Monday, March 27, 2017

විමල්ගේ රෝඩ් ටු යු. ඇන්. පී



ග්‍රීක දේව කතා වල මෙන් විමල් වීරවංශට උපත් දෙකක් තිබේ. එකක් 1965 වන අතර, අනෙක 1971 දීය. මේ පිළිබද ශ්‍රී ලංකා අධිකරණයේ නඩුවක් විභාග වන බැවින් ඒ පිළිබදව සාකච්ඡා කිරීම ශීලාචාර නැත. ශ්‍රී ලංකාවේ සමාජය මෙතරම් අශීලාචාර වීමට විමල් වීරවංශගෙන් සිදුවු දායකත්වය අසමසමය. ශ්‍රී ලංකාවේ සමාජයේ ජනතාවට ආගමික සිද්ධස්ථානයන්ගෙන් සිදුවන අතවරයම විමල් වීරවංශලාගේ බලපෑමෙන් ලංකාවේ සමාජයට සිදුවු හානිය පෙන්වාදීමට හොදම උදාහරණයයි. අද ශ්‍රී ලංකාවේ පන්සල්, පල්ලි ආශ්‍රිත දේපළවල මිල ඉතාම සීඝ්‍රයෙන් පහළ බැස තිබේ. ඒ කිසිදු ශීලාචාර, සාමකාමී මනුෂ්‍යයෙකුට නිදහසේ, නිරවුල්ව, නිස්කලංකව ආගමික මධ්‍යස්ථානයක් ආසන්නයේ ජීවත් වීමට නොහැකි බැවිනි. පාන්දර 4. 30 ට පන්සල් වලින් නිකුත් වන ලවුඩ්ස්පීකර් බණ, කවි හා දේශනා මිනිසුන් රැකියාවට ගිය පසු අවසන් වන අතර නැවත ඔවුන් රැකියාව අවසන් වී ගෙදර එනවිට එම බණ, කවි හා දේශනා නැවත ආරම්භ වේ. කාර්යාලයේ දහසකුත් දුක්, දෝමනස්නයන් හා පීඩාවන් මැද කල් ගෙවා නිවසට එන මිනිසුන්ට පන්සලේ කන්දොස්කිරියාව, කන්දොස්කිරියාවක්මය. එම ආගමික සිද්ධස්ථානයේ වාසය කරන හාමුදුරුවන්ගේ, පූජකයන්ගේ මොලේ තරමට හා දැනුමට අනුව නිකුත්වන එම ශබ්දයෙන් ලංකාවේ සිවිල් ජනයාගේ පෞද්ගලිකත්වය විශාල ලෙස හානියට පත්ව තිබේ. තම පවුලේ දරු දැරියන් සමග අදහස් හුවමාරු කරගැනීමට ඇති කාලය රූපවාහිනි නැරඹීමට හෝ වෙනත් විනෝද කාර්යයක යෙදීමට ඇති අවස්ථාව හෝ නිවස තුළ ලිංගික කටයුත්තක යෙදීමට ඇති අවස්ථාවද පන්සලේ, පල්ලියේ බණ වලින් විනාශ කරදමයි. පසුබිමින් පිරිත් සංඝායනා ඇසෙද්දී තම පෙම් හිත හදාගෙන ශ්‍රී ලාංකික ගැහැණියක් ඇදට ගොඩවන්නේ කෙසේද ?මෙම සමාජ අතවරයට විරුද්ධව නැගි සිටීමට ජනතාවට අයිතියක් නැත්තේ විමල් වීරවංශලා විසින් ගොඩනගන ලද වැරදි සමාජ ආකෘතිය නිසාය. නමුත් විමල් වීරවංශලාගේ ජීවිතය මීට එහා ගිය කාමසුඛල්ලිකානු යෝගයට බර, විහිලුවටවත් ආගමක් දහමක් නොඅදහන ජීවිතයකි. ඔවුන් වැරදි ක්‍රමවේදයන් ගොඩනගනු ලැබුවේම බලය පවත්වාගැනීමටය. විමල් වීරවංශ යනු මේ මොහොතේ, මේ රටේ නොම්බර එකේ ධනපතියෙකි. ඔහුට අතිවිශාල ධනයක් තිබේ. හොදින් කන බොන, රමණය කරන ජීවිතයක් තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස්දෙනෙකුගෙන් යුතු දේශපාලන පක්ෂයක නායකයෙකි. නරියෙකු මෙන් කපටි චින්තනයක්ද, උගුඩුවෙකු මෙන් පෙරේත කමක්ද, බල්ලෙකුගේ මෙන් හඩකින් යුත් කටක්ද තිබේ. ඉතින් විමල් වීරවංශ ( ධනිය ගෝපාල, පරාක්‍රම කොඩිතුවක්කු කිව්වාක් මෙන් ) කුරිරු ධනවාදියෙකි. ඔබේ ගමන එක්සත් ජාතික පක්ෂයට වැටි ඇති මාවතේ ගමන් කරමින් සිටි. එක්සත් ජාතික පක්ෂය කුරිරු ධනවාදී ගති වලින් මිදී නව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බවට පත්ව තිබියදි අන්ත වාමාංශිකව පටන් ගෙන අන්ත දක්ෂිණාංශික බවට පත්වු විමල් වීරවංශ තම පැවැත්ම උදෙසා මැද මාවතේ ගමන් කරනු ලබන නව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පක්ෂයේ නවතිනු ඇත. දැනටමත් එක්සත් ජාතික පක්ෂය සමග එම ගණුදෙනු ආරම්භ වී ඇතැයි කනින් කොනින් ඇසේ. රටේ ජාතික දේශපාලන ඉව ඇල්ලීමේදී චම්පික රණවක හා විමල් වීරවංශට සමකළ හැකි කිසිවෙකුත් නැත. එබැවින් චම්පික රණවකද සිටිනා එක්සත් ජාතික පක්ෂය විමල් වීරවංශ හිස් මුදුනින් පිළිගනු ඇත. විමල් වීරවංශ එක්සත් ජාතික පක්ෂයට එන ගමන ඉතාම සතුටින් ආරම්භ කොට දුෂ්කර ගමනක් ගෙවා දොරකඩටම පැමිණ තිබේ. දොර විවර වන්නේ කවදාද යන්න කාලය විසින් තීරණය කරනු ලබන ප්‍රපංචයකි.

එසේම ශ්‍රී ලංකාවේ දේශපාලනයේ අනෙක් ප්‍රමුඛ සිදුවීම වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොඉවසිලිමත් බවයි. ජනවාරි අට වනදා ජනවරම මෛත්‍රිපාල ජනාධිපතිතුමාට ලබා දෙනු ලැබුවේ එය පවත්වාගෙන යාමට නොව එය අවලංගු කිරීමටයි. ජනාධිපතිවරයා වටා මේ මොහොතේ සිටිනු ලබන සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින් ජනවාරි අට වනදාට පෙර විධායක ජනාධිපති ධූරය පවත්වාගෙන යාම මෙන්ම අට වනදා පරාජය කරනු ලැබු බලවේගයට පක්ෂව සිටි අයයි. එම අය අද ජනාධිපතිවරයා සමග ජනවරම කොල්ල කෑමට උත්සහ කරමින් හෝ කොල්ල කමින් සිටියි. එය ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර තිබේ. ජනතාවගෙන් තොර දේශපාලන බලය සිහිනයක් බව බටහිර චින්තකයෙකු කියා තිබේ. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත්‍රී පිලේ මැති ඇමතිවරු සමග එම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වෙමින් සිටිනවාදැයි විටෙක මට සිතේ.

යහපාලන ආණ්ඩුවට ජනවරම ඇත්තේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, මාධ්‍ය නිදහස ඇති කිරීම හා ශීලාචාර සමාජයක් ගොඩනැගීමටයි. ජනවාරි අට වනදාට පෙර ගොඩනැගුණු එම දේශපාලන ව්‍යාපාරය මගින් මෙරට ජනතාව බලාපොරොත්තු වූයේ තවත් රාජපක්ෂ යුගයක් නොව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් හා කාඩරය සිතනුයේ රාජපක්ෂ වෙනුවට සිරිසේන ලේබලය යටතේ පැරණි අකටයුතුකම් තවදුරටත් පවත්වාගෙන යා හැකි යැයි යනුවෙනි. තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාඩමක් ඉගෙනගෙන නොමැත. ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර කීවාක් මෙන් ඔවුන් ගමනක අවසානයකට ළගා වී ඇත.

රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ පාක්ෂිකයාගේ දැඩි විරෝධය මැද්දේ වුවද ජනවාරි අට වනදා ජනවරමට අනුව කටයුතු කිරීමට දැඩි උත්සාහයක නියැලෙමින් තිබේ. රැකියා දස ලක්ෂයක් බිහි කිරීම, මහා මාර්ග පද්ධතිය ගොඩනැගීම, හම්බන්තොට වරාය ජාතික ආර්ථිකයට එක් කර ගැනීම, බලශක්ති අර්බුදය විසදීම, ප්‍රවාහන කේෂ්ත්‍රය ප්‍රතිසංස්කරණය කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හා අනෙකුත් සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට මූලිකත්ව දී තිබේ. මේ පැරණි වැඩවසම් ප්‍රතිගාමී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යුගය නොවේ. ඔවුන් මෙම නව තත්ත්වයට අනුගත නොවුනහොත් ගමනක අවසානය සිදුවනු ඇත.

Monday, March 20, 2017

බයියන් ටොයියන් වීමට ගොස් කබ්බන් වීම නොහොත් ආණ්ඩුවේ ප්‍රොපගැන්ඩා



2015 ජනවාරි 8 වනදාට පෙර මේ රටේ තිබු දේශපාලන ක්‍රියාදාමය අසංවිධිත එකකි. සංවිධිත එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙල හැරුණුකොට මුළු දේශපාලන ක්‍රියාවලියම අවිධිමත්, අසංවිධිත, ප්‍රගතිශීලී එකකි. එම දේශපාලන ව්‍යාපාරයේ හැරවුම් ලක්ෂය හා ආරම්භය සනිටුහන් කරනුයේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එම ආණ්ඩුවේ 18 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමගයි. එය ක්‍රමිකව වර්ධනය වී රතුපස්වල හා හලාවත මර්ධනයන්, ශිරානි බණ්ඩාරනායක ඉවත් කිරීම, සුදු වෑන් වලින් අතුරුදහන් කිරීම හා දහසකුත් අයුතු අසාධාරණකම් වලින් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මෙරට දැනුම් තේරුම් ඇති සිවිල් සමාජ විසින් ගොඩනගන ලද දැවැන්ත දේශපාලන ව්‍යාපාරයකි.

ස්වාභාවිකව ගොඩනැගුණු මෙම ව්‍යාපාරයේ ප්‍රථම ඵලය 2014 අප්‍රේල්, දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය විසින් ලබාගත් අතර එහි දෙවන තීරණාත්මක ඇරඹුම ඌව පළාත් සභා මැතිවරණයයි. එම නැගී ආ ජන බලවේගයේ  ඉවට කලබල වූ රාජපක්ෂවරුන් නැවත ජනවරමක් ඉල්ලා සිටියේ රටේ ගොඩනැගෙමින් තිබූ අවිනිශ්චිත වාතාවරණයත්, නැගී ආ විරුද්ධ බලවේගත් ලෙයින්, යකඩින් මර්ධනය කොට තම පැවැත්ම තහවුරු කරගැනීමටය.

එම වසරේම නොවැම්බර් 21 වෙනිදා මෛත්‍රීපාල ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගනිද්දී රටේ ගොඩනැගෙමින් තිබූ අසංවිධිත දේශපාලන ව්‍යාපාරය මහා රූස්ස ගසක් බවට පත්ව තිබිණි. එම දේශපාලන ව්‍යාපාරය විසින් ඉල්ලා සිටි අසංවිධිත, නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයායි. ඔහුට අදටත් ඔහුගේ ජයග්‍රහණය අදහාගත නොහැක්කේ එම දේශපාලන ව්‍යාපාරය කවුරුන් විසින් හෝ මෙහෙයවන්නක් නොව ස්වයංක්‍රීයව ගොඩනැගුණු සමාජ ප්‍රපංචයක් වූ නිසාය. ඔහු උඩු යටිකුරු වී සිටිනුයේ මෙම ජනවරම කුමක්දැයි හදුනාගත නොහැකි වීමෙනි. ඔහුටද දීර්ඝ කාලයක් කල් ගත කළ බයි චින්තනයෙන් මිදීමේ අපහසුවක් තිබේ. එම ව්‍යාපාරය තුළ සිටි එකම සංවිධිත දේශපාලන ව්‍යාපාරය එක්සත් ජාතික පක්ෂය වූ අතර ජනතාව විශ්වාසය තැබූ නායකයා රනිල් වික්‍රමසිංහයි.(එම මොහොතේ පක්ෂය විසින් විශ්වාස නොකළ) එහි ප්‍රතිඵලයක් ලෙස අදත් මේ රටේ ජනතාව බරපතල ලෙස ගනු ලබන්නේ රනිල් වික්‍රමසිංහයි. මේ ආණ්ඩුවේ සකළවිධ දුර්වලතාවයන්ට දොස් පවරනු ලබන්නේ රනිල් වික්‍රමසිංහටය. සමාජය ජනාධිපතිවරයා මත බලාපොරොත්තු තබා නොමැත්තේ ඔහු ජනාධිපතිධූරයට පත් කරනු ලැබුවේ මෙම ධූරය අවසන් කිරීමට මිස එය පවත්වාගෙන යාමට නොවේ.

ටොයියන් යනු මෙම අසංවිධිත දේශපාලනය මෙහෙය වූ හා ඒ වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් වැඩකළ ලක්ෂ පහක් පමණ වන ජනවාරි 8 වනදාට පෙර ක්‍රියාකාරී දේශපාලනයේ නියැලුණු දැනුම් තේරුම් ඇති ජනතාවයි. ඔවුන්ගේ ප්‍රධාන දේශපාලන මෙවලම වූයේ කොම්පියුටරය, කාර්යාලය, පොදු ප්‍රවාහන පද්ධතිය මිස දේශපාලන පක්ෂයක් නොවේ. නමුත් මෙම දේශාපාලන ව්‍යාපාරයට නායකත්වය දුන් විධිමත් දේශාපාලන නායකයින් හා සිවිල් ක්‍රියාකාරීන් විශාල සංඛ්‍යාවක් මේ රට තුළ සිටී. තත්ත්වය එසේ තිබියදීත් නොවැම්බර් 21 දක්වාම මේ රටේ බයියන් පිරිසක් වූ රාජපක්ෂවාදීන් විශාල ප්‍රමාණයක් ආණ්ඩුව සමග එකතු විය. මේ ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පහළ සිට ඉහළටම අත්පත් කරගෙන සිටිනුයේ ජනාවාරි 8 වනදාට පෙර  හිටපු බයියෝය. ඔවුන් හදිස්සියේ ටොයියන් වීමට ගොස් කබ්බන් බවට පත්වී තිබේ. ආණ්ඩුවේ අමාත්‍යංශවලින් සියයට පනහකුත්, ජනාධිපතිවරයාගේත්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේත්, රජයේ මාධ්‍ය ආයතනවල වැඩි ප්‍රමාණයකුත් අත්පත් කරගෙන සිටිනුයේ ටොයියන් වීමට ගොස් කබ්බන් බවට පත් වූ හිටපු බයියෝය. ඔවුන් ජනවාරි 8 වනදාට පසු ආණ්ඩුවේ හා ජනාධිපතිවරයාගේ ප්‍රචාරක යාන්ත්‍රණය මුලුමනින්ම බයිකරණය වී ඇත. එය අගමැතිවරයාටද අඩු වැඩි වශයෙන් බලපා තිබේ. එම කාරණය නිසාම රජුට ඇන්දවීමේ සින්දු හැදේ, විශාල තොරණ් ඉදි වේ, කවි දෙවොල් මඩු බිහිවේ, පන්සල් පදනම් කරගත් දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක වේ, රණවිරු ගී ගැයේ, ශක්තිමත් ජනාධිපතිවරයෙකුගෙන් යුත් ආණ්ඩුවක් පිළිබද ඝෝෂා ඇසේ, ජාතිවාදී කෙදිරිලි සමග තනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිළිබද මත පළවේ. සැබැ ලෙසම ජනවාරි 8 වනදා මෙරට ජනතාව විසින් පරාජයට පත් කරන ලද්දේ රාජපක්ෂලා ක්‍රියාත්මක කළ දැනුදු ක්‍රියාත්මක කිරීමට වෙර දරණ මා ඉහතින් ඉදිරිපත් කරන ලද දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයයි. මෙයින් අදහස් වන්නේ යහපාලන රජයේ ජනවරමේ අභිලාෂයන් හා න්‍යායන් අවබෝධ කරගැනීමට එහි ප්‍රචාරක යාන්ත්‍රණයට නොහැකි වී ඇති බවයි. එම නිසාම ආණ්ඩුවට විශාල අපහසුතාවයකට පත් වීමට සිදුව තිබේ. ආණ්ඩුව ව්‍යුක්ත විය යුත්තේ කබ්බන් බවට පත් වු බයියන්ගේ මෙම ප්‍රචාරක ව්‍යාපාරයෙනි. ජනවරමට අදාළ න්‍යායාත්මක පදනමකින් යුත් ප්‍රචාරක ව්‍යාපාරයක ආණ්ඩුව නිරත විය යුතුය.

ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණය තුළ සිටිනා බහුතරයක් දෙනාට රාජපක්ෂවරු පරාජය කළ දේශපාලන ව්‍යාපාරය පිළිබද අවබෝධයක් නැත. ඔවුන්ට සුළු හෝ අවබෝධයක් ඇත්නම් ඒ නොවැම්බර් 21 වනදාට පසු සිදුකළ මැතිවරණ ව්‍යාපාරය පමණි. එම මැතිවරණ ව්‍යාපාරය යනු ගොඩනැගුණු විශාල වෘක්ෂයක අවසන් ඵලයයි. ඵලය තේරුම්ගෙන ගස ගැන විස්තර කිරීම මෝඩ කමක් බව පැරැන්නෝ නිතරම කියති.

එම නිසාම ආණ්ඩුවේ ප්‍රචාරණ යාන්ත්‍රණය අත්පත් කරගෙන සිටින්නෝ හට ජනවරමේ දිග පළල හා ගැඹුර පිළිබද අවබෝධය නොමැතිකම නිසාම ඔවුනුත් විනාශ වෙමින් ආණ්ඩුවත් විනාශ කරමින් සිටී.

අගැමැතිවරයාගේ දර්ශනය හා ප්‍රතිපත්ති ජනවාරි 8 ජනවරම හා කෙතරම් ඒකාත්මික වුවද එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් රට තුළ සිදුකරනු ලබන ප්‍රතිසංස්කරණ ජනතාව තුළට ගෙනයාම විශාල අඩුපාඩුවක් මේ මොහොතේත් ආණ්ඩුව හා අදාළ පාර්ශවයන් මුහුණ දෙමින් සිටී.

ආණ්ඩුව විසින් පසුගිය කාලයේ ලබාගත් ජයග්‍රහණ ජනතාව අතරට ගෙනයාමේ අඩුපාඩුව නිසාම ජනතාව අතර විටෙක මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හා අගමැතිවරයා විශාල අපහසුතාවයකට පත්වේ. මේ සදහා හොදම උදාහරණය නම් පසුගිය කාලයේ විශාල වශයෙන් පාඩු ලැබු රාජ්‍ය ආයතන ගණනාවක් ගිය වසරේ විශාල ලාභයක් පෙන්නුවද එය ආර්ථික ජයග්‍රහණයක් ලෙස ජනතාව අතරට ගෙන යාමට ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයට තිබූ නොහැකියාවයි. එම නිසා හැකිතාක් ඉක්මනින් මෙම වලිගය හපාගෙන සිටීමේ තත්ත්වයෙන් මිදී ඉදිරියට ගමන් කළ හැකි වැඩපිළිවෙලකට ආණ්ඩුවේ ප්‍රචාරක ව්‍යාපෘතිය යොමු විය යුතු අතර බයි ආකල්ප හා මතවාදයන්ගෙන් මිදි ජනවාරි 8 වනදා ජනතාව ලබාදුන් ජනවරමට අනුකූල ආකාරයට ආර්ථික, සමාජයීය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සිදුකරන්නාක් මෙන් ප්‍රචාරක යාන්ත්‍රණයද ටොයිකරණය කළ යුතුය.

Monday, March 6, 2017

මහීපාල ඇන්ඩ් ලිලාන් සමරේ ඇන්ඩ් සමරේ



පසුගියදා කෑගල්ල ශාන්ත මරියා පාසලේ වසර 150 ක් සපිරීමේ උත්සවයට සහභාගී වී සිටියදී මට අපූරු කතාවක් අසන්නට ලැබිණි. එනම් කෑගල්ල ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ලිලාන් අමරකෝන් මැතිතුමා එම උත්සවය අමතමින් කෑගල්ල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ විරැකියාව ඉහළ අගයක් ගන්නා ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයෙන් එකක් බවත් එම දිස්ත්‍රික්කය විරැකියාව අතින් දෙවැනි වන්නේ කිලිනොච්චි දිස්ත්‍රික්කයට බවත් ප්‍රකාශ කර සිටියා. එම අවස්ථාවේ එම උත්සව සභාවේ වසර 20 ක් සබරගමු පළාතේ මහඇමති ධූරය දැරූ මහීපාල හේරත් මැතිතුමා හා අග්‍රාමාත්‍යවරයාද රැදී සිටියා. බැලු බැල්මට මෙය සරළ දේශපාලන යථාර්තයක් සේ පෙනුනද කෑගල්ල දිස්ත්‍රික්කය විරැකියාව අතින් ඉහළ අගයක් ගැනීම ගැඹුරු දේශපාලන ප්‍රපංචයකි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ භූගෝලීය පිහිටීම වන්නේ, එක් පසෙකින් ලංකාවේ සංවර්ධනය ඉහළම දිස්ත්‍රික්කය වන ගම්පහ දිස්ත්‍රික්කයත්, අනෙක් පසින් නුවර දිස්ත්‍රික්කයත් මායිම් වේ. එසේම කුරුණෑගල, රත්නපුර අනෙකුත් අසල්වාසී දිස්ත්‍රික්කයන්ය. කොළඹ, නුවර ප්‍රධාන මාර්ගය වසර සිය ගණනක් කෑගල්ල දිස්ත්‍රික්කය මැදින් ගමන් කරන අතර කොළඹ සිට කෑගල්ල දිස්ත්‍රික්කයේ ආරම්භයට ඇති දුර කිලෝමීටර 50 කටත් අඩුය. මෙවන් භූගෝලීය පිහිටීමක් ඇති කෑගල්ල දිස්ත්‍රික්කය විරැකියාව අතින් වසර 30 ක් දරුණු යුද්ධයකට මුහුණදුන් වසර සිය ගණනක් කොළඹ දේශපාඥයින්ගේ කුඩම්මා සැළකිල්ලට ලක්වූ කිලිනොච්චියට පමණක් දෙවැනි වන්නේ ඇයි ? අප විසින් තේරුම්ගත යුතු විශාල දේශපාලන කතාවක් මෙම සංවර්ධන සාධකය සමග තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ පසුගිය දශක දෙක තුළ අසහාය දේශපාලන බලවතා වන්නේ සබරගමු පළාත් මහ ඇමතිවරයාය. ඉතාම කුඩා තැනින් ජීවිතය හා දේශපාලනය පටන්ගත් ඔහු අද කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලන චරිතයක් වන අතරම ඇදහිය නොහැකි තරම් ධනවතෙකුද වන බව කියයි. ඔහු විසින් පසුගිය වසර 20 තුළ රජයේ විමධ්‍යගත මුදල් වැය කරමින් කෑගල්ල දිස්ත්‍රික්කය පුරා පාරවල් හදමින් කාර්යාල ගොඩනැගිලි ඉදිකරමින් පාසල් භෞතික සංවර්ධනය කරමින් ප්‍රදේශයේ තරුණ තරුණියන් දහස් ගණනකට රජයේ රැකියා (මතක තබා ගන්න පළාත් සභාවේ රජයේ රැකියා) ලබා දී තිබේ. එසේ තිබියදීත් කෑගල්ල දිස්ත්‍රික්කය ලිලාන් අමරකෝන් මහතා කියන පරිදි විරැකියාවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයට පමණක් දෙවැනි වන්නේ එහි සංවර්ධන උපාය මාර්ගවල දිළිදු හා වැරදි බව නිසාය.

තිරසාර සංවර්ධනය යනු භෞතික ගොඩනැගිලි ඉදි කිරීමත්, පාරවල් හැදීමත්, රජයේ රැකියා පාක්ෂිකයින් අතරේ බෙදා දීමත් නොව, ඊට වඩා දියුණු සංකීර්ණ ක්‍රියාවලියකි. පසුගිය දශක දෙක තුළ කෑගල්ල දිස්ත්‍රික්කය පදනම් කරගනිමින් සබරගමු පළාත් සභාවේ රැකියා උත්පාදනය කරනු ලබන ජනතාවගේ ජන ජීවිතය නංවා සිටින කිසිදු දේශපාලන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැත. අත්තනෝමතිකව රජයේ රැකියා ලබා දීමෙන් රටක ආර්ථිකයට හානියක් මිස වාසියක් වන්නේ නැත. රජයක් විසින් ව්‍යවසායකයන් හා ආයෝජකයන් දිරිමත් කොට ආයෝජන මත පදනම්වූ නව රැකියා බිහි නොකරන්නේ නම් රටක වැඩිවන ජනගහනයට සාපේක්ෂව රැකියා වෙළදපොල පුළුල් වන්නේ නැත. පළාත් සභාවල දහස් ගණන් නිලධාරීන් හා දේශපාලඥයින් රජය මගින් නඩත්තු කරමින් පවත්වාගෙන යන්නේ මෙම තත්ත්වයන් නිවැරදි කොට අනාගතය ගැන කල්පනා කොට ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමටයි. නමුත් පසුගිය දශක දෙක තුළ මෙම තත්ත්වය අවබෝධකරගත නොහැකි දේශපාලඥයෙකුගේ දැඩි පාලනයේ තිබූ දිස්ත්‍රික්කය අද මහා ඛේදවාචකයක් බවට පත්ව තිබේ. අප නිවැරදි කළ යුත්තේ මෙයයි. ඉදිරි අනාගතය ගැන සිතන එය තේරුම්ගත් ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් කළ හැකි අවම සුදුසුකම් සහිත නායකයින්ට පළාත් පරිපාලනය ලබා දීමට මෙරට ජනතාව කල්පනා කළ යුතුය. රජයේ මුදල් උපයෝගීතාවයේ වැදගත්කම නොසළකා දේශපාලන අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමට ආයෝජනය කිරීමේ අවසන් ප්‍රතිඵලය උගතුන් ඉන්නා නූගතුන් පාලනය කරනා දිළිදු අර්බුදයට ලක් වූ සමාජයක් සහිත විපරිත දිස්ත්‍රික්කයක් බිහි වීමයි. මෙය සබරගමුවට පමණක් නොව ඌව, උතුරු මැද, වයඹ හා දකුණු පළාතටද පොදුය. දැන් එම පළාත්වල ඉහළ පරිපාලනය වෙනස් කිරීමට කාලය එළඹ තිබේ. එය හැකි ඉක්මනින් සිදු නොකළහොත් යහපාලන රජයේ මධ්‍යම ආණ්ඩුවද අර්බුදයකට ලක්වීම නොවැළැක්විය හැකිය. මන්ද රටේ ජනතාවගේ ඉරණම තීන්දු කරනු ලබන බලතල විශාල සංඛ්‍යාවක් පළාත් සභාව සතු වන බැවිනි.

ආර්ථික හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දහසකුත් බාධක මැද ඉදිරියට ගියද රටේ සමාජ ප්‍රතිසංස්කරණවල සීඝ්‍ර දියුණුවක් ලබාගෙන ඇත. විශේෂයෙන් යහපාලන රජය මගින් ජනවාරි 8 වනදාට පෙර ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ යකඩ හස්තයේ මර්දනය අවසන්කොට ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්, නීතියේ ආධිපත්‍ය, නිදහස, සංහිදියාව වන ක්ෂේත්‍රවල සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබේ. මේ සදහා හොදම උදාහරණය නම් පසුගියදා ITN නාළිකාව තුළ විකාශය වූ ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කළ යූත් විත් ටැලන්ට් වැඩසටහනේදී විකාශය වූ සමරේ ඇන්ඩ් සමරෙගේ කුප්‍රකට වීඩියෝවයි.

එම වැඩසටහනේදී රජයේ ප්‍රධාන ජනමාධ්‍ය ආයතනය තුළ අගමැතිවරයාගේ අමාත්‍යාංශයක් මගින් සංවිධානය කරනු ලබන රජයේ ප්‍රවෘත්ති හා පාර්ලිමේන්තු කටයුතු ඇමතිවරයා ඉදිරිපිට සමරේ ඇන්ඩ් සමරේ අගමැතිවරයාගේ කටහඩ අනුකරණය කරමින් විශේෂාංගයක් ඉදිරිපත් කරයි. එම විශේෂාංගය තුළ වචන කිහිපයකින් වුවද අගමැතිවරයාට හා ඔහුගේ දර්ශනයට තියුණු ප්‍රහාරයක් එල්ල කරයි. නමුත් එමගින් අගමැතිවරයාටවත්, ගයන්ත ඇමතිවරයාටවත්, ස්වාධීන රූපවාහිනියේ සභාපති සමන් අතාවුදහෙට්ටි මහතාටවත් තරහක්, වෛරයක් හෝ අපහසුවක් දැනෙන්නේ නැත. ඔවුන් සැමදෙනාගේම සමීප රූප රාමු එම විශේෂාංගය අතරතුර තිරයේ දිස් වූ අතර ඒ හැමදෙනාම ඉතාම සතුටින් විනෝදයෙන් උපේක්ෂා සහගතව එම විශේෂාංගය නරඹන හැටි මුලු රටම දුටුවෝය.

ජනවාරි 8 වනදායින් පසු සමාජ ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රෙය් මේ රටේ ජනතාව ලැබු ජයග්‍රහණය නම් මෙයයි. සැමදෙනාටම නිදහසේ අදහස් පළ කිරීමට හැකි සමාජයක් සහ ඒවා උපේක්ෂා සහගතව ඉවසන ආණ්ඩුවක් රටට ලැබී තිබේ.