Monday, December 25, 2017

නිළියකගේ ලිංගිකත්වය සිල්ලරට ගැනීම


පසුගිය දෙසතිය තුළ ශ්‍රී ලංකාවේ දේශපාලනයේ සිදුවූ ප්‍රධානතම සිදුවීම වූයේ නාමයෝජනා සකස් කිරිමේ අර්බුදයයි. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට රට තුළ ඇතිව තිබූ දැඩි ඉල්ලුම හමුවේ අපේක්ෂකයන් තෝරා ගැනීමේ විශාල අරගලයක නිරත වන්නට සිදු විය. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද, පොදුජන පෙරමුණටද මෙම අර්බුදය නිතැතින්ම හිමිව තිබුණි.

එක්සත් ජාතික පක්ෂය හැරුණු කොට අනිකුත් ප්‍රධාන පක්ෂ සියල්ලටම මුහුණ දීමට සිදුවූ විශාලතම අරගලයේ වූයේ නියමිත පරිදි ප්‍රතිශතයට කාන්තා අපේක්ෂකයින් ලැයිස්තුවලට ඇතුළත් කරගැනීමයි. මන්දයත් ලංකාවේ කාන්තා දේශපාලන සහභාගීත්වය ව්‍යවස්ථාවෙන් පළාත් පාලන පනතේ ඉදිරිපත් කර ඇති 25% සීමාවට වඩා බොහෝ අඩුවෙන් පැවතීම නිසාවෙන් 25% ක් කාන්තා අපේක්ෂකයින් ලයිස්තුවට ඇතුලත් කරගැනීම සියලුම පක්ෂ වලට අභියෝගයක් වී තිබුණි. නමුත් මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂ තුළ කාන්තා දේශපාලන සහභාගීත්වය විශාල ඉහළ අගයක පැවතීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයට කාන්තා අපේක්ෂකයන් තෝරා ගැනීමේ අර්බුදයක් නොපැවතුණි. කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය ඉහල යාම මෙම මැතිවරණයෙන් පසු ලංකාවේ දේශපාලනය තුළ දැකිය හැකි විශාල ලක්ෂණයක් වනු ඇත. මන්ද යත් සියලුම පළාත් පාලන ආයතන වල 25% කට වඩා වැඩි ප්‍රමාණයක් කාන්තා නියෝජනය අනිවාර්යයෙන් තිබිය යුතු අතර එමෙන්ම නාම යෝජනා සකස් කිරිම ආරම්භයේදීම කාන්තා නියෝජනය සම්බන්ධයෙන් ඉතාම අසුබ දායක පුවතක් පොහොට්ටු පක්ෂය පැත්තෙන් ඇසීමට ලැබුණේය.

එනම් මධූෂා රාමසිංහ නම් රංගන ශිල්පිණිය චෝදනා කර සිටියේ පොහොට්ටු පක්ෂයෙන් නාම යෝජනා ඉල්ලා සිටියදීම එම පක්ෂයේ නිලධාරීන් විසින් නාමයෝජනා ලබාදීමට ලිංගික අල්ලස් ඉල්ලු බවයි. එම තත්ත්වය ඇය විසින් මැතිවරණ කොමසාරිස්වරයාටත්, ජනමාධ්‍යයටත් පැමිණිලි කර සිටියේය. එය රට තුළ එතරම් අවධානයකට ලක් නොවුණ ද එම තත්ත්වය ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි. මන්ද යත් රටේ කාන්තා දේශපාලන සහභාගීත්වයේ විශාල අඩුවක් පවතිනුයේ දේශපාලනයට කාන්තාවන් පිවිසීමට දක්වන බිය හා මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් නිසාවෙනි.

මධූෂා රාමසිංහ රංගන ශිල්පිණියක් වූ පමණින් හෝ ඇයගේ චරිතය සම්බන්ධයෙන් පූර්ව නිගමනයන් තිබූ පලියට කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමට කිසිදු පිරිමියකුට අයිතියක් නැතුවා සේම විශේෂයෙන් වගකිව යුතු දේශපාලන පක්ෂයක් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවට ලක්වීම මේ රටේ ජනතාව බරපතළ ලෙස සැලකිය යුතු කාරණයකි. මධූෂා රාමසිංහගේ ලිංගික අල්ලස් සිද්ධිය මේ රටේ ප්‍රධාන ප්‍රවාහයේ ජනමාධ්‍ය ආයතන හා වෙබ් අඩවි විශේෂ අවධානයකට ලක් නොකොට අතහැර දැම්මේය. එය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් යනු මගේ හැඟීමයි. මෙම සිද්ධිය බටහිර සීලාචාර රටක සිදු වූයේ නම් එය එම දේශපාලන පක්ෂයේ ප්‍රධානීන්ට ඉල්ලා අස්වීමට සිදුවන හෝ එම දේශපාලන පක්ෂයේ ඡන්ද පදනම මුළුමනින්ම හෝ අඩක් (අඩුම තරමින් කාන්තා ඡන්ද) අහිමි වීමේ අවදානමට ලක්වන තරම් බරපතළ සිද්ධියක් හෝ චෝදනාවක් වේ.

නමුත් මෙම ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධිය ලංකාවේ ප්‍රධාන ප්‍රවාහයේ ජනමාධ්‍යවල, වෙබ් අඩවිවල හෝ දේශපාලන පක්ෂවල අවධානයට වැඩි වශයෙන් ලක් නොවූයේ එම ආයතන තුළ මධූෂා රාමසිංහ රංගන ශිල්පීණිය කෙරෙහි පැවති පූර්ව නිගමනය නිසා විය යුතුය. එය සීලාචාර සමාජයක කිසිසේත් සිදු නොවිය යුතු අවාසනාවන්ත තත්ත්වයකි. මෙවැනි බරපතළ සිද්ධියකදී අප අවධානයට යොමු කළ යුතු ප්‍රධානතම කාරණය වන්නේ මධූෂා රාමසිංහගේ කාන්තා භාවයයි. ඇය කාන්තාවක් වූ පළියට කිසිවෙකුගේ හිංසනයට හෝ හිරිහැරයට ලක්වීමට හෝ ලක් කිරීමේ අයිතියක් කිසිවෙකුට නැත. අතවරයට පත්වූ ඇයට මේ සමාජයේ වෙසෙන ඕනෑම පුද්ගලයෙකුට මෙන් සම අයිතිවාසිකම් තිබිය යුතු අතර මේ සමාජය තුළ සුරක්ෂිතව ඇය කැමති ඕනෑම ආකාරයකට නීත්‍යානුකූලව ජීවත්වීමේ අයිතිය තිබිය යුතුය. එයට අභියෝග කිරීමේ හැකියාවක් කිසිවෙකුටත් නැති අතර ඇය ඒ වෙනුවෙන් එළියට බැස කතා කිරීමට හැකියාවක් හා ශක්තියක් ඇති ගැහැණියක් වීම පිළිබඳව ගෞරවයක්, අප සැමට ඇය කෙරේ තිබිය යුතුය. අඩුම තරමින් ඇගේ පැමිණිල්ල කෙරෙහි මැතිවරණ කොමසාරිස්වරයාගේ අවදානය ද ඉතාම අඩු මට්ටමක තිබූ බව පෙනී යන අතර මැතිවරණ කොමසාරිස්වරයා ද පූර්ව නිගමනයක සිටියා දැයි මට සැක සිතේ. මැතිවරණ කොමසාරිස්වරයා එසේ සිටියේ නම් මැතිවරණ කොමසාරිස්වරයා වැනි කීර්තිමත් නිලධාරියකුට එය නොගැලපෙන්නේය.

කෙසේ නමුත් පොහොට්ටු පක්ෂයේ රාජපක්ෂවරුන් ඇතුලු සියලු දෙනාම පාහේ ලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ භාවය සම්බන්ධයෙන් සිටින ස්ථාවරය දෘෂ්ඨිමය විකෘතියකි. ඒ සදහා හොදම උදාහරණය වන්නේ බදුල්ල රැළියේදී මහින්ද රාජපක්ෂ හා කුමාර වෙල්ගම විසින් ප්‍රකාශකරන ලද සමලිංගික සම්බන්ධතා සහ බහු භාර්යා සම්බන්ධතා පිළිබද ඔවුන්ගේ ස්ථාවරයයි. එම ස්ථාවරයන් කිසිදු තත්ත්වයක් යටතේ වුවත් සීලාචාර විධිමත් සමාජයකට නොගැලපෙන්නේය. එසේම ඉතාම මෑතකදී පොහෙ‍ාට්ටු පක්ෂයේ න්‍යයාචාර්යවරයෙකු වන ආචාර්ය මහින්ද පතිරණ කථිකාචාර්යතුමා ඔහුගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ ලිංගික සම්බන්ධයකට ශිෂ්ණය ප්‍රාණවත් වීම අනිවාර්ය කොන්දේසියක් බවට ප්‍රකාශයක් පළකොට තිබුණි. එය වසර දහස් ගණනක් පැරණි ප්‍රාථමික හණමිටි අදහසකි. වර්ථමාණයේ ලිංගික සම්බන්ධතා යනු මූලික ලිංගික අවයවයන්ගෙන් එහාට ගිය දියුණු ක්‍රියාවලියකි. එහි සීමාවන් වචන වල සිට හැගීම්, දැනීම්, බැලීම් හරහා උපකරණ දක්වා විහිදේ. නමුත් ප්‍රාථමික ගෝත්‍රිකයින් තවමත් ලිංගිකත්වය යනු මූලික ලිංගික අවයව වල කාර්ය කොටසක් ලෙස හදුනාගෙන සිටී. රාජපක්ෂවරු පෙළෙන්නේ මෙම මූලික දෘෂ්ඨිමය ඌණතාවයෙනි. මෙවැනි තත්ත්වයක් තුල මධූෂා රාමසිංහට සිදුකළ ලිංගික බලපෑම සිල්ලරට ගැනීම අශීලාචාර ශෝකාන්තයකි.

කාන්තා නියෝජනය වැඩිකිරීමේ මූලික පදනම වූයේ කාන්තා දේශපාලන සහභාගීත්වය රට තුල වැඩිකොට එමගින් කාන්තාවන් මේ රටේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීමයි. එමගින් කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත්, වත්මන් ආණ්ඩුවේත් අරමුණ බව බැලූ බැල්මට පෙනේ. රාජපක්ෂවරු කාන්තාව හා ලිංගිකත්වය පිළිබද අඩු තක්සේරුවකින් හා ගෝත්‍රික මතවාදයක සිටියද, ආණ්ඩුව ලොව පිළිගත්, සියලුම සීලාචාර රාජ්‍යයන් අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන්ගේ එල්බ සිටී.

Sunday, December 17, 2017

ශ්‍රී ලංකා කාරයින්ට ආතල් දීමට මහින්දට ඕනෑ නැත



ජනවාරි 8 සිදුවූ නොසිතූ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ අය කල්පනා කරනු ලැබුවේ මෙම උභතෝකෝටිකයෙන් ගොඩ යන්නේ කෙසේද කියායි. මන්දයත් ඔවුන් වසර හැත්තෑවක් රට පාලනය කිරීමට සැලසුම් කර තිබූ අතර ඒ වෙනුවෙන් රටේ හැඩතල, ආයතන පද්ධතිය හා නීති රීති ද වෙනස් කරගෙන තිබුණි. තම පක්ෂයේ මහලේකම්වරයා විසින් ම එක්සත් ජාතික පක්ෂ හා එකතුව සිදුකරන ලද එම දැවැන්ත ප්‍රහාරයෙන් සිදුවූ පරාජය රාජපක්ෂ පවුලේ මෙන්ම එම පවුල මත යැපෙමින් දේශපාලනයේ හා මුදල් ඉපයීමේ ජාවාරම් සිදු කිරීමේ යෙදී සිටි කණ්ඩායම් වලට උභතෝකෝටිකයක්ම විය. දින සීයේ ආණ්ඩුව තුළ මහින්ද රාජපක්ෂගේ හා එම පවුලේ ප්‍රමුඛතාවය වූයේ හැකිතාක් ඉක්මනින් ඔවුන් විසින්ම සකස් කරමින් තිබූ වැරදි ක්‍රමවේදයක් නිසාවෙන් ඔවුන් මත පැවරී, පැටලීමට ඉඩ තිබූ දහසකුත් නඩුහබ හා රජයේ පලිගැනීම්වලින් මිදෙන තත්ත්වයකට යොමු වීමයි. ඒ වෙනුවෙන් රාජපක්ෂවරු ඕනෑම වන්දියක් ගෙවීමට එකගවී සිටියේය.

මෙවන් තත්ත්වයක් තුළ එම මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් අතරමංව සිටි උදය ගම්මන්පිල හා විමල් වීරවංශ විසින් ආරම්භ කරන ලද මහින්ද සුළඟ වැඩසටහන මගින් නැවතත් දේශපාලන කරලියට පැමිණි මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරු පසුව බැසිල් රාජපක්ෂගේ සංවිධාන හා උපායශීලී හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් නව පක්ෂය නොහොත් පොහොට්ටු පක්ෂය ආරම්භ කළේය. එම පක්ෂය හා සම්බන්ධ වී සිටින සියලුම දෙනා බලාපොරොත්තු වන්නේ හැකි ඉක්මණින් මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ විසින් රටේ රාජ්‍ය බලය ලබා ගනී යැයි කියාය. රටේ සත්‍ය ආර්ථික තත්ත්වය හා දේශපාලනය පිළිබඳ අවබෝධයක් ඇති රාජපක්ෂවරු විසින් නව රජයක් බිහිකිරීම උදෙසා කිසිදු උනන්දුවක් නොදක්වන බව වර්තමාන දේශපාලන විචාරකයින්ගේ මතයයි. ආණ්ඩු පාලනය ලබා ගැනීමට වඩා ප්‍රමුඛතාවය දියයුතු කාරණා රාශියක් රාජපක්ෂවරු අභියස ගොඩනැගී තිබේ. ඒවායින් ප්‍රධානම ඒවා නම් ඔවුන්ගේ පවුලට විරුද්ධව හා ඔවුන්ගේ කණ්ඩායමට විරුද්ධව බිහිවී ඇති, ගොඩනගා ඇති නඩු හබවලින් ගැලවීමයි. ඔවුන්ගේ කණ්ඩායමට කෙසේ වෙතත් රාජපක්ෂ වරුන්ගේ දරුවන්ට හා රාජපක්ෂවරුන්ට එරෙහිව එල්ලවී ඇති දූෂණ චෝදනා, මුදල් විසුද්ධි කරන චෝදනා, අවලාද චෝදනා හා අනෙකුත් සිවිල් නඩු සියල්ලෙන්ම ගැළවීම ඔහුගේ ප්‍රමුඛතාවයේ ඉහළම පවතින කාරණයයි.

ඒ සඳහා නව රජයක් බිහිකිරීම හා රටේ නීතියේ ආධිපත්‍යය සුරතට ගැනීම ඔවුන්ට ගැළවීමට ඇති එක් විකල්පයක් වුවත් එය ළඟා විය නොහැකි බියකරු අපහසු තීන්දුවක් බව ඒ පිළිබඳව දන්නා ඕනෑම කෙනකු මෙන් දේශපාලන ඔස්තාර් කෙනෙකු වූ මහින්ද රාජපක්ෂටද හොඳින් වැටහේ. එසේම ඒ කෙසේ වුවත් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් ගොඩ නගා මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් වූ ශ්‍රී ලංකා කාරයින් ශක්තිමත් කිරීමේ අභිලාෂයක් මහින්ද රාජපක්ෂට තිබිය නොහැක. මන්ද පක්ෂය ඔහුගේ නියපොත්ත යටතට ගෙනැවිත් තිබූ ජනවාරි 8 වන දාට පෙර කාලය තුළ වුවද ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධිපත්‍යය පවත්වා ගත හැකි වූයේ සීමා සහිතවය. එබැවින් අද වැනි දුර්වල අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධිපත්‍යය ඔහුට පවත්වාගත හැක්කේ ඉතාම අඩුවෙන් බවට තක්සේරුවක් ඔහු තුළ තිබිය යුතුය. මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්දලාට නැවත ඇමතිකම් අරන් දෙමින් ගොඩදැමීමේ අභිලාෂයක් රාජපක්ෂවරුන්ට නොමැත. ඔවුන්ගේ එකම අරමුණ නාමල් රාජපක්ෂ යටතට එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ බලවේග සියල්ල ගොනු කොට දීමයි.

