Monday, December 12, 2016

" මග සිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී. "



යහපාලන ආණ්ඩුව බලයට පත් වී වසර දෙකකට ආසන්නය. මෙරට සිවිල් බුද්ධිමතුන් හුදෙකලා සිවිල් සංවිධාන, මුස්ලිම් හා ද්‍රවිඩ ජනතාව මෙන්ම එක්සත් ජාතික පක්ෂය විසින් ගොඩනගන ලද අසංවිධිත දේශපාලන ව්‍යාපාරයක් මගින් මෙම වර්තමාන ආණ්ඩුව ගොඩ නැගිණි.

ලෝකයේ අසංවිධිත දේශපාලන ව්‍යාපාරයකින් මෑත කාලයේදී බලය ලබාගත් බොහෝ රටවල් බිද වැටුණි, අර්බුද ඇතිවුණි, අවුලින් අවුලට ගියේය. එවැනි රටක් අභාග්‍යසම්පන්න ඉරණමකට ලක්වීමට මාස 6 කට වඩා ගත නොවුණි. ඒ සදහා උදාහරණ බොහෝය. ඊජිප්තුව, ලිබියාව, ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ඉරානය ආදිය වේ. නමුත් ලංකාවේ වසර 2 කට පසුත් තුනෙන් දෙකක බලයක් සහිත, නීතියේ ආධිපත්‍ය ස්ථාපිත, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත වූ ස්ථාවර රටක් බැලු බැල්මට දැක ගත හැකිය.

නමුත් එම ස්ථාවර බව ඇතුළත විශාල තාක්ෂණික දුර්වලතාවයන් දැකගත හැකිය. විශේෂයෙන් යහපාලන රජයේ ගමන් මගේ ගමන් කරන්නෝ, මෙම රජය බලයට ගෙන ඒමට දිවි පරදුවට තැබු යහපාලනවාදීන්ම පමණක් නොවෙති. ප්‍රේම කීර්ති ද අල්විස්ගේ කුප්‍රකට පීටර්ගේ කවිය මෙන් ජනවාරි 8 න් පසු මෙම යහපාලන මගට හොරුන්, මංකොල්ලකරුවන්, ෆැසිස්ට්වාදීන්, කපටීන්, මෝඩයින්, පිස්සන් හා සතුරන්ද එකතු විය. එබැවින් යහපාලන මාවත අපේක්ෂා කළ තරම් සැප පහසු ආරක්ෂිත මාර්ගයක් බවට පත් නොවුණි.

අසංවිධිත දේශපාලන ව්‍යාපාරයකින් බලයට පත්වු විට බලාපොරොත්තු විය හැකි එක් තත්ත්වයක් වන්නේ එයයි. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි දේශපාලන සහභාගීත්වය ඉහළ සමාජයක් තුළ මෙවැනි රජයක් සිදු කරනු ලබන විපරීත දේශපාලන තාක්ෂණික දුර්වලතා එම සමාජයේ ජනතාව අසහනයට පත් කිරීමට ඉඩකඩ තිබේ. අඩු වැඩි වශයෙන් අද සිදුවෙමින් පවතින්නේ එයයි.

අගමැතිතුමා දිගින් දිගටම ශ්‍රී ලාංකීය සමාජය තුළ ස්ථාපිත කිරීමට අදහස් කරනු ලබන මූලෝපායික අධිපතිවාදී මතය වන්නේ, ඔහුත් ඔහුගේ කණ්ඩායමත් මේ රටේ ආර්ථිකය ස්ථාවර කොට සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍ය සුරක්ෂිතකොට සැමදෙනාටම සාමයෙන් හා සතුටින් ජීවත් විය හැකි සමාජයක් ගොඩ නැගීමට ඔහු කැපවී සිටින බවයි. ඒ සදහා ඔහුගේ අවංක කැපවීමක් ඇති බව පෙනී යන අතර ඔහු විසින් විද්‍යාත්මක ක්‍රමවේද මත පදනම් වූ ආර්ථික, අධ්‍යාපන හා සමාජ ප්‍රතිසංස්කරණ යෝජනා කරමින් ක්‍රියාත්මක කරමින් සිටී.

එතුළින් එතුමාගේ පුළුල් පොදු වැඩපිළිවෙල මගින් ප්‍රතිලාභ ලැබෙන්නේ මුලු රටටම හා සියලුම ජන කොටස් වලටයි. ඒ සදහා කෙටි කාලීන ප්‍රතිඵල මෙන්ම කල්ගත වන දිගුකාලීන ප්‍රතිඵලද ලැබේ. නමුත් එක්සත් ජාතික පක්ෂය, එහි සාමාජිකයින්, නායකයින් හා කේඩරයින් තුළ විශාල අසහනයක් හා පීඩනයක් පසුගිය දෙවසර තුළ වර්ධනය වෙමින් තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ආණ්ඩුව විවේචනය කරන වැඩි පිරිස වන්නේ අරටු බැහැපු යු. එන්. පී කාරයෝය. එය හරියට තාත්තාගේ නොසැලකීම නිසා දොස්පවරණ දරුවන්ගේ ප්‍රතික්‍රියාව වැනිය. අප ගම්වල පවුල්වල මෙවැනි තත්ත්වයන් තිබෙන ඉස්කෝල මහත්වරුන්ගේත්, සමාජ සේවකයින්ගේත් පවුල් දැක තිබේ. මෙය ප්‍රබල තාක්ෂණික දුර්වලතාවයක් ලෙසද මට පෙනේ.

මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත්  ඔවුන් පක්ෂයට පිටු නොපෑවත් ඡන්ද පොළට නොයා සිටීමට ඉඩකඩ ඇති විය හැකිය. නමුත් යහපාලන රජයේ අගමැතිධූරය හැර ආණ්ඩුවේ මුලු බලයෙන් 50 % කටත් වඩා අඩු ප්‍රමාණයක් පමණි එක්සත් ජාතික පක්ෂය සතුව ඇත්තේ. එසේම ආණ්ඩුවේ දේශපාලන තනතුරු දරන්නන්, නිලධාරීන් හා ඇමතිවරුන් වැඩි බහුතරයක් ජනවාරි 8 වනදාට පෙර මෙරට තිබු අසීලාචාර රෙජීමය පවත්වාගෙන යාමට දර දිය ඇද්දෝ වෙති. මෙම තාක්ෂණික යථාර්තය එක්සත් ජාතික පාක්ෂිකයින්ට අවබෝධ කර ගැනීමේ අපහසුබවක්ද දැක ගත හැකි අතර එය ඔවුන් අවබෝධ කර ගත යුත්තකි.

එක්සත් ජාතික පක්ෂය ලෙස එහි කේඩරයින් මෙම රජය බලයට පත්කලත් රාජ්‍ය පාලන ක්‍රියාවලිය හා  ආණ්ඩුවේ කටයුතු සිදුවෙමින් තිබෙන්නේ පක්ෂයට පරිබාහිර කණ්ඩායමක් අතිනි. ආණ්ඩුවේ කටයුතු සදහා එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුත්, දේශපාලන නිලධාරීනුත් සම්බන්ධ වී ඇත්නම් එය ඉතාම සුළු ප්‍රමාණයකි. එනම් එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදායික සතුරා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක් දැන් රටේ සිටී. ඇමතිවරු බහුතරයක්ද එසේමය. රජයේ නිලධාරීන් වැඩි බහුතරයක් පසුගිය රෙජීමයෙන් වාසි ලැබූ එම රෙජීමය පවත්වාගෙන යාමට දර දිය ඇදි පිරිසකි. ඔවුන්ද එක්සත් ජාතික පක්ෂයට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපිළටම පක්ෂපාතී වූවෝ වෙති.

මෙවැනි තත්ත්වයක් තුළ අගමැතිවරයා පත්වී තිබෙන්නේ " මග සිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී " වැනි තත්ත්වයකටය. එක අතකින් එතුමා විසින් මෙම විපරිත තත්ත්වය තුළත් ජනතාවට පොරොන්දු වූ යහපාලනය උදා කර දිය යුතුය. එහි වගකීම එතුමා කරපිට වැටී තිබේ. අනෙක් අතින් මේ රට මුහුණ දෙමින් තිබෙන සකල විද ආර්ථික ව්‍යාදීන්ගෙන් රට මුදවා ගත යුතුය. එසේම පක්ෂය පැත්තෙන් එතුමාට එල්ල වන දැඩි පීඩනය සමනය කර ගනිමින් පක්ෂය එක පොදියක ඇද බැද තබා ගත යුතුය. වැදගත් සීලාචාර නායකයෙක් ලෙස එතුමාට මේ සියලුම කාරණා සාක්ෂාත් කර ගැනීම සදහා තෝරාගත යුතු මූලෝපායන් හා උපක්‍රමයන් වන්නේ, ලොව සම්මත විද්‍යාත්මක ක්‍රමවේදයන්ය. පසුගිය රජය කලාක්මෙන් නීති විරෝධී, අවිද්‍යාත්මක ක්‍රමවේද පිළිබද එතුමාගේ විශ්වාසයක් නැත. මුදල් මලු විසි කරමින් බලය පවත්වා ගැනීමේ හැකියාවක්ද, අභිමතයක්ද එතුමාට බැලු බැල්මට නැත.

