Monday, March 19, 2018

කුවේණියගේ කදුළු

ලංකාවේ සිංහල හා දෙමල ජාතික වාදයේ පදනම මහාවංශයයි. එය වසර 2500 කටත් වඩා පැරණි මහා සම්ප්‍රදායක් වන අතර එයින් අපට රටක් ලෙස එදත් අදත් අහිමි වූ දෑ බොහෝය. මහාවංශයට අනුව සිංහල ජාතිකත්වයේ උපත සිදුවන්නේ ඉන්දියාවෙන් පැමිණි නාහෙට නාහන විජය කුමරයාගෙන්ය. ජාතියක් ලෙස උතුරු ඉන්දියානු සංස්කෘත බසින් බිදුණු සිංහල දකුණු ඉන්දියානු ද්‍රවිඩියන් දෙමළට වඩා වැඩි වරප්‍රසාදිත බාසාවක් ජාතියක්  බවට  සිංහලයින් කල්පනා කරන්නට පටන් ගත්තේ එය ආරම්බ වූ කාලයේ සිටමය. ඒ පිළිබද ප්‍රථම සාක්ෂිය වන්නේ විජය කුමාරයා විසින්ය. ඒ කුප්‍රකට මහාවංශය විසින් පෙන්වාදෙන කුවේණිට සිදුකල මහා රැවටීමය. එය අපරාදයකි. ඒ අපරාදය මතින් ඔවුන් ලියා තැබුවේ සිංහලයින් දෙමළුන්ට වඩා මාර පොර ජාතියක් කියාය.

විජය ලංකාවට ගොඩ බසින විටත් ලංකාව විශේෂයෙන් මල්වතු ඔයෙන් උතුරට වන්න ජනාවාසව පැවතුනි. සැබවින්ම දකුණේද ජනාවාස තිබුණු බවට සාක්ෂි දැන් ලැබී තිබේ. නමුත් විජයට මුණ ගැසෙනුයේ මල්වතු ගගින් උතුරේ කුවේණිගේ පරපුරය. එනම් තම්බපන්නියේ වාසය කළ වුන්ය. තම්බපන්නිය යනු මහා විල්පත්තු වන මැද පිහිටි ස්ථානයකි. විජය ලංකාවට පැමිණෙන විටත් ලංකාවේ උතුරෙහි සංස්කෘතියක් තිබුණු බවත් සංස්කෘතික මිනිසුන් වාසය කල බවටත් සාක්ෂි මහා වංශයේම තිබේ. එනම් කුවේණිය විජය ලංකාවට පැමිණෙන විටත් සිටිනුයේ කපු කටිමිනි. කපු කැටීම යනු විලි වසා ගැනීමට රෙදි පිලි නිෂ්පාදනය කිරීමයි. එසේනම් වසර 2550 කටත් වඩා ඈත කාලයේ ලංකාවේ මල්වතු ගගට උතුරින් රෙදි අදින සංස්කෘතික මිනිසුන් ජීවත් වී තිබේ. ඒ සියල්ලටමත් වඩා කුවේණිය විජය හා ප්‍රේමයෙන් බැදේ. ප්‍රේමය සංස්කෘතික සමාජයක දියුණු සමාජ හැසිරීමකි. සමාජ ගිවිසුමකි. කුවේණිය ඇතිකරගත් එම ගිවිසුම අනුව උතුරු ඉන්දියානු විජයට දකුණු ඉන්දියානු සංස්කෘතික ගැහැණිය මල්වතු ගගින් දකුණේ උතුරු ඉන්දියානු රාජ්‍ය පිහිටුවා ගැනීමට  සහයෝගය ලබා දෙයි. විය හැකි ලෙසම කුවේනියගේ සංස්කෘතිය දකුණු ඉන්දියානු විය යුතුය. මන්ද මන්නාරමේ සිට ඉන්දියාවට ඇති දුරත් ජනපද සියල්ල මල්වතු ගගින් උතුරේ පිහිටුවා තිබීමත් අදත් එම ප්‍රදේශ් වල ජනතාව දෙමල හා හින්දුන් වීමත් වැනි කාරණා නිසාවෙන් අපිට නිගමන කල හැක්කේ ඔවුන්ගේ සංස්කෘතිය දකුණු ඉන්දියානු ද්‍රවිඩ විය හැකි බවය. එසේම විජය කුවේනියගේ පරපුරට  පිටස්තරයෙකු වීමටත් කුවේණිය විජයට පිටස්තරයෙකු වීමටත් බල පෑ ප්‍රධානම හේතුව මෙම උතුරු දකුණු සංස්කෘතික නොගැලපිමය.

අද නුතන සිංහල ජාතික වාදීන් මහාවංශයේ සදහන් විජයගෙන් සිංහලයා පැවැත එතැයි යනුවෙන් දක්වනු ලබන කතාන්දරය තදින් ප්‍රතික්ෂේප කරනු ලබයි. එයට හේතු ගණනාවක් තිබුනද ඉන් ප්‍රධානතම හේතූන් වන්නේ විජයගේ ඉන්දියානු රස්තියාදුකාර ජන්මයත්, කුවේණියගේ දෙමළ සංස්කෘතියත් එසේත් නැතිනම් විජයට පෙර කුවේණිය මෙහි ජනාවාස ගතව සිටීම තුලින් ඇය මගින් මෙරට සිංහල අධිපතිවාදී මුල් ජනපදික මතය බිද දැමීමත්, මේ සියල්ලටම වඩා විජය කුවේණිය කෙරෙහි දැක්වූ කුරිරු සැලකීම සිංහල වැනි මාර සංස්කෘතික ජාතියකට නොගැලපෙතැයි ජාතික වාදී චින්තකයින් සිතයි. මෙම නිසාම සිංහල ජාතික වාදී චින්තකයින් රාවණා කතාන්දරය කරපින්නා ගෙන සිංහල ජාතියේ ආරම්භය පිළිබද වෙනත් මතවාදීමය තර්ක ගොඩ නගමින් සිටි.

මීට එරෙහි මගේ තර්කය වන්නේ සිංහල භාෂාව සංස්කෘත වලින් බිදී එන්නක් වීමත් එහි හඩ නේපාල භාෂාවට සමීප වීමත් බුදු දහමත් නිසාවෙන් අපි සංකෘතික වශයෙන් වැඩි නැඹුරුවක් දක්වන්නේ උතුරු ඉන්දියානු සම්බවයකටය. එම නිසා මහාවංශ කතුවරයාගේ සිංහල ජාතියේ උපත පිළිබද  කතිකාවට වැඩි බරක් තැබිය හැකි බව මගේ අදහසයි. මෙම තත්ත්වය තුල සිංහලයට ලංකාවේ පුරෝගාමී ජනපදිකයින් ලෙස කිව නොහැකි අතර එසේ කිවයුතුනම් කුවේණියගේ පරපුර අයත් වන්නේ කුමන ජන කොටසකටද ? අද ඔවුන්ට සිදුවුයේ කුමක්දැයි ඔප්පුකොට පෙන්විය යුතුය. එසේ නොවන්නේනම් දෙමල සුළුතරයද මෙරට පූර්වගාමී ජනකොටසක් ලෙස අපි වන අතර අපි සමාන අයිතිවාසිකම් ඇති අයවලුන් ලෙස එකම මේසයේ ඉදගෙන කටයුතු කල යුතුවේ හෝ එසේ කිරීමට හිත හදා ගතයුතු වෙයි.

මෙවන් තත්ත්වයක් යටතේ දෙමළා සහ සිංහලයා එකම මේසයක කටයුතු කරද්දී මුසල්මානුවා කටයුතු කල යුත්තේ දෙවන පුරවැසියෙක් ලෙසද ? ශ්‍රිලාංකික සමාජය මුහුණ දෙන අනෙක් ගැටලුව එයයි. මුස්ලිම් ආගම පදනම් කරගත් විශාල ජනතාවක් ලෝකය පුරා විසිරි වාසය කරයි. ඔවුන් මූලික වශයෙන් වෙළෙන්දෝය. වෙළදාම පදනම් කරගෙන ඔවුන් ලෝකය පුරා විසිරි ගිය අතර ලංකාවටද පැමිණියේ ශත වර්ෂ ගනනාවකට පෙර වෙළදාම උදෙසාය. ලංකාවේ මුස්ලිම් ජනතාව පිළිබද සිදුකරන ලද සියලුම අධ්‍යයනයන්ගෙන් ඔප්පු වී ඇත්තේ ඔවුන්ගේ ප්‍රථමයෙන් පැමිණ ඇත්තේ පිරිමි පාර්ශ්වය පමණක් බවයි. ඉන් අදහස් වන්නේ ඔවුන් විසින් සිංහල හා දෙමළ කාන්තාවන් හා සරණ ගොස් ලංකාවේ පදිංචිවී ඇති බවයි. එසේනම් ලංකාවේ ජීවත් වන සියලුම මුස්ලිම් වරුන්ගේ මව් රට ලංකාව බවයි. එනම් ලාංකික මවක් නොවන කිසිදු මුස්ලිම් වරයෙකු ඉතිහාසයේ කිසිදු දිනයක ලංකාවේ වාසය කර නොමැති බවයි. මේ අනුව මගේ නිගමනය වන්නේ ලංකාවේ සිංහල මුස්ලිම් හා ද්‍රවිඩ සියලුම දෙනා එකම මේසයේ වාඩිවිය හැකි සමාන අයිතිවාසිකම් ඇත්තෝ වෙති. මෙරට සිංහල, දෙමල, මුස්ලිම් ජාතින් තුනට අයත් ශ්‍රී ලංකික අනන්‍යතාවයෙන් කටයුතු කලයුතු රටකි. මෙහි අන්තගාමී ජාතිවාදීව කටයුතු කරන යමෙක් වේද ඔහු රටට සතුරුව කටයුතු කරන්නෙකු වේ. ඔවුන් අලුයම ලූ කෙල පිඩක් මෙන් ප්‍රතික්ෂේප කළයුත්තෝ වෙති. එසේ නොවන්නේ නම් අපට කුවේණියගේ සාපයෙන් මිදිය නොහැකි වන්නේය.

Wednesday, March 7, 2018

සීලාචාර මිනිස්සු ගෝත්‍රිකයින් කරමු, ගෝත්‍රිකයින් නායකයින් කරමු.

ජනවාරි 8 වැනිදා සිදුකළ දේශපාලන බල පෙරළියට මේ රටේ සිවිල් ප්‍රජාව ජනවාරි විප්ලවය යැයි කීවේය. එය එසේම විය යුතුව තිබිණි. 2014 වසර වනවිට ලාංකේය සමාජය සියවසේ අනතුරුදායකම වසරට පය තබා විනාශයේ අදුරු මාවතේ වේගයෙන් ගමන් කළේය. පාලක රාජපක්ෂ රෙජීමය තම පවුල් පාලනය වසර 70 ක් අඩුම තරමින් පවත්වාගෙන යන බවට එළිපිට ප්‍රකාශ කොට තිබිණි.

රටේ සියලුම සමාජ දේශපාලන හා පරිපාලන ආයතන රාජපක්ෂවරුන්ගේ යකඩ  සපත්තුවට යට වී තිබුණු අතර මිනිසුන් අතුරුදහන් වීම, නායකයින් මහ මග ඝාතනය වීම, ඉමක් කොනක් නොපෙනෙන රාජ්‍ය මුදල් හා දේපළ මංකොල්ලා කෑම, සිදුවූ අතර ජනතාවට තිබු ලොකුම තර්ජනය රාජ්‍යය විය. අවනීතිය රජ වී උතුරු කොරියාවේ මෙන් රජ පවුලක් ගොඩනැගෙමින් තිබුණි.

රටේ සියලුම මාධ්‍ය රජ පවුලට වන්දිබට්ට කම් කළ අතර රාජපක්ෂවරු වෙනුවෙන් ජාතිකවාදය පදනම් කරගත් දැවැන්ත ප්‍රචාරක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය. මෙම ප්‍රචාරක හා දේශපාලන වැඩපිළිවෙල මගින් දෙමල, මුස්ලිම් හා කතෝලික ජනතාවගේ පැවැත්ම වීශාල අනතුරක වැටුණු බැවින් ඔවුන් දවසේ වැඩි කාලයක් බියෙන් සැකයෙන් ගත කළේය. එම ජනතාව දෙවන පෙළ පුරවැසියන් බව රාජ්‍ය අනුග්‍රහය ඇතිව පෙන්වා දුන් අතර එවැනි වැඩසටහන්වලට යාන වාහන, මුදල් හදල් හා රටේ නීතියේ මුක්තිය හා ආරක්ෂාව ලැබිණි.
2015 ජනවාරි  8 වැනිදාට පෙර යුගය ලංකා ඉතිහාසයේ අප ජාත්‍යන්තරව කොන් වූ හුදකලා වූ යුගයයි. අපගේ දීර්ඝ කාලීන වැදගත් මිතුරන් වූ එංගලන්තය, ඇමරිකාව, ජපානය, දකුණු කොරියාව වැනි රටවල් වෙනුවට අපි අලුත් මිතුරන් ගොඩ නගා ගත්තේය. ඒ දේශපාලන අර්බුධ වලින් ගහන වෙනිසියුලාව, සිරියාව, ලිබියාව, අප්‍රිකානු කළාපයේ ස්වාසීලන්තය සිම්බාබ්වේ වැනි රටවල්ය. සැබවින්ම ලංකාව ජාත්‍යන්තර රස්තියාදුකාරයින්ගේ කණ්ඩායමට වැටි තිබුණි.

රටේ සඝ සමාජයේ විනය බින්දුවට පිරිහුණු අතර මහ මග ගෝරි වල සිට පොලීසි, උසාවි දක්වා සෑම තැනම පැවිදි සමාජයේ මැදිහත්වීමක් තිබුණු අතරම, ග්‍රාමීය මට්ටමේ බලහත්කාරකම් වලට ආගමික සමාජයේ දැඩි සම්බන්ධයක්  තිබෙන තරමට රාජපක්ෂ රෙජීමය යටතේ ආගමික සමාජය පිරිහී තිබුනේය. රටේ ආර්ථිකය වේගයෙන් ඇද වැටෙමින් අනාගතයේ එතැයි අපේක්ෂිත සම්බාධක නිසාවෙන් විශාල වශයෙන් විදේශ මුදල් හොර පාරෙන් රටින් පිට කරමින් ආණ්ඩුවේ හා අයුතු ලෙස උපයා ගන්නා ලද පෞද්ගලික දේපලද රාජපක්ෂවරු විසින් රටින් පිටකළේය. ලංකාව ඉමක් කොනක් නොපෙනෙන අගාදයක ගිලෙමින් ඉන්දියානු සාගරයේ තවත් උතුරු කොරියාවක් බවට පත්වෙමින් තිබුණි.

මේ තත්ත්වය යටතේ රාජපක්ෂවරු පරාජය කිරීම අනිවාර්ය කොන්දේසියක් විය. රටේ දැනුම් තේරුම් ඇති සීලාචාර සියලුම බලවේග තමන් අතර තිබු නොගැලපීම තාවකාලිකව අමතක කොට එක පෙරමුණකට පැමිණ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සමග එක් විය. රාජපක්ෂවරු පරාජය කොට ලංකාව විනාශයේ  දොරටුවෙන් මෙපිටට කැන්දාගෙන ඒමේ අවශ්‍යතාවය ගැන  මනා අවබෝධයක් තිබු එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පොදු අපේක්ෂකයෙකුට ඉඩ විවර කර දෙමින්, මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව මෙහෙය විය. අවසානයේ නපුර පරාජය වී හොද දිනුවේය. පසුදා පුවත්පත් වල පොල්ගෙඩි අකුරින් පල වූයේ වහල් යුගය අවසන් වූ බවයි. එය වචනයේ පරිසමාප්තයෙන්ම වහල්, බයි, අන්ත දුෂිත යුගයක අවසානයයි.

නමුත් ඉන්පසු එළඹි යුගය අලුත් යහපාලන ආණ්ඩුවට එතරම් සුබදායි නොවුණු බව මාගේ හැගීමයි. රට පුරා පරාජය කරන ලද ආර්ථික වැඩපිළිවෙල නිසා ඇති වූ සමාජ ආර්ථික ප්‍රශ්නය, රටේ ග්‍රාමීය ආර්ථිකය සම්පුර්ණයෙන්ම පාහේ ජාවාරම්කරුවන් අතට පත්වී තිබුණි. ජාත්‍යන්තර සම්බාධක පැනවීමට මාර්තු 29 වනතුරු සමහර රටවල් ඇගිලි ගනිමින් සිටියේය. නිලධාරීන් 80% කටත් වඩා පරාජය කරන ලද රෙජීමයේ වාසි ලද අය බැවින් ඔවුන් මුල සිට කකුලෙන් අදින්නේය. ආණ්ඩුවේ බාගයකටත් වඩා රාජපක්ෂවරුන්ගේ හොල්මන්ය. මෙවැනි වාතාවරණයක් තුළ ජනවරම රැක ගනිමින් කටයුතු කිරීම ඉතාම අපහසු කටයුත්තකි. නිදහසින් පසු මෙතරම් අපහසු කාලයක් උදාවු කිසිදු පක්ෂයක් හෝ ආණ්ඩුවක් නොතිබුණ බව මාගේ හැගීමයි .

එමෙන්ම ජනවාරි 8 වැනිදා පරාජය කරන ලද ජාතිවාදී බලවේග පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු නැවත නැගිටිමින් තිබේ. පසුගිය සති දෙක තුළ රට පුරා ඇති වූ පහරදීම් වල පිටුපස පොහොට්ටු පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ සම්බන්ධයක් ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම නුවර තෙල්දෙණියේ ඇතිවූ ගැටුම මුළුමනින්ම පෞද්ගලික ආරවුලක් දේශපාලන ක්‍රියාකාරීන් විසින් ජාතිවාදී අරගලයක් බවට පත් කරන ලද එකකි. එහිදී ඇති වූ ගැටුම් වලින් රුපියල් මිලියන සිය ගණනක දේපල හානි සිදු වූ බවට වාර්තා වේ. ආණ්ඩුව ඇතුලතින් සිදුවන ප්‍රහාර හමුවේ ආණ්ඩුව දුර්වල වන අතරතුරම  යක්ෂයාගේ බලවේග රට තුල තම රාජකාරි කටයුතු අරඹා තිබේ. රටේ මුස්ලිම් දෙමල හා කතෝලික ජනතාව සම්පූර්ණයෙන්ම පාහේ මහත් බියකට පත්ව සිටින අතර සිංහල ජනතාව අතරද බහුතර  සීලාචාර සමාජයක් බලාපොරොත්තුවුණ කණ්ඩායම් වල සිත් තුලද භීතියක් හටගෙන තිබේ.
ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම්වල තත්ත්වය කෙසේ වුවද සාමය හා ආරක්ෂාව ඇති කිරීමේ වගකීම අගමැතිතුමා ඇතුළු ආණ්ඩුවට තිබේ. සියලුම ජන කොටස් වල විශ්වාසය දිනාගත් දේශපාලන පක්ෂය ලෙස සමජයීය සහජීවනය උදෙසා ගෝත්‍රික බලවේග පරාජය කොට සියලුම ජනවර්ග වල ආරක්ෂාව තහවූරු කළ යුතු වෙයි.

Sunday, March 4, 2018

රනිල්ට එදිරිව වට්ටෝරුවෝ සහ පොහොට්ටුවෝ

නිදහසින් පසු වසර 70 ක් තුල ශ්‍රී  ලංකාව පොදුරාජ්‍ය  මණ්ඩලයේ එක්තරා ආකාරයක පසුගාමී රටක් බවට පත්ව තිබේ. අපට පසුපසින් සිටි ආසියාවේ රටවල් විශාල සංඛ්‍යාවක්  අප පසුකොට සැලකිය යුතු ආර්ථික, සමාජ හා දේශපාලන ප්‍රගතියක් ලබා තිබේ. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය හා කැනඩාව ලොව බලවත් රටවල් බවට පත්ව තිබියදී අප 1972 ව්‍යවස්ථාවෙන් පලවාහරින ලද ඩොමිනියන් තත්ත්වය ඔවුන්ගේ රටවලට ආශීර්වාදයක් බවට පත් කොට ගෙන තිබේ. දැන් අපට පිටුපසින් සිටිනුයේ ජාතිය, ගෝත්‍රය, ආගම හා ජනවර්ගය වෙනුවෙන් සටන් වදින දේශපාලන බලය ඔවුන්ගේ  දුෂණය හා පැවැත්ම වෙනුවෙන් යොදවන එකම වට්ටෝරුගත නායකයින් එකාධිපතිව පාලනය කරනා පොදුරාජ්‍ය මණ්ඩලයේ අප්‍රිකානු රටවල් පමණි .

පසුගිය පළාත් පාලන මැතිවරණය නැතහොත් ගම් සභා මැතිවරණය ආණ්ඩු විරෝධී පොහොට්ටු පක්ෂය විසින් 44% ක ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් ඉදිරියට ආවේය. මෙම පක්ෂය යනු වසර 10 ක් මේ රට අයෝමය හස්තයකින් පාලනය කළ අප්‍රිකානු හා ලතින් ඇමරිකානු පන්නයේ දේශපාලන, සමාජ, ආර්ථික ක්‍රමයක් පවත්වාගෙන ගිය, එම රටවල මෙන් සිවිල්  ආයතන සුන්නත් දුවිලි කළ, චීනය හා එක්ව ආර්ථිකය ගිනි පොළී බැංකුවලට යට කළ සමාජය, ජාතික ආගමික හා කුල අනුව බෙදා වෙන්කොට පාලනය කළ, රටේ ජාතික ආර්ථිකය  පාලක පවුලේ කීපදෙනෙකු මත කේන්ද්‍රගත කොට සාමාන්‍ය  සීලාචාර සිවිල් ජනයා වෙත සුදු වැන් එවූ, මහමග වියතුන් ඝාතනය කළ යුද්ධය අවසන් කොට ගෙන ආ සාමය රටවැසියා යකඩ සපත්තුවට පාගා මර්දනය කොට රටේ සම්පත් තම පවුලේ පැවැත්ම වෙනුවෙන්යැයි සිතමින් ජීවිත භුක්තියෙන් කටයුතු කළ, ඒ වෙනුවෙන් රටේ මුලික නීතිය නැතහොත් ආණ්ඩුක්‍රමය  තමන්ට උවමනා පරිදි සකස් කරගත් රාජපක්ෂ රෙජිමයයි. මෙම කල්ලියේ නායකයා මහින්ද රාජපක්ෂ වන අතර ඔහු ඉඩිඅමීන් උගන්ඩාවට ඩෑඩා වූ පරිදි, හිට්ලර් පියුරේ ජර්මනියට පියා වූ ලෙසම සිංහල අපට අප්පච්චි වෙයි. මෙම ජාතික වාදී හොල්මන විසින් අප සමාජය තවම රෝගී කරමින් ඔත්පල තත්ත්වයට වට්ටවමින්   තිබේ. වද පෙති වල සිට ගැමි  ලිංගිකත්වයට ආගම සම්බන්ධවීම දක්වා සියලුම ජාතිකවාදී වැඩසටහන් කියාපාන්නේ මෙම රෝගී සමාජ දේහයට රාජපක්ෂවරු ගෙන එනු ලබන දේශපාලන තිත්ත කල්කයයි. ලංකාව බහු වාර්ගික, බහු ජාතික රටක් ලෙස පිලි නොගන්නා රාජපක්ෂවරු මුස්ලිම්, දෙමල හා කතෝලික ජනයා පිටස්තර ලෙස ජනතාවට  පිලි ගන්නා ලෙස බලකරයි. එමෙන්ම ඔහුන්ගේ පවුලේ අයගේ ඇමරිකානු පුරවැසි බාවයද එම අවස්ථාවේම රැක  ගැනීමටද ඔවුන් දක්ෂ වේ.

මෙම රෙජීමයේ බරපතල සතුරා වනුයේ එක්සත් ශ්‍රී ලංකාවක් රටට යෝජනා කරනු ලබන, ජනවර්ග වෙනුවට ශ්‍රී ලාංකිකතාවය උත්කර්ෂයට නන්වන ඔවුන්ගේ සංකෘතික වෙනස්කම් පිළිගනිමින් එකම ශ්‍රී  ලාංකික ජාතියක් යෝජනා කරනු ලබන, දහසකුත් විරෝධතා හා අපහාස උපහාස මැද පක්ෂය ජාතික සංහිදියා මාවතේ ගෙනයනු ලබන රනිල් වික්‍රමසිංහය. ගම්සභා ඡන්දය අවසාන වූ මොහොතේ පටන් රනිල් අගමැති ධූරයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණය කරන්නෝ රාජපක්ෂ රේජිමයේ අතවැසියෝ හා එම පවුලයි. ඔවුන් විවිධාකාරයෙන් ආණ්ඩුවේ කොටස් සමග ගනුදෙනු කරමින්, මාධ්‍ය ආයතන වෙනුවෙන් රුපියල් මිලියන ගණනනින් අල්ලස් දෙමින් රනිල් විරෝධී මතයක් රට තුල ගොඩ නගයි.  එයට ප්‍රධානතම හේතුව 2020 දී සියලු ජාතින් දිනාගත හැකි නායකයා රනිල් වන බැවිනි. එසේනම් රනිල් විරෝධී ප්‍රමුඛ  කණ්ඩායම පොහොට්ටුවෝය.

රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතුයැයි කියන අගමැති ධූරය පක්ෂයේ හෝ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ අයෙකුට දීමට කැස කවන අනෙක් පිරිස වන්නේ තක්කඩින් හා වට්ටෝරුවෝය. පසුගිය  වසර 70 තුල ලංකාව පාලනය කරන ලද්දේ මෙම වට්ටෝරු නායකයෝය. එනම් ඔවුන් කුමන පන්තියට අයත් අයෙකු වුවද?කුමන ප්‍රදේශයක් නියෝජනය කලද එකම වට්ටෝරුවට කටයුතු කරන අය වෙති. ඔවුන් ගැමි ගැහැණුන්ගේ ඉගටියට අත තබති. පිරිමින්ගේ බඩට තට්ටු දමති. ළමයි වඩා ගනිති. මිනිසුන් ඇන්දීම, රැවටීම, බොරු කීම දේශපාලන දක්ෂතාවයක් ලෙස කල්පනා කරයි. රටට වඩා පක්ෂයට වග කියයි. පක්ෂයට වඩා පවුල ගැන බලයි. මිනිස්සු තමන්ගේ ඡන්දය පාවිච්චි කරද්දී මෙම වට්ටෝරු නායකයින්ට ඡන්දය දීමට කැමත්තක් දක්වයි. එසේ මිනිසුන් ඡන්දය පාවිච්චි කරනු ඇතැයි පුර්ව  නිගමනයක්ද තිබේ. ඔවුන් පාලනය කළ රට අද විශාල අවුලකි. එම අවුල එකින් එක රනිල් විසින් ලිහමින් තිබේ. එතෙක් ජනතාව තුල ඉවසීමක් ඇති බවක් නොපෙනේ. නමුත් රනිල් යනු මෙම වට්ටෝරු දේශපාලනයෙන් මිදුණු එකම ජාතික නායකයාය. ඔහුට විරුද්ධ මෙම කදවුරේ බොහෝ දෙනා එක්කෝ මේ වට්ටෝරු නායකයින්ය. නැතිනම් වට්ටෝරුව සොයන්නෝය. එසේත් නැතිනම් ආණ්ඩුවේ සල්ලි හොරකන්කරන මාධ්‍ය  මුදලාලිලාය. නැතිනම් රාජ්‍ය දේපල මංකොල්ලා කෑමට දතකට මැදගෙන ඉන්නන්ය.

මේ සියල්ල මැද රනිල් ජනතාව ලබා දුන් ජනවරමට අනුව කටයුතු කරයි. රටේ ආර්ථිකය ගොඩ නැගීම, ප්‍රතිසංස්කරණය   සිදු කිරීම ඇතුළු කටයුතු සිදු කරයි. සියලුම ජාතීන්ට ආඩම්බරයෙන් තමන් ශ්‍රී  ලාංකිකයින් බවට ලොවට කිව හැකි රටක් ගොඩනගයි. 2020 එක්සත් ජාතික පක්ෂය තනි රජයක් ගොඩ නැගීමේ පොරොන්දුවට වැඩ කරයි. පොහොට්ටුව දැන් කළ යුත්තේ ගම්සභා ජනවරම මගින් ලැබූ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන එමගින් ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා ඉටු කිරීමයි.

2020 ජය ගැනීම එක්සත් ජාතික පක්ෂයේ එකම අරමුණය. පක්ෂයේ තරුණ නායකයින් සටන් වදින්නේ ඒ වෙනුවෙනි. පක්ෂ නායකත්ව කල්පනා කරනුයේ 2020 ජය ගැනීමට නිවැරදි ප්‍රතිසංස්කරණ පක්ෂය තුල කළයුතු බවයි. 2020 ජය ගැනීම මෙවර ගම්සභා මැතිවරණය අනුවද අසීරු ඉලක්කයක් නොවේ. නමුත් පක්ෂය එකමුතුව, එක කොඩියක් යට කටයුතු කිරීම අනිවාර්ය කොන්දේසියකි.

Sunday, February 25, 2018

නියත ජයක්, අමාරු වසර දෙකක්

පසුගිය වසර තුන තුල ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මේ රටේ සියලුම ජන කොටස් වලට එක්තරා ආකාරයකට කුකුසක් තිබුණි. එය සාමාන්‍ය තත්ත්වයක් ලෙසද හදුනාගත හැකිය. විශේෂයෙන් ප්‍රබල දරුණු පාලනයක් දිගු කලක් තිබුණු සමාජයකට එම රෙජිමය අවසන් වීමෙන් පසු ගොඩනැගෙන පාලන ක්‍රමයට හුරුවීමට එක්තරා කාලයක් ගතවේ. එසේම දුෂිතව යැපුණු බොහෝ කණ්ඩායම් නව පාලන ක්‍රමයට අකුල් හෙලීම සාමාන්‍ය දෙයකි. ලිබියාවේ, ඉරාකයේ හා ඉරානයේ සිදුවුයේ එයයි. එයම ප්‍රංශ විප්ලවයෙන් පසු 1789 සිට නැපෝලියන් බලට පත්වන තුරුම එනම් 1799 වතුරුම පැවතුණි. ප්‍රංශ විප්ලවය යනු සමාජ විපලවයකි. එය පැරණි සමාජ, දේශපාලන, ආර්ථික ක්‍රමය නියෝජන කල සියලුම දෙනා ඝාතනයකොට ගොඩනැගු සමාජ ක්‍රමයකි. නැතහොත් ගිලට්නය විසින් ගොඩනැගු ක්‍රමවේදයකි. එදා ප්‍රංශය ස්ථාවර වීමටත් වසර 11 ක් පමණ ගතවුණි නම් තොරතුරු හා දැනුම වතුර මෙන් සුලබ වූ යුගයක එම තත්ත්වය එයට වඩා අපහසු වන බව මාගේ තක්සේරුවයි. වර්තමාන ආණ්ඩුව හා එක්සත් ජාතික පක්ෂය මුහුණදෙමින් සිටින ප්‍රතිවිප්ලවකරුවන් ආණ්ඩුව තුල මෙන්ම ඉන් පිටතද ශක්තිමත්ව සිටී. පක්ෂයක් ලෙස පාක්ෂිකයින් අතර මෙන්ම පක්ෂයේ දීර්ඝකාලීන මිතුරන් අතර බරපතල විවේචනයන්ට මුහුණ දෙමින් සිටින තත්ත්වයක් තුල මැතිවරණයකදී දුර්වල වීම අරුමයක් නොවන්නේය. විවේචන එල්ලවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටි ආකාරයද එක්තරා ආකාරයක පිටුවහලක් සැපයු බව මාගේ හැගීමයි.

විශේෂයෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමේදී මේ රටේ ජනතාවක් වෙසෙන බවත්, එම ජනතාවට සංස්කෘතියක් හා ආකල්ප තිබෙන බවත්  පිළිගත යුතු අතර ඒවාට ගැළපෙන පරිදි ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකළ යුතුවේ. මන්දයත් ප්‍රමුඛම කාරණය වන්නේ බලය පවත්වා ගැනීමයි. බලය පවත්වාගතහොත් විනා මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කල නොහැකිවන බව පිළිබද එතරම් අවබෝධයක් තිබු බවක් පෙනෙන්නට නොතිබිණි.

ආණ්ඩුවේ කටයුතුවල එක්තරා ආකාරයක සන්විධිත බවක් අපේක්ෂා කලද එම ඉල්ලකය කරා කටයුතු මෙහෙයවීමේදී දැකිය හැකි නිලදධාරී පැලැන්තියේ ප්‍රතිගාමී බව රාජ්‍ය සේවයේ දීර්ඝකාලීන අකාර්යක්ෂමතාවය, රජයේ කටයුතු විධිමත්ව පවත්වා ගැනීමේ විශාල බාධාවක්ව පවතී. එමෙන්ම කැබිනට් සංශෝදනය මගින් අගමැතිතුමා නීතිය හා සාමය අමාත්‍යංශය ලබාගැනීම එතුමාගේ 2020 ඉරණම එතුමා විසින්ම විසදා ගැනීමක් වැනිය.

රට තුලින් මතුව එන හොරු අල්ලමු සටන් පාඨය එතුමා අතට ගැනීම කෙතරම් නිවැරදිදැයි අනාගතයේදී තීරණය වනු ඇත. ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කල යුත්තේ මුලින්ම හොද ස්ථාවර තත්ත්වයක් තුල සිටය. එසේ නොවන අවස්ථාවකදී ඇද වැටීමට ඇති ඉඩ කඩ වැඩිවේ. විශේෂයෙන් වසර 2500 පැරණි සමාජයකට ප්‍රතිචාර දක්වනුයේ ඉතාම සෙමිනි. ඒ පිළිබද අවබෝධයක් ආණ්ඩුවේ පාර්ශව වලට තිබිය යුතු බව මාගේ‍ හැගීමයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩි පිරිසක් 2020 මැතිවරණයේදී නැවත රාජපක්ෂවරුන්ගේ දෑත් ශක්තිමත් කිරීමට යන බව පිළිබද අවබෝදයක් එක්සත් ජාතික පක්ෂයට තිබිය යුතු අතර එතෙක් ආණ්ඩුව දුර්වල කිරීමට අවශ්‍ය සියලුම කටයුතු ඔවුන් විසින් සිදුකරමින් කටයුතු කරන බව අවබෝධ කරගත යුතු වේ. මෙතැන් සිට එළඹෙන යුගය වන්නේ ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලනය ගිහිලිහෙන යුගයයි. එහි ඡන්ද පදනම දැනටමත් ගිලිහී ඇති අතර එතුමන් විසින් ලබාගන්න ලද ඡන්ද ලක්ෂ 15 යහපාලනය වෙනුවෙ ඡන්දය ලබාදුන් පාවෙන ඡන්ද ලෙසද හැදින්විය හැක. එතුමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානතම ඉල්ලකය බවට එක්සත් ජාතික පක්ෂය පත්වූ බැවින් එමගින් අහිමි වූ ඡන්ද පදනම ලෙසද දැක්විය හැකිය.

කෑගල්ල හා ගම්පහ පසු ගිය මැතිවරණ වලදී එක්සත් ජාතික පක්ෂය ලබා ගත් ඡන්ද වලින් අහිමි වූ ඡන්ද වලට ආසන්න ප්‍රමාණයක් ජනාධිපතිතුමා ලබාගෙන ඇති බැවින් කිව හැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ‍ඔවුන්ගේ සම්ප්‍රදායික ඡන්ද වෙනුවට ආණ්ඩුවෙන් කැඩී ගිය ඡන්ද ලබා ඇති බවයි. මෙය එක්සත් ජාතික පක්ෂය අපේක්ෂා කළ තත්ත්වයට හාත්පසින්ම වෙනස් ප්‍රතිඵලයකි. එබැවින් එකට ආණ්ඩු කරමින් අලුත් සතුරන්ට අලුත් ප්‍රහාර වටයක් දියත් කල යුතු වේ. එය ලංකාවට අලුත් අත්දැකීමක් වනු ඇත.

මේ සියල්ලම මැද මිලියන 23ක් ජනතාවට එදිනෙදා කටයුතු සදහා ආණ්ඩුකරණය කලයුතු අතර ණය ගෙවීම, ආර්ථිකය ගොඩනැගීම, අධ්‍යාපන, සෞඛ්‍ය පහසුකම් ලබාදීම වැනි කටයුතු සිදුකල යුතු වේ. අවසාන වශයෙන් මට කිවහැක්කේ මෙයට සාර්ථකව මුහුණදීම මත 2020 ජයග්‍රහණය තීරණය වන බවයි. 2020  ජයගැනීමට සම්ප්‍රදායික දෙමල හා මුස්ලිම් ඡන්ද පදනම රැක ගතයුතු අතරම සිංහල ඡන්ද වලින් 50% ලබාගත යුතු වේ. එමෙන්ම වඩාත් වැදගත් දෙයනම් පක්ෂ අභ්‍යන්තරයේ කකුල් මාට්ටු දැමීම, කුමන්ත්‍රණය කිරීම අවසන් කල යුතු අතර එවැනි අය ජනතාවට හෙළිකල යුතු වේ. මෙම අමාරු කාලය අවසන් වන්නේ තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ගොඩ නැගුනු 2020 දීය. එතෙක් පක්ෂය කළමනාකරණය කරගැනීමත්, ජනතාව දිනාගැනීමත් කල හැකි, කල යුතු දෙයකි.

Sunday, February 18, 2018

අලුතින් හිතමු



අප ජීවත්වන්නේ ලංකාවේ අරුම පුදුම යුගයකය. නිදහස ලබා හැත්තෑ වසරකට පසු, ලෝකයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතරින් අප එක්තරා ආකාරයකට පසුබෑමට ලක් වූ රටක්  බවට පත්වී තිබේ. ඒ සඳහා බලපෑ හේතු විශාල සංඛ්‍යාවක් තිබුණද ප්‍රධානතම හේතුව ලෙස මට පෙනීයන්නේ නිදහසෙන් පසු අපට දිගින් දිගටම සිවිල් අරගලයන් කිහිපයකට මුහුණ දීමට සිදු වීමයි. එනම් දකුණේ සිංහල තරුණයින් අතර හටගත් සිවිල් අරගල දෙකක්ද, එසේම උතුරේ ද්‍රවිඩ තරුණයන් අතර අදටත් කතාවන, තිස් වසරක් දිග්ගැස්සී ගිය විශාල යුද්ධයක් බවට පත්වූ සිවිල් අරගලයකින්ද අප පීඩාවට පත්විය. මෙම තත්ත්වයන් අපේ ඉතිහාසය තුළ සිටම පැවත එයි. මෙරට ජීවත්වන ජන කණ්ඩායම් අතර විශාල වෙනස්කම් සහිතව එම වෙනස්කම් එකිනෙකා පිළිගනිමින් ජීවත්වීම වෙනුවට තව තවත් බෙදී වෙන්වී ජීවත්වීමට තිරණය කර ඇති නිසා මෙම අසාර්ථක වීමට විශාල වශයෙන් බලපෑමක් සිදුවී තිබේ. අපේ රටේ බොහෝ බුද්ධිමතුන් හා ඊනියා සිවිල් ප්‍රජාව මේ වෙනුවෙන් චෝදනා එල්ලකරනු ලබන්නේ මේ රටේ දේශපාලනය පන්තියටයි. නමුත් සැබෑවටම මේ රටේ ගැටලුව විශාල ප්‍රමාණයකට වගකිව යුත්තේ ලංකාවේ ඓතිහාසික සමාජ ක්‍රමයයි. නමුත් එකිනෙකා හා බෙදී වෙන්වී ජීවත් වීමට අවශ්‍යවන හේතු ඕනෑ තරම් අපේ සමාජය තුළත්, සංස්කෘතික වටපිටාව තුළත් තිබේ. දිවයිනක් ලෙස අප මුහුණදෙන සම්පත්වල සීමාන්තික බව නිසාම රාජ්‍ය දේපල කෙරෙහි අරගලයක් ගොඩනැගී තිබේ. සැබැවින්ම ශ්‍රී ලාංකික ජනතාව ආකල්පමය වශයෙන් මේ රටේ සීමිත සම්පත්වල අයිතීන්ගෙන් තමන්ගේ කොටස වෙන්කරගැනීම සඳහා දෛනික හා ඓතිහාසික අරගලයක නිරත වෙමින් තිබේ. එම නිසාම දේශපාලනඥයින්ගේ සිට වෘත්තියකින්, ව්‍යාපාරිකයින්ගේ සිට අන්ත දිළිඳු ජනතාව දක්වා සියලුම දෙනාම රාජ්‍ය සම්පත් වලින් තමන්ගේ කොටස වෙන්කර ගැනීමේ අරගලයක නිරත වෙමින් තිබේ. ඔවුන් සමාජ සුභසාධනවාදී රාජ්‍යයේ පැවැත්ම තව තවත් ශක්තිමත් කරමින් තිබේ. එය තවත් පුළුල්වෙමින් සම්පත් ජාතීන් අතර බෙදාගැනීමටද උත්සුක වෙමින් තිබේ.

මෙවැනි තත්ත්වයක් යටතේ මහින්ද රාජපක්ෂ විසින් යෝජනා කරනු ලබන ක්‍රමවේදය වඩාත් ශක්තිමත් ප්‍රගතිශීලී පියවරක් ලෙස මේ රටේ පාලක ස්ථරයේත්, බොහෝ ව්‍යාපාරිකයන්ගේත් සතුටට හේතු වී තිබේ. නමුත් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂට ලබාගත හැකිවූයේ කොහොමටත් ඔහු සතුව තිබූ ඡන්ද පදනමේ සමාජ සුභසාධනවාදී, ජාතිකවාදී ආණ්ඩුවක් මේ රටේ බිහි කිරීමට උත්සාහ කරනු ලබන, ඒ වෙනුවෙන් කැපවෙන ඡන්ද ස්තරයයි.

නමුත් යතාර්ථය වන්නේ තවදුරටත් මේ රටේ ආර්ථිකයට අනුව සමාජ සුභසාධනවාදී රාජ්‍යයක් පවත්වාගත නොහැකි අතර කෙසේ වුවත් ජාතිකවාදී රජයක් පහසුවෙන්ම පවත්වාගත හැකි බවයි. බෙදා වෙන්කර පාලනයකිරීම ඉතා පැරණි පාලන ක්‍රමයක් වුවත් ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයකට තියුණු ශීලාචාර එකමුතු රාජ්‍යයකට වඩා බෙදා වෙන්කර පාලනය කිරීමේ ක්‍රමවේදය එක්තරා ප්‍රමාණයකට ගැලපේ. ඊට ප්‍රධාන හේතුව නම් අප ඓතිහාසික ලෙස සංස්කෘතික විවිධත්වයකින් යුතුව බෙදා වෙන් වූ සමාජයක් ලෙස ජීවත්වීමයි. රාජපක්ෂවරු විසින් ඉදිරිපත් කරනු ලබන මෙම ජාතිකවාදී මොඩලය බොහෝ අප්‍රිකානු රටවල ක්‍රියාත්මකකොට අසාර්ථකවී ඒ රටවල් වල පල්ලටම වැටුණි.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන්ට ගිය හැකි උපරිම දුර ජනාධිපතිවරණ මැතිවරණයකි. මෙහිදී එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පසුගිය මහ මැතිවරණයේදී හා ජනාධිපතිවරණයේදී ඡන්දය ලබා දුන් බොහෝ දෙනෙකු මෙවර පොහොට්ටුවට ඡන්දය ලබාදුන් අතර එය එක්තරා ආකාරයක විරෝධතා ඡන්දයක්ද විය. එය මිලියන එකහමාරක් පමණ වෙතැයි මට සිතේ. එනම් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින වැඩපිළිවෙළ හා ක්‍රියාකලාපය පිළිබඳව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේද පවතින විරෝධය කියාපෑමක් වේ.

2020 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයට එම පක්ෂ අභ්‍යන්තරයේ විශාල ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකළ යුතු අතර ආණ්ඩුකරණයේදී ද විශාල වශයෙන් ආකල්පමය වෙනසක් විය යුතු බව මාගේ හැඟීමයි. විශේෂයෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමේදී මේ රටේ ජනතාවක් වෙසෙන බවත් එම ජනතාවට සංස්කෘතියක් හා ආකල්ප තිබෙන බවත් අප පිළිගත යුතු අතර ඒවාට ගැළපෙන පරිදි ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුවේ. මන්දයත් ප්‍රමුඛම කාරණය වන්නේ බලය පවත්වා ගැනීමයි. බලය පවත්වාගතහොත් විනා මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කල නොහැකිවේ. බලය පවත්වාගැනීමෙන් ප්‍රතිසංස්කරණය කළ හැකිවිය යුතුය. එයට අනුගමනය කරන ක්‍රියාමාර්ග, රාජ්‍ය කටයුතු, ආණ්ඩුකරණ කටයුතු පවතින අතරම විධිමත් දේශපාලන වැඩපිළිවෙළක්ද පවත්වාගෙන යායුතු වේ. එමෙන්ම රජයේ පාලනයෙන් මිදී සිටි බොහෝ රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු තුළට නව රජයේ ප්‍රතිපත්තිමය කරුණු මත පදනම් වූ පාලනයක් යොදාගත යුතු අතර රාජ්‍ය පාලනය බලවත් හා ශක්තිමත් ක්‍රියාවලියක් බවට පත්කළ යුතු වෙයි.

මේ මොහොතේ රට පුරා සිටින සියලුම දෙපාර්තමේන්තු හා අමාත්‍යංශවල නිලධාරීන්ගේ ශක්තිමත් බව නිසාම ඔවුන් විසින් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේදී දක්වනු ලබන අලස සහ අකාර්යක්ෂම බව වැළැක්වීම උදෙසා රාජ්‍ය සේවයට දේශපාලන අධිකාරියේ දැඩි මැදිහත්වීමක් අවශ්‍ය බව මාගේ අදහසයි. මන්දයත් දේශපාලන පක්ෂ විසින් ජනතාවගේ ජනවරම ලබාගත් පසු එය ක්‍රියාත්මක කිරීමේදී, ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී දේශපාලන අධිකාරියට විශාල බලයක් තිබේ. නමුත් මෙම ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය නිලධාරින්ට වඩා දුර්වල බව පෙන්නුම් කරන අතර බොහෝ තීන්දු තීරණ හා ප්‍රතිපත්තිමය තීන්දුව ගනු ලබන්නේ නිලධාරීන් විසිනි. එම නිසා මේ යුගයේදී රජයේ කටයුතුවල විශාල අවුලක් දැකිය හැකිය. එය පොහොර බෙදාහැරීමේ සිට ව්‍යවස්ථා සම්පාදනය දක්වාම එක සේ බලපානු ලබයි. එනම් දේශපාලන අධිකාරියේ මැදිහත් වීමකින් තොරව නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවල විශාල අසාර්ථක බවක් පෙන්වනු ලැබේ. එනම් නිලධාරීන් මේ රජය ප්‍රතිපත්තිය සාර්ථක කරගැනීමට වගකියන්නේ නැත. ඔවුන් සිටිනුයේ දේශපාලන අධිකාරිය විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීන්දුව ක්‍රියාත්මක කිරීමටය. නමුත් ප්‍රතිපත්ති තීන්දු ක්‍රියාත්මක කිරීම නිලධාරීන්ට පවරා ඇත්නම් එය කාට කියන්නද?

පසුගිය මැතිවරණයේ ප්‍රතිඵල වලට විශේෂයෙන්ම මෙම නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවයත්, ඔවුන්ගේ අන්තනෝමතික ක්‍රියා කලාපයත් බලපෑ බව අවිවාදයෙන් කිව යුතුය. මන්දයත් දේශපාලන අධිකාරියට මෙම නිලධාරීන්ගේ ක්‍රියාකලාපය කළමනාකරණය කර ගැනීමට හැකියාවක් නොලැබුණු බව මාගේ මාගේ විශ්වාසයයි. එසේම රට තුළ ස්වාභාවික විපත් එක පිට එක සිදුවූ ස්වරූපයත්, එම ස්වාභාවික විපත්වලින් හානියට පත් ජනතාවට සහන සැලසීමේදී රාජ්‍ය දැක්වූ මන්දගාමී බවත්, ආණ්ඩුවේ උවමනාවට වඩා නිලධාරීන්ගේ ආකාර්යක්ෂමතාවයත් මෙම මැතිවරණ ප්‍රතිඵලයට බලපෑ බව කිව හැකිය. එමෙන්ම පොහොර සැපයුම අඩාලවීම, විදුලි සැපයුම සම්බන්ධ ගැටලුවත්, ඉන්ධන සම්බන්ධ ගැටලුව හා අඛණ්ඩව සිදුවූ දූෂණ, උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර වලින් සමාජයට සිදුවූ බලපෑම කළමනාකරණය කරගැනීමට රජය දැක්වූ අසමත් බවද, පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑ බව තක්සේරු කළ හැකිය.

කෙසේ වුවත් මෙම ප්‍රතිඵලයද 2015 ජනවාරි 8 වැනිදා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ බලවේගය ලබාගත් ජනවරමට අනුව සමානය. 2020 මැතිවරණය දක්වා, මෙම වෙනස්කම් සිදුකර සාර්ථක ආණ්ඩුකරණයක් පවත්වාගෙන ගියහොත් එක්සත් ජාතික පක්ෂයට අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ හැකි වන්නේය. ඒ සදහා කළහැකි දේශපාලනික වෙනස්කම් අනිවාර්යයෙන්ම රාජ්‍ය පාලනය තුළත්, පක්ෂය තුළත් සිදුකළ යුතු බව මාගේ පෞද්ගලික හැඟීමයි.

Wednesday, February 7, 2018

තක්කඩිවාදය පරදවමු



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එයින් බිදී ගිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේත් න්‍යායාත්මක පදනම තක්කඩිවාදයයි. ජනාධිපතිතුමා තක්කඩින්ගේ කදවුරේ සිට එම කදවුර තිත්තවී, එපාවී එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ විය. එහි ප්‍රතිඵලයක් ලෙස එතුමානෝ එක්සත් ජාතික පක්ෂය හා මෙරට සිවිල් සමාජ දිවි පරදුවට තබා සටන් වැදි අරගලය තුළින් මේ රටේ ජනාධිපති ධූරයට පත්විය. එතුමා ජනාධිපති ධූරයට පත්කිරීමේදී එම බලවේගවල බලාපොරොත්තුව වූයේ එකම එක ඉල්ලීමකි. ඒ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. 1994 දීත්, 2000 දීත්, 2005 දීත්, 2010 දීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන පොරොන්දුව මත එල්. ටී. ටී. ඊ. සංවිධානයේද සහයෝගය ඇතිව සිංහල බෞද්ධ ඡන්ද රවටමින් ජයග්‍රහණය කළේය. එනමුත් තක්කඩිවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ධූරය අහෝසි නොකලා සේම එහි අන්ත දූෂිත අන්තයක් කරා රටත්, සමාජයත්, දේශපාලනයත් රැගෙන ගියේය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මෙරට මධ්‍යම පාන්තික සිවිල් සංවිධානවල හා මේ රටේ දැනුම් තේරුම් ඇති ජනතාවගේ දීර්ඝ කාලීන අරගලයයි. ඔවුන් දිවි පරදුවට තබා ලබාගත් ජයග්‍රහණය හා එම ජනවරමට පයින් ගසා ජනාධිපතිතුමා විසින් ජනාධිපති ධූරය තක්කඩි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පූජා කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයෝ උපන් ගෙයි තක්කඩිය. ඔවුහු එක රැයකින් මහින්ද රාජපක්ෂ අතහැර මෙතෙක් කල් තමන් භුක්තිවිදි ආණ්ඩුව පෙරළා දැමු ජනාධිපතිතුමා හා එක්වූයේ කිසිදු හිරිකිතයක් නැතුවය. ජනාධිපතිවරයාටද එසේම යැයි මට සිතේ.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිදී ගිය මහින්ද පිලද තක්කඩි ශාස්ත්‍රයේ කෙල පැමිණියෝය. ඔවුන් මහින්ද රාජපක්ෂගේ තුරුළේ ඉන්නා අතර එක්සත් ජාතික පක්ෂය හා ඩීල් දැමීමට උත්සහ කරති. අනෙක් අතින් රෑට රෑට ජනාධිපතිවරයා හමුවෙති. සිංහල ප්‍රදේශවලදි දෙමළාට හා මුසල්මානුවාට එරෙහිවත්, දෙමළ මුස්ලිම් ප්‍රදේශවලදී සිංහලයාට එරෙහිවත් දේශපාලනය කරති. ඔවුන් රටේ නීති තුට්ටුවට මායිම් නොකරන තක්කඩියෝය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, එම පක්ෂයේ මහින්ද පිලේත් ගෑවුනු ගෑවුනු තැන්වල ඇත්තේ තක්කඩිවාදයයි. මෙම මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තක්කඩිවාදය තීරණාත්මක ලෙස පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂයටත්, මේ රටේ බහුතර සිවිල් ජනතාවටත්, බුද්ධිමතුන්ටත් අවස්ථාවක් ලැබී තිබේ.

මිත්‍රවරුණි, 10 වෙනිදා ඡන්ද පොළට යමු. තක්කඩිවාදය තීරණාත්මක ලෙස පරාජය කරමු. ගම හදමු.

Sunday, February 4, 2018

අමාරුවෙන් මොනරාගලවත් දිනා ගැනීම


දේශපාලන ක්ෂේත්‍රය පසුගිය සතියේ ගෙවී ගියේ ඡන්ද උණුසුම සමගයි. පළාත් පාලන මැතිවරණයේ ඡන්ද උණුසුම නව මැතිවරණ ක්‍රමය නිසාවෙන් එක්තරා ප්‍රමාණයකට අඩුවී තිබුණද පක්ෂ අභ්‍යන්තර හා ග්‍රාමීය මට්ටමේ දේශපාලන ව්‍යුහයන් තුළ තදින් මැතිවරණ උණුසුම තිබුණි. මෙවර මැතිවරණය තීරණාත්මක ලෙස කොන් හතරක සටනක් බවට පත්වී තිබේ. එහිදී එක්සත් ජාතික පක්ෂ විසින් තම ශක්තිමත් පදනම තුල   රාජ්‍යයේ වාසියද අත්පත් කරගනිමින් මැතිවරණ සටන තනියම මෙහෙයවයි. එක්සත් ජාතික පක්ෂය සතුව ඇති ප්‍රබල මැතිවරණ යාන්ත්‍රනය, පක්ෂ ව්‍යුහය මේවනවිට සක්‍රීයවී ඇති අතර මැතිවරණ යාන්ත්‍රනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම් සපයමින් තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ඉහළම මට්ටමේ නායකයන්ගේ සිට ග්‍රාමීය මට්ටමේ අපේක්ෂකයා හා ශාඛා සමිති සංවිධායකයා දක්වා වූ සියලු දෙනා තුළම ඇත්තේ ජයග්‍රහණ මානසිකත්වයකි. ඔවුන් සිතනුයේ තමන් තරග කරණු ලබන සියලුම කොට්ඨාස ඔවුනට ජයග්‍රහණය කිරීමේ හැකියාවක් ඇති බවයි. ඔවුන් එසේ කල්පනාකිරීමේ කිසිදු වරදක් නොවන්නේ, මෙම මැතිවරණයේ වැඩිම වාසිය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බව බැලූ බැල්මට පෙනී යන බැවිනි. ඒ සඳහා සාධක ගණනාවක් බලපානු ලබයි. මින් ප්‍රධානම සාධකය වන්නේ මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් හා කතෝලික සියලුම ජන වර්ගයන්ගේ ක්‍රියාකාරී සහයෝගයක් එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති බැවිනි. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ අතරින් ඕනෑම අමාරු අවස්ථාවක සියලුම ජාතීන්ගේ විශ්වාසය දිනාගත් හා එම සියලුම ජාතීන් හා ජනවර්ග නියෝජනය කරන පක්ෂය ලෙස පැවතියේ එක්සත් ජාතික පක්ෂයයි.

විශේෂයෙන්ම රාජපක්ෂ රෙජීමය පැවති යුගයේ ලංකාවේ මුල්බැසගෙන තිබූ, සියලුම දෙනාගේ ලේ නහරවලට කිමිදී තිබූ සිංහල අධිපතිවාදී, ජාතිකවාදී දේශපාලන මතය විසින් රටේ සියලුම දෙනාගේ ඔලු හිරිවට්ටවා තිබුණු යුගයේදීත් එක්සත් ජාතික පක්ෂය විසින් ගත් ස්ථාවරය වූයේ වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම එක්සත් ජාතික පක්ෂ ලෙස එය පවත්වාගෙන යාමයි. එනම් සියලුම ජාතීන්ට, සියලුම ජන වර්ගයන්ට එකට ජීවත් විය හැකි රටක්, පක්ෂයක් ලෙස එය පවත්වාගෙන යාමයි. එමෙන්ම මෙම මැතිවරණයේදී ඉන්දියානු ද්‍රවිඩ සම්භවයක් සහිත සියළුම දේශපාලන නායකයින්ගේ සහයෝගය එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති අතර මුස්ලිම් පක්ෂ සියල්ලගේම හා එම නායකයින්ගේ සහයෝගයද එක්සත් ජාතික පෙරමුණට ලැබී තිබේ. මෙම තත්ත්වය මත විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය හා සුළු ජන කොටස් තරග කරණු ලබන සියලුම දිස්ත්‍රික්කයන් ජය ගැනීමේ හැකියාව ඇත්තේ එක්සත් ජාතික පෙරමුණටය.

මේ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කය, මහනුවර දිස්ත්‍රික්කය, බදුල්ල දිස්ත්‍රික්කය, මාතලේ දිස්ත්‍රික්කය, රත්නපුර දිස්ත්‍රික්කය හා අම්පාර යන දිස්ත්‍රික්ක ඉතාම පහසුවෙන් එක්සත් ජාතික පක්ෂය ජයගනු ඇත. එසේම මෙම ද්‍රවිඩ, මුස්ලිම් හා කතෝලික ජනතාවගේ සහයෝගය නිසා පහත සඳහන් දිස්ත්‍රික්කවල අවසාන ප්‍රතිඵලයටද එම ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කිරීම නිසාවෙන් එක්සත් ජාතික පක්ෂයට විශාල වාසියක් ලැබීමට නියමිතය. එම දිස්ත්‍රික්ක නම් ගම්පහ දිස්ත්‍රික්කය, කොළඹ දිස්ත්‍රික්කය හා අනුරාධපුර දිස්ත්‍රික්කය වේ.

මෙහිදී කුරුණෑගල දිස්ත්‍රික්කය සම්පූර්ණයෙන්ම ඉතාම තියුණු තරගයක් ලබාදිය හැකි දිස්ත්‍රික්කයක් ලෙස දැක්විය හැකිය. විශාල ජනතාවකගෙන් යුතු එම දිස්ත්‍රික්කයේ සියයට අනුවකට වඩා වාසය කරන්නේ සිංහල බෞද්ධ ජනතාවයි. මෙම දිස්ත්‍රික්කය තුළ මේ මොහොතේදීත් පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක්සත් ජාතික පක්ෂය කරට කර තරගයක් දෙමින් තිබේ. එම තරගයෙන් බොහෝවිට එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කළ හැකි අතර ඒ සඳහා එම දිස්ත්‍රික්කය නියෝජනය කරන එම ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු වන අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයාගේ ක්‍රියාකාරීත්වය තදින් බලපානු ඇත. ඔහු විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා එයට අනුබද්ධ විශේෂ අනිකුත් ආයතන වලත් විශාල ප්‍රමාණයකට එම දිස්ත්‍රික්කය අතරින් තෝරාගත් රැකියා අවස්ථා ලබාදී තිබේ. එසේම එම දිස්ත්‍රික්කයේ පාසල් සංවර්ධනයට විශාල මුදලක් ආයෝජනය කර ඇත. එමෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින්ද රුපියල් බිලියන ගණනක මුදලක් කුරුණෑගල සංවර්ධනයට වියදම් කොට තිබේ. එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරු හා අපේක්ෂකයින් කැපීපෙනෙන දක්ෂ කණ්ඩායමක් ලෙස ප්‍රකාශ කළ හැකිය. මේ අනුව මෙම සියලුම සාධක විග්‍රහකර අවසානයේ අප පැමිණ ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීමේ වැඩිම ඉඩකඩ ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බවයි.

ත්‍රිකුණාමලය, මඩකලපුව, මන්නාරම හා යාපනය දිස්ත්‍රික්ක ජයග්‍රහණය කිරීමට ඉඩකඩ ඇත්තේ දෙමළ ජාතික සන්ධානයටය. එක්සත් ජාතික පක්ෂය හා පොදුජන එක්සත් පෙරමුණත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මෙම දිස්ත්‍රික්කවල හෝ ආයතන වලට තම ලැයිස්තු ඉදිරිපත්කර තිබුනද දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරණු ඇතැයි අපට අනුමාන කළහැක. මුස්ලිම් කොංග්‍රස බොහෝ විට සන්ධානගතවීමට ඉඩ ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සමගයි.

මෙම මැතිවරණයේදී සැබැවින්ම පොදුජන එක්සත් පෙරමුණට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැතහොත් ජනතා විමුක්ති පෙරමුණට ජයග්‍රහණය කිරීමට ඉඩක් ඇත්තේ ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල හා කළුතර දිස්ත්‍රික්කය. මන්ද පොළොන්නරුව, කෑගල්ල, අනුරාධපුරය, පුත්තලම දිස්ත්‍රික්ක පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ හෝ ඉතා අඩු ඡන්ද ඡන්ද සංඛ්‍යාවකින් පරාජයට පත්වූ දිස්ත්‍රික්කයන්ය. එම දිස්ත්‍රික්කවල 2015 මහ මැතිවරණයෙන් පසු විශාල වශයෙන් යළිත් යටිතල පහසුකම් සංවර්ධනයට පත්වූ, මැති ඇමතිවරුන් මුදල් ආයෝජනය කර ඇති අතර රැකියා ලබාදීම වැනි කාරණාවලදී ඉතා හොඳ සාර්ථකත්වයක් පෙන්වා තිබේ. යම් ප්‍රමාණයකට එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ උකටලී බවක් හෝ ඡන්ද පොළට නොයෑම පිළිබඳ විරෝධයක් තිබුණද මෙම දිස්ත්‍රික්කවල අවසාන වශයෙන් යූ. ඇන්. පී. කාරයෝ ඡන්ද පොළට යනු ඇත. මන්ද අවාසි සහගත අවස්ථාවලදී මෙම දිස්ත්‍රික්කවල එක්සත් ජාතික පක්ෂයේ ජනතාව ඡන්දය උනන්දුවෙන් ප්‍රකාශ කොට තිබේ. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හෝ පොදුජන එක්සත් පෙරමුණ මෙම දිස්ත්‍රික්කවලදී එක්සත් ජාතික පක්ෂ අභිබවා යාමට තරම්, එක්සත් ජාතික පක්ෂ පරාජය කිරීමට තරම් විශේෂ ආශ්චර්යයක් පෙන්වා නැත.

මේ සියලුම කාරණා ගත් විට සැබවින්ම මෙම පළාත් පාලන මැතිවරණයේ තරගයක් ඇති දිස්ත්‍රික්ක වන්නේ මා පෙරත් ප්‍රකාශ කළ පරිදි ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල හා කළුතර දිස්ත්‍රික්කය. මෙයිනුත් කළුතර දිස්ත්‍රික්කය විශේෂයෙන්ම අජිත් පී. පෙරේරා වැනි නායකයින් යටතේ මනා ලෙස සංවිධානයවී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එක්තරා ප්‍රමාණයකට ශක්තිමත්ව තිබේ. එසේම පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රබල නායකයකු වන වෙල්ගම මේ මොහොතේදී බදුල්ල දිස්ත්‍රික්කයට නායකත්වය දීමට ගොස් ඇති තත්ත්වයක් තුළ එක්සත් ජාතික පක්ෂ විරෝධී ඡන්ද හරි මැදින් තුනට බෙදෙන තත්ත්වයක් තිබේ. මේ අනුව කළුතර දිස්ත්‍රික්කයද යූ. ඇන්. පීය ජයග්‍රහණය කරනු ඇතැයි මාගේ නිගමනයයි.

එසේනම් අවසාන වශයෙන් කිවයුත්තේ වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලකගේ නායකත්වයෙන් යුත්, මුස්ලිම් ඡන්ද පදනම සහිත සාම්ප්‍රදායික එජාප බලකොටුවක් වන ගාල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීම එම නායකයින්ගේ අරමුණයි. මාතර දිස්ත්‍රික්කයේද එසේමය. මාතර දිස්ත්‍රික්කයේ සාම්ප්‍රදායික ඡන්ද ඡන්දපොළට ගෙන යාමට අමතරව එම දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන ඇමතිවරුන් දෙදෙනෙකු වන සාගල රත්නායක හා මංගල සමරවීරගේ ක්‍රියාකාරිත්වය මත එම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය තීරණය වේ. එසේම මන්ත්‍රීවරයෙකු වන බුද්ධික පතිරණගේ ක්‍රියාකාරිත්වයද  එම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණයට බලපායි. කෙසේ නමුදු මාතර දිස්ත්‍රික්කයත්, කුරුණෑගල දිස්ත්‍රික්කයත් එක්සත් ජාතික පක්ෂයේ දක්ෂ කණ්ඩායමක් නියෝජනය කරනු ලබන දිස්ත්‍රික්ක දෙකකි. අනෙක් පොදුජන එක්සත් පෙරමුණට ඉතාම වාසිසහගත දිස්ත්‍රික්කය වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයයි. එය මහින්ද රාජපක්ෂවරුන්ගේ බලකොටුව වන අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන් අනිවාර්යෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ යුතුවේ. එය ඔහුගේ පැවැත්මට අත්‍යාවශ්‍ය සාධකයක් වේ. එබැවින් එතුමා, ඔහුගේ උපරිම ශක්තිය, බලය හා හැකියාවන් එම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට යොදවනු ඇත. එයට මුහුණදීමට මේ මොහොතේ දුර්වල රාජපක්ෂවරුන්ට හැකියාවක් තිබේදැයි සැක සහිතය.

අවසාන වශයෙන් කිවහැක්කේ රාජපක්ෂවරුන්ට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ස්ථිර වශයෙන්ම ජයගතහැකි හෝ ප්‍රබල සටනක් දියහැකි එකම දිස්ත්‍රික්කය ඡන්ද ලක්ෂ තුනක් පමණ පවතින ශ්‍රී ලංකාවේ දුෂ්කරම හා කුඩාම දිස්ත්‍රික්කය වන මොනරාගල පමණි. මොනරාගල හැරුණුකොට අනෙකුත් සියලුම දිස්ත්‍රික්ක එක්සත් ජාතික පක්ෂය ජයගනු ඇතිබව මාගේ තක්සේරුවයි.