Monday, December 25, 2017

නිළියකගේ ලිංගිකත්වය සිල්ලරට ගැනීම


පසුගිය දෙසතිය තුළ ශ්‍රී ලංකාවේ දේශපාලනයේ සිදුවූ ප්‍රධානතම සිදුවීම වූයේ නාමයෝජනා සකස් කිරිමේ අර්බුදයයි. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට රට තුළ ඇතිව තිබූ දැඩි ඉල්ලුම හමුවේ අපේක්ෂකයන් තෝරා ගැනීමේ විශාල අරගලයක නිරත වන්නට සිදු විය. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද, පොදුජන පෙරමුණටද මෙම අර්බුදය නිතැතින්ම හිමිව තිබුණි.

එක්සත් ජාතික පක්ෂය හැරුණු කොට අනිකුත් ප්‍රධාන පක්ෂ සියල්ලටම මුහුණ දීමට සිදුවූ විශාලතම අරගලයේ වූයේ නියමිත පරිදි ප්‍රතිශතයට කාන්තා අපේක්ෂකයින් ලැයිස්තුවලට ඇතුළත් කරගැනීමයි. මන්දයත් ලංකාවේ කාන්තා දේශපාලන සහභාගීත්වය ව්‍යවස්ථාවෙන් පළාත් පාලන පනතේ ඉදිරිපත් කර ඇති 25% සීමාවට වඩා බොහෝ අඩුවෙන් පැවතීම නිසාවෙන් 25% ක් කාන්තා අපේක්ෂකයින් ලයිස්තුවට ඇතුලත් කරගැනීම සියලුම පක්ෂ වලට අභියෝගයක් වී තිබුණි. නමුත් මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂ තුළ කාන්තා දේශපාලන සහභාගීත්වය විශාල ඉහළ අගයක පැවතීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයට කාන්තා අපේක්ෂකයන් තෝරා ගැනීමේ අර්බුදයක් නොපැවතුණි. කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය ඉහල යාම මෙම මැතිවරණයෙන් පසු ලංකාවේ දේශපාලනය තුළ දැකිය හැකි විශාල ලක්ෂණයක් වනු ඇත. මන්ද යත් සියලුම පළාත් පාලන ආයතන වල 25% කට වඩා වැඩි ප්‍රමාණයක් කාන්තා නියෝජනය අනිවාර්යයෙන් තිබිය යුතු අතර එමෙන්ම නාම යෝජනා සකස් කිරිම ආරම්භයේදීම කාන්තා නියෝජනය සම්බන්ධයෙන් ඉතාම අසුබ දායක පුවතක් පොහොට්ටු පක්ෂය පැත්තෙන් ඇසීමට ලැබුණේය.

එනම් මධූෂා රාමසිංහ නම් රංගන ශිල්පිණිය චෝදනා කර සිටියේ පොහොට්ටු පක්ෂයෙන් නාම යෝජනා ඉල්ලා සිටියදීම එම පක්ෂයේ නිලධාරීන් විසින් නාමයෝජනා ලබාදීමට ලිංගික අල්ලස් ඉල්ලු බවයි. එම තත්ත්වය ඇය විසින් මැතිවරණ කොමසාරිස්වරයාටත්, ජනමාධ්‍යයටත් පැමිණිලි කර සිටියේය. එය රට තුළ එතරම් අවධානයකට ලක් නොවුණ ද එම තත්ත්වය ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි. මන්ද යත් රටේ කාන්තා දේශපාලන සහභාගීත්වයේ විශාල අඩුවක් පවතිනුයේ දේශපාලනයට කාන්තාවන් පිවිසීමට දක්වන බිය හා මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් නිසාවෙනි.

මධූෂා රාමසිංහ රංගන ශිල්පිණියක් වූ පමණින් හෝ ඇයගේ චරිතය සම්බන්ධයෙන් පූර්ව නිගමනයන් තිබූ පලියට කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමට කිසිදු පිරිමියකුට අයිතියක් නැතුවා සේම විශේෂයෙන් වගකිව යුතු දේශපාලන පක්ෂයක් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවට ලක්වීම මේ රටේ ජනතාව බරපතළ ලෙස සැලකිය යුතු කාරණයකි. මධූෂා රාමසිංහගේ ලිංගික අල්ලස් සිද්ධිය මේ රටේ ප්‍රධාන ප්‍රවාහයේ ජනමාධ්‍ය ආයතන හා වෙබ් අඩවි විශේෂ අවධානයකට ලක් නොකොට අතහැර දැම්මේය. එය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් යනු මගේ හැඟීමයි. මෙම සිද්ධිය බටහිර සීලාචාර රටක සිදු වූයේ නම් එය එම දේශපාලන පක්ෂයේ ප්‍රධානීන්ට ඉල්ලා අස්වීමට සිදුවන හෝ එම දේශපාලන පක්ෂයේ ඡන්ද පදනම මුළුමනින්ම හෝ අඩක් (අඩුම තරමින් කාන්තා ඡන්ද) අහිමි වීමේ අවදානමට ලක්වන තරම් බරපතළ සිද්ධියක් හෝ චෝදනාවක් වේ.

