Sunday, April 30, 2017

රනිල් සහ කුවේණි



රනිල් වික්‍රමසිංහ මේ ගෙවමින් සිටිනුයේ ඔහුගේ දේශපාලන දිවියේ හතරවන දශකයයි. ඔහු අඛණ්ඩව අවුරුදු හතළිහක් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ. ඔහු ලෝකයේ මේ මොහොතේ ජීවත්වන රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර වැඩිම අත්දැකීම් සහිත දේශපාලනඥයෙකු වේ. ඔහු ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ශ්‍රී ලංකාවේ සමාජය, ආර්ථිකය හා දේශපාලනය ක්‍රමිකව වෙනස් වෙමින් පැමිණීම හොදින් දැක තිබේ. එසේම රට තුළ පැවති දීර්ඝ කාලීන සිවිල් අරගල දෙකක් අත්දැක තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ සිට අගමැති ධූරය දක්වාත් පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ ඇති වැදගත් තනතුරු ගණනාවක් දරා ඇත. ඔහු විසින් සිදුකරන ලද අධ්‍යාපනික හා කර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යුහාත්මක වෙනස්කම්වල ප්‍රතිලාභ ලබන්නෝ ඔහු දිනපතා දකින්නේය. එම නිසාම රනිල් වික්‍රමසිංහ යනු මේ රටේ සාර්ථකම දේශපාලනඥයා බව මාගේ හැගීමයි.

දේශපාලනඥයෙකු විසින් ලැබිය යුතු ජය පාරාජය දෙකම ඔහු හොදින් අත්විද තිබේ. ජනතා කැමැත්ත මෙන්ම අකමැත්තද ඔහු හොදින් භුක්තවිද තිබේ. ඔහු විටෙක වීරයෙකු ලෙසද, තවත් විටෙක ද්‍රෝහියෙකු ලෙසද මෙරට මාධ්‍ය හා දේශපාලන අංකූරන් විසින් හංවඩු ගසා තිබුණි. ඔහු පාගා යටපත්කොට බලය පවත්වා ගැනීමට උත්සහ කළ ප්‍රභාකරන්, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ වැනි නායකයන්ද තම පක්ෂයේම වූ ද්‍රෝහියෝද දේශපාලන වේදිකාවෙන් බැසගොස් තිබේ. නමුත් රනිල් වික්‍රමසිංහ අඛණ්ඩව දශක හතරක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් තවමත් මෙරට පුවත්පත්වල හා විද්‍යුත් නාලිකාවල සිරස්තල වල සිටී. ඒ අනුව රනිල් වික්‍රමසිංහ යනු මේ රටේ එතෙක් මෙතෙක් බිහි වූ සාර්ථකම වෘත්තීය දේශපාලනඥයාය. නමුත් ප්‍රශ්නය ඇත්තේ ඔහුගේ වෘත්තීයභාවයෙන් රටට ලබාදුන් ජයග්‍රහණය කුමක්ද හා ඔහුගෙන් රට අපේක්ෂා කරනුයේ කුමක්ද යන්නයි. අප විධිමත්ව සාකච්ඡා කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ ගැන නොව ඔහු විසින් රටට ඉටුකළ සාධාරණය කුමක්ද යන්නයි.

රනිල් වික්‍රමසිංහ යෞවන කටයුතු ඇමතිවරයා හැටියට ශ්‍රී ලංකාවේ කටයුතු කළ කාලයේ ගොඩනගන ලද ව්‍යුහාත්මක වෙනස්කම් නිසාවෙන් අදත් ලංකාවේ තරුණ පරපුර දියුණු බටහිර ලෝකයේ තරුණ තරුණියන් මෙන්ම දැනුවත්, උගත් පෞර්ශයකින් යුත් ජීවන ක්‍රමයකින් ශක්තිමත් වූ තරුණ තරුණියෝ වේ. එම ව්‍යුහාත්මක වෙනස්කම් කොතරම් ප්‍රබලද යත් දශක හතරකට පසුත් ලංකාවේ තරුණ සංවර්ධනයේ පුරෝගාමී ආයතනය ජාතික තරුණ සේවා සභාවයි. ඉන්පසු පැමිණි කිසිදු තරුණ කටයුතු ඇමතිවරයෙකුට රනිල් වික්‍රමසිංහ පසුකාර යාමට නොහැකි තරම් දැනුමක්වත්, හැකියාවක්වත් නොතිබුණි. නමුත් අද ඔහු සිතනුයේ නව තොරතුරු තාක්ෂණ යුගයට ගැලපෙන පරිදි රටේ තරුණ කටයුතු වල විශාල ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකළ යුතු බවයි. ඒ බොහෝමයක් වෙනස්කම් සදහා ඔහු මූලික අත්තිවාරමද දමා තිබේ.

එසේම රනිල් වික්‍රමසිංහ කර්මාන්ත ඇමතිවරයාව සිටියදී ඉදිරිපත් කරනු ලැබු කර්මාන්ත සංවර්ධන වැඩපිළිවෙලින් ගොඩනගන ලද බියගම හා කටුනායක නිදහස් වෙළද කළාප දශක තුනකට පසුත්, අදද ලංකාවේ විශාලතම කර්මාන්ත පුරයන්ය. රටේ නිෂ්පාදන ආර්ථිකයේ විශාලතම කොටස නියෝජනය කරනු ලබන්නේ බියගම හා කටුනායක වෙළද කළාප තුළින්ය. ඔහුට පසුව පැමිණි සියලුම කර්මාන්ත ඇමතිවරු ගමන් කරනු ලැබුවේද ඔහු පසුපසිනි. ඔවුන්ද උත්සහ කරනු ලැබුවේ රටපුරා නිදහස් වෙළද කළාප ඇති කිරීමටය. ඒවා අර්ධ සාර්ථක ව්‍යාපෘතියන්ය. නමුත් අද රනිල් වික්‍රමසිංහ ඉන්දියාව හා චීනය කේන්ද්‍ර කරගත් දියුණු නිෂ්පාදන ආර්ථික මොඩියුලයක් යෝජනා කරනු ලබයි. ප්‍රතිගාමී බලවේග එම ආර්ථික මොඩියුලයට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරමින් ඒ වෙනුවට රටට යෝජනා කරනු ලබන්නේ වසර තිහකට පෙර රනිල් වික්‍රමසිංහ යෝජනා කරන ලද නිදහස් වෙළද කළාප ආර්ථික මොඩියුලයයි. රනිල් වික්‍රමසිංහට අනුව එය යල්පැන ගිය අද තොරතුරු තාක්ෂණ යුගයට නොගැලපෙන ආර්ථික මොඩියුලයක් බව ඔහු කියයි. ඔහු යෝජනා කරනුයේ චීනය ඉන්දියාව පදනම් කරගත් නව ලිබරල් නිදහස් ආර්ථික ප්‍රතිපත්තියට මේ රටේ ජනතාවගේත් අනෙකුත් කොටස්වලත් විශේෂයෙන්ම ජනමාධ්‍යයේත් සහයෝගය ලබාදෙන ලෙසය.

රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමතිවරයාව සිටි මීට වසර 25 කට 30 කට පෙර ක්‍රියාත්මක කරන ලද අධ්‍යාපනයේ ව්‍යුහාත්මක වෙනස්කම් අදද මේ රටේ අධ්‍යාපනයේ සාර්ථකම ඒකකයයි. ගුරුවරුන් පුහුණු කිරීම සදහා විද්‍යා පීඨ, වයස් සීමාවකින් තොරව විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබිය හැකි විවෘත විශ්ව විද්‍යාල, ඉංග්‍රීසී ගුරුවරුන් පුහුණු කිරීම සදහා වූ ඩෙලික් ආයතනය, නවීන තාක්ෂණය ඉගැන්වීම ක්‍රමවේදයන්ගෙන් යුත් පාසල් අධ්‍යාපනය, උතුරු නැගනහිර දරුණු යුද්ධයක් පවතිද්දීත් පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යා යුතු බවට ජනතා ආකල්පය හා ජාතික අධ්‍යාපන ආයතනය ගොඩනගා විෂය මාලා සංවර්ධනය සිදුකිරීම, ආධුනිකත්ව මණ්ඩලය වැනි ආයතන ගොඩනගා රටේ වෘත්තීය අධ්‍යාපනය ගොඩනැගීම වැනි ව්‍යුහාත්මක වෙනස්කම් රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනතාවට ලබාදෙන ලද ජයග්‍රහණයන්ය. පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා තිබු බැමි ලිහිල් කිරීම නිසාවෙන් ඕනෑම පන්තියක, ඕනෑම කෙනෙකුට අධ්‍යාපනය ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු වීම මගින් රනිල් වික්‍රමසිංහ අධ්‍යාපනයට කරන ලද සේවය ඔහුගේ වෘත්තීය ජීවිතයේ අභිමානය බව මාගේ හැගීමයි.

එසේම 2001 - 2004 කාලයේ ඔහු මේ රටේ අගමැති ධූරය දරමින් ජනවාර්ගික අර්බුධයට සාමකාමී විසදුමක් සොයන අතරම ජාත්‍යන්තරය L.T.T.E ට එරෙහිව ශක්තිමත් කොට ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කොට සාමයෙන් විසදා ගැනීමට නොහැකි වුවහොත් යුද්ධයෙන් හෝ විසදා ගැනීම සදහා වූ අගමැතිවරයාගේ කැපවීම අනගිබවනීය බව මාගේ හැගීමයි. එසේම 2015 ජනවාරි 8 වනදා පරාජය කරන ලද රාජපක්ෂවාදී දරුණු රෙජීමය පරාජය කිරීමට තම පක්ෂයත්, රටත් පොළඹවා වර්තමාන ජනාධිපතිවරයාට එම මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඔහු ලබාදුන් සහයෝගය නිසාවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට නිදහසේ හුස්ම ගැනීමට හැකි රටක් බිහි වී තිබේ.

අගමැතිවරයා සතුව විශාල ව්‍යවස්ථාපිත බලතල නොමැතිවුවද ජනාධිපතිවරයා හා සහයෝගයෙන් රටේ ආර්ථිකයේත්, සමාජයේත්, දේශපාලන ක්ෂේත්‍රයේත් ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා දරණ උත්සහයට රටේ ප්‍රතිගාමී බලවේග මගින් විශාල විරෝධයක් හා වෛරයක් එල්ල කරනු ලැබුවද ඒ දහසකුත් බාධක මැද එක්සත් ජාතික පක්ෂය සියලුම ජාතීන් නියෝජනය කරනු ලබන, සෑමදෙනාටම ප්‍රතිලාභ ලැබෙන සාමකාමී නිදහස් රටක් ගොඩනැගීමට ඔහුගේ ඇති කැපවීම අගය කළ යුතුය. නමුත් මෙරට සම්ප්‍රදායික මාධ්‍ය රනිල් වික්‍රමසිංහ වෙත එල්ල කරනු ලබන මාධ්‍ය ප්‍රහාරය මේ රටේ ඉදිරි ගමන ප්‍රාර්ථනා නොකරනවුන්ගේ කොන්ත්‍රාත්තුවක් බව මාගේ හැගීමයි. එබැවින් මේ ලෝක කම්කරු දිනයේදී අප අදිටන් කරගත යුත්තේ රනිල් වික්‍රමසිංහට අවස්ථාවක් දියයුතු බවයි.

කුවේණිය විසින් ජාතිය ගොඩනගා ලංකාවේ පළවෙනි විධිමත් ජාතික රාජ්‍යය ගොඩනැගීමෙන් පසු අප කවුරුත් දන්නා පරිදි කුවේණියගේ ඉරණම වූයේ පළවා හැරීමයි. එසේම ඇය තම ඥාතී සමූහයා විසින්ම විනාශ කර දැමීමේ ඉරණමට ලක්විය. රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන්ද එය එසේමය. එවන් ජාතියක් වෙනුවෙන් තම ජීවිතයම කැප කළ අනේක විධ දුක් දෝමනස්නයන් විදි දේශපාලන නායකයෙකු වන ඔහුට, ඔහු ඉල්ලා සිටින කාලය අප ලබා දිය යුතුය. රට ජයග්‍රහණය අත්කරගත් පසු විජය කුමාරයා කුවේණිය පන්නා දැමුවාක් මෙන් රනිල් වික්‍රමසිංහ පන්නා දැමුවද කමක් නැත. වඩා වැදගත් වන්නේ රට අද ඉන්නා තත්ත්වයෙන් ගොඩ ඒමය.

Sunday, April 23, 2017

ගෙදර කුණු ගෙදරටම



ශ්‍රී ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක කඩයිමක් පසුගිය දෙසතිය තුළ පසු කළේය. එනම් මේ රටේ දේශපාලනයේ මුලීක ලක්ෂණය වන්නේ භෞතික සම්පත් මත පදනම් වූ දේශපාලනයයි. එනම් බෝක්කු සෑදීම, පාරවල් හැදීම, කාණු දැමීම, කුණු ඉවත් කිරීම, ළමයි වඩාගැනීම, මලගෙවල්වල යෑම, වැනි කාරණාය. මේ රටේ ජනතාවවත්, දේශපාලඥයින්වත්, ප්‍රතිපත්ති සම්පාදනය මගින් තීරණාත්මක ප්‍රශ්න විසදිය හැකියැයි විශ්වාස කරන්නේ නැත. එබැවින් අනාගතය දෙස බලා කිසිවෙකුත් තීන්දු තීරණ ගැනීමට උත්සහ කරන්නේ නැත. මන්ද අනාගතය දෙස බලා ගන්නා තීන්දු තීරණවලින් මේ මොහොතේ මෙරට ජීවත්වන ජනතාවටවත්, සමාජයටවත් වාසියක් නොලැබෙන බැවිනි. එය මැතිවරණයකදී ඡන්දයක් බවට පත්කිරීමට ඇති අපහසුතාවය නිසාය. මීතොටමුල්ල හා ලංකාවේ කුණු ප්‍රශ්නය යනු එවැනි පැලැස්තර විසදුම්වල පෙන්වාදිය හැකි හොදම උදාහරණයයි.

ලංකාවේ කුණු කළමනාකරණය කරන විධිමත් ක්‍රමවේදයක් නොමැත. අප කුණු සම්බන්ධයෙන් කටයුතු කරනුයේ දැනට වසර 2500කට පෙර ලෝකයේ ජනතාව කුණු සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරයටමය. එනම් ජනාවාසවල එකතුවන කුණු, ජනාවාසයෙන් එපිට ස්ථානයකට ගෙනගොස් දැමීමයි. එමනිසා ශ්‍රී ලංකාවේ කුණු ඉවත්කිරීම පිළිබද දැණුම වසර 2500කට වඩා පැරණි දැණුමකි. ලෝකය කුණු කළමනාකරණය සම්බන්ධයෙන් බොහෝ දුර ගොස් තිබේ. අප එයින් යමක් ඉගෙනගෙන තිබේ. ඒ කුණුවලින් මුදල් හම්බකරගත හැකි යැයි යන මිත්‍යාවයි. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිත්‍යාවකි. කුණුවලින් මුදල් උපයාගත නොහැක.

ලංකාව වැනි රටක වෙළදාම ඉතා අපහසු කටයුත්තකි. මන්ද ශ්‍රී ලාංකික ජනතාවට මිලදීගැනීමේ පුරුද්ද අනෙක් රටවලට සාපේක්ෂව ඉතා අඩුය. ලංකාවේ වෙළෙන්දෝ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පවා විකුණන්නේ ඉතාම අපහසුවෙන්ය. ඉතින් එවන් රටක කුණු විකුණන්නේ කෙසේද? ලංකාවේ කසල කළමනාකරණ ක්ෂේත්‍රය දියුණු නොවූයේ කසල විකිණිය හැකියැයි තිබූ මෙම මිත්‍යා විශ්වාසය නිසාය. ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ සිට ජාතික මට්ටමේ දේශපාලඥයින් දක්වා සියළුම දෙනා කසල සම්පතක් ලෙස දකින්නට පුරුදු වූ නිසාවෙන්, කසල කළමනාකරණය සදහා පැමිණි ආයෝජකයින්ගෙන් මුදල් ඉල්ලීමට පුරුදු විය. එය එසේ මෙසේ මුදලක් නොව කෝටි ගණන් වටිනා මුදල්ය. එම නිසාම ලංකාවේ කසල කළමනාකරණයට මුදල් ආයෝජනය කිරීමට එම ක්ෂේත්‍රයේ කටයුතු කරන කිසිදු ජාත්‍යන්තර මට්ටමේ සමාගමක් එකග නොවේ.මන්ද කසල කළමනාකරණය කරන සමාගම් බලාපොරොත්තුවන්නේ කසල නොමිලේ ලබාගෙන ඒවා වෙන්කොට පසු නිෂ්පාදන හෝ බලශක්තිය නිපදවාගෙන ඒවා අලෙවිකොට මුදල් ඉපයීමටයි. එවැනි ව්‍යාපාරයකින් කසල සදහා මුදල් ඉල්ලූවිට ඔවුන් ආයෝජනය කරන්නේ නැත. මන්ද කසලවලට මුදල් ගෙවන්න සිදුවුවහොත් ඔවුන්ට ලාභ ලබාගත නොහැකි බැවිනි. එමනිසා අප සිතිය යුත්තේ කසල ගැටළුවෙන් ගැලවීමටනම් ප්‍රථමයෙන් කසලවලට මිලක් නොමැති බව අවබෝධකර ගැනීමයි. අප එසේ සිතන්නට පුරුදු වූ පසු කසල කළමනාකරණ සමාගම් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට පැමිණෙනු ඇත.

ලංකාවේ කසල කළමනාකරණය සදහා මට පෙනෙන හොදම විසදුම ඇත්තේ තම නිවෙස්වලම කසල ප්‍රතිචක්‍රීකරණය හෝ විනාශ කිරීමයි. එය කරන්නේ කෙසේදැයි පැහැදිලි කිරීමට කැමැත්තෙමි. ශිෂ්ටාචාරය බිහිවූ දා සිට මිනිසුන්ගේ ජනාවාසවල බිහිවන අපද්‍රව්‍ය වර්ග කිහිපයක් තිබේ. එහි ප්‍රථම වර්ගයනම් ශරීරයෙන් පිටවන අපද්‍රව්‍යයි. ඒ පිළිබදව අපට හොද දැණුමක් තිබේ. අප විධිමත් වැසිකිලි, කැසිකිලි පාවිච්චි කරමින් ඒවා ඉතාම විධිමත්ව පිටකර තැන්පත් කරනු ලැබේ. එම අපද්‍රව්‍ය කිසිම කරදරයකින් තොරව පොළවට එකතුවේ. බීමට ගන්නා ජල මූලාශ්‍රවලට අඩි විසිපහකට වඩා ආසන්න නොවන තාක්කල් ලංකාවේ වැසිකිලි, කැසිකිලි පුරුදු හොද බව මගේ හැගීමයි.

අනෙක් කාරණය වන්නේ අප භාවිතාකර ඉතිරී වූ කැලිකසලයි. ඒවා මූලික වශයෙන් වර්ග තුනක් තිබේ. එකක් වන්නේ දිරාපත්වන අපද්‍රව්‍යයි. අනෙක වන්නේ නොදිරන පොලිතීන් වැනි අපද්‍රව්‍යයි. තුන්වන කාරණය වන්නේ පත්තර, යකඩ, කඩදාසි වැනි නැවත් භාවිතාකළ හැකි මිලක් ඇති භාණ්ඩය. ශ්‍රී ලාංකික අපට විධිමත් කසල කළමනාකරණ ක්‍රමයක් තවමත් රට තුළ ගොඩනැගී නැති අතර එය ගොඩනැංවීමට එක්තරා කාලයක් ගතවන අතර ඒ සදහා වසරක් හෝ දෙකක් ගතවෙතැයි මාගේ තක්සේරුවයි. එතෙක් ශ්‍රී ලාංකික අප කළයුත්තේ අප නිවෙස් තුළ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන භාජනයක් තබාගෙන සිටීමයි. කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන භාජනය තුළින් එළියට දුගදක් වහනය නොවේ. නොදිරන ද්‍රව්‍ය පමණක් අප එය තුළට දැමුවහොත් ගෙදර කුණු ප්‍රශ්නය 70% ක් විසදාගත හැකිය. නොදිරන ද්‍රව්‍ය ගිණිතබා විනාශකල යුතුය (තාවකාලිකව). නැවත් භාවිතාව සදහා විකුණාදැමිය හැකිය (ඒ සදහා වෙළදුන් නිවස අසලට පැමිණේ). මේ සදහා අවශ්‍ය දැණුම ඕනෑතරම් අප සමාජයේ තිබේ. අප ඉදිරි වසර දෙක තුළ මෙසේ ක්‍රියාත්මක වුවහොත් රටේ කුණු ප්‍රශ්නය අදාල අංශ සූදානම් වනතුරු විසදාගත හැකිය.

නමුත් නිවස තුළ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන විසදුමේදී අප තවත් බරපතල ප්‍රශ්නයකට මුහුණදිය හැකිය. ඒ රට පුරා නිෂ්පාදනයකරන කොම්පෝස්ට් පොහොරවලට වෙළදපොලක් ලබාගැනීමයි. ඒ සදහා රටට හිතැති හොදම විසදුම රසායන පොහොර සීමාකිරීම හෝ තහනම්කිරීමයි. රසායන පොහොර වෙනුවට කොම්පෝස්ට් පොහොර භාවිතයට රටේ මිනිසුන් පෙළඹවීමයි.

දැනට වසර දහයකට පෙර රුපියල් 350 ට පොහොර ලබාදීමට ලංකාවේ ආණ්ඩුව තීරණය කිරීම නිසාවෙන් රටටත්, සමාජයටත්, පරිසරයටත්, සිදුවූ හානිය එමගින් ලැබූ ආර්ථික ලාභයට වඩා දහස්ගුණයකින් වැඩිය. එනම් රටේ රසායන පොහොර භාවිතය පසුගිය දශකය තුළ ඉතා සීඝ්‍රයෙන් ඉහල ගියේය. එය ඊට පෙර දශකයට වඩා දහස්ගුණයකටත් වඩා වැඩිය. එම පොහොර භාවිතයෙන් රටේ ජල මූලාශ්‍ර විශාල වශයෙන් දූෂණයට ලක්විය. විශේෂයෙන් රජරට ජනතාවට වසංගතයක් ලෙස වකුගඩු ආබාධ ඇතිවිය. ඇල, දොල හා වැව්වල ජෛව විවිධත්වය සම්පූර්ණයෙන්ම විනාශවිය. ඇල, දොල, ගංගා, මිනිස් පරිභෝජනයට ගත නොහැකි තරම් තත්ත්වයකට පත්විය. මෙම හානිය අප අස්වැන්නෙන් ලබාගත් ආර්ථික ලාභයට වඩා ඉතා වැඩි බව මාගේ පෞද්ගලික හැගීමයි. එමනිසා රුපියල් 350 පොහොර සහනාධාරය කරලියට ගෙන ආ ජනතා විමුක්ති පෙරමුණට මාගේ දැඩි විරෝධය හා සාතිශය සංවේගය පලකිරීමට කැමැත්තෙමි.

අවසාන වශයෙන් කිවයුත්තේ රටේ කසල කළමනාකරණය කිරීමට ගෘහ ඒකකවලට දැනුවත්කොට ගමේ ආර්ථික සංවර්ධන නිලධාරීන් හරහා එම කොම්පෝස්ට් පොහොර එකතුකොට ඒවා ගොවීන් අතර බෙදාහැර ජනතාවටත් ආදායමක් ඉපැයෙන ක්‍රමයක් සකස්කොට, රටේ රසායන පොහොර භාවිතයත් නවත්වා, කසල ප්‍රශ්නයත් විසදා, ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ දැනුමෙන් ගමට සේවයක් ලබාගතහැකි විසදුමක් බව මාගේ හැගීමයි.

අගමැතිතුමාගේ ප්‍රතිසංස්කරණ අතර රටේ රසායන පොහොර භාවිතය අවම කිරීමේ වැඩපිළිවෙලට ගෘහස්ථ කසල කළමනාකරණයට ආණ්ඩුව විසින් යෝජනාකරන ක්‍රමවේදය මනා පිටිවහලක් වනබව මාගේ හැගීමයි.

Sunday, April 16, 2017

කුණු දේශපාලනයේ සිට ආර්ථිකය දක්වා අනුන්ගේ පව් ගෙවීම



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ ගෙවමින් සිටිනුයේ ඔහුගේ වෘත්තීය ජීවිතයේ අභියෝගාත්මක හා අපහසුම කාලපරිච්ඡේදයයි. ඔහු විසින් ශ්‍රී ලංකාවට යෝජනා කරමින් තිබෙන සමාජ, ආර්ථික හා දේශපාලනික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට කිසිදු අවස්ථාවක් මෙරට දේශපාලන ක්ෂේත්‍රයෙන්වත්, සමාජයෙන්වත් අඩුමතරමේ ස්වභාවධර්මයෙන්වත් නොලැබෙන තත්ත්වයක් තිබේ. දැනට වසර 17 කට පෙර මෙරට ජනාධිපති ධූරයට පත්වීමට නියමිතව සිටි ඔහු, එවකට තිබුණු දේශපාලන තත්ත්වය අනුව ප්‍රභාකරන් විසින් උදුරා ගනු ලැබුවා. එදා ඔහු විසින් යෝජනා කරන ලද සමාජ, ආර්ථික හා දේශපාලනික ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කළේනම් ලංකාවේ අද දවස මීට වඩා හාත්පසින්ම වෙනස්වීමට තිබුණි. අද මෙන් එදා අධික ණය බරක් නොතිබුණු අතර ලංකාවට දැවෙන ප්‍රශ්නයක්ව තිබුණේ උතුරු, නැගෙනහිර බෙදුම්වාදී යුද්ධය පමණි. එදා ඔහු බලයට පත්වූයේ නම් විසදිය යුතු සංකීර්ණම ගැටලුව වූයේ උතුරු, නැගෙනහිර යුද්ධය පමණි. අනෙකුත් සියලුම සමාජ, ආර්ථික, දේශපාලනික හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔහුට කිසිදු ගැටලුවකින් තොරව විසදිය හැකි වාතාවරණයක් රට තුළ තිබුණි. එම යුගයේදී ලෝකයේ නව ලිබරල් ප්‍රතිසංස්කරණ සදහා විශාල ඉල්ලුමක් තිබූ අතර අපට ඒ සදහා හොදින් ජාත්‍යන්තර සහයෝගයද ලැබුණි. නමුත් අද තත්ත්වය ජාත්‍යන්තරිකව ඊට හාත්පසින්ම වෙනස් සංකීර්ණ තත්ත්වයකි. මෙම සන්ධර්භයේ සිට රනිල් වික්‍රමසිංහ විසින් මෙරටට යෝජනා කරන ලද ආර්ථික, සමාජ හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබදව විමසා බැලිය යුතුය.

මීතොටමුල්ල කුණු කන්ද නාය යාම පිළිබදව මෙරට සාම්ප්‍රදායික මාධ්‍ය, විශේෂයෙන් සිරස රූපවාහිනිය විසින් එහි වගකීම අග්‍රාමාත්‍යවරයා වෙත පැටවීමට මහත් උත්සහයක් ගන්නා බව පෙනේ. මෙම ආණ්ඩුවේ බල කේන්ද්‍රයන් දෙකකි. එකක් ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, අනෙක අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේත්ය. මීතොටමුල්ල කුණු කන්ද අදාළ පළාත් පාලන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, මහනගර අමාත්‍යාංශය මෙම ගැටලුව ඇති කළ ආරක්ෂක අමාත්‍යාංශය අයිතිවන්නේ රනිල් වික්‍රමසිංහට අදාළ නොවන බල කේන්ද්‍රයටය. නමුත් සිරස රූපවාහිනිය දිගින් දිගටම රනිල් වික්‍රමසිංහට චෝදනා කරමින් දෙස්දෙවොල් තබයි. මෙම ගැටලුව විසදීමට සහයවන කිසිදු ප්‍රවෘත්තියක් ඉදිරිපත් කිරීමට සිරස රූපවාහිනියට නොහැකිවූ අතර ඔවුන්ගේ ගද ගහන න්‍යාය පත්‍රය තුළම කටයුතු කළේය. සිරස රූපවාහිනියේ මාධ්‍ය භාවිතය ජනතාවගෙන් වියුක්ත වෙමින් හුදෙකලාව පවතින බව මාගේ පෞද්ගලික මතයයි.

ඒ කෙසේ වුවද අග්‍රාමාත්‍යවරයා කුණු කන්ද නාය යාමෙන් පසු ඇතිවු තත්ත්වය කළමණාකරනය කොට එම ගැටලුව තිරසාරව විසදීමට විශාල මැදිහත්වීමක් කරන බව දකින්නට ලැබුණි. මීතොටමුල්ල කුණු කන්දට ඉතිහාසයක් තිබේ. එය එසේ මෙසේ ඉතිහාසයක් නොව ප්‍රබල ඉතිහාසයක් තිබේ. පසුගිය රජයේ ඝෝඨාභය විසින් මෙහෙයවන ලද නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් කොළඹ පිරිසිදු කොට කොළඹ කුණු දැමීමට සොයාගත් ක්‍රමවේදයයි. ප්‍රථමයෙන් අක්කර 4 ක්වු එම ඉඩ ප්‍රමාණය පසුව තිරසාර හා ක්‍රමවත් කුණු බැහැර කිරීමේ ක්‍රමවේදයකින් තොරව අක්කර 19 ක් දක්වා වර්ධනය විය. එම ප්‍රදේශයේ ජනතාවගේ දෙපතුළටම කුණු කන්ද පැමිණියේය. ඝෝඨාභයලා කොළඹ ලස්සන කළේ වසර සිය ගණනක් පවතින විශාල පරිසර හානියක් හා ජල මූලාශ්‍ර දූෂණයක් සිදුකරමිනි. මීතොටමුල්ල කුණු කන්ද නිසාවෙන් එම ප්‍රදේශයේ ජල මූලාශ්‍රයන්ටත් පරිසර පද්ධතියටත් සිදුවූ හානිය අතිවිශාලය. මෙම කුණු කන්ද පිළිබද ගැටලුව විසදීමට මැදිහත්වූ සමාජ ක්‍රියාකාරීන්ට හා නීතීඥයින්ට තර්ජනය කරමින්, හිරේ දමමින්, අඩත්තේට්ටම් කරමින් මෙම කුණු කන්දේ ගැටලුව කිසිදු රජයකට පහසුවෙන් විසදිය නොහැකි විශාල අර්බුධයක් බවට පත්කළ අතර වර්තමාන රජය මුහුණදෙමින් සිටින පසුගිය ආණ්ඩුව විසින් ඇතිකරන ලද අනේකවිධ ගැටලු තේරුම් ගැනීමට මීතොටමුල්ල කුණු කන්ද හොදම උදාහරණයකි. මෙම කුණු කන්දේ ගැටලුව විසදීම ත්‍රස්තවාදය විසදීම තරම් සංකීර්ණ ගැටලුවක් බවට ප්‍රාදේශීය දේශපාලඥයින් විසින් පත්කර තිබේ. අන්තර්ජාලයේ සැරිසරනු ලබන ප්‍රසන්න රණතුංග හිටපු මහඇමතිවරයාගේ හොරෙන් පටිගතකරන ලද හඩපටයකට අනුව පෙනීයන්නේ මේ කුණු විකුණා කොමිස් ගැසීම දේශපාලඥයින්ගේ පරම අරමුණ වී ඇතිබවයි. කවුරුන් හෝ මෙම ගැටලුව විසදීමට උත්සහ කළහොත් එම උත්සහකරන්නාගේ, මීතොටමුල්ල ග්‍රාමසේවකගේ සිට පළාතේ මහඇමතිවරයා දක්වා මුදල් ඉල්ලන බව එම ප්‍රදේශයේ ජනතාවට ප්‍රසිද්ධ රහසකි.

මීතොටමුල්ල කුණු කන්ද පිළිබද ගැටලුවට තිරසාර විසදුමක් දියයුතු බව අවිවාධිතය. නමුත් ඒ විසදුම විය යුත්තේ එම කුණු කන්ද මීතොටින් ගලවා ජා ඇලට රැගෙන යාම නොව. මීතොටමුල්ලේදීම ප්‍රතිචක්ක්‍රීකරණය කළ හැකි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමය. දියුණු ලෝකයේ කුණු ප්‍රතිචක්ක්‍රීකරණය අද රොකට් තාක්ෂණය නොවේ. ඉතා සරළ මිනිස් දැනුමයි. මේ සදහා ආයෝජනය කිරීමට ඕනෑ තරම් ආයෝජකයින් ජපානය, කොරියාව වැනි රටවලින් සොයාගත හැකි අතර අවශ්‍යවන්නේ ප්‍රබල රාජ්‍ය මැදිහත්වීමකි.

මේ මීතොටමුල්ල කුණු කන්ද යනු පසුගිය රජය විසින් ඇතිකරන ලද එක් පරිසර ප්‍රශ්නයකි. එය කඩාවැටීමෙන් ජීවිත ගණනාවකුත්, නිවාස විශාල සංඛ්‍යාවකුත් විනාශයට පත්විය. එය රටේ සෑමදෙනාගේම අවධානයට ලක්වු ජාතික ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. නමුත් මේ රටේ ජනතාව තේරුම්ගත යුතු එක් දෙයක් ඇත. ඒ රාජපක්ෂ රෙජීමය විසින් ඇතිකරන ලද දරුණු ආර්ථීක අර්බුධය ඉක්මනින් විසදා ලංකාව සුවපත් නොකළහොත් රටේ ආර්ථිකය ඉතා ඉක්මණින් කඩාවැටෙනු ඇත. එය එසේ වුවහොත් ඇතිවන හානිය මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් ලක්ෂ වාරයකටත් වඩා වැඩි හානියකි. එය මේ රටේ මේ ආණ්ඩුවට පක්ෂ, විපක්ෂ සියලු දෙනාටම බලපානු ලබන බරපතල කාරණයක් වනු ඇත. එම නිසා මේ රටේ ජනතාව හැටියට අප තේරුම්ගත යුත්තේ පසුගිය රාජපක්ෂ රෙජීමයේ දශකය විසින් ශ්‍රී ලංකාවට සිදුකර තිබෙන සමාජ, ආර්ථික, අධ්‍යාපන හා පරිසර හානියෙන් මිදීම සදහා රනිල් වික්‍රමසිංහ විසින් යෝජනා කරනු ලබන ක්‍රමවේදයට සාධාරණ කාලයක් හා ඉඩක් ලබාදිය යුතු බවයි.

Sunday, April 9, 2017

දොස්තර හාමුලාගේ සංගමය හා රාජපක්ෂවාදය




පසුගිය දින හැට තුළ මධ්‍යම කොළඹ නගර ආශ්‍රිතව සතියේ දින වල උද්ඝෝෂණ, පෙලපාලි හා පාගමන් පනස් තුනක් සිදුව තිබේ. ඒවා සමහරක් වෘත්තීය සමිති මගින්ද, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින්ද, වෛද්‍ය නිලධාරී සංගමය මගින්ද, ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු දේශපාලන පක්ෂ මගින්ද සංවිධානය කරන ලද ඒවා වේ.

උද්ඝෝෂණ, පෙලපාලි, පාගමන් හා විරෝධතා දැක්වීම්, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රටක එම රටේ ජනතාව තම පවරාදුන් පරමාධිපත්‍ය හොබවන ආණ්ඩුවට හෝ තමාට වඩා ප්‍රබල ආයතනයකට විරෝධය දැක්වීම සදහා ඇති ප්‍රබලම හා ශක්තිමත්ම උපකරණයයි. ශීලාචාර රටවල් බොහොමයක මෙම ප්‍රජාතන්ත්‍රවාදී උපකරණය ඉහල වටිනාකමකින් යුත් නීත්‍යානුකූල දේශපාලන ක්‍රියාවලියක් ලෙස පිළිගනු ලැබේ. ලංකාවේද එය එසේමය. නමුත් ඒබ්‍රහම් ලින්කන් කියූ පරිදි ඔබේ “ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස අනෙකාගේ නහය ලගින් අවසන් වේ” යන කියමන සනාථ කරමින් උද්ඝෝෂණ, විරෝධතාකරුවෝ මෙරට මහජනතාවගේ නිදහස, අයිතිය හා සාමකාමී ජීවිත විනාශයට පත්කර තිබේ. මීට වසර දෙක තුනකට පෙර තිබූ තරම් සමාජීය හා මාධය උනන්දුවක් අද පවතින උද්ඝෝෂණවලට නැත. ඉදහිට පොලිස් පහරදීමක් සිදුවුවද එය මහාමාර්ග අවහිරයන් වළක්වා ගැනීමට සිදුකරන ඒවා මිස මර්දනකාරී ඒවා නොවේ.

මෙම උද්ඝෝෂණවල විශේෂ ලක්ෂණයක් ඇත. එනම් මෙම සියළුම උද්ඝෝෂණවල දිනාගතයුතු ඉල්ලීම් කෙසේවෙතත් මෙම උද්ඝෝෂණ කරුවන්ගේ මුඛ්‍ය අරමුණ වන්නේ හැකිතාක් දුරට මාර්ග අවහිර කිරීමයි. පසුගිය කාලයේ සිදුවූ පනහකට වඩා වැඩි එම උද්ඝෝෂණ වැඩි සාතිශය බහුතරයක් පවත්වා ඇත්තේ පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටයි. නැතහොත් ලිප්ටන් වටරවුමේය. එසේම මෙම උද්ඝෝෂණ කරුවන් ඒ සදහා තෝරාගන්නා වෙලාව වන්නේ සවස 04 සිට රාත්‍රී 07 දක්වා කාලයයි. එම කාලය ලංකාවේ මහාමාර්ග පද්ධතියේ වැඩිම කාර්ය බහුලත්වයක් පෙන්වන කාල පරාසයයි. උදෑසන රැකියාවට පැමිණි කාන්තාවන් සහ මිනිසුන් කාර්යාලයේ, වැඩපොළේ අනේකවිධ දුක් කම්කටොලු හා පීඩනයන්ට ගොදුරුව තම රාජකාරිය ඉටුකොට, සවස් කාලයේ නිවෙස් බලා යාමට දුම්රිය පොළට පැමිණෙද්දී ඒ ආසන්නයේ ඇති සියළුම මාර්ග අවහිරවී ඇත්නම් එය කෙතරම් අභාග්‍යසම්පන්න ඉරණමක්ද? උද්ඝෝෂණ පවත්වන සතියේ දිනවල කොටුව දුම්රිය ස්ථානයට නිවෙස් බලා පිටත්ව යාමට පැමිණෙන ජනතාවට පැය එකහමාරක් දෙකක් ප්‍රමාද වූ අවස්ථාද පසුගිය කාලයේ දැකිය හැකිවිය. මව හා පියා රැකියාව නිමවී ගෙදර පැමිණෙන තෙක් මග බලා සිටින දූදරුවන්ද, තම දුදරුවන් නිවෙස් බලා පැමිණෙතැයි බලාසිටින දෙමව්පියෝද, වෙළද ව්‍යාපාරිකයෝ ඇතුලු බොහෝදෙනා මෙම උද්ඝෝෂණවලින් මහත් පීඩාවට පත්ව තිබේ. මෙහි අපූරුම කාරණය වන්නේ උද්ඝෝෂණවලින් පීඩාවට පත්වන ජන සංඛ්‍යාව උද්ඝෝෂණකරුවන්ට වඩා බොහෝ ඉහල අගයක් ගැනීමයි. ඉතින් මෙවැනි ගැටළු විසදීමට රජයකට හෝ පාලන අධිකාරියනට විශේෂ අවධානමක් ගතයුතු නොවේ. මන්ද මෙම උද්ඝෝෂණකටයුතු සදහා කිසිවිටෙකත් මහජන සහයෝගය නොලැබෙන බව ඔවුන් හොදාකාරවම දන්නා නිසාය.

පසුගිය සතියේ දින ගණනාවක් ලංකාවේ වෛද්‍ය වෘත්තීය සමිති විසින් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබූ අතර එමගින් රට පුරා සියළුම රෝහල්වල ප්‍රතිකාර කටයුතු ඇණහිට තිබුණි. එම තත්ත්වය පදනම් කරගනිමින් ජනතාව විශාල පීඩනයකට ලක්විය. වෛද්‍ය සංගමයේ ප්‍රමුඛ ඉල්ලීම වන්නේ සයිටම් ආයතනය වසාදමන හෝ විධිමත් කරන ලෙසයි. සැබවින්ම සයිටම් ආයතනය සම්බන්ධයෙන් මේ ආණ්ඩුවේ අධිපතිවාදී මතයද වන්නේ එයයි. ආණ්ඩුවද උත්සහකරනුයේ සයිටම් ආයතනය විධිමත්කොට දැනට වෛද්‍ය සංගමය හා අනෙකුත් සිවිල් සංවිධාන යෝජනාකරනු ලබන වෙනස්කම් සිදුකර හැකි ඉක්මනින් එය උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස රටේ දූදරුවන්ට අධ්‍යාපනය ලබාදීමයි.

එසේනම් වෛද්‍ය සංගමය රෝගී ජීවිත සිය ගණනක් ඝාතනයකරමින් උද්ඝෝෂණ සිදුකරන්නේ ආණ්ඩුවට බලපෑම් කිරීමටනම් ආණ්ඩුව සිටිනුයේද ඔවුන් සිටිනා මතේමය. මෙම වෛද්‍ය සංගමයේ උද්ඝෝෂණ තුළ විශාල යටි අරමුණක් ඇතිබව මාගේ අවබෝධයයි. සැබෑ ලෙසම රටේ සතුරෝ වන්නේ ඔවුන්ය. වෛද්‍ය සංගමය නර්ස්ලාගේ නිල ඇදුමට එරෙහිව උද්ඝෝෂණ කරයි. රටේ සමසෞඛ්‍ය අධ්‍යාපනයට විරුද්ධය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධය. ආර්ථික ගිවිසුම්වලට එරෙහිව මාරාන්තික විරෝධයක් පලකරයි. පාසල්වලට ළමයින් ඇතුළත්කරගැනීමේ විධිමත් ක්‍රමවේදයට ඔවුන් විරුද්ධය. වෛද්‍ය මාරුවීම් සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තියට ඔවුන් විරුද්ධය. පෞද්ගලික අධ්‍යාපනය, ටියුෂන් හා අනෙකුත් වෘත්තිකයන්ගේ වරප්‍රසාදවලට ඔවුන් මාරාන්තික විරෝධයක් පලකරයි. බැලු බැල්මට වෛද්‍ය සංගමය හා එහි නිලධාරීන් මේ මුළු ලෝකයටම විරුද්ධය. වෛර සහගතය. නමුත් ඔවුන් එකදෙයකට පක්ෂය. එනම් පෞද්ගලික වෛද්‍ය සේවාවන් පවත්වාගෙන යාමට හා පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීමට පක්ෂය. ශ්‍රී ලංකාවේ දොස්තර හාමුලා සිතනුයේ මේ ලෝකයේ විධිමත් අධ්‍යාපනය ලද එකම වෘත්තීයවේදීන් වන්නේ ඔවුන් බවය. එසේම ඔවුන් සිතනුයේ මෙම ලෝකය භ්‍රමණය වන්නේ ඔවුන් වටා බවයි. නමුත් එවැනි පටු, විනාශකාරී, සතුරු වෛද්‍ය සංගමය පවතිත්දීම රටට ආදරයකරන, සමාජ සාධාරණය දකින, වැරදි ක්‍රමවේදයන් ප්‍රශ්නකරන, යහපත් දොස්තරවරුන් නැතුවාම නොවේ. මේ රටේ පසුගිය දශකය තුළ තිබූ මර්දනකාරී, පීඩාකාරී, විනාශසහගත ආණ්ඩුවට එම ආණ්ඩුව පවත්වාගෙන යාමට රාජපක්ෂවරුන්ට උදව් උපකාර කළ එක් ප්‍රධාන කණ්ඩායමක් වන්නේ මෙම රජයේ වෛද්‍ය නිලධාරී සංගමයයි. එබැවින් රාජපක්ෂ ආණ්ඩුව විසින් සයිටම් වැනි වෛද්‍ය ආයතන බිහිකරද්දී එයට විරුද්ධව කිසිදු හඩක් නොනැගුවේය. සැබවින්ම ඒවාට උල්පන්දම් දුන්නේය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත්, අ‍නෙකුත් උත්ඝෝෂණ කරුවන් කිසිවෙකුට ඔවුන් මුහුණදෙමින් තිබෙන ප්‍රශ්න විසදීමට අවශ්‍යතාවයක් හෝ උවමනාවක් නැත. එම නිසාම ඔවුන් කිසිවිටෙකත් ආණ්ඩුව සමගත් මෙම පිළිබදව සාකච්ඡාකොට විසදුමකට ඒමට උනන්දුවක් දක්වනනේද නැත. ඔවුන්ගේ එකම උවමනාව විරෝධතා ක්‍රියාවලියක් මගින් ජනතාව පීඩාවට පත්කිරීමත්, එමගින් ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමත්ය. ආණ්ඩුවට ආර්ථික පාඩු සිදුකිරීමත්ය. ත්‍රස්තවාදය ලෙස ලොව පිළිගත් මූලධර්මයේ පදනම වන්නේ එයයි. එසේනම් මෙම විරෝධතා කරුවන්ට වඩා සතුරන් රටට කොයින්ද? ඔවුන් විසින් සේවය කරනු ලබන රාජපක්ෂවරුන්ට වඩා සතුරන් රටට කොයින්ද?

ඉතින් මෙවැනි වතාවරණයක් තුල තුනෙන් දෙකේ බහුතරයක් යුත් මේ ආණ්ඩුව මේ රට පෙළෙමින් තිබෙන අනේකවිධ ව්‍යාධීන්ගෙන් රට ගලවාගනිමින් රජයේ කටයුතු හා රටේ දිනපතා කටයුතු අඛණ්ඩව පවත්වාගෙනයාමට උපරිම උත්සහය යොදයි. මගේ මතයට අනුවනම් අගමැතිවරයා ඔහුගේ සාර්ථක වෘත්තීය ජීවිතයේ අපහසුම කාලය ගෙවමින් සිටී. අත්දැකීම් සහිත කෘතහස්ථ දේශපාලඥයකු වන අගමැතිතුමා මෙම තත්ත්වයට හොදින් මුහුණදෙමින් සිටින බව මාගේ හැගීමයි.

Sunday, April 2, 2017

කදවුරු තුනක්, එක සටනක්



ලංකාවේ දේශපාලනය පෙළගැසෙමින් තිබෙන ආකාරය අනුව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය බිදවැටීමට ඇති ඉඩකඩ වැඩිබව මගේ හැගීමයි. එක්සත් ජාතික පක්ෂයට හා දෙමළ සන්ධානයට, මුස්ලිම් කොන්ග්‍රසයට, මෙරට සිවිල් සමාජයට කෙතරම් අවශ්‍යතාවයක් තිබුණද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිල් දෙකේම ප්‍රතිගාමී හා තක්කඩි ආකල්ප ඉඩදෙතැයි සිතිය නොහැක.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදුකරනු ලැබුවද කාරණා පෙළගැසෙමින් තිබෙන ආකාරය අනුව ජනාධිපති ධූරය තවදුරටත් පැවතිය හැකිය. එබැවින් මෙරටේ ජනතාවටත්, සියලුම දේශපාලන බලවේග වලටත්, 2020 මුල් කාර්තුවේදී ජනාධිපතිවරණයකට මුහුණ දීමට සිදුවනු ඇත. පළාත්සභා හා පළාත් පාලන මැතිවරණ වලින් පසු එළැඹෙන ජාතික මැතිවරණය වන්නේ 2020 ජනවාරියේදී පමණ පැමිණීමට නියමිත ජනාධිපතිවරණයයි.

එක්සත් ජාතික පක්ෂය, මුස්ලිම් කොන්ග්‍රසය, දෙමළ සන්ධානය හා වතුකරයේ දේශපාලන පක්ෂ සමග එක් පෙරමුණක් ගොඩනගනු ඇත. එම පෙරමුණට ද්‍රවිඩ, මුස්ලිම් හා කතෝලික ආගමික ඡන්දත්, එක්සත් ජාතික පක්ෂයේ සාම්ප්‍රදායික ඡන්ද පදනමත් ලබා ගැනීමේ කිසිදු බාධාවක් නැත. එම පෙරමුණේ අපේක්ෂකයා ලෙස පැමිණීමට 100% කම ඉඩකඩ ඇත්තේ රනිල් වික්‍රමසිංහය. එම පෙරමුණ තම මැතිවරණ සටන ආරම්භ කරනුයේ දෙමළ, මුස්ලිම්, කතෝලික හා එක්සත් ජාතික පක්ෂ සාම්ප්‍රදායික ඡන්ද පදනම මත ශක්තිමත්ව සිටගනිමිනි. එතැන් සිට ඔවුන්ට පාවෙන ඡන්ද, අලුතින් එකතුවන ඡන්ද හා විරුද්ධ බලවේගවල සහයෝගය ලබා ගැනීමේ සටන ආරම්භ කළ හැකිය. එම පෙරමුණට ජයග්‍රහණයට බාධා කරනු ලබන ප්‍රධානම දුර්වලතාවය වන්නේ යහපාලන ආණ්ඩුව මගින් පාක්ෂිකයා රැකබලා ගත්තා මදිය යන ජනප්‍රිය ආකල්පයයි. එම ආකල්පය එක්සත් ජාතික පක්ෂයේ, පාක්ෂිකයින්ගෙන් ඉවත් කිරීම සදහා පාක්ෂිකයින් රැකබලා ගැනීමේ කටයුතුත් පක්ෂය විසින් හැකි ඉක්මනින්ම ආරම්භ කළ යුතුය.

2020 මැතිවරණයට පැමිණෙන අනික් පෙරමුණ විය හැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රි පිල පෙරටු කරගත් පොදු අපේක්ෂක පෙරමුණයි. මෙම පෙරමුණ මූලික වශයෙන් රනිල් වික්‍රමසිංහ විරෝධී, එක්සත් ජාතික පක්ෂ විරෝධී පොදු පෙරමුණක් බවට නිතතින්ම පත්වනු ඇත. ඩිලාන් පෙරේරලා, ඉසුරු දේවප්‍රියලා, ශිරාල් ලක්තිලකලා එහි ප්‍රධාන පෙලේ කසකරුවෝ වන අතර යහපාලන ආණ්ඩුවේ මාධ්‍ය ඔස්තාර්ලා ගණනාවක් එළිපිටම තම නාට්‍යය රගදක්වනු ඇත. මෙම කදවුරේ පොදු අපේක්ෂකයා බවට පත්වීමට ඉඩකඩ ඇත්තේ චම්පික රණවක ඇමතිවරයාටය. විමල් වීරවංශ ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණ 2020 දී විරුද්ධ වනු ඇත්තේ මූලික වශයෙන් මෙම කදවුරටයි. මෙම කදවුරේ මැතිවරණ ව්‍යාපාරයට නිර්මාල් රංජිත්ලා, පිලිප් ශාන්තලා, ජයදේව උයන්ගොඩලා හා ජනතා විමුක්ති පෙරමුණ එකතු වෙතැයි සිතීමට තවමත් කල් වැඩිය. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඔවුන් හා එකතු වුවහොත් ලංකාවේ සිවිල් කෙරුමන්ට හා ආණ්ඩුවේ මාධ්‍ය ඔස්තාර්ලාට අමුඩය කඩා නොගෙන රැගීමට එය මහගු වේදිකාවක් වනු ඇත. එම කදවුර මූලික වශයෙන් ලංකාවේ මධ්‍යම පාන්තික කාන්තා ඡන්දත්, පාවෙන ඡන්ද හා තරුණ ඡන්ද මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ කැඩී යන කණ්ඩායම්වල සහයද ලබා ගැනීමට උත්සහ කරන අතර දුර්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිලෙහි ඡන්දද අනිවාර්යයෙන් දිනා ගනු ඇත. චම්පික රණවකට සෑම කාලයකම මුස්ලිම්, ද්‍රවිඩ හා කතෝලික ජනතාවගේ දැඩි විරෝධයක් තිබේ. එබැවින් එම කුලකයේ ඡන්ද කිසිවක් දිනා ගැනීමට චම්පික රණවක වැනි පොදු අපේක්ෂකයෙකුට හැකියාවක් නොලැබෙන අතර ස්වඋත්තෝමවාදී සිංහල ඡන්ද පදනම තුළ ඔහුගේ පොදු අපේක්ෂක මැතිවරණ ව්‍යාපාරය පදනම් වනු ඇත.

අනෙක් ප්‍රධාන කදවුර වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ පිලයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ පිලෙහි ජනාධිපති අපේක්ෂකයා වනු ඇත්තේ ඝෝඨාභය රාජපක්ෂයි. ඒ මහින්ද රාජපක්ෂ අගමැති කිරීමේ සටන් පාඨයද සමගයි. එම ජනාධිපතිවරණ සටනේ රාජපක්ෂවරු ඝෝඨා ජනාධිපති මහින්ද අගමැති කිරීමේ එම විශාල දේශපාලන ව්‍යාපෘතියේ සාර්ථකව නියලෙනු ඇතැයි මාගේ නිගමනයයි. ඝෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට පැමිණීම ජාතිකවාදී බලවේග අමන්දානන්දයට පත්වෙනු ඇත. මූලික වශයෙන් මෙම කදවුරේ ඉලක්ක ඡන්ද පදනම වනුයේ ස්වඋත්තමවාදී සිංහල බෞද්ධ ඡන්ද පදනමයි. ඝෝඨාභය රාජපක්ෂ වැන්නෙකුට එම ඡන්ද පදනම තුළ විශාල ආකර්ෂණයක් තිබේ. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාම්ප්‍රදායික ඡන්ද පදනමෙන්ද විශාල කොටසක් මෙම කදවුර විසින් දිනාගනු ඇත. අද මේ මොහොතේ මෛත්‍රී පිලේ ප්‍රමුඛයින් ගණනාවක්ද එම කදවුර සමග නිශ්චිතවම එකතුවනු ඇත.

එසේනම් 2020 ජනාධිපතිවරණය යනු ප්‍රබල තුන්කොන් සටනකි. මෙම තුන්කොන් සටනේ ජයගැනීමට නම් මුලු ඡන්ද සංඛ්‍යාවෙන් 50% කුත් තවත් එක් ඡන්දයකුත් ලබාගත යුතුය. මෙම මැතිවරණය ජයග්‍රහණය කිරීම සදහා මෙවැනි තත්ත්වයක් යටතේ විභවහාත්මක හැකියාවක් ඇත්තේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාටය. මන්දයත් මේ මොහොතේ පවතින දේශපාලන තත්ත්වය අනුවත්, අතීතයේත්, අනාගත ප්‍රක්ෂේපනයට අනුවත් දෙමළ, මුස්ලිම් හා කතෝලික ඡන්ද ලබාගත හැක්කේ එම අපේක්ෂකයාටය. මෙම මැතිවරණය ජයග්‍රණය කිරීමට සිංහල බෞද්ධ ඡන්ද පදනමෙන් ලබාගත යුතු වන්නේ 30% ක ප්‍රමාණයකි. එම ගණන එක්සත් ජාතික පක්ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනමට වඩා අඩුය. එබැවින් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන රනිල් වික්‍රමසිංහ හෝ වෙනත් ඕනෑම අපේක්ෂකයෙකුට 2020 ජනාධිපතිවරණය ජය ගැනීම කජු කනවා වැනි වැඩකි. කළයුතු එකම දෙය පාක්ෂිකයා බලාකියා ගැනීමය.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිලේ පොදු අපේක්ෂකයාට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිලට එක්සත් ජාතික පක්ෂය පැරදවීමට එක් අවස්ථාවක් ඉතිරිව ඇත. ඒ එම පිල් දෙකම ඒකාබද්ධ වී එක් පිලක් බවට පත්වී පැමිණීමෙනි. නමුත් එසේ වුවද එම දෙපිලේම සිටිනා ජනප්‍රිය අපේක්ෂකයා වන ඝෝඨාභය රාජපක්ෂට දෙමළ, මුස්ලිම් හා කතෝලික ඡන්ද ලබාගත නොහැකිය. එම ඡන්ද පදනම තුළ ඔහුට ඇත්තේ මාරාන්තික විරෝධයකි. එසේම මේ රටෙහි සිවිල් සංවිධාන හා ජනතා විමුක්ති පෙරමුණට ඝෝඨාභය සමග හෝ රාජපක්ෂවරු සමග එකම වේදිකාවක සිටගත නොහැකි අතර ඔවුන්ගේ අමුඩය බේරා ගැනීමට ඡන්ද 4% ක් හෝ 5% ක් ගන්නා තුන්වෙනි අපේක්ෂකයෙකු ඉදිරිපත්කළ යුතු වේ. මෙවැනි සන්ධර්භයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයාට එම ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට සිංහල බෞද්ධ ඡන්ද පදනමින් 70% කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ගතයුතු අතර විපක්ෂයේ සිටින ජාතිකවාදී බලවේග වලට එය අසීරු ඉලක්කයකි. විශේෂයෙන් සිංහල බෞද්ධ ඡන්ද පදනම පනහට පනහ බෙදී සිටින අවස්ථාවක එම ඉලක්කයට ළගාවීම යථාර්තවාදී නොවේ.

එම නිසා මට කීමට ඇත්තේ 2020 න් පසු මේ රටේ නැවතත් තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට ඉඩකඩ විවර වන අතර එය එම පාක්ෂිකයින් අමන්දානන්දයට පත් කිරීමට හේතුවක් වනු ඇත.