Sunday, August 20, 2017

රාජපක්ෂවරුන්ගේ ට්‍රෝජන් අශ්වයා



යහපාලන රජයේ දෙවසර පිරෙන මෙම සතියේ දේශපාලන කරලිය රත්කල ප්‍රධානතම කාරනය නම් විජේදාස රාජපක්ෂ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ ඇති වූ දැඩි විරෝධයයි. එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේත්, රටේ සිවිල් සමාජය තුළත් වර්ථමාන රජය සම්බන්ධයෙන් තිබූ විවේචනයක් වන්නේ පසුගිය රජයේ වංචා දූෂණ හා අක්‍රමිකතා මෙන්ම මිනීමැරුම් පිළිබදවද, ඒවායේ විමර්ශන පිළිබදවද දක්වන උදාසීනභාවයයි. න්‍යායාත්මකව ගත් කල මෙම ආණ්ඩුවට 2015 ජනවාරි 8 වනදාත්, 2015 අගෝස්තු 17 වනදාත් ලබාදුන් ජනවරමට සුජාතභාවයක් අත්වන්නේ එම ජනවරම වෙනුවෙන් රටට ඉදිරිපත් කරන ලද වැඩසටහනේ ප්‍රධාන අංගයක් වූ නීතියේ ආධිපත්‍ය යලි ස්ථාපිත කොට පසුගිය රෙජීමයේ බලය අයුතු ලෙස භාවිතාකළ රාජපක්ෂවරු ප්‍රමුඛ එම කල්ලියට එරෙහිව පැනනැගුනු දූෂණ චෝදනා, මිනීමැරුම් චෝදනා හා බලය අයුතු ලෙස භාවිතාකිරීම පිළිබද අපරාධයන් වෙනුවෙන් විධිමත් විමර්ශනයක් පවත්වා දඩුවම් ලබාදීමෙන් අනතුරුවයි. නමුත් වසර දෙකහමාරකට පසු ශ්‍රී ලාංකිකයන් බහුතරයකගේ මතය වන්නේ රනිල්, මෛත්‍රී ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් අසමත් බවක් දක්වා ඇති බවයි. මෙහි අපූරුම කාරණය වන්නේ ආණ්ඩුව අභ්‍යන්තරයේ කටයුතු සිදුකරන්නන්ට සිදුවන්නේ කුමක්දැයි අවබෝධයක් නොමැතිව විලම්භීතව එකිනෙකාට ඇගිල්ල දිකක්ර ගැනීමයි.

නමුත් රවී කරුණානායකට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කිරීමේදී දැක්වූ අතිශය කාර්යක්ෂමතාවය එනම් පිටු 8600 කින් යුතු වාර්ථාවක් දින දෙකකින් අධ්‍යයනයකොට කොමිසමට දැන්වීමට දැක්වූ කාර්යක්ෂමතාවය (සාමාන්‍ය නඩුවක පිටු 10 ක් අධ්‍යයනය කිරීමට අවුරුදු දෙකක් කල් ගන්නා නීතිපති දෙපාර්තමේනතුව) ශ්‍රී ලංකා පොලීසියේ මූල්‍ය අපරාධ කොට්ඨාශය, රහස් පොලීසිය හා අල්ලස් කොමිසම විසින් විමර්ශනය කොට නඩු පැවරීම සදහා ඉදිරිපත්කොට ඇති අපරාධ 87 ක් සම්බන්ධයෙන් දක්වන නිද්‍රාශීලී බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ අවධානයට ලක්වීම, විජයදාස රාජපක්ෂ සම්බන්ධයෙන් වූ අර්බුධයේ ආරම්භයයි. එහිදී අජිත් පී. පෙරේරා විසින් හෙළිකරන ලද කරුණු පුදුම සහගතය. අධිකරණ අමාත්‍යවරයාගේ නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ඇති පක්ෂග්‍රාහී මැදිහත්වීමත්, එය පසුගිය රජයේ අපරාධකරුවන්ගේ අපරාධ නඩු යටගසා දැමීමටත් එසේම දුර්වල ආකාරයෙන් චෝදනා ගොනු කිරීමට දක්වන බලපෑමෙනුත්, එසේම ඒ වෙනුවෙන් අභ්‍යන්තරයේ සිදුවන ඇමරිකානු ඩොලර් මිලියන ගණන් වල ගණුදෙණුත් හෙලිවීම විජයදාස රාජපක්ෂට විරුද්ධව පක්ෂ අභ්‍යන්තරයේ කැලලක් ඇතිවීමට ප්‍රධානතම හේතුවයි.

නීතිපති දෙපාර්තමේනතුව රාජපක්ෂ රෙජීමය පැවති කාලයේ ඔවුන්ගේ රාජ්‍ය පාලනයේ තීරණාත්මක මර්දන උපකරණය විය. එම දෙපාර්තමේන්තුව එම යුගයේදී රටේ තිබූ බලවත් දේශපාලනකරණයට ලක්වූ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ හිතවතුන්ගෙන් හා අතවැසියන්ගෙන් පිරුණු දෙපාර්තමේන්තුවක් විය. එය අඩු වැඩි වශයෙන් අදත් එසේමය. එම නිසාම ගෝඨාභය රාජපක්ෂගේ අත්සන් පරීක්ෂා කොට ඔහුට එරෙහිව නඩු පැවරීම මේ වනවිටත් වසර දෙකකට වඩා කාලයක් ගතකොට තිබේ. එම දෙපාර්තමේන්තුව කටයුතු කරන ආකාරය පුදුම සහගතය. ආණ්ඩුවේ නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමට අදාල ප්‍රධානතම ආයතනයේ වෘතිකයින්ගේ ෆේස්බුක් ගිණුම්වල දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් නම් චෝදනා එල්ලවී ඇති මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් නිපදවූ පෝස්ටර්, බැනර් ප්‍රදර්ශනය කිරීමයි. එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කරනුයේ නීතිපති දෙපාර්තමේන්තුව ලෙසටත් වඩා මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ යාන්ත්‍රණයක් ලෙසය. සමහරක් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ‍ෆේස්බුක් ගිණුම්වල ඇති ප්‍රචාරක පෝස්ටර් අභීත එදිරිසිංහගේ, කැලුම් ජයසුමනගේ, විමල් වීරවංශගේ ෆේස්බුක් ගිණුම්වල ඇති ප්‍රචාරක පෝස්ටර් වැනිය. එබැවින් මෙවැනි දෙපාර්තමේන්තුවක කටයුතු කළමනාකරණය කරගැනීමට නොහැකි වීමම එක්සත් ජාතික පක්ෂය විසින් විජයදාස රාජපක්ෂගේ කුමන්ත්‍රණයක් ලෙස තේරුම් ගැනීමම අරුමයක් නොවේ.

විජයදාස රාජපක්ෂගේ ඉතිහාසයද එතරම් හොද කල්ක්‍රියාවකින් යුතු ඉතිහාසයක් නොවේ. ඔහු ඉන්නා තැන අවංකව ඉන්නා බැරි නායකයෙකි. යටි උගුල් හා කුමන්ත්‍රණ ඔහුගේ දේශපාලන ජීවිතය පුරාම දැකිය හැකිය.අන්ත දූෂිත රාජපක්ෂ රෙජීමයෙන් ඔහු ඉවත් වූයේද ඒ රෙජීමයේ හොරු ඇල්ලීමට ගොස්ය. රාජපක්ෂ රෙජීමය යනු හොරු අල්ලන තැනක් නොව හොරුන් සමග ජීවත්වන, හොරුන් සමග කන බොන, හොරුන් ආරක්ෂා කරන, ඒ වෙනුවෙන් රාජපක්ෂ වරුන්ට ප්‍රශස්ති ගී කියන තැනකි. එම රෙජීමයට පිටුපෑමට අදහස් කළ විජයදාස රාජපක්ෂ එයින් ඉවත් වීමට මහත් ඝෝෂාවක් නගමින්, හොරු ඇල්ලීමට උත්සහ කරමින් එයින් ඉවත්විය. නමුත් සැබෑ ලෙසම බෙලිඅත්තේ විජයදාස රාජපක්ෂ හා මැදමුලනේ රාජපක්ෂලා අතර පැවති විරසකය වන්නේ රාජ්‍යතාන්ත්‍රික කාරණා නොව ගෝත්‍රික කාරණාය. ඒවා දේශපාලන ක්ෂේත්‍රයේ අමුවෙන් එළිපිට සාකච්ඡාවන කාරණාය.
මේ ආණ්ඩුව තුල හොරුන්ට, ඩීල්කාරයින්ට හා දූෂකයින්ට පැවැත්මක් නැත. එය දැන දැනත්, ඒ පිළිබදව අවබෝධයක් ඇතිවත්, විජේදාස රාජපක්ෂ හොරුන් සමග ඩීල් ගසමින්, හොරු ආරක්ෂා කරමින් එක්සත් ජාතික පක්ෂයත්, ආණ්ඩුවත් අපහසුතාවයට පත්කිරීමේ සූක්ෂම කුමන්ත්‍රණයක යෙදී සිටී. මෙය හොදින් අවබෝධ කරගැනීමට අවශ්‍යනම් ශිරාල් ලක්තිලක, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්තුමා, දෙරණ රූපවාහිනීයේ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදී පලකළ අදහස්වලට අවදානය යොමුකරන්න.

එබැවින් එක්සත් ජාතික පක්ෂයට ට්‍රොජන් අශ්වයෙකු තම පක්ෂ අභ්‍යන්තරයේ තබාගැනීමට කිසිදු අභිලාෂයක් නොමැත.

Sunday, August 13, 2017

දඩයක්කාරයා දඩයම වීමේ ඉරණම


යහපාලන ආණ්ඩුවේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය වන්නේ 2015 ජනවාරි 08 වැනිදාට පෙර ලංකාවේ ස්ථාපිතව තිබු සමාජ, ආර්ථික හා දේශපාලනික තත්ත්වයන් වල වෙනස්කමක් ප්‍රගතිශීලී ලෙස සිදුවී ඇත්නම් පමණි. දැවැන්ත ධනයක් සංවිධාන ශක්තියත් හා බලයක් මෙන්ම ජාතිකවාදී න්‍යායන් යොදා ගනිමින් රාජපක්ෂ රෙජීමය අයෝමය හස්තයකින් පාලනය කරන ලද ලාංකික සමාජය හා එම බලවේග ජනවාරි අට වැනිදා ශ්‍රී ලාංකික සිවිල් සමාජයත්, එක්සත් ජාතික පක්ෂයත්, මධ්‍යම පන්තියත්, ලාංකික සුළු ජන කොටසුත් විසින් තීරණාත්මක ලෙස පරාජය කරන ලදී. එසේම එම බලවේග වලට තවදුරටත් රාජපක්ෂ රෙජීමයේ අගතිගාමී වැඩ පිළිවෙල ක්‍රියාත්මක වන දැකීමට අපේක්ෂාවක් නැත.යථාර්තය එය වුවත් ශ්‍රී ලාංකික රජයේ අභ්‍යන්තරය රාජපක්ෂ අවතාර වලින් කුණු වී ගඳ ගහන නරා වලක් බවට පත්ව තිබේ. එම නිසාම යහපාලන බලාපොරොත්තු සහිත බලවේග එක්තරා ආකාරයකට අපේක්ෂා භංගත්වයකට පත්ව තිබේ. එසේ වුවද තවමත් එම බලවේගයන්ගේ බලාපොරොත්තුව මෙම තත්ත්වයන් නිවැරදි වනු ඇති බවයි.

ජනවාරි 8 වනදාට පෙර රාජපක්ෂ රෙජීමයේ බලකණු අතර ප්‍රධාන බලකණුවක් වුයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත්ය. ඔහු විසින් ශ්‍රී ලාංකික ආර්ථිකයේ මර්මස්ථාන ගණනාවක් පරිපාලන නිලධාරී කුඩාබාලගේ සමග සියතට ගෙන තිබුණි. මහජන බැංකුව, ශ්‍රී  ලංකා රක්ෂණ සංස්ථාව හා එම ආයතන දෙකෙහි අනුබද්ධිත සමාගම් විශාල සංඛ්‍යාවක් ඔවුන්ගේ සියතට ගෙන එම ආර්ථික අධිරාජ්‍ය ගොඩනගා තිබුණි. එම ආයතන තුල සිදුවී ඇති මුල්‍ය වංචා වල දල වටිනාකම ඩොලර් බිලියන 1.9ක් බව නීති උපදෙස් පතා  නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති නඩු ගොනු වල සඳහන් වේ. නමුත් මෙහි අපුර්වත්වය වන්නේ අද වනතුරුත් ගාමිණි සෙනරත් මහතා හෝ කුඩා බාලගේ මහතා අත්අඩංගුවට පත්වී නොමැති වීමයි.  ඔවුන් හට නඩු පැවරීමක්ද කර නොමැත. කුඩා බාලගේ සතුව අයුතු ලෙස උපයා ගත් විශාල මුදල් ප්‍රමාණයක් හා ගිණුම් පිළිබඳ වාර්තා පල වුවත් ඒවා හුදු ප්‍රවෘත්ති බවට පත්ව තිබේ. ලැබෙමින් පවතින තොරතුරු අනුව ගාමීණී සෙනරත්ගේ ව්‍යාපාර හා වැඩසටහන් තුල  වර්තමාන රජයේ හිටපු මහ බැංකු අධිපති කුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන්ගේ සිට ඇමතිවරු දක්වා විහිදුනු සම්බන්ධතා ජාලයකි. එසේම ආණ්ඩුවේ වැදගත් අමාත්‍යාංශය බොහොමයක ලේකම්වරු හා අතිරේක ලේකම්වරු ගාමිණි සෙනරත්ගේ ආර්ථික හා පරිපාලන මාෆියාවේ කොටස් කාරයෝ වෙති. එම අනුහසින් අදත් ගාමිණි සෙනරත් නිරුපද්‍රිතව යහතින් රටතුල ජීවත් වෙයි. නමුත් ඔහු යන එන තැන් වලදී ඔහුගේ පිටුපසට පල්හොරෙක් යැයි කියමින් මධ්‍යම පාන්තිකයෝ සිනහ වෙති.

යෝෂිත රාජපක්ෂ නාවික නිළධාරියකු සිට රාජ්‍ය සේවයේ ව්‍යවස්ථාවද බිඳ දමා කාල්ටන් මාධ්‍ය ආයතනය ගොඩනගා රජයට රුපියල් බිලියනයක පමණ පාඩුවක්ද  උපයාගත් ආකාරය හෙලි කල නොහැකි රුපියල් මිලියන 600ක් පමණ  ආයෝජනයන්ද  කොට අදත් නිරුපද්‍රිතව දැහැමින් සෙමින් වැජඹේ.  ඔහුට විරුද්ධව නඩු පැවරුවද නීතිපති දෙපාර්තමේන්තුව වංගුවක් දමා මාධ්‍ය ආයතනය වසා දමා ඔහුට ගැලවී යාමට ඉඩ ලබා දුන්නේය. එසේම ඔහුමත පවරා ඇති අනෙකුත් සියළුම නඩු ගොනු නීතිපති දෙපාර්තමේන්තුවේ සොයාගත නොහැකි තැනක අස්ථාන ගත වී යැයි සිතිය හැකි තරම් කාලයක් ගත වී තිබේ. මෙම රජයේ නිල කාලය අවසන් වන තුරුවත් එම නඩු ගොනු නැවත පැමිණය හැකියැයි සිතිය නොහැක. නීතිපති දෙපාර්තමේන්තුව යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය අරුම පුදුමය. තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් නඩු පවරා ඇති ආකාරය එයට හොඳම උදාහරණයයි. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කැකිල්ලේ තීන්දුවකි. අපරාධකාරයා වෙනුවට අපාරධය සැඟවුවායැයි යනුවෙන් සඳහන් කොට පොලිස් නිලධාරීන් ගණනාවක් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කරමින් සිටී. එම අපාරාධය සැඟවු අයට එරෙහිව කටයුතු කල යුතු වුවත් අපරාධ කරුවන්ටද නඩු පැවරිය යුතුය. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව කැකිල්ලේ රජු කටයුතු කල ආකාරයට වැඩ කටයුතු වල යෙදෙමින් සිටී.

වර්තමාන රජය විසින් පසුගිය රජයේ මහා පරිමාණ දූෂණ වංචා හා අල්ලස් සම්බන්ධ ලිපි ගොනු 87ක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති අතර වසර දෙක හමාරකට පසු එම වැඩ කටයුතු අවසන් කොට චෝදනා ගොනු කර ඇත්තේ නඩු ගොනු පහලොවකට පමණි. මෙවැනි තත්ත්වයක් උඩ හිතාමතා හෝ ස්වාභාවිකව ආකාර්යක්ෂම නීතිපති දෙපාර්තමේන්තුවක් සහිත රටකට ජනතාවගේ යහපාලන අභිලාෂයන් ඉටු කල හැකිද?

නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය පිළිබඳව අරුම පුදුම සොයා ගැනීම් සිදු කිරීමට අවශ්‍යනම් කල යුත්තේ එම දෙපාර්තමේන්තුවේ සේවය කරන අයගේ ෆේස් බුක් ගිණුම් වෙත පිවිසීමයි. එම ගිණුම් තුල රාජපක්ෂවාදී ප්‍රචාරක පෝස්ටර් හා රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතියට අදාල තොරතුරු වලින් පිරි තිබෙයි. රාජපක්ෂ රෙජීමය පැවති සමයේ නීතිපති දෙපාර්තමේන්තුවත් අධිකරණ පද්ධතියත් සම්පුර්ණයෙන්ම පාහේ රාජපක්ෂකරණය කොට තිබු අතර ඔවුන්ගෙන් යහපාලන බලාපොරොත්තු ඇති කර ගත නොහැකි බව රජයටද අවබෝධ වෙමින් තිබේ.

මෙම තත්ත්වය නිතිපති දෙපාර්තුමේන්තුවට පමණක් ආවේණික තත්ත්වයක් නොවන අතර රටේ බොහෝ දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශවල තත්ත්වය එයම වේ. නමුත් දක්ෂ ඇමතිවරුන් කටයුතු කරන අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වල මෙම භයානක තත්ත්වය වෙනස් කොට නිවැරදි මාවතට යොමු කර ගැනීමට හැකියාව ලැබී තිබේ. මේ සඳහා හොඳම උදාහරණය විදේශ කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය වැනි අමාත්‍යාංශ ගත හැකිය. ඒවායේ පාලනය මුලු මනින්ම පාහේ එම ඇමතිවරු විසින් යහපාලන රජයේ පාලනයට ගෙන තිබේ. එසේ ගෙන නොමැති අමාත්‍යාංශවල අර්බුද ඇතිකරමින් ඒවා ආකාර්යක්ෂම කිරීමට රාජපක්ෂ රෙජීමයේ නිලධාරීන් කටයුතු කරමින් සිටී. එහි ප්‍රතිඵලයක් ලෙස හොරු ඇල්ලීමට ආ ආණ්ඩුවේ පුරෝගාමීන් හොරු ලෙස හංවඩු ගැසීමට රාජපක්ෂ රෙජීමයේ  පට්ට හොරුන්ට හැකිවි තිබේ. සැබවින්ම එම තත්ත්වය දඩයක්කාරයා දඩයම බවට පත්වීමයි. මෙම තත්වය දේශපාලන බල ව්‍යාපෘතියක ඉතාම ශෝචනීය තත්වයක් වේ. ඉදිරි සති කිහිපය තුල වෙනස් කර නොගතහොත් ඉතාම ඉක්මනින් වර්තමාන රජය අභ්‍යන්තරයේ දැවැන්ත කැරැල්ලක් ඇතිවනු ඇත. කෙසේ වුවත් ලැබෙමින් පවතින ආරංචි අනුව නීතිපති දෙපාර්තමේන්තුව අයත් ඇමතිවරයාට එරෙහිව ආණ්ඩුවේම ජව සම්පන්න තරුණ මැති ඇමතිවරු පිරිසක් කටයුතු කරමින් සිටී. එය ජයග්‍රහණයකින් කෙලවර වනු ඇතැයි යහපාලන ලැදි ජනතාවගේ පැතුමයි.

