Sunday, June 10, 2018

විපක්ෂයේ බෙදීම්

ලංකාවේ දේශපාලනය තුළ පසුගිය සතියේ දැකගත හැකි වූ ප්‍රධානතම ලක්ෂණය වන්නේ විපක්ෂයේ කණ්ඩායම් අතර සිදුවෙමින් පවතින තීරණාත්මක බෙදීමයි. මෙම බෙදීම වඩාත් ප්‍රදර්ශනාත්මක ලෙස කලඑළියට පැමිණියේ නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ දී පවත්වන ලද රහස් ඡන්දයේදීය. මෙහිදී ප්‍රථමයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයාගෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විමසා සිටියේ ඔවුන් විසින් කවුරුන් හෝ නියෝජ්‍ය කථානායකවරයා ලෙස පත්කරන්නේද යන්නයි. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ කණ්ඩායම හා විපක්ෂය නියෝජනය කරන කණ්ඩායමේ පිළිතුර වී තිබුණේ ඔවුන් විසින් අපේක්ෂකයෙකු නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ඉදිරිපත් නොකරන බවයි. මේ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් මොණරාගල පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි මහතා යෝජනා කරනු ලැබීය. ඉන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත් වූ කණ්ඩායම මගින් ඉදිරිපත් කරනු ලැබුවේ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණියයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂයේ කණ්ඩායම හා ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම එකතු වූ විට එම පිලට අඩුම තරමින් ඡන්ද 70 ක් හෝ ලැබිය යුතුව තිබුණ ද ඔවුන්ට ලබාගත හැකි වූයේ ඡන්ද 53 ක් පමණි. මේ අනුව ඒකාබද්ධ විපක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන් වූ පිලේ විශාල කණ්ඩායමක් ඡන්දය පාවිච්චි නොකර තිබුණි. එම සංඛ්‍යාව මන්ත්‍රීවරු 18 ක් පමණ වේ. ප්‍රධාන වශයෙන් රාජපක්ෂවරු සියලු දෙනාම පාහේ එම ඡන්දයෙන් වැළකී සිටියේය.

ඒකාබද්ධ විපක්ෂය තීරණාත්මක ලෙස දෙකට බෙදී ඇත්තේ බැසිල් පිල හා ගෝඨාභය පිල ලෙසිනි. මෙහිදී බැසිල් පිල විසින් ගෝඨාභය පිල පෙර සිදුකරනු ලබමින් පවතින දේශපාලනය තීරණාත්මක ලෙස විවේචනය කරනු ලබයි. ගෝඨාභය පිල විවේචන නොකර ද ඒකාබද්ධ විපක්ෂය විසින් ගොඩනගා ඇති ජන බලය ඔවුන් මතට යොමු කර ගැනීමේ විශේෂ ව්‍යාපෘති ගණනාවක් දියත්කර තිබේ. ගෝඨාභය පිල, සිංහල බෞද්ධ බලවේග මත විශේෂ නැඹුරුවකින් කටයුතු කරන ආකාරය දැකිය හැකි අතර එමගින් සිංහල බෞද්ධ ඡන්දවලින් 70% කට වඩා ගනිමින් ජයග්‍රහණය කළ හැකි යැයි ඔවුන් තක්සේරු කර තිබේ. එම මතය කෙතරම් දුරට සමාජගතවී ඇත්තේද යත් ගෝඨාභය රාජපක්ෂ වටා එක්තරා ආකාරයක දේශපාලන බල කේන්ද්‍රයක් ද ගොඩනැගී තිබේ. කෙසේ වුවද සිංහල සමාජය තුළින් විශාල විරෝධයක් ගෝඨාභය කෙරෙහි එල්ලවී ඇති අතර එයට බලපානු ලබන ප්‍රධානම ප්‍රශ්නය වන්නේ ගෝඨාභය රාජපක්ෂව, රාජපක්ෂ රෙජීමය පැවති කාලයේ ගෝඨාභය රාජපක්ෂ විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී හා සමාජ විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් මේ රටේ සිවිල් සමාජය තුළ පවතින විශාල විරෝධය හා භීතියයි. එමනිසා ඉදිරි ජනාධිපතිවරණයේදී අනිවාර්යෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ මෙම ක්‍රියාකලාපය එළියට ඇදී එන අතර ඒ වෙනුවෙන් විශාල සමාජ විරෝධයක් ගොඩනැඟීමට ඔවුන්ට එරෙහිව ඇති බලවේග ක්‍රියාත්මක වනු ඇත.

ඒකාබද්ධ විපක්ෂයේ මෙම බෙදීයාම විශේෂයෙන්ම පෙනී යන්නේ විමල් වීරවංශගේ ක්‍රියාකලාපය තුළිනි. විමල් වීරවංශ කල්පනා කරනුයේ රාජපක්ෂවරු සතු වූ මෙම ජන බලවේගය ගොඩනගන ලද්දේ ඔහු හා උදය ගම්මන්පිල විසින් බවයි. ඔවුන් මෙම බලවේග ගොඩනගන අවස්ථාවේදී දැනට මෙම බලවේග සදහා නායකත්වය දෙන බැසිල් රාජපක්ෂ මෙන්ම ගෝඨාභය රාජපක්ෂද, මහින්ද රාජපක්ෂද විවෘත දේශපාලනයෙන් මිදී හුදකලාව සිටි අතර විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල විසින් ආරම්භ කරන ලද මහින්ද සුළඟ වැඩසටහන මගින් නැවත මෙම දේශපාලන ව්‍යාපෘතිය ආරම්භ වූ බවත්, එමගින් ඔවුන්ගේ පක්ෂය ආරම්භ වූ බවත් විමල් වීරවංශගේ තක්සේරුවයි. එම වැඩසටහන ආරම්භ කරමින් විමල් විරවංශ අපේක්ෂා කරන ලද්දේ ඔහුට මහින්ද රාජපක්ෂ සතුව පැවති ජන ප්‍රසාදය නංවාගෙන ඔහුගේ පක්ෂයත්, ඔහු සතු බලවේගයත් ඉහළට ඔසවා ගැනීමයි. නමුත් සූක්ෂම දේශපාලනඥයින් වන රාජපක්ෂවරු විසින් ඉතාම දක්ෂ ආකාරයෙන් ඔවුන් සතු ජන බලය ඔවුන්ගේ පවුල කේන්ද්‍ර කරගත් දේශපාලන වැඩසටහනකට ගොනුකර ගැනීමට සමත්විය. මෙම තත්ත්වය විමල් වීරවංශ ප්‍රමුඛ අවශේෂ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් හට ගෝචර නොවන අතර මොවුන් තුළින් බැසිල් විරෝධයක් උපදින්නේ එබැවිනි.

එම විරෝධය කෙතරම්ද යත් අඛණ්ඩව බැසිල් රාජපක්ෂ පිල ඒකාබද්ධ විපක්ෂයේම ගෝඨාභය පිලට දැවැන්ත ප්‍රහාරයක් එල්ලකරමින් තිබේ. බැසිල් රාජපක්ෂගෙන් හා ගෝඨාභය රාජපක්ෂගෙන් වියුක්ත වෙනම දේශපාලන වැඩසටහනක් විමල් වීරවංශ විසින් විපක්ෂ කණ්ඩායම් අතර ක්‍රියාත්මක කරමින් තිබේ. එම වැඩසටහන සඳහා වාසුදේව නානායක්කාරගේ, දිනේෂ් ගුණවර්ධනගේ සහයෝගය ද විමල් වීරවංශට ලැබී තිබේ. අනෙක් අතින් බැසිල් රාජපක්ෂ විසින් ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන වැඩසටහනේදි විමල් වීරවංශ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ එම නායකයින් හා මුළු මන්ත්‍රී කණ්ඩායම අවසානයේ නොතකා හරින තත්ත්වයකට පත්වී තිබේ. මෙය විපක්ෂ කණ්ඩායම් වල තිබෙන විශාලතම චෝදනාව හා අසහනයයි. විශේෂයෙන් එ්කාබද්ධ විපක්ෂය විසින් ජයග්‍රහණය කරන ලද පළාත් පාලන ආයතන වලට ප්‍රධානීන් පත්කිරීමේදී බැසිල් රාජපක්ෂ ක්‍රියාත්මකවන ලද්දේය. කිසිදු දේශපාලන නායකයකු පිළිබඳ අවධානයක් යොමු නොකර තමන් කැමති කණ්ඩායම් හා පුද්ගලයින් පමණක් පළාත් පාලන ආයතනවල නායකත්වයට පත්කිරීමට බැසිල් රාජපක්ෂ වගබලා ගත්තේය. එමගින් ඔහු විපක්ෂ දේශපාලන බලවේගය ග්‍රාමීය මට්ටමෙන් සම්පූර්ණයෙන්ම පාහේ අත්පත් කරගැනීමට සමත් විය.

No comments:

Post a Comment