Sunday, May 28, 2017

ගංවතුර, අවාසනාව හා ආර්ථිකය


ශ්‍රී ලංකාව පිට පිටම ස්වාභාවික විපත් කිහිපයකටම මුහුණදෙනු ලැබුවේය. මින් පෙර ස්වාභාවික විපත් සිදුවූ විට ඒවා කලමනාකරණය කිරීම තනිකරම දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්වී තිබුණ බැවින් පසුගිය කාලයේ සිදුවූ ස්වාභාවික විපත් කලමනාකරණය කිරීම සදහා රජය විසින් තෝරාගත් ක්‍රමවේදය ජනප්‍රිය එකක් බවට පත් නොවී තිබේ. එයට ප්‍රධානතම හේතුව වන්නේ ආපදා කලමනාකරණය යනු පක්ෂ බේදයෙන් තොර පොදු අරගලයක් බවට ආණ්ඩුව තුල ඇති ආකල්පයයි.

කෙසේ නමුත් එක පිට එක පැමිණෙන මෙම ස්වාභාවික විපත් ආණ්ඩුවේ මුල්ගල සොලවන බවක් දැකිය හැකිය. ආණ්ඩුව තුනේන දෙකක බහුතරයක් ඇති ප්‍රබල ආණ්ඩුවක් වුවද ආපදාවක් පැමිණ ජනතාවට හිරිහැර වූ පසු එම තත්ත්වයන් නිරාකරණය කරගැනීමට යාමේදී නිරන්තරයෙන් ජනතාවගේ විරෝධය එල්ලවේ.

මෙම විරෝධතා බොහෝ විට ආණ්ඩුවට විරුද්ධ ඒකාබද්ධ විපක්ෂයේ ආධාරකරුවන්ගේ සැලසුම් සහගත විරෝධතාය. එසේම ආණ්ඩුවේ ආයතන, දෙපාර්තමේන්තු හා අමාත්‍යංශ වල අකාර්යක්ෂමතාවය, අසංවිධිත බව හා සම්බන්ධීකරණයේ ඇති දුර්වලතා ආපදා අවස්ථාවකදී එමගින් ගොඩ ඒමට ජනතාව වෙත ලබාදෙන සහයෝගය හීනකොට තිබේ. මෙම ආපදා අවස්ථාවේ රටේ විපතට පත් සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි මුදවාගැනීමේ කටයුතු ත්‍රිවිධ හමුදාව හා පොලීසිය මගින් සිදුකරත් සම්බන්ධීකරණයේ තිබූ යම් යම් අඩුපාඩුකම් එම කටයුතු සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත් කළේය. නමුත් ත්‍රිවිධ හමුදාවේ මෙවන් අවස්ථාවකට මුහුණදීමට හොදින් පුහුණුව ලැබූ නිලධාරීන් හා සෙසු නිලයන් වල සොල්දාදුවන් සිටි බැවින් ඉතාම ඉක්මනින් රජයට මෙම අපහසු වාතාවරණයෙන් මිදීමට හැකිවිය. නමුත් කාලගුණ දෙපාර්තමේන්තුව හා අනෙකුත් අදාල දෙපාර්තමේන්තුවල කාර්යක්ෂම මැදිහත්වීමක් හෝ දැනුම්දීමක් තිබුණේනම් දැනට සිදුවී ඇති හානියද වළක්වාගැනීමට ඉඩ තිබූ බව මාගේ හැගීමයි.

මිලිමීටර 500 ක ධාරානිපාත වර්ෂාවකට පසු අදාල පාර්ශව විසින් මෙම තත්ත්වය ආණ්ඩුවේ වගකිවයුත්තන්ට පෙන්වාදී තිබුනේනම් සිදුවී ඇති හානිය සැලකිය යුතු ප්‍රමාණයක් වළක්වාගැනීමට තිබුණි. විශේෂයෙන් ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර හා කළුතර දිස්ත්‍රික්කයන්ගේ ජල ගැල්මෙන් සිදුවූ හානිය, ජල ගැල්මට පෙර තොරතුරු ආණ්ඩුවට හා ත්‍රිවිධ හමුදාවට ලබාදී තිබුනේනම් හානිය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරගැනීමට හැකියාවක් තිබුණි. නමුත් තොරතුරු සම්බන්ධීකරණයේ තිබූ එම විශාල හිඩස මගින් ජීවිත සිය ගණනක්, දේපල විශාල ප්‍රමාණයක් අහිමි වී ගියේය. එම ප්‍රදේශවල ජනතාවගේ එදිනෙදා ආර්ථිකය සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති අතර මෙම බොහෝ තත්ත්වයන් නිවැරදි තොරතුරු තිබුණේනම් වලක්වා ගැනීමට තිබූ තත්ත්වයන්ය.

කොරේ පිටට මරේ කියමින් මෙම සිදු වූ ආපදාව මගින් එම ප්‍රදේශයන්ගේ ජන ජීවිතය සෑහෙන කාලයකට අර්බුදයට යනු නිසැකය. මන්දයත් කදු නායයෑම් අවසන් වුවත්, ජලය බැසගියත්, රජය, පෞද්ගලික සංවිධාන හා පොදු ජනතාවගේ මැදිහත්වීමෙන් මෙම අමාරු අවස්ථාවේදී ජනතාවට පැවතීමට හැකි වුවත්, මෙම අර්බුදයෙන් ගොඩයාමට හැකි වුවත්, දීර්ඝ කාලීනව ඔවුන්ට ඔවුනගේ ජීවනෝපායන්, ව්‍යාපාර හා එම පළාතේ ආර්ථිකය අහිමිවනු ඇත. දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම ව්‍යසනයට මුහුණදුන් ප්‍රදේශවලට සිදුවී ඇති ආර්ථික හානිය රුපියල් බිලියන ගණනකි. එම නිසා මෙම තත්ත්වයෙන් ගොඩ ඒමට එම ප්‍රදේශවල ජනතාවට පමණක් නොහැකිය. ඒ සදහා රටේ සියලු පාර්ශවයන්ගේ ආධාර අවශ්‍යමුත් රජය විසින් අනිවාර්යෙන් මෙම තත්ත්වය විසදිය යුතුය. හානියට පත් ප්‍රදේශවල ආර්ථිකය ගොඩනැංවීම රජයේ වගකීමකි.

එම නිසාම ආපදා කලමනාකරණ කටයුතු වලදී අගමැතිවරයාගේ මූලික අවධානය ලක් වූ කාරණයක් වූයේ මෙම අසීරු අවස්ථාවෙන් ජනතාව හා රට ගොඩ ආ පසු මෙම ප්‍රදේශවල ආර්ථිකය නැවතත් නගාසිටුවීමයි, ජනතාවගේ ජීවනෝපාය ගොඩනැංවීමයි. මූලික බේරාගැනීමේ කටයුතු හා සහන සේවා කටයුතු පවත්වාගෙන යන අතරම හැකි ඉක්මනින් එම ප්‍රදේශවල ආර්ථික තත්ත්වය යතාතත්වයට පත්කිරීමට අවශ්‍ය වැඩ කටයුතුවලට පුමුඛතාවය දිය යුතු බව අගමැතිතුමා විසින් අදාල පාර්ශවයන්ට දැනුම්දෙනු ලැබුවේය. එසේම පෞද්ගලික අංශයේ සහයෝගය ඒ සදහා ඉල්ලා සිටි අතර රජයේ හා පෞද්ගලික අංශයේ මූල්‍ය ආයතන හා බැංකුවලට එම ආර්ථිකය නගාසිටුවීමේ කටයුතු වලට මැදිහත්වන ලෙස දැනුම් දුන්නේය.

මෙම තත්ත්වයන් කෙසේ වුවත් ලෝකයේ සිදුවන මෙම දේශගුණික විපර්යාසයන්ට මුහුණදීම සදහා රටක් ලෙස අප සූදානම් විය යුතුය. අධික වර්ෂාවෙන් වැටෙන වතුර ඇළ, දොළ, ගංගා මගින් ජලාශවලට හා මුහුදට බාධාවකින් තොරව ගලා යා හැකි තත්ත්වයක් රට තුළ ඇතිකල යුතුය. පහත් බිම් ගොඩකිරීම හා ගොඩනැගිලි ඉදිකිරීමේදී මීට වඩා සැලකිලිමත් තද නියාමනයක් රජය විසින් පවත්වාගෙන යා යුතුය. එසේම කදු බෑවුම් ආශ්‍රිත ජනතාවගේ ජීවිත අවධානම හැකිතාක් දුරට අඩු කළ යුතු අතර රජයේ මැදිහත්වීමෙන් ක්‍රමවත් දැනුවත්කිරීමේ කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කළයුතු වේ. කෙසේ වුවත් මෙම ආපදා අවස්ථාවේදී රටේ ත්‍රිවිධ හමුදාවේත්, පොලීසියේත්, සිවිල් සංවිධාන වලත් ක්‍රියාකාරිත්වය අගය කළයුතුය. එසේම රජයේ දෙපාර්තමේන්තු හා සංස්ථාවල සේවකයින්ද අඩුපාඩු මධ්‍යයේ වුවත් මෙම තත්ත්වයෙන් ගොඩ ඒමට සැලකිය යුතු වෙහෙසක් දැරුවේය.

කෙසේ නමුත් අවසාන වශයෙන් කීමට ඇත්තේ ශ්‍රී ලංකාව ගෙවමින් සිටිනුයේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අමාරු කාලයකි.

Sunday, May 21, 2017

කැබිනට් සංශෝධනය නොහොත් ජනතාව මත මුට්ට පැටවීම



පසුගිය සති කිහිපය තුළ ලංකාවේ ජනතාව මුහුණදුන් අනේකවිද දුක්ඛ දෝමනස්සයන් අතර විරැකියාව, කුසගින්න, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රශ්න හා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඇතුළු මෙකී නොකී සකලවිද කරුමයන් විය. මෙම දහසකුත් කරුමයන් මැද උදෑසන අවදිවන ශ්‍රී ලාංකික ජනතාවට මදි නොකියන්නට රටේ සියළුම මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍ය විසින් අපරාධ, ස්ත්‍රී දූෂණ, වංචා, සියදිවි නසාගැනීම්, වැනි ලොවෙත් නැති අශුභ ආරංචි උදෑසන හයේ සිට ගෙදර ආලින්දයටම ගෙන එයි. එසේම මේ රටේ ජනතාව මත පසුගිය සති කිහිපය තුළ රටේ සාම්ප්‍රදායික මාධ්‍ය හා දේශපාලන බලධාරීන් විසින් පටවන ලද අනෙකුත් ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ කැබිනට් සංශෝධනයයි. කොරේ පිටට මරේ යැයි කියමින් සකලවිධ ප්‍රශ්නවලින් පීඩිත ජනතාවට සති කිහිපයක් තිස්සේ කැබිනට් සංශෝධනය නැමති ඉමක් කොනක් නොපෙනෙන නූල්බෝලයද පටවා තිබුණි.

බස්රියේ, දුම්රියේ, වැඩබිමේ, පාසලේ, විශ්ව විද්‍යාලයේ, මෙකී නොකී සෑම තැනකම මිනිසුන් තුන් හතරදෙනෙක් එකතුවුවහොත් රටේ කැබිනට් සංශෝධනය ගැන අඩුම තරමින් වචනයක් දෙකක් තෙපලන්නට අමතක නොකරයි. මෙරට සාම්ප්‍රදායික ජනමාධ්‍යද විටින් විට මෙම කැබිනට් සංශෝධනය නැමති නූල්බෝලය තව තවත් පටලවමින් මේ රටේ ජනතාව මත අතඅරී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලඥයෝද ඉමක් කොනක් දිගක් පළලක් නොදැන සාම්ප්‍රදායික මාධ්‍යවලට ප්‍රකාශ නිකුත්කරයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු කැබිනට් සංශෝධනය මත අනාවැකි පලකොට ඔවුන් රටේ විහිළුකාරයන් බවට පත්ව තිබේ.

නමුත් රටේ ජනතාවටනම් මෙය ඇස් රතුවන විහිළුවක් බවට පත්වී ඇත. එනම් ගොසිප්කාරයින්ගේ කැබිනට් සංශෝධනය සදහා වූ දින වකවානු යෝජනා කිරීමෙන් රටේ රාජ්‍ය ආයතන අමාත්‍යංශ හා නිලධාරීන් දෙගිඩියාවට මෙන්ම අකාර්යක්ෂමතාවයට පත්ව තිබේ. රටේ දෛනික වැඩකටයුතු සැලකියයුතු ප්‍රමාණයකින් අඩාලවී ඇති අතර සියළුම දෙනා රටේ කැබිනට් සංශෝධනය සිදුවන තුරු වැඩ නවතා දෑස් අයා බලාසිටී. එය එක් අකාරයකින් උන්මාදයක් වන අතර අනෙක් අතින් විකාරයකි.

මෙම සහයෝගීතා ආණ්ඩුව බලයට පත්වූයේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ මේ රටේ බහුජන බලවේග පසුගිය රෙජීමයට විරුද්ධව සිදුකරන ලද අසංවිධිත දේශපාලන ව්‍යාපාරයක් නිසාය. මේ රටේ ලක්ෂ හැටදෙකක බහුතර ජනතාවක් මෛත්‍රීපාල ජනාධිපතිවරයාට එක්සත් ජාතික පක්ෂය හා රාජ්‍ය පාලනයේ යෙදීමට ජනවරමක් ලබාදුනි. එම ජනවරමට අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ ගෞරවයට හා ආදරයට ලක්විය යුතුය. නමුත් එම ආදරය හා ගෞරවය දිනාගැනීමට ජනාධිපතිවරයා සමත්වූවාදැයි සැකසහිතය. මන්දයත් ඔහු එක්සත් ජාතික පක්ෂයේ සාම්ප්‍රධායික සතුරා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාද, ස්වාමියාද, ජනාධිපතිවරයාද වන බැවිනි. ආණ්ඩුව තුල එකට වාඩිගත්විට UNP කාරයාට ශ්‍රී ලංකා කාරයා දේශපාලන සතුරෙකි. මෙවන් තත්ත්වයක් තුල ජනාධිපතිවරයා තවදුරටත් ජනවරමේ හිමිකාරයා නොවන අතර ඔහු පරාජිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාය. එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ සීමාන්තික සතුරාය. ආකල්පමය වශයෙන් ගත්විට එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පසමිතුරන් වන අතර එකම ආණ්ඩුවක සිටියත් මෙම ප්‍රධාන පක්ෂ දෙක තුල පසමිතුරුකම් එමටය. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වූ දින එක්සත් ජාතික පාක්ෂිකයින් ඔහුව අතහැර ගියෝය. ඒ නිකම්ම නොව ජනවරමද රැගෙනය. අද ජනවරම ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සතුවයි. නමුත් ව්‍යවස්ථාවේ බලය ඇත්තේ ජනාධිපතිවරයා සතුවයි.

එබැවින් ව්‍යවස්ථාපිත බලය හා ජනවරම අතර ඇති දුරස්ථබාවය යහපාලන ආණ්ඩුවේ හිතවතුන් අතර විචිකිච්චාවක් ඇතිකිරීමට සමත්වී තිබේ. ප්‍රතිගාමී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකියින් අතර ජනාධිපතිතුමා සිරවී, මිරිකී සිටින අතරම මහින්දවාදී මෙරට සාම්ප්‍රදායික මාධ්‍ය ජනාධිපතිතුමා අල්ලා ප්‍රසිද්ධියේ විනාශකොට දැමීමට කැසකවමින් සිටී. මෙම මාරක උගුල් සියල්ලන්ගෙන්ම ගැලවී ආණ්ඩුවේ සාමය පවත්වාගනිමින්, අවශ්‍ය වෙනස්කම්ද සිදුකරමින් ආණ්ඩුව පවත්වාගෙනයාම ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් දැලිපිහියෙන් කිරිකනවා වැනි භයානක සහ අවධානම්සහගත වැඩකි.

බොහෝවිට අද හෝ හෙට, මෙතෙක් කල් මේ රටේ ජනතාව වැඩ නවතා දැඩි පීඩනයකින් යුතුව බලාසිටි, තමන් මත බලෙන් පටවන ලද කැබිනට් සංශෝධනය සිදුවනු ඇත. එහිදී ඇතිකරනු ලබන වෙනස්කම් රටේ අනාගත ශුභසිද්ධිය පතා සිදුකරන ලද වෙනස්කම් ලෙස ජනතාවට දැනේවායි පතමි. එසේ නොවී එමගින් ජනතාව රැවටීමට හෝ ආණ්ඩුවේ අභ්‍යන්තර බල අරගලය සපුරාගැනීමට සිදුකරන ලද්දක්නම් එම හානිය හා ගිලිහීයන අවස්ථාව තවත් වසර සියගණනක් මේ රටේ ජනතාව සාකච්ඡාකරනවා නියතය.

මෙවන් තත්ත්වයක් තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිගාමී බලවේග හා එක්සත් ජාතික පක්ෂය තම කණ්ඩායම සමග රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා රටේ එදිනෙදා පැවැත්ම පවත්වාගෙන යාමටත්, යොජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටත්, එසේම ආණ්ඩුවේ බලතුලනය කාටත් හානියක් නොවන පරිදි පවත්වාගෙනයාමටත් දරන උත්සහය ප්‍රශංසනීයය.

ඒකාබද්ධ විපක්ෂයේ සියළුමදෙනා ඔවුන්ට ඇති නඩුහබවලින් ගැලවීමට එක්සත් ජාතික පක්ෂයේ පිළිසරණ පතන අතර අනෙක් අතින් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයෙන්, එහි සාමාජිකත්වයෙන් හා කාඩරයෙන් එල්ලවන පීඩනය අතිමහත් බව මාගේ හැගීමයි. මෙම සියළු තත්ත්වයන් යටතේ ආණ්ඩුවේ පැවැත්ම හා සාමය තීරණයකිරීම උදෙසා අගමැතිවරයා හා ජනාධිපතිවරයා එකමුතුව හැකි ඉක්මනින් කැබිනට් සංශෝධනය සිදුකරනු ඇතිබව මාගේ හැගීමයි. එය නොකර සිටිය හැකි සීමාව පහුවී බොහෝ දුර ගොස් තිබේ. එමනිසා අගමැතිවරයාටත් ජනධිපතිවරයාටත් අනිවාර්ය කැබිනට් සංශෝධනයකට යාමට සිදුව තිබේ.

මේ ආණ්ඩුව ඉගෙනගතයුතු එක් පාඩමක් තිබේ. මෙම ආණ්ඩුවේ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, ඇමතිවරුත් ඇතුලු සියළුම දෙනාට පැවැත්මක් ඇත්තේ ඔවුන් ජනවරමට අනුව කටයුතු කරමින් එකමුතුව සිටිනතාක් පමණි.

විශේෂයෙන් මෙම ආණ්ඩුවේ දුර්වලම පාර්ශවය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිලයි. මන්ද ඔවුන්ට ඡන්දය දුන් ජනතාවගෙන් 70% ටත් වඩා සිටිනුයේ ඔවුන්ට විරුද්ධ මහින්ද රාජපක්ෂ පිලේය. ජනාධිපතිවරයාට පැවැත්මක් හා බලයක් පවත්වාගත හැක්කේ තවදුරටත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජනවරමට අදාල කණ්ඩායම් සමග හොදින් ගණුදෙණු කළහොත්ය. එසේම ජනවාරි 08 වෙනිදා බලවේගවලින් කිසිදු ප්‍රතිගාමියෙකුට අවස්ථාවක් නොලැබෙන බව මතකයේ තබාගැනීම වැදගත්ය.

Sunday, May 14, 2017

රනිල් ජාත්‍යන්තරයට යෑම, මහින්ද දේශපාලන වලපල්ලට යෑම.



රාජපක්ෂ රෙජීමය පැවති දසවසරක කාලය ශ්‍රී  ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට කණකොකා ඇඩවූ කාලයයි. එම යුගයේ ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය වූයේ ලෝකයේ අනෙකුත් සියළුම සීලාචාර රටවල්වලට බේගල් ඇදබාමින්, අසීලාචාර පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සදහා රට අභ්‍යන්තරයට බොරු වීරත්වයක් මවා පෙන්වීමයි. එනම් පාලම්, බෝක්කුවල ජාත්‍යන්තර දේශපාලනය කතාකිරීමයි. බටහිර නායකයින් අල්ලා එල්ලන්නට යෝජනා කිරීමයි. බිල්ලන් මවාපෑමයි.

එම යුගයේදී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය අනෙක් සෑම දේශපාලන හා ආර්ථික කාරණයන් මෙන්ම ජාතිවාදී, ආගම්වාදී, රස්තියාදුකාර හැඩයක් ගත්තේය. දශක ගණනාවක් අපත් සමග සිටි අපට උදවු උපකාර කළ අපේ පැරණි බටහිර මිතුරන් වූ එංගලන්තය, ඇමරිකාව, ජපානය, කොරියාව, නෝර්වෙය වැනි වැදගත් මිතුරන් අප විසින් අතහැරදමා ඒවෙනුවට ලිබියාව, උගණ්ඩාව, ස්වාසිලන්තය, හා වෙනිසියුලාව වැනි නොවැදගත්, රසතියාදුකාර ලොවන් කොන්වූ රටවල් අපේ ලගම මිතුරන් කරගත්තේය. එවකට රටේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කිසිදු උපක්‍රමශීලි න්‍යායාත්මක වැඩපිළිවෙලක් නොතිබි අතර ඉංග්‍රීසි කතා නොකරන, නොකියවන ජාත්‍යන්තර දේශපාලනයේ හැඩගැස්ම පිළිබදව අඹමල් රේණුවක අවබෝධයක් නැති විමල් වීරවංශ සහ මෙම ආණ්ඩුවේ ප්‍රචාරකයින්ද, සචින් වාස් වැනි අවස්ථාවාදීන් විසින්ද මෙහෙයවනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස රාජපක්ෂවරු එක් තීරණාත්මක වාසියක් ලැබීය. ඔවුන් හිතාමතා ඔවුන්ට අවශ්‍ය පරිදි මේ රටේ මානව අයිතිවාසිකම් උල්ලංගනය කරමින්, මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන මර්දනය කරමින්, ඔවුන් මරාදමමින්, අල්ලස දූෂණය රජකරමින්, චීනයේ මාෆියා බැංකුවලින් හිතූ හැටියට ණය ගනිමින්, ජාත්‍යන්තර නීති රීති හා ගිවිසුම් පයිසයකට මායිම් නොකර රට පාලනය කළේය.

එහිම ප්‍රතිඵලයක් ලෙස අප වේගයෙන් ලෝකයෙන් කොන්වූ අතර අපේ අසල්වැසි ඉන්දියාව අපව විශ්වාස කළ නොහැකි සහෝදරියක සේ සලකන්නට පටන් ගැණිනි. අපේ පැරණි සීලාචාර මිතුරන් වූ යුරෝපය මත්ස්‍ය ආනයනය තහනම් කළේය. GSP + සහනය නවතා දැමුවේය. මානව අයිතිවාසිකම් කවුන්සලය මගින් අපට දඩුවම්කොට  අප දඩුකදේ ගසන්නට වෙරවීරිය දැරුවේය. කොටින්ම ශ්‍රී ලංකාවේ කිසිදු රාජතාන්ත්‍රිකයෙකුට ජාත්‍යන්තරයේ පිළිගැනීමක් නොලැබුණු අතර අප ජාත්‍යන්තර දේශපාලන චිත්‍රයේ කොතනකවත් නැති ඕපපාතිකයන් බවට පත්විය. මෙම අවාසනාවන්ත ඉරණම අපට තවත් බොහෝ දෑ අහිමි කළේය. පරම්පරා ගණනාවක් මේ රටේ ජනතාවට විදවිය යුතු ණය බරක් උරුම කළේය. චීනය වැනි ධනවත්, මර්දනකාරී ප්‍රබලයෙකු යටතට අප රටේ ආර්ථිකය හා මරමස්ථාන පත්විය. ඉන්දියාව තමිල්නාඩුව ඕනෑම මොහොතක ශ්‍රී ලංකාව බිලිගැනීමට හෝ පාලනයට නතුකරගැනීමට සූදානමින් සිටියේය. නමුත් මෙම තත්ත්වයන් විමල් වීරවංශ වැනි මෝඩ දේශපාලඥයින් ගැලරිය ඇමතීමට යොදාගත් අතර විදුලි පුටුව වැනි සංඛේතීය දේශපාලන කාරණාවන් කරලියට ආවේය. ඔවුන් රට තුළ සිංහල බසින් ජාත්‍යන්තරය විවේචනයකරද්දී ඔවුන් සිතුවේ මේ සියල්ල රට තුළ පමණක් පවතින බවයි. නමුත් ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට ශ්‍රී ලංකාවේ වාතාවරණය ගැන හොද අදහසක් තිබුණි. එම නිසා අපට එම දස වසර තුළ ජාත්‍යන්තරය අහිමිවිය.

2015 ජනවාරි 08 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වූ පසු යහපාලන ආණ්ඩුවට තිබූ අභියෝග අතර ප්‍රධානතම එකක් වූයේ හැකිතාක් ඉක්මනින් අපෙන් ගිලිහීතිබූ ජාත්‍යන්තරය ජයගැනීමයි. ඒ සදහා අනිවාර්ය කොන්දේසි රාශියක් ඉටුකිරීමට තිබුණි. ඒවායින් ප්‍රධානතම දෙයනම් මොළයක්, අවබෝධයක් හා සීලාචාරබවක් ඇති විදේශ අමාත්‍යවරයෙකු පත්කිරීමයි. ඒ සදහා මංගල සමරවීර හොදින් ගැලපුණි. එසේම අගමැතිවරයාගේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඇති දැණුම හා අවබෝධය මත අපට මූලික වටයේදීම මානව හිමිකම් කවුන්සලයේ උගුලෙන් ගැලවීමට හැකිවිය. එමෙන්ම යුරෝපීය ආර්ථික සම්බන්ධතා වර්ධනය කරගනිමින් මත්ස්‍ය තහනම ඉවත්කිරීම, GSP සහනය ලබාගැනීම හා අපේ පැරණි සීලාචාර මිතුරන් අතර හොදහිත නැවත වර්ධනය කරගැනීමට හැකිවිය. එසේම ඉන්දීය සබදතා තදින් හා හොදින් වර්ධනය කරගත් අතර ඉන්දියාවට ශ්‍රී ලංකාවේ ඇති ගෞරවය සෑම වෙලාවකම ප්‍රකාශකිරීමට තරම් නිහතමානී විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවද ශ්‍රී ලංකාව කෙරෙහි උපේක්ෂා සහගතව නමුත් අපේක්ෂාවන් දල්වමින් මිත්‍රත්වයේ දෑත් දිගුකළේය. ඉන්දියාව අද ශ්‍රී ලංකාවට සිටින ප්‍රබල හා ලගම ආරක්ෂකයාද, මිත්‍රයාද වේ. එසේම ලංකාව හා චීනය අතර ඇති ආර්ථික සම්බන්ධයේ බරපතල බව පිළිබදව ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා එම අදාල අංශවලට හොද අවබෝධයක් ඇතිබව ඔහුගේ සංචාරයේදී හොදින් විද්‍යමාන විය. පසුගියදා සිදුවූ නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ලංකා සංචාරයේදී හා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමන්ගේ ඉන්දීය සංචාරයේදී දෙරටේ සම්බන්ධතා නොබිදෙන ලෙස තදින් වර්ධනය වූ බව මාගේ හැගීමයි.

නමුත් ශ්‍රී ලංකාව මුහුණදෙන බරපතලම විදේශ සම්බන්ධතාවය වන්නේ චීනයයි. එක් අතකින් චීනය ස්වාධීන ආර්ථික බලවතෙක් වන අතර අනිත් අතින් ඉන්දියාවේ ප්‍රබලතම සතුරු රාජ්‍යයයි. එමෙන්ම ශ්‍රී ලංකාව චීන ණය උගුලක හිරවී පැටලී ගිලී තිබේ. එක් අතකින් ශ්‍රී ලංකාවට ඉන්දියානු මිත්‍රත්වයෙන් තොර අනාගතයක් නොමැති අතර අනෙක් අතින් චීනයේ ණය උගුල මත පටවනු ලබන පීඩනය රටේ ආර්ථිකයට හා සමාජයට දැඩි බලපෑමක් එල්ලකර තිබේ. එමනිසා පැරණි සීලාචාර මිතුරන් වන එංගලන්තය, ඇමරිකාව, කොරියාව, ජපානය, නෝර්වේ වැනි රටවල සහයෝගය ලබාගන්නා අතරම ඉන්දියානු ආශීර්වාදය හා හොදහිත පවත්වාගැනීම අනිවාර්ය කොන්දේසියකි. එමෙන්ම චීනයේ ආර්ථික ව්‍යාපෘති ඉන්දීය ආරක්ෂාවට තර්ජනයක් නොවන බව ඒත්තුගැන්වීමත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා මුහුණදෙන උගතෝකෝටිකයකි. මෙම තත්ත්වය යටතේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාත්‍යන්තරය ජයගනිද්දී මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඔහුගේ ජාත්‍යන්තර මිතුරන් වූ උගණ්ඩාව, ස්වාසිලන්තය වැනි නොවැදගත් රටවල් සමග දේශපාලනික වලපල්ලට යාමට සිදුව තිබේ.

ඉන්දියාව හා චීනය සමග මෙම ජාත්‍යන්තර හවුල පවත්වාගත හැකි මෙම කලාපයේ එකම රාජ්‍ය ශ්‍රී ලංකාව වේ. එනම් චීන භාණ්ඩ සදහා ඉන්දීය වෙළදපොලේ ඇති සීමාකම් මගහැර එම භාණ්ඩ ඉන්දීය වෙළදපොලට යැවිය හැකි මැදිහත්කරුවා හා සන්නාමය සතුව ඇත්තේ ශ්‍රී ලංකාවටය. එමගින් ඉන්දියාවට සාධාරණ මිලට නිෂ්පාදනද, චීනයට විශාල වෙළදපොලක්ද, ලංකාවට මැදිහත්කරුවෙකුට ලැබිය හැකි සියලුම ලාභද ලැබීමට අවස්ථාව තිබේ. එනම් රැකියා, බදු, වරාය හා ගුවන්තොටුපලවල් උපරිම උපයෝගීතාවයෙන් භාවිතා කිරීම, ඉන්දීය වෙළදපොලට ශ්‍රී ලාංකික සන්නාමය ප්‍රචලිත කිරීම වැනි ආර්ථික ලාභයන්ය. එබැවින් ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය මෙරට ආර්ථිකයට හා දේශපාලන සෞඛ්‍යට ඉතාම නිවැරදි බව මාගේ හැගීමයි.

Sunday, May 7, 2017

පාදෙණිය දොස්තර හාමුගේ පොදු අපේක්ෂක සිහිනය


ශ්‍රී ලංකාවේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු ඔවුන් විසින් ප්‍රකාශ කරන පරිදිම බලවත්, ප්‍රබල ඕනෑම කෙනෙකුට පාඩම් ඉගැන්විය හැකි සංවිධානයකි. ඔවුන් කොයිතරම් ප්‍රබලදැයි කිහිපවිටක්ම වර්තමාන ආණ්ඩුවට ඉගැන්වීමට උත්සහ කොට තිබේ. එනම් ඔවුන් සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් පිට බොහෝ දේශපාලනික, සමාජයීය හා ආර්ථික කාරණාවලට අතපොවා තිබේ. විටෙක ඔවුන් ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට විරුද්ධය. තවත් විටෙක සම සෞඛ්‍ය අධ්‍යාපනයට විරුද්ධය, ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සායනික පුහුණුවට විරුද්ධය, හෙද හෙදියන්ගේ නිල ඇදුමට විරුද්ධය, ඇටෙන්ඩන්වරුන්ගේ සපත්තුවට විරුද්ධය, ගුරු ගුරු සේවයේ පිහිටුවීමට විරුද්ධය, එක්ටා ගිවිසුමට, මැතිවරණ ක්‍රමය, ආර්ථික ප්‍රතිසංස්කරණ, ස්ත්‍රීභාවය පදනම් කරගත් ආරවුල්, සිගරට් කොම්පැණියේ ක්‍රියාකාරීත්වය, අරක්කු කොම්පැණියේ ලාභ ලැබීම හා ආණ්ඩුවේ සියලු කටයුතු ඔවුන්ගේ විෂය පථයට යටයි යැයි ඔවුන් සිතයි. මේ රටතුළ ඒ සියල්ල සිදුවිය යුත්තේ ඔවුන් හිතන පතන ආකාරයට බව ඔවුන් කල්පනා කරයි. එය එක්තරා ආකාරයක විකාරයක් බව මාගේ හැගීමයි. ලෝකයේ කිසිම රටක හෝ කිසිම සමාජයක වෛද්‍ය වෘත්තියේ පුහුණුව ලැබුවෙකු රැකියාවේ අනාරක්ෂිතභාවයකින් පෙළෙන්නේ නැත. මන්ද මේ මොහොතේත් ලෝකයේ සියලුම සමාජයන් වලට හැකියාව ලැබී ඇත්තේ තම අවශ්‍යතාවයට වඩා බොහෝ අඩුවෙන් වෛද්‍යවරුන් පුහුණු කිරීමටය. වෛද්‍යවරයෙකු පුහුණු කිරීම යනු ඉතා අපහසු කාර්යයක් බව සත්‍යයකි. නමුත් එය රොකට් තාක්ෂණය තරම් අමාරු නැත. නිර්වාණය තරම් අවබෝධ කරගැනීමට අපහසු නැත. එම නිසා විධිමත් වෛද්‍ය අධ්‍යාපනය ඕනෑම කෙනෙකුට ලබාගත හැකි දැනුමක් බව මාගේ විශ්වාසයයි. නමුත් එක් සත්‍යයක් වන්නේ ලෝකයේ ඕනෑම රටක, ඕනෑම සමාජයක වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට, ඇතුළත් වීමට දැඩි තරගකාරීත්වයක් ඇති අතර විශාල මුදලක්ද වැය කිරීමට සිදුවේ. මෙවැනි තත්ත්වයක් තුළ වෛද්‍ය වෘත්තියේ ඇති අත්‍යවශ්‍ය බව නිසා ඕනෑම සමාජයකට හෝ මිනිසුන්ට බලපෑම් කිරීමේ විශාල හැකියාවක් වෛද්‍යවරුන් සතුව ඇත. නමුත් වෛද්‍යවරුන් යනු සියල්ලම නිවැරදිව සිදුකරනු ලබන රහතන්වහන්සේලා නොවන බැවින් ඔවුන්ගෙන් සමාජයට හෝ රෝගීන්ට හානියක් නොවනු පිණිස ආචාරධර්ම කියා දෙයක් ගොඩනගා තිබේ. එමෙන්ම ඔවුන් රටක පවතින නීතියට හා සම්ප්‍රදායන්ට යටත්ය. ඔවුන් සුවිශේෂි පුරවැසියන් නොවේ. ලෝකයේ සියලුම වෛද්‍යවරුන් එම ආචාරධර්ම වලට යටත්වන අතර, ලංකාවේ වෛද්‍ය නිලධාරී සංගමය එසේ නොවේ යැයි ඔවුන් සිතයි. ඔවුන් සිතාමතාම සමාජ විරෝධී ශිෂ්ඨ ලෝකයේ කිසිවෙකුත් පිළිනොගන්නා ක්‍රමවේදයක් මත එම සංවිධානයේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යයි. ඔවුන් ලංකාවේ සුරක්ෂිතම වෘත්තිකයෝ වුවත් ඔවුන් විසින් ලංකාවේ අනෙකුත් සියලුම අංශ හිතාමතාම අනතුරේ හෙලයි. මෙම තත්ත්වය යටතේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත්, එහි සභාපති දොස්තර පාදෙණිය මහතාගේ ක්‍රියාකාරීත්වයත් විමසා බැලිය යුතුය.

දැනට මාස ගණනාවකට පෙර වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලහත්කාරයෙන් පාසල්වලට ළමයි ඇතුළත් කිරීම අරඹයා විශාල අරගලයක් අධ්‍යාපන ඇමතිවරයා සහ එම අමාත්‍යාංශය සමග ඇතිකරගත්තේය. එහිදී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කෙරෙහි රටතුළ විශාල විරෝධයක් ඇති කිරීමට හේතුවන පරිදි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් එම ගැටලුව කළමණාකරනය කළේය. GMOA සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකයින් විසින් එම මොහොතේදී ඔවුන්ට උවමනා පරිදි ජනප්‍රිය පාසල් වලට ළමයි ඇතුළත් නොකරන්නේ නම් අඛණ්ඩ වැඩවර්ජනයකට ගොස් රටම අඩාල කරන බවට තර්ජනය කළේය. එසේම ඔවුන් ලංකාවේ සුවිශේෂිත වරප්‍රසාද සහිත වෘත්තිකයින් පිරිසක් බව පුනපුනා ප්‍රකාශ කළ අතර ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට දැඩි පීඩනයක් හා තර්ජනයක් එල්ල කළේය. නමුත් තරුණ ඇමතිවරයෙකු හැටියට ඔහු එම ගැටලුවට සාර්ථකව මුහුණදුන් අතර GMOA එකට දැවැන්ත ප්‍රහාරයක්ද එල්ල කළේය. සැබවින්ම වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකාරීත්වයේ ඇති පසුගාමී තත්ත්වය ලංකාවට ප්‍රථමයෙන්ම හෙළි කරදුන්නේ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් බව මාගේ හැගීමයි. සැබවින්ම ඔවුන් පාඩමක් ඉගෙනගත්තා කිවහොත් නිවැරදිය. ආණ්ඩුවේ කටයුතු වලට අකුල් හෙලමින්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහි වෙමින් රටතුළ ඇතිකිරීමට ගිය විශාල කලබලයක් අධ්‍යාපන අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් එදා විසදා ගැනීමට හැකිවිය.

එම මොහොතේද එම වෘත්තීය අරගලය තුළ  සැකකළ හැකි දේශපාලන කුණු ගොඩක් තිබුණි. සිතාමතා සැලසුම් කර තිබූ ප්‍රතිගාමී දේශපාලන වැඩපිළිවෙලක් තිබුණි. නමුත් එදා දොස්තර පාදෙණිය සමාජයට හෙළි නොවූ අතර වෛද්‍ය සංගමය අංශක 360 ක් ආපස්සට කරකවා එම උද්ඝෝෂණයෙන් ඉවත් විය.

ඉන්පසු කාලය තුළද විටින් විට වෛද්‍ය සංගමය විශාල දේශපාලන මැදිහත් වීමක් සිදුකරන බව පෙනෙන්ට තිබුණි. ඔවුන් දිගින් දිගටම ඔවුන්ට අදාළ නොවන දේශපාලන කාරණා ගෙන ඒමෙන් රජයේ කටයුතු වලට බාධා කරනු ලැබීය.

මෙවරද සයිටම් ප්‍රශ්නය කේන්ද්‍ර කොට ගනිමින් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් කැදවා රටේ සාම්ප්‍රදායික මාධ්‍ය භාවිතාකොට ආණ්ඩුවට දිගින් දිගටම තර්ජනය කළේය. එම වර්ජනයද මුලුමනින්ම අසාර්ථක වූ අතර විශාල සමාජ විරෝධයක් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එල්ල විය.

තත්ත්වය එසේ තිබියදී වුවද වෛද්‍ය පාදෙණිය ඉතාම දේශපාලනිකව හැසිරෙමින් ඔහුගේ රූකඩ නිලධාරීන් මාධ්‍ය ඉදිරියට යමින් ඔහු ඇග බේරා ගැනීමේ න්‍යාය පත්‍රයක නියැලෙන බවක් දැකිය හැකිය. මාගේ තක්සේරුව නම් මහින්ද රාජපක්ෂට ජනාධිපති ධූරයකට තරග කළ නොහැකි තත්ත්වයක් තුළ ඝෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීම ප්‍රතික්ෂේප කරද්දී ඔවුන්ගෙන් හිස්වන ඒකාබද්ධ විපක්ෂයේ විස්සයි විස්සේ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක ධූරය සදහා දොස්තර පාදෙණිය ඉව අල්ලන බවයි. රටේ සෑම ප්‍රදේශයකම, සෑම ජනකොටසක්ම නියෝජනය වන පරිදි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් සිටිනා බැවින් වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට විස්සයි විස්සේ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක සිහිනය සාර්ථකව ඉටුකරගත හැකි බව මාගේ තක්සේරුවයි. ඒ සදහා සුභ පැතීමටද කැමැත්තෙමි.