Monday, December 25, 2017

නිළියකගේ ලිංගිකත්වය සිල්ලරට ගැනීම


පසුගිය දෙසතිය තුළ ශ්‍රී ලංකාවේ දේශපාලනයේ සිදුවූ ප්‍රධානතම සිදුවීම වූයේ නාමයෝජනා සකස් කිරිමේ අර්බුදයයි. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට රට තුළ ඇතිව තිබූ දැඩි ඉල්ලුම හමුවේ අපේක්ෂකයන් තෝරා ගැනීමේ විශාල අරගලයක නිරත වන්නට සිදු විය. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද, පොදුජන පෙරමුණටද මෙම අර්බුදය නිතැතින්ම හිමිව තිබුණි.

එක්සත් ජාතික පක්ෂය හැරුණු කොට අනිකුත් ප්‍රධාන පක්ෂ සියල්ලටම මුහුණ දීමට සිදුවූ විශාලතම අරගලයේ වූයේ නියමිත පරිදි ප්‍රතිශතයට කාන්තා අපේක්ෂකයින් ලැයිස්තුවලට ඇතුළත් කරගැනීමයි. මන්දයත් ලංකාවේ කාන්තා දේශපාලන සහභාගීත්වය ව්‍යවස්ථාවෙන් පළාත් පාලන පනතේ ඉදිරිපත් කර ඇති 25% සීමාවට වඩා බොහෝ අඩුවෙන් පැවතීම නිසාවෙන් 25% ක් කාන්තා අපේක්ෂකයින් ලයිස්තුවට ඇතුලත් කරගැනීම සියලුම පක්ෂ වලට අභියෝගයක් වී තිබුණි. නමුත් මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂ තුළ කාන්තා දේශපාලන සහභාගීත්වය විශාල ඉහළ අගයක පැවතීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයට කාන්තා අපේක්ෂකයන් තෝරා ගැනීමේ අර්බුදයක් නොපැවතුණි. කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය ඉහල යාම මෙම මැතිවරණයෙන් පසු ලංකාවේ දේශපාලනය තුළ දැකිය හැකි විශාල ලක්ෂණයක් වනු ඇත. මන්ද යත් සියලුම පළාත් පාලන ආයතන වල 25% කට වඩා වැඩි ප්‍රමාණයක් කාන්තා නියෝජනය අනිවාර්යයෙන් තිබිය යුතු අතර එමෙන්ම නාම යෝජනා සකස් කිරිම ආරම්භයේදීම කාන්තා නියෝජනය සම්බන්ධයෙන් ඉතාම අසුබ දායක පුවතක් පොහොට්ටු පක්ෂය පැත්තෙන් ඇසීමට ලැබුණේය.

එනම් මධූෂා රාමසිංහ නම් රංගන ශිල්පිණිය චෝදනා කර සිටියේ පොහොට්ටු පක්ෂයෙන් නාම යෝජනා ඉල්ලා සිටියදීම එම පක්ෂයේ නිලධාරීන් විසින් නාමයෝජනා ලබාදීමට ලිංගික අල්ලස් ඉල්ලු බවයි. එම තත්ත්වය ඇය විසින් මැතිවරණ කොමසාරිස්වරයාටත්, ජනමාධ්‍යයටත් පැමිණිලි කර සිටියේය. එය රට තුළ එතරම් අවධානයකට ලක් නොවුණ ද එම තත්ත්වය ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි. මන්ද යත් රටේ කාන්තා දේශපාලන සහභාගීත්වයේ විශාල අඩුවක් පවතිනුයේ දේශපාලනයට කාන්තාවන් පිවිසීමට දක්වන බිය හා මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් නිසාවෙනි.

මධූෂා රාමසිංහ රංගන ශිල්පිණියක් වූ පමණින් හෝ ඇයගේ චරිතය සම්බන්ධයෙන් පූර්ව නිගමනයන් තිබූ පලියට කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමට කිසිදු පිරිමියකුට අයිතියක් නැතුවා සේම විශේෂයෙන් වගකිව යුතු දේශපාලන පක්ෂයක් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවට ලක්වීම මේ රටේ ජනතාව බරපතළ ලෙස සැලකිය යුතු කාරණයකි. මධූෂා රාමසිංහගේ ලිංගික අල්ලස් සිද්ධිය මේ රටේ ප්‍රධාන ප්‍රවාහයේ ජනමාධ්‍ය ආයතන හා වෙබ් අඩවි විශේෂ අවධානයකට ලක් නොකොට අතහැර දැම්මේය. එය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් යනු මගේ හැඟීමයි. මෙම සිද්ධිය බටහිර සීලාචාර රටක සිදු වූයේ නම් එය එම දේශපාලන පක්ෂයේ ප්‍රධානීන්ට ඉල්ලා අස්වීමට සිදුවන හෝ එම දේශපාලන පක්ෂයේ ඡන්ද පදනම මුළුමනින්ම හෝ අඩක් (අඩුම තරමින් කාන්තා ඡන්ද) අහිමි වීමේ අවදානමට ලක්වන තරම් බරපතළ සිද්ධියක් හෝ චෝදනාවක් වේ.

නමුත් මෙම ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධිය ලංකාවේ ප්‍රධාන ප්‍රවාහයේ ජනමාධ්‍යවල, වෙබ් අඩවිවල හෝ දේශපාලන පක්ෂවල අවධානයට වැඩි වශයෙන් ලක් නොවූයේ එම ආයතන තුළ මධූෂා රාමසිංහ රංගන ශිල්පීණිය කෙරෙහි පැවති පූර්ව නිගමනය නිසා විය යුතුය. එය සීලාචාර සමාජයක කිසිසේත් සිදු නොවිය යුතු අවාසනාවන්ත තත්ත්වයකි. මෙවැනි බරපතළ සිද්ධියකදී අප අවධානයට යොමු කළ යුතු ප්‍රධානතම කාරණය වන්නේ මධූෂා රාමසිංහගේ කාන්තා භාවයයි. ඇය කාන්තාවක් වූ පළියට කිසිවෙකුගේ හිංසනයට හෝ හිරිහැරයට ලක්වීමට හෝ ලක් කිරීමේ අයිතියක් කිසිවෙකුට නැත. අතවරයට පත්වූ ඇයට මේ සමාජයේ වෙසෙන ඕනෑම පුද්ගලයෙකුට මෙන් සම අයිතිවාසිකම් තිබිය යුතු අතර මේ සමාජය තුළ සුරක්ෂිතව ඇය කැමති ඕනෑම ආකාරයකට නීත්‍යානුකූලව ජීවත්වීමේ අයිතිය තිබිය යුතුය. එයට අභියෝග කිරීමේ හැකියාවක් කිසිවෙකුටත් නැති අතර ඇය ඒ වෙනුවෙන් එළියට බැස කතා කිරීමට හැකියාවක් හා ශක්තියක් ඇති ගැහැණියක් වීම පිළිබඳව ගෞරවයක්, අප සැමට ඇය කෙරේ තිබිය යුතුය. අඩුම තරමින් ඇගේ පැමිණිල්ල කෙරෙහි මැතිවරණ කොමසාරිස්වරයාගේ අවදානය ද ඉතාම අඩු මට්ටමක තිබූ බව පෙනී යන අතර මැතිවරණ කොමසාරිස්වරයා ද පූර්ව නිගමනයක සිටියා දැයි මට සැක සිතේ. මැතිවරණ කොමසාරිස්වරයා එසේ සිටියේ නම් මැතිවරණ කොමසාරිස්වරයා වැනි කීර්තිමත් නිලධාරියකුට එය නොගැලපෙන්නේය.

කෙසේ නමුත් පොහොට්ටු පක්ෂයේ රාජපක්ෂවරුන් ඇතුලු සියලු දෙනාම පාහේ ලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ භාවය සම්බන්ධයෙන් සිටින ස්ථාවරය දෘෂ්ඨිමය විකෘතියකි. ඒ සදහා හොදම උදාහරණය වන්නේ බදුල්ල රැළියේදී මහින්ද රාජපක්ෂ හා කුමාර වෙල්ගම විසින් ප්‍රකාශකරන ලද සමලිංගික සම්බන්ධතා සහ බහු භාර්යා සම්බන්ධතා පිළිබද ඔවුන්ගේ ස්ථාවරයයි. එම ස්ථාවරයන් කිසිදු තත්ත්වයක් යටතේ වුවත් සීලාචාර විධිමත් සමාජයකට නොගැලපෙන්නේය. එසේම ඉතාම මෑතකදී පොහෙ‍ාට්ටු පක්ෂයේ න්‍යයාචාර්යවරයෙකු වන ආචාර්ය මහින්ද පතිරණ කථිකාචාර්යතුමා ඔහුගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ ලිංගික සම්බන්ධයකට ශිෂ්ණය ප්‍රාණවත් වීම අනිවාර්ය කොන්දේසියක් බවට ප්‍රකාශයක් පළකොට තිබුණි. එය වසර දහස් ගණනක් පැරණි ප්‍රාථමික හණමිටි අදහසකි. වර්ථමාණයේ ලිංගික සම්බන්ධතා යනු මූලික ලිංගික අවයවයන්ගෙන් එහාට ගිය දියුණු ක්‍රියාවලියකි. එහි සීමාවන් වචන වල සිට හැගීම්, දැනීම්, බැලීම් හරහා උපකරණ දක්වා විහිදේ. නමුත් ප්‍රාථමික ගෝත්‍රිකයින් තවමත් ලිංගිකත්වය යනු මූලික ලිංගික අවයව වල කාර්ය කොටසක් ලෙස හදුනාගෙන සිටී. රාජපක්ෂවරු පෙළෙන්නේ මෙම මූලික දෘෂ්ඨිමය ඌණතාවයෙනි. මෙවැනි තත්ත්වයක් තුල මධූෂා රාමසිංහට සිදුකළ ලිංගික බලපෑම සිල්ලරට ගැනීම අශීලාචාර ශෝකාන්තයකි.

කාන්තා නියෝජනය වැඩිකිරීමේ මූලික පදනම වූයේ කාන්තා දේශපාලන සහභාගීත්වය රට තුල වැඩිකොට එමගින් කාන්තාවන් මේ රටේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීමයි. එමගින් කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත්, වත්මන් ආණ්ඩුවේත් අරමුණ බව බැලූ බැල්මට පෙනේ. රාජපක්ෂවරු කාන්තාව හා ලිංගිකත්වය පිළිබද අඩු තක්සේරුවකින් හා ගෝත්‍රික මතවාදයක සිටියද, ආණ්ඩුව ලොව පිළිගත්, සියලුම සීලාචාර රාජ්‍යයන් අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන්ගේ එල්බ සිටී.

Sunday, December 17, 2017

ශ්‍රී ලංකා කාරයින්ට ආතල් දීමට මහින්දට ඕනෑ නැත



ජනවාරි 8 සිදුවූ නොසිතූ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ අය කල්පනා කරනු ලැබුවේ මෙම උභතෝකෝටිකයෙන් ගොඩ යන්නේ කෙසේද කියායි. මන්දයත් ඔවුන් වසර හැත්තෑවක් රට පාලනය කිරීමට සැලසුම් කර තිබූ අතර ඒ වෙනුවෙන් රටේ හැඩතල, ආයතන පද්ධතිය හා නීති රීති ද වෙනස් කරගෙන තිබුණි. තම පක්ෂයේ මහලේකම්වරයා විසින් ම එක්සත් ජාතික පක්ෂ හා එකතුව සිදුකරන ලද එම දැවැන්ත ප්‍රහාරයෙන් සිදුවූ පරාජය රාජපක්ෂ පවුලේ මෙන්ම එම පවුල මත යැපෙමින් දේශපාලනයේ හා මුදල් ඉපයීමේ ජාවාරම් සිදු කිරීමේ යෙදී සිටි කණ්ඩායම් වලට උභතෝකෝටිකයක්ම විය. දින සීයේ ආණ්ඩුව තුළ මහින්ද රාජපක්ෂගේ හා එම පවුලේ ප්‍රමුඛතාවය වූයේ හැකිතාක් ඉක්මනින් ඔවුන් විසින්ම සකස් කරමින් තිබූ වැරදි ක්‍රමවේදයක් නිසාවෙන් ඔවුන් මත පැවරී, පැටලීමට ඉඩ තිබූ දහසකුත් නඩුහබ හා රජයේ පලිගැනීම්වලින් මිදෙන තත්ත්වයකට යොමු වීමයි. ඒ වෙනුවෙන් රාජපක්ෂවරු ඕනෑම වන්දියක් ගෙවීමට එකගවී සිටියේය.

මෙවන් තත්ත්වයක් තුළ එම මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් අතරමංව සිටි උදය ගම්මන්පිල හා විමල් වීරවංශ විසින් ආරම්භ කරන ලද මහින්ද සුළඟ වැඩසටහන මගින් නැවතත් දේශපාලන කරලියට පැමිණි මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරු පසුව බැසිල් රාජපක්ෂගේ සංවිධාන හා උපායශීලී හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් නව පක්ෂය නොහොත් පොහොට්ටු පක්ෂය ආරම්භ කළේය. එම පක්ෂය හා සම්බන්ධ වී සිටින සියලුම දෙනා බලාපොරොත්තු වන්නේ හැකි ඉක්මණින් මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ විසින් රටේ රාජ්‍ය බලය ලබා ගනී යැයි කියාය. රටේ සත්‍ය ආර්ථික තත්ත්වය හා දේශපාලනය පිළිබඳ අවබෝධයක් ඇති රාජපක්ෂවරු විසින් නව රජයක් බිහිකිරීම උදෙසා කිසිදු උනන්දුවක් නොදක්වන බව වර්තමාන දේශපාලන විචාරකයින්ගේ මතයයි. ආණ්ඩු පාලනය ලබා ගැනීමට වඩා ප්‍රමුඛතාවය දියයුතු කාරණා රාශියක් රාජපක්ෂවරු අභියස ගොඩනැගී තිබේ. ඒවායින් ප්‍රධානම ඒවා නම් ඔවුන්ගේ පවුලට විරුද්ධව හා ඔවුන්ගේ කණ්ඩායමට විරුද්ධව බිහිවී ඇති, ගොඩනගා ඇති නඩු හබවලින් ගැලවීමයි. ඔවුන්ගේ කණ්ඩායමට කෙසේ වෙතත් රාජපක්ෂ වරුන්ගේ දරුවන්ට හා රාජපක්ෂවරුන්ට එරෙහිව එල්ලවී ඇති දූෂණ චෝදනා, මුදල් විසුද්ධි කරන චෝදනා, අවලාද චෝදනා හා අනෙකුත් සිවිල් නඩු සියල්ලෙන්ම ගැළවීම ඔහුගේ ප්‍රමුඛතාවයේ ඉහළම පවතින කාරණයයි.

ඒ සඳහා නව රජයක් බිහිකිරීම හා රටේ නීතියේ ආධිපත්‍යය සුරතට ගැනීම ඔවුන්ට ගැළවීමට ඇති එක් විකල්පයක් වුවත් එය ළඟා විය නොහැකි බියකරු අපහසු තීන්දුවක් බව ඒ පිළිබඳව දන්නා ඕනෑම කෙනකු මෙන් දේශපාලන ඔස්තාර් කෙනෙකු වූ මහින්ද රාජපක්ෂටද හොඳින් වැටහේ. එසේම ඒ කෙසේ වුවත් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් ගොඩ නගා මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් වූ ශ්‍රී ලංකා කාරයින් ශක්තිමත් කිරීමේ අභිලාෂයක් මහින්ද රාජපක්ෂට තිබිය නොහැක. මන්ද පක්ෂය ඔහුගේ නියපොත්ත යටතට ගෙනැවිත් තිබූ ජනවාරි 8 වන දාට පෙර කාලය තුළ වුවද ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධිපත්‍යය පවත්වා ගත හැකි වූයේ සීමා සහිතවය. එබැවින් අද වැනි දුර්වල අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධිපත්‍යය ඔහුට පවත්වාගත හැක්කේ ඉතාම අඩුවෙන් බවට තක්සේරුවක් ඔහු තුළ තිබිය යුතුය. මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්දලාට නැවත ඇමතිකම් අරන් දෙමින් ගොඩදැමීමේ අභිලාෂයක් රාජපක්ෂවරුන්ට නොමැත. ඔවුන්ගේ එකම අරමුණ නාමල් රාජපක්ෂ යටතට එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ බලවේග සියල්ල ගොනු කොට දීමයි.

ඒ සඳහා කිසිදු ඉඩකඩක් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිටින, මෛත්‍රීපාල සිරිසේන සිටින, විජිත් විජිතමුණි සොයිසා සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකින් නොලැබෙන බව මහින්ද රාජපක්ෂට හොඳින්ම තේරුම් ගොස් තිබේ. එම නිසා මේ මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැකිතාක් දුර්වල කිරීම රාජපක්ෂවරුන්ගේ ඒකායන අරමුණයි.

2020 දී මේ රට භාර ගැනීමට කිසිදු අපේක්ෂාවක් රාජපක්ෂවරුන්ට නැත. මන්ද නාමල් රාජපක්ෂ ඒ කාලය වන විටත් යෞවනයකු වන අතර අනිකුත් රාජපක්ෂවරුන්ට නිත්‍යාණුකූල පසුබිමක විවෘත දේශපාලනයේ යෙදීමට රට තුළ අවස්ථාවක් නොමැත. මන්ද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇමරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ දේශපාලනයේ යෙදීමේ සීමාකම් ඇති කොට තිබේ. මහින්ද රාජපක්ෂට ද නැවතත් රට පාලනය කිරීම සඳහා විශාල බාධක තිබේ. ඒවා වයස සම්බන්ධයෙන්, සෞඛ්‍ය සම්බන්ධයෙන් මෙන්ම රටේ නීතියෙන් තම පවුලට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන්ද අදාළ වේ. මේ තත්ත්වය අනුව රාජපක්ෂවරුන්ගේ ප්‍රමුඛතම අරමුණ වන්නේ 2025 දී එක්සත් ජාතික පක්ෂයේ විරෝධී බලවේග සියල්ල එකතු කොට 2025 දී ඔවුන්ගේ ම ආණ්ඩුවක් ගොඩනැගීමයි. එම ආණ්ඩුවේ ප්‍රධානියා කරවීමට බොහෝ විට ඉඩ ඇත්තේ නාමල් රාජපක්ෂ. එය මහින්ද රාජපක්ෂ විසින් ගොඩනඟන ලද වසර 70 ක් රට පාලනය කිරීමේ සැලැස්මේම කොටසක් වන අතර වෙනසකට ඇත්තේ එම සැලැස්ම වසර දහයක් ඔවුන්ට අහිමි වීමයි. නමුත් රාජපක්ෂවරු අපේක්ෂා කරන පරිදි නාමල් රාජපක්ෂට 2025 දී රටේ පාලනය භාර ගැනීමට ඉඩකඩක් එක්සත් ජාතික පක්ෂයෙන් ලබාදේ යැයි විශ්වාස කළ නොහැකිය. මන්ද දක්ෂ තරුණ දුරදක්නා නායකයින් රාශියක් මේ වන විට එම පක්ෂය තුල ගොඩනැඟී තිබේ.

මේ අනුව පොහොට්ටුවට උදව් පදව් කරන පාක්ෂිකයින් තේරුම් ගත යුතු දෙය නම්, ගතයුතු දෙයනම් 2025 වනතුරු නැවත රාජපක්ෂවරු ඉන්නා ආණ්ඩුවක් හැදීමට කිසිදු ඉඩකඩක් හෝ බලාපොරොත්තුවක් ඔවුන් තුළ නොමැති බවයි.

2025 න් පසුව හෝ නාමල් රාජපක්ෂ ආණ්ඩුවක් ගොඩ නගා ගැනීමට හැකි වනුයේ එක්සත් ජාතික පක්ෂයේ දෙවන හා තුන්වන පෙළ අසාර්ථක වුවහොත්ය. දැන් තිබෙන තත්ත්වය අනුව එම පක්ෂයේ පළමු පෙළට වඩා දෙවන සහ තුන් වෙනි පෙළ සාර්ථකය. ඒ අනුව යූ. ඇන්. පී. විරෝධී බලවේගවලට තමන්ගේ ආණ්ඩුවක් ගොඩනැගීමට අඩුම තරමින් දශක දෙකක්වත් බලා සිටීමට සිදුවනු ඇතැයි මාගේ තක්සේරුවයි.

Sunday, December 10, 2017

ඉගිලෙනකොට පේන සුද

ලංකාවේ දේශපාලනය තුළ පසු පසුගිය දෙසතිය තුල සිදු වූ විශේෂිතම සිදුවීම වූයේ පාර්ලිමේන්තුවට අය වැය ඉදිරිපත් කිරීමයි. පාර්ලිමේන්තුවේ පැවති අය-වැය විවාදයේ දී කිසිදු විශේෂ සිදුවීමකින් තොරව පාර්ලිමේන්තු කටයුතු පැවති අතර අය වැය තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුව තුල සම්මත විය. එයින් අදහස් වන්නේ ආණ්ඩුවේ ආර්ථික වැඩ පිළිවෙල පිළිබඳව පාර්ලිමේන්තුවේ විශ්වාසය තවදුරටත් පවතින බවයි. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ බලාපොරොත්තු සුනු විසුනු කරමින්, පෝයෙන් පෝය ගෙවී යමින් ඔවුන්ගේ ආණ්ඩු පෙරලීම සිහිනයක්ම පමණක් වෙමින් තිබේ.

ඒ කෙසේ වෙතත් ආණ්ඩුව විසින් ඉදිරි මැතිවරණය සඳහා බලමුළු සූදානම් කරමින් සිටී. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් නව මැතිවරණ යෝජනා ක්‍රමය පරිදි සියලුම ලැයිස්තු සඳහා ක්‍රියාකාරී දක්ෂ තරුණ කාන්තා පිරිසක් තෝරා ගැනීමේ කටයුතු සඳහා විශේෂ අවධානයක් යොමු කොට තිබේ. මෙම මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකාවේ දේශපාලනය තුල කාන්තා නියෝජනය විශාල වශයෙන් ඉහළ යනු ඇතැයි ආණ්ඩුවේ තක්සේරුවයි. එසේම ලංකාව පුරා විසිරී සිටින කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කරන ක්‍රියාකාරීන් හා සංවිධාන වල නව බලාපොරොත්තු ඇති වී තිබේ.

තත්වය මෙසේ තිබිය දී ලංකාවේ ආණ්ඩුව විසින් පසුගිය කාලයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල වෙනස්කම් රාශියක් සිදු කරනු ලැබීය. විශේෂයෙන්ම වර්තමාන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ නිර්මාණශීලී කාර්යක්ෂම හා එඩිතර ක්‍රියාකාරිත්වය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනයට ඉමහත් පිටුවහලක් වෙමින් තිබෙන බව බැලූ බැල්මට පෙනී යයි. එසේම අධ්‍යාපන අමාත්‍යාංශය හා සංස්කෘතික අමාත්‍යාංශය ඒකාබද්ධව පිහිටවනු ලැබූ අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයාගේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයට හා සංස්කෘතික ක්ෂේත්‍රයට ද විශාල වැඩ කොටසක් සිදු කරමින් තිබේ. විශේෂයෙන් පුරාවිද්‍යා ක්ෂේත්‍රය හා ඒ හා බැඳුනු ආගමික ස්ථාන, සංරක්ෂණය කළ යුතු ස්ථාන හා පුරාවිද්‍යා ක්ෂේත්‍රයට අදාළ විෂයන් රාජ්‍ය පාලනයේදී නොවැදගත් දුතීය විෂයයන් ලෙස සැලකුවද අකිල විරාඡ් කාරියවසම් ඇමතිවරයා එම විෂය භාර ගත් පසු එය ශ්‍රී ලංකාවේ ඉතාම වැදගත්, කතාබහට ලක්වන විෂයක් බවට පත්වී තිබේ.

විශේෂයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් තිබූ විශාල දූෂණ අක්‍රමිකතා වළක්වා, එම අරමුදල කාර්යක්ෂම අරමුදලක් බවට පත් කරනු ලැබීය. එම අරමුදලේ ආදායම පෙර වර්ෂයට වඩා පස් ගුණයකින් පමණ වර්ධනය කොට මෙම වර්ෂයේ දී ලබාගැනීමට හැකි වූ අතර රට පුරා තිබෙන පුරාවිද්‍යා ස්ථාන හා විහාරස්ථාන දහසකට ඒවා සංවර්ධන කටයුතු සඳහා එක් ස්ථානයකට රුපියල් ලක්ෂ පහ බැගින් ආධාර අරමුදල් ලබා දුනි. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දී පුරාවිද්‍යා ස්ථාන විශාල වැදගත්කමකින් යුක්ත වේ. නමුත් පසුගිය ආණ්ඩුව විසින් සංචාරකයින්ගෙන් උපයා ගන්නා ලද මුදල් දේශපාලන ව්‍යාපෘතිවලට යෙදෙව්වා විනා අඩුම තරමේ එම පුරාවිද්‍යා ස්ථාන තුල වැසිකිළි කැසිකිළි ඉදිකිරීමටවත් උනන්දුවක් නොදැක්වීය. විශේෂයෙන්ම මෙයින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට සිදුවූ පාඩුව මිල කළ නොහැකිය. මේ සඳහා හොඳම උදාහරණය වන්නේ හෝර්ටන් පෙදෙසේ සංචාරකයින් සඳහා ඩොලර් විසිපහක මුදලක් ගෙන ලෝකාන්තය නැරඹීමට අවස්ථාව ලබා දුන්නද ඔවුන් වෙනුවෙන් එකදු වැසිකිළි පද්ධතියක් ඉදිකිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි විය.

එසේම සීගිරියේදී අයකරනු ලබන ඩොලර් විසිපහේ මුදල ඊජිප්තුවේ පිරමීඩ නැරඹීමේදී අයකරන මුදලටත් වඩා ඩොලර් පහක හෝ දහයක වැඩිවීමක් තිබේ. එය එසේ තිබුණද සීගිරිය නැරඹීමට එන සංචාරකයන් උදෙසා වැසිකිළි පද්ධතියක් පසුගිය වසර වන තුරුත් ඉදි කර නොතිබිණි. අකිල ඇමතිවරයා සංස්කෘතික අමාත්‍යාංශය බාරගත් පසුව නවීන වැසිකිළි පද්ධතියක් ගොඩ නංවනු ලැබීය. එසේම සීගිරිය තුල සිදු වූ අති විශාල වංචාවන් හා දූෂණයන් වලට තිත තැබූ අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා ප්‍රවේශපත් විකිණීම Online ක්‍රමයකට මාරු කරනු ලැබීය. එම නිසා රජයට විශාල ආදායමක් ලබා ගැනීමට හැකි වී තිබේ. සීගිරිය පරිශ්‍රය තුල වංචා දූෂණ හා අක්‍රමිකතා අවම වී තිබේ. එසේම සීගිරිය තුලින් මධ්‍යම සංස්කෘතිය අරමුදල ලැබූ ආදායම පස් ගුණයකින් වැඩි වී තිබේ. මෙසේ වැඩි වූ සහ දූෂණය වංචාව අවම කිරීමෙන් ඉතුරු කර ගන්නා ලද අතිවිශාල මුදල විහාරස්ථාන දහසක් සංවර්ධනය කිරීම සඳහා මෙම වසරේ දී පිරි නැමීය. ලබන වසරේදී තවත් විහාරස්ථාන දහසක් සංවර්ධනය කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් යෙදවීමට සංස්කෘතික අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

මෙතුවක් කල් රටේ ජාතික සම්පත් සංචාරකයින්ට පෙන්වා උපයා ගන්නා ලද මුදල් පටු දේශපාලන ව්‍යාපෘතිවලට යෙදවීම අවසන් කොට, සැබෑ ලෙසම එම මුදල් රටේ පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණයටත්, විහාරස්ථාන නඩත්තුවටත් එම මුදල් ආයෝජනය කිරීමට ආණ්ඩුව තීරණය කොට තිබේ. එසේම ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කොට ක්‍රියාත්මක කරමින් තිබේ. සංස්කෘතික අමාත්‍යාංශය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් වර්තමානයේ ශ්‍රී ලංකාව තුල සිදු කරමින් පවතින වැඩ පිළිවෙළෙහි සම්පුර්ණ ගෞරවය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට හිමිවිය යුතු බව මගේ පෞද්ගලික විශ්වාසයයි. මෙතුවක් කාලයක් හුදකලා වී කොන් වී තිබූ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල ද එම විෂය පද්ධතිය ද අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා විසින් ඉහලට ඔසවා තබා ශ්‍රී ලංකාවේ කේන්ද්‍රීය වැදගත් විෂයක් බවට පත්කර තිබේ. එම විෂයට ලංකාවේ ජනතාව තුළත් ආයතන පද්ධතිය තුළත් දේශපාලඥයෝ තුලත් අවධානයට ලක්වීම නිසාවෙන් එම අංශය සීඝ්‍ර දියුණුවකට ලක්වෙමින් තිබේ.

අවසාන වශයෙන් කිව යුත්තේ අකිල විරාජ් ඇමතිවරයා කිසිවෙකුත් නොසිතූ පරිදි සාර්ථක ඇමතිවරයෙක් බවට මෙම ආණ්ඩුවේ පත්වී තිබේ. ඔහු අත තබන තබන ව්‍යාපෘතිය සාර්ථක වේ. ඔහුගේ විචක්ෂණ භාවයත්, ඉදිරි දැක්මත්, සංවිධාන හැකියාවත්, ප්‍රසන්න හදවතත්, පාක්ෂිකත්වයත්, අනාගතයක් ඇති ඇමතිවරයෙකු බවට පත්කර තිබේ.

Monday, December 4, 2017

රනිල් ඇයි මෙහෙම



ඉන්දියානු සාගර කලාපයේ කාලගුණය කැලඹෙන්නට පෙර ශ්‍රී ලංකාවේ දේශපාලනය තුල පසුගිය සති තුන ඇතුළත විශාල ලෙස කැලඹීමක් පැවතිණි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිල අතර පැවති සාම සාකච්ඡා නිසාවෙන් එම දෙපක්ෂය තුළත්, එක්සත් ජාතික පක්ෂය තුළත් විශාල කැළඹීම් ස්වරූපයක් තිබුණි. එමෙන්ම මහ බැංකු බැඳුම්කර සිද්ධිය මත අග්‍රාමාත්‍යවරයා බැඳුම්කර කොමිසමට පැමිණීමත්, එම පැමිණීමට හා සමානව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් දියත් කරන ලද බැඳුම්කර කොමිසම එක්සත් ජාතික පක්ෂය දඩයම් කිරීම උදෙසා යොදාගත හැකි උපකරණයක් ලෙස මාධ්‍ය වලට ප්‍රකාශ නිකුත් කිරීමත් වැනි කාරණා නිසා එක්සත් ජාතික පක්ෂය තුළ විචිකිච්චාවක් ඇති විය. එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු ගණනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කිරීමට උත්සහ කළ අතර සුජීව සේනසිංහ අමාත්‍යවරයා සෘජුවම ජනාධිපතිවරයා වෙත එම චෝදනා එල්ල කළේය. මෙම කාරණා දේශපාලන කරළිය තුළ සිදුවෙද්දී අග්‍රාමාත්‍යවරයා සිටියේ ඉන්දියානු සංචාරයේ නිරත වෙමිනි. එම සංචාරය අවසන් වී ශ්‍රී ලංකාවට පැමිණි විගස පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම හමුවේ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනු ලැබුවේ, ජනාධිපතිවරයාට විරුද්ධව, ජනාධිපතිවරයාගේ පක්ෂය විසින් සිදුකරනු ලබන දේශපාලන කාරණා වලට විරුද්ධව ප්‍රකාශ නිකුත් නොකරන ලෙසයි. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු ඒ සම්බන්ධයෙන් එතරම් සතුටට පත් නොවූහ. නමුත් පක්ෂ නායකයාට එකඟ වෙමින් ඔවුන් ජනාධිපතිවරයාට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව අදහස් දැක්වීම නවතා දැමිණි.

එක්සත් ජාතික පක්ෂයේ තත්ත්වය එසේ වුවත් රටේ රූපවාහිනී මාධ්‍ය ආයතනයක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් මෙන්ම එහි නායකයින් විසින් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව මඩ ගැසීම් හා එහි නායකයා විවේචනය කිරීමක් පවත්වාගෙන ආවේය. අද වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් එක්සත් ජාතික පක්ෂය විවේචනය කිරීමේ කටයුතු ගම් මට්ටමේ සිට ජාතික දේශපාලන දක්වා හැම ස්තරයකම සිදුකරගෙන යයි. නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ස්ථාවරය වන්නේ කිසිදු හේතුවක් මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන කටයුතු විවේචනය නොකළ යුතු අතර ජනාධිපතිවරයාට එරෙහිව කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාකාරකමක නොයෙදිය යුතු බවයි.

සහජීවන ආණ්ඩුව පවත්වාගෙන යාමෙන් මේ රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂයට හා ජනාධිපතිතුමාට ලබාදුන් ජනවරම අනුව පොරොන්දු වූ කටයුතු ඉටු කිරීමට අගමැතිවරයාගේ කැපවීම අප අගය කළ යුතුයි. විටෙක ඒ සඳහා ඔහුට හා ඔහුගේ පක්ෂයට ගෙවීමට සිදුවන වන්දිය විශාල වුවද ජනවරමට අනුව කටයුතු කිරීමට අග්‍රාමාත්‍යවරයා අදිටන් කරගෙන ඇති බව බැලූ බැල්මට පෙනී යයි. කෙතරම් අපහසු තත්ත්වයක් තිබුණද දේශපාලන බලය පවත්වා ගැනීමෙන් එහාට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ආණ්ඩුකරණය පුළුල් දැක්මකින් හා පරිණත භාවයකින් යුතුව කරමින් සිටින බව අපට පෙනීයයි. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේ දී ජනතාව අතර සාපේක්ෂ ශක්තිමත් බවකින් පවතින අතර පළාත් පාලන මැතිවරණය දිනා ගැනීමේ ප්‍රබල හැකියාවක් ඇති බව අගමැතිවරයාගේ විශ්වාසයයි. එම නිසා මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන ක්‍රියාවලිය ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් දියත් කරනු ලබන වැඩපිළිවෙළට අකුල් හෙලීමෙන් වළකින ලෙසත්, එක්සත් ජාතික පක්ෂයට නියෝග කර තිබේ. මන්දයත් මේ ආණ්ඩුව ස්ථාවරව පවත්වා ගැනීමට නම් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව පැවතිය යුතු බව අගමැතිවරයාගේ අවබෝධයයි.
සැබවින්ම ඉදිරි එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිල නොහොත් පොදු ජන පෙරමුණට ජයග්‍රහණය කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව දැන් දැන් සමාජය තුළ විචිකිච්චාවක් පැනනැගී තිබේ. විශේෂයෙන්ම මහින්ද පිලට රට පුරා විසිරී පැතිරුණු පක්ෂ යාන්ත්‍රණයක් නොමැති නිසා එම මැතිවරණයට මුහුණ දීමේ විශාල අපහසු කම් අත්විදිමින් තිබේ. ජනතා විමුක්ති පෙරමුණටද සිදුවී ඇත්තේ එයයි. ඔවුන්ද රට පුරා ඇති සියලුම කොට්ඨාසවලට අපේක්ෂකයන් යොදවා ගැනීමේදී කාන්තා නියෝජනයට අදාළ කාන්තා අපේක්ෂකයන් සොයාගැනීම් විශාල අර්බුදයකට මුහුණ දී තිබේ.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, පක්ෂ යාන්ත්‍රණය සියයට හැත්තෑවකටත් වඩා සතුව ඇත්තේ ජනාධිපතිවරයාගේ පිලටයි. එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිතුමාගේ පිලට මෙම තත්ත්වයට මුහුණ දීමේ කිසිදු තාක්ෂණික අපහසුතාවයක් නැත. එසේම එක්සත් ජාතික පක්ෂයට මෙවැනි තත්ත්වයන් අදාලම නොවේ. මේ මොහොත වන විටත් එක්සත් ජාතික පක්ෂය අපේක්ෂක ලැයිස්තු සකස් කිරීමේ කටයුතු වල සියයට අසූවකටත් වඩා අවසන් කර ඇති අතර අපේක්ෂකයන් ඉතාමත් වේගයෙන් ග්‍රාමීය මට්ටමේ සංවිධාන කටයුතුවල යෙදෙමින් සිටී. මෙම තත්ත්වය මත එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දැඩි විශ්වාසය, මෙම මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි බවයි. එම නිසා යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකේ සහජීවනයට හානිවන ආකාරයේ කිසිදු දේශපාලන ක්‍රියාවලියක්, ප්‍රකාශයක් හෝ වැඩසටහනක් සිදු නොකරන ලෙස පක්ෂයේ සියලුම ස්තර වල ක්‍රියාකාරීන්ට හා නායකයින්ට අගමැතිවරයා විසින් තරයේ අවවාද කරන ලදී.

මෙම තත්ත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය එක්තරා අකාරයකට උවතෝකෝටිකයකට මුහුණදී තිබුණද රට තුළ ක්‍රියාත්මක වන ආර්ථික වැඩසටහන හා සමාජ, ආර්ථික, දේශපාලනික ප්‍රතිසංස්කරණය පිළිබද කතිකාව ජනතාව හමුවේ තබමින් පරිණත දේශපාලනයක යෙදෙමින් පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට අපේක්ෂා කරයි. එසේම චිරහත් කාලයක් වංචාවෙන්, දූෂණයෙන් හා අකාර්යක්ෂමතාවයෙන් පිළිණු වී තිබූ ප්‍රාදේශීය පරිපාලනයට දක්ෂ, උගත්, බුද්ධිමත්, අලුත් මුහුණු හදුන්වාදෙමින් ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහනගර සභා වල බලය අත්පත් කරගැනීමට අපේක්ෂා කරයි.

Monday, November 27, 2017

විහින් හුදෙකලා වීම


පසුගියදා කොළඹ ජනාධිපති නිල නිවසේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පැවැත්වුණා. එම මධ්‍යම කාරක සභාව අවසානයේ එළියට එනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභිකයින්ගෙන් මාධ්‍යවේදීන් සිදුවූයේ කුමක්දැයි විමසුවා. එහිදී ඔවුන් සියලුම දෙනාගේ පාහේ උත්තරය වූයේ ඒකාබද්ධ විපක්ෂය සමග එකතු වීමට තීන්දුවක් ගත් බවයි. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය පමණක් රථයේ වීදුරුව වසාගෙන පිටත්ව ගියා. මේ අනුව කිව හැක්කේ එම මධ්‍යම කාරක සභාව තුල, මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහින්ද පිළත්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත්‍රී පිළත් එකට එක්වීම සඳහා බරපතළ සාකච්ඡාවක නිරත වී ඇති බවයි. එහිදී ජනාධිපතිවරයා එම රැස්වීමේ මුලසුන හොබවන්නට ඇත. දේශපාලනයේදී සදාකාලික සතුරෝත්, සදාකාලික මිතුරෝත් නැති බව සැබෑවකි. නමුත් මේ රටේ හැටදෙලක්ෂයක් ජනතාව තම දිවි පරදුවට තබා රාජපක්ෂවරු දේශපාලනයෙන් අතුගා දැමීමට පාවිච්චි කරන ලද ජනවරම හිමි වර්තමාන ජනාධිපතිවරයා නැවත රාජපක්ෂවරු බලයට ගෙන ඒමේ ව්‍යාපෘතියට මුලසුන ගැනීම දෛවයේ සරදමකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක හැර වෙනත් කිසිවකු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, ජනාධිපති කිරීමේ සටනට උර දෙනු නොලැබීය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යනු එතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යහමින් බුක්තිවිදිමින් සිටි, රාජ්‍ය බලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එක්සත් ජාතික පක්ෂයට ලබා ගැනීම සඳහා, එක්සත් ජාතික පක්ෂය විසින් භාවිතා කරන ලද නායකයාය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිමතයට පිටින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජනවාරි 8 බලවේගවලට නායකත්වය ලබාදී, එම බලවේගය විසින් රාජපක්ෂවරු ගෙදර යැවීම සඳහා (තෝරා ගන්නා ලද) තුරුම්පුවයි. ඒ අනුව ජනාධිපතිවරයා කුමන මට්ටමේ පුද්ගලයකු වුවද මාගේ පෞද්ගලික තක්සේරුව නම් බුදුන්වහන්සේගේ තත්ත්වයට දශමයක් පහල තත්ත්වයකට පත්වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය, ආදරය හා ප්‍රේමය දිනාගත නොහැකි වනු ඇති බවයි. ඒ සඳහා ජනාධිපතිවරයා සිහින දකින්න උත්සාහ කරන්නේ නම් එය තකතීරු කමකි. විශාල දේශපාලන වැරැද්දකි.

මේ මොහොතේ ජනාධිපතිවරයා වටා සිටින සියලුම දෙනාගේ ඉරණම ද එයයි. නමුත් ඔවුන්ට ජනාධිපතිවරයා හා යහපාලන ආණ්ඩුවට එරෙහිව යාමෙන්, එක රැයකින් විපක්ෂයේ කණ්ඩායම් අතර පැවැත්මක් සකසාගත හැකි වෙයි. නමුත් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් එය එසේ නොවේ. ඔහු එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ වුව ද, අග්‍රාමාත්‍යවරයා සමඟ මාරාන්තික සටන්කට එක්වූව ද, රාජපක්ෂවරුන්ට මල් පහන් තබා පුද පූජා කළ ද, මෙම ජන පදනම තුළ පැවැත්ම සකසා ගත නොහැක්කේය. ජනාධිපතිවරයාගේ ජන පදනම වී තිබුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන ලැදි ජනතාවගේ ජන පදනමයි. මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ වැරදි දේශපාලන ගණන් හැදීම මගින් එම ජන පදනම තුළ ඔහු හුදෙකලා වී හෝ කොන්වී තිබේ. එසේම සමහර කොටස් වල මාරාන්තික විරෝධයක් ජනාධිපතිවරයා කෙරෙහි තිබේ.

අග්‍රාමාත්‍යවරයා සෑමවිටම පාහේ ජනාධිපතිවරයාගේ කැමැත්ත හා ආශ්වාදය යහපාලන ආණ්ඩුව කෙරෙහි තබා ගැනීමට දැඩි උත්සහයක් ගනී. එසේ වුවද ජනාධිපතිවරයා කල්පනා කරනුයේ එක්සත් ජාතික පක්ෂයට එරෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැති ඇමැතිවරුන් ජනාධිපතිවරයා හමුවේ, එක්සත් ජාතික පක්ෂයට එරෙහිව නගන අවලාද වලට යම්කිසි ආකාරයකින් අනුගත වෙමිනි. 2015 ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල ජනාධිපතිතුමා ජනතාව හමුවේ තැබුවේ ඔහු නිර්පාක්ෂික ජනාධිපතිවරයා කියාය. වර්තමානයේදී ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා හැටියට විශාල වගකීමක් පැවරී ඇති අතර ඔහු කටයුතු කරමින් සිටිනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාට හෝ ඒ ආසන්නයටය. එය එසේ කළ යුතු බවට ජනාධිපතිවරයා එදිරිව කොන්දේසි ගොඩනැගෙමින් තිබේ.

2015 ජන ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණය අවසන් වී දින කිහිපයක් තුළම ජනාධිපතිවරයා ගොඩවූයේ වැරදි බෝට්ටුවටය. තමන් අතහැර පැමිණි, එසේම තමන්ට ජනාධිපතිවරණයේදී ප්‍රබලතම සතුරා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය ලබා ගැනීම එක්තරා ආකාරයකින් දෛවෝපගත සරදමකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගැනීමේ කිසිදු වරදක් නොදකින නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා එළිපිට කටයුතු කිරීමට උත්සහ කිරීම (ජනාධිපතිවරයාගේ කණ්ඩායම) ලක්ෂ හැටදෙකක් වූ ජනතාව අතර ජනාධිපතිවරයා කෙරෙහි තරහක්, වෛරයක් ඇති කිරීමට හේතුවී තිබේ. දේශපාලඥයෙකු නම් ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ඔහුගේ පක්ෂය, ඔහුගේ පාක්ෂිකයන්ගෙන් හා ඔහු හැදුණු වැඩුණු ජන සමාජය තුළ ආශිර්වාදය තිබිය යුතුවේ. නැතිනම් විශාල ජන සමාජයක හුදෙකලා චරිතයක් බවට පත්වේ. ජනාධිපතිවරයෙකු එම ඉරණමට පත්වීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි.

ජනාධිපතිතුමා ඡන්ද පදනමක් නැති රාජ්‍ය නායකයා බවට පත්ව තිබේ. තමන්ට සැබෑ ලෙසම ආදරය කරන බිරිදක්, පවුලක් සිටියදී සතුරාගේ බිරිඳ සමඟ පවුල් කෑමට කල්පනා කරනු ලබන්නෙකුගේ තත්ත්වයට ජනාධිපතිතුමා ඇද වැටී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිතුමා පැවැත්මක් අපේක්ෂා කරන්නේ නම් එය මිරිඟුවකි. මන්දයත් ජනාධිපතිතුමා වටේ සිටින බොහෝ දෙනකු ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් ජනාධිපතිතුමා පාවා දීමට පසුබට නොවේ.

අනෙක් අතින් එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා දීගෙන් ලැබුණු කෙංගෙඩියක් නැති අතර රටට ලැබුණු කෙංගෙඩියක්ද නැත. තුනෙන් දෙකක බලයක් තිබුණද එම බලය උපයෝගී කොටගෙන ජනවාරි 8 හෝ අගෝස්තු 17 වෙනිදා ජනවරමට සාධාරණයක් ඉටු කිරීමට නොහැකි මට්ටමට ආණ්ඩුව පත්ව තිබේ යැයි මට සිතේ. එක්සත් ජාතික පාක්ෂිකයන්ට මේ මොහොතේදී මහින්ද රාජපක්ෂ හා රාජපක්ෂවරුන් සතුරන් වන්නේද, ජනාධිපතිතුමා හා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝද එතරම්ම සතුරන් වෙති. එම තත්ත්වය වහා වෙනස් කළ යුතු තත්ත්වයකි. ජනාධිපතිතුමා එක්සත් ජාතික පාක්ෂිකයින්ගේත්, එම දේශපාලකයින්ගේත් විශ්වාසය දිනාගැනීමට වහ වහා කටයුතු කළ යුතුය.