ඒ සඳහා කිසිදු ඉඩකඩක් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිටින, මෛත්‍රීපාල සිරිසේන සිටින, විජිත් විජිතමුණි සොයිසා සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකින් නොලැබෙන බව මහින්ද රාජපක්ෂට හොඳින්ම තේරුම් ගොස් තිබේ. එම නිසා මේ මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැකිතාක් දුර්වල කිරීම රාජපක්ෂවරුන්ගේ ඒකායන අරමුණයි.

2020 දී මේ රට භාර ගැනීමට කිසිදු අපේක්ෂාවක් රාජපක්ෂවරුන්ට නැත. මන්ද නාමල් රාජපක්ෂ ඒ කාලය වන විටත් යෞවනයකු වන අතර අනිකුත් රාජපක්ෂවරුන්ට නිත්‍යාණුකූල පසුබිමක විවෘත දේශපාලනයේ යෙදීමට රට තුළ අවස්ථාවක් නොමැත. මන්ද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇමරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ දේශපාලනයේ යෙදීමේ සීමාකම් ඇති කොට තිබේ. මහින්ද රාජපක්ෂට ද නැවතත් රට පාලනය කිරීම සඳහා විශාල බාධක තිබේ. ඒවා වයස සම්බන්ධයෙන්, සෞඛ්‍ය සම්බන්ධයෙන් මෙන්ම රටේ නීතියෙන් තම පවුලට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන්ද අදාළ වේ. මේ තත්ත්වය අනුව රාජපක්ෂවරුන්ගේ ප්‍රමුඛතම අරමුණ වන්නේ 2025 දී එක්සත් ජාතික පක්ෂයේ විරෝධී බලවේග සියල්ල එකතු කොට 2025 දී ඔවුන්ගේ ම ආණ්ඩුවක් ගොඩනැගීමයි. එම ආණ්ඩුවේ ප්‍රධානියා කරවීමට බොහෝ විට ඉඩ ඇත්තේ නාමල් රාජපක්ෂ. එය මහින්ද රාජපක්ෂ විසින් ගොඩනඟන ලද වසර 70 ක් රට පාලනය කිරීමේ සැලැස්මේම කොටසක් වන අතර වෙනසකට ඇත්තේ එම සැලැස්ම වසර දහයක් ඔවුන්ට අහිමි වීමයි. නමුත් රාජපක්ෂවරු අපේක්ෂා කරන පරිදි නාමල් රාජපක්ෂට 2025 දී රටේ පාලනය භාර ගැනීමට ඉඩකඩක් එක්සත් ජාතික පක්ෂයෙන් ලබාදේ යැයි විශ්වාස කළ නොහැකිය. මන්ද දක්ෂ තරුණ දුරදක්නා නායකයින් රාශියක් මේ වන විට එම පක්ෂය තුල ගොඩනැඟී තිබේ.

මේ අනුව පොහොට්ටුවට උදව් පදව් කරන පාක්ෂිකයින් තේරුම් ගත යුතු දෙය නම්, ගතයුතු දෙයනම් 2025 වනතුරු නැවත රාජපක්ෂවරු ඉන්නා ආණ්ඩුවක් හැදීමට කිසිදු ඉඩකඩක් හෝ බලාපොරොත්තුවක් ඔවුන් තුළ නොමැති බවයි.

2025 න් පසුව හෝ නාමල් රාජපක්ෂ ආණ්ඩුවක් ගොඩ නගා ගැනීමට හැකි වනුයේ එක්සත් ජාතික පක්ෂයේ දෙවන හා තුන්වන පෙළ අසාර්ථක වුවහොත්ය. දැන් තිබෙන තත්ත්වය අනුව එම පක්ෂයේ පළමු පෙළට වඩා දෙවන සහ තුන් වෙනි පෙළ සාර්ථකය. ඒ අනුව යූ. ඇන්. පී. විරෝධී බලවේගවලට තමන්ගේ ආණ්ඩුවක් ගොඩනැගීමට අඩුම තරමින් දශක දෙකක්වත් බලා සිටීමට සිදුවනු ඇතැයි මාගේ තක්සේරුවයි.

Sunday, December 10, 2017

ඉගිලෙනකොට පේන සුද

ලංකාවේ දේශපාලනය තුළ පසු පසුගිය දෙසතිය තුල සිදු වූ විශේෂිතම සිදුවීම වූයේ පාර්ලිමේන්තුවට අය වැය ඉදිරිපත් කිරීමයි. පාර්ලිමේන්තුවේ පැවති අය-වැය විවාදයේ දී කිසිදු විශේෂ සිදුවීමකින් තොරව පාර්ලිමේන්තු කටයුතු පැවති අතර අය වැය තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුව තුල සම්මත විය. එයින් අදහස් වන්නේ ආණ්ඩුවේ ආර්ථික වැඩ පිළිවෙල පිළිබඳව පාර්ලිමේන්තුවේ විශ්වාසය තවදුරටත් පවතින බවයි. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ බලාපොරොත්තු සුනු විසුනු කරමින්, පෝයෙන් පෝය ගෙවී යමින් ඔවුන්ගේ ආණ්ඩු පෙරලීම සිහිනයක්ම පමණක් වෙමින් තිබේ.

ඒ කෙසේ වෙතත් ආණ්ඩුව විසින් ඉදිරි මැතිවරණය සඳහා බලමුළු සූදානම් කරමින් සිටී. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් නව මැතිවරණ යෝජනා ක්‍රමය පරිදි සියලුම ලැයිස්තු සඳහා ක්‍රියාකාරී දක්ෂ තරුණ කාන්තා පිරිසක් තෝරා ගැනීමේ කටයුතු සඳහා විශේෂ අවධානයක් යොමු කොට තිබේ. මෙම මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකාවේ දේශපාලනය තුල කාන්තා නියෝජනය විශාල වශයෙන් ඉහළ යනු ඇතැයි ආණ්ඩුවේ තක්සේරුවයි. එසේම ලංකාව පුරා විසිරී සිටින කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කරන ක්‍රියාකාරීන් හා සංවිධාන වල නව බලාපොරොත්තු ඇති වී තිබේ.

තත්වය මෙසේ තිබිය දී ලංකාවේ ආණ්ඩුව විසින් පසුගිය කාලයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල වෙනස්කම් රාශියක් සිදු කරනු ලැබීය. විශේෂයෙන්ම වර්තමාන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ නිර්මාණශීලී කාර්යක්ෂම හා එඩිතර ක්‍රියාකාරිත්වය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනයට ඉමහත් පිටුවහලක් වෙමින් තිබෙන බව බැලූ බැල්මට පෙනී යයි. එසේම අධ්‍යාපන අමාත්‍යාංශය හා සංස්කෘතික අමාත්‍යාංශය ඒකාබද්ධව පිහිටවනු ලැබූ අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයාගේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයට හා සංස්කෘතික ක්ෂේත්‍රයට ද විශාල වැඩ කොටසක් සිදු කරමින් තිබේ. විශේෂයෙන් පුරාවිද්‍යා ක්ෂේත්‍රය හා ඒ හා බැඳුනු ආගමික ස්ථාන, සංරක්ෂණය කළ යුතු ස්ථාන හා පුරාවිද්‍යා ක්ෂේත්‍රයට අදාළ විෂයන් රාජ්‍ය පාලනයේදී නොවැදගත් දුතීය විෂයයන් ලෙස සැලකුවද අකිල විරාඡ් කාරියවසම් ඇමතිවරයා එම විෂය භාර ගත් පසු එය ශ්‍රී ලංකාවේ ඉතාම වැදගත්, කතාබහට ලක්වන විෂයක් බවට පත්වී තිබේ.

විශේෂයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් තිබූ විශාල දූෂණ අක්‍රමිකතා වළක්වා, එම අරමුදල කාර්යක්ෂම අරමුදලක් බවට පත් කරනු ලැබීය. එම අරමුදලේ ආදායම පෙර වර්ෂයට වඩා පස් ගුණයකින් පමණ වර්ධනය කොට මෙම වර්ෂයේ දී ලබාගැනීමට හැකි වූ අතර රට පුරා තිබෙන පුරාවිද්‍යා ස්ථාන හා විහාරස්ථාන දහසකට ඒවා සංවර්ධන කටයුතු සඳහා එක් ස්ථානයකට රුපියල් ලක්ෂ පහ බැගින් ආධාර අරමුදල් ලබා දුනි. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දී පුරාවිද්‍යා ස්ථාන විශාල වැදගත්කමකින් යුක්ත වේ. නමුත් පසුගිය ආණ්ඩුව විසින් සංචාරකයින්ගෙන් උපයා ගන්නා ලද මුදල් දේශපාලන ව්‍යාපෘතිවලට යෙදෙව්වා විනා අඩුම තරමේ එම පුරාවිද්‍යා ස්ථාන තුල වැසිකිළි කැසිකිළි ඉදිකිරීමටවත් උනන්දුවක් නොදැක්වීය. විශේෂයෙන්ම මෙයින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට සිදුවූ පාඩුව මිල කළ නොහැකිය. මේ සඳහා හොඳම උදාහරණය වන්නේ හෝර්ටන් පෙදෙසේ සංචාරකයින් සඳහා ඩොලර් විසිපහක මුදලක් ගෙන ලෝකාන්තය නැරඹීමට අවස්ථාව ලබා දුන්නද ඔවුන් වෙනුවෙන් එකදු වැසිකිළි පද්ධතියක් ඉදිකිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි විය.

එසේම සීගිරියේදී අයකරනු ලබන ඩොලර් විසිපහේ මුදල ඊජිප්තුවේ පිරමීඩ නැරඹීමේදී අයකරන මුදලටත් වඩා ඩොලර් පහක හෝ දහයක වැඩිවීමක් තිබේ. එය එසේ තිබුණද සීගිරිය නැරඹීමට එන සංචාරකයන් උදෙසා වැසිකිළි පද්ධතියක් පසුගිය වසර වන තුරුත් ඉදි කර නොතිබිණි. අකිල ඇමතිවරයා සංස්කෘතික අමාත්‍යාංශය බාරගත් පසුව නවීන වැසිකිළි පද්ධතියක් ගොඩ නංවනු ලැබීය. එසේම සීගිරිය තුල සිදු වූ අති විශාල වංචාවන් හා දූෂණයන් වලට තිත තැබූ අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා ප්‍රවේශපත් විකිණීම Online ක්‍රමයකට මාරු කරනු ලැබීය. එම නිසා රජයට විශාල ආදායමක් ලබා ගැනීමට හැකි වී තිබේ. සීගිරිය පරිශ්‍රය තුල වංචා දූෂණ හා අක්‍රමිකතා අවම වී තිබේ. එසේම සීගිරිය තුලින් මධ්‍යම සංස්කෘතිය අරමුදල ලැබූ ආදායම පස් ගුණයකින් වැඩි වී තිබේ. මෙසේ වැඩි වූ සහ දූෂණය වංචාව අවම කිරීමෙන් ඉතුරු කර ගන්නා ලද අතිවිශාල මුදල විහාරස්ථාන දහසක් සංවර්ධනය කිරීම සඳහා මෙම වසරේ දී පිරි නැමීය. ලබන වසරේදී තවත් විහාරස්ථාන දහසක් සංවර්ධනය කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් යෙදවීමට සංස්කෘතික අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

මෙතුවක් කල් රටේ ජාතික සම්පත් සංචාරකයින්ට පෙන්වා උපයා ගන්නා ලද මුදල් පටු දේශපාලන ව්‍යාපෘතිවලට යෙදවීම අවසන් කොට, සැබෑ ලෙසම එම මුදල් රටේ පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණයටත්, විහාරස්ථාන නඩත්තුවටත් එම මුදල් ආයෝජනය කිරීමට ආණ්ඩුව තීරණය කොට තිබේ. එසේම ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කොට ක්‍රියාත්මක කරමින් තිබේ. සංස්කෘතික අමාත්‍යාංශය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් වර්තමානයේ ශ්‍රී ලංකාව තුල සිදු කරමින් පවතින වැඩ පිළිවෙළෙහි සම්පුර්ණ ගෞරවය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට හිමිවිය යුතු බව මගේ පෞද්ගලික විශ්වාසයයි. මෙතුවක් කාලයක් හුදකලා වී කොන් වී තිබූ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල ද එම විෂය පද්ධතිය ද අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා විසින් ඉහලට ඔසවා තබා ශ්‍රී ලංකාවේ කේන්ද්‍රීය වැදගත් විෂයක් බවට පත්කර තිබේ. එම විෂයට ලංකාවේ ජනතාව තුළත් ආයතන පද්ධතිය තුළත් දේශපාලඥයෝ තුලත් අවධානයට ලක්වීම නිසාවෙන් එම අංශය සීඝ්‍ර දියුණුවකට ලක්වෙමින් තිබේ.

අවසාන වශයෙන් කිව යුත්තේ අකිල විරාජ් ඇමතිවරයා කිසිවෙකුත් නොසිතූ පරිදි සාර්ථක ඇමතිවරයෙක් බවට මෙම ආණ්ඩුවේ පත්වී තිබේ. ඔහු අත තබන තබන ව්‍යාපෘතිය සාර්ථක වේ. ඔහුගේ විචක්ෂණ භාවයත්, ඉදිරි දැක්මත්, සංවිධාන හැකියාවත්, ප්‍රසන්න හදවතත්, පාක්ෂිකත්වයත්, අනාගතයක් ඇති ඇමතිවරයෙකු බවට පත්කර තිබේ.

Monday, December 4, 2017

රනිල් ඇයි මෙහෙම



ඉන්දියානු සාගර කලාපයේ කාලගුණය කැලඹෙන්නට පෙර ශ්‍රී ලංකාවේ දේශපාලනය තුල පසුගිය සති තුන ඇතුළත විශාල ලෙස කැලඹීමක් පැවතිණි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිල අතර පැවති සාම සාකච්ඡා නිසාවෙන් එම දෙපක්ෂය තුළත්, එක්සත් ජාතික පක්ෂය තුළත් විශාල කැළඹීම් ස්වරූපයක් තිබුණි. එමෙන්ම මහ බැංකු බැඳුම්කර සිද්ධිය මත අග්‍රාමාත්‍යවරයා බැඳුම්කර කොමිසමට පැමිණීමත්, එම පැමිණීමට හා සමානව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් දියත් කරන ලද බැඳුම්කර කොමිසම එක්සත් ජාතික පක්ෂය දඩයම් කිරීම උදෙසා යොදාගත හැකි උපකරණයක් ලෙස මාධ්‍ය වලට ප්‍රකාශ නිකුත් කිරීමත් වැනි කාරණා නිසා එක්සත් ජාතික පක්ෂය තුළ විචිකිච්චාවක් ඇති විය. එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු ගණනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කිරීමට උත්සහ කළ අතර සුජීව සේනසිංහ අමාත්‍යවරයා සෘජුවම ජනාධිපතිවරයා වෙත එම චෝදනා එල්ල කළේය. මෙම කාරණා දේශපාලන කරළිය තුළ සිදුවෙද්දී අග්‍රාමාත්‍යවරයා සිටියේ ඉන්දියානු සංචාරයේ නිරත වෙමිනි. එම සංචාරය අවසන් වී ශ්‍රී ලංකාවට පැමිණි විගස පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම හමුවේ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනු ලැබුවේ, ජනාධිපතිවරයාට විරුද්ධව, ජනාධිපතිවරයාගේ පක්ෂය විසින් සිදුකරනු ලබන දේශපාලන කාරණා වලට විරුද්ධව ප්‍රකාශ නිකුත් නොකරන ලෙසයි. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු ඒ සම්බන්ධයෙන් එතරම් සතුටට පත් නොවූහ. නමුත් පක්ෂ නායකයාට එකඟ වෙමින් ඔවුන් ජනාධිපතිවරයාට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව අදහස් දැක්වීම නවතා දැමිණි.

එක්සත් ජාතික පක්ෂයේ තත්ත්වය එසේ වුවත් රටේ රූපවාහිනී මාධ්‍ය ආයතනයක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් මෙන්ම එහි නායකයින් විසින් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව මඩ ගැසීම් හා එහි නායකයා විවේචනය කිරීමක් පවත්වාගෙන ආවේය. අද වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් එක්සත් ජාතික පක්ෂය විවේචනය කිරීමේ කටයුතු ගම් මට්ටමේ සිට ජාතික දේශපාලන දක්වා හැම ස්තරයකම සිදුකරගෙන යයි. නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ස්ථාවරය වන්නේ කිසිදු හේතුවක් මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන කටයුතු විවේචනය නොකළ යුතු අතර ජනාධිපතිවරයාට එරෙහිව කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාකාරකමක නොයෙදිය යුතු බවයි.

සහජීවන ආණ්ඩුව පවත්වාගෙන යාමෙන් මේ රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂයට හා ජනාධිපතිතුමාට ලබාදුන් ජනවරම අනුව පොරොන්දු වූ කටයුතු ඉටු කිරීමට අගමැතිවරයාගේ කැපවීම අප අගය කළ යුතුයි. විටෙක ඒ සඳහා ඔහුට හා ඔහුගේ පක්ෂයට ගෙවීමට සිදුවන වන්දිය විශාල වුවද ජනවරමට අනුව කටයුතු කිරීමට අග්‍රාමාත්‍යවරයා අදිටන් කරගෙන ඇති බව බැලූ බැල්මට පෙනී යයි. කෙතරම් අපහසු තත්ත්වයක් තිබුණද දේශපාලන බලය පවත්වා ගැනීමෙන් එහාට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ආණ්ඩුකරණය පුළුල් දැක්මකින් හා පරිණත භාවයකින් යුතුව කරමින් සිටින බව අපට පෙනීයයි. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේ දී ජනතාව අතර සාපේක්ෂ ශක්තිමත් බවකින් පවතින අතර පළාත් පාලන මැතිවරණය දිනා ගැනීමේ ප්‍රබල හැකියාවක් ඇති බව අගමැතිවරයාගේ විශ්වාසයයි. එම නිසා මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන ක්‍රියාවලිය ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් දියත් කරනු ලබන වැඩපිළිවෙළට අකුල් හෙලීමෙන් වළකින ලෙසත්, එක්සත් ජාතික පක්ෂයට නියෝග කර තිබේ. මන්දයත් මේ ආණ්ඩුව ස්ථාවරව පවත්වා ගැනීමට නම් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව පැවතිය යුතු බව අගමැතිවරයාගේ අවබෝධයයි.
සැබවින්ම ඉදිරි එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිල නොහොත් පොදු ජන පෙරමුණට ජයග්‍රහණය කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව දැන් දැන් සමාජය තුළ විචිකිච්චාවක් පැනනැගී තිබේ. විශේෂයෙන්ම මහින්ද පිලට රට පුරා විසිරී පැතිරුණු පක්ෂ යාන්ත්‍රණයක් නොමැති නිසා එම මැතිවරණයට මුහුණ දීමේ විශාල අපහසු කම් අත්විදිමින් තිබේ. ජනතා විමුක්ති පෙරමුණටද සිදුවී ඇත්තේ එයයි. ඔවුන්ද රට පුරා ඇති සියලුම කොට්ඨාසවලට අපේක්ෂකයන් යොදවා ගැනීමේදී කාන්තා නියෝජනයට අදාළ කාන්තා අපේක්ෂකයන් සොයාගැනීම් විශාල අර්බුදයකට මුහුණ දී තිබේ.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, පක්ෂ යාන්ත්‍රණය සියයට හැත්තෑවකටත් වඩා සතුව ඇත්තේ ජනාධිපතිවරයාගේ පිලටයි. එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිතුමාගේ පිලට මෙම තත්ත්වයට මුහුණ දීමේ කිසිදු තාක්ෂණික අපහසුතාවයක් නැත. එසේම එක්සත් ජාතික පක්ෂයට මෙවැනි තත්ත්වයන් අදාලම නොවේ. මේ මොහොත වන විටත් එක්සත් ජාතික පක්ෂය අපේක්ෂක ලැයිස්තු සකස් කිරීමේ කටයුතු වල සියයට අසූවකටත් වඩා අවසන් කර ඇති අතර අපේක්ෂකයන් ඉතාමත් වේගයෙන් ග්‍රාමීය මට්ටමේ සංවිධාන කටයුතුවල යෙදෙමින් සිටී. මෙම තත්ත්වය මත එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දැඩි විශ්වාසය, මෙම මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි බවයි. එම නිසා යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකේ සහජීවනයට හානිවන ආකාරයේ කිසිදු දේශපාලන ක්‍රියාවලියක්, ප්‍රකාශයක් හෝ වැඩසටහනක් සිදු නොකරන ලෙස පක්ෂයේ සියලුම ස්තර වල ක්‍රියාකාරීන්ට හා නායකයින්ට අගමැතිවරයා විසින් තරයේ අවවාද කරන ලදී.

මෙම තත්ත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය එක්තරා අකාරයකට උවතෝකෝටිකයකට මුහුණදී තිබුණද රට තුළ ක්‍රියාත්මක වන ආර්ථික වැඩසටහන හා සමාජ, ආර්ථික, දේශපාලනික ප්‍රතිසංස්කරණය පිළිබද කතිකාව ජනතාව හමුවේ තබමින් පරිණත දේශපාලනයක යෙදෙමින් පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට අපේක්ෂා කරයි. එසේම චිරහත් කාලයක් වංචාවෙන්, දූෂණයෙන් හා අකාර්යක්ෂමතාවයෙන් පිළිණු වී තිබූ ප්‍රාදේශීය පරිපාලනයට දක්ෂ, උගත්, බුද්ධිමත්, අලුත් මුහුණු හදුන්වාදෙමින් ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහනගර සභා වල බලය අත්පත් කරගැනීමට අපේක්ෂා කරයි.

Monday, November 27, 2017

විහින් හුදෙකලා වීම


පසුගියදා කොළඹ ජනාධිපති නිල නිවසේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පැවැත්වුණා. එම මධ්‍යම කාරක සභාව අවසානයේ එළියට එනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභිකයින්ගෙන් මාධ්‍යවේදීන් සිදුවූයේ කුමක්දැයි විමසුවා. එහිදී ඔවුන් සියලුම දෙනාගේ පාහේ උත්තරය වූයේ ඒකාබද්ධ විපක්ෂය සමග එකතු වීමට තීන්දුවක් ගත් බවයි. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය පමණක් රථයේ වීදුරුව වසාගෙන පිටත්ව ගියා. මේ අනුව කිව හැක්කේ එම මධ්‍යම කාරක සභාව තුල, මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහින්ද පිළත්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත්‍රී පිළත් එකට එක්වීම සඳහා බරපතළ සාකච්ඡාවක නිරත වී ඇති බවයි. එහිදී ජනාධිපතිවරයා එම රැස්වීමේ මුලසුන හොබවන්නට ඇත. දේශපාලනයේදී සදාකාලික සතුරෝත්, සදාකාලික මිතුරෝත් නැති බව සැබෑවකි. නමුත් මේ රටේ හැටදෙලක්ෂයක් ජනතාව තම දිවි පරදුවට තබා රාජපක්ෂවරු දේශපාලනයෙන් අතුගා දැමීමට පාවිච්චි කරන ලද ජනවරම හිමි වර්තමාන ජනාධිපතිවරයා නැවත රාජපක්ෂවරු බලයට ගෙන ඒමේ ව්‍යාපෘතියට මුලසුන ගැනීම දෛවයේ සරදමකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක හැර වෙනත් කිසිවකු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, ජනාධිපති කිරීමේ සටනට උර දෙනු නොලැබීය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යනු එතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යහමින් බුක්තිවිදිමින් සිටි, රාජ්‍ය බලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එක්සත් ජාතික පක්ෂයට ලබා ගැනීම සඳහා, එක්සත් ජාතික පක්ෂය විසින් භාවිතා කරන ලද නායකයාය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිමතයට පිටින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජනවාරි 8 බලවේගවලට නායකත්වය ලබාදී, එම බලවේගය විසින් රාජපක්ෂවරු ගෙදර යැවීම සඳහා (තෝරා ගන්නා ලද) තුරුම්පුවයි. ඒ අනුව ජනාධිපතිවරයා කුමන මට්ටමේ පුද්ගලයකු වුවද මාගේ පෞද්ගලික තක්සේරුව නම් බුදුන්වහන්සේගේ තත්ත්වයට දශමයක් පහල තත්ත්වයකට පත්වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය, ආදරය හා ප්‍රේමය දිනාගත නොහැකි වනු ඇති බවයි. ඒ සඳහා ජනාධිපතිවරයා සිහින දකින්න උත්සාහ කරන්නේ නම් එය තකතීරු කමකි. විශාල දේශපාලන වැරැද්දකි.

මේ මොහොතේ ජනාධිපතිවරයා වටා සිටින සියලුම දෙනාගේ ඉරණම ද එයයි. නමුත් ඔවුන්ට ජනාධිපතිවරයා හා යහපාලන ආණ්ඩුවට එරෙහිව යාමෙන්, එක රැයකින් විපක්ෂයේ කණ්ඩායම් අතර පැවැත්මක් සකසාගත හැකි වෙයි. නමුත් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් එය එසේ නොවේ. ඔහු එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ වුව ද, අග්‍රාමාත්‍යවරයා සමඟ මාරාන්තික සටන්කට එක්වූව ද, රාජපක්ෂවරුන්ට මල් පහන් තබා පුද පූජා කළ ද, මෙම ජන පදනම තුළ පැවැත්ම සකසා ගත නොහැක්කේය. ජනාධිපතිවරයාගේ ජන පදනම වී තිබුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන ලැදි ජනතාවගේ ජන පදනමයි. මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ වැරදි දේශපාලන ගණන් හැදීම මගින් එම ජන පදනම තුළ ඔහු හුදෙකලා වී හෝ කොන්වී තිබේ. එසේම සමහර කොටස් වල මාරාන්තික විරෝධයක් ජනාධිපතිවරයා කෙරෙහි තිබේ.

අග්‍රාමාත්‍යවරයා සෑමවිටම පාහේ ජනාධිපතිවරයාගේ කැමැත්ත හා ආශ්වාදය යහපාලන ආණ්ඩුව කෙරෙහි තබා ගැනීමට දැඩි උත්සහයක් ගනී. එසේ වුවද ජනාධිපතිවරයා කල්පනා කරනුයේ එක්සත් ජාතික පක්ෂයට එරෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැති ඇමැතිවරුන් ජනාධිපතිවරයා හමුවේ, එක්සත් ජාතික පක්ෂයට එරෙහිව නගන අවලාද වලට යම්කිසි ආකාරයකින් අනුගත වෙමිනි. 2015 ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල ජනාධිපතිතුමා ජනතාව හමුවේ තැබුවේ ඔහු නිර්පාක්ෂික ජනාධිපතිවරයා කියාය. වර්තමානයේදී ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා හැටියට විශාල වගකීමක් පැවරී ඇති අතර ඔහු කටයුතු කරමින් සිටිනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාට හෝ ඒ ආසන්නයටය. එය එසේ කළ යුතු බවට ජනාධිපතිවරයා එදිරිව කොන්දේසි ගොඩනැගෙමින් තිබේ.

2015 ජන ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණය අවසන් වී දින කිහිපයක් තුළම ජනාධිපතිවරයා ගොඩවූයේ වැරදි බෝට්ටුවටය. තමන් අතහැර පැමිණි, එසේම තමන්ට ජනාධිපතිවරණයේදී ප්‍රබලතම සතුරා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය ලබා ගැනීම එක්තරා ආකාරයකින් දෛවෝපගත සරදමකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගැනීමේ කිසිදු වරදක් නොදකින නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා එළිපිට කටයුතු කිරීමට උත්සහ කිරීම (ජනාධිපතිවරයාගේ කණ්ඩායම) ලක්ෂ හැටදෙකක් වූ ජනතාව අතර ජනාධිපතිවරයා කෙරෙහි තරහක්, වෛරයක් ඇති කිරීමට හේතුවී තිබේ. දේශපාලඥයෙකු නම් ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ඔහුගේ පක්ෂය, ඔහුගේ පාක්ෂිකයන්ගෙන් හා ඔහු හැදුණු වැඩුණු ජන සමාජය තුළ ආශිර්වාදය තිබිය යුතුවේ. නැතිනම් විශාල ජන සමාජයක හුදෙකලා චරිතයක් බවට පත්වේ. ජනාධිපතිවරයෙකු එම ඉරණමට පත්වීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි.

ජනාධිපතිතුමා ඡන්ද පදනමක් නැති රාජ්‍ය නායකයා බවට පත්ව තිබේ. තමන්ට සැබෑ ලෙසම ආදරය කරන බිරිදක්, පවුලක් සිටියදී සතුරාගේ බිරිඳ සමඟ පවුල් කෑමට කල්පනා කරනු ලබන්නෙකුගේ තත්ත්වයට ජනාධිපතිතුමා ඇද වැටී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිතුමා පැවැත්මක් අපේක්ෂා කරන්නේ නම් එය මිරිඟුවකි. මන්දයත් ජනාධිපතිතුමා වටේ සිටින බොහෝ දෙනකු ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් ජනාධිපතිතුමා පාවා දීමට පසුබට නොවේ.

අනෙක් අතින් එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා දීගෙන් ලැබුණු කෙංගෙඩියක් නැති අතර රටට ලැබුණු කෙංගෙඩියක්ද නැත. තුනෙන් දෙකක බලයක් තිබුණද එම බලය උපයෝගී කොටගෙන ජනවාරි 8 හෝ අගෝස්තු 17 වෙනිදා ජනවරමට සාධාරණයක් ඉටු කිරීමට නොහැකි මට්ටමට ආණ්ඩුව පත්ව තිබේ යැයි මට සිතේ. එක්සත් ජාතික පාක්ෂිකයන්ට මේ මොහොතේදී මහින්ද රාජපක්ෂ හා රාජපක්ෂවරුන් සතුරන් වන්නේද, ජනාධිපතිතුමා හා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝද එතරම්ම සතුරන් වෙති. එම තත්ත්වය වහා වෙනස් කළ යුතු තත්ත්වයකි. ජනාධිපතිතුමා එක්සත් ජාතික පාක්ෂිකයින්ගේත්, එම දේශපාලකයින්ගේත් විශ්වාසය දිනාගැනීමට වහ වහා කටයුතු කළ යුතුය.

Sunday, November 19, 2017

බාධාකිරීම් මැද රනිල්, නැව ගමනාන්තයට යොමුකර තිබේ


2015 ජනවාරි 8 වන දා ජනාධිපතිවරණය නොපැවැත්තුවේ නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන්නේ මෙම සතිය තුළදීය. එසේ වූයේ නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හා ඔහුගේ පවුලේ රෙජීමය පසුගිය වසර දෙක තුළ මේ රට පාලනය කරනු ලබයි. එය එසේ වී තිබුණි නම් විය යුතුම පරිදි සිදු විය යුතුව තිබුණේ ලංකාව විසාලා නුවරක් බවට පත්වීමයි. 2015 මාර්තු 29 වන දා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නියමිතව තිබූ සම්බාධක පැනවූයේනම් එම සම්බාධක මත පදනම්ව රට තුළ ඇති වීමට නියමිතව තිබූ අර්බුධ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගය, ඉන්ධන හිඟය, බෙහෙත් හේත් හා විදේශ මුදල් හිගය, වැනි කාරණා මෙන්ම පිට රටවලට ගමන් කිරීමට ඇති අපහසුව වැනි කාරණා වලින් රට අවුල් ජාලයක් බවට පත්වීමට ඉඩ තිබුණි. වාසනාවකට මේ රටේ ජනතාව මෙම තත්ත්වය තේරුම් ගත් අතර එවකට පැවති අන්ත දූෂිත භීෂණකාරී සුදු වෑන්වලින් මිනිසුන් අතුරුදහන් වන, මහ මග මිනිසුන් මරා දමන, පාර්ලිමේන්තුව ඒකාධිපතිත්වයට පාර කපන මෙවලමක් වූ රාජපක්ෂ රෙජීමය පිළිබද අවබෝධ කරගත්තේය. එකල මත් ද්‍රව්‍ය බෙදාහැරීම සිදුවූයේ රජයේ අනුග්‍රහය ඇතිවය. මෙම අවාසනාවන්ත තතත්වය තේරුම්ගත් ජනතාව විසින් එම මොහොතේදී තීරණාත්මක ලෙස රාජපක්ෂ රෙජිමය පරදවන ලදී.

එම මැතිවරණයේදී ජනතාවගේ තෝරා ගැනීම වූයේ එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාය. එදා එම මොහොතේ රාජපක්ෂවරු තීරණාත්මක ලෙස පරාජය කිරීමට සම්බන්ධ වූ බලවේග සහ කණ්ඩායම් අද ප්‍රකාශ කරන කාරණා දෙස විමසා බැලීමේදී මා හට පෙනී යන එක් ප්‍රධාන කාරණයක් තිබේ. එනම් එදා තිබූ තත්ත්වය අනුව කුමන කොන්දේසියක් යටතේ හෝ රාජපක්ෂ රෙජිමය පැරදවීම ඔවුන්ගේ ඒකායන අරමුණ වූ බවයි. එහිදී ඇති වූ අරගලය තුළ ඔවුන් කිසිවක් බලාපොරොත්තු නොවූ අතර අඩුම තරමින් කාර්යක්ෂම, අවංකව වැඩ කරන ජනාධිපතිවරයකු වුව ද බලාපොරොත්තු නොවීය. එම අවස්ථාවේදී මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගත් එක්සත් ජාතික පක්ෂය හා ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මෙම විධායක ජනාධිපති ධූරය සම්පූර්ණයෙන්ම අහෝසි කරන බවට ජනතාවට ප්‍රතිඥා ලබා දුන්නේය. එම නිසා වර්තමාන ජනාධිපතිතුමා මෙම තනතුරට ගැලපෙනවාද නැද්ද යන්න එම අරගලයට සම්බන්ධ වූවන්ට හා එක්සත් ජාතික පක්ෂයට ගැටළුවක් නොවීය. අද එම ප්‍රථම පොරොන්දුව පිළිබඳව වගේ වගක් නොමැතිව ආණ්ඩුව සිටියද, විධායක ජනාධිපති ධූරය හා සබැඳුණු අසාධාරණකම්, බලය යෙදවීම් නිසාවෙන් ජනතාව තුළ නැවතත් ජනාධිපති ධූරයේ පැවැත්ම පිළිබඳව සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. වර්තමාන ජනාධිපතිවරයා මේ රටේ රාජ්‍ය නායකයා ලෙස පත්කර ගැනීමට ජනවරම ලැබුණේ ඔහු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර සියළු බලතල පාර්ලිමේන්තුවට පවරා දෙන බවට ලබා දුන් පොරොන්දුව මතයි. එබැවින් මේ රටේ ජනතාවට වර්තමාන ජනාධිපතිවරයා මේ රට ගොඩ දමතැයි, දැමීමට උත්සාහ කරයි හෝ එසේ කළද, ඔහු කළ යුතු යැයි කියා බලාපොරොත්තුවක් නොමැත. 2015 ජනවාරි 8 වැනි දා ජනාධිපතිවරණයේදී මේ රට සංවර්ධනය කරන වැඩ සැලැස්මක්, වෙනත් කිසිදු වැඩපිළිවෙලක් ජනතාව හමුවේ නොතිබුණු අතර ජනතාවට පොරොන්දු වූ එකම වැඩපිළිවෙල රාජපක්ෂ රෙජීමය ගෙදර යවා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර, පාර්ලිමේන්තුවට රටේ බලතල ලබා දෙන බවයි. ජනවාරි 8 යහපාලන ජනවරම එයයි. රට ගොඩදැමීමට හා දියුණු කිරීමට ජනවරමක් ඉල්ලා සිටියේ 2015 අගෝස්තු මහ මැතිවරණය තුළිනි. එහිදී මේ රටේ ජනතාව රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට රටේ ආර්ථික දියුණුවත්, සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ජනවරමත් ලබා දුනි. ජනාධිපතිවරයාගේ ජනවරම ඇත්තටම දින සියයේ ආණ්ඩුව සඳහා ලබාදුන් ජනවරමක් වන අතර ජනාධිපතිවරයා විසින් වර්තමාන ආණ්ඩුවේ කටයුතු මෙහෙයවිය යුතු යැයි මේ රටේ කුරා කූඹියෙක්වත් සිතන්නේ නැත. කවුරුන් හෝ එසේ සිතන්නේනම් හෝ ඒ සදහා උඩගෙඩි දෙන්නේනම් ඒ ජනාධිපතිවරයා අන්දවා මැති ඇමතිකම්, තානාපතිකම්, තනතුරු වරප්‍රසාද, බිස්නස් ආදිය ලබාගැනීමට බලාපොරොත්තු වන හොර ගෙඩියන්ය. රට ගොඩදැමීම තමන්ගේ වගකීමක් යැයි අඩුම තරමින් ජනාධිපතිවරයාවත් සිතන්නේ නැත. යහපාලන ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු සහ ජනාධිපති මාධ්‍ය අංශයනම් මේ රටේ සියල්ලම විධායක ජනාධිපතිවරයාගේ උර මත යැයි අඩබෙර ගසයි.


විධායක ජනාධිපති ධුරයේ බලතල අහෝසි කර එම බලතල පාර්ලිමේන්තුවට පවරා දීමට පැමිණි ජනාධිපතිවරයා ගැන ජනාධිපති මාධ්‍ය අංශයේ සහෝදර සහොදරියන් ප්‍රකාශ කරන පරිදි මේ මොහොතේ ජනාධිපතිවරයා විසින්  එක්සත් ජාතික පක්ෂය නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංයුතියකින් යුත් ආණ්ඩුවක් බිහි කිරීමට උත්සාහ කිරීම හිතළුවකි. මන්ද පසුගිය වසර දෙකකට වඩා වැඩි කාලයක් තුළ එක්සත් ජාතික පක්ෂය දේශපාලනයේ යෙදුණු ආකාරය අනුව සරල බහුතරය සහිත ආණ්ඩුවක් ගොඩනගා ගැනීම කජු කනවා වැනි වැඩකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපිලම එකතුවී කණ්ඩායමක් ගොඩනැගුවද ගොඩනගා ගත හැකිවන්නේ යන්තම් ආසන 75ක් පමණි. සරල බහුතරයක් ගොඩනැගීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපිලටම ආසන 113ක් තිබිය යුතුය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අගමැති ධූරය කෙසේ වෙතත් විපක්ෂ නායක ධූරයනම් අනිවාර්යෙන්ම ලබාගත හැකිය. ජනාධිපති කාර්ය මණ්ඩලයේ මහත්වරු වෙබ් අඩවිවලට කෙතරම් මඩ ප්‍රචාර යැවූවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු තමන්ගේ අමාත්‍ය ධූර අතහැර, විපක්ෂයට ගොස් තමන්ට පිනට හම්බවූ නිවසත්, වාහන තුනත්, කාර්ය මණ්ඩලයත්, අනෙකුත් වරප්‍රසාදත් අහිමිකරගැනීමට කැමති නොවනු ඇත. අනෙක් අතින් යූ. එන්. පී. කාරයෝ යනු යූ. එන්. පී. කාරයෝය. ඔවුන් පක්ෂයේ එකිනෙකා විවේචනය කරගැනීම සාමාන්‍ය දෙයකි. නායකයාට විරුද්ධව නාහෙන් ඇඩීම තේමා ගීතයක් වැනිය. නමුත් පක්ෂයේ අයෙකුට හෝ පක්ෂයට යම් ප්‍රශ්නයක් පැමිණි විට ඔවුන්ගේ රතු ලේ කොළ පාට වේ.

මෙම යූ. එන්. පී. කාරයින්ගේ කන්කෙදිරියට රැවටී තම අනාගතය අහිමිකරගත් අය අතර දයාසිරි ජයසේකරගේ සිට කරූ ජයසූරිය දක්වා බොහෝ දෙනෙක් සිටී.

මේ අනුව අවසාන වශයෙන් මට කිව හැක්කේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් 2025 දක්වා පවතින බවයි. යූ. එන්. පී. කාරයෝ බලය පවත්වාගැනීම සදහා කල යුත්තේ කුමක්දැයි වේගයෙන් ඉගෙනගනිමින් සිටින අතර අවශ්‍යනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂය හා එක්වී රාජ්‍ය පාලනයට සම්බන්ධවිය හැක.

Monday, November 6, 2017

පොහොට්ටුව පිපෙයිද ?



ශ්‍රී ලංකාවේ දේශපාලන⁣⁣ය විශේෂ වෙනස්කම් කිසිවක් පසුගිය සතියේ සිදු නොවුනද පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මැතිතුමා විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා වූ ගැසට් පත්‍රයට අත්සන් තබනු ලැබුවා. එම ගැසට් පත්‍රය අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තිබූ අවසාන නීතිමය බාධාවත් ඉවත් විය. මේ අනුව මැතිවරණය ජනවාරි මාසය අගදී සහ නාම යෝජනා කැඳවීම දෙසැම්බර් මාසයේ මැදදී සිදු වේ. එම මැතිවරණය රටේ සියළුම දේශපාලන පක්ෂ වලට හා බලවේග වලට තීරණාත්මක මැතිවරණයකි. මෙම පළාත් පාලන මැතිවරණය ජය ගැනීම එක්සත් ජාතික පක්ෂයේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ප්‍රධාන දේශපාලන පක්ෂවලත් අභිලාෂයයි. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදී ගොඩනැගී ඇති රාජපක්ෂවරුන්ගේ පොදුජන පෙරමුණ මෙම මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල අභියෝගයක් වනු ඇත.

පොදුජන පෙරමුණ මූලික වශයෙන් පළාත් පාලන මැතිවරණයේදී ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ උත්කර්ෂයට නංවනු ලබන කාරණා කීපයක් තිබේ. මාගේ පෞද්ගලික තක්සේරුවට අනුව නම් ප්‍රාදේශීය සභා නියෝජිතයින්ගේ නාම යෝජනා ලබාගනු ලබන හිටපු ප්‍රාදේශීය සභා සහ නියෝජිතයින්ගේ පසුගිය කාලයේ ක්‍රියාකාරකම්, මැතිවරණයකදී ඡන්ද ලබා ගැනීම සඳහා භාවිත කිරීමට නොහැකි තරම් දූෂිතය. විශේෂයෙන්ම ප්‍රාදේශීය සභාවල නියෝජිතයින් පාසල් වලට ළමයින් දැමීමේ සිට පාරවල් වලට කොන්ක්‍රීට් දැමීම දක්වා වූ සියලුම පොදු වැඩ වලදී අල්ලස් ලබාගෙන, කොමිස් ලබාගෙන කුජීත වී සිටිති. එය පොදුජන පෙරමුණ උත්කර්ශයට නංවනු ලබන ඔවුන් සතු හිටපු ප්‍රාදේශීය සභා නියෝජිතයින්ගේ ශක්තියේ විශාල දුර්වතාවයක් ද විය හැකිය. මන්ද මෙම මැතිවරණයේදී කොට්ඨාශය තුළ ඇති සෑම පවුලකම සෑම පුද්ගලයෙකුගේම ඡන්දය වැදගත් වන බැවිනි. එහි දී මැද ඡන්ද, තරුණ ඡන්ද හා අලුත් ඡන්ද රාජපක්ෂ වරුන්ගේ පෙරමුණට ලබා ගැනීමට ඇති ඉඩකඩ අඩුය. ඔවුන් ලබාගනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාම්ප්‍රදායික ඡන්ද පදනමෙන් කොටසකි. එම ප්‍රමාණය ග්‍රාමීය
කොට්ඨාස ජයග්‍රහණය කිරීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවනු ඇත.

පොදුජන පෙරමුණ විසින් මෙම මැතිවරණයේදී ගෙන එනු ලබන අනෙකුත් ප්‍රචාරක උපක්‍රමය වන්නේ සිංහල ජාතිකත්වය හා බුද්ධාගමයි. මෙම මැතිවරණ සටන් පාඨය නිසාම මැතිවරණ ආරම්භයේදීම පොදුජන පෙරමුණට දෙමළ, මුස්ලිම් හා කතෝලික ඡන්ද අහිමි වනු ඇත. නමුත් සිංහල පමණක් ඇති කොට්ඨාස වලට එය වාසියක් ලෙස පෙනුණද ග්‍රාමීය ජනතාව ඡන්දය ප්‍රකාශ කරනුයේ ජාතිය හා ආගම මත පදනම්ව

පමණක් නොවන අතර අනෙකුත් දේශපාලන පක්ෂවල සාම්ප්‍රදායික ඡන්ද පදනමෙන් ඉවත් වූ විට ඉතිරි ඡන්ද වලට එයින් බලපෑමක් කළ හැකිය. නමුත් එය කොට්ඨාසයක් ජයග්‍රහණය කිරීමට තරම් ප්‍රමාණවත් දැයි විමසා බැලිය යුතුය. පොදුජන පෙරමුණ විසින් ගෙන ඒමට නියමිත අනිකුත් මැතිවරණ සටන් පාඨය වනුයේ එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තියයි. එම ආර්ථික ප්‍රතිපත්ති වලට විරුද්ධව ඇති චෝදනා ඉතාම රසවත් ආකර්ෂණීය චෝදනා වේ. නමුත් මෙම චෝදනා රාජපක්ෂවරුන් ගේ ආර්ථික ප්‍රතිපත්තියයි. උදාහරණ ලෙස ඉඩම් විකිණීම පිළිබඳ ඇති චෝදනාව ගන්න. එය රාජපක්ෂවරුන්ගේ ප්‍රමුඛ ආර්ථික ප්‍රතිපත්තියයි. එක්සත් ජාතික පක්ෂයට මේවා ඉතා පහසුවෙන් නිශේධනය කළ හැකි චෝදනාය.

මෙම මැතිවරණයේදී පොදුජන පෙරමුණ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ගෙන ආ හැකි ප්‍රධානම චෝදනාවක් වන්නේ එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්‍රයට කටයුතු කරමින් සිටින බවයි. එම චෝදනාව මෙම පක්ෂ දෙක අපහසුවට පත් කරන නමුත් මැතිවරණයක් අවස්ථාවකදී සෑම දේශපාලන පක්ෂයක්ම බෙදී වෙන්වී සිටින තත්වයක් තුළ එම චෝදනාවට වටිනාකමක් නොලැබෙනු ඇති බව මාගේ විශ්වාසයයි. මන්ද මැතිවරණ සමයේදී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් තීරණාත්මක ලෙස බෙදී වෙන් වී මැතිවරණයට මුහුණ දෙන නිසාය.

එසේම මෙම මැතිවරණයේ පොදුජන පෙරමුණට ඇති අනෙකුත් විශාලතම අභියෝගය නම් එම පෙරමුණ සතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ආසන සංවිධායකයින් නොමැති වීමයි. අවසානයේදී ග්‍රාමීය මට්ටමේ වැඩකටයුතු තීරණය වන්නේ ආසන සංවිධායකගෙන් වන අතර ජනතාව සංවිධායකයෝ වටා එක්වී පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දෙන බව මාගේ මතයයි. ඒ කෙසේ වුවද ලංකා ඉතිහාසයේ පළාත් පාලන මැතිවරණ ජය සැමවිටම ලැබී ඇත්තේ පවතින ආණ්ඩුවට පක්ෂවය. මන්දයත් පළාත් පාලන මැතිවරණය ආණ්ඩු මාරු කරන ජාතික මැතිවරණයක් නොවන තත්ත්වයක් තුළ ජනතාව විසින් පවතින ආණ්ඩුවේ කණ්ඩායම් තම ගම් පළාතේ සංවර්ධන කටයුතු වලට සම්බන්ධ කරගැනීමට සහ පත්කර ගැනීමට උනන්දුවක් දක්වයි.

එසේම ග්‍රාමීය මැතිවරණ වලදී ඡන්දය දැමීමේ ප්‍රතිශතය 50% ක පමණ තත්ත්වයක පවතින අතර එහිදී ප්‍රධාන වශයෙන් පක්ෂයේ කණ්ඩායමක් ඡන්දපොළට නොයෑම සිදුවේ. ඒ හේතුව නිසා ආණ්ඩු කණ්ඩායම් සාර්ථක ව්‍යාපාරයක් මගින් ජනතාව ඡන්ද පොළට ගෙන්වා ගැනීමේ හැකියාව ඉහල නංවාගත් තරමට ජයග්‍රහණය ලැබීමට ඉඩකඩ වැඩිවේ.

පළාත් පාලන මැතිවරණ පුරෝකතනය අනුව කිව හැක්කේ එක්සත් ජාතික පක්ෂය විසින් මුස්ලිම් සහ ද්‍රවිඩ ඡන්ද ඇති ආසන සියල්ලම පාහේ දකුණු පළාතේ ජයගැනීමට හැකි අතර සිංහල බෞද්ධ බහුතරය ඇති ආසනවල වැඩි ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයට ජය ගත හැකිය. මන්දයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී ඇති තත්ත්වයක් තුළ යෝජිත නව මැතිවරණ ක්‍රමයේ පෙන්වා දෙනු ලබන බෞද්ධ ඡන්ද එක්සත් ජාතික පක්ෂයට ලබා ගත හැකි අතර ලැයිස්තු මන්ත්‍රීවරුන්ද විශාල ප්‍රමාණයක් ලබා ගත හැකිය. මෙම පළාත් පාලන මැතිවරණයේ වැඩිම වාසිය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටය.