Sunday, June 11, 2017

රනිල් ලිස්සන ගහ මුදුනට ළගාවීම


ආණ්ඩුවේ පැවැත්ම පිළිබද ලිපි ගණනාවක් ලියා තිබුනද ? නැවත නැවතත් මේ ආණ්ඩුවේ ආයුෂ පිළිබද ප්‍රශ්නය මතුවීම, ගෙවෙන හැම දවසකම පාහේ පක්ෂ විපක්ෂ, මිතුරු හතුරු සියලුම දෙනාගෙන් සැකයක් ලෙස මතුවීම නිසාවෙන්ම නැවතත් ඒ පිළිබදව ලියන්නට සිදු වී තිබේ. මූලික වශයෙන් කිව යුත්තේ මේ ආණ්ඩුවේ ආයු කාලය 2020 වනතුරු පවතින අතර ඉන් පසුවද සාර්ථක ජනාධිපතිවරණ ජයකින් පසු තවත් වසර පහක් පහසුවෙන් පවතින බවයි. එම ආණ්ඩුව මෙම ආණ්ඩුවට වඩා එක්සත් ජාතික පක්ෂයේ සංයුතියක් සහිත ආණ්ඩුවක් වීමට බොහෝ ඉඩකඩක් තිබේ.

මහාචාර්ය නලින්ද සිල්වා විසින් ඔහුගේ මුහුණු පොතේ පළකර ඇති වීඩියෝවක කියනා පරිදි මේ ආණ්ඩුවේ ජනවරම ජනාධිපතිවරයා සතු වන්නේ නව ව්‍යවස්ථාවක් වෙනුවෙනි. 2015 ජනවාරි 8 වැනිදා ජනවරම තනිකරම පදනම් වන්නේ විධායක ජනාධිපති ධූරය දින 100 කින් අහෝසිකොට අලුත් ව්‍යවස්ථාවක් සම්මතකොට අ‍ප්‍රේල් 23 වැනිදාට පසු ජනතාවගෙන් අලුත් ජන වරමක් ඉල්ලීමටයි, සැබවින්ම ජනාධිපතිවරයා සතුව ඇති ජනවරම දින 100 කට පසු කල් පිරුණි. එම දින 100 තුළ ජනාධිපතිවරයාට විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම කෙසේ වෙතත් තම පක්ෂයේත් තමන්ගේත් දේශපාලන දැක්මෙන් පිට සිතන්නට තරම් අවකාශයක් එතුමන්ට උදා නොවූ අතර එක්සත් ජාතික පක්ෂය පරදවා ශ්‍රී ලංකා ආණ්ඩුවක් හැදීමේ සිහිනයේ ගිලී සිටි එතුමා ජනතාවගේ ජනවරමට කෝචොක් දමමින් සිටියේය. ඒ වෙනුවෙන් උල්පන්දම් දීමට ඕනෑ තරම් ශ්‍රී ලංකා කාරයින් එතුමා වටා සිටියේය .සතුරන්ගේ සහයෝගයද ඇතිව 19 වැනි සංශෝධනය කඩිමුඩියේ සිදුකරන ලද්දේම මහින්ද නැති ශ්‍රී ලංකා ආණ්ඩුවක් හැදීමට මිස වෙන කිසිවකට නොවේ. නමුත් අවසානයේ සියල්ලෝම එතුමා පාවා දුන් අතර එතුමා නැති ආණ්ඩුවක් මහින්ද යටතේ ගොඩනැගීමට ශ්‍රී ලංකා කාරයෝ සූදානම් විය. එය යථාර්තයක් වීමේ ආසන්නයටම පැමිණි අතර තනියම එතුමාත් එක්සත් ජාතික පක්ෂයත් සිදු කල අසීරු සටනකින් පසු එය රනිල් වික්‍රමසිංහට ජය ගැනීමට හැකි විය. සැබවින්ම 2015 අගෝස්තු වනවිට එවකට ජනවරම හිමි ජනාධිපතිතුමන් විසින් එක්සත් ජාතික පක්ෂය ඉතා අසීරු අඩියකට තල්ලු කර තිබු අතර ආසන 45 ක් පමණක් තිබු එක්සත් ජාතික පක්ෂයත් ඉතාම අසරණ තත්ත්වයකට පත්ව තිබුණි.

අදද මේ මොහොතේද ආණ්ඩුවේ රැකියා දිය හැකි, සියලුම පක්ෂයකට වාසි ලැබිය හැකි, දේශපාලන යාන්ත්‍රණයක් වෙනුවෙන් යොදාගත හැකි ආයතන අමාත්‍යංශ  සතුව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිතුමාගේ පිලේය. නමුත් අගෝස්තු 17 වන දින ජනාධිපතිතුමාගේ ජනවරම වෙනුවට එක්සත් ජාතික පක්ෂයට අලුත් ජනවරමක් ලැබුණි. ඒ මාස 60 කින් අලුත් රටක් වැඩපිළි‍වලටය. එහි මූලික අවදානය ඇත්තේ ආර්ථික කරණා හා දේශපාලන මෙන්ම  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙරෙහිය. මේ මොහොතේ අගමැතිවරයා කටයුතු කරමින් සිටිනුයේ එම ජනවරමට අනුවය. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට ජනවරමක් නැති අතර ඒ වෙනුවෙන් ජනවරම සතු වන්නේ ජනාධිපතිතුමන්ටය. ඒ වෙනුවෙන් දැන් වුවද අවංක උත්සහයක් දැරිය හැකි වේ. එසේ නොවුනහොත් එක්සත් ජාතික පක්ෂයට නැවත ජනාධිපතිවරණයකට යාමට සිදුවන අතර ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෙනුවෙන්ද එදාට ජනවරමක් ඉල්ලීමට සිදුවනු ඇත. චන්ද්‍රිකා, මහින්ද මෙන්ම වර්තමාන ජනධිපතිතුමාද ව්‍යවස්ථාව වෙනුවෙන් ලැබූ ජනවරමට පයින් ගසා තිබේ. එක්සත් ජාතික පක්ෂය හැදු ව්‍යවස්ථාව ඉවත් කිරීමට මේ රටේ ජනතාව ශ්‍රී ලංකා කාරයින් වන ජනාධිපතිවරු තිදෙනෙකුට වසර 23 ක් තිස්සේ බලය ලබා දී තිබුනද ඔවුන් එය පැහැර හැර තිබේ. එසේ නම් 2020 දී එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙක් යටතේ ඉන් ගැලවීමට මේ රටේ ජනතාවට  සිදුවනු ඇත.

එසේනම් මේ මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ ජනාධිපතිතුමාට රටට බලපෑම් කළ හැකි මට්ටමේ ජනවරමක් හෝ බලයක් රට තුල නොමැත. මන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ ජනතාව විසින් පරාජයට පත් කරන ලද අතර මහින්ද රාජපක්ෂ කණ්ඩායම නියෝජනය කරනුයේ එම පරාජිත ශ්‍රී ලංකා කාරයෝය. අනෙක් ශ්‍රී ලංකා කාරයෝ ජනාධිපතිතුමා ලග රස්සාවට පැමිණි දේශපාලකයෝය. ඔවුන්ට අද අත් වී ඇති ඉරණම දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටිනා ශ්‍රී ලංකා කාරයින්ගේ ඉරණමය. එකම දේ ඔවුන්ට වැඩිපුර වසර පහක් ආණ්ඩුවක වරප්‍රසාද බුක්ති විදින්නට ලැබීමය. එයත් ලොවෙත් නැති නින්දා අපහාස  තමුන්ගේ පාක්ෂිකයින්ගෙන් විදිමින්ය. ඔවුන් ලග රැදී සිටිනා බොහෝ දෙනා ලොවෙත් නැති කපටි ශ්‍රී ලංකා කාරයින්ය. ඔවුන්ගෙන් ලණු මිස ලුණු නම් කිසිම දිනක මැති ඇමතිවරුන්ට ලබාගත නොහැකි වනු ඇත. එබැවින් මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම කෙසේවත් කල නොහැකි අතර, කලද තම පක්ෂයේවත් සියලුම පාර්ලිමේන්තු සාමාජිකයන්ගේවත් සහයෝගය ලබා ගැනීමට නොහැකි වනු ඇත.

මෙම තත්ත්වය තුළ 2020 දී අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයකට යාමට රටට සිදුවන අතර, එහිදී එක්සත් ජාතික පක්ෂයෙන් වත්මන් අගමැතිවරයා ඉදිරිපත් වනු ඇත. ද්‍රවිඩ ජන කොටස් දෙවර්ගයේම හා මුස්ලිම් ජනතාවගේ විශ්වාසය දිනාගත් නායකයා වනුයේ වත්මන් අගමැතිතුමාය. එය දශක ගණනක සිට ඔහු උපයාගත් දේශපාලනයයි. එසේම සිංහල කතෝලික ජනතාව මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂය හා අත්වැල් බැද ගෙන තිබේ. එසේනම් සිංහල ඡන්ද වල 40% පමණ එක්සත් ජාතික පක්ෂයේ පාරම්පරික ඡන්දය. කවුරුන් කෙසේ කීවද පාවෙන ජන්ද ප්‍රතිශතය ලොව පුරා සියලුම සමාජ වල 30% කට වඩා අඩුය. මෙම තත්ත්වය යටතේ එක්සත් ජාතික පක්ෂයේ සාම්ප්‍රදායික බලකොටු පවත්වාගෙන යාමෙන් වුවද ජනාධිපතිවරණයක් ජය ගත හැකිය. නමුත් ඒ වෙනුවෙන්ද පක්ෂ අභ්‍යන්තරයේ විශාල වැඩ කොටසක් කලයුතු අතර, පාක්ෂිකයා ඡන්දපොළට ගෙන යාමට හැකි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කල යුතුය.

මේ මොහොතේ පසුගිය රජය විසින් සිදුකරනු ලැබූ අකටයුතුකම් වල නොයෙදීම ජනවරමට අනුව කටයුතු කිරීමද මේ ආණ්ඩුවේත්, එක්සත් ජාතික පක්ෂයේත් අනිවාර්ය කොන්දේසියකි.

No comments:

Post a Comment