Monday, April 23, 2018

පොහොට්ටුවේ අර්බුදය

පළාත් පාලන මැතිවරණයෙන් ජයගත් අයෙක් බැලූ බැල්මට දැකගත නොහැකි තරමට ලංකාවේ දේශපාලනය දෝලනය වෙමින් තිබේ. එයට බලපාන හේතු ගණනාවක් තිබුනද ප්‍රධාන වශයෙන් බලපාන කාරණය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුගිය වසර තුනෙහි අවිද්‍යාත්මක ක්‍රියාකලාපයයි. එහි ප්‍රතිඵලය ඔවුන්ට උරුම වූ අතර පක්ෂයේ මන්ත්‍රීවරුන් දහසය දෙනෙකු අහිමි වූ අතර ඔවුන්ද දේශපාලනිකව අතරමන් විය. මෙයට ප්‍රධාන වශයෙන් ලංකාවේ මාධ්‍ය ආයතන වල දේශපාලන ලනු හා ඉහල නායකත්වයේ අඩුවක් නැති කුහකකම් හා කුඩුකේඩුකම් හේතු වූ බව මගේ හැගීමයි. මෙම අර්බුදයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණාත්මක අර්බුදයකට ගිය බව මගේ හැගීමයි. මා මීට පෙරත් ලියා ඇති පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමැති හැටහය වියැති මහල්ලෙකුගේ ගමනක අවසානය ඔවුන් ලගාකර ගත්තේය.

එක්සත් ජාතික පක්ෂයද පළාත් පාලන මැතිවරණයෙන් පසු තීරණාත්මක අර්බුදයකට තල්ලු කළේය. සැබවින්ම එය පැණි වරකා ගහට හෙන ගැහීමක් බදුය. පළාත් පාලන මැතිවරණය ආණ්ඩුවේ පාර්ශවයට එකතරා ආකාරයක අවාසිදායක තත්ත්වයක් පවතින බවට පුර්ව නිගමනයක් තිබු අතර නමුත් විපක්ෂයේ ඡන්දය දැමීමේ අඩු තත්ත්වය මත මේ මොහොතේ දුර්වලව පවතින ආසන ජය ලැබිය හැකියැයි තක්සේරු කොට තිබිණිඅ. නමුත් නව මැතිවරණ ක්‍රමයත්, ආණ්ඩුවේ ඇතුළතින් එල්ල වූ ජනධිපතිවරයාගේ පාර්ශවයේ ප්‍රහාරයත්, විපක්ෂයෙන් හා ජවිපෙන් එල්ල වූ  ප්‍රහාරත් මාධ්‍ය ආයතන කප්පම් නොගැවීම නිසා ඇතිවී තිබු
තත්ත්වයත් එසේම පක්ෂය අභ්‍යන්තරයේ තිබු පාක්ෂ්කයින්ගේ කලකිරීමත් මෙම තත්ත්වයට හේතු විය. ප්‍රචාරාත්මක අවාසියක් සිදුවූ බවටද කනින් කොනින් ඇසුණු අතර එයද එකතරා ආකාරයකට සත්‍යයක්යැයි පිලි ගත හැකිය. නමුත් දසක හතක වයසැති එක්සත් ජාතික පක්ෂය ජය පරාජයන් හොදින් හුරු පුරුදු පක්ෂයක් වන අතර පශ්චාත් මැතිවරණ කළමනාකරණය ගැන කප් ගැසූ පක්ෂයකි. එසේ වූ නමුදු මෙවර ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වය එක්සත් ජාතික පක්ෂය දුර්වල කිරීමේ අභ්‍යන්තර කුමන්ත්‍රණයක නිරිත වූ අතර එයට ජනාධිපතිවරයාගේ මැදිහත්වීම පක්ෂයට බරපතල තත්ත්වයක් විය. එය පක්ෂ නායකතුමන් හා පක්ෂය බුද්ධිමත්ව කටයුතු කොට හොදින් කළමනාකරණය කරගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස කුමන්ත්‍රණකාරී බලවේග කෑලිවලට කැඩී දුර්වල විය.

එක්සත් ජාතික පක්ෂය විශාල ප්‍රතිසංවිධාන ක්‍රියාවලියක නිරත වෙමින් තිබේ. පක්ෂයේ බලය සම්පුර්ණයෙන්ම පාහේ තරුණ නායකයින් අතට ලැබෙමින් පවතින අතර 2020 ජය ගැනීම සදහා නව බලයකින් කටයුතු කිරීමට එහි සියල්ලෝම සැදී පැහැදී සිටි. එමෙන්ම එක්සත් ජාතික පක්ෂය ජනවාරි 8 වැනිදා ජනවරමට අදාල වෙනස්කම් හා ප්‍රතිසංස්කරණ සිදුකිරීමට ජනාධිපතිවරයා පොළබවා ගැනීමට සිවිල් ප්‍රජාවට පොරොන්දුවී තිබේ. පක්ෂයේ කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුවේ ආකල්පය විශාල ලෙස වෙනස් කරන ලෙස අගමැතිවරයා අමාත්‍යවරුන්ට උපදෙස් ලබා දී ඇති බවද කනින් කොනින් අසන්නට ලැබේ. දැන් අර්බුදය ඇත්තේ පොහොටුවේය. එය සැබෑ ලෙසම කාලයක් තිස්සේ පක්ෂ අභ්‍යන්තරයේ පැවති බරපතල තත්ත්වයක් මතු පිටට පැමිණීමක් ලෙස දැක්විය හැකිය. එහිදී අර්බුදයේ සරල පැති කිහිපයක් එලියට පෙනෙන්නට තිබේ. ප්‍රධාන වශයෙන් මෙහි කණ්ඩායම දෙකක් තිබේ. එම කණ්ඩායම දෙක ජනාධිපති අපේක්ෂකයාගේ සිට පළාත් පාලන ආයතන පිහිටවීම දක්වා බෙදීමක් පෙන්වා දෙනු ලැබේ. පොදුජන පෙරමුණෙහි දේශපාලන පදනම මහින්ද රාජපක්ෂ වන අතර එහි ප්‍රධාන මෙහෙයුම්කරුවා වන්නේ බැසිල් රාජපක්ෂය. බැසිල් රාජපක්ෂ දක්ෂ සංවිධායකයෙකු වන අතර දේශපාලන උපාය කරුවෙකි. මගේ පෞගලික තක්සේරුවනම් ඔහුට සම්පුර්ණ චිත්‍රය පිළිබද අවබෝදයක් ඇති අතර එක්සත් ජාතික පක්ෂය තම අනෙකා ලෙස සැලකිය යුත්තේ බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ දේශපාලන වැඩ පිළිවෙලයි. දීර්ඝකාලීන අර්බුදයකින් පසු ජය ගැනීමට නියමිත වන්නේ එම වැඩ පිළිවෙලයි.

පොහොට්ටු පක්ෂයේ අනික් පිල වන්නේ විමල් වීරවංශ ප්‍රමුක ජාතික පිලයි. එහි රාජපක්ෂ නියෝජනය ලෙස ඔවුන් හදුන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂය. නමුත් මා කල්පනාකරනුයේ තාවාකාලික බෙදීමක හැඩ තිබුනද රාජපක්ෂවරුන්ගේ මෙම දෙවන පරපුර නොබෙදෙනු ඇත. තුන්වන පරපුර එසේ විය හැකිය. ඒ වෙනුවෙන් ඇති සියලුම වාස්තවික තත්ත්වයන් නාමල් වැනි අයෙකුට තිබේ. විමල් වීරවංශ යනු මහින්ද රාජපක්ෂ නැවත දේශපාලනයට සම්බන්ධ කරවීමට මුලික අඩිතාලම දැමු පුගලයායි. ඔහුට එරෙහිව ඉතා බරපතල නඩු කීපයක් අධිකරණයේ විභාග වේ. විශේෂයෙන් ඔහුට එරෙහි ගමන් බලපත් නඩුව බරපතල අවදානමක පවතී. එබැවින් ඔහු ඔහුගේම රජයක් ගොඩනගා ගැනීමේ විශාල අවශ්‍යතාවයකින් සිටි. එසේම දේශපාලන ලෝකයේ පාපිසි යට කතා වලට අනුව විමල් හා ජනාධිපතිවරයා අතර බරපතල සන්ධානයක් තිබේ. එය විය හැකි තත්ත්වයකි. ඔහුට නඩු හබ වලින් ගැලවීමට ආණ්ඩුවක ආරක්ෂව අවශ්‍යයැයි ඔහු සිතයි. ඒ ඔහු නියෝජනය කරනු ලබන දේශපාලනයයි. පොහොට්ටුවේ ප්‍රධාන බල කණ්ඩායම් දෙක වන්නේ මෙයයි.
             
මෙහිදී මහින්ද ආණ්ඩුවේ පැරණි මතවාදීමය බල කණ්ඩායම් විමල් වටා ගොනු කර ගැනීමට ඔහු සමත් වී ඇති අතර වයසක මහින්ද රාජපක්ෂට ජාතික ලයින් එක එල්ලා පෙරහරේ ගෙන යාම ඔවුන්ගේ පරම අබිලාසය බව පෙනේ. එමගින් සිංහල ඡන්ද හා එම ඡන්ද විශාල වශයෙන් ඇති දිස්ත්‍රික්ක ජයග්‍රහණ කිරීම හෝ එම බලය කේවල් කොට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවක් හැකි ඉක්මනින් ගොඩනැගීම ඔවුන්ගේ අරමුණ වේ. 2020 දී සිංහල ඡන්දවලින් පමණක් ගෝඨාභය ඉදිරිපත්කොට ජයගත හැකියයි එම පිල සිතයි. නමුත් විමල් එසේ සිතතැයි මා විශ්වාස නොකලත් ඔහුගේ පැවැත්ම වෙනුවෙන් රාජපක්ෂවරු ජාතික පෙරහරේ ගෙන යාම අනිවාර්ය කොන්දේසියක් ලෙස ඔහු සලකනු ලබන බව පෙනීයයි. ඔහුගේ වැඩසටහනේ සාර්ථක අසාර්ථක බව මැනීමට තවම කල් වැඩි නමුත් විමල් යනු වැඩ කල නොහැකි දේශපාලන සත්ත්වයෙකු බව ඉතිහාසය පෙන්වා දී තිබේ.

මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය ජනාධිපතිවරයා පරාජය කරමින් විසදී ඇති අතර එක්සත් ජාතික පක්ෂය අලුත් වෙමින් අගමැතිවරයා ජයගෙන තිබේ. දැන් පොහොට්ටුවේ වාරයයි. අපි අනාගතයට ඉඩදී බලා සිටිමු.

No comments:

Post a Comment