Sunday, May 7, 2017

පාදෙණිය දොස්තර හාමුගේ පොදු අපේක්ෂක සිහිනය


ශ්‍රී ලංකාවේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු ඔවුන් විසින් ප්‍රකාශ කරන පරිදිම බලවත්, ප්‍රබල ඕනෑම කෙනෙකුට පාඩම් ඉගැන්විය හැකි සංවිධානයකි. ඔවුන් කොයිතරම් ප්‍රබලදැයි කිහිපවිටක්ම වර්තමාන ආණ්ඩුවට ඉගැන්වීමට උත්සහ කොට තිබේ. එනම් ඔවුන් සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් පිට බොහෝ දේශපාලනික, සමාජයීය හා ආර්ථික කාරණාවලට අතපොවා තිබේ. විටෙක ඔවුන් ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට විරුද්ධය. තවත් විටෙක සම සෞඛ්‍ය අධ්‍යාපනයට විරුද්ධය, ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සායනික පුහුණුවට විරුද්ධය, හෙද හෙදියන්ගේ නිල ඇදුමට විරුද්ධය, ඇටෙන්ඩන්වරුන්ගේ සපත්තුවට විරුද්ධය, ගුරු ගුරු සේවයේ පිහිටුවීමට විරුද්ධය, එක්ටා ගිවිසුමට, මැතිවරණ ක්‍රමය, ආර්ථික ප්‍රතිසංස්කරණ, ස්ත්‍රීභාවය පදනම් කරගත් ආරවුල්, සිගරට් කොම්පැණියේ ක්‍රියාකාරීත්වය, අරක්කු කොම්පැණියේ ලාභ ලැබීම හා ආණ්ඩුවේ සියලු කටයුතු ඔවුන්ගේ විෂය පථයට යටයි යැයි ඔවුන් සිතයි. මේ රටතුළ ඒ සියල්ල සිදුවිය යුත්තේ ඔවුන් හිතන පතන ආකාරයට බව ඔවුන් කල්පනා කරයි. එය එක්තරා ආකාරයක විකාරයක් බව මාගේ හැගීමයි. ලෝකයේ කිසිම රටක හෝ කිසිම සමාජයක වෛද්‍ය වෘත්තියේ පුහුණුව ලැබුවෙකු රැකියාවේ අනාරක්ෂිතභාවයකින් පෙළෙන්නේ නැත. මන්ද මේ මොහොතේත් ලෝකයේ සියලුම සමාජයන් වලට හැකියාව ලැබී ඇත්තේ තම අවශ්‍යතාවයට වඩා බොහෝ අඩුවෙන් වෛද්‍යවරුන් පුහුණු කිරීමටය. වෛද්‍යවරයෙකු පුහුණු කිරීම යනු ඉතා අපහසු කාර්යයක් බව සත්‍යයකි. නමුත් එය රොකට් තාක්ෂණය තරම් අමාරු නැත. නිර්වාණය තරම් අවබෝධ කරගැනීමට අපහසු නැත. එම නිසා විධිමත් වෛද්‍ය අධ්‍යාපනය ඕනෑම කෙනෙකුට ලබාගත හැකි දැනුමක් බව මාගේ විශ්වාසයයි. නමුත් එක් සත්‍යයක් වන්නේ ලෝකයේ ඕනෑම රටක, ඕනෑම සමාජයක වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට, ඇතුළත් වීමට දැඩි තරගකාරීත්වයක් ඇති අතර විශාල මුදලක්ද වැය කිරීමට සිදුවේ. මෙවැනි තත්ත්වයක් තුළ වෛද්‍ය වෘත්තියේ ඇති අත්‍යවශ්‍ය බව නිසා ඕනෑම සමාජයකට හෝ මිනිසුන්ට බලපෑම් කිරීමේ විශාල හැකියාවක් වෛද්‍යවරුන් සතුව ඇත. නමුත් වෛද්‍යවරුන් යනු සියල්ලම නිවැරදිව සිදුකරනු ලබන රහතන්වහන්සේලා නොවන බැවින් ඔවුන්ගෙන් සමාජයට හෝ රෝගීන්ට හානියක් නොවනු පිණිස ආචාරධර්ම කියා දෙයක් ගොඩනගා තිබේ. එමෙන්ම ඔවුන් රටක පවතින නීතියට හා සම්ප්‍රදායන්ට යටත්ය. ඔවුන් සුවිශේෂි පුරවැසියන් නොවේ. ලෝකයේ සියලුම වෛද්‍යවරුන් එම ආචාරධර්ම වලට යටත්වන අතර, ලංකාවේ වෛද්‍ය නිලධාරී සංගමය එසේ නොවේ යැයි ඔවුන් සිතයි. ඔවුන් සිතාමතාම සමාජ විරෝධී ශිෂ්ඨ ලෝකයේ කිසිවෙකුත් පිළිනොගන්නා ක්‍රමවේදයක් මත එම සංවිධානයේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යයි. ඔවුන් ලංකාවේ සුරක්ෂිතම වෘත්තිකයෝ වුවත් ඔවුන් විසින් ලංකාවේ අනෙකුත් සියලුම අංශ හිතාමතාම අනතුරේ හෙලයි. මෙම තත්ත්වය යටතේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත්, එහි සභාපති දොස්තර පාදෙණිය මහතාගේ ක්‍රියාකාරීත්වයත් විමසා බැලිය යුතුය.

දැනට මාස ගණනාවකට පෙර වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලහත්කාරයෙන් පාසල්වලට ළමයි ඇතුළත් කිරීම අරඹයා විශාල අරගලයක් අධ්‍යාපන ඇමතිවරයා සහ එම අමාත්‍යාංශය සමග ඇතිකරගත්තේය. එහිදී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කෙරෙහි රටතුළ විශාල විරෝධයක් ඇති කිරීමට හේතුවන පරිදි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් එම ගැටලුව කළමණාකරනය කළේය. GMOA සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකයින් විසින් එම මොහොතේදී ඔවුන්ට උවමනා පරිදි ජනප්‍රිය පාසල් වලට ළමයි ඇතුළත් නොකරන්නේ නම් අඛණ්ඩ වැඩවර්ජනයකට ගොස් රටම අඩාල කරන බවට තර්ජනය කළේය. එසේම ඔවුන් ලංකාවේ සුවිශේෂිත වරප්‍රසාද සහිත වෘත්තිකයින් පිරිසක් බව පුනපුනා ප්‍රකාශ කළ අතර ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට දැඩි පීඩනයක් හා තර්ජනයක් එල්ල කළේය. නමුත් තරුණ ඇමතිවරයෙකු හැටියට ඔහු එම ගැටලුවට සාර්ථකව මුහුණදුන් අතර GMOA එකට දැවැන්ත ප්‍රහාරයක්ද එල්ල කළේය. සැබවින්ම වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකාරීත්වයේ ඇති පසුගාමී තත්ත්වය ලංකාවට ප්‍රථමයෙන්ම හෙළි කරදුන්නේ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් බව මාගේ හැගීමයි. සැබවින්ම ඔවුන් පාඩමක් ඉගෙනගත්තා කිවහොත් නිවැරදිය. ආණ්ඩුවේ කටයුතු වලට අකුල් හෙලමින්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහි වෙමින් රටතුළ ඇතිකිරීමට ගිය විශාල කලබලයක් අධ්‍යාපන අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් එදා විසදා ගැනීමට හැකිවිය.

එම මොහොතේද එම වෘත්තීය අරගලය තුළ  සැකකළ හැකි දේශපාලන කුණු ගොඩක් තිබුණි. සිතාමතා සැලසුම් කර තිබූ ප්‍රතිගාමී දේශපාලන වැඩපිළිවෙලක් තිබුණි. නමුත් එදා දොස්තර පාදෙණිය සමාජයට හෙළි නොවූ අතර වෛද්‍ය සංගමය අංශක 360 ක් ආපස්සට කරකවා එම උද්ඝෝෂණයෙන් ඉවත් විය.

ඉන්පසු කාලය තුළද විටින් විට වෛද්‍ය සංගමය විශාල දේශපාලන මැදිහත් වීමක් සිදුකරන බව පෙනෙන්ට තිබුණි. ඔවුන් දිගින් දිගටම ඔවුන්ට අදාළ නොවන දේශපාලන කාරණා ගෙන ඒමෙන් රජයේ කටයුතු වලට බාධා කරනු ලැබීය.

මෙවරද සයිටම් ප්‍රශ්නය කේන්ද්‍ර කොට ගනිමින් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් කැදවා රටේ සාම්ප්‍රදායික මාධ්‍ය භාවිතාකොට ආණ්ඩුවට දිගින් දිගටම තර්ජනය කළේය. එම වර්ජනයද මුලුමනින්ම අසාර්ථක වූ අතර විශාල සමාජ විරෝධයක් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එල්ල විය.

තත්ත්වය එසේ තිබියදී වුවද වෛද්‍ය පාදෙණිය ඉතාම දේශපාලනිකව හැසිරෙමින් ඔහුගේ රූකඩ නිලධාරීන් මාධ්‍ය ඉදිරියට යමින් ඔහු ඇග බේරා ගැනීමේ න්‍යාය පත්‍රයක නියැලෙන බවක් දැකිය හැකිය. මාගේ තක්සේරුව නම් මහින්ද රාජපක්ෂට ජනාධිපති ධූරයකට තරග කළ නොහැකි තත්ත්වයක් තුළ ඝෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීම ප්‍රතික්ෂේප කරද්දී ඔවුන්ගෙන් හිස්වන ඒකාබද්ධ විපක්ෂයේ විස්සයි විස්සේ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක ධූරය සදහා දොස්තර පාදෙණිය ඉව අල්ලන බවයි. රටේ සෑම ප්‍රදේශයකම, සෑම ජනකොටසක්ම නියෝජනය වන පරිදි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් සිටිනා බැවින් වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට විස්සයි විස්සේ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක සිහිනය සාර්ථකව ඉටුකරගත හැකි බව මාගේ තක්සේරුවයි. ඒ සදහා සුභ පැතීමටද කැමැත්තෙමි.

No comments:

Post a Comment