නමුත් මෙම ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධිය ලංකාවේ ප්‍රධාන ප්‍රවාහයේ ජනමාධ්‍යවල, වෙබ් අඩවිවල හෝ දේශපාලන පක්ෂවල අවධානයට වැඩි වශයෙන් ලක් නොවූයේ එම ආයතන තුළ මධූෂා රාමසිංහ රංගන ශිල්පීණිය කෙරෙහි පැවති පූර්ව නිගමනය නිසා විය යුතුය. එය සීලාචාර සමාජයක කිසිසේත් සිදු නොවිය යුතු අවාසනාවන්ත තත්ත්වයකි. මෙවැනි බරපතළ සිද්ධියකදී අප අවධානයට යොමු කළ යුතු ප්‍රධානතම කාරණය වන්නේ මධූෂා රාමසිංහගේ කාන්තා භාවයයි. ඇය කාන්තාවක් වූ පළියට කිසිවෙකුගේ හිංසනයට හෝ හිරිහැරයට ලක්වීමට හෝ ලක් කිරීමේ අයිතියක් කිසිවෙකුට නැත. අතවරයට පත්වූ ඇයට මේ සමාජයේ වෙසෙන ඕනෑම පුද්ගලයෙකුට මෙන් සම අයිතිවාසිකම් තිබිය යුතු අතර මේ සමාජය තුළ සුරක්ෂිතව ඇය කැමති ඕනෑම ආකාරයකට නීත්‍යානුකූලව ජීවත්වීමේ අයිතිය තිබිය යුතුය. එයට අභියෝග කිරීමේ හැකියාවක් කිසිවෙකුටත් නැති අතර ඇය ඒ වෙනුවෙන් එළියට බැස කතා කිරීමට හැකියාවක් හා ශක්තියක් ඇති ගැහැණියක් වීම පිළිබඳව ගෞරවයක්, අප සැමට ඇය කෙරේ තිබිය යුතුය. අඩුම තරමින් ඇගේ පැමිණිල්ල කෙරෙහි මැතිවරණ කොමසාරිස්වරයාගේ අවදානය ද ඉතාම අඩු මට්ටමක තිබූ බව පෙනී යන අතර මැතිවරණ කොමසාරිස්වරයා ද පූර්ව නිගමනයක සිටියා දැයි මට සැක සිතේ. මැතිවරණ කොමසාරිස්වරයා එසේ සිටියේ නම් මැතිවරණ කොමසාරිස්වරයා වැනි කීර්තිමත් නිලධාරියකුට එය නොගැලපෙන්නේය.

කෙසේ නමුත් පොහොට්ටු පක්ෂයේ රාජපක්ෂවරුන් ඇතුලු සියලු දෙනාම පාහේ ලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ භාවය සම්බන්ධයෙන් සිටින ස්ථාවරය දෘෂ්ඨිමය විකෘතියකි. ඒ සදහා හොදම උදාහරණය වන්නේ බදුල්ල රැළියේදී මහින්ද රාජපක්ෂ හා කුමාර වෙල්ගම විසින් ප්‍රකාශකරන ලද සමලිංගික සම්බන්ධතා සහ බහු භාර්යා සම්බන්ධතා පිළිබද ඔවුන්ගේ ස්ථාවරයයි. එම ස්ථාවරයන් කිසිදු තත්ත්වයක් යටතේ වුවත් සීලාචාර විධිමත් සමාජයකට නොගැලපෙන්නේය. එසේම ඉතාම මෑතකදී පොහෙ‍ාට්ටු පක්ෂයේ න්‍යයාචාර්යවරයෙකු වන ආචාර්ය මහින්ද පතිරණ කථිකාචාර්යතුමා ඔහුගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ ලිංගික සම්බන්ධයකට ශිෂ්ණය ප්‍රාණවත් වීම අනිවාර්ය කොන්දේසියක් බවට ප්‍රකාශයක් පළකොට තිබුණි. එය වසර දහස් ගණනක් පැරණි ප්‍රාථමික හණමිටි අදහසකි. වර්ථමාණයේ ලිංගික සම්බන්ධතා යනු මූලික ලිංගික අවයවයන්ගෙන් එහාට ගිය දියුණු ක්‍රියාවලියකි. එහි සීමාවන් වචන වල සිට හැගීම්, දැනීම්, බැලීම් හරහා උපකරණ දක්වා විහිදේ. නමුත් ප්‍රාථමික ගෝත්‍රිකයින් තවමත් ලිංගිකත්වය යනු මූලික ලිංගික අවයව වල කාර්ය කොටසක් ලෙස හදුනාගෙන සිටී. රාජපක්ෂවරු පෙළෙන්නේ මෙම මූලික දෘෂ්ඨිමය ඌණතාවයෙනි. මෙවැනි තත්ත්වයක් තුල මධූෂා රාමසිංහට සිදුකළ ලිංගික බලපෑම සිල්ලරට ගැනීම අශීලාචාර ශෝකාන්තයකි.

කාන්තා නියෝජනය වැඩිකිරීමේ මූලික පදනම වූයේ කාන්තා දේශපාලන සහභාගීත්වය රට තුල වැඩිකොට එමගින් කාන්තාවන් මේ රටේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීමයි. එමගින් කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත්, වත්මන් ආණ්ඩුවේත් අරමුණ බව බැලූ බැල්මට පෙනේ. රාජපක්ෂවරු කාන්තාව හා ලිංගිකත්වය පිළිබද අඩු තක්සේරුවකින් හා ගෝත්‍රික මතවාදයක සිටියද, ආණ්ඩුව ලොව පිළිගත්, සියලුම සීලාචාර රාජ්‍යයන් අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන්ගේ එල්බ සිටී.

Sunday, December 17, 2017

ශ්‍රී ලංකා කාරයින්ට ආතල් දීමට මහින්දට ඕනෑ නැත



ජනවාරි 8 සිදුවූ නොසිතූ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ අය කල්පනා කරනු ලැබුවේ මෙම උභතෝකෝටිකයෙන් ගොඩ යන්නේ කෙසේද කියායි. මන්දයත් ඔවුන් වසර හැත්තෑවක් රට පාලනය කිරීමට සැලසුම් කර තිබූ අතර ඒ වෙනුවෙන් රටේ හැඩතල, ආයතන පද්ධතිය හා නීති රීති ද වෙනස් කරගෙන තිබුණි. තම පක්ෂයේ මහලේකම්වරයා විසින් ම එක්සත් ජාතික පක්ෂ හා එකතුව සිදුකරන ලද එම දැවැන්ත ප්‍රහාරයෙන් සිදුවූ පරාජය රාජපක්ෂ පවුලේ මෙන්ම එම පවුල මත යැපෙමින් දේශපාලනයේ හා මුදල් ඉපයීමේ ජාවාරම් සිදු කිරීමේ යෙදී සිටි කණ්ඩායම් වලට උභතෝකෝටිකයක්ම විය. දින සීයේ ආණ්ඩුව තුළ මහින්ද රාජපක්ෂගේ හා එම පවුලේ ප්‍රමුඛතාවය වූයේ හැකිතාක් ඉක්මනින් ඔවුන් විසින්ම සකස් කරමින් තිබූ වැරදි ක්‍රමවේදයක් නිසාවෙන් ඔවුන් මත පැවරී, පැටලීමට ඉඩ තිබූ දහසකුත් නඩුහබ හා රජයේ පලිගැනීම්වලින් මිදෙන තත්ත්වයකට යොමු වීමයි. ඒ වෙනුවෙන් රාජපක්ෂවරු ඕනෑම වන්දියක් ගෙවීමට එකගවී සිටියේය.

මෙවන් තත්ත්වයක් තුළ එම මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් අතරමංව සිටි උදය ගම්මන්පිල හා විමල් වීරවංශ විසින් ආරම්භ කරන ලද මහින්ද සුළඟ වැඩසටහන මගින් නැවතත් දේශපාලන කරලියට පැමිණි මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරු පසුව බැසිල් රාජපක්ෂගේ සංවිධාන හා උපායශීලී හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් නව පක්ෂය නොහොත් පොහොට්ටු පක්ෂය ආරම්භ කළේය. එම පක්ෂය හා සම්බන්ධ වී සිටින සියලුම දෙනා බලාපොරොත්තු වන්නේ හැකි ඉක්මණින් මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ විසින් රටේ රාජ්‍ය බලය ලබා ගනී යැයි කියාය. රටේ සත්‍ය ආර්ථික තත්ත්වය හා දේශපාලනය පිළිබඳ අවබෝධයක් ඇති රාජපක්ෂවරු විසින් නව රජයක් බිහිකිරීම උදෙසා කිසිදු උනන්දුවක් නොදක්වන බව වර්තමාන දේශපාලන විචාරකයින්ගේ මතයයි. ආණ්ඩු පාලනය ලබා ගැනීමට වඩා ප්‍රමුඛතාවය දියයුතු කාරණා රාශියක් රාජපක්ෂවරු අභියස ගොඩනැගී තිබේ. ඒවායින් ප්‍රධානම ඒවා නම් ඔවුන්ගේ පවුලට විරුද්ධව හා ඔවුන්ගේ කණ්ඩායමට විරුද්ධව බිහිවී ඇති, ගොඩනගා ඇති නඩු හබවලින් ගැලවීමයි. ඔවුන්ගේ කණ්ඩායමට කෙසේ වෙතත් රාජපක්ෂ වරුන්ගේ දරුවන්ට හා රාජපක්ෂවරුන්ට එරෙහිව එල්ලවී ඇති දූෂණ චෝදනා, මුදල් විසුද්ධි කරන චෝදනා, අවලාද චෝදනා හා අනෙකුත් සිවිල් නඩු සියල්ලෙන්ම ගැළවීම ඔහුගේ ප්‍රමුඛතාවයේ ඉහළම පවතින කාරණයයි.

ඒ සඳහා නව රජයක් බිහිකිරීම හා රටේ නීතියේ ආධිපත්‍යය සුරතට ගැනීම ඔවුන්ට ගැළවීමට ඇති එක් විකල්පයක් වුවත් එය ළඟා විය නොහැකි බියකරු අපහසු තීන්දුවක් බව ඒ පිළිබඳව දන්නා ඕනෑම කෙනකු මෙන් දේශපාලන ඔස්තාර් කෙනෙකු වූ මහින්ද රාජපක්ෂටද හොඳින් වැටහේ. එසේම ඒ කෙසේ වුවත් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් ගොඩ නගා මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් වූ ශ්‍රී ලංකා කාරයින් ශක්තිමත් කිරීමේ අභිලාෂයක් මහින්ද රාජපක්ෂට තිබිය නොහැක. මන්ද පක්ෂය ඔහුගේ නියපොත්ත යටතට ගෙනැවිත් තිබූ ජනවාරි 8 වන දාට පෙර කාලය තුළ වුවද ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධිපත්‍යය පවත්වා ගත හැකි වූයේ සීමා සහිතවය. එබැවින් අද වැනි දුර්වල අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධිපත්‍යය ඔහුට පවත්වාගත හැක්කේ ඉතාම අඩුවෙන් බවට තක්සේරුවක් ඔහු තුළ තිබිය යුතුය. මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්දලාට නැවත ඇමතිකම් අරන් දෙමින් ගොඩදැමීමේ අභිලාෂයක් රාජපක්ෂවරුන්ට නොමැත. ඔවුන්ගේ එකම අරමුණ නාමල් රාජපක්ෂ යටතට එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ බලවේග සියල්ල ගොනු කොට දීමයි.

ඒ සඳහා කිසිදු ඉඩකඩක් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිටින, මෛත්‍රීපාල සිරිසේන සිටින, විජිත් විජිතමුණි සොයිසා සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකින් නොලැබෙන බව මහින්ද රාජපක්ෂට හොඳින්ම තේරුම් ගොස් තිබේ. එම නිසා මේ මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැකිතාක් දුර්වල කිරීම රාජපක්ෂවරුන්ගේ ඒකායන අරමුණයි.

2020 දී මේ රට භාර ගැනීමට කිසිදු අපේක්ෂාවක් රාජපක්ෂවරුන්ට නැත. මන්ද නාමල් රාජපක්ෂ ඒ කාලය වන විටත් යෞවනයකු වන අතර අනිකුත් රාජපක්ෂවරුන්ට නිත්‍යාණුකූල පසුබිමක විවෘත දේශපාලනයේ යෙදීමට රට තුළ අවස්ථාවක් නොමැත. මන්ද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇමරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ දේශපාලනයේ යෙදීමේ සීමාකම් ඇති කොට තිබේ. මහින්ද රාජපක්ෂට ද නැවතත් රට පාලනය කිරීම සඳහා විශාල බාධක තිබේ. ඒවා වයස සම්බන්ධයෙන්, සෞඛ්‍ය සම්බන්ධයෙන් මෙන්ම රටේ නීතියෙන් තම පවුලට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන්ද අදාළ වේ. මේ තත්ත්වය අනුව රාජපක්ෂවරුන්ගේ ප්‍රමුඛතම අරමුණ වන්නේ 2025 දී එක්සත් ජාතික පක්ෂයේ විරෝධී බලවේග සියල්ල එකතු කොට 2025 දී ඔවුන්ගේ ම ආණ්ඩුවක් ගොඩනැගීමයි. එම ආණ්ඩුවේ ප්‍රධානියා කරවීමට බොහෝ විට ඉඩ ඇත්තේ නාමල් රාජපක්ෂ. එය මහින්ද රාජපක්ෂ විසින් ගොඩනඟන ලද වසර 70 ක් රට පාලනය කිරීමේ සැලැස්මේම කොටසක් වන අතර වෙනසකට ඇත්තේ එම සැලැස්ම වසර දහයක් ඔවුන්ට අහිමි වීමයි. නමුත් රාජපක්ෂවරු අපේක්ෂා කරන පරිදි නාමල් රාජපක්ෂට 2025 දී රටේ පාලනය භාර ගැනීමට ඉඩකඩක් එක්සත් ජාතික පක්ෂයෙන් ලබාදේ යැයි විශ්වාස කළ නොහැකිය. මන්ද දක්ෂ තරුණ දුරදක්නා නායකයින් රාශියක් මේ වන විට එම පක්ෂය තුල ගොඩනැඟී තිබේ.