Sunday, November 19, 2017

බාධාකිරීම් මැද රනිල්, නැව ගමනාන්තයට යොමුකර තිබේ


2015 ජනවාරි 8 වන දා ජනාධිපතිවරණය නොපැවැත්තුවේ නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන්නේ මෙම සතිය තුළදීය. එසේ වූයේ නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හා ඔහුගේ පවුලේ රෙජීමය පසුගිය වසර දෙක තුළ මේ රට පාලනය කරනු ලබයි. එය එසේ වී තිබුණි නම් විය යුතුම පරිදි සිදු විය යුතුව තිබුණේ ලංකාව විසාලා නුවරක් බවට පත්වීමයි. 2015 මාර්තු 29 වන දා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නියමිතව තිබූ සම්බාධක පැනවූයේනම් එම සම්බාධක මත පදනම්ව රට තුළ ඇති වීමට නියමිතව තිබූ අර්බුධ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගය, ඉන්ධන හිඟය, බෙහෙත් හේත් හා විදේශ මුදල් හිගය, වැනි කාරණා මෙන්ම පිට රටවලට ගමන් කිරීමට ඇති අපහසුව වැනි කාරණා වලින් රට අවුල් ජාලයක් බවට පත්වීමට ඉඩ තිබුණි. වාසනාවකට මේ රටේ ජනතාව මෙම තත්ත්වය තේරුම් ගත් අතර එවකට පැවති අන්ත දූෂිත භීෂණකාරී සුදු වෑන්වලින් මිනිසුන් අතුරුදහන් වන, මහ මග මිනිසුන් මරා දමන, පාර්ලිමේන්තුව ඒකාධිපතිත්වයට පාර කපන මෙවලමක් වූ රාජපක්ෂ රෙජීමය පිළිබද අවබෝධ කරගත්තේය. එකල මත් ද්‍රව්‍ය බෙදාහැරීම සිදුවූයේ රජයේ අනුග්‍රහය ඇතිවය. මෙම අවාසනාවන්ත තතත්වය තේරුම්ගත් ජනතාව විසින් එම මොහොතේදී තීරණාත්මක ලෙස රාජපක්ෂ රෙජිමය පරදවන ලදී.

එම මැතිවරණයේදී ජනතාවගේ තෝරා ගැනීම වූයේ එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාය. එදා එම මොහොතේ රාජපක්ෂවරු තීරණාත්මක ලෙස පරාජය කිරීමට සම්බන්ධ වූ බලවේග සහ කණ්ඩායම් අද ප්‍රකාශ කරන කාරණා දෙස විමසා බැලීමේදී මා හට පෙනී යන එක් ප්‍රධාන කාරණයක් තිබේ. එනම් එදා තිබූ තත්ත්වය අනුව කුමන කොන්දේසියක් යටතේ හෝ රාජපක්ෂ රෙජිමය පැරදවීම ඔවුන්ගේ ඒකායන අරමුණ වූ බවයි. එහිදී ඇති වූ අරගලය තුළ ඔවුන් කිසිවක් බලාපොරොත්තු නොවූ අතර අඩුම තරමින් කාර්යක්ෂම, අවංකව වැඩ කරන ජනාධිපතිවරයකු වුව ද බලාපොරොත්තු නොවීය. එම අවස්ථාවේදී මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගත් එක්සත් ජාතික පක්ෂය හා ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මෙම විධායක ජනාධිපති ධූරය සම්පූර්ණයෙන්ම අහෝසි කරන බවට ජනතාවට ප්‍රතිඥා ලබා දුන්නේය. එම නිසා වර්තමාන ජනාධිපතිතුමා මෙම තනතුරට ගැලපෙනවාද නැද්ද යන්න එම අරගලයට සම්බන්ධ වූවන්ට හා එක්සත් ජාතික පක්ෂයට ගැටළුවක් නොවීය. අද එම ප්‍රථම පොරොන්දුව පිළිබඳව වගේ වගක් නොමැතිව ආණ්ඩුව සිටියද, විධායක ජනාධිපති ධූරය හා සබැඳුණු අසාධාරණකම්, බලය යෙදවීම් නිසාවෙන් ජනතාව තුළ නැවතත් ජනාධිපති ධූරයේ පැවැත්ම පිළිබඳව සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. වර්තමාන ජනාධිපතිවරයා මේ රටේ රාජ්‍ය නායකයා ලෙස පත්කර ගැනීමට ජනවරම ලැබුණේ ඔහු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර සියළු බලතල පාර්ලිමේන්තුවට පවරා දෙන බවට ලබා දුන් පොරොන්දුව මතයි. එබැවින් මේ රටේ ජනතාවට වර්තමාන ජනාධිපතිවරයා මේ රට ගොඩ දමතැයි, දැමීමට උත්සාහ කරයි හෝ එසේ කළද, ඔහු කළ යුතු යැයි කියා බලාපොරොත්තුවක් නොමැත. 2015 ජනවාරි 8 වැනි දා ජනාධිපතිවරණයේදී මේ රට සංවර්ධනය කරන වැඩ සැලැස්මක්, වෙනත් කිසිදු වැඩපිළිවෙලක් ජනතාව හමුවේ නොතිබුණු අතර ජනතාවට පොරොන්දු වූ එකම වැඩපිළිවෙල රාජපක්ෂ රෙජීමය ගෙදර යවා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර, පාර්ලිමේන්තුවට රටේ බලතල ලබා දෙන බවයි. ජනවාරි 8 යහපාලන ජනවරම එයයි. රට ගොඩදැමීමට හා දියුණු කිරීමට ජනවරමක් ඉල්ලා සිටියේ 2015 අගෝස්තු මහ මැතිවරණය තුළිනි. එහිදී මේ රටේ ජනතාව රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට රටේ ආර්ථික දියුණුවත්, සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ජනවරමත් ලබා දුනි. ජනාධිපතිවරයාගේ ජනවරම ඇත්තටම දින සියයේ ආණ්ඩුව සඳහා ලබාදුන් ජනවරමක් වන අතර ජනාධිපතිවරයා විසින් වර්තමාන ආණ්ඩුවේ කටයුතු මෙහෙයවිය යුතු යැයි මේ රටේ කුරා කූඹියෙක්වත් සිතන්නේ නැත. කවුරුන් හෝ එසේ සිතන්නේනම් හෝ ඒ සදහා උඩගෙඩි දෙන්නේනම් ඒ ජනාධිපතිවරයා අන්දවා මැති ඇමතිකම්, තානාපතිකම්, තනතුරු වරප්‍රසාද, බිස්නස් ආදිය ලබාගැනීමට බලාපොරොත්තු වන හොර ගෙඩියන්ය. රට ගොඩදැමීම තමන්ගේ වගකීමක් යැයි අඩුම තරමින් ජනාධිපතිවරයාවත් සිතන්නේ නැත. යහපාලන ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු සහ ජනාධිපති මාධ්‍ය අංශයනම් මේ රටේ සියල්ලම විධායක ජනාධිපතිවරයාගේ උර මත යැයි අඩබෙර ගසයි.


විධායක ජනාධිපති ධුරයේ බලතල අහෝසි කර එම බලතල පාර්ලිමේන්තුවට පවරා දීමට පැමිණි ජනාධිපතිවරයා ගැන ජනාධිපති මාධ්‍ය අංශයේ සහෝදර සහොදරියන් ප්‍රකාශ කරන පරිදි මේ මොහොතේ ජනාධිපතිවරයා විසින්  එක්සත් ජාතික පක්ෂය නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංයුතියකින් යුත් ආණ්ඩුවක් බිහි කිරීමට උත්සාහ කිරීම හිතළුවකි. මන්ද පසුගිය වසර දෙකකට වඩා වැඩි කාලයක් තුළ එක්සත් ජාතික පක්ෂය දේශපාලනයේ යෙදුණු ආකාරය අනුව සරල බහුතරය සහිත ආණ්ඩුවක් ගොඩනගා ගැනීම කජු කනවා වැනි වැඩකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපිලම එකතුවී කණ්ඩායමක් ගොඩනැගුවද ගොඩනගා ගත හැකිවන්නේ යන්තම් ආසන 75ක් පමණි. සරල බහුතරයක් ගොඩනැගීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපිලටම ආසන 113ක් තිබිය යුතුය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අගමැති ධූරය කෙසේ වෙතත් විපක්ෂ නායක ධූරයනම් අනිවාර්යෙන්ම ලබාගත හැකිය. ජනාධිපති කාර්ය මණ්ඩලයේ මහත්වරු වෙබ් අඩවිවලට කෙතරම් මඩ ප්‍රචාර යැවූවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු තමන්ගේ අමාත්‍ය ධූර අතහැර, විපක්ෂයට ගොස් තමන්ට පිනට හම්බවූ නිවසත්, වාහන තුනත්, කාර්ය මණ්ඩලයත්, අනෙකුත් වරප්‍රසාදත් අහිමිකරගැනීමට කැමති නොවනු ඇත. අනෙක් අතින් යූ. එන්. පී. කාරයෝ යනු යූ. එන්. පී. කාරයෝය. ඔවුන් පක්ෂයේ එකිනෙකා විවේචනය කරගැනීම සාමාන්‍ය දෙයකි. නායකයාට විරුද්ධව නාහෙන් ඇඩීම තේමා ගීතයක් වැනිය. නමුත් පක්ෂයේ අයෙකුට හෝ පක්ෂයට යම් ප්‍රශ්නයක් පැමිණි විට ඔවුන්ගේ රතු ලේ කොළ පාට වේ.

මෙම යූ. එන්. පී. කාරයින්ගේ කන්කෙදිරියට රැවටී තම අනාගතය අහිමිකරගත් අය අතර දයාසිරි ජයසේකරගේ සිට කරූ ජයසූරිය දක්වා බොහෝ දෙනෙක් සිටී.

මේ අනුව අවසාන වශයෙන් මට කිව හැක්කේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් 2025 දක්වා පවතින බවයි. යූ. එන්. පී. කාරයෝ බලය පවත්වාගැනීම සදහා කල යුත්තේ කුමක්දැයි වේගයෙන් ඉගෙනගනිමින් සිටින අතර අවශ්‍යනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂය හා එක්වී රාජ්‍ය පාලනයට සම්බන්ධවිය හැක.

Monday, November 6, 2017

පොහොට්ටුව පිපෙයිද ?



ශ්‍රී ලංකාවේ දේශපාලන⁣⁣ය විශේෂ වෙනස්කම් කිසිවක් පසුගිය සතියේ සිදු නොවුනද පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මැතිතුමා විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා වූ ගැසට් පත්‍රයට අත්සන් තබනු ලැබුවා. එම ගැසට් පත්‍රය අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තිබූ අවසාන නීතිමය බාධාවත් ඉවත් විය. මේ අනුව මැතිවරණය ජනවාරි මාසය අගදී සහ නාම යෝජනා කැඳවීම දෙසැම්බර් මාසයේ මැදදී සිදු වේ. එම මැතිවරණය රටේ සියළුම දේශපාලන පක්ෂ වලට හා බලවේග වලට තීරණාත්මක මැතිවරණයකි. මෙම පළාත් පාලන මැතිවරණය ජය ගැනීම එක්සත් ජාතික පක්ෂයේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ප්‍රධාන දේශපාලන පක්ෂවලත් අභිලාෂයයි. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදී ගොඩනැගී ඇති රාජපක්ෂවරුන්ගේ පොදුජන පෙරමුණ මෙම මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල අභියෝගයක් වනු ඇත.

පොදුජන පෙරමුණ මූලික වශයෙන් පළාත් පාලන මැතිවරණයේදී ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ උත්කර්ෂයට නංවනු ලබන කාරණා කීපයක් තිබේ. මාගේ පෞද්ගලික තක්සේරුවට අනුව නම් ප්‍රාදේශීය සභා නියෝජිතයින්ගේ නාම යෝජනා ලබාගනු ලබන හිටපු ප්‍රාදේශීය සභා සහ නියෝජිතයින්ගේ පසුගිය කාලයේ ක්‍රියාකාරකම්, මැතිවරණයකදී ඡන්ද ලබා ගැනීම සඳහා භාවිත කිරීමට නොහැකි තරම් දූෂිතය. විශේෂයෙන්ම ප්‍රාදේශීය සභාවල නියෝජිතයින් පාසල් වලට ළමයින් දැමීමේ සිට පාරවල් වලට කොන්ක්‍රීට් දැමීම දක්වා වූ සියලුම පොදු වැඩ වලදී අල්ලස් ලබාගෙන, කොමිස් ලබාගෙන කුජීත වී සිටිති. එය පොදුජන පෙරමුණ උත්කර්ශයට නංවනු ලබන ඔවුන් සතු හිටපු ප්‍රාදේශීය සභා නියෝජිතයින්ගේ ශක්තියේ විශාල දුර්වතාවයක් ද විය හැකිය. මන්ද මෙම මැතිවරණයේදී කොට්ඨාශය තුළ ඇති සෑම පවුලකම සෑම පුද්ගලයෙකුගේම ඡන්දය වැදගත් වන බැවිනි. එහි දී මැද ඡන්ද, තරුණ ඡන්ද හා අලුත් ඡන්ද රාජපක්ෂ වරුන්ගේ පෙරමුණට ලබා ගැනීමට ඇති ඉඩකඩ අඩුය. ඔවුන් ලබාගනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාම්ප්‍රදායික ඡන්ද පදනමෙන් කොටසකි. එම ප්‍රමාණය ග්‍රාමීය
කොට්ඨාස ජයග්‍රහණය කිරීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවනු ඇත.

පොදුජන පෙරමුණ විසින් මෙම මැතිවරණයේදී ගෙන එනු ලබන අනෙකුත් ප්‍රචාරක උපක්‍රමය වන්නේ සිංහල ජාතිකත්වය හා බුද්ධාගමයි. මෙම මැතිවරණ සටන් පාඨය නිසාම මැතිවරණ ආරම්භයේදීම පොදුජන පෙරමුණට දෙමළ, මුස්ලිම් හා කතෝලික ඡන්ද අහිමි වනු ඇත. නමුත් සිංහල පමණක් ඇති කොට්ඨාස වලට එය වාසියක් ලෙස පෙනුණද ග්‍රාමීය ජනතාව ඡන්දය ප්‍රකාශ කරනුයේ ජාතිය හා ආගම මත පදනම්ව

පමණක් නොවන අතර අනෙකුත් දේශපාලන පක්ෂවල සාම්ප්‍රදායික ඡන්ද පදනමෙන් ඉවත් වූ විට ඉතිරි ඡන්ද වලට එයින් බලපෑමක් කළ හැකිය. නමුත් එය කොට්ඨාසයක් ජයග්‍රහණය කිරීමට තරම් ප්‍රමාණවත් දැයි විමසා බැලිය යුතුය. පොදුජන පෙරමුණ විසින් ගෙන ඒමට නියමිත අනිකුත් මැතිවරණ සටන් පාඨය වනුයේ එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තියයි. එම ආර්ථික ප්‍රතිපත්ති වලට විරුද්ධව ඇති චෝදනා ඉතාම රසවත් ආකර්ෂණීය චෝදනා වේ. නමුත් මෙම චෝදනා රාජපක්ෂවරුන් ගේ ආර්ථික ප්‍රතිපත්තියයි. උදාහරණ ලෙස ඉඩම් විකිණීම පිළිබඳ ඇති චෝදනාව ගන්න. එය රාජපක්ෂවරුන්ගේ ප්‍රමුඛ ආර්ථික ප්‍රතිපත්තියයි. එක්සත් ජාතික පක්ෂයට මේවා ඉතා පහසුවෙන් නිශේධනය කළ හැකි චෝදනාය.

මෙම මැතිවරණයේදී පොදුජන පෙරමුණ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ගෙන ආ හැකි ප්‍රධානම චෝදනාවක් වන්නේ එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්‍රයට කටයුතු කරමින් සිටින බවයි. එම චෝදනාව මෙම පක්ෂ දෙක අපහසුවට පත් කරන නමුත් මැතිවරණයක් අවස්ථාවකදී සෑම දේශපාලන පක්ෂයක්ම බෙදී වෙන්වී සිටින තත්වයක් තුළ එම චෝදනාවට වටිනාකමක් නොලැබෙනු ඇති බව මාගේ විශ්වාසයයි. මන්ද මැතිවරණ සමයේදී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් තීරණාත්මක ලෙස බෙදී වෙන් වී මැතිවරණයට මුහුණ දෙන නිසාය.

එසේම මෙම මැතිවරණයේ පොදුජන පෙරමුණට ඇති අනෙකුත් විශාලතම අභියෝගය නම් එම පෙරමුණ සතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ආසන සංවිධායකයින් නොමැති වීමයි. අවසානයේදී ග්‍රාමීය මට්ටමේ වැඩකටයුතු තීරණය වන්නේ ආසන සංවිධායකගෙන් වන අතර ජනතාව සංවිධායකයෝ වටා එක්වී පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දෙන බව මාගේ මතයයි. ඒ කෙසේ වුවද ලංකා ඉතිහාසයේ පළාත් පාලන මැතිවරණ ජය සැමවිටම ලැබී ඇත්තේ පවතින ආණ්ඩුවට පක්ෂවය. මන්දයත් පළාත් පාලන මැතිවරණය ආණ්ඩු මාරු කරන ජාතික මැතිවරණයක් නොවන තත්ත්වයක් තුළ ජනතාව විසින් පවතින ආණ්ඩුවේ කණ්ඩායම් තම ගම් පළාතේ සංවර්ධන කටයුතු වලට සම්බන්ධ කරගැනීමට සහ පත්කර ගැනීමට උනන්දුවක් දක්වයි.

එසේම ග්‍රාමීය මැතිවරණ වලදී ඡන්දය දැමීමේ ප්‍රතිශතය 50% ක පමණ තත්ත්වයක පවතින අතර එහිදී ප්‍රධාන වශයෙන් පක්ෂයේ කණ්ඩායමක් ඡන්දපොළට නොයෑම සිදුවේ. ඒ හේතුව නිසා ආණ්ඩු කණ්ඩායම් සාර්ථක ව්‍යාපාරයක් මගින් ජනතාව ඡන්ද පොළට ගෙන්වා ගැනීමේ හැකියාව ඉහල නංවාගත් තරමට ජයග්‍රහණය ලැබීමට ඉඩකඩ වැඩිවේ.

පළාත් පාලන මැතිවරණ පුරෝකතනය අනුව කිව හැක්කේ එක්සත් ජාතික පක්ෂය විසින් මුස්ලිම් සහ ද්‍රවිඩ ඡන්ද ඇති ආසන සියල්ලම පාහේ දකුණු පළාතේ ජයගැනීමට හැකි අතර සිංහල බෞද්ධ බහුතරය ඇති ආසනවල වැඩි ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයට ජය ගත හැකිය. මන්දයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී ඇති තත්ත්වයක් තුළ යෝජිත නව මැතිවරණ ක්‍රමයේ පෙන්වා දෙනු ලබන බෞද්ධ ඡන්ද එක්සත් ජාතික පක්ෂයට ලබා ගත හැකි අතර ලැයිස්තු මන්ත්‍රීවරුන්ද විශාල ප්‍රමාණයක් ලබා ගත හැකිය. මෙම පළාත් පාලන මැතිවරණයේ වැඩිම වාසිය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටය.

Sunday, October 29, 2017

රනිල්ට එරෙහි ජාතිකවාදීන්ගේ අවසානය



පසුගිය සතියේ ලංකාවේ දේශපාලනය ගිණියම් කළ කාරණා දෙකක් සිදුවිය. එනම් යහපාලන ආණ්ඩුවේ යෝජිත නව ව්‍යවස්ථාවට පක්ෂ වන්නන්ට මරණ දඩුවම ලබාදිය යුතු බව කුප්‍රකට සොල්දාදුවකු ප්‍රකාශ කිරීමත්, විමල් වීරවංශ මන්ත්‍රීවරයා තමනුත් නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බව ප්‍රකාශ කිරීමත්ය.

මේ කාරණා දෙක මගින් යහපාලන රජයේ පැවැත්ම තවදුරටත් ස්ථාවර වූ අතර යහපාලන රජය පවත්වාගෙන යායුතුවන්නේ සහ එසේ පවත්වගෙන යාමට සහයෝගය දිය යුතු බව මේ රටේ සිවිල් ජනතාවට මතක්කර දීමකි. මන්දයත් රාජපක්ෂවරුන්ගේ දසවසරක පාලන කාලය තුල මේ රටේ ජාතියේ නාමයෙන්, ආගමේ නාමයෙන් සිදු වූ අකටයුතුකම් වල නිමක් නොතිබිණි. පාතාලයේ මත්කුඩු වෙළෙන්දාගේ සිට ලලිත් කොතලාවල දක්වා සියළුම පංතිවල සියළුම මට්ටමේ ව්‍යාපාරකයින් හා ආයෝජකයින් කප්පම් ගැනීම් වලට, අතුරුදහන්වීම් වලට, ප්‍රසිද්ධියේ මරාදැමීම් වලට හා හිරේ විලංගුවේ වැටෙන අභූත චෝදනා වලට ලක්විණි. එම දසවසර තුල යහමින් මුදල් හදල් තිබීම, ලාභ ලැබීම, සාර්ථක ව්‍යාපාරයක නිරතවීම, දිවි නසාගන්නා වැඩක් බවට පත්ව තිබිණි. රාජපක්ෂවරුන්ට හා ඔවුනගේ සහචරයින්ට හැර වෙනත් කිසිවෙකුට එම පාලන ක්‍රමය තුල ව්‍යාපාරයක යෙදීමේ හැකියාවක් නොවිණි. එසේ යෙදුනහොත් තමන්ගේ මරණ වරෙන්තුව ලියාගත්තා වැනිය. මෙම අපරාධකාරී තත්ත්වය පවත්වාගෙන යනු ලැබූවේ බුද්ධාගමේත්, සිංහල ජාතියේත් නාමයෙනි. 

එමෙන්ම රාජපක්ෂවරුන්ගේ එම දසවසර තුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබුණාදැයි කිසිවෙකුටත් සිහි නිච්චියක් නොතිබුණි. රටේ මුදල් පාලනයේ බලතල ඇත්තේ පාර්ලිමෙන්තුව සතුව වුවත් පාර්ලිමේනතුවෙන් අසා කිසිදු වියදමක් සිදු නොකළ අතර පාර්ලිමේන්තුවේ මුදල් බලතල පවත්වාගෙන ගියේ අයවැය නාඩගම නටා ජාතික රූපවාහිනියේ සහ ස්වාධීන රූපවාහියේ පෙන්වීමට පමණි. රාජපක්ෂ ජනාධිපතිවරයාට අභිමතයක් තිබුණිනම් රටේ ඕනෑම මුදලක්, ඕනෑම අරමුදලක් විනාඩි ගණනක් ඇතුලත වියදම් කිරීමට හැකියාව තිබුණි. ඒ සදහා හොදම උදාහරණය හිටපු ජනාධිපති ලේකම්වරයා සිරගත වූ සිල් රෙදි වංචාකිරීමේ මහා නඩුවයි. එම නඩුවේදී රුපියල් මිලියන හයසීයක් මැතිවරණය පවත්වත්දී එම මැතිවරණ අපේක්ෂකයෙකු වූ ජනාධිපතිවරාගේ එක දුරකථන ඇමතුමකින් නිදහස් විය. එම තත්ත්වය රටේ මුදල් බලතල සම්බන්ධයෙන් උගණ්ඩාවේ ඉඩිඅමීන්ගේ පාලන කාලයටත් වඩා පරාජිත වූ තත්ත්වයකි. මන්දයත් ඉඩිඅමීන් උගණ්ඩාව පාලනය කළ සමයේ පලස්තීන කැරලිකරුවන් විසින් ඊශ්‍රායල් ගුවන් යානයක් පැහැරගෙන කම්පාලා ගුවන්තොටුපලට රැගෙන ගිය අවස්ථාවේ එම ජනතාවගේ සහ කැරලිකරුවන්ගේ වියදම් පියවීමට ඉඩිඅමීන් පාර්ලිමේන්තුවෙන් අවසර ගත්තේය. නමුත් මිලියන හයසීයක් වියදම් කිරීමට රාජපක්ෂවරු විදුලි සංදේශ නියාමන කොමිසමේ (එම මුදල් අයත්) අධ්‍යක්ෂ මණ්ඩලයෙන්වත් අවසර ගත්තේ නැත. මේ සියල්ල රාජපක්ෂවරු සිදුකරන ලද්දේ සිංහල ජාතියේත්, බුද්ධාගමේත් නාමයෙනි. 

නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන්ද රාජපක්ෂවරුන්ගේ දශකයේදී අපූරු පූර්වාදර්ශයක් මෙරට ජනතාවට ලබාදී තිබුණි. යුද්ධය ජයග්‍රහණය කල හමුදාපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකට ඉදිරිපත්වීම හේතුවෙන් කුදලාගෙන ගොස් හිරේ විලංගුවේ දැමූවේය. රටේ අග්‍රවිනිශ්චයකාරවරිය තම ආණ්ඩුව යෝජනා කරන ලද පනතකට විරුද්ධ වීම නිසාවෙන් පැය විසිහතරක් තුල කැකිල්ලේ නඩු ක්‍රියාවලියකට යටත්කොට ධූරයෙන් පහකරන ලද අතර ඉතාම නින්දා සහගත ලෙස ඇයව ධූරයෙන් පහකර පැයක් ඇතුලත රාජපක්ෂවරයාගේ සම්බැට්ටයන් ලවා නිල නිවසෙන්ද එලියට ඇද දැම්මේය. මේ සියල්ලද සිදුකරන ලද්දේ සිංහල ජාතියේත්, බුද්ධාගමේත් නමිනි.

එසේම 18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අධික ලෙස මුදල් ගෙවා තුනෙන් දෙකේ ඡන්දය ලබාගෙන තම පවුලට රට ප්‍රවේණි බුක්තියට ලබාගැනීමට කටයුතු කරන ලද්දේ බුද්ධාගමේත්, සිංහල ජාතියේත් නමිනි.

ප්‍රභාකරන්ට විරුද්ධව සිදුකරන ලද යුද්ධයේදී කිසිදු පදනමක් නැතිව යටත්වූවන් මරාදමමින්, රෝහල්වලට හා අනාත නිවාස වලට ගුවන් ප්‍රහාර එල්ලකරමින්, කුසගින්නේ සිටි සිවිල් ජනතාව මතට ශෙල්වෙඩි ප්‍රහාර එල්ලකිරීමට නියෝග දෙමින් කටයුතු කරන ලද්දේද, එසේම නිරායුධ මුස්ලිම් ජනතාව මතට ඥාණසාරලා ලවා ප්‍රහාර එල්ලකරමින් මුස්ලිමි විරෝධයක් ගොඩනැගුවේද, එසේම කතෝලික පල්ලි වලට ප්‍රහාර එල්ල කරමින් එම දශකය තුල ශ්‍රී ලංකාව සුළු ජාතීන්ට හා අවශේෂ ආගම් අදහන්නන්ට අනාරක්ෂිත රටක් බවට පත්කරනු ලැබුවේද බුද්ධාගමේත්, සිංහල ජාතියේත් නාමයෙනි.

එම දශකය තුල රාජපක්ෂවරු සිංහල ජාතියේත්, බුද්ධාගමේත් නාමයෙන් අකටයුතුකම් වල යෙදෙද්දී එවකට දුර්වලව තිබූ විපක්ෂය හා එක්සත් ජාතික පක්ෂය සමග මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට, ආරක්ෂාව සලසාදීමට, එසේම මහමග මියැදෙමින් තිබූ ජනමාධ්‍යවේදීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට, ජනතාව මුහුණදෙමින් තිබූ මෙම ශෝකාන්තයෙන් ගොඩගැනීමට එක්සත් ජාතික පක්ෂය තවදුරටත් සියළු ජාතීන්ට, සියළු ආගම්වලට ආරක්ෂාව සලසන පක්ෂයක් බවට පවත්වාගෙන යාමට, එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිලි වික්‍රමසිංහ මහතා දහසකුත් බාධක මැද ගත් තීන්දුවට රටේ ජනතාවගේ ප්‍රණාමය පුදදිය යුතුය. රටේ සීලාචාර ජනතාව යහපාලන කෙරෙහි බලාපොරොත්තු ඇතිකරගෙන ඇත්තේත්, ආර්ථික වර්ධනය පිළිබදව බලාපොරොත්තු ඇතිකරගෙන ඇත්තේත් රනිල් වික්‍රමසිංහ මහතා එදා කළ කැපකිරීම් නිසාය.

එදා දේශපාලනය තුල සිංහල ජාතියත්, බුද්ධාගමත් අපහරණය කළ ආකාරය කොතෙක්ද යත් පන්සිල් පද පහ කටපාඩමින් කිව නොහැකි රාජපක්ෂවරුන්ගේ සියලු අකටයුතුකම් සිංහල ජාතිය හා බුද්ධාගම නැමති පිරුවටයෙන් වසා මේ රටේ ඡන්ද දායකයින් නොමග යැවීය. එහි බලපෑම අඩුවැඩි වශයෙන් ලැබූ එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරය තුල බුද්ධාගම හා සිංහල ජාතිය දේශපාලන උපකරණයක් ලෙස භාවිත කළ යුතු බවට විශාල උත්ඝෝෂණයක් පැවතුණි. පක්ෂ අභ්‍යන්තරයේ පැවති මෙම උණුසුම කෙතරම් උත්සන්න වූයේද යත් සිංහල බෞද්ධ, රෙදි බැනියම් අදින නායකයින්ට එක්සත් ජාතික පක්ෂයේ අධිපති මතය මෙහෙයවීමට අවස්ථාව දියයුතු බවට කැරලිකාර තත්ත්වයක්ද ඇතිවිය. නමුත් මේ සියළු කුණාටු මැද බුද්ධාගමත්, සිංහල ජාතිකත්වයත් පිළිබද හොද දැණුමක් හා හැගීමක් තිබූ දුරදක්නා නායකයෙකු වූ රනිල් වික්‍රමසිංහ ආගම හා ජාතිකත්වය දේශපාලන උපකරණයක් ලෙස භාවිත කරනවා වෙනුවට, එක්සත් ජාතික පක්ෂය සියළු ජාතීන්ට, සියළු ආගම්වලට අවස්ථාව ලබාදෙන එක්සත් ජාතික පක්ෂයක් ලෙසත්, එය රටේ ආර්ථික සංවර්ධනය හා යහපාලනය ඇතිකිරීම සදහා වූ දේශපාලන ව්‍යාපාරයක් ලෙසත් පවත්වාගෙන ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස 2015 ජනවාරි 08 වනදා වර්ථමාන රජය බිහිවිය. ඒ සදහා මේ රටේ සීලාචාර ජනතාව එක්සත් ජාතික පක්ෂය හා අත්වැල් බැදගෙන රාජපක්ෂවරුන්ගේ වනචර දශකය පරාජය කළේය. තවදුරටත් බුද්ධාගම හා සිංහල ජාතිකත්වය දේශපාලන උපකරණයක් නොවන අතර ඒවා සමාජ සංස්ථා ලෙස ආරක්ෂාවෙමින් කටයුතු කරමින් සිටින්නීය.

Sunday, October 22, 2017

රනිල්ට එදිරිව ලප කුමාර බුදුන් සරණ යැවීම.



පසුගිය සතිය ලංකාවේ දේශපාලනය තුල සිදු වු සිදුවීම් අතර රාජපක්ෂලාගේ මෛත්‍රීලාගේ සහ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයේ හැඩතල වලට බලපෑම් සිදුවන දේශපාලන සිදුවීම් දෙකක් සිදුවිය. ඉන් ප්‍රධානතම එක වන්නේ හදිසියේම පසුගිය සති අන්තයේ ජනමාධ්‍යවල විකාශය වු පුවතකි. විශේෂයෙන් බදදා පස්වරුවේ මහනායක හිමිවරුන් පැරණි ව්‍යවස්ථාව හොඳයි කියන බවත් නව ව්‍යවස්ථාවක් අනවශ්‍යයයි කියන බවත් ප්‍රධාන ධාරාවේ සියලුම විද්‍යුත් මාධ්‍ය වල විකාශනය කෙරිනි. විශේෂයෙන් රනිල් විරෝධී, එක්සත් ජාතික පක්ෂ විරෝධී සිරස ආයතනය තම ප්‍රවෘත්ති විකාශය තුල හා ඊට පෙර මෙම ප්‍රවෘත්තිය සඳහා විශාල ඉඩ කඩක් ලබා දුනි. අස්ගිරි, මල්වතු දෙපාර්ශවයේ සංඝ කාරක සභාව 78 ජේ.ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාවට පක්ෂ බවත් නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවත් ප්‍රකාශ කිරීම මෙරට යහපාලනය ලැදි මේ රටේ අනාගතය පිළබඳව බලාපොරොත්තු තබා ඇති විද්වතුන්ගේ ඉහමොල ගිණි කබල මෙන් රත්වන කාරනයක් විය. ප්‍රධාන ධාරවේ විද්‍යුත් ජනමාධ්‍ය එය වාර්තා කල ආකාරය අනුව රැවටීමට ලක් වු බොහෝ විද්වතුන් එදින රාත්‍රියේම තම සමාජ ජාලා පිටුතුල සංඝ සමාජයට අභියෝග කරමින් මල්වතු අස්ගිරි දෙපාර්ශවය විවේචනය කරමින් එම ස්ථාවරය ප්‍රශ්න කරමින් ස්ටේටස් දමන්නට විය. සමහරක් සමාජ ජාලා පිටු තුල අස්ගිරි මල්වතු දෙපාර්ශ්වය දැඩි ලෙස විවේචනය කල අතර නාමල් රාජපක්ෂගේ දළදා මාළිගාව වටා රේස් පැදීම, සරත් ෆොන්සේකා සිරගත කිරීම හා මල්වතු අස්ගිරි දෙපාර්ශ්වය විසින් ගන්නා ලද වැරදි ස්ථාවරයන් පිළිබඳව හා ඉන් රටට සිදුවු හානිය පිළිබඳව විශාල රචනාවන් සමාජ මාධ්‍ය තුල පල විය. එසේම හැට දෙලක්ෂයක් ජනවරම අභිබවා සංඝ සමාජයේ කීප දෙනකුට යෑමට ඇති අයිතිය පිළිබඳවද ප්‍රශ්න කෙරිණි. මාගේ තක්සේරුව අනුව එදින රාත්‍රිය තුල අස්ගිරි මල්වතු දෙපාර්ශවයට සිදුවු මතවාදී හානිය එම දෙපාර්ශ්වයම බිහිවු දා සිට සිදු වු සියළුම ආපාදාවන්ට වඩා වැඩි බවයි. මන්ද යත් මෙම දෙපාර්ශ්වයට අභියෝග පැමිණියේ දේවදත්තයින්ගෙන් වන අතර ප්‍රථම වතාවට අගසවු වරුන්ගෙන් අභියෝගයක් එල්ල විය. එනම් ශ්‍රී ලාංකික බෞද්ධ බුද්ධිමතුන්ගෙන් දෙපාර්ශ්වය එළඹුනායැයි කියන ස්ථාවරයට කර්කශක විවේචන එල්ල විය.

එසේම පසුදා සියළුම පත්තර වල මුල් පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්තිය වුයේ මෙම දෙපාර්ශවයේ ස්ථාවරයයි. 1977 ජේ.ආර්. ජයවර්ධන ව්‍යවස්ථාව තුලින් රටට බොහෝ දේ ලබා දුන්නද විධායක ජනාධිපති ක්‍රමය, මැතිවරණ ක්‍රමයේ විකෘතිය හා සංශෝධන 19ක් සහිත වීම එම සංශෝධන බොහොමයක් රටේ පවතින ප්‍රශ්න විසඳනවා වෙනුවට තව තවත් ප්‍රශ්න උඩ දුවවන තත්වයක් තුල රටේ ජනතාවගෙන් ලක්ෂ 62ක් ජනවරමක් වර්තමාන ආණ්ඩුවට ලබා දී තිබියදී නව
ව්‍යවස්ථාවට (තවමත් ඉදිරිපත් කොට නැති) විරුද්ධ වීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රතිගාමී, විනාශකාරී, ස්වංනාශක ස්ථාවරයකි. මෙම ප්‍රවෘත්ති පලවීමෙන් පසු කලබලයට පත්වුයේ විද්වතුන්, යහපාලන අපේක්ෂාව දරණ සිවිල් සමාජය පමණක් නොව ජනාධිපති, අගමැති, මැති ඇමතිවරු හා දෙපාර්ශවයේ නායක අනුනායක හිමිවරුන්ද වේ. එදිනම උදෑසන අගමැතිතුමා විසින් දෙපාර්ශ්වයේ නායක ස්වාමීන්වහන්සේලා අමතා ඇති අතර උන්වහන්සේලා ශ්‍රී ලංකාවෙන් පිටතට වැඩම කොට තිබිණි. මෙම තත්වය තුල රැස්වු කාරක සභාවේ ස්වාමීන් වහන්සේලා කිහිපනමක් එකතුව ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡා කොට එම අවස්ථාවේ ඉදිරිපත් වු මිත්‍යා කරුණු (දැනට ව්‍යවස්ථාවක් ඉදිරිපත් කොට නොමැති බැවින්) පිළිබඳව සවන් දී ආවේග ශීලිත්වයට පත්ව මාධ්‍යයට ජේ.ආර්.ජයවර්ධනගේ 78 ව්‍යවස්ථාව හොඳ බවත් අළුත් ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවත් ප්‍රකාශ කොට තිබිණි. මෙම ප්‍රවෘත්තිය පදනම් කොටගෙන මාධ්‍ය වැරදි ස්ථාවරයකට එමින් ප්‍රධාන ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් රට තුල මෙම කලබැගෑනිය ඇති කළේය. සංඝ භේදය ආනන්තරිය පාප කර්මයක් බව මෙම කොලමේ කිහිප විටක්ම කියා තිබේ. රාජපක්ෂවරුන්ගේ මුදල් ඔවුන්ගේ දේශපාලන ව්‍යපෘතිය උදෙසා සංඝයා වහන්සේලා යොදාගැනීමට සංඝ භේදය සිදු කිරීම, සංඝ සමාජයට හානි කිරීම, සංඝයා වහන්සේලා වෙනුවට ලප කුමාරලාට සිවුරු ඇන්දවීමට යොදා ගැනීම දැන් ප්‍රභාකරන් සන්නද්ධ අරගලයක් මෙහෙයවීම තරම්ම දරුණු කටයුත්තක් බවට පත්ව තිබේ.

විජයවර්ධනලා (රනිල් වික්‍රමසිංහලාගේ පුර්ව ගාමී) තම දේපල විශාල ප්‍රමාණයක්, එසේම තම ධනයෙන් විශාල කොටසක් සඝ සතුකොට ඇති බව කැලණි මිටියාවත දන්නා ඕනෑම කෙනෙක් පිළිගනී. එසේම කොල්ලුපිටිය, කොම්පඥ්ඥවීදිය ප්‍රදේශයේ විහාරස්ථානවල සංවර්ධනයට එම පවුල විසින් සිදුකරන ලද දායකත්වය අතිවිශාලය. අදටත් එම විහාරස්ථාන වල පැවැත්මට විශාලම දායකත්වය සපයන්නේ එම පවුල්වල උදවිය යයි. ඔවුන්ගේ පෞද්ගලික මුදලුයි.
රාජපක්ෂලා තම පෞද්ගලික මුදලින් හාල් සේරුවක්, වී බුසලක්, පොල් ගෙඩියක්, දාන වේලක් පන්සලකට හාමුදුරුනමකට ඉතිහාසයේ කවදාවත් ලබා දී නොමැත. බීම් අඟලක් හෝ වෙනත් යමක් පිළිබඳ ඉතින් කවර කතාද? තිබෙනවානම් පෙන්වන ලෙස අභියෝග කරමි. තම දෙමාපියන්ගේ සොහොනද රජයේ මුදලින් ඉදිකල රාජපක්ෂවරු ආගමට, දහමට, පන්සලට, පල්ලියට , හාමුදුරුවරුන්ට, පුසාරින්ට තමන්ගේ සාක්කුවෙන් තමන්ගේ ධනය රුපියලක්වත් වියදම් කරන්නේ නැත. මෙවැනි තත්වයක් තුල අපුර්තවය වන්නේ ලප කුමාරට සිවුරු ඇන්දවු රාජපක්ෂවරුන් රනිල් වික්‍රමසිංහට එරෙහිව සංඝ සමාජය උසිගැන්වීමයි. එසේ කරන ගමන්ම තමන් මහා බෞද්ධයකු බව පෙන්වීමට උත්සාහ කිරීමයි. ආණ්ඩුවේ මුදල් යොදවා බුද්ධාගම දේශපාලන ව්‍යාපෘතියට යෙදවු රාජපක්ෂවරු එම මුදලින්ද කොටසක් හොරකම් කිරීමට අමතක නොකලේය. සයිටම් අර්බුදය, අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය වෘත්තීය සමිති ක්‍රියාකාරකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධය වැනි මෙම සියළුම කාරණා පසුපස සිවුරු ඇන්ද වු ලප කුමාරලාගෙන් පිරී තිබේ. ඒ පසුපස තිබෙන්නේ රාජපක්ෂලාගේ කළු සල්ලිය.

ලපකුමාර කථා වස්තුව යනු පසුගිය කාලයේ සිදුවු බොහෝ ඊනියා බෞද්ධ නැගීටීම් වල සිටි (රෝහින්යා විරෝධය, හලාල් විරෝධය, සයිටම් විරෝධය) එක් චීවරධාරී නමක් වරෙන්තු ගණනාවකට පසු කොළඹ නුවර බස්රථයකින් ගමන් කරමින් සිටියදී නිට්ටඹුවේදී අත්අඩංගුවට ගැණුනි. එම අවස්ථාවේ එම චීවරධාරියා සතුව ගිහි හැඳුනුම්පතක්ද පැවිදි හැඳුනුම්පතක්ද විය. ගිහි හැඳුනුම්පතට අනුව එම චීවර ධාරියා කුප්‍රකට ලප කුමාර නම් මහින්දලාගේ වහල් දේශපාලන ක්‍රියාධරයාය. ඔහු සිවුරක් ඇද අරඹපොල රතනසාර නමින් රට ගිනිතබන වැඩ කටයුතු වල යෙදී තිබේ. රාජපක්ෂවරු ඔවුන්ගේ කළු සල්ලි යොදවා බෞද්ධ පුනරුදයට මේ සියවසයේ විශාලම සේවය කල විජයවර්ධනලාගේ රනිල් වික්‍රමසිංහට විරුද්ධව උසි ගන්වා ඇත්තේ පන්සලේ ද නැතිව ලුම්පන්වරයකු වු ලප කුමාරය.

Sunday, October 15, 2017

ඇමති අකිල පාස්ද?



ශ්‍රී ලංකාවේ විධිමත් අධ්‍යාපනයට ඇති ඉතිහාසය වසර 2500කට වඩා පැරණිය. මිහිදු මහරාතාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමකරන ලද්දේ ඉන්දියාවෙන් සංස්කෘතියද ඒහා සැබැදුනු බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක්ද සහිතවයි. මෙම අධ්‍යාපනය යුගයෙන් යුගය පැවතෙමින් 1505හේ පෘතුග්‍රීසීන් ශ්‍රී ලංකාවට පැමිණීම දක්වාම අඛණ්ඩව ක්‍රියාත්මක විය. පෘතුග්‍රීසීන්ගේ ආගමනයත් සමඟම යුරෝපීය අධිරාජ්‍යවාදීන් ලෝකය පුරා ප්‍රචලිත කරමින් තිබූ ක්‍රිස්තියානි දර්ශනය පදනම් කරගත් අධ්‍යාපනයක් අපට උරුම විය. වසර 400කට වඩා අධික කාලයක් තිබූ යුරෝපීය පාලනය තුළ ශ්‍රී ලංකාවේ පන්සල කේන්ද්‍ර කරගත් සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයද ප්‍රධාන යුරෝපීය ජාතීන් තුනක් විසින් විටින් විට හදුන්වා දෙන ලද මිෂනාරි හා නවීන අධ්‍යාපනයද ඉන්දියානු හින්දු සම්ප්‍රදායින් පැවත එන ද්‍රවිඩ ජනතාවට ආවේනික ඉගැන්වීම්ද ශ්‍රී ලංකාව තුළ ස්ථාපිතව තිබුණි. දේශීය අධ්‍යාපනයේ ශක්තිමත් බව කොතෙක්ද යත් වසර 400ක යුරෝපීය පාලනයකින් පසුත් එයින් වසර 100කට වඩා කාලයක් තනිකරම බ්‍රිතන්‍යයට යටත්ව තිබීයදීත් දේශීය වෙදකම ස්වදේශීය භාෂා ස්වදේශීය ආගම් හා කුල ක්‍රමය නිර්පද්දිතව පවතිනුයේ සමාජය තුළ මුල් බැසගෙන තිබූ මෙම දේශීය අධ්‍යාපනය ප්‍රබල බව නිසාවෙනි. මේ අනුව කිව යුත්තේ කෙතරම් අවශ්‍යතාවය තිබුණද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සීඝ්‍ර පරිවර්තනයකට ලක් කළ හැකි හෝ එය ප්‍රතිසංස්කරණය කිරීම ජනතාව ඉවසන එතරම් පහසු කටයුත්තක් නොවේ. මේ නිසාම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට එරෙහිව ජනතාව කුපිත කිරීම පෙළගැස්වීම ඉතාම පහසු කටයුත්තක් බව මාගේ හැගීමය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරුද්ධව යෑම ජාන ලක්ෂණයක් වන තරමට සංකීර්ණ සංසිද්ධියක් බවට පත්ව තිබේ. ඒ මතම යැපෙමින් දේශපාලනය කරන ජනතා විමුක්ති පෙරමුණත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයත් ඇතුළු සංවිධාන චිරාත් කාලයක් වැජබෙමින් තිබේ.

මෙවැනි සංදර්භයක් යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වර්තමාන ආණ්ඩුව යෝජනා කරමින් සිටී. වර්තමාන අධයාපන අමාත්‍යවරයා තනිකරම ශ්‍රී ලාංකික බහුතර ජනතාව ලබා ගන්නා අධ්‍යාපනයෙන්ම බිහිවූ ඇමතිවරයෙකි. එතුමාගේ පියා වයඹ විශ්වවිද්‍යාලයේ ප්‍රථම ලේඛකාධිවරයාය. එසේම ඔහු විශ්‍රාම යාමෙන් පසු පොත් හා අධ්‍යාපන උපකරණ වෙළෙඳ ව්‍යාපාරයක හිමිකරුවෙකි. අධ්‍යාපන ඇමතිවරයාගේ පවුලේ සියල්ලෝම පාහේ රටපුරා ඇති විශ්වවිද්‍යාල ගණනාවක කථිකාචාර්යවරු ලෙස කටයුතු කරන අතර එක් සහෝදරියක් ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරියක් වේ. එසේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහලම නිලධාරියෙකු එක් සහෝදරියක් හා විවාහ වී සිටී. මේ අනුව ගත් කළ වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයාගේ ජීවිතය පිරී ඇත්තේ ඹහුගේ ලේ නහරවල ගමන් කරනුයේ ශ්‍රී ලංකික අධ්‍යාපනයේ රිද්මයයි. කොළඹ විශ්වවිද්‍යාලයේත් විවෘත විශ්වවිද්‍යාලයේත් ශ්‍රී ලංකා නීතී විද්‍යාලයේත් ආදි විද්‍යාර්තියෙකුවන එතුමා උපත ලබා ඇත්තේ හා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ වන්නි හත්පත්තුවේ කුලියාපිටියේය. එබැවින් වර්තමාන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ශ්‍රී ලංකා අධ්‍යාපනයේ දිග පළල අමුතුවෙන් කියාදිය යුතු නැත. ඔහු තද ස්ථාවරයක සිටිනුයේ මෙම අධ්‍යාපන ක්‍රමයේ ඇති විපරිත තත්ත්වය වහා ප්‍රතිසංස්කරණය කළ යුතු බවටය.

යහපාලන ආණ්ඩුව බලයට පත්වී ප්‍රථම දින 100 තුල රජය විසින් විශාල මුදලක් අධ්‍යාපනය සඳහා වෙන් කළද එම මුදල් නිර්මානශීලී ලෙස වැය කිරීමට කිසිදු හැකියාවක් එවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ සිටි නිලධාරී පැලන්තියට නොතිබුණි. තරුණ අධ්‍යාපන ඇමතිවරයා කෙරෙහි නිවැරදි තක්ෂේරුවක් නොතිබූ එම නිලධාරීන් අති විශාල ප්‍රතිශතයක් කිසිදු නිර්මානශීලි කටයුත්තකට ඉඩකඩ නොතියා වහාම එම මුදල් භාණ්ඩාගාරයට නැවත හරවා යැවීමට කටයුතු කළේය. අලුත් ඇමතිවරයාට අමාත්‍යංශයේ කටයුතු එකලාෂයක් කරගැනීමට දින 100කට වඩා ගිය බව මාගේ හැඟීමයි. එසේ තිබියදීත් රටපුරා පාසල් වලට තට්ටු තුනේ නව ගොඩනැගිලි ලබා දෙමින් ඉඩකඩ සැලැකිය යුතු ප්‍රමානයකින් විසදීමට හැකි විය. එසේම නිල ඇදුම් ලබාදීම මඟින් රජය විසින් වසරකට රුපියල් බිලියන 7ක් පමණ වියදම් කරන අතර එම මුදලින් විශාල මුදලක් කොමිස් ලෙස කාගේ හෝ සාක්කුවකට ගිය බවත් බාල වර්ගයේ රෙදි පිලි දරුවන්ට ලබාදුන් බව මුලු ලංකාවම දන්නා රහසකි. මෙම දූෂිත ක්‍රමය වෙනස් කොට දරුවන්ට වව්චර් ලබාදීම මඟින් රුපියල් බිලියන 2කට වඩා වැඩි ප්‍රමාණයක් රජයට ඉතිරිවූ අතර වවුචර් ක්‍රමයට විරුද්ධව ආ විරෝධයට මුදල් සම්පාදනය කරන ලද්දේ එම දූෂිත කල්ලිය විසිනි. එම කුමන්ත්‍රනයට මුහුණදී පරාජය කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශයට හැකිවිය. දැන් දරුවන්ට තමන් කැමති නිල ඇදුමක් ලබා ගැනීමේ හැකියාව ලැබුණි. එමඟින් රජයේ විශාල මුදලක් ග්‍රාමීය රෙදි පිලි ව්‍යාපාරිකයින් අතර බෙදී යෑම මඟින් රටේ ආර්ථිකයටද විශාල වාසිදායක බලපෑමක් සිදුවේ. විශේෂයෙන් කාගේ හෝ සාක්කුවට ගිය මුදල නැවත රටට ඉතිරි විය.

අධ්‍යාපන ඇමතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයට පත්වූ දා සිට ධනවතුන් බලවතුන් හා දූෂිතයින් විසින් පාසල් වලට ළමුන් ඇතුලත් කර තිබීමට තිබූ ඉඩකඩ අහෝසී කර දැම්මේය. එහි ප්‍රතිඵලයක් ලෙස අද රටපුරා සියලුම මධ්‍ය මහා විද්‍යාල හා මහා විද්‍යාලවලට දෙමාපියන් තුළ විශාල ඉල්ලුමක් ඇතිවී තිබේ. ළඟම පාසල හොදම පාසල සංකල්පය යටතේ තරඟ විභාග වලින් තොරාගත් නව විදුහල්පතිවරු 5000ක් අධ්‍යාපන පරිපාලන විභාගය සමත් විදුහල්පතිවරුන් 800 හා ක්‍රීඩා ගුරුවරු 3600ක් පාසල්වලට ලැබී තිබේ. එසේම අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් ඉහළ දමමින් පාසල්තුළ යටිතතල පහසුකම් නඟාසිටුවීමේ විශාලවැඩසටහනක් ක්‍රියාත්මක වේ. එසේම ලංකාවේ ඇති සියලුම පාසල්වලට පාසලකට රුපියල් මිලියන 2ක බැලින් වියදම් කර නව වැසිකිලි පද්ධතීන් ලබාදෙනු ලැබීය.

ළමයින්ගෙන් පිරිසිදු කිරීම් කටයුතු කළ යුගය අවසන් කොට සෑම පාසලකටම කම්කරුවන් ලබා දුනි. අද මුරකරුවන්ගේ හා කම්කරුවන්ගේ වැටුප් ගෙවීමට ළමුන්ගෙන් මුදල් ඉල්ලා පාසලෙන් පණිවිඩ ගෙදරට එන්නේ නැත. ළඟම පාසල හොදම පාසල සංකල්පය යටතේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතී. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ හොදම ප්‍රතිඵල වලින් 80%කට වබා ඇත්තේ ඈත ගම්දනවුවල කුඩා පාසල්වලය. එය කෙසේ වුවත් ශිෂ්‍යත්ව විභාගය අවලංගු කිරීම හා දරුවන්ගේ මානසිකත්වය ඉහළ නැංවීම පිළිබඳව අමාත්‍යාංශය සලකා බලමින් සිටී.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකරණ ලද බොහෝ ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල මේ වසරේ සිට මේ රටේ ජනතාවට ලැබෙනු ඇත. විශේෂයෙන් විෂය මාලා සංවර්ධනයෙන් සිදුකරන ලද වෙනස්කම් ලංකාවේ ශ්‍රම හමුදාවේ සංයුතියට විශාල බලපෑමක් කරනු ඇත. අනාගතයේ ත්‍රීවීල් නවත්වන ස්ථානවල රස්තියාදු ගහන තරුණයන් වෙනුවට වෘත්තීය හැකියාවකින් යුත් තරුණයින් පාසල්වලින් බිහිවනු ඇත. ආකල්පවල විශාල වෙනසක් සිදුවේ.

එසේම අධ්‍යාපන ඇමතිවරයා විසින් සිදුකරන ලද ඓතිහාසික කර්තව්‍ය නම් සියලුම පාසල් සිසු සිසුවියන්ට නොමිලේ රක්ෂණය ලබාදීමයි. එමඟින් රටේ සියලුම දරුදැරියන් සෞඛ්‍ය අවධානමක් නැති සමානයෝ බවට පත්වේ.

මගේ පෞද්ගලික තක්සේරුව නම් ශ්‍රී ලාංකික ජනතාවට නිවැරදි අධ්‍යාපන අමාත්‍යවරයා ලැබී ඇත. බොරුවලවල් වල නොවැටී ඔහුගෙන් වැඩ ගෙන රටේ අධ්‍යාපනය නඟා සිටුවීමට එම ඓතිහාසික අවස්ථාව ලැබී ඇති බවයි.

කප්පමටයි පාර කියන්නේ



ශ්‍රී ලංකාවේ දේශපාලනය බලය නැවතත් උරගා බලන යුගයකට පිවිසෙමින් තිබේ. එනම් පළාත් පාලන මැතිවරණය ඉදිරි මාස කිහිපය ඇතුළත පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් වෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල්දැමීම විපක්ෂයේ මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අගයන බොහෝ දෙනාගේ විවේචනයට ලක්විය. පළාත් පාලන මැතිවරණය කල්දැමීමට හේතු වූ ප්‍රධානම කාරණය වූයේ පසුගිය ආණ්ඩුව විසින් සීමා නිර්ණය කොට තිබූ වැරදි ආකාරයයි. විශේෂයෙන්ම පසුගිය ආණ්ඩුව යෝජනා කරමින් තිබූ මෙම ක්‍රමයේ ද විශාල ගැටළු පැවති අතර 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙන්ම අවිද්‍යාත්මක හා අගතිගාමී ක්‍රමයකට සීමා නිර්ණය කොට තිබුණි. එය කෙතරම් විහිලු සහගත ලෙසද යත්, පිටකෝට්ටේ සිරිකොත කොට්ඨාශය බහු මන්ත්‍රී කොට්ඨාසයක් බවට පත් කොට තිබුණි. මෙම කොට්ඨාශයේ සියයට සියයක්ම වෙසෙනුයේ සිංහලයින්ය. නමුත් එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය පවතින එම කොට්ඨාශය ජය ගැනීමට අපහසු බැවින්, රාජපක්ෂවරුන්ට ජය ගැනීමට බහු මන්ත්‍රී කොට්ඨාසයක් බවට පත්කොට තිබුණි. රට පුරාම තත්ත්වය එසේම විය. මෙම තත්ත්වය නිසාම රට පුරා සිදුකර තිබූ සීමා නීර්ණය නැවත සමාලෝචනය කළේය. එහිදී සිදුකර තිබූ බරපතළ විකෘතීන් නිවැරදි කිරීමටත්, නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමටත්, අදාල අණ පනත් සම්මත කිරීමටත් කාලය ගත විය. දැන් පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට අදාල සියලු කටයුතු සිදුකර අවසන්ය.

එසේම පසුගිය සතියේ දේශපාලනයේ සිදුවූ ප්‍රමුඛතම සිදුවීම වන්නේ සිරස රූපවාහිනියට රටේ ජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධයයි. මෙම රූපවාහිනී චැනලයේ හැසිරීම කප්පම්කරුගේ තත්ත්වයට වෙනස් නොවන්නේය. මීට පෙර චයිනා හාබර් සමාගම සම්බන්ධයෙන් රට තුළ විශාල විරෝධයක් ගොඩනගන්නට උත්සාහකොට, එම සමාගමෙන් කප්පමක් ලබාගත් බවටද කසු කුසුවක් සමාජයේ තිබේ. එසේම එක්සත් ජාතික පක්ෂය තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කළයුතු යැයි සිතන බවක්ද පෙනෙන්නට තිබේ. 2001 - 2004 ආණ්ඩු සමයේදී මුදල් අමාත්‍යාංශය හා ආරක්ෂක අමාත්‍යාංශය තමන්ගේ හිතවත් මන්ත්‍රීවරුන්ට ලබාදෙන ලෙස බලපෑම් කළ බවටද විශාල මතයක් රට තුළ තිබේ.

එසේම එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව තමන්ට හිතවත් අයගෙන් පුරවන ලෙසද බලපෑම් කොට තිබේ. මෙම නිසාම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මෙම ආයතනය හා විශාල අර්බුදයක් ඇති කර ගෙන ඇති අතර, ඔවුන්ගේ ප්‍රවෘත්ති විකාශය තනිකරම රනිල්ට අවලාද නගන වැඩ සටහනක් බවට පත්කරගෙන තිබේ. එසේම එම වැඩසටහන තුළම එක් අතකින් රනිල්ට අවලාද නගන අතර අනිත් අතින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඔසවා තබයි. මෙම නිසාම එක්සත් ජාතික පාක්ෂිකයන් දැන් දැන් ජනාධිපතිවරයා සැක කිරීමටත්, ජනාධිපතිවරයා කෙරෙහි සතුරු ආකල්පයකින් කටයුතු කිරීමටත් පටන්ගෙන තිබේ. ඒ සඳහා ප්‍රධානතම හේතුව නම්, මෙම රූපවාහිනී චැනලය කටයුතු කරනු ලබන මෝඩ හා මුග්ධ ආකාරයයි.

මෙම චැනලයට ඇති ප්‍රධාන චෝදනා අතර රජය සතුව තිබූ අවසාන සංඛ්‍යාත ප්‍රමාණයත් සින්නක්කරව ලබාගැනීමත්, එමනිසා රජයට ඩිජිටලයිස් වැඩසටහනට විශාල අර්බූධයක් ඇතිවී තිබීමත්, රාජ්‍ය ආයතනවල අනුග්‍රාහක දැන්වීම් ජනාධිපතිවරයාගේ බලය භාවිතකොට බලහත්කාරයෙන් ලබා ගැනීමත්, අහිංසක ගායක ගායිකාවන් හා කලා කරුවන්ගේ ගීතවල අයිතිය රුපියල් සීයට දෙසීයට ලබාගෙන එම ගීත අනිත් චැනල්වල වාදනය⁣වද්දී ඒ වෙනුවෙන් ලක්ෂ ගණන් වල බිල්පත් එම ආයතනවලට යැවීමත් වේ.

මෙම ආයතනයේ කටයුතුවලදී රජයේ ආයතනයක මෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපතිවරයා හා එකඟ වූ පරිදි, ජනාධිපතිවරයා විසින්, ජනාධිපතිවරයා වෙනුවෙන්, ලෙස යෙදීමට අමතක නොකරන්නේය. මෙම ආයතනය බාහිර ආයතන සමඟ කටයුතු කිරීමේ දී ජනාධිපතිවරයා තමන්ගේ සාක්කුවේ බව පෙන්වීමට විශේෂ උනන්දුවක් දක්වයි. එය අඩු වැඩි වශයෙන් සත්‍ය වේ. මන්දයත්, ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය සම්පූර්ණයෙන්ම මෙහෙයවනු ලබන්නේ මෙම රූපවාහිනී ආයතනයේ ගොබිලන් විසිනි. මෙම රූපවාහිනී ආයතනයේ හැසිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් සිටිනා මෙම යහපාලන ආණ්ඩුවේ සෞඛ්‍යයට විශාල බලපෑමක් සිදුකරනු ලබයි. කොටින්ම මෙම ආණ්ඩුව දෙකඩ වන තරමට මෝඩ, මුග්ධ ආකාරයට මෙම රූපවාහිනී ආයතනය හැසිරෙයි. ඒසේම ආණ්ඩුවේ ඇති අධිවේගී මාර්ග ගොඩනැගීමේ සිට රාජ්‍ය උත්සව සංවිධානය දක්වා සියළුම කොන්ත්‍රාත් මෙම ආයතනයට හෝ මෙම ආයතනය හරහා ලැබිය යුතුයැයි, මෙම ආයතනය සිතයි. එය විකාර අදහසකි. එසේ නොවන තත්ත්වයන් තුලදී ඔවුන් මාධ්‍ය තුලින් කර්කෂව විවේචන ඉදිරිපත්කොට, චරිත ඝාතනයකොට, මුළු කෝන්ත්‍රාත්තුවම හෝ කප්පම් මුදලක් ලබාගැනීමට උත්සාහ කරයි. මෙය වචනයේ පර්සමාප්ත අර්ථයෙන්ම ගොඩනැගීමට හදන මාෆියාවකි. නමුත් එය සාර්ථක නොවේ. උදාහරණ අවශ්‍යනම් 2015 ජනවාරි 08 වනදාට පෙර සාම්ප්‍රධායික මාධ්‍ය හැසිරුණු අකාරය අධ්‍යයනය කරන්න.

මෙම මාධ්‍ය ආයතන හැසිරීම ශ්‍රී ලංකාවේ අනාගතය මෙන්ම වර්තමාන ආණ්ඩුවේ පැවැත්මටද විශාල බලපෑමක් සිදු කරනු ලබයි. තනි ජන මාධ්‍ය ආයතනයකට රටක පැවැත්ම තීරණය කළ හැකි යැයි සිතීමම මානසික රෝගී තත්ත්වයකි. මෙය විශාල මිනිසුන් ගොඩනැගූ යහපාලන ආණ්ඩුව කුඩා මිනිසුන්ගේ පැවැත්ම තීරණය කරන සාධකයක් බවට පත්වීමේ ප්‍රතිඵලයක්ය. මෙම රූපවාහිනි ආයතනයේ මෝඩ අත්තනෝමතික ක්‍රියාකලාපය හැකි ඉක්මනින් තේරුම්ගෙන එයට උල්පන්දම් දෙන දේශපාලන නායකයින් එයින් ඉවත් නොවුනහොත් මෙම ආයතනය සමග එම නායකයින්ද කුණු කූඩයට වැටෙනු ඇත. මේ තනි මිනිසුන් ජනමතය හසුරවන යුගයයි. බැසිල් සිරස අර්බූධය තුළින් නැවතත් සනාථ වූයේ ලංකාවේ අධිපති මාධ්‍ය සමාජ මාධ්‍ය බවයි.

සාම්ප්‍රධායික මාධ්‍ය තුලින් රටේ තරුණ තරුණියන් වේගයෙන් ඉවත්වෙමින් තිබියදී මෙම රූපවාහිනී ආයතනයේ ක්‍රියාකලාපය ලෝකයේ කිසිදු මාධ්‍ය ආචාරධර්මයකට නොගැලපෙනවා සේම එය තවදුරටත් තරුණ තරුණියන් හා විද්වතුන් සාම්ප්‍රධායික මාධ්‍යයෙන් ඉවත්වී සමාජ මාධ්‍ය හා විකල්ප වෙත යොමුවීමට හේතුවනු ඇත. එසේම 2020 දී පැමිණීමට නියමිත ජාතික මැතිවරණයේදී තීරණාත්මක කාර්යභාර්ය ඉටුකරනු ලබන්නේ තනි පුද්ගල සමාජ මාධ්‍ය මිස මුදලාලිකරණය වූ කප්පම්කාර, මෙවැනි රූපවාහිනී ආයතන නොවේ.

Sunday, October 1, 2017

රාජපක්ෂවරුන්ගේ බුද්ධාගමට වින කැටීම



බුදු දහම පවතින සියළුම සමාජයන්හි එම ධර්මයේ ස්ථාවරත්වය රඳා පවතිනුයේ කුළුණු තුනක් මතය. එනම් බුදුන්, සඟුන් හා ධර්මය යන නිශ්චිත ස්ථාවර කුළුණු තුන මතය. පාලියෙන් බුදුදහම අදහන සියළුම දෙනා පාහේ බුද්ධං සරණං ගච්ඡාමී, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි යනුවෙන් සරණ යනුයේ මෙම කුළුණු තුන කෙරෙහිය.

විශේෂයෙන් ථෙරවාදී බුද්ධාගම පවතින ශ්‍රී ලංකාව, මියන්මාරය, කම්බෝඡය හා තායිලන්තය යන රටවල බුද්ධාගමේ පදනම වසර 2500කට පෙර බිහිවු දර්ශනයේ පදනම වනුයේ බුද්ධ, ධම්ම, සංඝ යන ආයතනයන්ගේ නිශ්චිත ගෞරවය හා පැවැත්මය. නමුත් ජපානය වැනි රටවල පවතින මහායාන ආගම තුල එම ආගමේ පැවැත්ම තීරණය වන්නේ බුද්ධ හා ධර්මය මතයි. සංඝ සමාජය කෙරෙහි ජපානය වැනි සමාජයක විශේෂ ගෞරවයක් හිමි වී නැති අතර ඒ මත එම රටවල අදහන මහායාන බුද්ධාගමේ පැවැත්ම තීරණය වන්නේද නැත. එබැවින් ශ්‍රී ලංකාවේ සමාජය තුල බුදුන්ට ඇති ගෞරවය​ ධර්මයට ඇති ගෞරවය​ සංඝයාට ඇති ගෞරවය පවත්වා ගෙන යායුතු වෙයි. මන්ද යත් ථෙරවාදී බුද්ධාගම පවතින අප රටතුල මෙම කුළුණු තුනේම කාර්ය කොටස බුද්ධාගමේ පැවැත්මට විශාල වැදගත්කමකින් යුක්ත වෙයි.

ලංකාවේ බෞද්ධයින් සියළුම දෙනා පාහේ බුදුන්ට විශාල ගෞරවයක් භක්තියක් හා බියක් දක්වන අතර ධර්මය කෙරහිද එසේම වේ. එසේම සංඝයා කෙරෙහිද බෞද්ධයින් තුල විශාල ගෞරවයක් භක්තියක් හා බියක් තිබේ. මෙහිදී බුදුන් හා ධර්මය භෞතික ලෙස ශ්‍රී ලංකික බෞද්ධයාට හෝ කිසිවකුට මුණු නොගැසුණු නමුත් සංඝයා වහන්සේලා එදිනෙදා ජීවිතය තුල බෞද්ධයාට මුණ ගැසේ. එම මුණ ගැසීම හා අන්තර් සම්බන්ධය තුල ඇතිවන ගෞරවය​ සමාජය හා සංඝ සමාජය අතර පැවැත්ම සම්බන්ධයෙන් තීරණය වේ. වසර 2500ක් පැරණි බුද්ධ දර්ශනය තුල සංඝයා වහන්සේලාගේ පැවැත්ම පිළිබඳව හොඳීන් විග්‍රහ කර තිබේ. බුදු දහමේ ඇති සියළුම සුත්‍ර පිටක වල මුලික පරමාර්ථය සංඝ සමාජයේ විනය සකස් කිරීම හා කාර්ය කොටස සමාන්‍ය සමාජයෙන් වෙන්කර දැක්වීමයි. බුද්ධ දර්ශණ​යේ පැවැත්මට සංඝ සමාජයේ ස්ථාවර භාවය පිළිබඳව වැදගත් කම අවුරුදු 2500 කට පෙරත් අදත් හෙටත් බෞද්ධ වියතුන් හා බෞද්ධ නායකයින් විසින් සමාජයටත් රාජ්‍යයටත් සංඝයා වහන්සේලාටත් පෙන්වා දී තිබේ.

මෙවැනි තත්ත්වයක් තුල ලංකාවේ සංඝ සමාජය දැනට වසර දහයකට පහලොවකට තිබුණාට වඩා අද බොහෝ සේ පිරිහී තිබේ. මීට දශකයකට එපිට සංඝයා වහන්සේ නමක් යනු සාමාන්‍ය සමාජයට මහත් ආශ්වාදයක් ගෞරවයක් ගෙනත් දුන් සමාන්‍ය සමාජයට වඩා ඉහලින් වැජබුණු සමාජ කොටසක් විය. එවකට සිවුරුදර සංඝයා වහන්සේ නමක් ගිහි නිවසකට වැඩම කරන්නේ නම් ඒ පාංශු කූලයක් දාන මාන පිංකමක් හෝ පිරිත් පිංකමක් සඳහාමය. ස්වාමීන්වහන්සේ නමක් විහාරස්ථානයෙන් එළියට වැඩම කරන්නේ නම් මුළු දායක ගම්මානයම එය දැනගන්නා අතර එම නිශ්චිතවම ස්වාමීන්වහන්සේ ගමන් කරනා දිශාව ගැමියෝ අනුමානයෙන් නිශ්චය කරති. ස්වාමීන්වහන්සේ අදාළ ස්ථානයට වඩින විටත් එම ස්ථානයේ ප්‍රජාව සුදු රෙදි අතුරා ආසනයක් පනවා පා දෝවනය කොට අහළ පහල ගෙවල් හත අටකට පණිවුඩ යවා උපාසක උපාසිකාවන් ගෙන්වා සංඝයා වහන්සේ හා අදහස් හුවමාරුවට හා තෝල්ක කටයුතු වලට එම මොහොතේ සොයා ගත හැකි බුද්ධිමත්ම ගැමියා ගෙන්වා සුදානම්ව සිටී. ස්වාමීන්වහන්සේගේ වැඩම කිරීම එම පවුලේ හෝ එම පරම්පරාවේ වසර ගණනාවක නොමැකෙන මතකයක් ඉතිරි කර යයි. නමුත් පසුගිය දශකය තුල සංඝ සමාජය සම්පුර්ණයෙන් වෙනස් විය. අද නිවසක් ඉදිරිපිට ත්‍රීවිලරයක් නැවතුවහොත් නෑදෑයෙක්, චණ්ඩියෙක් සමහරවිට හාමුදුරුනමක් නිවසට පැමිණෙනු ඇත. එසේ පැමිණ දොරකඩ හිටගෙනම පැමිණි රාජකාරිය හෝ බිස්නස්එක කථා කර ත්‍රීවිලරයේම නැගී යනු ඇත. අද සංඝයා වහන්සේලාගේ කාර්ය කොටස ගෞරවය කෙතරම් විනාශ වී ඇත්ද යත් සංඝයා වහන්සේලා හාඩ්වෙයාර්වල, ඉලෙක්ට්‍රොනික් බඩු කඩවල, ටෙලිෂෝප්වල, ගරාජ් වල දේශපාලන රැස්වීම්වල ත්‍රීවිලර් රථගාල තුල බස්පොලේ දුම්රිය පොලේ දේශපාලන රුස්වීම් වල රණ්ඩු සරුවල් වන තැන්වල නිවාඩු නිකේතන වල නිතර දැකිය හැකිය. තවමත් සංඝයා වහන්සේ නමක් දැකගත නොහැක්කේ නීතියානුකූල නොවන ගණිකා නිවාසයක පමණි. පෞද්ගලිකව මා හට ප්‍රසිද්ධ ස්වාමීන්වහන්සේ නමක් සවස තුනහමාරට බාර් එකකදී ගිලන් පස සඳහා පැමිණ හමුවී තිබේ.

මෙම සංඝ සමාජයේ පිරිහීමට මුලික වශයෙන්ම වගකිව යුත්තේ රාජපක්ෂ රෙජීමයයි. මන්ද යත් එම දස වසර තුල දේශපාලන උපකරණයක් ලෙස බුද්ධාගම භාවිතා කිරීම නිසාවෙන් බුද්ධාගම නියෝජනය කරනු ලබන ප්‍රධාන සාමාජ කණ්ඩායම්වල සංඝයා වහන්සේලාට අනවශ්‍ය දේශපාලන බලයක්ද ධනයක්ද ලබා දී දේශපාලන අතකොළු ලෙස භාවිතා කිරීමෙන් සංඝ සමාජය කෙරෙහි තිබු ගෞරවය සැලකිය යුතු ප්‍රමාණයකින් විනාශ කරන ලදී. නමුත් අප වර්තමාන ගම්වල සිටින දරුමල්ලන් අධ්‍යාපනය ලබන මධ්‍යම පාංතිකයින් සිඝ්‍රයෙන් පන්සලෙන් ඉවත්වී ඇති අතර බොහෝ දෙනෙක් මෙම පන්සල් වල සංඝයා වහන්සේලා සමග අර්බුද ඇතිකරගෙන තිබේ. එයට හේතු රාශියක් තිබුණද ප්‍රධානතම එක් හේතුවක් වන්නේ පංසලේ ලවුඩ්ස්පීකරයෙන් බලහත්කාරයෙන් බණ පිරිත් ප්‍රචාරය කිරිමයි. බොහෝ විහාරස්ථාන වල පාන්දර හතරට පටන් ගන්නා බණ, පිරිත්, කවි බණ අවසන් වන්නේ උදෑසන නමයටය. නැවතත් සවස පහට හයට පටන්ගන්නා එම ශබ්ද අවසන් වන්නේ රාත්‍රී නවයටය. රුකියාවල යෙදෙන මධ්‍යම පාංතිකයින් හට හා ඔවුන්ගේ දරුවන්ට පොතක් පතක් කියවීමට ටෙලි නාට්‍යයක් බැලීමට පවුලේ කටයුත්තක් කතා කර ගැනීමට හෝ අඩුම තරමේ රමණයේ යෙදීමට අවස්ථාවක් පන්සල විසින් අහිමි කොට තිබේ. මන්ද ශ්‍රී ලාංකික බෞද්ධ කුල කාන්තාවක් පසුබිමෙන් පිරිත් ඇසෙද්දි ස්වාමියා හා රමණය කරන්නේ කෙසේද? ගිහි සමාජයට හොඳීන් ජීවත්වීමට මග පෙන්වීමට සිටි සංඝ සමාජය අද ගිහි සමාජය මතට කඩා වැටී තිබේ. එකිනොකාගේ ගෞරවය භක්තිය සම්පුර්ණයෙන් විනාශ වී තිබේ. අද දේශාපාලඥයින් කල්පනා කරනුයේ සංඝ සමාජය යනු රුපියල් ලක්ෂයකට දෙකකට තම දේශපාලන උපකරණයක් ලෙස භාවිතා කල හැකි සමාජ උපකරණයක් ලෙසයි. මෙයට දශක දෙකකට පෙර එය බෙන්ස් කාර් රථයක් වු අතර අද එය රුපියල් ලක්ෂයක දෙකකට බැස තිබේ. හෙට එය රුපියල් පන්සියේ දහසේ ලංසුවට අඩුවන බව මාගේ තක්සේරුවයි.

එවිට අපිට බුරැමයේ කාම්බෝඡයේ වියට්නාමයේ මෙන් සිගරට් බොන අරක්කු බොන, රෑට ගෙවල්වලට එබිකම් කරන, එසේ කොට ගැමියන්ගෙන් ගුටිකන සංඝ සමාජයක් දැකිය හැකි වනු ඇත. එදාට මේ රටේ බෞද්ධයෝ රාජපක්ෂලාට හෙන ඉල්ලනු ඇත. ඒ බුද්ධාගමට සිදුකරන ලද විනාශයටයි.

Monday, September 25, 2017

අලුත් ඡන්ද ක්‍රමය

ශ්‍රී ලංකාවේ පළාත් පාලන හා පළාත් සභා සඳහා දැනටමත් හඳුන්වාදී ඇති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හඳුන්වාදීමට නියමිත මැතිවරණ ක්‍රමය වන්නේ අර්ධ සමානුපාතික ක්‍රමයයි. එම ක්‍රමය හඳුන්වන්නේ "MMP" (Mixed Member Proportional) යනුවෙනි. මෙම මැතිවරණ ක්‍රමය ගොඩනැගීමේ දී මූලික වශයෙන් නවසීලන්තයේ දැනට පවතින මැතිවරණ ක්‍රමය අනුගමනය කර තිබේ. "MMP" මැතිවරණ ක්‍රමය දැනට ලෝකයේ පවතින ඉතා සාර්ථක නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ලෙස සලකනු ලැබේ. මෙම ක්‍රමය මගින් රටේ සිටින සෑම පුරවැසියකුටම තම ඡන්දයට නියෝජනයක් ලැබේ. එනම් සමානුපාතික ක්‍රමයේ දී මෙන්ම තමන් භාවිතා කරන ඡන්දයට පාර්ලිමේන්තු නියෝජනයක් අනිවාර්යයෙන් ලැබෙන අතර, පක්ෂය හෝ අපේක්ෂකයා විසින් වැය කළ යුතු විශාල ධනයක් මෙම ක්‍රමයේදී යෙදිය යුතු නොවේ. මෙය තවදුරටත් පැහැදිළි කළහොත් මනාප ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසී වී සමානුපාතික ක්‍රමය තවදුරටත් පවතිනු ඇත.

එමෙන්ම "MMP" ක්‍රමය තුළ කේවල මැතිවරණ ක්‍රමයද ක්‍රියාත්මක වේ. නිශ්චිත මැතිවරණ කොට්ඨාශයක තරග කරනු ලබන අපේක්ෂකයා ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් එක ඡන්දයක් හෝ වැඩිපුර දෙවැනි අපේක්ෂකයාට වඩා ලබා ගතහොත්, ඔහු තේරී පත්විය හැකි අතර, පරාජිත අපේක්ෂකයන්ගේ ඡන්ද සඳහාද පක්ෂ ලැයිස්තුවෙන් නියෝජනයක් ලැබේ. මෙම ක්‍රමය දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් වේ.

අපි මේ සඳහා උදාහරණයක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කය ගනිමු. ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 18 පැරණි සමානුපාතික ක්‍රමය අනුව තිබේ. නව ක්‍රමය අනුව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 18 ක් ගම්පහ දිස්ත්‍රික්කයට යෝජිත යැයි කියා (නව ක්‍රමය අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 223 බැවින් එය බොහෝ දුරට සිදුවිය හැකිය.) අපි සිතමු. ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ ක්‍රමය සීමා නිර්ණය අනුව මැතිවරණ කොට්ඨාස 13 ක් තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණ ඡන්දය භාවිත කිරීමේදී ඡන්ද දායකයා විසින් තම ඡන්ද පත්‍රිකාවේ ඡන්ද දෙකක් භාවිතා කරනු ලබයි. ඉන් එක් ඡන්දයක් තමන් කැමති දේශපාලන පක්ෂයට භාවිත කරන අතර, අනෙක් ඡන්දය තම මැතිවරණ කොට්ඨාසයේ තරග වදින අපේක්ෂකයන් අතරින් තමන් කැමති අපේක්ෂකයාට භාවිතා කරනු ලැබේ.

උදාහරණයක් ලෙස ගම්පහ ආසනයේ ඡන්ද දායක‍යෙකු ගනිමු. ඔහු ඡන්ද පොළට ගිය විට ඔහුට ඡන්දය භාවිත කිරීමට ඡන්ද පත්‍රිකාව ලබාදෙන විට එහි එක පැත්තක එම ආසනයේ තරග කරනු ලබන දේශපාලන පක්ෂ වල නම් සහ ලාංඡන තිබේ. ඡන්ද දායකයාට එම දේශපාලන පක්ෂ අතරින් තමන් කැමති පක්ෂයකට ඡන්දය ප්‍රකාශ කළ හැකිය. එම ඡන්ද පත්‍රිකාවේ අනෙක් පස එම ආසනයේ තරගවදිනු ලබන අපේක්ෂකයන්ගේ නම, දේශපාලන පක්ෂය හා ලාංඡනය සඳහන් වේ. ඡන්ද දායකයාට එම අපේක්ෂකයන් අතරින් කැමති අපේක්ෂක‍යෙකුට ඡන්දය භාවිත කළ හැකිය. මේ අනුව ගම්පහ ආසනයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් අපේක්ෂකයාට ඡන්දය භාවිත කළ හැකිය. ගම්පහ ආසනයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අපේක්ෂකයා ප්‍රථමයෙන් එම ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වේ. ඉන් පසුව මුළු දිස්ත්‍රික්කයේම ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව ඉතිරි ආසන පහෙන් බෙදා ලැබෙන අගයට එක් එක් දේශපාලන පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාවට අදාලව ගණනය කර එක් එක් පක්ෂ ලබාගත් ලැයිස්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව තීරණය කරනු ලබයි. උදාහරණයක් ලෙස පක්ෂ වලට භාවිතා කරන මුළු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 100 ක් නම් ලැයිස්තු මන්ත්‍රී ධුර පහෙන් සියය බෙදූ විට ලැබෙන අගය විස්ස යැයි සිතමු. ඒ අනුව ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා ගැනීමට දේශපාලන පක්ෂයේ ඡන්ද විස්සක් ලබා ගෙන තිබිය යුතුය.

මෙම උදාහරණය තවදුරටත් පැහැදිලි කළහොත් A නැමති දේශපාලන පක්ෂය ඡන්ද 45 ක්ද, B නැමති දේශපාලන පක්ෂය ඡන්ද 30 ක්ද, C නැමති දේශපාලන පක්ෂය ඡන්ද 20 ක්ද, D නැමති දේශපාලන පක්ෂය ඡන්ද 5 ක්ද ගෙන ඇතැයි සිතමු. මෙහිදී A නැමති දේශපාලන පක්ෂයට ලැයිස්තු මන්ත්‍රීධුර දෙකක් හිමිවන අතර, ඒ සඳහා හේතූ වන්නේ ඔවුන් 20 දෙගුණයක් ලබාගෙන ඇති බැවිනි. එමෙන්ම B නැමති දේශපාලන පක්ෂයට ද ලැයිස්තු මන්ත්‍රීධුර දෙකක් ලැබේ. C නැමති දේශපාලන පක්ෂයට එක් ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවන අතර, D නැමති දේශපාලන පක්ෂයට රට පුරාම 5% සංඛ්‍යාවේ පවත්වාගෙන ගියහොත් ඔවුන්ටද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වේ.
මෙම මැතිවරණ ක්‍රමය අනුව ශ්‍රී ලංකාවේ දැනට පවතින ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ සියල්ලටම නියෝජනයක් ලැබෙන අතර, එය තමන් ලබා ගත් ඡන්ද සංඛ්‍යාවට සමානුපාතික වේ. පැරණි ක්‍රමය සහ මෙම ක්‍රමයේ ප්‍රධානතම වෙනස වන්නේ, නව ක්‍රමය මගින් ධනවත් අපේක්ෂකයන්ට පමණක් තිබූ අවස්ථාව අහෝසි වී යෑමය. මනාප ක්‍රමය අහෝසි වන බැවින් ධනවතුන් පමණක් දේශපාලනයට පිවිසීම අවසන් වනු ඇත. එසේම මෙම මැතිවරණ ක්‍රමය ලංකාවට උචිත අයුරින් තවදුරටත් සකස් වෙමින් පවතින අතර ශ්‍රී ලාංකික නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලන පක්ෂවල පැවැත්වෙයි. මෙම ක්‍රමය මගින් ශ්‍රී ලාංකේය දේශපාලනයේ ස්ථාවරත්වය තහවුරු වන බව මාගේ හැඟීමයි.

Sunday, August 20, 2017

රාජපක්ෂවරුන්ගේ ට්‍රෝජන් අශ්වයා



යහපාලන රජයේ දෙවසර පිරෙන මෙම සතියේ දේශපාලන කරලිය රත්කල ප්‍රධානතම කාරනය නම් විජේදාස රාජපක්ෂ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ ඇති වූ දැඩි විරෝධයයි. එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේත්, රටේ සිවිල් සමාජය තුළත් වර්ථමාන රජය සම්බන්ධයෙන් තිබූ විවේචනයක් වන්නේ පසුගිය රජයේ වංචා දූෂණ හා අක්‍රමිකතා මෙන්ම මිනීමැරුම් පිළිබදවද, ඒවායේ විමර්ශන පිළිබදවද දක්වන උදාසීනභාවයයි. න්‍යායාත්මකව ගත් කල මෙම ආණ්ඩුවට 2015 ජනවාරි 8 වනදාත්, 2015 අගෝස්තු 17 වනදාත් ලබාදුන් ජනවරමට සුජාතභාවයක් අත්වන්නේ එම ජනවරම වෙනුවෙන් රටට ඉදිරිපත් කරන ලද වැඩසටහනේ ප්‍රධාන අංගයක් වූ නීතියේ ආධිපත්‍ය යලි ස්ථාපිත කොට පසුගිය රෙජීමයේ බලය අයුතු ලෙස භාවිතාකළ රාජපක්ෂවරු ප්‍රමුඛ එම කල්ලියට එරෙහිව පැනනැගුනු දූෂණ චෝදනා, මිනීමැරුම් චෝදනා හා බලය අයුතු ලෙස භාවිතාකිරීම පිළිබද අපරාධයන් වෙනුවෙන් විධිමත් විමර්ශනයක් පවත්වා දඩුවම් ලබාදීමෙන් අනතුරුවයි. නමුත් වසර දෙකහමාරකට පසු ශ්‍රී ලාංකිකයන් බහුතරයකගේ මතය වන්නේ රනිල්, මෛත්‍රී ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් අසමත් බවක් දක්වා ඇති බවයි. මෙහි අපූරුම කාරණය වන්නේ ආණ්ඩුව අභ්‍යන්තරයේ කටයුතු සිදුකරන්නන්ට සිදුවන්නේ කුමක්දැයි අවබෝධයක් නොමැතිව විලම්භීතව එකිනෙකාට ඇගිල්ල දිකක්ර ගැනීමයි.

නමුත් රවී කරුණානායකට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කිරීමේදී දැක්වූ අතිශය කාර්යක්ෂමතාවය එනම් පිටු 8600 කින් යුතු වාර්ථාවක් දින දෙකකින් අධ්‍යයනයකොට කොමිසමට දැන්වීමට දැක්වූ කාර්යක්ෂමතාවය (සාමාන්‍ය නඩුවක පිටු 10 ක් අධ්‍යයනය කිරීමට අවුරුදු දෙකක් කල් ගන්නා නීතිපති දෙපාර්තමේනතුව) ශ්‍රී ලංකා පොලීසියේ මූල්‍ය අපරාධ කොට්ඨාශය, රහස් පොලීසිය හා අල්ලස් කොමිසම විසින් විමර්ශනය කොට නඩු පැවරීම සදහා ඉදිරිපත්කොට ඇති අපරාධ 87 ක් සම්බන්ධයෙන් දක්වන නිද්‍රාශීලී බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ අවධානයට ලක්වීම, විජයදාස රාජපක්ෂ සම්බන්ධයෙන් වූ අර්බුධයේ ආරම්භයයි. එහිදී අජිත් පී. පෙරේරා විසින් හෙළිකරන ලද කරුණු පුදුම සහගතය. අධිකරණ අමාත්‍යවරයාගේ නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ඇති පක්ෂග්‍රාහී මැදිහත්වීමත්, එය පසුගිය රජයේ අපරාධකරුවන්ගේ අපරාධ නඩු යටගසා දැමීමටත් එසේම දුර්වල ආකාරයෙන් චෝදනා ගොනු කිරීමට දක්වන බලපෑමෙනුත්, එසේම ඒ වෙනුවෙන් අභ්‍යන්තරයේ සිදුවන ඇමරිකානු ඩොලර් මිලියන ගණන් වල ගණුදෙණුත් හෙලිවීම විජයදාස රාජපක්ෂට විරුද්ධව පක්ෂ අභ්‍යන්තරයේ කැලලක් ඇතිවීමට ප්‍රධානතම හේතුවයි.

නීතිපති දෙපාර්තමේනතුව රාජපක්ෂ රෙජීමය පැවති කාලයේ ඔවුන්ගේ රාජ්‍ය පාලනයේ තීරණාත්මක මර්දන උපකරණය විය. එම දෙපාර්තමේන්තුව එම යුගයේදී රටේ තිබූ බලවත් දේශපාලනකරණයට ලක්වූ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ හිතවතුන්ගෙන් හා අතවැසියන්ගෙන් පිරුණු දෙපාර්තමේන්තුවක් විය. එය අඩු වැඩි වශයෙන් අදත් එසේමය. එම නිසාම ගෝඨාභය රාජපක්ෂගේ අත්සන් පරීක්ෂා කොට ඔහුට එරෙහිව නඩු පැවරීම මේ වනවිටත් වසර දෙකකට වඩා කාලයක් ගතකොට තිබේ. එම දෙපාර්තමේන්තුව කටයුතු කරන ආකාරය පුදුම සහගතය. ආණ්ඩුවේ නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමට අදාල ප්‍රධානතම ආයතනයේ වෘතිකයින්ගේ ෆේස්බුක් ගිණුම්වල දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් නම් චෝදනා එල්ලවී ඇති මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් නිපදවූ පෝස්ටර්, බැනර් ප්‍රදර්ශනය කිරීමයි. එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කරනුයේ නීතිපති දෙපාර්තමේන්තුව ලෙසටත් වඩා මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ යාන්ත්‍රණයක් ලෙසය. සමහරක් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ‍ෆේස්බුක් ගිණුම්වල ඇති ප්‍රචාරක පෝස්ටර් අභීත එදිරිසිංහගේ, කැලුම් ජයසුමනගේ, විමල් වීරවංශගේ ෆේස්බුක් ගිණුම්වල ඇති ප්‍රචාරක පෝස්ටර් වැනිය. එබැවින් මෙවැනි දෙපාර්තමේන්තුවක කටයුතු කළමනාකරණය කරගැනීමට නොහැකි වීමම එක්සත් ජාතික පක්ෂය විසින් විජයදාස රාජපක්ෂගේ කුමන්ත්‍රණයක් ලෙස තේරුම් ගැනීමම අරුමයක් නොවේ.

විජයදාස රාජපක්ෂගේ ඉතිහාසයද එතරම් හොද කල්ක්‍රියාවකින් යුතු ඉතිහාසයක් නොවේ. ඔහු ඉන්නා තැන අවංකව ඉන්නා බැරි නායකයෙකි. යටි උගුල් හා කුමන්ත්‍රණ ඔහුගේ දේශපාලන ජීවිතය පුරාම දැකිය හැකිය.අන්ත දූෂිත රාජපක්ෂ රෙජීමයෙන් ඔහු ඉවත් වූයේද ඒ රෙජීමයේ හොරු ඇල්ලීමට ගොස්ය. රාජපක්ෂ රෙජීමය යනු හොරු අල්ලන තැනක් නොව හොරුන් සමග ජීවත්වන, හොරුන් සමග කන බොන, හොරුන් ආරක්ෂා කරන, ඒ වෙනුවෙන් රාජපක්ෂ වරුන්ට ප්‍රශස්ති ගී කියන තැනකි. එම රෙජීමයට පිටුපෑමට අදහස් කළ විජයදාස රාජපක්ෂ එයින් ඉවත් වීමට මහත් ඝෝෂාවක් නගමින්, හොරු ඇල්ලීමට උත්සහ කරමින් එයින් ඉවත්විය. නමුත් සැබෑ ලෙසම බෙලිඅත්තේ විජයදාස රාජපක්ෂ හා මැදමුලනේ රාජපක්ෂලා අතර පැවති විරසකය වන්නේ රාජ්‍යතාන්ත්‍රික කාරණා නොව ගෝත්‍රික කාරණාය. ඒවා දේශපාලන ක්ෂේත්‍රයේ අමුවෙන් එළිපිට සාකච්ඡාවන කාරණාය.
මේ ආණ්ඩුව තුල හොරුන්ට, ඩීල්කාරයින්ට හා දූෂකයින්ට පැවැත්මක් නැත. එය දැන දැනත්, ඒ පිළිබදව අවබෝධයක් ඇතිවත්, විජේදාස රාජපක්ෂ හොරුන් සමග ඩීල් ගසමින්, හොරු ආරක්ෂා කරමින් එක්සත් ජාතික පක්ෂයත්, ආණ්ඩුවත් අපහසුතාවයට පත්කිරීමේ සූක්ෂම කුමන්ත්‍රණයක යෙදී සිටී. මෙය හොදින් අවබෝධ කරගැනීමට අවශ්‍යනම් ශිරාල් ලක්තිලක, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්තුමා, දෙරණ රූපවාහිනීයේ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදී පලකළ අදහස්වලට අවදානය යොමුකරන්න.

එබැවින් එක්සත් ජාතික පක්ෂයට ට්‍රොජන් අශ්වයෙකු තම පක්ෂ අභ්‍යන්තරයේ තබාගැනීමට කිසිදු අභිලාෂයක් නොමැත.

Sunday, August 13, 2017

දඩයක්කාරයා දඩයම වීමේ ඉරණම


යහපාලන ආණ්ඩුවේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය වන්නේ 2015 ජනවාරි 08 වැනිදාට පෙර ලංකාවේ ස්ථාපිතව තිබු සමාජ, ආර්ථික හා දේශපාලනික තත්ත්වයන් වල වෙනස්කමක් ප්‍රගතිශීලී ලෙස සිදුවී ඇත්නම් පමණි. දැවැන්ත ධනයක් සංවිධාන ශක්තියත් හා බලයක් මෙන්ම ජාතිකවාදී න්‍යායන් යොදා ගනිමින් රාජපක්ෂ රෙජීමය අයෝමය හස්තයකින් පාලනය කරන ලද ලාංකික සමාජය හා එම බලවේග ජනවාරි අට වැනිදා ශ්‍රී ලාංකික සිවිල් සමාජයත්, එක්සත් ජාතික පක්ෂයත්, මධ්‍යම පන්තියත්, ලාංකික සුළු ජන කොටසුත් විසින් තීරණාත්මක ලෙස පරාජය කරන ලදී. එසේම එම බලවේග වලට තවදුරටත් රාජපක්ෂ රෙජීමයේ අගතිගාමී වැඩ පිළිවෙල ක්‍රියාත්මක වන දැකීමට අපේක්ෂාවක් නැත.යථාර්තය එය වුවත් ශ්‍රී ලාංකික රජයේ අභ්‍යන්තරය රාජපක්ෂ අවතාර වලින් කුණු වී ගඳ ගහන නරා වලක් බවට පත්ව තිබේ. එම නිසාම යහපාලන බලාපොරොත්තු සහිත බලවේග එක්තරා ආකාරයකට අපේක්ෂා භංගත්වයකට පත්ව තිබේ. එසේ වුවද තවමත් එම බලවේගයන්ගේ බලාපොරොත්තුව මෙම තත්ත්වයන් නිවැරදි වනු ඇති බවයි.

ජනවාරි 8 වනදාට පෙර රාජපක්ෂ රෙජීමයේ බලකණු අතර ප්‍රධාන බලකණුවක් වුයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත්ය. ඔහු විසින් ශ්‍රී ලාංකික ආර්ථිකයේ මර්මස්ථාන ගණනාවක් පරිපාලන නිලධාරී කුඩාබාලගේ සමග සියතට ගෙන තිබුණි. මහජන බැංකුව, ශ්‍රී  ලංකා රක්ෂණ සංස්ථාව හා එම ආයතන දෙකෙහි අනුබද්ධිත සමාගම් විශාල සංඛ්‍යාවක් ඔවුන්ගේ සියතට ගෙන එම ආර්ථික අධිරාජ්‍ය ගොඩනගා තිබුණි. එම ආයතන තුල සිදුවී ඇති මුල්‍ය වංචා වල දල වටිනාකම ඩොලර් බිලියන 1.9ක් බව නීති උපදෙස් පතා  නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති නඩු ගොනු වල සඳහන් වේ. නමුත් මෙහි අපුර්වත්වය වන්නේ අද වනතුරුත් ගාමිණි සෙනරත් මහතා හෝ කුඩා බාලගේ මහතා අත්අඩංගුවට පත්වී නොමැති වීමයි.  ඔවුන් හට නඩු පැවරීමක්ද කර නොමැත. කුඩා බාලගේ සතුව අයුතු ලෙස උපයා ගත් විශාල මුදල් ප්‍රමාණයක් හා ගිණුම් පිළිබඳ වාර්තා පල වුවත් ඒවා හුදු ප්‍රවෘත්ති බවට පත්ව තිබේ. ලැබෙමින් පවතින තොරතුරු අනුව ගාමීණී සෙනරත්ගේ ව්‍යාපාර හා වැඩසටහන් තුල  වර්තමාන රජයේ හිටපු මහ බැංකු අධිපති කුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන්ගේ සිට ඇමතිවරු දක්වා විහිදුනු සම්බන්ධතා ජාලයකි. එසේම ආණ්ඩුවේ වැදගත් අමාත්‍යාංශය බොහොමයක ලේකම්වරු හා අතිරේක ලේකම්වරු ගාමිණි සෙනරත්ගේ ආර්ථික හා පරිපාලන මාෆියාවේ කොටස් කාරයෝ වෙති. එම අනුහසින් අදත් ගාමිණි සෙනරත් නිරුපද්‍රිතව යහතින් රටතුල ජීවත් වෙයි. නමුත් ඔහු යන එන තැන් වලදී ඔහුගේ පිටුපසට පල්හොරෙක් යැයි කියමින් මධ්‍යම පාන්තිකයෝ සිනහ වෙති.

යෝෂිත රාජපක්ෂ නාවික නිළධාරියකු සිට රාජ්‍ය සේවයේ ව්‍යවස්ථාවද බිඳ දමා කාල්ටන් මාධ්‍ය ආයතනය ගොඩනගා රජයට රුපියල් බිලියනයක පමණ පාඩුවක්ද  උපයාගත් ආකාරය හෙලි කල නොහැකි රුපියල් මිලියන 600ක් පමණ  ආයෝජනයන්ද  කොට අදත් නිරුපද්‍රිතව දැහැමින් සෙමින් වැජඹේ.  ඔහුට විරුද්ධව නඩු පැවරුවද නීතිපති දෙපාර්තමේන්තුව වංගුවක් දමා මාධ්‍ය ආයතනය වසා දමා ඔහුට ගැලවී යාමට ඉඩ ලබා දුන්නේය. එසේම ඔහුමත පවරා ඇති අනෙකුත් සියළුම නඩු ගොනු නීතිපති දෙපාර්තමේන්තුවේ සොයාගත නොහැකි තැනක අස්ථාන ගත වී යැයි සිතිය හැකි තරම් කාලයක් ගත වී තිබේ. මෙම රජයේ නිල කාලය අවසන් වන තුරුවත් එම නඩු ගොනු නැවත පැමිණය හැකියැයි සිතිය නොහැක. නීතිපති දෙපාර්තමේන්තුව යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය අරුම පුදුමය. තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් නඩු පවරා ඇති ආකාරය එයට හොඳම උදාහරණයයි. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කැකිල්ලේ තීන්දුවකි. අපරාධකාරයා වෙනුවට අපාරධය සැඟවුවායැයි යනුවෙන් සඳහන් කොට පොලිස් නිලධාරීන් ගණනාවක් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කරමින් සිටී. එම අපාරාධය සැඟවු අයට එරෙහිව කටයුතු කල යුතු වුවත් අපරාධ කරුවන්ටද නඩු පැවරිය යුතුය. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව කැකිල්ලේ රජු කටයුතු කල ආකාරයට වැඩ කටයුතු වල යෙදෙමින් සිටී.

වර්තමාන රජය විසින් පසුගිය රජයේ මහා පරිමාණ දූෂණ වංචා හා අල්ලස් සම්බන්ධ ලිපි ගොනු 87ක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති අතර වසර දෙක හමාරකට පසු එම වැඩ කටයුතු අවසන් කොට චෝදනා ගොනු කර ඇත්තේ නඩු ගොනු පහලොවකට පමණි. මෙවැනි තත්ත්වයක් උඩ හිතාමතා හෝ ස්වාභාවිකව ආකාර්යක්ෂම නීතිපති දෙපාර්තමේන්තුවක් සහිත රටකට ජනතාවගේ යහපාලන අභිලාෂයන් ඉටු කල හැකිද?

නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය පිළිබඳව අරුම පුදුම සොයා ගැනීම් සිදු කිරීමට අවශ්‍යනම් කල යුත්තේ එම දෙපාර්තමේන්තුවේ සේවය කරන අයගේ ෆේස් බුක් ගිණුම් වෙත පිවිසීමයි. එම ගිණුම් තුල රාජපක්ෂවාදී ප්‍රචාරක පෝස්ටර් හා රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතියට අදාල තොරතුරු වලින් පිරි තිබෙයි. රාජපක්ෂ රෙජීමය පැවති සමයේ නීතිපති දෙපාර්තමේන්තුවත් අධිකරණ පද්ධතියත් සම්පුර්ණයෙන්ම පාහේ රාජපක්ෂකරණය කොට තිබු අතර ඔවුන්ගෙන් යහපාලන බලාපොරොත්තු ඇති කර ගත නොහැකි බව රජයටද අවබෝධ වෙමින් තිබේ.

මෙම තත්ත්වය නිතිපති දෙපාර්තුමේන්තුවට පමණක් ආවේණික තත්ත්වයක් නොවන අතර රටේ බොහෝ දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශවල තත්ත්වය එයම වේ. නමුත් දක්ෂ ඇමතිවරුන් කටයුතු කරන අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වල මෙම භයානක තත්ත්වය වෙනස් කොට නිවැරදි මාවතට යොමු කර ගැනීමට හැකියාව ලැබී තිබේ. මේ සඳහා හොඳම උදාහරණය විදේශ කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය වැනි අමාත්‍යාංශ ගත හැකිය. ඒවායේ පාලනය මුලු මනින්ම පාහේ එම ඇමතිවරු විසින් යහපාලන රජයේ පාලනයට ගෙන තිබේ. එසේ ගෙන නොමැති අමාත්‍යාංශවල අර්බුද ඇතිකරමින් ඒවා ආකාර්යක්ෂම කිරීමට රාජපක්ෂ රෙජීමයේ නිලධාරීන් කටයුතු කරමින් සිටී. එහි ප්‍රතිඵලයක් ලෙස හොරු ඇල්ලීමට ආ ආණ්ඩුවේ පුරෝගාමීන් හොරු ලෙස හංවඩු ගැසීමට රාජපක්ෂ රෙජීමයේ  පට්ට හොරුන්ට හැකිවි තිබේ. සැබවින්ම එම තත්ත්වය දඩයක්කාරයා දඩයම බවට පත්වීමයි. මෙම තත්වය දේශපාලන බල ව්‍යාපෘතියක ඉතාම ශෝචනීය තත්වයක් වේ. ඉදිරි සති කිහිපය තුල වෙනස් කර නොගතහොත් ඉතාම ඉක්මනින් වර්තමාන රජය අභ්‍යන්තරයේ දැවැන්ත කැරැල්ලක් ඇතිවනු ඇත. කෙසේ වුවත් ලැබෙමින් පවතින ආරංචි අනුව නීතිපති දෙපාර්තමේන්තුව අයත් ඇමතිවරයාට එරෙහිව ආණ්ඩුවේම ජව සම්පන්න තරුණ මැති ඇමතිවරු පිරිසක් කටයුතු කරමින් සිටී. එය ජයග්‍රහණයකින් කෙලවර වනු ඇතැයි යහපාලන ලැදි ජනතාවගේ පැතුමයි.

Monday, August 7, 2017

මංගලගෙන් උගනිවු





දීර්ඝ කාලයක් විපක්ෂයේ ගතකොට ආණ්ඩුවට ආ එක්සත් ජාතික පක්ෂයට හා ඒ මැති ඇමතිවරුන්ට මෙන්ම එම පක්ෂයේ අභ්‍යන්තර කටයුතු කරන්නන්ට විපක්ෂයේ කටයුතු පිළිබද කෙතරම් අත්දැකීම් තිබුණද පක්ෂය කළමණාකරනය පිළිබද දැනුම හා හැකියාව තිබුණද, ආණ්ඩුකරනය පිළිබද දැක්මෙහි හා හැකියාවෙහි විශාල තාක්ෂණික දුර්වලතා ඇති බව පෙනී යයි. සැබවින්ම මේ ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ පාර්ශවයේ නායකයින්ගෙන් ආණ්ඩු මාරුවෙන් පසු, පසුගිය රෙජීමයේ උගුල් වලට හසු නොවී යථාර්තවාදී දේශපාලනයක නිරත වෙමින් සාර්ථක වූ නායකයින් අතළොස්ස අතර මංගල සමරවීර ප්‍රධානයි. මංගල සමරවීර පිළිබද බොහෝ දේ කීමට පෙර කිවයුතු ප්‍රධාන දේ නම්, ආණ්ඩුකරනයේ මූලික පදනම පිළිබද මනා අත්දැකීමක් හා දැනුමක් මංගල සමරවීර සතු බවයි.

මංගල සමරවීර මා හට මුණ ගැසී ඇත්තේ ඉතාම මෑතදී කිහිප වතාවක් පමණි. 2015 ජනවාරී 8 වෙනිදාට පෙරත්, ඊට පසුත් ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ මංගල සමරවීරගේ භූමිකාව අතිශය තීරණාත්මකයි. එවැනි තීරණාත්මක දේශපාලන චරිතයකට තිබිය යුතු යැයි ශ්‍රී ලංකාවේ දේශපානඥයින් සිතන ප්‍රදර්ශනකාමී උත්කර්ශය මංගල සමරවීරගෙන් දැකිය නොහැක. ජනවාරි 8 වෙනිදාට පෙර වර්තමාන ආණ්ඩුව ජනතාවට පොරොන්දු වී ලබාගත් ජනවරමේ පදනම වන්නේ යහපාලනයයි. ඒ තුළ පොරොන්දූ වූ දේශපාලනඥයාගේ චරිත ලක්ෂණ වර්තමාන ආණ්ඩුවේ ඉහළ දේශපාලනඥයින් අමතක කර ඇත්නම් ඔවුන් පරිවාර රථ පිරිවරාගෙන මහ මාර්ගයේ යන්නේ නම්, පොලිස් නිලධාරීන් වටකරගෙන ආරක්ෂක පෝබියාවකින් පෙළෙන්නේ නම්, මහජන මුදල් හොරකම් කරන්නේ නම්, තමන්ට උදව් පදව් කළ පාක්ෂිකයින් ළගාකර ගැනීම කරදරයක් ලෙස සලකන්නේ නම්, බලහත්කාරයෙන් පාක්ෂිකයින්ගෙන් ගෞරවය බලාපොරොත්තුවන්නේ නම්, යාළු හිතමිතුරන් හා නෑදෑයින් හට තමන්ගේ බලය භුක්ති වීදිමේ හෝ භාවිතා කිරීමේ ප්‍රවේණි භුක්තියක් ඇතැයි සිතන්නේ නම්, ඔවුන් ජනවාරි 8 විප්ලවයට දායක නොවූ එහි න්‍යායාත්මක පදනම පිළිබද අවබෝධයක් නැති දේශපාලනඥයෝය. ඔවුන්ට මෙම ආණ්ඩුව තුළවත් වර්තමාන දේශපාලනය තුළවත් පැවැත්මක් නොමැති වන්නේය. හේතුව ඔවුන්ට ජනවරම පිළිබද අවබෝධයක් නොමැති වීමයි. ඔවුන්ගේ දේශපාලන ජීවිත අසතුටින්, අපකීර්තියෙන්, අගෞරවයෙන් විනාශය කරා ළගා වන්නේය. ඒ වෙනුවෙන් කටයුතු කිරීමට රාජපක්ෂ රෙජීමයෙන් ඔවුන්ට උරුම වූ වැරදි ආකල්ප සහිත නිලධාරීන් පැලැන්තියක්ද, රාජ්‍ය යාන්ත්‍රණයක්ද, හොරු රැළක්ද සිටී. ඔවුන් පාක්ෂිකයාට හෝ පක්ෂයේ කැපවීම කළ මිනිහාට හෝ ගැහැණියට වඩා බොහෝ සැප පහසුය. පඩුරු පාක්කුඩම් පුදයි. රසබර කතා කියයි. සාද පවත්වයි, ලිංගික අල්ලස් දෙයි, හොදින් අදියි, හොදින් කයි, හොදින් රමණය කරයි. එවන් මිතුරු සමාජයක් හෝ නෑදෑ පිරිවරක් ධනයක් අනිවාර්යයෙන්ම ඊනියා අනාගත දේශපාලන බලාපොරොත්තු දල්වයි. දේශපාලන ජීවිතය එහිදී සුරක්ෂිත බව පෙන්වයි. නමුත් රාජපක්ෂ රෙජීමය පරදවා දැන් වසර දෙක හමාරකි. එම රෙජීමයේ පැවැත්ම තීන්දු කළ සාධක වලට මේ ආණ්ඩුවේ හෝ වර්තමාන ජන සමාජයේ පැවැත්මක් නැත. ප්‍රචාරය හෝ දේශපාලන බලය සම්ප්‍රදායික මාධ්‍ය මෙහෙය වූ කාලය අවසන්ව ඇත. මේ තොරතුරු ජලය මෙන් සුලභ කාලයයි. තනි මිනිසුන් ස්වාධීනව ජනමතය හසුරවන අන්තර්ජාල යුගයයි. මහත්වරුණි ප්‍රවේශම්වන්න මංගලගෙන් ඉගෙන ගන්න.

මංගලගෙන් ඉගෙන ගත යුත්තේ කුමක්ද? මංගල සමරවීර මෙම ආණ්ඩුව බලයට පත්කිරීම සදහා තීරණාත්මක කාර්යභාරයක් කළ දේශපාලන නායකයයින් කිහිප දෙනා අතර දේශපාලන සත්ත්වයා බවට අවවාධිතය. ජනවාරි 8 වෙනිදාට පෙර දේශපාලනය මෙහෙය වූ මහ පොළවේ දේශපාලනඥයා ඔහුයි. රාජපක්ෂලාට වැඩිම වෛරයක් ඇත්නම් ඒ කිසිවෙකුත් සමග නොව මංගල සමරවීර සමගයි. නමුත් මංගල සමරවීර තමන්ට හිමි නිල ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනා සමග නිල වාහන වලින් සාමාන්‍ය මිනිසුන් මෙන් ගමන් බිමන් යයි. ඔහුට ආරක්ෂක පෝබියාවක් නැත. ඔහු ඇසුරු කරන ඔහු ගණුදෙනු කරන කණ්ඩායම ඉතාම සැප පහසු ලෙස ඔහු සමග ගණුදෙනු කරයි. නමුත් ඊයේ පෙරේදා ඇමතිවරු වූ මහත්වරුණි අල්ලපු ගෙදර එකාටවත් වෛරයක් ඇති නොවන හිගන්නන් වන ඔබට මෙතරම් ආරක්ෂකයින් කුමටද? ඔබට සේවය කරනවුන් ඔබට බියක් දක්වන්නේ නම් ඔබ යන්නේ වැරදි පාරේය. එම මාර්ගය වැටී ඇත්තේ විනාශයටය. එය අද සිදුනොවුනද හෙට අනිවාර්යයෙන් සිදුවණු ඇත. ඒ නිසා මංගල දෙස බලන්න, මංගලගෙන් ඉගෙන ගන්න.

දින 100 ආණ්ඩුවේ විදේශ ආමාත්‍යංශය මංගලට දෙනවිට එය අවුල් ජාලාවකි. එම අවුල රට ජාත්‍යන්තර උගුලකට හසු කර තිබුණේය. මංගල සමරවීර දින 100 ආණ්ඩුව අවසන් වනවිට එම අවුල් වලින් විශාල ප්‍රමාණයකින් රට මුදවාගෙන තිබුණි. එම සාර්ථකත්වයේ ගෞරවය ඔහු ලබා ගන්නවා වෙනුවට ඔහුට ඒ සදහා ආශිර්වාද කළ උපදෙස් ලබාදුන් ශක්තිය ලබාදුන් එම කාර්යය ඔහුට පවරා දුන් ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් ලබා ගැනීමට ඉඩ ප්‍රස්තාව ලබාදුණි. ඔහු එම කාලය තුළ විදේශ අමාත්‍යංශය දේශපාලනීකරණය නොකිරීමට ප්‍රවේශම් විය. ඒ සදහා සුදුසු පුද්ගලයින් පමණක් තෝරා බේරා ගනිමින් කිසිවෙකුගේත් උගුල් වලට හසු නොවෙමින් එම වැඩපිළිවෙල ඉතාම සාර්ථක ලෙස සිදුකළේය. මංගල සමරවීර යනු නායකයෙකුට විශ්වාසය තබා වැඩක් බාරදිය හැකි දේශපාලනඥයෙකි. ඔහු එවන්නෙක් වුවද මේ ආණ්ඩුවේ අලුත් ඇමතිවරු තම අමාත්‍යාංශ ආණ්ඩුකරනයේදී නිලධාරීන්ගේ ලණු කමින් හත්පොළේ ගා ගනිමින් සිටී. තම හත්මුතු පරම්පරාවේ නෑදෑයින් අමාත්‍යංශ වලට වද්දා ගනිමින් අමාත්‍යංශ අවුල් ජාලයන් බවට පත්කරගෙන තිබේ. එම ඇමතිවරු එළිපිට හෙළුවෙන් නටති. ඔවුන් පිළිබද තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්බොක්ස් තුළත් සාකච්ඡා මණ්ඩප තුළත්, ප්‍රසිද්දියේත් දිනපතා හුවමාරු වෙති. ඔවුන්ට හිනා වෙති. අපහාසයට උපහාසයට ලක් කරති. මහත්වරුණි ඔබේ අමාත්‍යංශවල කටයුතු කරනුයේ ඔබට අමාරු කාලයේ ඔබ ළග සිටි ඔබට විය පැහැදමට මුදල් දුන් ඥාතී හිතමිත්‍රාදීන් නම් ඔබ ඉන්නේ විනාශයට යන මාවතේය. මන්ද යහපාලන ආණ්ඩුවේ පදනම හා ජනවරම වෙනස්ය. ඔබ අද පැවතුණද හෙට විනාශවනු ඇත. මංගලගෙන් ඉගෙන ගන්න, තමන්ට අදාළ කටයුතු නිවැරදි ලෙස නිවැරදි මිනිසුන් සමග කරන්න.

මංගල සමරවීර නිවැරදි මිනිසුන් කාර්යයන් සදහා තෝරා ගැනීමේ විශේෂඥනතාවයක් දක්වයි. ඒ සදහා ඔහුගේ පෞද්ගලික කියවීමක් ඇතිබව පෙනේ. ඔහු ඇන්දවීමට හැකි කිසිවෙකුත් ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ නොමැති බව මාගේ පෞද්ගලික තක්සේරුවයි. ඔහු මුදල් හා ජනමාධ්‍ය ඇමති වූ පසු ඔහු සමග කටයුතු කරන කිසිවෙකුත් ඔහු විදේශ ඇමති යුගයේ එම අමාත්‍යංශයට වද්දා නොගත්තේය. එසේම එම යුගයේ ඔහු සමග වැඩ කළ නිලධාරීන්, වර්තමාන අමාත්‍යංශයට රැගෙනවිත් අවුල් ජාලාවක් කර නොගත්තේය. ඔහුට බැලූ බැල්මට ඉතාම හොද දේශපාලන නාඩියක් තිබේ. එම දේශපාලන නාඩිය මහා පොළවේ සිටු වීමට තරම් බුද්ධිමත්, නිර්මාණශීලී හැකියාවක් හා උනන්දුවක් තිබේ. මෙතරම් බාධා, තර්ජන, ගර්ජන තිබියදීත් මංගල සමරවීරගේ පැවැත්ම තීරණය වූයේ එම සාධකයයි. එසේම ඔහුගේ ජීවිතයේ පෞද්ගලිකව පවත්වාගෙන යන සරළ බව අවශ්‍ය වේලාවට ගණුදෙනු කළ හැකි නිහතමානී බව එඩිතර බව ඔහුගේ ජීවිතයේත්, ආණ්ඩුවේ පැවැත්මත් ස්ථාවර කොට තිබේ.

මහත්වරුණි තව බොහෝ දේ කීමට ඇති නමුත් කිවයුත්තේ ආණ්ඩුකරනය මංගලගෙන් ඉගෙන ගන්න, මංගල වගේ වෙන්න, ඒක පට්ට.

Sunday, July 30, 2017

කූඩැල්ලන්, දියබරියන් කාපු අපි කොළ පාට සමාජයට පිවිසීම



1977 එක්සත් ජාතික පක්ෂය හයෙන් පහක බලයක් සහිතව ජේ. ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් රාජ්‍ය බලය ලබා ගන්නා අවස්ථාවේදී ලංකාවේ තත්ත්වය වර්තමාන සමාජයට විශ්වාස කළ නොහැකි තරම් ශෝචනීය වේ. 1977 වන විට ලංකාවේ ජනතාවට බත් කෑම සීමා කොට තිබුණි. සතියට දවස් තුනක් පමණක් බත් ආහාර ලෙස ගත හැකිව තිබූ අතර එවකට වර්තමාන සමාජය විසින් ආහාරයට ගැනීමට අත්හරින ලද හබරල අල හා වෙනත් අල වර්ග කැළයේ වැවෙන කොළ මඩේ හැදෙන සතුන් ඉදිරි දින හතර තුළ ප්‍රධාන ආහාරය ලෙස ගැණුනි. වියළි කළාපයේ සමහරක් ගම්වල කූඩැල්ලන් හා දියබරියින් ආහාර ලෙස ගැණිනි. 77 ජේ. ආර්. ජයවර්ධන කනබොන රමණය කරන සමාජයක් යෝජනා කරනු ලැබුවේ කූඩැල්ලන් හා දියබරියින් ආහාරයට ගත් සමාජයකටය.

77 ට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එම පෙරමුණේ ආර්ථික දේශපාලන හා සමාජීය ව්‍යාපෘතිය තුළ සෑම දෙයටම රාජ්‍ය මැදිහත් වීමක් තිබූ අතර කොටින්ම විවාහ වීමට රජයේ අවසරය ලබාගත යුතු විය. නමුත් සීමාකම් පනවනු නොලැබුවේ ලිංගික කටයුතු හා වැසිකිළි යාමට පමණි. නමුත් මේ රටේ එවකට විසූ කිසිවෙකුට ලිංගික කටයුතු සිදුකිරීමට මානසික සහනයක්ද, ඒකාග්‍රතාවයක්ද, වැසිකිළි යාමට කුස පිරෙන්න ආහාරද නොතිබුණි. එම ආර්ථයෙන් ගත් කළ එවකට ජීවත්වූ ජනතාවගේ ජීවිත වාමාංශික අනුර දිසානායක කියනවාක් මෙන්, ඒවා ජීවිතද අප්පා යැයි මට සිතේ.

1977 දී ජනතාව හයෙන් පහක බලයක් එක්සත් ජාතික පක්ෂයට ලබාදෙනුයේ අදුරු ශෝචනීය කාළපරිච්ඡේදයෙන් රට හා ජනතාව මුදවන ලෙස ආයාචනා කරමිනි.  1977 ජූලි 22 වෙනිදා ජේ. ආර්. ජයවර්ධන මුහුණ දුන් ප්‍රධානතම අභියෝගය වනුයේ සත් වසරක් කුසගින්නේ සිටි සත්වසරක් විළි වසාගැනීමට ඇදුමක් නැතිව සිටි, හිසට වහළයක් නොමැති, දරුවන්ට අධ්‍යාපනය ලැබීමට පාසල් නැති, රමණයට ඇදක් නැති, බහිස්‍රාවියට වැසිකිළියක් නැති, අල තැම්බීමට මුට්ටියක් නැති, කිරි පිටි හැන්දකට සතියක් පෝළිමේ සිටිය යුතු, තමන් වැදු හා හැදු වැඩු දෙමාපියන්ට කැද උගුරක් බොන්නට හාල් සේරුවක් දුන් විට හිරේ විලංගුවේ වැටුණු ඊනියා දේශප්‍රේමී ජාතිකවාදී ආණ්ඩුව නිසා කරදරයේ වැටුණු ජනතාව ඉන් මුදවා ගැනීමයි. කාම්බෝජයේ පොල්පොට් පන්නයේ මහා සමූල ඝාතනයක් ආසන්නයේ සිටි ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිතය බේරා ගැනීමට ජේ. ආර්. ජයවර්ධන මුහුණ දුන් ප්‍රධානතම අභියෝගයයි. 77 දැවැන්ත ජයග්‍රහණයෙන් පසු රටේ ආර්ථිකයේ තිබූ සීමාකම ඉවත් කළ අතර සමාජයේ හා දේශපාලනයේ තිබූ දැඩි පාලනයද ඉවත් කළ හැරියේය. තනි මිනිසුන් හට තමන්ගේ ශක්තියෙන්, තමන්ගේ බුද්ධියෙන්, තමන්ගේ හැකියාවෙන් තම ජීවිතය ගොඩනගා ගැනීමේ අයිතිය ලබාදුණි. ජන ජීවිතයට රජයේ මැදිහත් වීම හැකිතාක් අවම කළ අතර රාජ්‍යය පරිපාලන උපකරණයක් බවට පත් කළේය. 1977 ආණ්ඩු වෙනසින් ලාංකික සමාජය ලැබූ ප්‍රධානතම දායාදය නම් තනි මිනිසාට තම ශක්තියෙන් නැගී සිටීමට ලැබුනු අවස්ථාවයි.

1977 ට පෙර තිබූ රෙජීමය විසින් ක්‍රියාත්මක කරන ලද අදූරදර්ශී අයුක්ති සහගත ක්‍රමයට පක්ෂපාතී වූ පුද්ගලයින් හා දේශපාලන කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් රට තුළ සිටි අතර ඔවුන් ජනතාවගේ මුදල් කොල්ල කමින් රජයේ දේපළ අයුතු පරිහරණය කරමින් බඩු භාණ්ඩ හිගය හා දැනුමේ සම්බාධක මත පදනම් වූ කළු කඩ පවත්වාගෙන යාමෙන් සුඛෝපභෝගී ජීවිත ගත කළ අයයි. ඔවුන් රජයේ ගුවන් විදුලිය හා රජයේ පුවත්පත් භාවිතා කරමින් ඔවුන්ගේ අවිද්‍යාත්මක ප්‍රචාරණ ව්‍යාපාරය පවත්වාගෙන ගිය අයයි. 1977 න් පසු ඉදිරි වසර කිහිපය තුල ලාංකාවේ ධනවත්ම හා බලවත්ම සමාජ ස්ථරය වූයේ මෙම වාමවාදී ඊනියා ජාතිකවාදී හා ප්‍රගතිශීලි සමාජ කොටසයි. ඔවුන් රටේ සියලුම වෘත්තීය සමිතිවල බලය අත්පත් කොටගෙන සිටි අතර එමගින් හයෙන් පහක බලයක් සහිත ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවට විශාල වශයෙන් බලපෑම් කරමින් රට අවුලෙන් අවුලට පත් කිරීමට උත්සහ කළේය. 77 න් පසු බිහිවූ නව ධනපති පන්තිය ගොඩනැගෙන තෙක් අන්තර් කාල සීමාව තුළ මෙම අයුක්ති සහගත ලෙස මුදල් ඉපයූ එම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රෙජීමයේ ධනපතියන් විසින් අතිවිශාල ලෙස මුදල් ආණ්ඩු විරෝධි ප්‍රචාරණයට යොදා ගනිමින් රාජ්‍ය පාලනය ඉතා අපහසු කටයුත්තක් බවට පත් කළේය. නමුත් 1980 ජූලි මාසයේදී කැදවන ලද ජාතික මට්ටමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මර්ධනය කරමින් ඔවුන් රැකියා වලින් එළියට දමමින් ජේ. ආර්. ජයවර්ධන විසින් අයුක්ති සහගත දේශපාලන ව්‍යාපාරයේ අවසන් ඇණය ගසා දැමුවේය. ඉන්පසු බිහිවූ සමාජ ආර්ථික හා දේශපාලනික හැඩය වසර 37 ක් පුරා ලංකාවේ මූලෝපායික වශයෙන් ප්‍රධානතම වැඩපිළිවෙල බවට පත්ව අදත් වැජඹේ. තිස් අවුරුදු යුද්ධයකට පසුත් ශ්‍රී ලංකාව නොනැසි නොවැටී පවතින්නේ එම ශක්තිමත් අත්තිවාරම මතයි.

1977 බිහිවූ දේශපාලන නායකයින් අතර රනිල් වික්‍රමසිංහ පෙරගමන්කරුවෙකු වන්නේ 77 න් පසු බිහිවූ සමාජයේ විද්‍යාත්මක පසුබිම පිළිබදව මනා අවබෝධයක් තිබූ නායකයා නිසාය. ඔහු විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයට දායාද කරන ලද වෙනස්කම් අදද මේ රටේ පවතින ප්‍රගතිශීලි වෙනස්කම් වේ. නමුත් ඔහුගේ වර්තමාන මතය වන්නේ එම වෙනස්කම් අද යල්පැන ගොස් ඇති අතර නව වෙනස්කම් සදහා ඉඩකඩ සකසා ගත යුතු බවයි. එසේම කර්මාන්ත ක්ෂේත්‍රයේ ඔහු සිදුකරන ලද වෙනස්කම් අදද දේශපාලන නායකයෙකු කර්මාන්ත ක්ෂේත්‍රයේ සිදුකරන ලද විශාලතම වෙනස්කම් වේ. කොළපාට සමාජය යනු සැමදෙනාටම සහභාගී විය හැකි, සැමදෙනාටම අවස්ථාවක් ඇති, බුද්ධිය විශාලම ධනය ලෙස සලකනු ලබන, සතුට හා විනෝදය සංවර්ධනයේ ප්‍රධානම මිම්ම වන සමාජ ආර්ථික හා දේශපාලන ක්‍රමයකි. එම මොහොතේ පවතින හා පැවතිය යුතු දේශපාලන ආර්ථික හා සමාජ වෙනස්කම් සදහා ඉඩකඩ විවර කර දෙන ප්‍රගතිශීලී නව ලිබරල්වාදී ප්‍රතිපත්තිය 77 ත්, අදත් එක්සත් ජාතික පක්ෂයේ අධිපතිවාදී මතයයි. එම පක්ෂය කල්පනා කරනුයේ සාමය, සංහිදියාව, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය හා තනි පුද්ගල නිදහස ආණ්ඩුවේ පදනම බවයි. 77 න් පසු බිහිවූ සමාජය හා එම සමාජ ක්‍රමය ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු පසුගිය වසර 40 න් වසර 20 ක් පවත්වාගෙන ආවේය. 77 විප්ලවය ආපසු හැරවීමට හැකිවූ ජගතෙකු මෙරට දේශපාලනය තුළ බිහි නොවූ අතර අදද අපට සිදුකළ හැකි වන්නේ වඩාත් කාර්යක්ෂම හා ප්‍රගතිශීලී ලෙස මෙම ක්‍රමවේදය ඉදිරියට පවත්වාගෙන යාමය. එසේම එහි ඇති ප්‍රතිගාමී හා විකෘති සහගත තත්ත්වයන් හැකි ඉක්මනින් ප්‍රතිසංස්කරණය කළ යුතුය.

Monday, July 17, 2017

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි මිනිසෙකුගේ දේශපාලන ඉව හා ෆැන්ටසිය මත පදනම් වූවකි. බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලද සුදු අදිරාජ්‍යවාදීන්ගේ කීකරු සේවක පෙළපතකින් පැමිණි එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා විසින් ආරම්භ කරනු ලැබු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, 1952 වර්ෂයේ එවකට තිබූ දේශපාලන තත්ත්වය අනුව මෝරායමින් තිබූ සිංහල ජාතිකත්ව නවෝදයට රුකුල් දීමට බණ්ඩාරනායක ශ්‍රීමතානන් විසින් පවත්වාගෙන ආ මහා සිංහල සංගමයේ දේශපාලන ප්‍රකාශනයයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක න්‍යාය වනුයේ සිංහල ජාතිකත්වය හා ධනපති විරෝධයයි. එසේම එම න්‍යායට පත අට එකට සිදුවා අවස්ථාවාදය හා කුහකත්වය එකතු කර ගොඩනගන ලද්දකි. එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැවැන්ත වෘක්ෂයක් ලෙස සිංහල සමාජය තුළ මුල් බැසගන්නේ එම පක්ෂයටම ආවේණික වූ ශ්‍රී ලාංකික නාඩි ඇල්ලීමේ කලාව නිසාවෙනි. 1956 දී බහුවාර්ගික සමාජයක් වූ ශ්‍රී ලාංකික සමාජයට බටහිර උගත් හැදි ගෑරප්පුවෙන් කෑම බීම කන, බොන, ඉංග්‍රීසී සහ ලතින් භාෂා හැර වෙනත් කිසිදු භාෂාවක් හොදින් කතා නොකරන, කොම්පද්‍රෝරු ධනපතියෙකු වන එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ඔහුත් නොදන්නා ඔහුගේ හත්මුතු පරම්පරාවේ කිසිවෙකුටත් අවබෝධයක් නැති සිංහල පමණක් ප්‍රතිපත්තිය තුළින් බලය ලබා ගත්තේය. තම පන්තියේ ධනය ජනසතු කරමින් ආණ්ඩුවට පවරා ගැනීමට පොරොන්දු විය. එම අවස්ථාවාදයෙන් බලයට පත් බණ්ඩාරනායක ශ්‍රීමතානන් කුහකත්වයේ සිරකරුවෙකු බවට පත්ව ඉතාම අකමැත්තෙන් එමගින් ශ්‍රී ලාංකීය සමාජයට වන හානිය පිළිබදව අවබෝධයන් ඇතිව පොරොන්දුව ඉටුකර ඔහු ඔහුගේ ජීවිතයෙන් වන්දි ගෙවීය.

ඉන්පසු එළඹි දශක ගණනාව තුළ 56 විප්ලවයෙන් බිහිවූ විකෘතිය නිසාම ඇතිවූ සිවිල් යුද්ධ තුනකින් මිනිසුන් ලක්ෂ ගණනාවක් මිය ගියේය.

සිංහල පමණක් උගත් දකුණේ තරුණයන් විරැකියාව හා කුල පීඩනය පදනම් කරගෙන 1971 දීත් 1989 දීත් දහස් ගණනින් මියගිය අතර, ජාතිකත්වය හා ආගම පදනම් වූ සමාජ අසාධාරණයට එරෙහිව සටන්කොට වසර 30 ක් දිග්ගැස්සුණු යුද්ධයකට මුහුණදී උතුරේත් දකුණේත් මිනිසුන් දහස් ගණනක් මිය ගියේය.

1956 විප්ලවය යනු සිංහල සමාජය නිදහසින් පසු උන්මාදයට හා නොමගට යොමු කළ සමාජ විකෘතියයි. මේ විකෘතිය මත බිහි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එය ආරම්භයේ සිට අද දක්වා මෙම රටට සිදුකළ තිරසාර ප්‍රගතිශීලී කිසිවක් නැත. ඔවුන් පෙනී සිටි බොහෝ දේශපාලන ආර්ථික සහ සමාජ ව්‍යාපෘති මහ ව්‍යසනයන් බවට පත්වූ විට බලය අතහැර යන ඔවුන් එම අසීරු අවස්ථාවන් ජයගැනීමට එක්සත් ජාතික පක්ෂයට බලපෑම් කරයි. එක්සත් ජාතික පක්ෂයට ඉතිහාසට පුරාවටම සිදුවූයේ බලයට පත්වූ සෑම අවස්ථාවකදීම එම ධූර කාලයෙන් අඩක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවුල් නිරවුල් කිරීමටත්, ඉතිරි අඩ සංවර්ධන කටයුතුවල යෙදීමටත්ය. ඒ සදහා උදාහරණ බොහෝය.

1965 දී ඩඩ්ලි සේනානායක බලයට පත්වන විට දස අවුරුදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රාජ්‍ය පාලනය තුළ බිහිකළ අවුල් වියවුල් රට ප්‍රපාතය කරා ගෙනයෑම ආරම්භ කර තිබුණි. එය කෙතෙක් දරුණු තත්ත්වයක් වීද යත් ඩඩ්ලි සේනානායකයන් එම පස් අවුරුදු කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගින් රටතුළ ගොඩනැගු එම අවුල් සහගත තත්ත්වය නිරවුල් කිරීමට ගොස් ඔහු සදාකාලීක රෝගියෙකු වූ අතර රටේ ආර්ථික, සමාජයීය හා දේශපාලන තත්ත්වය නිවැරදි කිරීම කෙසේවත් කළ නොහැකි මහ ව්‍යසනයක් බවට පත්වී තිබුණි.

1970 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළා නොව, එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළින් එම උරුම කර තිබූ අවුල් වියවුල් තුළින් රට ගොඩ නැගීමට නොහැකි වීමෙන් ඩඩ්ලි සේනානායක ප්‍රමුඛ එම ආණ්ඩුව දේශපාලන බලය අත්හැරියේය. 1970 මැතිවරණයෙන් පසු ඩඩ්ලි සේනානායක දේශපාලනයෙන් සමුගත් අතර, ඊට වසර තුනකට පසු ජීවිතයෙන්ද සමු ගත්තේය. ඉන්පසු බලයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හදා බැලූ හා ක්‍රියාත්මක කළ විකාර රූපී ආර්ථික හා සමාජ ක්‍රමය ශ්‍රී ලාංකීය සමාජයේ ඉතිරිව තිබූ ඉතිරි සාධනීය ලක්ෂණයද විනාශ කර දැම්මේය. එම ක්‍රමයේ ඇති විකාරරූපි බව තේරුම් ගැනීමට හොදම උදාහරණය නම් සතියට දවස් තුනක් බත් කෑමට තහනම් කිරීමය, ඇදුම් ඇදීම තහනම් කිරීමය, සාද පැවැත්වීම සදහා රජයේ අවසරය ලබා ගැනීමය. මුළු ලෝකයම විශාල සංවර්ධන පිම්මක් ගත් හැත්තෑව දශකයේදී අප රිවස් ගියරය දමා වේගයෙන් පස්සට ගියේය. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවන ආණ්ඩුවයි.

1977 ජේ. ආර්. ජයවර්ධන සමග එක්සත් ජාතික පක්ෂය බලයට පත්වෙද්දී හබරල අල කන, සීනී නැතිව තේ බොන, විලි වසා ගැනීමට රෙදි කඩ මල්ලක් ගැනීමට දවස් තුනක් පෝලිමේ සිටින, දොල දුකට පරිප්පු හොද්දක් කෑමට පරිප්පු රාත්තලක් සමූපකාරයෙන් මිලදී ගැනීමට ඉඩම් කැබැල්ලක් විකිණිය යුතු තත්ත්වයට අප පත්ව තිබිණි.
රටේ මහා පරිමාණ ව්‍යාපාර සියල්ල දේශපාලන හෙන්චයියන් අතට පත්වී තිබූ අතර වතු සමාගම් වසා දමා සමාගම් අයිතිකරුවන් ඇදි වත පමණක් අයිතිව පිටරට ගොස් තිබිණි. රටේ ආර්ථිකය කියා දෙයක් නොතිබුණි. සහල් ප්‍රවාහනය නීතී විරෝධී කටයුත්තක් වූ අතර දෙමාපියන් හා නෑදෑ හිතවතුන්ගේ කුස ගින්නට වැඩිපුර තිබූ සහල් සේරුවක් ගෙනගොස් දීම හිරේ විලංගුවේ වැ‍ටෙන තත්ත්වයක් බවට පත්ව තිබුණි.

එම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු යුගයේදී සලාක ක්‍රමයකින් හෝ සීමා කිරීමකින් තොරව ශ්‍රී ලාංකික ජනතාවට සිදුකළ හැකිව තිබුණේ ලිංගික කටයුතු හා වැසිකිළි යාම පමණි. මනුෂ්‍ය ජීවිතයේ අනෙකුත් සියල්ල පාලනය කොට තිබුණි.

1977 බලයට පත් එක්සත් ජාතික පක්ෂයට මෙම විශාල අවුල් සහගත තත්ත්වයෙන් රට ගොඩගෙන ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට වසර කිහිපයක් ගතවිය.
1994 බලයට පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව 2001 එක්සත් ජාතික පක්ෂයට බලය ලබාදීමේදී රටේ ආර්ථිකය සෘණ අගයක් ගත්තේය. දවසට පැය 8ක් පුරා විදුලි කප්පාදුවක් තිබුණි. උතුර ප්‍රභාකරන් යටතේ වෙනම රාජ්‍යයක් ලෙස ගොඩනැගී තිබුණි. අධ්‍යාපනය, ප්‍රවාහනය, නීති ක්ෂේත්‍රය හා රටේ ආරක්ෂාව අවුල් ජාලාවක් බවට පත්ව තිබූ අතර රාජ්‍ය නායිකාවගේ දෛනික චර්යාවේ ප්‍රමාදය පැය 08ක් තරම් විය. ආණ්ඩුකරනය විහිළුවක් බවට පත්ව තිබුණි. 2001 බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂයට මුළු කාලයම ගතවූයේ එම අවුලින් රට ගලවා ගැනීමටය. එම පරිශ්‍රමයේදී රට තුළත්, පක්ෂ අභ්‍යන්තරයේත් අපකීර්තියට පත් එම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජයට පත්වී ගෙදර ගියේය.
ඉන් පසු එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදීන් හා විශාල ගනුදෙනුවකින් බලයට පත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව රටට සිදුකළ විශාල හානිය කොතරම්ද යත් වර්ථමාන ආණ්ඩුවේ නිල කාලයේ මුල් වසර කිහිපයම ගතවන්නේ පසුගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවෙන් සිදු වූ විශාල අවුලෙන් රට ගලවා ගැනීමටය.

නමුත් මෙවර තත්ත්වය වෙනම හැඩයක් ගෙන තිබේ. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරි මැදින් දෙකට වෙන්වී ඇති අතර, එක් පාර්ශවයක් එක්සත් ජාතික පක්ෂය හා එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෙර වැරදි පිළිබද ජනතාවගෙන් සමාව ඉල්ලමින් ඒවා නිවැරදි කිරීමට එක්සත් ජාතික පක්ෂය හා අත්වැල් බැදගෙන දිවීමයි. අනෙක් කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිල ලාංඡනයෙන් වෙන්වී නව පක්ෂයක් පිහිටුවාගෙන රටපුරා අවුල් වියවුල් ඇතිකරමින් මීට පෙර ඔවුන් විසින් ඇතිකරන ලද ක්‍රමවේදයන් නිවැරදි කිරීමට එරෙහි වෙමින්, ඔවුන්ද නිවැරදි නොවී බලය ලබාගැනීමේ ව්‍යාපෘතියක නිරත වේ.

මාගේ අදහස නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුගේ අවස්ථාවාදයේ හා ජාතික වාදයේ තීරණාත්මක කඩඉමකට පැමිණ ඇති බවයි. ඔවුන් හරි මැදින් දෙකට වෙන් වී තිබේ. දෙපාර්ශවයේම දේශපාලනය හා පැවැත්ම තීන්දු කරනු ලබන ගාමක බලවේගය බවට එක්සත් ජාතික පක්ෂය පත්ව තිබේ.

මේ අනුව පෙනී යන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් තොරව අනාගත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ එයින් කැඩීගිය බලවේගයට පැවැත්මක් නොමැති බවය. අවසාන වශයෙන් කිව යුත්තේ රෝහණ විජේවීර කීවාක් මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තාර්කික අවසානයකට ළගාවෙමින් පවතින බවයි. ඔවුන්ගේ අවස්ථාවාදයන්, දේශපාලන කුහකත්වයන්, අකාර්යක්ෂම පාලනයන්, අවිද්‍යාවන්, ඔවුන්ට හිමි තැන උරුමකර දෙමින් තිබේ.