Monday, August 7, 2017

මංගලගෙන් උගනිවු





දීර්ඝ කාලයක් විපක්ෂයේ ගතකොට ආණ්ඩුවට ආ එක්සත් ජාතික පක්ෂයට හා ඒ මැති ඇමතිවරුන්ට මෙන්ම එම පක්ෂයේ අභ්‍යන්තර කටයුතු කරන්නන්ට විපක්ෂයේ කටයුතු පිළිබද කෙතරම් අත්දැකීම් තිබුණද පක්ෂය කළමණාකරනය පිළිබද දැනුම හා හැකියාව තිබුණද, ආණ්ඩුකරනය පිළිබද දැක්මෙහි හා හැකියාවෙහි විශාල තාක්ෂණික දුර්වලතා ඇති බව පෙනී යයි. සැබවින්ම මේ ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ පාර්ශවයේ නායකයින්ගෙන් ආණ්ඩු මාරුවෙන් පසු, පසුගිය රෙජීමයේ උගුල් වලට හසු නොවී යථාර්තවාදී දේශපාලනයක නිරත වෙමින් සාර්ථක වූ නායකයින් අතළොස්ස අතර මංගල සමරවීර ප්‍රධානයි. මංගල සමරවීර පිළිබද බොහෝ දේ කීමට පෙර කිවයුතු ප්‍රධාන දේ නම්, ආණ්ඩුකරනයේ මූලික පදනම පිළිබද මනා අත්දැකීමක් හා දැනුමක් මංගල සමරවීර සතු බවයි.

මංගල සමරවීර මා හට මුණ ගැසී ඇත්තේ ඉතාම මෑතදී කිහිප වතාවක් පමණි. 2015 ජනවාරී 8 වෙනිදාට පෙරත්, ඊට පසුත් ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ මංගල සමරවීරගේ භූමිකාව අතිශය තීරණාත්මකයි. එවැනි තීරණාත්මක දේශපාලන චරිතයකට තිබිය යුතු යැයි ශ්‍රී ලංකාවේ දේශපානඥයින් සිතන ප්‍රදර්ශනකාමී උත්කර්ශය මංගල සමරවීරගෙන් දැකිය නොහැක. ජනවාරි 8 වෙනිදාට පෙර වර්තමාන ආණ්ඩුව ජනතාවට පොරොන්දු වී ලබාගත් ජනවරමේ පදනම වන්නේ යහපාලනයයි. ඒ තුළ පොරොන්දූ වූ දේශපාලනඥයාගේ චරිත ලක්ෂණ වර්තමාන ආණ්ඩුවේ ඉහළ දේශපාලනඥයින් අමතක කර ඇත්නම් ඔවුන් පරිවාර රථ පිරිවරාගෙන මහ මාර්ගයේ යන්නේ නම්, පොලිස් නිලධාරීන් වටකරගෙන ආරක්ෂක පෝබියාවකින් පෙළෙන්නේ නම්, මහජන මුදල් හොරකම් කරන්නේ නම්, තමන්ට උදව් පදව් කළ පාක්ෂිකයින් ළගාකර ගැනීම කරදරයක් ලෙස සලකන්නේ නම්, බලහත්කාරයෙන් පාක්ෂිකයින්ගෙන් ගෞරවය බලාපොරොත්තුවන්නේ නම්, යාළු හිතමිතුරන් හා නෑදෑයින් හට තමන්ගේ බලය භුක්ති වීදිමේ හෝ භාවිතා කිරීමේ ප්‍රවේණි භුක්තියක් ඇතැයි සිතන්නේ නම්, ඔවුන් ජනවාරි 8 විප්ලවයට දායක නොවූ එහි න්‍යායාත්මක පදනම පිළිබද අවබෝධයක් නැති දේශපාලනඥයෝය. ඔවුන්ට මෙම ආණ්ඩුව තුළවත් වර්තමාන දේශපාලනය තුළවත් පැවැත්මක් නොමැති වන්නේය. හේතුව ඔවුන්ට ජනවරම පිළිබද අවබෝධයක් නොමැති වීමයි. ඔවුන්ගේ දේශපාලන ජීවිත අසතුටින්, අපකීර්තියෙන්, අගෞරවයෙන් විනාශය කරා ළගා වන්නේය. ඒ වෙනුවෙන් කටයුතු කිරීමට රාජපක්ෂ රෙජීමයෙන් ඔවුන්ට උරුම වූ වැරදි ආකල්ප සහිත නිලධාරීන් පැලැන්තියක්ද, රාජ්‍ය යාන්ත්‍රණයක්ද, හොරු රැළක්ද සිටී. ඔවුන් පාක්ෂිකයාට හෝ පක්ෂයේ කැපවීම කළ මිනිහාට හෝ ගැහැණියට වඩා බොහෝ සැප පහසුය. පඩුරු පාක්කුඩම් පුදයි. රසබර කතා කියයි. සාද පවත්වයි, ලිංගික අල්ලස් දෙයි, හොදින් අදියි, හොදින් කයි, හොදින් රමණය කරයි. එවන් මිතුරු සමාජයක් හෝ නෑදෑ පිරිවරක් ධනයක් අනිවාර්යයෙන්ම ඊනියා අනාගත දේශපාලන බලාපොරොත්තු දල්වයි. දේශපාලන ජීවිතය එහිදී සුරක්ෂිත බව පෙන්වයි. නමුත් රාජපක්ෂ රෙජීමය පරදවා දැන් වසර දෙක හමාරකි. එම රෙජීමයේ පැවැත්ම තීන්දු කළ සාධක වලට මේ ආණ්ඩුවේ හෝ වර්තමාන ජන සමාජයේ පැවැත්මක් නැත. ප්‍රචාරය හෝ දේශපාලන බලය සම්ප්‍රදායික මාධ්‍ය මෙහෙය වූ කාලය අවසන්ව ඇත. මේ තොරතුරු ජලය මෙන් සුලභ කාලයයි. තනි මිනිසුන් ස්වාධීනව ජනමතය හසුරවන අන්තර්ජාල යුගයයි. මහත්වරුණි ප්‍රවේශම්වන්න මංගලගෙන් ඉගෙන ගන්න.

මංගලගෙන් ඉගෙන ගත යුත්තේ කුමක්ද? මංගල සමරවීර මෙම ආණ්ඩුව බලයට පත්කිරීම සදහා තීරණාත්මක කාර්යභාරයක් කළ දේශපාලන නායකයයින් කිහිප දෙනා අතර දේශපාලන සත්ත්වයා බවට අවවාධිතය. ජනවාරි 8 වෙනිදාට පෙර දේශපාලනය මෙහෙය වූ මහ පොළවේ දේශපාලනඥයා ඔහුයි. රාජපක්ෂලාට වැඩිම වෛරයක් ඇත්නම් ඒ කිසිවෙකුත් සමග නොව මංගල සමරවීර සමගයි. නමුත් මංගල සමරවීර තමන්ට හිමි නිල ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනා සමග නිල වාහන වලින් සාමාන්‍ය මිනිසුන් මෙන් ගමන් බිමන් යයි. ඔහුට ආරක්ෂක පෝබියාවක් නැත. ඔහු ඇසුරු කරන ඔහු ගණුදෙනු කරන කණ්ඩායම ඉතාම සැප පහසු ලෙස ඔහු සමග ගණුදෙනු කරයි. නමුත් ඊයේ පෙරේදා ඇමතිවරු වූ මහත්වරුණි අල්ලපු ගෙදර එකාටවත් වෛරයක් ඇති නොවන හිගන්නන් වන ඔබට මෙතරම් ආරක්ෂකයින් කුමටද? ඔබට සේවය කරනවුන් ඔබට බියක් දක්වන්නේ නම් ඔබ යන්නේ වැරදි පාරේය. එම මාර්ගය වැටී ඇත්තේ විනාශයටය. එය අද සිදුනොවුනද හෙට අනිවාර්යයෙන් සිදුවණු ඇත. ඒ නිසා මංගල දෙස බලන්න, මංගලගෙන් ඉගෙන ගන්න.

දින 100 ආණ්ඩුවේ විදේශ ආමාත්‍යංශය මංගලට දෙනවිට එය අවුල් ජාලාවකි. එම අවුල රට ජාත්‍යන්තර උගුලකට හසු කර තිබුණේය. මංගල සමරවීර දින 100 ආණ්ඩුව අවසන් වනවිට එම අවුල් වලින් විශාල ප්‍රමාණයකින් රට මුදවාගෙන තිබුණි. එම සාර්ථකත්වයේ ගෞරවය ඔහු ලබා ගන්නවා වෙනුවට ඔහුට ඒ සදහා ආශිර්වාද කළ උපදෙස් ලබාදුන් ශක්තිය ලබාදුන් එම කාර්යය ඔහුට පවරා දුන් ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් ලබා ගැනීමට ඉඩ ප්‍රස්තාව ලබාදුණි. ඔහු එම කාලය තුළ විදේශ අමාත්‍යංශය දේශපාලනීකරණය නොකිරීමට ප්‍රවේශම් විය. ඒ සදහා සුදුසු පුද්ගලයින් පමණක් තෝරා බේරා ගනිමින් කිසිවෙකුගේත් උගුල් වලට හසු නොවෙමින් එම වැඩපිළිවෙල ඉතාම සාර්ථක ලෙස සිදුකළේය. මංගල සමරවීර යනු නායකයෙකුට විශ්වාසය තබා වැඩක් බාරදිය හැකි දේශපාලනඥයෙකි. ඔහු එවන්නෙක් වුවද මේ ආණ්ඩුවේ අලුත් ඇමතිවරු තම අමාත්‍යාංශ ආණ්ඩුකරනයේදී නිලධාරීන්ගේ ලණු කමින් හත්පොළේ ගා ගනිමින් සිටී. තම හත්මුතු පරම්පරාවේ නෑදෑයින් අමාත්‍යංශ වලට වද්දා ගනිමින් අමාත්‍යංශ අවුල් ජාලයන් බවට පත්කරගෙන තිබේ. එම ඇමතිවරු එළිපිට හෙළුවෙන් නටති. ඔවුන් පිළිබද තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්බොක්ස් තුළත් සාකච්ඡා මණ්ඩප තුළත්, ප්‍රසිද්දියේත් දිනපතා හුවමාරු වෙති. ඔවුන්ට හිනා වෙති. අපහාසයට උපහාසයට ලක් කරති. මහත්වරුණි ඔබේ අමාත්‍යංශවල කටයුතු කරනුයේ ඔබට අමාරු කාලයේ ඔබ ළග සිටි ඔබට විය පැහැදමට මුදල් දුන් ඥාතී හිතමිත්‍රාදීන් නම් ඔබ ඉන්නේ විනාශයට යන මාවතේය. මන්ද යහපාලන ආණ්ඩුවේ පදනම හා ජනවරම වෙනස්ය. ඔබ අද පැවතුණද හෙට විනාශවනු ඇත. මංගලගෙන් ඉගෙන ගන්න, තමන්ට අදාළ කටයුතු නිවැරදි ලෙස නිවැරදි මිනිසුන් සමග කරන්න.

මංගල සමරවීර නිවැරදි මිනිසුන් කාර්යයන් සදහා තෝරා ගැනීමේ විශේෂඥනතාවයක් දක්වයි. ඒ සදහා ඔහුගේ පෞද්ගලික කියවීමක් ඇතිබව පෙනේ. ඔහු ඇන්දවීමට හැකි කිසිවෙකුත් ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ නොමැති බව මාගේ පෞද්ගලික තක්සේරුවයි. ඔහු මුදල් හා ජනමාධ්‍ය ඇමති වූ පසු ඔහු සමග කටයුතු කරන කිසිවෙකුත් ඔහු විදේශ ඇමති යුගයේ එම අමාත්‍යංශයට වද්දා නොගත්තේය. එසේම එම යුගයේ ඔහු සමග වැඩ කළ නිලධාරීන්, වර්තමාන අමාත්‍යංශයට රැගෙනවිත් අවුල් ජාලාවක් කර නොගත්තේය. ඔහුට බැලූ බැල්මට ඉතාම හොද දේශපාලන නාඩියක් තිබේ. එම දේශපාලන නාඩිය මහා පොළවේ සිටු වීමට තරම් බුද්ධිමත්, නිර්මාණශීලී හැකියාවක් හා උනන්දුවක් තිබේ. මෙතරම් බාධා, තර්ජන, ගර්ජන තිබියදීත් මංගල සමරවීරගේ පැවැත්ම තීරණය වූයේ එම සාධකයයි. එසේම ඔහුගේ ජීවිතයේ පෞද්ගලිකව පවත්වාගෙන යන සරළ බව අවශ්‍ය වේලාවට ගණුදෙනු කළ හැකි නිහතමානී බව එඩිතර බව ඔහුගේ ජීවිතයේත්, ආණ්ඩුවේ පැවැත්මත් ස්ථාවර කොට තිබේ.

මහත්වරුණි තව බොහෝ දේ කීමට ඇති නමුත් කිවයුත්තේ ආණ්ඩුකරනය මංගලගෙන් ඉගෙන ගන්න, මංගල වගේ වෙන්න, ඒක පට්ට.