Sunday, May 21, 2017

කැබිනට් සංශෝධනය නොහොත් ජනතාව මත මුට්ට පැටවීම



පසුගිය සති කිහිපය තුළ ලංකාවේ ජනතාව මුහුණදුන් අනේකවිද දුක්ඛ දෝමනස්සයන් අතර විරැකියාව, කුසගින්න, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රශ්න හා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඇතුළු මෙකී නොකී සකලවිද කරුමයන් විය. මෙම දහසකුත් කරුමයන් මැද උදෑසන අවදිවන ශ්‍රී ලාංකික ජනතාවට මදි නොකියන්නට රටේ සියළුම මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍ය විසින් අපරාධ, ස්ත්‍රී දූෂණ, වංචා, සියදිවි නසාගැනීම්, වැනි ලොවෙත් නැති අශුභ ආරංචි උදෑසන හයේ සිට ගෙදර ආලින්දයටම ගෙන එයි. එසේම මේ රටේ ජනතාව මත පසුගිය සති කිහිපය තුළ රටේ සාම්ප්‍රදායික මාධ්‍ය හා දේශපාලන බලධාරීන් විසින් පටවන ලද අනෙකුත් ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ කැබිනට් සංශෝධනයයි. කොරේ පිටට මරේ යැයි කියමින් සකලවිධ ප්‍රශ්නවලින් පීඩිත ජනතාවට සති කිහිපයක් තිස්සේ කැබිනට් සංශෝධනය නැමති ඉමක් කොනක් නොපෙනෙන නූල්බෝලයද පටවා තිබුණි.

බස්රියේ, දුම්රියේ, වැඩබිමේ, පාසලේ, විශ්ව විද්‍යාලයේ, මෙකී නොකී සෑම තැනකම මිනිසුන් තුන් හතරදෙනෙක් එකතුවුවහොත් රටේ කැබිනට් සංශෝධනය ගැන අඩුම තරමින් වචනයක් දෙකක් තෙපලන්නට අමතක නොකරයි. මෙරට සාම්ප්‍රදායික ජනමාධ්‍යද විටින් විට මෙම කැබිනට් සංශෝධනය නැමති නූල්බෝලය තව තවත් පටලවමින් මේ රටේ ජනතාව මත අතඅරී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලඥයෝද ඉමක් කොනක් දිගක් පළලක් නොදැන සාම්ප්‍රදායික මාධ්‍යවලට ප්‍රකාශ නිකුත්කරයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු කැබිනට් සංශෝධනය මත අනාවැකි පලකොට ඔවුන් රටේ විහිළුකාරයන් බවට පත්ව තිබේ.

නමුත් රටේ ජනතාවටනම් මෙය ඇස් රතුවන විහිළුවක් බවට පත්වී ඇත. එනම් ගොසිප්කාරයින්ගේ කැබිනට් සංශෝධනය සදහා වූ දින වකවානු යෝජනා කිරීමෙන් රටේ රාජ්‍ය ආයතන අමාත්‍යංශ හා නිලධාරීන් දෙගිඩියාවට මෙන්ම අකාර්යක්ෂමතාවයට පත්ව තිබේ. රටේ දෛනික වැඩකටයුතු සැලකියයුතු ප්‍රමාණයකින් අඩාලවී ඇති අතර සියළුම දෙනා රටේ කැබිනට් සංශෝධනය සිදුවන තුරු වැඩ නවතා දෑස් අයා බලාසිටී. එය එක් අකාරයකින් උන්මාදයක් වන අතර අනෙක් අතින් විකාරයකි.

මෙම සහයෝගීතා ආණ්ඩුව බලයට පත්වූයේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ මේ රටේ බහුජන බලවේග පසුගිය රෙජීමයට විරුද්ධව සිදුකරන ලද අසංවිධිත දේශපාලන ව්‍යාපාරයක් නිසාය. මේ රටේ ලක්ෂ හැටදෙකක බහුතර ජනතාවක් මෛත්‍රීපාල ජනාධිපතිවරයාට එක්සත් ජාතික පක්ෂය හා රාජ්‍ය පාලනයේ යෙදීමට ජනවරමක් ලබාදුනි. එම ජනවරමට අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ ගෞරවයට හා ආදරයට ලක්විය යුතුය. නමුත් එම ආදරය හා ගෞරවය දිනාගැනීමට ජනාධිපතිවරයා සමත්වූවාදැයි සැකසහිතය. මන්දයත් ඔහු එක්සත් ජාතික පක්ෂයේ සාම්ප්‍රධායික සතුරා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාද, ස්වාමියාද, ජනාධිපතිවරයාද වන බැවිනි. ආණ්ඩුව තුල එකට වාඩිගත්විට UNP කාරයාට ශ්‍රී ලංකා කාරයා දේශපාලන සතුරෙකි. මෙවන් තත්ත්වයක් තුල ජනාධිපතිවරයා තවදුරටත් ජනවරමේ හිමිකාරයා නොවන අතර ඔහු පරාජිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාය. එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ සීමාන්තික සතුරාය. ආකල්පමය වශයෙන් ගත්විට එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පසමිතුරන් වන අතර එකම ආණ්ඩුවක සිටියත් මෙම ප්‍රධාන පක්ෂ දෙක තුල පසමිතුරුකම් එමටය. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වූ දින එක්සත් ජාතික පාක්ෂිකයින් ඔහුව අතහැර ගියෝය. ඒ නිකම්ම නොව ජනවරමද රැගෙනය. අද ජනවරම ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සතුවයි. නමුත් ව්‍යවස්ථාවේ බලය ඇත්තේ ජනාධිපතිවරයා සතුවයි.

එබැවින් ව්‍යවස්ථාපිත බලය හා ජනවරම අතර ඇති දුරස්ථබාවය යහපාලන ආණ්ඩුවේ හිතවතුන් අතර විචිකිච්චාවක් ඇතිකිරීමට සමත්වී තිබේ. ප්‍රතිගාමී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකියින් අතර ජනාධිපතිතුමා සිරවී, මිරිකී සිටින අතරම මහින්දවාදී මෙරට සාම්ප්‍රදායික මාධ්‍ය ජනාධිපතිතුමා අල්ලා ප්‍රසිද්ධියේ විනාශකොට දැමීමට කැසකවමින් සිටී. මෙම මාරක උගුල් සියල්ලන්ගෙන්ම ගැලවී ආණ්ඩුවේ සාමය පවත්වාගනිමින්, අවශ්‍ය වෙනස්කම්ද සිදුකරමින් ආණ්ඩුව පවත්වාගෙනයාම ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් දැලිපිහියෙන් කිරිකනවා වැනි භයානක සහ අවධානම්සහගත වැඩකි.

බොහෝවිට අද හෝ හෙට, මෙතෙක් කල් මේ රටේ ජනතාව වැඩ නවතා දැඩි පීඩනයකින් යුතුව බලාසිටි, තමන් මත බලෙන් පටවන ලද කැබිනට් සංශෝධනය සිදුවනු ඇත. එහිදී ඇතිකරනු ලබන වෙනස්කම් රටේ අනාගත ශුභසිද්ධිය පතා සිදුකරන ලද වෙනස්කම් ලෙස ජනතාවට දැනේවායි පතමි. එසේ නොවී එමගින් ජනතාව රැවටීමට හෝ ආණ්ඩුවේ අභ්‍යන්තර බල අරගලය සපුරාගැනීමට සිදුකරන ලද්දක්නම් එම හානිය හා ගිලිහීයන අවස්ථාව තවත් වසර සියගණනක් මේ රටේ ජනතාව සාකච්ඡාකරනවා නියතය.

මෙවන් තත්ත්වයක් තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිගාමී බලවේග හා එක්සත් ජාතික පක්ෂය තම කණ්ඩායම සමග රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා රටේ එදිනෙදා පැවැත්ම පවත්වාගෙන යාමටත්, යොජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටත්, එසේම ආණ්ඩුවේ බලතුලනය කාටත් හානියක් නොවන පරිදි පවත්වාගෙනයාමටත් දරන උත්සහය ප්‍රශංසනීයය.

ඒකාබද්ධ විපක්ෂයේ සියළුමදෙනා ඔවුන්ට ඇති නඩුහබවලින් ගැලවීමට එක්සත් ජාතික පක්ෂයේ පිළිසරණ පතන අතර අනෙක් අතින් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයෙන්, එහි සාමාජිකත්වයෙන් හා කාඩරයෙන් එල්ලවන පීඩනය අතිමහත් බව මාගේ හැගීමයි. මෙම සියළු තත්ත්වයන් යටතේ ආණ්ඩුවේ පැවැත්ම හා සාමය තීරණයකිරීම උදෙසා අගමැතිවරයා හා ජනාධිපතිවරයා එකමුතුව හැකි ඉක්මනින් කැබිනට් සංශෝධනය සිදුකරනු ඇතිබව මාගේ හැගීමයි. එය නොකර සිටිය හැකි සීමාව පහුවී බොහෝ දුර ගොස් තිබේ. එමනිසා අගමැතිවරයාටත් ජනධිපතිවරයාටත් අනිවාර්ය කැබිනට් සංශෝධනයකට යාමට සිදුව තිබේ.

මේ ආණ්ඩුව ඉගෙනගතයුතු එක් පාඩමක් තිබේ. මෙම ආණ්ඩුවේ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, ඇමතිවරුත් ඇතුලු සියළුම දෙනාට පැවැත්මක් ඇත්තේ ඔවුන් ජනවරමට අනුව කටයුතු කරමින් එකමුතුව සිටිනතාක් පමණි.

විශේෂයෙන් මෙම ආණ්ඩුවේ දුර්වලම පාර්ශවය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිලයි. මන්ද ඔවුන්ට ඡන්දය දුන් ජනතාවගෙන් 70% ටත් වඩා සිටිනුයේ ඔවුන්ට විරුද්ධ මහින්ද රාජපක්ෂ පිලේය. ජනාධිපතිවරයාට පැවැත්මක් හා බලයක් පවත්වාගත හැක්කේ තවදුරටත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජනවරමට අදාල කණ්ඩායම් සමග හොදින් ගණුදෙණු කළහොත්ය. එසේම ජනවාරි 08 වෙනිදා බලවේගවලින් කිසිදු ප්‍රතිගාමියෙකුට අවස්ථාවක් නොලැබෙන බව මතකයේ තබාගැනීම වැදගත්ය.

1 comment: