Sunday, October 29, 2017

රනිල්ට එරෙහි ජාතිකවාදීන්ගේ අවසානය



පසුගිය සතියේ ලංකාවේ දේශපාලනය ගිණියම් කළ කාරණා දෙකක් සිදුවිය. එනම් යහපාලන ආණ්ඩුවේ යෝජිත නව ව්‍යවස්ථාවට පක්ෂ වන්නන්ට මරණ දඩුවම ලබාදිය යුතු බව කුප්‍රකට සොල්දාදුවකු ප්‍රකාශ කිරීමත්, විමල් වීරවංශ මන්ත්‍රීවරයා තමනුත් නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බව ප්‍රකාශ කිරීමත්ය.

මේ කාරණා දෙක මගින් යහපාලන රජයේ පැවැත්ම තවදුරටත් ස්ථාවර වූ අතර යහපාලන රජය පවත්වාගෙන යායුතුවන්නේ සහ එසේ පවත්වගෙන යාමට සහයෝගය දිය යුතු බව මේ රටේ සිවිල් ජනතාවට මතක්කර දීමකි. මන්දයත් රාජපක්ෂවරුන්ගේ දසවසරක පාලන කාලය තුල මේ රටේ ජාතියේ නාමයෙන්, ආගමේ නාමයෙන් සිදු වූ අකටයුතුකම් වල නිමක් නොතිබිණි. පාතාලයේ මත්කුඩු වෙළෙන්දාගේ සිට ලලිත් කොතලාවල දක්වා සියළුම පංතිවල සියළුම මට්ටමේ ව්‍යාපාරකයින් හා ආයෝජකයින් කප්පම් ගැනීම් වලට, අතුරුදහන්වීම් වලට, ප්‍රසිද්ධියේ මරාදැමීම් වලට හා හිරේ විලංගුවේ වැටෙන අභූත චෝදනා වලට ලක්විණි. එම දසවසර තුල යහමින් මුදල් හදල් තිබීම, ලාභ ලැබීම, සාර්ථක ව්‍යාපාරයක නිරතවීම, දිවි නසාගන්නා වැඩක් බවට පත්ව තිබිණි. රාජපක්ෂවරුන්ට හා ඔවුනගේ සහචරයින්ට හැර වෙනත් කිසිවෙකුට එම පාලන ක්‍රමය තුල ව්‍යාපාරයක යෙදීමේ හැකියාවක් නොවිණි. එසේ යෙදුනහොත් තමන්ගේ මරණ වරෙන්තුව ලියාගත්තා වැනිය. මෙම අපරාධකාරී තත්ත්වය පවත්වාගෙන යනු ලැබූවේ බුද්ධාගමේත්, සිංහල ජාතියේත් නාමයෙනි. 

එමෙන්ම රාජපක්ෂවරුන්ගේ එම දසවසර තුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබුණාදැයි කිසිවෙකුටත් සිහි නිච්චියක් නොතිබුණි. රටේ මුදල් පාලනයේ බලතල ඇත්තේ පාර්ලිමෙන්තුව සතුව වුවත් පාර්ලිමේනතුවෙන් අසා කිසිදු වියදමක් සිදු නොකළ අතර පාර්ලිමේන්තුවේ මුදල් බලතල පවත්වාගෙන ගියේ අයවැය නාඩගම නටා ජාතික රූපවාහිනියේ සහ ස්වාධීන රූපවාහියේ පෙන්වීමට පමණි. රාජපක්ෂ ජනාධිපතිවරයාට අභිමතයක් තිබුණිනම් රටේ ඕනෑම මුදලක්, ඕනෑම අරමුදලක් විනාඩි ගණනක් ඇතුලත වියදම් කිරීමට හැකියාව තිබුණි. ඒ සදහා හොදම උදාහරණය හිටපු ජනාධිපති ලේකම්වරයා සිරගත වූ සිල් රෙදි වංචාකිරීමේ මහා නඩුවයි. එම නඩුවේදී රුපියල් මිලියන හයසීයක් මැතිවරණය පවත්වත්දී එම මැතිවරණ අපේක්ෂකයෙකු වූ ජනාධිපතිවරාගේ එක දුරකථන ඇමතුමකින් නිදහස් විය. එම තත්ත්වය රටේ මුදල් බලතල සම්බන්ධයෙන් උගණ්ඩාවේ ඉඩිඅමීන්ගේ පාලන කාලයටත් වඩා පරාජිත වූ තත්ත්වයකි. මන්දයත් ඉඩිඅමීන් උගණ්ඩාව පාලනය කළ සමයේ පලස්තීන කැරලිකරුවන් විසින් ඊශ්‍රායල් ගුවන් යානයක් පැහැරගෙන කම්පාලා ගුවන්තොටුපලට රැගෙන ගිය අවස්ථාවේ එම ජනතාවගේ සහ කැරලිකරුවන්ගේ වියදම් පියවීමට ඉඩිඅමීන් පාර්ලිමේන්තුවෙන් අවසර ගත්තේය. නමුත් මිලියන හයසීයක් වියදම් කිරීමට රාජපක්ෂවරු විදුලි සංදේශ නියාමන කොමිසමේ (එම මුදල් අයත්) අධ්‍යක්ෂ මණ්ඩලයෙන්වත් අවසර ගත්තේ නැත. මේ සියල්ල රාජපක්ෂවරු සිදුකරන ලද්දේ සිංහල ජාතියේත්, බුද්ධාගමේත් නාමයෙනි. 

නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන්ද රාජපක්ෂවරුන්ගේ දශකයේදී අපූරු පූර්වාදර්ශයක් මෙරට ජනතාවට ලබාදී තිබුණි. යුද්ධය ජයග්‍රහණය කල හමුදාපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකට ඉදිරිපත්වීම හේතුවෙන් කුදලාගෙන ගොස් හිරේ විලංගුවේ දැමූවේය. රටේ අග්‍රවිනිශ්චයකාරවරිය තම ආණ්ඩුව යෝජනා කරන ලද පනතකට විරුද්ධ වීම නිසාවෙන් පැය විසිහතරක් තුල කැකිල්ලේ නඩු ක්‍රියාවලියකට යටත්කොට ධූරයෙන් පහකරන ලද අතර ඉතාම නින්දා සහගත ලෙස ඇයව ධූරයෙන් පහකර පැයක් ඇතුලත රාජපක්ෂවරයාගේ සම්බැට්ටයන් ලවා නිල නිවසෙන්ද එලියට ඇද දැම්මේය. මේ සියල්ලද සිදුකරන ලද්දේ සිංහල ජාතියේත්, බුද්ධාගමේත් නමිනි.

එසේම 18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අධික ලෙස මුදල් ගෙවා තුනෙන් දෙකේ ඡන්දය ලබාගෙන තම පවුලට රට ප්‍රවේණි බුක්තියට ලබාගැනීමට කටයුතු කරන ලද්දේ බුද්ධාගමේත්, සිංහල ජාතියේත් නමිනි.

ප්‍රභාකරන්ට විරුද්ධව සිදුකරන ලද යුද්ධයේදී කිසිදු පදනමක් නැතිව යටත්වූවන් මරාදමමින්, රෝහල්වලට හා අනාත නිවාස වලට ගුවන් ප්‍රහාර එල්ලකරමින්, කුසගින්නේ සිටි සිවිල් ජනතාව මතට ශෙල්වෙඩි ප්‍රහාර එල්ලකිරීමට නියෝග දෙමින් කටයුතු කරන ලද්දේද, එසේම නිරායුධ මුස්ලිම් ජනතාව මතට ඥාණසාරලා ලවා ප්‍රහාර එල්ලකරමින් මුස්ලිමි විරෝධයක් ගොඩනැගුවේද, එසේම කතෝලික පල්ලි වලට ප්‍රහාර එල්ල කරමින් එම දශකය තුල ශ්‍රී ලංකාව සුළු ජාතීන්ට හා අවශේෂ ආගම් අදහන්නන්ට අනාරක්ෂිත රටක් බවට පත්කරනු ලැබුවේද බුද්ධාගමේත්, සිංහල ජාතියේත් නාමයෙනි.

එම දශකය තුල රාජපක්ෂවරු සිංහල ජාතියේත්, බුද්ධාගමේත් නාමයෙන් අකටයුතුකම් වල යෙදෙද්දී එවකට දුර්වලව තිබූ විපක්ෂය හා එක්සත් ජාතික පක්ෂය සමග මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට, ආරක්ෂාව සලසාදීමට, එසේම මහමග මියැදෙමින් තිබූ ජනමාධ්‍යවේදීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට, ජනතාව මුහුණදෙමින් තිබූ මෙම ශෝකාන්තයෙන් ගොඩගැනීමට එක්සත් ජාතික පක්ෂය තවදුරටත් සියළු ජාතීන්ට, සියළු ආගම්වලට ආරක්ෂාව සලසන පක්ෂයක් බවට පවත්වාගෙන යාමට, එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිලි වික්‍රමසිංහ මහතා දහසකුත් බාධක මැද ගත් තීන්දුවට රටේ ජනතාවගේ ප්‍රණාමය පුදදිය යුතුය. රටේ සීලාචාර ජනතාව යහපාලන කෙරෙහි බලාපොරොත්තු ඇතිකරගෙන ඇත්තේත්, ආර්ථික වර්ධනය පිළිබදව බලාපොරොත්තු ඇතිකරගෙන ඇත්තේත් රනිල් වික්‍රමසිංහ මහතා එදා කළ කැපකිරීම් නිසාය.

එදා දේශපාලනය තුල සිංහල ජාතියත්, බුද්ධාගමත් අපහරණය කළ ආකාරය කොතෙක්ද යත් පන්සිල් පද පහ කටපාඩමින් කිව නොහැකි රාජපක්ෂවරුන්ගේ සියලු අකටයුතුකම් සිංහල ජාතිය හා බුද්ධාගම නැමති පිරුවටයෙන් වසා මේ රටේ ඡන්ද දායකයින් නොමග යැවීය. එහි බලපෑම අඩුවැඩි වශයෙන් ලැබූ එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරය තුල බුද්ධාගම හා සිංහල ජාතිය දේශපාලන උපකරණයක් ලෙස භාවිත කළ යුතු බවට විශාල උත්ඝෝෂණයක් පැවතුණි. පක්ෂ අභ්‍යන්තරයේ පැවති මෙම උණුසුම කෙතරම් උත්සන්න වූයේද යත් සිංහල බෞද්ධ, රෙදි බැනියම් අදින නායකයින්ට එක්සත් ජාතික පක්ෂයේ අධිපති මතය මෙහෙයවීමට අවස්ථාව දියයුතු බවට කැරලිකාර තත්ත්වයක්ද ඇතිවිය. නමුත් මේ සියළු කුණාටු මැද බුද්ධාගමත්, සිංහල ජාතිකත්වයත් පිළිබද හොද දැණුමක් හා හැගීමක් තිබූ දුරදක්නා නායකයෙකු වූ රනිල් වික්‍රමසිංහ ආගම හා ජාතිකත්වය දේශපාලන උපකරණයක් ලෙස භාවිත කරනවා වෙනුවට, එක්සත් ජාතික පක්ෂය සියළු ජාතීන්ට, සියළු ආගම්වලට අවස්ථාව ලබාදෙන එක්සත් ජාතික පක්ෂයක් ලෙසත්, එය රටේ ආර්ථික සංවර්ධනය හා යහපාලනය ඇතිකිරීම සදහා වූ දේශපාලන ව්‍යාපාරයක් ලෙසත් පවත්වාගෙන ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස 2015 ජනවාරි 08 වනදා වර්ථමාන රජය බිහිවිය. ඒ සදහා මේ රටේ සීලාචාර ජනතාව එක්සත් ජාතික පක්ෂය හා අත්වැල් බැදගෙන රාජපක්ෂවරුන්ගේ වනචර දශකය පරාජය කළේය. තවදුරටත් බුද්ධාගම හා සිංහල ජාතිකත්වය දේශපාලන උපකරණයක් නොවන අතර ඒවා සමාජ සංස්ථා ලෙස ආරක්ෂාවෙමින් කටයුතු කරමින් සිටින්නීය.

1 comment:

  1. ජාතිවාදය අවුසන්නේ රනිල්මය.
    රනිලා හොරකම වහ ගන්න ජාතිවාදය අවුළුවන කාලකන්නියෙකි.

    ReplyDelete