මේ අනුව පොහොට්ටුවට උදව් පදව් කරන පාක්ෂිකයින් තේරුම් ගත යුතු දෙය නම්, ගතයුතු දෙයනම් 2025 වනතුරු නැවත රාජපක්ෂවරු ඉන්නා ආණ්ඩුවක් හැදීමට කිසිදු ඉඩකඩක් හෝ බලාපොරොත්තුවක් ඔවුන් තුළ නොමැති බවයි.

2025 න් පසුව හෝ නාමල් රාජපක්ෂ ආණ්ඩුවක් ගොඩ නගා ගැනීමට හැකි වනුයේ එක්සත් ජාතික පක්ෂයේ දෙවන හා තුන්වන පෙළ අසාර්ථක වුවහොත්ය. දැන් තිබෙන තත්ත්වය අනුව එම පක්ෂයේ පළමු පෙළට වඩා දෙවන සහ තුන් වෙනි පෙළ සාර්ථකය. ඒ අනුව යූ. ඇන්. පී. විරෝධී බලවේගවලට තමන්ගේ ආණ්ඩුවක් ගොඩනැගීමට අඩුම තරමින් දශක දෙකක්වත් බලා සිටීමට සිදුවනු ඇතැයි මාගේ තක්සේරුවයි.

Sunday, December 10, 2017

ඉගිලෙනකොට පේන සුද

ලංකාවේ දේශපාලනය තුළ පසු පසුගිය දෙසතිය තුල සිදු වූ විශේෂිතම සිදුවීම වූයේ පාර්ලිමේන්තුවට අය වැය ඉදිරිපත් කිරීමයි. පාර්ලිමේන්තුවේ පැවති අය-වැය විවාදයේ දී කිසිදු විශේෂ සිදුවීමකින් තොරව පාර්ලිමේන්තු කටයුතු පැවති අතර අය වැය තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුව තුල සම්මත විය. එයින් අදහස් වන්නේ ආණ්ඩුවේ ආර්ථික වැඩ පිළිවෙල පිළිබඳව පාර්ලිමේන්තුවේ විශ්වාසය තවදුරටත් පවතින බවයි. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ බලාපොරොත්තු සුනු විසුනු කරමින්, පෝයෙන් පෝය ගෙවී යමින් ඔවුන්ගේ ආණ්ඩු පෙරලීම සිහිනයක්ම පමණක් වෙමින් තිබේ.

ඒ කෙසේ වෙතත් ආණ්ඩුව විසින් ඉදිරි මැතිවරණය සඳහා බලමුළු සූදානම් කරමින් සිටී. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් නව මැතිවරණ යෝජනා ක්‍රමය පරිදි සියලුම ලැයිස්තු සඳහා ක්‍රියාකාරී දක්ෂ තරුණ කාන්තා පිරිසක් තෝරා ගැනීමේ කටයුතු සඳහා විශේෂ අවධානයක් යොමු කොට තිබේ. මෙම මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකාවේ දේශපාලනය තුල කාන්තා නියෝජනය විශාල වශයෙන් ඉහළ යනු ඇතැයි ආණ්ඩුවේ තක්සේරුවයි. එසේම ලංකාව පුරා විසිරී සිටින කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කරන ක්‍රියාකාරීන් හා සංවිධාන වල නව බලාපොරොත්තු ඇති වී තිබේ.

තත්වය මෙසේ තිබිය දී ලංකාවේ ආණ්ඩුව විසින් පසුගිය කාලයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල වෙනස්කම් රාශියක් සිදු කරනු ලැබීය. විශේෂයෙන්ම වර්තමාන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ නිර්මාණශීලී කාර්යක්ෂම හා එඩිතර ක්‍රියාකාරිත්වය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනයට ඉමහත් පිටුවහලක් වෙමින් තිබෙන බව බැලූ බැල්මට පෙනී යයි. එසේම අධ්‍යාපන අමාත්‍යාංශය හා සංස්කෘතික අමාත්‍යාංශය ඒකාබද්ධව පිහිටවනු ලැබූ අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයාගේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයට හා සංස්කෘතික ක්ෂේත්‍රයට ද විශාල වැඩ කොටසක් සිදු කරමින් තිබේ. විශේෂයෙන් පුරාවිද්‍යා ක්ෂේත්‍රය හා ඒ හා බැඳුනු ආගමික ස්ථාන, සංරක්ෂණය කළ යුතු ස්ථාන හා පුරාවිද්‍යා ක්ෂේත්‍රයට අදාළ විෂයන් රාජ්‍ය පාලනයේදී නොවැදගත් දුතීය විෂයයන් ලෙස සැලකුවද අකිල විරාඡ් කාරියවසම් ඇමතිවරයා එම විෂය භාර ගත් පසු එය ශ්‍රී ලංකාවේ ඉතාම වැදගත්, කතාබහට ලක්වන විෂයක් බවට පත්වී තිබේ.

විශේෂයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් තිබූ විශාල දූෂණ අක්‍රමිකතා වළක්වා, එම අරමුදල කාර්යක්ෂම අරමුදලක් බවට පත් කරනු ලැබීය. එම අරමුදලේ ආදායම පෙර වර්ෂයට වඩා පස් ගුණයකින් පමණ වර්ධනය කොට මෙම වර්ෂයේ දී ලබාගැනීමට හැකි වූ අතර රට පුරා තිබෙන පුරාවිද්‍යා ස්ථාන හා විහාරස්ථාන දහසකට ඒවා සංවර්ධන කටයුතු සඳහා එක් ස්ථානයකට රුපියල් ලක්ෂ පහ බැගින් ආධාර අරමුදල් ලබා දුනි. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දී පුරාවිද්‍යා ස්ථාන විශාල වැදගත්කමකින් යුක්ත වේ. නමුත් පසුගිය ආණ්ඩුව විසින් සංචාරකයින්ගෙන් උපයා ගන්නා ලද මුදල් දේශපාලන ව්‍යාපෘතිවලට යෙදෙව්වා විනා අඩුම තරමේ එම පුරාවිද්‍යා ස්ථාන තුල වැසිකිළි කැසිකිළි ඉදිකිරීමටවත් උනන්දුවක් නොදැක්වීය. විශේෂයෙන්ම මෙයින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට සිදුවූ පාඩුව මිල කළ නොහැකිය. මේ සඳහා හොඳම උදාහරණය වන්නේ හෝර්ටන් පෙදෙසේ සංචාරකයින් සඳහා ඩොලර් විසිපහක මුදලක් ගෙන ලෝකාන්තය නැරඹීමට අවස්ථාව ලබා දුන්නද ඔවුන් වෙනුවෙන් එකදු වැසිකිළි පද්ධතියක් ඉදිකිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි විය.

එසේම සීගිරියේදී අයකරනු ලබන ඩොලර් විසිපහේ මුදල ඊජිප්තුවේ පිරමීඩ නැරඹීමේදී අයකරන මුදලටත් වඩා ඩොලර් පහක හෝ දහයක වැඩිවීමක් තිබේ. එය එසේ තිබුණද සීගිරිය නැරඹීමට එන සංචාරකයන් උදෙසා වැසිකිළි පද්ධතියක් පසුගිය වසර වන තුරුත් ඉදි කර නොතිබිණි. අකිල ඇමතිවරයා සංස්කෘතික අමාත්‍යාංශය බාරගත් පසුව නවීන වැසිකිළි පද්ධතියක් ගොඩ නංවනු ලැබීය. එසේම සීගිරිය තුල සිදු වූ අති විශාල වංචාවන් හා දූෂණයන් වලට තිත තැබූ අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා ප්‍රවේශපත් විකිණීම Online ක්‍රමයකට මාරු කරනු ලැබීය. එම නිසා රජයට විශාල ආදායමක් ලබා ගැනීමට හැකි වී තිබේ. සීගිරිය පරිශ්‍රය තුල වංචා දූෂණ හා අක්‍රමිකතා අවම වී තිබේ. එසේම සීගිරිය තුලින් මධ්‍යම සංස්කෘතිය අරමුදල ලැබූ ආදායම පස් ගුණයකින් වැඩි වී තිබේ. මෙසේ වැඩි වූ සහ දූෂණය වංචාව අවම කිරීමෙන් ඉතුරු කර ගන්නා ලද අතිවිශාල මුදල විහාරස්ථාන දහසක් සංවර්ධනය කිරීම සඳහා මෙම වසරේ දී පිරි නැමීය. ලබන වසරේදී තවත් විහාරස්ථාන දහසක් සංවර්ධනය කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් යෙදවීමට සංස්කෘතික අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

මෙතුවක් කල් රටේ ජාතික සම්පත් සංචාරකයින්ට පෙන්වා උපයා ගන්නා ලද මුදල් පටු දේශපාලන ව්‍යාපෘතිවලට යෙදවීම අවසන් කොට, සැබෑ ලෙසම එම මුදල් රටේ පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණයටත්, විහාරස්ථාන නඩත්තුවටත් එම මුදල් ආයෝජනය කිරීමට ආණ්ඩුව තීරණය කොට තිබේ. එසේම ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කොට ක්‍රියාත්මක කරමින් තිබේ. සංස්කෘතික අමාත්‍යාංශය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් වර්තමානයේ ශ්‍රී ලංකාව තුල සිදු කරමින් පවතින වැඩ පිළිවෙළෙහි සම්පුර්ණ ගෞරවය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට හිමිවිය යුතු බව මගේ පෞද්ගලික විශ්වාසයයි. මෙතුවක් කාලයක් හුදකලා වී කොන් වී තිබූ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල ද එම විෂය පද්ධතිය ද අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා විසින් ඉහලට ඔසවා තබා ශ්‍රී ලංකාවේ කේන්ද්‍රීය වැදගත් විෂයක් බවට පත්කර තිබේ. එම විෂයට ලංකාවේ ජනතාව තුළත් ආයතන පද්ධතිය තුළත් දේශපාලඥයෝ තුලත් අවධානයට ලක්වීම නිසාවෙන් එම අංශය සීඝ්‍ර දියුණුවකට ලක්වෙමින් තිබේ.

අවසාන වශයෙන් කිව යුත්තේ අකිල විරාජ් ඇමතිවරයා කිසිවෙකුත් නොසිතූ පරිදි සාර්ථක ඇමතිවරයෙක් බවට මෙම ආණ්ඩුවේ පත්වී තිබේ. ඔහු අත තබන තබන ව්‍යාපෘතිය සාර්ථක වේ. ඔහුගේ විචක්ෂණ භාවයත්, ඉදිරි දැක්මත්, සංවිධාන හැකියාවත්, ප්‍රසන්න හදවතත්, පාක්ෂිකත්වයත්, අනාගතයක් ඇති ඇමතිවරයෙකු බවට පත්කර තිබේ.

Monday, December 4, 2017

රනිල් ඇයි මෙහෙම



ඉන්දියානු සාගර කලාපයේ කාලගුණය කැලඹෙන්නට පෙර ශ්‍රී ලංකාවේ දේශපාලනය තුල පසුගිය සති තුන ඇතුළත විශාල ලෙස කැලඹීමක් පැවතිණි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිල අතර පැවති සාම සාකච්ඡා නිසාවෙන් එම දෙපක්ෂය තුළත්, එක්සත් ජාතික පක්ෂය තුළත් විශාල කැළඹීම් ස්වරූපයක් තිබුණි. එමෙන්ම මහ බැංකු බැඳුම්කර සිද්ධිය මත අග්‍රාමාත්‍යවරයා බැඳුම්කර කොමිසමට පැමිණීමත්, එම පැමිණීමට හා සමානව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් දියත් කරන ලද බැඳුම්කර කොමිසම එක්සත් ජාතික පක්ෂය දඩයම් කිරීම උදෙසා යොදාගත හැකි උපකරණයක් ලෙස මාධ්‍ය වලට ප්‍රකාශ නිකුත් කිරීමත් වැනි කාරණා නිසා එක්සත් ජාතික පක්ෂය තුළ විචිකිච්චාවක් ඇති විය. එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු ගණනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කිරීමට උත්සහ කළ අතර සුජීව සේනසිංහ අමාත්‍යවරයා සෘජුවම ජනාධිපතිවරයා වෙත එම චෝදනා එල්ල කළේය. මෙම කාරණා දේශපාලන කරළිය තුළ සිදුවෙද්දී අග්‍රාමාත්‍යවරයා සිටියේ ඉන්දියානු සංචාරයේ නිරත වෙමිනි. එම සංචාරය අවසන් වී ශ්‍රී ලංකාවට පැමිණි විගස පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම හමුවේ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනු ලැබුවේ, ජනාධිපතිවරයාට විරුද්ධව, ජනාධිපතිවරයාගේ පක්ෂය විසින් සිදුකරනු ලබන දේශපාලන කාරණා වලට විරුද්ධව ප්‍රකාශ නිකුත් නොකරන ලෙසයි. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු ඒ සම්බන්ධයෙන් එතරම් සතුටට පත් නොවූහ. නමුත් පක්ෂ නායකයාට එකඟ වෙමින් ඔවුන් ජනාධිපතිවරයාට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව අදහස් දැක්වීම නවතා දැමිණි.

එක්සත් ජාතික පක්ෂයේ තත්ත්වය එසේ වුවත් රටේ රූපවාහිනී මාධ්‍ය ආයතනයක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් මෙන්ම එහි නායකයින් විසින් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව මඩ ගැසීම් හා එහි නායකයා විවේචනය කිරීමක් පවත්වාගෙන ආවේය. අද වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් එක්සත් ජාතික පක්ෂය විවේචනය කිරීමේ කටයුතු ගම් මට්ටමේ සිට ජාතික දේශපාලන දක්වා හැම ස්තරයකම සිදුකරගෙන යයි. නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ස්ථාවරය වන්නේ කිසිදු හේතුවක් මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන කටයුතු විවේචනය නොකළ යුතු අතර ජනාධිපතිවරයාට එරෙහිව කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාකාරකමක නොයෙදිය යුතු බවයි.

සහජීවන ආණ්ඩුව පවත්වාගෙන යාමෙන් මේ රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂයට හා ජනාධිපතිතුමාට ලබාදුන් ජනවරම අනුව පොරොන්දු වූ කටයුතු ඉටු කිරීමට අගමැතිවරයාගේ කැපවීම අප අගය කළ යුතුයි. විටෙක ඒ සඳහා ඔහුට හා ඔහුගේ පක්ෂයට ගෙවීමට සිදුවන වන්දිය විශාල වුවද ජනවරමට අනුව කටයුතු කිරීමට අග්‍රාමාත්‍යවරයා අදිටන් කරගෙන ඇති බව බැලූ බැල්මට පෙනී යයි. කෙතරම් අපහසු තත්ත්වයක් තිබුණද දේශපාලන බලය පවත්වා ගැනීමෙන් එහාට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ආණ්ඩුකරණය පුළුල් දැක්මකින් හා පරිණත භාවයකින් යුතුව කරමින් සිටින බව අපට පෙනීයයි. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේ දී ජනතාව අතර සාපේක්ෂ ශක්තිමත් බවකින් පවතින අතර පළාත් පාලන මැතිවරණය දිනා ගැනීමේ ප්‍රබල හැකියාවක් ඇති බව අගමැතිවරයාගේ විශ්වාසයයි. එම නිසා මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන ක්‍රියාවලිය ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් දියත් කරනු ලබන වැඩපිළිවෙළට අකුල් හෙලීමෙන් වළකින ලෙසත්, එක්සත් ජාතික පක්ෂයට නියෝග කර තිබේ. මන්දයත් මේ ආණ්ඩුව ස්ථාවරව පවත්වා ගැනීමට නම් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව පැවතිය යුතු බව අගමැතිවරයාගේ අවබෝධයයි.
සැබවින්ම ඉදිරි එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිල නොහොත් පොදු ජන පෙරමුණට ජයග්‍රහණය කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව දැන් දැන් සමාජය තුළ විචිකිච්චාවක් පැනනැගී තිබේ. විශේෂයෙන්ම මහින්ද පිලට රට පුරා විසිරී පැතිරුණු පක්ෂ යාන්ත්‍රණයක් නොමැති නිසා එම මැතිවරණයට මුහුණ දීමේ විශාල අපහසු කම් අත්විදිමින් තිබේ. ජනතා විමුක්ති පෙරමුණටද සිදුවී ඇත්තේ එයයි. ඔවුන්ද රට පුරා ඇති සියලුම කොට්ඨාසවලට අපේක්ෂකයන් යොදවා ගැනීමේදී කාන්තා නියෝජනයට අදාළ කාන්තා අපේක්ෂකයන් සොයාගැනීම් විශාල අර්බුදයකට මුහුණ දී තිබේ.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, පක්ෂ යාන්ත්‍රණය සියයට හැත්තෑවකටත් වඩා සතුව ඇත්තේ ජනාධිපතිවරයාගේ පිලටයි. එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිතුමාගේ පිලට මෙම තත්ත්වයට මුහුණ දීමේ කිසිදු තාක්ෂණික අපහසුතාවයක් නැත. එසේම එක්සත් ජාතික පක්ෂයට මෙවැනි තත්ත්වයන් අදාලම නොවේ. මේ මොහොත වන විටත් එක්සත් ජාතික පක්ෂය අපේක්ෂක ලැයිස්තු සකස් කිරීමේ කටයුතු වල සියයට අසූවකටත් වඩා අවසන් කර ඇති අතර අපේක්ෂකයන් ඉතාමත් වේගයෙන් ග්‍රාමීය මට්ටමේ සංවිධාන කටයුතුවල යෙදෙමින් සිටී. මෙම තත්ත්වය මත එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දැඩි විශ්වාසය, මෙම මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි බවයි. එම නිසා යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකේ සහජීවනයට හානිවන ආකාරයේ කිසිදු දේශපාලන ක්‍රියාවලියක්, ප්‍රකාශයක් හෝ වැඩසටහනක් සිදු නොකරන ලෙස පක්ෂයේ සියලුම ස්තර වල ක්‍රියාකාරීන්ට හා නායකයින්ට අගමැතිවරයා විසින් තරයේ අවවාද කරන ලදී.

මෙම තත්ත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය එක්තරා අකාරයකට උවතෝකෝටිකයකට මුහුණදී තිබුණද රට තුළ ක්‍රියාත්මක වන ආර්ථික වැඩසටහන හා සමාජ, ආර්ථික, දේශපාලනික ප්‍රතිසංස්කරණය පිළිබද කතිකාව ජනතාව හමුවේ තබමින් පරිණත දේශපාලනයක යෙදෙමින් පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට අපේක්ෂා කරයි. එසේම චිරහත් කාලයක් වංචාවෙන්, දූෂණයෙන් හා අකාර්යක්ෂමතාවයෙන් පිළිණු වී තිබූ ප්‍රාදේශීය පරිපාලනයට දක්ෂ, උගත්, බුද්ධිමත්, අලුත් මුහුණු හදුන්වාදෙමින් ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහනගර සභා වල බලය අත්පත් කරගැනීමට අපේක්ෂා කරයි.