Monday, June 26, 2017

දොස්තර සංගමය රට ගැන හිතනවාද ?



රටේ තුනෙන් දෙකේ බලයක් සහිත ස්ථාවර ආණ්ඩුවක් තිබුණද දේශපාලන පෙළගැස්මෙහි ඇති යම් ව්‍යාකූලතාවයන් නිසා ආණ්ඩුව තුළත් ඉන් පිටතත් එක්තරා ආකාරයක අවිනිෂ්චිත බවක් පවතී. එසේ තිබුණද මේ රටේ සියලුම දෙනාත් විශේෂයෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ දේශපාලන කටයුතු වල යෙදෙන මැතිඇමතිවරු හා කාඩර්වරුනුත් විශ්වාස කරනුයේ මෙම යහපාලන ආණ්ඩුව 2020 ජනාධිපතිවරණය තෙක් නිරුපද්‍රිතව පවතින බවයි.

සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඉදිරිපත් කරනු ලබන වැඩපිළිවෙල හා විසදුම නිශ්චිතව පැහැදිලි නැතත් ඔවුන් විසින් ආණ්ඩුව හා රටේ ජනතාව වෙත එල්ල කරනු ලබන පීඩනය රටේ ජනතාවගේ දෛනික කටයුතු වලට සැලකිය යුතු බාධාවක් එල්ල කොට තිබේ.
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල වල අධ්‍යන ක්‍රියාවලියන්ගේ පසුබෑමක් දැකිය හැකිය. එදා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ අරගල වලදී ඔවුන්ට පහසුකම් සැපයූ න්‍යායාත්මක හා භෞතික සම්පත් සැපයු ජනතා විමුක්ති පෙරමුණ අන්තරයේ සයිටම් විරෝධය පදනම් කරගත් උද්ඝෝෂණ හා කඩාකප්පල්කාරී වැඩ සදහා අනුග්‍රහය හා සම්පත් සැපයුවේය. එසේම පෙරටුගාමී පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාවලියට කොන්දේසි විරහිත සහයෝගයක් දක්වන බව පෙනෙන්න තිබේ.

එසේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සයිටම් විරෝධී ස්ථාවරය වෙනුවෙන් ඕනෑම මිලක් ගෙවීමට සූදානම් බව රට ඩෙංගු ව්‍යසනයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් කැදවා දින දෙකක් පවත්වාගෙන යාමෙන් පෙන්නුම් කළේය. මෙම තත්ත්වය යටතේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් වඩාත් බැරැරුම් ලෙස කල්පනා කරන්නට ආණ්ඩුව තීරණය කර තිබේ.

එසේ වුවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අවිචාරශීලී හා තක්කඩි ක්‍රියාකලාපයත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මරිමෝඩ ක්‍රියාකලාපයත් තවදුරටත් ඉවසීමේ හෝ නම්‍යශීලී වීමේ ස්ථාවරයක් ආණ්ඩුවට නොමැති බව පසුගිය දින කිහිපයේ ආණ්ඩුවේ වැඩකටයුතු සිදු වූ ආකාරය විමසීමේදී පෙනී යයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය දශක ගණනාව තුළ ලංකාවේ සිදු වූ අනෙකුත් කිසිදු දේශපාලන අරගලයකට, වෘත්තීය අරගලයකට හෝ වෙනත් ප්‍රගතීශීලී හෝ ජනතාවට ආධාර උපකාරවන වැඩසටහනකට සහයෝගය නොදැක්වූයේය. හැමවිටම එම සංගමය කටයුතු කරන ලද්දේ ලංකාවේ සියලුම වෘත්තීන් ආයතන හා දේශපාලන තත්ත්වයන් නොසලකා හැර වෛද්‍ය වෘත්තිය යනු බුදුවීම තරම් සුවිශේෂ රස්සාවක් යන ආකල්පයෙනි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ රටේ නිදහස් අධ්‍යාපනයට කර ඇති හානිය සුළු පටු නොවේ. ඔවුන්ගේ අත්තනෝමතික තක්කඩි ප්‍රතිපත්තිය නිසා සම සෞඛ්‍ය ශිෂ්‍යයින්ට සායනික පුහුණුව නොලැබෙන අතර වසර හතරක ජාත්‍යන්තරය පිළිගත් උපාධියක් ලබා ගැනීමට ඇති අවස්ථාව අහිමි කොට තිබේ.

එසේම රටේ හෙදියන්ට පිළිගත් උපාධියක් ලබා ගැනීමේ අයිතියද අහිමි කොට ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විරෝධයයි. එමෙන්ම ආයුර්වේද වෛද්‍යවරුන්ට බටහිර වෛද්‍ය විද්‍යාවේ සායනික පුහුණුව හා දැනුම ලැබීමේ අවස්ථාව අහිමි කොට තිබේ. එසේම ඇටෙන්ඩන්වරු සපත්තු දැමීමේ සිට යෝජිත හින්දු ලංකා ආර්ථික ගිවිසුම දක්වා රටේ පවතින මෙකී නොකී සියලුම තත්ත්වයන් සිදුවිය යුත්තේ වෛද්‍ය සංගමයේ අනුමැතියෙන් බව සිතන තරමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උද්දච්ඡ වී තිබේ. ඔවුන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා ආණ්ඩුව කෙසේ වෙතත් මෙරට ජනතාව මහත් පීඩනයකට ලක්වී තිබේ. ජනතාව අතරද වෛද්‍යවරු කෙරෙහි විශාල තරහක් හා වෛරයක් ගොඩනැගෙමින් පවතී. මේ අරුම පුදුම යුගයේ සිදුවන එක් වැදගත් දෙයක් නම් අපි දෙවියන් වැඩ සිටින දේවාල යැයි වැදුම් පිදුම් කළ බොහෝ ස්ථාන ගැරඩි ළගින ගස් බෙන බව හෙළිවෙමින් පැවතීමයි.

මෙම තත්ත්වය යටතේ ඉතාම මෑතකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දුටුවිට තමන්ගේ ඡන්ද කැඩෙති යැයි බයෙන් දේශපාලනඥයෝ හා දේශපාලන පක්ෂ පණ එපා කියා දුවන යුගයක් උදා වේ. එය අත ළගටම පැමිණ තිබේ.

සයිටම් විරෝධය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශකොට තිබේ. විශේෂයෙන් අගමැතිවරයා ඔහුගේ ස්ථාවරය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටත්, රටටත් ප්‍රකාශ කර ඇති අතර කිසිදු හේතුවක් මත සයිටම් විශ්ව විද්‍යාලයට අයත් රෝහල වසා නොදමන අතර එය රජයට පවරා ගනු ඇත. එසේම සයිටම් ආයතනයේ අධ්‍යාපනික තත්ත්වයේ උසස් බවක් හා ප්‍රමිතිය පවත්වාගෙන යාම පිළිබදව ආණ්ඩුව තදින් නියාමනය කරන අතර ඒ සදහා වෛද්‍ය සභාවේ සහයෝගය, දැනුම හා ක්‍රියාත්මක කිරීම අපේක්ෂා කර සිටී.

නමුත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අතකොලු පන්නයේ විරෝධතා ව්‍යාපාර මේ රටේ අධ්‍යාපනයටත් අනෙකුත් විශ්ව විද්‍යාල සිසුන්ටත් සිදුකරනු ලබන හානිය සම්බන්ධයෙන් ආණ්ඩුව බරපතල තීන්දු තීරණ වලට එළැඹෙන බව අගමැතිවරයාත්, මැතිඇමතිවරුනුත් පසුගිය සතියේ ප්‍රකාශ කර සිටියේය. එසේම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට විශාල හානියක් සිදුකරන අතරම එම සංවිධානයට සහයෝගය දක්වනු ලබන ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිලත් විශාල අමාරුවක දමන බව මාගේ හැගීමයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යහපාලන ආණ්ඩුවේ මාස හැටකින් අලුත් රටක් මැතිවරණ ප්‍රකාශනය තුළ ප්‍රධාන පොරොන්දුවයි. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට අගෝස්තු ජනවරමේ ප්‍රධාන කොන්දේසියක් වන්නේ පොරොන්දු වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමයි. එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහයෝගය ලබාදුන්නේ හා පෙනී සිටියේ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය හා එම පිළ වෙනුවෙනි. නමුත් එක්සත් ජාතික පෙරමුණ විසින් එම මැතිවරණයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත්, මහින්ද රාජපක්ෂත්, අන්තරයේ ක්‍රියාකාරීත්වයේ සැබෑ බලවේගවන පෙරටුගාමී පක්ෂයත් පරදවා මාස හැටකින් අලුත් රටත් වැඩසටහන සදහා ජනවරමක් ලබා ගත්තේය. ඒ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමටය. එහිදී එක්සත් ජාතික පෙරමුණට ජනවරම ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෝ වෙනත් පරාජය කරන ලද බලවේගයන්ගේ න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කිරීමට නොව ලැබූ ජනවරමට අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් සිදුකිරීමටය, මේ රටේ සෑම දෙනාගේම අධ්‍යාපන අයිතිය ආරක්ෂා කර දීමටය. අධ්‍යාපනය යනු ජලය මෙන් සුලභ විය යුතු සෑම දෙනාටම ලබා ගත හැකි, ළගා විය හැකි දෙයක් විනා දක්ෂයින්ට, පෝසතුන්ට, උගතුන්ට, අතපය නාහය තිබෙන අයට, සුදු අයට හා නාගරිකයන්ට පමණක් ඇති වරප්‍රසාදයක් නොව, මෙලොව ඉපදුණු සෑම දෙනාටම ඇති වරප්‍රසාදයකි. එයට අභියෝග කළ හැකි කිසිදු වෘත්තිකයෙක් හෝ සංවිධානයක් නැත.

No comments:

Post a Comment