Sunday, February 4, 2018

අමාරුවෙන් මොනරාගලවත් දිනා ගැනීම


දේශපාලන ක්ෂේත්‍රය පසුගිය සතියේ ගෙවී ගියේ ඡන්ද උණුසුම සමගයි. පළාත් පාලන මැතිවරණයේ ඡන්ද උණුසුම නව මැතිවරණ ක්‍රමය නිසාවෙන් එක්තරා ප්‍රමාණයකට අඩුවී තිබුණද පක්ෂ අභ්‍යන්තර හා ග්‍රාමීය මට්ටමේ දේශපාලන ව්‍යුහයන් තුළ තදින් මැතිවරණ උණුසුම තිබුණි. මෙවර මැතිවරණය තීරණාත්මක ලෙස කොන් හතරක සටනක් බවට පත්වී තිබේ. එහිදී එක්සත් ජාතික පක්ෂ විසින් තම ශක්තිමත් පදනම තුල   රාජ්‍යයේ වාසියද අත්පත් කරගනිමින් මැතිවරණ සටන තනියම මෙහෙයවයි. එක්සත් ජාතික පක්ෂය සතුව ඇති ප්‍රබල මැතිවරණ යාන්ත්‍රනය, පක්ෂ ව්‍යුහය මේවනවිට සක්‍රීයවී ඇති අතර මැතිවරණ යාන්ත්‍රනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම් සපයමින් තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ඉහළම මට්ටමේ නායකයන්ගේ සිට ග්‍රාමීය මට්ටමේ අපේක්ෂකයා හා ශාඛා සමිති සංවිධායකයා දක්වා වූ සියලු දෙනා තුළම ඇත්තේ ජයග්‍රහණ මානසිකත්වයකි. ඔවුන් සිතනුයේ තමන් තරග කරණු ලබන සියලුම කොට්ඨාස ඔවුනට ජයග්‍රහණය කිරීමේ හැකියාවක් ඇති බවයි. ඔවුන් එසේ කල්පනාකිරීමේ කිසිදු වරදක් නොවන්නේ, මෙම මැතිවරණයේ වැඩිම වාසිය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බව බැලූ බැල්මට පෙනී යන බැවිනි. ඒ සඳහා සාධක ගණනාවක් බලපානු ලබයි. මින් ප්‍රධානම සාධකය වන්නේ මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් හා කතෝලික සියලුම ජන වර්ගයන්ගේ ක්‍රියාකාරී සහයෝගයක් එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති බැවිනි. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ අතරින් ඕනෑම අමාරු අවස්ථාවක සියලුම ජාතීන්ගේ විශ්වාසය දිනාගත් හා එම සියලුම ජාතීන් හා ජනවර්ග නියෝජනය කරන පක්ෂය ලෙස පැවතියේ එක්සත් ජාතික පක්ෂයයි.

විශේෂයෙන්ම රාජපක්ෂ රෙජීමය පැවති යුගයේ ලංකාවේ මුල්බැසගෙන තිබූ, සියලුම දෙනාගේ ලේ නහරවලට කිමිදී තිබූ සිංහල අධිපතිවාදී, ජාතිකවාදී දේශපාලන මතය විසින් රටේ සියලුම දෙනාගේ ඔලු හිරිවට්ටවා තිබුණු යුගයේදීත් එක්සත් ජාතික පක්ෂය විසින් ගත් ස්ථාවරය වූයේ වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම එක්සත් ජාතික පක්ෂ ලෙස එය පවත්වාගෙන යාමයි. එනම් සියලුම ජාතීන්ට, සියලුම ජන වර්ගයන්ට එකට ජීවත් විය හැකි රටක්, පක්ෂයක් ලෙස එය පවත්වාගෙන යාමයි. එමෙන්ම මෙම මැතිවරණයේදී ඉන්දියානු ද්‍රවිඩ සම්භවයක් සහිත සියළුම දේශපාලන නායකයින්ගේ සහයෝගය එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති අතර මුස්ලිම් පක්ෂ සියල්ලගේම හා එම නායකයින්ගේ සහයෝගයද එක්සත් ජාතික පෙරමුණට ලැබී තිබේ. මෙම තත්ත්වය මත විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය හා සුළු ජන කොටස් තරග කරණු ලබන සියලුම දිස්ත්‍රික්කයන් ජය ගැනීමේ හැකියාව ඇත්තේ එක්සත් ජාතික පෙරමුණටය.

මේ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කය, මහනුවර දිස්ත්‍රික්කය, බදුල්ල දිස්ත්‍රික්කය, මාතලේ දිස්ත්‍රික්කය, රත්නපුර දිස්ත්‍රික්කය හා අම්පාර යන දිස්ත්‍රික්ක ඉතාම පහසුවෙන් එක්සත් ජාතික පක්ෂය ජයගනු ඇත. එසේම මෙම ද්‍රවිඩ, මුස්ලිම් හා කතෝලික ජනතාවගේ සහයෝගය නිසා පහත සඳහන් දිස්ත්‍රික්කවල අවසාන ප්‍රතිඵලයටද එම ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කිරීම නිසාවෙන් එක්සත් ජාතික පක්ෂයට විශාල වාසියක් ලැබීමට නියමිතය. එම දිස්ත්‍රික්ක නම් ගම්පහ දිස්ත්‍රික්කය, කොළඹ දිස්ත්‍රික්කය හා අනුරාධපුර දිස්ත්‍රික්කය වේ.

මෙහිදී කුරුණෑගල දිස්ත්‍රික්කය සම්පූර්ණයෙන්ම ඉතාම තියුණු තරගයක් ලබාදිය හැකි දිස්ත්‍රික්කයක් ලෙස දැක්විය හැකිය. විශාල ජනතාවකගෙන් යුතු එම දිස්ත්‍රික්කයේ සියයට අනුවකට වඩා වාසය කරන්නේ සිංහල බෞද්ධ ජනතාවයි. මෙම දිස්ත්‍රික්කය තුළ මේ මොහොතේදීත් පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක්සත් ජාතික පක්ෂය කරට කර තරගයක් දෙමින් තිබේ. එම තරගයෙන් බොහෝවිට එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කළ හැකි අතර ඒ සඳහා එම දිස්ත්‍රික්කය නියෝජනය කරන එම ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු වන අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයාගේ ක්‍රියාකාරීත්වය තදින් බලපානු ඇත. ඔහු විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා එයට අනුබද්ධ විශේෂ අනිකුත් ආයතන වලත් විශාල ප්‍රමාණයකට එම දිස්ත්‍රික්කය අතරින් තෝරාගත් රැකියා අවස්ථා ලබාදී තිබේ. එසේම එම දිස්ත්‍රික්කයේ පාසල් සංවර්ධනයට විශාල මුදලක් ආයෝජනය කර ඇත. එමෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින්ද රුපියල් බිලියන ගණනක මුදලක් කුරුණෑගල සංවර්ධනයට වියදම් කොට තිබේ. එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරු හා අපේක්ෂකයින් කැපීපෙනෙන දක්ෂ කණ්ඩායමක් ලෙස ප්‍රකාශ කළ හැකිය. මේ අනුව මෙම සියලුම සාධක විග්‍රහකර අවසානයේ අප පැමිණ ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීමේ වැඩිම ඉඩකඩ ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බවයි.

ත්‍රිකුණාමලය, මඩකලපුව, මන්නාරම හා යාපනය දිස්ත්‍රික්ක ජයග්‍රහණය කිරීමට ඉඩකඩ ඇත්තේ දෙමළ ජාතික සන්ධානයටය. එක්සත් ජාතික පක්ෂය හා පොදුජන එක්සත් පෙරමුණත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මෙම දිස්ත්‍රික්කවල හෝ ආයතන වලට තම ලැයිස්තු ඉදිරිපත්කර තිබුනද දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරණු ඇතැයි අපට අනුමාන කළහැක. මුස්ලිම් කොංග්‍රස බොහෝ විට සන්ධානගතවීමට ඉඩ ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සමගයි.

මෙම මැතිවරණයේදී සැබැවින්ම පොදුජන එක්සත් පෙරමුණට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැතහොත් ජනතා විමුක්ති පෙරමුණට ජයග්‍රහණය කිරීමට ඉඩක් ඇත්තේ ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල හා කළුතර දිස්ත්‍රික්කය. මන්ද පොළොන්නරුව, කෑගල්ල, අනුරාධපුරය, පුත්තලම දිස්ත්‍රික්ක පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ හෝ ඉතා අඩු ඡන්ද ඡන්ද සංඛ්‍යාවකින් පරාජයට පත්වූ දිස්ත්‍රික්කයන්ය. එම දිස්ත්‍රික්කවල 2015 මහ මැතිවරණයෙන් පසු විශාල වශයෙන් යළිත් යටිතල පහසුකම් සංවර්ධනයට පත්වූ, මැති ඇමතිවරුන් මුදල් ආයෝජනය කර ඇති අතර රැකියා ලබාදීම වැනි කාරණාවලදී ඉතා හොඳ සාර්ථකත්වයක් පෙන්වා තිබේ. යම් ප්‍රමාණයකට එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ උකටලී බවක් හෝ ඡන්ද පොළට නොයෑම පිළිබඳ විරෝධයක් තිබුණද මෙම දිස්ත්‍රික්කවල අවසාන වශයෙන් යූ. ඇන්. පී. කාරයෝ ඡන්ද පොළට යනු ඇත. මන්ද අවාසි සහගත අවස්ථාවලදී මෙම දිස්ත්‍රික්කවල එක්සත් ජාතික පක්ෂයේ ජනතාව ඡන්දය උනන්දුවෙන් ප්‍රකාශ කොට තිබේ. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හෝ පොදුජන එක්සත් පෙරමුණ මෙම දිස්ත්‍රික්කවලදී එක්සත් ජාතික පක්ෂ අභිබවා යාමට තරම්, එක්සත් ජාතික පක්ෂ පරාජය කිරීමට තරම් විශේෂ ආශ්චර්යයක් පෙන්වා නැත.

මේ සියලුම කාරණා ගත් විට සැබවින්ම මෙම පළාත් පාලන මැතිවරණයේ තරගයක් ඇති දිස්ත්‍රික්ක වන්නේ මා පෙරත් ප්‍රකාශ කළ පරිදි ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල හා කළුතර දිස්ත්‍රික්කය. මෙයිනුත් කළුතර දිස්ත්‍රික්කය විශේෂයෙන්ම අජිත් පී. පෙරේරා වැනි නායකයින් යටතේ මනා ලෙස සංවිධානයවී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එක්තරා ප්‍රමාණයකට ශක්තිමත්ව තිබේ. එසේම පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රබල නායකයකු වන වෙල්ගම මේ මොහොතේදී බදුල්ල දිස්ත්‍රික්කයට නායකත්වය දීමට ගොස් ඇති තත්ත්වයක් තුළ එක්සත් ජාතික පක්ෂ විරෝධී ඡන්ද හරි මැදින් තුනට බෙදෙන තත්ත්වයක් තිබේ. මේ අනුව කළුතර දිස්ත්‍රික්කයද යූ. ඇන්. පීය ජයග්‍රහණය කරනු ඇතැයි මාගේ නිගමනයයි.

එසේනම් අවසාන වශයෙන් කිවයුත්තේ වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලකගේ නායකත්වයෙන් යුත්, මුස්ලිම් ඡන්ද පදනම සහිත සාම්ප්‍රදායික එජාප බලකොටුවක් වන ගාල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීම එම නායකයින්ගේ අරමුණයි. මාතර දිස්ත්‍රික්කයේද එසේමය. මාතර දිස්ත්‍රික්කයේ සාම්ප්‍රදායික ඡන්ද ඡන්දපොළට ගෙන යාමට අමතරව එම දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන ඇමතිවරුන් දෙදෙනෙකු වන සාගල රත්නායක හා මංගල සමරවීරගේ ක්‍රියාකාරිත්වය මත එම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය තීරණය වේ. එසේම මන්ත්‍රීවරයෙකු වන බුද්ධික පතිරණගේ ක්‍රියාකාරිත්වයද  එම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණයට බලපායි. කෙසේ නමුදු මාතර දිස්ත්‍රික්කයත්, කුරුණෑගල දිස්ත්‍රික්කයත් එක්සත් ජාතික පක්ෂයේ දක්ෂ කණ්ඩායමක් නියෝජනය කරනු ලබන දිස්ත්‍රික්ක දෙකකි. අනෙක් පොදුජන එක්සත් පෙරමුණට ඉතාම වාසිසහගත දිස්ත්‍රික්කය වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයයි. එය මහින්ද රාජපක්ෂවරුන්ගේ බලකොටුව වන අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන් අනිවාර්යෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ යුතුවේ. එය ඔහුගේ පැවැත්මට අත්‍යාවශ්‍ය සාධකයක් වේ. එබැවින් එතුමා, ඔහුගේ උපරිම ශක්තිය, බලය හා හැකියාවන් එම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට යොදවනු ඇත. එයට මුහුණදීමට මේ මොහොතේ දුර්වල රාජපක්ෂවරුන්ට හැකියාවක් තිබේදැයි සැක සහිතය.

අවසාන වශයෙන් කිවහැක්කේ රාජපක්ෂවරුන්ට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ස්ථිර වශයෙන්ම ජයගතහැකි හෝ ප්‍රබල සටනක් දියහැකි එකම දිස්ත්‍රික්කය ඡන්ද ලක්ෂ තුනක් පමණ පවතින ශ්‍රී ලංකාවේ දුෂ්කරම හා කුඩාම දිස්ත්‍රික්කය වන මොනරාගල පමණි. මොනරාගල හැරුණුකොට අනෙකුත් සියලුම දිස්ත්‍රික්ක එක්සත් ජාතික පක්ෂය ජයගනු ඇතිබව මාගේ තක්සේරුවයි.

1 comment: