Sunday, December 17, 2017

ශ්‍රී ලංකා කාරයින්ට ආතල් දීමට මහින්දට ඕනෑ නැත



ජනවාරි 8 සිදුවූ නොසිතූ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ අය කල්පනා කරනු ලැබුවේ මෙම උභතෝකෝටිකයෙන් ගොඩ යන්නේ කෙසේද කියායි. මන්දයත් ඔවුන් වසර හැත්තෑවක් රට පාලනය කිරීමට සැලසුම් කර තිබූ අතර ඒ වෙනුවෙන් රටේ හැඩතල, ආයතන පද්ධතිය හා නීති රීති ද වෙනස් කරගෙන තිබුණි. තම පක්ෂයේ මහලේකම්වරයා විසින් ම එක්සත් ජාතික පක්ෂ හා එකතුව සිදුකරන ලද එම දැවැන්ත ප්‍රහාරයෙන් සිදුවූ පරාජය රාජපක්ෂ පවුලේ මෙන්ම එම පවුල මත යැපෙමින් දේශපාලනයේ හා මුදල් ඉපයීමේ ජාවාරම් සිදු කිරීමේ යෙදී සිටි කණ්ඩායම් වලට උභතෝකෝටිකයක්ම විය. දින සීයේ ආණ්ඩුව තුළ මහින්ද රාජපක්ෂගේ හා එම පවුලේ ප්‍රමුඛතාවය වූයේ හැකිතාක් ඉක්මනින් ඔවුන් විසින්ම සකස් කරමින් තිබූ වැරදි ක්‍රමවේදයක් නිසාවෙන් ඔවුන් මත පැවරී, පැටලීමට ඉඩ තිබූ දහසකුත් නඩුහබ හා රජයේ පලිගැනීම්වලින් මිදෙන තත්ත්වයකට යොමු වීමයි. ඒ වෙනුවෙන් රාජපක්ෂවරු ඕනෑම වන්දියක් ගෙවීමට එකගවී සිටියේය.

මෙවන් තත්ත්වයක් තුළ එම මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් අතරමංව සිටි උදය ගම්මන්පිල හා විමල් වීරවංශ විසින් ආරම්භ කරන ලද මහින්ද සුළඟ වැඩසටහන මගින් නැවතත් දේශපාලන කරලියට පැමිණි මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරු පසුව බැසිල් රාජපක්ෂගේ සංවිධාන හා උපායශීලී හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් නව පක්ෂය නොහොත් පොහොට්ටු පක්ෂය ආරම්භ කළේය. එම පක්ෂය හා සම්බන්ධ වී සිටින සියලුම දෙනා බලාපොරොත්තු වන්නේ හැකි ඉක්මණින් මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ විසින් රටේ රාජ්‍ය බලය ලබා ගනී යැයි කියාය. රටේ සත්‍ය ආර්ථික තත්ත්වය හා දේශපාලනය පිළිබඳ අවබෝධයක් ඇති රාජපක්ෂවරු විසින් නව රජයක් බිහිකිරීම උදෙසා කිසිදු උනන්දුවක් නොදක්වන බව වර්තමාන දේශපාලන විචාරකයින්ගේ මතයයි. ආණ්ඩු පාලනය ලබා ගැනීමට වඩා ප්‍රමුඛතාවය දියයුතු කාරණා රාශියක් රාජපක්ෂවරු අභියස ගොඩනැගී තිබේ. ඒවායින් ප්‍රධානම ඒවා නම් ඔවුන්ගේ පවුලට විරුද්ධව හා ඔවුන්ගේ කණ්ඩායමට විරුද්ධව බිහිවී ඇති, ගොඩනගා ඇති නඩු හබවලින් ගැලවීමයි. ඔවුන්ගේ කණ්ඩායමට කෙසේ වෙතත් රාජපක්ෂ වරුන්ගේ දරුවන්ට හා රාජපක්ෂවරුන්ට එරෙහිව එල්ලවී ඇති දූෂණ චෝදනා, මුදල් විසුද්ධි කරන චෝදනා, අවලාද චෝදනා හා අනෙකුත් සිවිල් නඩු සියල්ලෙන්ම ගැළවීම ඔහුගේ ප්‍රමුඛතාවයේ ඉහළම පවතින කාරණයයි.

ඒ සඳහා නව රජයක් බිහිකිරීම හා රටේ නීතියේ ආධිපත්‍යය සුරතට ගැනීම ඔවුන්ට ගැළවීමට ඇති එක් විකල්පයක් වුවත් එය ළඟා විය නොහැකි බියකරු අපහසු තීන්දුවක් බව ඒ පිළිබඳව දන්නා ඕනෑම කෙනකු මෙන් දේශපාලන ඔස්තාර් කෙනෙකු වූ මහින්ද රාජපක්ෂටද හොඳින් වැටහේ. එසේම ඒ කෙසේ වුවත් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් ගොඩ නගා මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් වූ ශ්‍රී ලංකා කාරයින් ශක්තිමත් කිරීමේ අභිලාෂයක් මහින්ද රාජපක්ෂට තිබිය නොහැක. මන්ද පක්ෂය ඔහුගේ නියපොත්ත යටතට ගෙනැවිත් තිබූ ජනවාරි 8 වන දාට පෙර කාලය තුළ වුවද ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධිපත්‍යය පවත්වා ගත හැකි වූයේ සීමා සහිතවය. එබැවින් අද වැනි දුර්වල අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධිපත්‍යය ඔහුට පවත්වාගත හැක්කේ ඉතාම අඩුවෙන් බවට තක්සේරුවක් ඔහු තුළ තිබිය යුතුය. මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්දලාට නැවත ඇමතිකම් අරන් දෙමින් ගොඩදැමීමේ අභිලාෂයක් රාජපක්ෂවරුන්ට නොමැත. ඔවුන්ගේ එකම අරමුණ නාමල් රාජපක්ෂ යටතට එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ බලවේග සියල්ල ගොනු කොට දීමයි.

ඒ සඳහා කිසිදු ඉඩකඩක් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිටින, මෛත්‍රීපාල සිරිසේන සිටින, විජිත් විජිතමුණි සොයිසා සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකින් නොලැබෙන බව මහින්ද රාජපක්ෂට හොඳින්ම තේරුම් ගොස් තිබේ. එම නිසා මේ මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැකිතාක් දුර්වල කිරීම රාජපක්ෂවරුන්ගේ ඒකායන අරමුණයි.

2020 දී මේ රට භාර ගැනීමට කිසිදු අපේක්ෂාවක් රාජපක්ෂවරුන්ට නැත. මන්ද නාමල් රාජපක්ෂ ඒ කාලය වන විටත් යෞවනයකු වන අතර අනිකුත් රාජපක්ෂවරුන්ට නිත්‍යාණුකූල පසුබිමක විවෘත දේශපාලනයේ යෙදීමට රට තුළ අවස්ථාවක් නොමැත. මන්ද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇමරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ දේශපාලනයේ යෙදීමේ සීමාකම් ඇති කොට තිබේ. මහින්ද රාජපක්ෂට ද නැවතත් රට පාලනය කිරීම සඳහා විශාල බාධක තිබේ. ඒවා වයස සම්බන්ධයෙන්, සෞඛ්‍ය සම්බන්ධයෙන් මෙන්ම රටේ නීතියෙන් තම පවුලට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන්ද අදාළ වේ. මේ තත්ත්වය අනුව රාජපක්ෂවරුන්ගේ ප්‍රමුඛතම අරමුණ වන්නේ 2025 දී එක්සත් ජාතික පක්ෂයේ විරෝධී බලවේග සියල්ල එකතු කොට 2025 දී ඔවුන්ගේ ම ආණ්ඩුවක් ගොඩනැගීමයි. එම ආණ්ඩුවේ ප්‍රධානියා කරවීමට බොහෝ විට ඉඩ ඇත්තේ නාමල් රාජපක්ෂ. එය මහින්ද රාජපක්ෂ විසින් ගොඩනඟන ලද වසර 70 ක් රට පාලනය කිරීමේ සැලැස්මේම කොටසක් වන අතර වෙනසකට ඇත්තේ එම සැලැස්ම වසර දහයක් ඔවුන්ට අහිමි වීමයි. නමුත් රාජපක්ෂවරු අපේක්ෂා කරන පරිදි නාමල් රාජපක්ෂට 2025 දී රටේ පාලනය භාර ගැනීමට ඉඩකඩක් එක්සත් ජාතික පක්ෂයෙන් ලබාදේ යැයි විශ්වාස කළ නොහැකිය. මන්ද දක්ෂ තරුණ දුරදක්නා නායකයින් රාශියක් මේ වන විට එම පක්ෂය තුල ගොඩනැඟී තිබේ.

මේ අනුව පොහොට්ටුවට උදව් පදව් කරන පාක්ෂිකයින් තේරුම් ගත යුතු දෙය නම්, ගතයුතු දෙයනම් 2025 වනතුරු නැවත රාජපක්ෂවරු ඉන්නා ආණ්ඩුවක් හැදීමට කිසිදු ඉඩකඩක් හෝ බලාපොරොත්තුවක් ඔවුන් තුළ නොමැති බවයි.

2025 න් පසුව හෝ නාමල් රාජපක්ෂ ආණ්ඩුවක් ගොඩ නගා ගැනීමට හැකි වනුයේ එක්සත් ජාතික පක්ෂයේ දෙවන හා තුන්වන පෙළ අසාර්ථක වුවහොත්ය. දැන් තිබෙන තත්ත්වය අනුව එම පක්ෂයේ පළමු පෙළට වඩා දෙවන සහ තුන් වෙනි පෙළ සාර්ථකය. ඒ අනුව යූ. ඇන්. පී. විරෝධී බලවේගවලට තමන්ගේ ආණ්ඩුවක් ගොඩනැගීමට අඩුම තරමින් දශක දෙකක්වත් බලා සිටීමට සිදුවනු ඇතැයි මාගේ තක්සේරුවයි.

1 comment: