම්පූර්ණයෙන්ම ඉතාම තියුණු තරගයක් ලබාදිය හැකි දිස්ත්‍රික්කයක් ලෙස දැක්විය හැකිය. විශාල ජනතාවකගෙන් යුතු එම දිස්ත්‍රික්කයේ සියයට අනුවකට වඩා වාසය කරන්නේ සිංහල බෞද්ධ ජනතාවයි. මෙම දිස්ත්‍රික්කය තුළ මේ මොහොතේදීත් පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක්සත් ජාතික පක්ෂය කරට කර තරගයක් දෙමින් තිබේ. එම තරගයෙන් බොහෝවිට එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කළ හැකි අතර ඒ සඳහා එම දිස්ත්‍රික්කය නියෝජනය කරන එම ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු වන අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයාගේ ක්‍රියාකාරීත්වය තදින් බලපානු ඇත. ඔහු විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා එයට අනුබද්ධ විශේෂ අනිකුත් ආයතන වලත් විශාල ප්‍රමාණයකට එම දිස්ත්‍රික්කය අතරින් තෝරාගත් රැකියා අවස්ථා ලබාදී තිබේ. එසේම එම දිස්ත්‍රික්කයේ පාසල් සංවර්ධනයට විශාල මුදලක් ආයෝජනය කර ඇත. එමෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින්ද රුපියල් බිලියන ගණනක මුදලක් කුරුණෑගල සංවර්ධනයට වියදම් කොට තිබේ. එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරු හා අපේක්ෂකයින් කැපීපෙනෙන දක්ෂ කණ්ඩායමක් ලෙස ප්‍රකාශ කළ හැකිය. මේ අනුව මෙම සියලුම සාධක විග්‍රහකර අවසානයේ අප පැමිණ ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීමේ වැඩිම ඉඩකඩ ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බවයි.

ත්‍රිකුණාමලය, මඩකලපුව, මන්නාරම හා යාපනය දිස්ත්‍රික්ක ජයග්‍රහණය කිරීමට ඉඩකඩ ඇත්තේ දෙමළ ජාතික සන්ධානයටය. එක්සත් ජාතික පක්ෂය හා පොදුජන එක්සත් පෙරමුණත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මෙම දිස්ත්‍රික්කවල හෝ ආයතන වලට තම ලැයිස්තු ඉදිරිපත්කර තිබුනද දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරණු ඇතැයි අපට අනුමාන කළහැක. මුස්ලිම් කොංග්‍රස බොහෝ විට සන්ධානගතවීමට ඉඩ ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සමගයි.

මෙම මැතිවරණයේදී සැබැවින්ම පොදුජන එක්සත් පෙරමුණට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැතහොත් ජනතා විමුක්ති පෙරමුණට ජයග්‍රහණය කිරීමට ඉඩක් ඇත්තේ ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල හා කළුතර දිස්ත්‍රික්කය. මන්ද පොළොන්නරුව, කෑගල්ල, අනුරාධපුරය, පුත්තලම දිස්ත්‍රික්ක පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ හෝ ඉතා අඩු ඡන්ද ඡන්ද සංඛ්‍යාවකින් පරාජයට පත්වූ දිස්ත්‍රික්කයන්ය. එම දිස්ත්‍රික්කවල 2015 මහ මැතිවරණයෙන් පසු විශාල වශයෙන් යළිත් යටිතල පහසුකම් සංවර්ධනයට පත්වූ, මැති ඇමතිවරුන් මුදල් ආයෝජනය කර ඇති අතර රැකියා ලබාදීම වැනි කාරණාවලදී ඉතා හොඳ සාර්ථකත්වයක් පෙන්වා තිබේ. යම් ප්‍රමාණයකට එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ උකටලී බවක් හෝ ඡන්ද පොළට නොයෑම පිළිබඳ විරෝධයක් තිබුණද මෙම දිස්ත්‍රික්කවල අවසාන වශයෙන් යූ. ඇන්. පී. කාරයෝ ඡන්ද පොළට යනු ඇත. මන්ද අවාසි සහගත අවස්ථාවලදී මෙම දිස්ත්‍රික්කවල එක්සත් ජාතික පක්ෂයේ ජනතාව ඡන්දය උනන්දුවෙන් ප්‍රකාශ කොට තිබේ. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හෝ පොදුජන එක්සත් පෙරමුණ මෙම දිස්ත්‍රික්කවලදී එක්සත් ජාතික පක්ෂ අභිබවා යාමට තරම්, එක්සත් ජාතික පක්ෂ පරාජය කිරීමට තරම් විශේෂ ආශ්චර්යයක් පෙන්වා නැත.

මේ සියලුම කාරණා ගත් විට සැබවින්ම මෙම පළාත් පාලන මැතිවරණයේ තරගයක් ඇති දිස්ත්‍රික්ක වන්නේ මා පෙරත් ප්‍රකාශ කළ පරිදි ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල හා කළුතර දිස්ත්‍රික්කය. මෙයිනුත් කළුතර දිස්ත්‍රික්කය විශේෂයෙන්ම අජිත් පී. පෙරේරා වැනි නායකයින් යටතේ මනා ලෙස සංවිධානයවී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එක්තරා ප්‍රමාණයකට ශක්තිමත්ව තිබේ. එසේම පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රබල නායකයකු වන වෙල්ගම මේ මොහොතේදී බදුල්ල දිස්ත්‍රික්කයට නායකත්වය දීමට ගොස් ඇති තත්ත්වයක් තුළ එක්සත් ජාතික පක්ෂ විරෝධී ඡන්ද හරි මැදින් තුනට බෙදෙන තත්ත්වයක් තිබේ. මේ අනුව කළුතර දිස්ත්‍රික්කයද යූ. ඇන්. පීය ජයග්‍රහණය කරනු ඇතැයි මාගේ නිගමනයයි.

එසේනම් අවසාන වශයෙන් කිවයුත්තේ වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලකගේ නායකත්වයෙන් යුත්, මුස්ලිම් ඡන්ද පදනම සහිත සාම්ප්‍රදායික එජාප බලකොටුවක් වන ගාල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීම එම නායකයින්ගේ අරමුණයි. මාතර දිස්ත්‍රික්කයේද එසේමය. මාතර දිස්ත්‍රික්කයේ සාම්ප්‍රදායික ඡන්ද ඡන්දපොළට ගෙන යාමට අමතරව එම දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන ඇමතිවරුන් දෙදෙනෙකු වන සාගල රත්නායක හා මංගල සමරවීරගේ ක්‍රියාකාරිත්වය මත එම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය තීරණය වේ. එසේම මන්ත්‍රීවරයෙකු වන බුද්ධික පතිරණගේ ක්‍රියාකාරිත්වයද  එම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණයට බලපායි. කෙසේ නමුදු මාතර දිස්ත්‍රික්කයත්, කුරුණෑගල දිස්ත්‍රික්කයත් එක්සත් ජාතික පක්ෂයේ දක්ෂ කණ්ඩායමක් නියෝජනය කරනු ලබන දිස්ත්‍රික්ක දෙකකි. අනෙක් පොදුජන එක්සත් පෙරමුණට ඉතාම වාසිසහගත දිස්ත්‍රික්කය වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයයි. එය මහින්ද රාජපක්ෂවරුන්ගේ බලකොටුව වන අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන් අනිවාර්යෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ යුතුවේ. එය ඔහුගේ පැවැත්මට අත්‍යාවශ්‍ය සාධකයක් වේ. එබැවින් එතුමා, ඔහුගේ උපරිම ශක්තිය, බලය හා හැකියාවන් එම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට යොදවනු ඇත. එයට මුහුණදීමට මේ මොහොතේ දුර්වල රාජපක්ෂවරුන්ට හැකියාවක් තිබේදැයි සැක සහිතය.

අවසාන වශයෙන් කිවහැක්කේ රාජපක්ෂවරුන්ට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ස්ථිර වශයෙන්ම ජයගතහැකි හෝ ප්‍රබල සටනක් දියහැකි එකම දිස්ත්‍රික්කය ඡන්ද ලක්ෂ තුනක් පමණ පවතින ශ්‍රී ලංකාවේ දුෂ්කරම හා කුඩාම දිස්ත්‍රික්කය වන මොනරාගල පමණි. මොනරාගල හැරුණුකොට අනෙකුත් සියලුම දිස්ත්‍රික්ක එක්සත් ජාතික පක්ෂය ජයගනු ඇතිබව මාගේ තක්සේරුවයි.