එබැවින් රටක් හැටියට මේ මොහොතේ මුහුණ දෙමින් තිබෙන බරපතල ආර්ථික, සමාජ, දේශපාලන බිද වැටීම් සමනය කොට ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කොට සුවපත් වු රටක් ගොඩනැගීම සදහා යහපාලන ආණ්ඩුවට ලබා දුන් ජනවරම අවසන් වනතුරු ඉවසා සිටීමට අප සමාජයට සීලාචාර බවක් තිබිය යුතුය. ලෝකයේ මෑත කාලයේ නැගී සිටි සෑම රාජ්‍යයක්ම එම නැගී සිටීම නිර්මාණය කළ නායකයා පක්ෂය හෝ නායකත්ව මණ්ඩලය කෙරෙහි එම සමාජයන්හී දැඩි ඉවසීමක් තිබුණි. උදාහරණ ලෙස මැලේසියාව, කොරියාව, සිංගප්පූරුව වැනි රටවල් ගත හැකිය.


මේ සියලු ප්‍රතිසංස්කරණ සිදු කළ යුත්තේ ලැබුණු ජනවරම හා දැනට ආණ්ඩුව හා අගමැතිවරයා සතු බලයේ ප්‍රමාණයට සාපේක්ෂවය. ඒ කෙසේ වෙතත් ආණ්ඩුවේ පැවැත්මට අභියෝගයක් පෙනෙන තෙක් මානයක නැත.

2 comments:

  1. මේ දේශපාලන ක්‍රීඩාව බලාසිටි අයෙකු ලෙස මට සිතන්නේ මෙසේය. යහපාලනය ගෙන ඒමට කැප වූ බොහෝ දෙනෙකු මෙන්ම ඊට චන්දය දුන් සැහෙන දෙනෙකුද අටුවන් බැහැගත් දේශපාලන පාක්ෂිකයෝ නොවෙති. එක්සත්ජාතික පක්ෂය වරද්දා ගත් තැනක් ලෙස මම දකින්නේ පොරොන්දු වූ ලෙසම අවිචාරවත් රාජපක්ෂපාලන සමයේ ප්‍රාදේශීය සභාවේ සිට ඉහලම තැන දක්වා දුෂිතයන් මිනීමරුවන් ස්ත්‍රී දුෂකයන් සියල්ල අවංකව නීතිය හමුවට නීතිය ක්රියාත්ම වීමට ඉඩ දෙනවා වෙනුවට, හොරු මිනීමරුවන් ස්ත්‍රී දුෂක දේශපාලන අනාථයන් රැක යම් තරමකට බලවත් කර නිදහස් පක්ෂය දෙකඩ කර බලය ගැනීමේ අවදානම් සහගත දේශපාලන ක්‍රීඩාවක් මගින් ජයග්‍රහණයේ පහසු මාවත් සෙවීමට යාමයි.

    රාජපක්ෂ සමයේ සියලු බාධා මැතිවරණ නීති කඩකිරීම් යටතේදීත් ජයග්‍රහණය කල යහපාලනයට නැවත ජයග්‍රහණයට කෙටි හොර පාරෙන් යාමට වඩා පහසුව තිබුනේ නියම දිගු පාරේ යාමයි. නමුත් ඔවුන් තෝරාගෙන ඇත්තේ කෙටි හොර පාරෙන් යාම බවයි පෙනෙන්නේ.

    ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් කරද්දී මහන්සියෙන් එක්ස්පෙරිමන්ට් එක කරලා ඩේටා අරගෙන ගණන් හදන්නේ නැතුව, අනුන්ගේ ඩේටා ඉල්ලගෙන ගණන හදල පාස් වෙන්න හිතන දක්ෂයෙක් මට මතක් වෙන්නේ මේක දැක්කම. අවසානයේ අනුන්ගේ වැඩේ නොකෙරුනොත් මුකුත්ම නෑ.

    ReplyDelete
  2. ශ‍්‍රි ලංකා පෙළපාලියේ මුලින්ම ගිය පීටර්
    සටන් පාඨ කොඩි සේසත් අරගෙන ගිය පීටර්
    මැතිනිගේ පීන්තුරය පපුවේ පැළඳගත් පීටර්
    මැතිනි අපිට අපි මැතිනිට කියා නැටුව පීටර්

    බණ්ඩාරනායක මැතිඳුගේ ගුණ ගී කියු පීටර්
    ශ‍්‍රි ලංකා ආණ්ඩුවෙන් තෑගි දිනපු පීටර්
    ශ‍්‍රි ලංකා මීටින් වල කතා අහපු පීටර්
    අත අපිටයි අපි අතටයි කියා කියපු පීටර්

    ඡන්ද දවසේ නිල් ඇදගෙන ඡන්දෙට ගිය පීටර්
    මෙදා පොටෙත් අපි දිනනවැයි ඔට්ටු තිබ්බ පීටර්
    අපි කැපුවත් නීල් පාටයි කියා කියුව පීටර්
    යු.එන්.පී. දිනපු දවසේ කොළ ඇඳලා පීටර්


    පේ‍්‍රමකීර්ති ද අල්විස් 1978 පුවත්පතකට ලියු කවි පෙළක් මේ ගැන නොදත් අයගේ පහසුව සඳහා මෙතනට ගෙනත් දැම්මෙමි.

    ReplyDelete