Sunday, November 19, 2017

බාධාකිරීම් මැද රනිල්, නැව ගමනාන්තයට යොමුකර තිබේ


2015 ජනවාරි 8 වන දා ජනාධිපතිවරණය නොපැවැත්තුවේ නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන්නේ මෙම සතිය තුළදීය. එසේ වූයේ නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හා ඔහුගේ පවුලේ රෙජීමය පසුගිය වසර දෙක තුළ මේ රට පාලනය කරනු ලබයි. එය එසේ වී තිබුණි නම් විය යුතුම පරිදි සිදු විය යුතුව තිබුණේ ලංකාව විසාලා නුවරක් බවට පත්වීමයි. 2015 මාර්තු 29 වන දා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නියමිතව තිබූ සම්බාධක පැනවූයේනම් එම සම්බාධක මත පදනම්ව රට තුළ ඇති වීමට නියමිතව තිබූ අර්බුධ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගය, ඉන්ධන හිඟය, බෙහෙත් හේත් හා විදේශ මුදල් හිගය, වැනි කාරණා මෙන්ම පිට රටවලට ගමන් කිරීමට ඇති අපහසුව වැනි කාරණා වලින් රට අවුල් ජාලයක් බවට පත්වීමට ඉඩ තිබුණි. වාසනාවකට මේ රටේ ජනතාව මෙම තත්ත්වය තේරුම් ගත් අතර එවකට පැවති අන්ත දූෂිත භීෂණකාරී සුදු වෑන්වලින් මිනිසුන් අතුරුදහන් වන, මහ මග මිනිසුන් මරා දමන, පාර්ලිමේන්තුව ඒකාධිපතිත්වයට පාර කපන මෙවලමක් වූ රාජපක්ෂ රෙජීමය පිළිබද අවබෝධ කරගත්තේය. එකල මත් ද්‍රව්‍ය බෙදාහැරීම සිදුවූයේ රජයේ අනුග්‍රහය ඇතිවය. මෙම අවාසනාවන්ත තතත්වය තේරුම්ගත් ජනතාව විසින් එම මොහොතේදී තීරණාත්මක ලෙස රාජපක්ෂ රෙජිමය පරදවන ලදී.

එම මැතිවරණයේදී ජනතාවගේ තෝරා ගැනීම වූයේ එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාය. එදා එම මොහොතේ රාජපක්ෂවරු තීරණාත්මක ලෙස පරාජය කිරීමට සම්බන්ධ වූ බලවේග සහ කණ්ඩායම් අද ප්‍රකාශ කරන කාරණා දෙස විමසා බැලීමේදී මා හට පෙනී යන එක් ප්‍රධාන කාරණයක් තිබේ. එනම් එදා තිබූ තත්ත්වය අනුව කුමන කොන්දේසියක් යටතේ හෝ රාජපක්ෂ රෙජිමය පැරදවීම ඔවුන්ගේ ඒකායන අරමුණ වූ බවයි. එහිදී ඇති වූ අරගලය තුළ ඔවුන් කිසිවක් බලාපොරොත්තු නොවූ අතර අඩුම තරමින් කාර්යක්ෂම, අවංකව වැඩ කරන ජනාධිපතිවරයකු වුව ද බලාපොරොත්තු නොවීය. එම අවස්ථාවේදී මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගත් එක්සත් ජාතික පක්ෂය හා ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මෙම විධායක ජනාධිපති ධූරය සම්පූර්ණයෙන්ම අහෝසි කරන බවට ජනතාවට ප්‍රතිඥා ලබා දුන්නේය. එම නිසා වර්තමාන ජනාධිපතිතුමා මෙම තනතුරට ගැලපෙනවාද නැද්ද යන්න එම අරගලයට සම්බන්ධ වූවන්ට හා එක්සත් ජාතික පක්ෂයට ගැටළුවක් නොවීය. අද එම ප්‍රථම පොරොන්දුව පිළිබඳව වගේ වගක් නොමැතිව ආණ්ඩුව සිටියද, විධායක ජනාධිපති ධූරය හා සබැඳුණු අසාධාරණකම්, බලය යෙදවීම් නිසාවෙන් ජනතාව තුළ නැවතත් ජනාධිපති ධූරයේ පැවැත්ම පිළිබඳව සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. වර්තමාන ජනාධිපතිවරයා මේ රටේ රාජ්‍ය නායකයා ලෙස පත්කර ගැනීමට ජනවරම ලැබුණේ ඔහු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර සියළු බලතල පාර්ලිමේන්තුවට පවරා දෙන බවට ලබා දුන් පොරොන්දුව මතයි. එබැවින් මේ රටේ ජනතාවට වර්තමාන ජනාධිපතිවරයා මේ රට ගොඩ දමතැයි, දැමීමට උත්සාහ කරයි හෝ එසේ කළද, ඔහු කළ යුතු යැයි කියා බලාපොරොත්තුවක් නොමැත. 2015 ජනවාරි 8 වැනි දා ජනාධිපතිවරණයේදී මේ රට සංවර්ධනය කරන වැඩ සැලැස්මක්, වෙනත් කිසිදු වැඩපිළිවෙලක් ජනතාව හමුවේ නොතිබුණු අතර ජනතාවට පොරොන්දු වූ එකම වැඩපිළිවෙල රාජපක්ෂ රෙජීමය ගෙදර යවා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර, පාර්ලිමේන්තුවට රටේ බලතල ලබා දෙන බවයි. ජනවාරි 8 යහපාලන ජනවරම එයයි. රට ගොඩදැමීමට හා දියුණු කිරීමට ජනවරමක් ඉල්ලා සිටියේ 2015 අගෝස්තු මහ මැතිවරණය තුළිනි. එහිදී මේ රටේ ජනතාව රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට රටේ ආර්ථික දියුණුවත්, සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ජනවරමත් ලබා දුනි. ජනාධිපතිවරයාගේ ජනවරම ඇත්තටම දින සියයේ ආණ්ඩුව සඳහා ලබාදුන් ජනවරමක් වන අතර ජනාධිපතිවරයා විසින් වර්තමාන ආණ්ඩුවේ කටයුතු මෙහෙයවිය යුතු යැයි මේ රටේ කුරා කූඹියෙක්වත් සිතන්නේ නැත. කවුරුන් හෝ එසේ සිතන්නේනම් හෝ ඒ සදහා උඩගෙඩි දෙන්නේනම් ඒ ජනාධිපතිවරයා අන්දවා මැති ඇමතිකම්, තානාපතිකම්, තනතුරු වරප්‍රසාද, බිස්නස් ආදිය ලබාගැනීමට බලාපොරොත්තු වන හොර ගෙඩියන්ය. රට ගොඩදැමීම තමන්ගේ වගකීමක් යැයි අඩුම තරමින් ජනාධිපතිවරයාවත් සිතන්නේ නැත. යහපාලන ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු සහ ජනාධිපති මාධ්‍ය අංශයනම් මේ රටේ සියල්ලම විධායක ජනාධිපතිවරයාගේ උර මත යැයි අඩබෙර ගසයි.


විධායක ජනාධිපති ධුරයේ බලතල අහෝසි කර එම බලතල පාර්ලිමේන්තුවට පවරා දීමට පැමිණි ජනාධිපතිවරයා ගැන ජනාධිපති මාධ්‍ය අංශයේ සහෝදර සහොදරියන් ප්‍රකාශ කරන පරිදි මේ මොහොතේ ජනාධිපතිවරයා විසින්  එක්සත් ජාතික පක්ෂය නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංයුතියකින් යුත් ආණ්ඩුවක් බිහි කිරීමට උත්සාහ කිරීම හිතළුවකි. මන්ද පසුගිය වසර දෙකකට වඩා වැඩි කාලයක් තුළ එක්සත් ජාතික පක්ෂය දේශපාලනයේ යෙදුණු ආකාරය අනුව සරල බහුතරය සහිත ආණ්ඩුවක් ගොඩනගා ගැනීම කජු කනවා වැනි වැඩකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපිලම එකතුවී කණ්ඩායමක් ගොඩනැගුවද ගොඩනගා ගත හැකිවන්නේ යන්තම් ආසන 75ක් පමණි. සරල බහුතරයක් ගොඩනැගීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපිලටම ආසන 113ක් තිබිය යුතුය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අගමැති ධූරය කෙසේ වෙතත් විපක්ෂ නායක ධූරයනම් අනිවාර්යෙන්ම ලබාගත හැකිය. ජනාධිපති කාර්ය මණ්ඩලයේ මහත්වරු වෙබ් අඩවිවලට කෙතරම් මඩ ප්‍රචාර යැවූවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු තමන්ගේ අමාත්‍ය ධූර අතහැර, විපක්ෂයට ගොස් තමන්ට පිනට හම්බවූ නිවසත්, වාහන තුනත්, කාර්ය මණ්ඩලයත්, අනෙකුත් වරප්‍රසාදත් අහිමිකරගැනීමට කැමති නොවනු ඇත. අනෙක් අතින් යූ. එන්. පී. කාරයෝ යනු යූ. එන්. පී. කාරයෝය. ඔවුන් පක්ෂයේ එකිනෙකා විවේචනය කරගැනීම සාමාන්‍ය දෙයකි. නායකයාට විරුද්ධව නාහෙන් ඇඩීම තේමා ගීතයක් වැනිය. නමුත් පක්ෂයේ අයෙකුට හෝ පක්ෂයට යම් ප්‍රශ්නයක් පැමිණි විට ඔවුන්ගේ රතු ලේ කොළ පාට වේ.

මෙම යූ. එන්. පී. කාරයින්ගේ කන්කෙදිරියට රැවටී තම අනාගතය අහිමිකරගත් අය අතර දයාසිරි ජයසේකරගේ සිට කරූ ජයසූරිය දක්වා බොහෝ දෙනෙක් සිටී.

මේ අනුව අවසාන වශයෙන් මට කිව හැක්කේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් 2025 දක්වා පවතින බවයි. යූ. එන්. පී. කාරයෝ බලය පවත්වාගැනීම සදහා කල යුත්තේ කුමක්දැයි වේගයෙන් ඉගෙනගනිමින් සිටින අතර අවශ්‍යනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂය හා එක්වී රාජ්‍ය පාලනයට සම්බන්ධවිය හැක.

1 comment:

  1. ඔබ සමග 100% එකඟ වෙමි
    විචාරක දියණිය

    ReplyDelete