Monday, February 27, 2017

වෘකයන් අතර නග්නව හොරු සමග හෙලුවෙන්


ශ්‍රී ලංකාවේ දේශපාලනය හා ආර්ථිකය තීරණාත්මක කඩඉමකට පැමිණ තිබේ. නිදහසෙන් පසු ‍ගෙවුණු හැටනව වසර තුළ මෙරට පාලනය කළ සියලුම නායකයින්, පාලකයින් කල්පනා කරනු ලැබූයේ රටේ ආර්ථිකය හා රටේ දේශපාලනය යනු දෙකක් ලෙසය. එම නිසාම දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී රටේ ආර්ථිකය පයිසකට මායිම් නොකළෝය. එතෙක් මෙතෙක් රට පාලනය කළ සියලුම නායකයින් තම තමන්ගේ දේශපාලන ව්‍යාපාරය තම තමන්ට තේරෙන මට්ටමෙන් ක්‍රියාත්මක කළ අතර එමගින් රටේ ආර්ථිකයට හා අනාගත ආර්ථික තත්ත්වයන්ට සිදුවන බලපෑම පිළිබදව කිසිදු තක්සේරුවක් ද නොතිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස රටේ ආර්ථිකයට දැරිය නොහැකි තරම් සුබසාධනවාදී රටක් ද, සමාජ සුබසාධනය හා සියලුම පොදු කටයුතු රජය විසින් සපයා දිය යුතුයැයි ආකල්පයකින් යුත් සමාජයක් මෙන්ම රජයේ ආදායමට වඩා වැඩි ණය වාරිකයකින් යුතු ආණ්ඩුවක් ද, දශක හතකට පසු අපට උරුම වී තිබේ. අප රටක් ලෙස සිටිනුයේ බංකොලොත් භාවයේ එළිපත්තේය. පසුගිය දශක හත තුල සිදුවූ ආර්ථිකය හා දේශපාලනය පීලි දෙකක ගමන් කිරීම තාර්කික අවසානයකට පැමිණ තිබේ. වර්ථමාන පාලකයින් දේශපාලනඥයින්ට වඩා ආර්ථික විශේෂඥයින් ලෙස සිතිය යුතු කාලය එළඹ තිබේ. රටේ අගමැතිවරයාත්, එක්සත් ජාතික පක්ෂයත් මේ මොහොතේ කියවිය යුත්තේ එම සන්දර්භය තුල සිටිමිණි.

බැලූ බැල්මට රට තුල අවුල් වියවුල් ගණනාවක් පවතී. එම අවුල් වියවුල් බොහොමයක් පවතින අවිද්‍යාත්මක, අශීලාචාර ක්‍රමවේදයන් තුළින් වාසි ලබන්නන් විසින් ඇතිකරන ලද ඒවාය. ඔබ හොදින් නිරීක්ෂණය කළහොත් දිනපතා මහාමාර්ගවල උද්ඝෝෂණයේ යෙදෙන, වර්ජනයේ යෙදෙන හා අර්බුද ඇතිකරන අය සියල්ලෝම පාහේ වර්ථමාන ආණ්ඩුව යෝජනා කරනු ලබන ප්‍රතිසංස්කරණවලින් පාඩු ලබන පිරිස් වන අතරම එම පවතින අශීලාචාර ක්‍රමවේදයන් තවදුරටත් පවත්වාගෙන යාම සදහා බලපෑම් කරනු ලබන්නෝ වෙති. ආණ්ඩුවේ කොටස්කාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ඒකාබද්ධ විපක්ෂ‍ය ද දශක දෙකක් පුරා මෙම ක්‍රමය ශක්තිමත් කිරීමට දරදිය ඇද්දන් වන අතරම එමගින් තම පැවැත්ම තහවුරු කරගත් අය ද වෙති.

එක්සත් ජාතික පක්ෂය, එහි නායකයින් හා එම පක්ෂයේ සමාජිකයින් දහසකුත් කැපවීම් කරමින් රටේ පවතින තත්ත්වය, වඩා හොද තත්ත්වයකට ගෙන ඒමට උත්සාහ කරමින් සිටිය දී විටෙක මිතුරු වෙසින් සිටින සතුරන්ගෙන් ද තවත් විටෙක සතුරන්ගෙන් ද එමෙන්ම මිතුරන්ගෙන් ද ප්‍රහාරයට ලක්වෙමින් සිටී. නමුත් යහපාලන ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික ඇමතිවරු, එක්සත් ජාතික පක්ෂයේ ජන වරමට මුවා වී ආණ්ඩුවේ සියලුම වරප්‍රසාද ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂයටම දෙස් දෙවොල් තබයි. ඔවුන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු හා අනෙකුත් ආණ්ඩු විරෝධී බලවේග සමග එක් වී යහපාලන ආණ්ඩුව පෙරලා දමා ඔවුන්ගේම ආණ්ඩුවක් සෑදීමට ක්‍රමන්ත්‍රණය කරමින් සිටී. නමුත් පාර්ලිමේන්තුවේ සරල බහුතරයත්, රටේ ජනතාවගේ ජනමතයත්, ආණ්ඩුවේ ජනවරමත් ඇති එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ අගමැතිවරයාගේ කණ්ඩායම සෙමින් නමුත් ස්ථිරසාරව ඉදිරියට ගමන් කරයි. එම කණ්ඩායමේ ආරක්ෂාව නිරන්තරයෙන්ම ජනාධිපතිවරයාට හිමි වේ. නමුත් ජනාධිපතිවරයා වෘකයන් අතර නග්නවය. ජනාධිපතිවරයාට රාජ්‍යයේ කටයුතුවලට සම්බන්ධ වීම කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් වල නව ආණ්ඩු පිහිටුවීමේ පිපාසය හා ආශාව ඉදිරියේ ජනාධිපතිවරයාගේ කාලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් එම කණ්ඩායම හා ගත කිරීමට සිදුව තිබේ. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම කණ්ඩායම් ජනවාරි 08 වෙනිදාට පෙර සිටියේ එතුමාට විරුද්ධ කදවුරේ වන අතර මේ මොහොතේද ඔවුන් ජනාධිපතිවරයා සමග සකච්ඡා කොට ඉර බැස යන ගමනේ දිව යන්නේ හිටපු ජනාධිපතිවරයා හමුවීමටය. ජනාධිපතිවරයා වෘකයන් අතර නග්නව වුවද වෘකයින් දවල් මිගෙල් රෑ ඩැනියෙල් චරිතය රගපාමින් මහින්ද රාජපක්ෂ ඉදිරියේ හිවලුන් බවට පත්ව තිබේ.

මෙම දේශපාලන නාට්‍යය දෙස එක්සත් ජාතික පාක්ෂිකයිනුත්, කොළඹ කේන්ද්‍රීය සිවිල් සංවිධානත්, දෙමල මුස්ලිම් ජනතාවත්, ජාත්‍යන්තර ප්‍රජාවත්, උපේක්ෂා සහගතව විටෙක භීතියෙන් ද විටෙක මවිතයෙන් ද බලා සිටී. ජනවාරි 08 වෙනිදා ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ සැබෑ හිමිකරුවෝ ඔවුන් වන අතර ඔවුන් ජනාධිපතිවරයා හොරු සමග හෙලුවෙන් යැයි සිතති. නමුත් තවමත් එම කණ්ඩායම් වලට ජනාධිපතිවරයා කෙරෙහි තිබෙන විශ්වාසයේ අඩුවක් සිදුවී නොමැත. ජනාධිපතිවරයා නිවැරදි තීන්දු තීරණ ගනිතැයි වශ්වාසයක් එම කණ්ඩායම් තුල ඇති අතර එම නිවැරදි තීන්දු වෙනුවෙන් පෙනී සිටීමේ එකගතාවයක් ජනවාරි 08 බලවේග තුල තවමත් ඉතිරිව තිබේ.

මෙම ආණ්ඩුවට කෙතරම් ප්‍රහාර එල්ල වුවද අගමැතිවරයා දේශපාලන යුද්ධය තාවකාලිකව අමතක කොට ආර්ථික යුද්ධය ජය ගැනීමේ විශාල පරිශ්‍රමයක නිරතවී සිටී. මෙම අවදානම්කාරී ආර්ථික තත්ත්වයෙන් ගොඩ ඒමකින් තොරව මේ රටේ ජනතාවටත් ප්‍රධාන දේශපාලන ධාරාවන්ටත් පැවැත්මක් නොමැති බව අගමැතිවරයාගේ තක්සේරුවයි. මෙම ආර්ථික ආගාධයෙන් රට ඉහලට ඔසවා තබා රටේ ණය බර අඩුකොට ජාතික ආර්ථිකයේ පිබිදීමක් ඇති නොකළ හොත් රට තුල සිටින ප්‍රතිගාමී බලවේග නැවත ශක්තිමත් වී රට නැවතත් ඛේදවාචකයක් බවට පත්වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය සිතයි. එබැවින් එක්සත් ජාතික පක්ෂයේ හා අගමැතිවරයාගේ මුළු අවධානයම යොමුවී ඇත්තේ රජයේ ආදායම 23% ට ගෙන ඒමට, රැකියා දස ලක්ෂයක් බිහිකිරීමට, ආර්ථික මර්මස්ථාන නැවත ජාතික ආර්ථිකයට එක්කර ගැනීමට, විදේශ විනිමය සංචිතය ශක්තිමත් කිරීමට හා රජයේ අනවශ්‍ය වියදම් සීමාකිරීම වැනි ප්‍රගතිශීලී ආර්ථික කාරණා කෙරෙහිය. එසේම එම මොහොතේදී ම රටේ දේශපාලන ස්ථාවරභාවය පවත්වාගෙන යමින් යහපාලන රජයේ පැවැත්ම කෙරෙහි අවධානය යොමු කළ යුතු සේම ඒ සදහා ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත් ඇති කැපවීම රටට ප්‍රදර්ශනය විය යුතු බව මාගේ හැගීමයි.

Monday, February 20, 2017

බෝට්ටු, රාජපක්ෂවරු හා ඔස්ට්‍රේලියාව



2015 ජනවාරි 8 ට පෙර ලංකාව ජාත්‍යන්තරය තුළ හුදෙකළා වු ජාතියක් බවට පත්ව තිබුණි. අවුරුදු සිය ගණනක් ලංකාව සමග ගණුදෙනු කළ අපේ පැරණි මිතුරන් වූ යුරෝපයද, ඇමරිකාවද, ඔස්ට්‍රේලියාවද, අනෙකුත් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල්ද, කළාපයේ බලවතා වන ඉන්දියාවද, අපට විරුද්ධ ස්ථාවරයක සිටියේය. එසේම කවදත් ශ්‍රී ලංකාව සමග එකපෙළට සිටගත් මැදපෙරදිග මුස්ලිම් කළාපයේ රටවල් අප සමග මාරාන්තික විරෝධයකට අවතීර්ණ වූයේ, එවකට රජය විසින් රාජ්‍ය අනුග්‍රහයෙන් රටතුළ ක්‍රියාත්මක කළ මුස්ලිම් විරෝධයේ ප්‍රතිඵලයක් ලෙසය. මෙවැනි තත්ත්වයක් තුළ යුධ අපරාධ හා මානව හිමිකම් පදනම් කොටගෙන ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ ආසන්නයට පැමිණ සිටියේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනවාරි 8 වන දින ජනාධිපතිවරණයකට යෑමට තීරණය කළේ සුමනදාසගේ අනාවැකි නිසා පමණක් නොවීය. එම වසරේ මාර්තු 29 වෙනිදා ලංකාවට පැණවීමට නියමිතව තිබූ  ආර්ථික, සමාජයීය හා දේශපාලන සම්බාධක වලින් පසු රටතුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයට හා මහජන විරෝධයකට මුහුණ දීමට ප්‍රථමයෙන් මැතිවරණ පවත්වා තම ජනාධිපතිධුරය වසර අටකට දික්කර ගැනීමටය. ඉන්පසු රටතුළ කොතරම් විරෝධතා පැමිණියද, රටේ ජනතාවට කොතරම් අපහසුතාවයන්ට පත්වුවද රාජ්‍ය අයෝමය හස්තය භාවිතා කරමින්, ලෙයින් යකඩින් ජනමතය මර්ධනය කරමින්, රට පාලනය කිරීමේ අභිලාෂයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරායට තිබුණි. එම යුගයේ ශ්‍රී ලංකාවේ මිතුරන් වූයේද එවැනිම රාජ්‍යයන්ය. සිරියාව, රුසියාව, චීනය, වෙනිසියුලාව, ඉරානය, ලිබියාව වැනි ලෝකයේ කොන්වූ අශීලාචාර නායකයින්, පාලකයින් පාලනය කළ රටවල්ය. රාජපක්ෂ රෙජීමය තේරුම් ගැනීමට මෙම රටවල් කදිම නිදසුන්ය.

අද එම රටවල් සාගතය, අර්බුද, යුද්ධය හා රාජ්‍ය පාලනයේ වියවුල්වලින් පිරුණු රටවල්ය. එම රටවල නායකයින් එම රටවල ජනතාව එතරම් පීඩාවට පත්වෙද්දී බලයේ රැදී සිටියි. ජනවාරී 8 වන දින යහපාලන රජය බලයට පත් නොවුනේ නම් ශ්‍රී ලාංකික ජනතාවගේ හා රටේ ඉරණම වීමට තිබුණේද අද සිරියාව, සිම්බාබ්බයට හා වෙනිසියුලාවට අත් වී තිබෙන ශෝචනීය ඉරණමයි.

අගමැතිතුමා යුරෝපයේ, ආසියාවේ හා පසුගිය සතියේ ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නියැලෙමින් ගොඩනගා ගැනීමට උත්සහ කරමින් සිටිනුයේ එම බිද වැටුණු ජාත්‍යන්තර සම්බන්ධතා නැවත ඇතිකර ගැනීමටය. අගමැතිතුමාගේ ඔස්ට්‍රේලියානු නිල සංචාරයේදී මුණගැසුනු ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ඇතුළු සියලුම දේශපාලනඥයින්ගේ හා නිලධාරීන්ගේ විශේෂ අවධානයක් යොමුවූ කාරණයක් වූයේ, ශ්‍රී  ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට සිදුවන අනවසර සංක්‍රමණික ජාවාරම පිළිබදවයි. ඒ පිළිබද ඔවුන්ගේ මතය අගමැතිවරයා හා ප්‍රකාශ කිරීමට ඔවුන් විශේෂ උත්සහයක් ගැනුණි. මන්දයත් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පක්ෂ දෙකම අනවසර සංක්‍රමණික ගැටලුවේදී මහත් අපහසුතාවයකට හා අර්බූදයකට ලක් වී තිබේ. විශේෂයෙන් ඔස්ට්‍රේලියානු රජය තුළ මෙම ගැටලුව නිසාම එක්තරා අස්ථාවරභාවයක් ඇති වී තිබේ. එසේම එම රජයේ හා ඔස්ට්‍රේලියානුවන්ගේ එළියට ප්‍රකාශ නොකරන, නිල නොවන මතය වන්නේ, අනවසර සංක්‍රමික බෝට්ටු ජාවාරමට රාජපක්ෂ රෙජීමයේ හා නාවික හමුදාවේ ඇතැම් කොටස් අතර එවකට සම්බන්ධයක් තිබූ බවයි. එය එක්තරා ආකාරයක සත්‍යයක් යැයි විශ්වාස කළ හැක්කේ, ජනවාරී 8 වෙනිදාට පසු අනවසර සංක්‍රමණික බෝට්ටු ජාවාරම නැවතුණු නිසාය. පසුගිය රෙජීමයට තව රටක්, තව ආණ්ඩුවක් අර්බුදයකට ලක් කිරීමට උවමනාවක් තිබුණා යැයි ඔස්ට්‍රේලියානු රජය විසින් විශ්වාස කරයි.එම නිසාම ශ්‍රී ලංකාව මුහුණ දුන් ජාත්‍යන්තර අර්බුදයේදී අප ආරක්ෂා නොකරන තැනකට තල්ලු වී සිටියේය. එපමණක් නොව ශ්‍රී ලංකා රජය හා රාජපක්ෂ රෙජීමය සතුරන් ලෙස සළකණු ලැබීය.

නමුත් අගමැතිතුමාගේ සංචාරයේදී ඔස්ට්රේවලියානු රජය එතුමාට ඉහළ පිළිගැනීමක් හා ගෞරවයක් ලබාදුණි. විශේෂයෙන් ඔස්ට්‍රේලියානු අගමැතිවරයා විසින් වෙඩිමුර ඇතළු අලංකාරවත් පිළිගැනීමක් පාර්ලිමේන්තු මන්දිරයේදී ලබාදෙන ලදි. එය ඔස්ට්‍රේලියානු රජය විසින් බ්‍රිතාන්‍ය රැජිණ හැරුණුකොට රාජ්‍ය නායකයෙකුට ඉතාමත් කළාතුරකින් ලබාදෙන පිළිගැනීමකි. එසේම ද්විපාර්ශවික ගිවිසුම් ගණනාවකට අත්සන් තැබුණු අතර ක්‍රීඩා හා ආයෝජන පිළිබද අවබෝධතා ගිවිසුම් වලටද අත්සන් තබන ලදි. එසේම ඛණිජ වර්ග ගවේෂණයකොට සිතියම් ගත කිරීමට ඔස්ට්‍රේලියානු තාක්ෂණික සහය ලබාදීමටද එකග විය. එසේම ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා පැරණි සම්බන්ධතා පිළිබද බොහෝ රොමෑන්ටික් කතා අගමැතිවරුන් දෙදෙනාගෙන්ම වැලන්ටයින් දිනයේදී ප්‍රකාශ විය. ක්‍රිකට් ක්‍රීඩාව පදනම් කරගත් පසමිතුරු කතා විධිමත් නිල සාකච්ඡා තුළදීද, භෝජන සංග්‍රහය තුළදීද, අග්‍රාමාත්‍ය එකොළස් වැනි ක්‍රිකට් කුසලාන තරග බිමේදීද, දෙපැත්තටම හුවමාරුවූ අතර එය සෑමදෙනාටම විනෝදයක් ගෙන දුනි.

එසේම ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විශේෂ ආරක්ෂක විධි විධාන යොදා තිබූ අතර නිල රථ පෙළ ගමන්ගත් සෑම අවස්ථාවකදීම එම රථ පෙළට ඉඩ ලබාදීමට මහ මාර්ග හා පාලම් වසා දමා තිබුණි. එය ඔස්ට්‍රේලියානුවන්ට අලුත් අත්දැකීමක් වූ අතර මෙල්බර්න් නගරයේ වෙස්ගේට් පාලම වසා දැමීම ආන්දෝලාත්මක සිදුවීමක් විය. නමුත් ඔස්ට්‍රේලියානු රජය අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව පිළිබදව දැඩි අවධානයක් යොමු කර තිබුණි. අග්‍රාමාත්‍යවරයාගේ ඔස්ට්‍රේලියානු නිල සංචාරය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතාමත් සාර්ථක ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා ද්විපාර්ශවික සබදතාවල නව පිටුවක් පෙරලූ සංචාරයක් විය. එමගින් දෙරටටම බොහෝ වාසි ලබාගත හැකිය. ශ්‍රී ලාංකික ඩයස්පෝරාවේ සංක්‍රමණික සාර්ථකත්වය පිළිබදව ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගේත් පාර්ලිමේන්තු විපක්ෂ නායකවරයාගේත් අවධානය යොමු වී ඇති බව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හට ප්‍රකාශ කර සිටියේය.

එකඅතකින් ජාත්‍යන්තර දේශපාලනය ශ්‍රී ලංකාවට වාසි සහගත ලෙස හැඩ ගසා ගැනීමට මෙන්ම රට තුළ යෝජිත ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අගමැතිවරයා විශාල ප්‍රයත්නයක් දරයි. රැකියා දස ලක්ෂයක් බිහි කිරීම, රටවටා පිහිටි සියලුම වරායන් ජාතික ආර්ථිකයට එක් කර ගත හැකි වැඩපිළිවෙලක් සකස් කිරීම, සියලුම ගුවන්තොටුපොළවල් කාර්යක්ෂමව පවත්වාගෙන යාම, ප්‍රවාහන ක්ෂේත්‍රය විධිමත් කිරීම, මහා මාර්ග ආරක්ෂිත හා වේගවත් ස්ථාන බවට පත් කිරීම, සෞඛ්‍ය සේවය හා අධ්‍යාපනය තුළින් ඵලදායී ප්‍රතිලාභ ජනතාවට ලැබෙන ලෙස එම ක්ෂේත්‍රයන් ප්‍රතිසංවිධානය කිරීම, ජාත්‍යන්තර විශ්වාසය හා ගෞරවය දිනාගත් රටක් බිහි කිරීම, ජාතීන් අතර සංහිදියාව ඇති කිරීම, ගොවිබිම් වගා බිම් බවට පත් කිරීම, එමගින් සාධාරණ මිලක් ගොවියාට ලබාදීම, අඛණ්ඩ විදුලි බල හා ජල සැපයුමක් ලබා දීම මගින් ජනතාව සුරක්ෂිත කිරීම, නීතියේ ආධිපතය හා ප්‍රජාතන්ත්‍රවාදී අධිකරණයක් ස්ථාපිත කිරීම, අගමැතිවරයා ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවේ ප්‍රමුඛ කාර්යය විය යුතුය. මෙම ආණ්ඩුවට ජනවරම ඇත්තේ එය ක්‍රියාත්මක කිරීමට මිස කිසිවක් නොකර රාජ්‍ය බලය පවත්වගෙන යාමට නොවේ. වඩා වැදගත්ම කාරණය ඒ පිළිබදව අගමැතිවරයාගේ අවබෝධය රටේ ජනතාවට සතුටු විය හැකි මට්ටමක තිබීමය.

Monday, February 13, 2017

අපි බොක්කෙන්, අපිට බෙලෙක්කෙන්



වර්ථමාන දේශපාලන තත්ත්වය කොළඹ සිට විග්‍රහකරන්නන් විවිධාකාරයේ කතා කියූවද, න්‍යායන් ඉදිරිපත් කළද, මහපොළවේ දේශපාලනය තුළ ඇත්තේ විශේෂිත තත්ත්වයකි. කෙනෙකු ප්‍රජාව අතරට ගොස්, ඔවුන්ගෙන් ආණ්ඩුව පිළිබද ජන මතය විමසුවහොත් අපට මූලික වශයෙන් කණ්ඩායම් කිහිපයක් හදුනාගත හැකිය.

ඉන් එක් කණ්ඩායමක් නම් දැනටමත් මේ ආණ්ඩුව යටතේ සේවය කරන, මෙම ආණ්ඩුවෙන් වැටුප් හා ව්‍රරප්‍රසාද ලබන, මෙම ආණ්ඩුවේ හැඩය, වැඩපිළිවෙල තීරණය කරනු ලබන ඉහල හා මධ්‍යම පාන්තික රජයේ සේවකයින් පිරිසයි. ඔවුන් කියනුයේ පසුගිය ආණ්ඩුව මොනව වුනත් වැඩකළ ආණ්ඩුවක් බවයි. මේ ආණ්ඩුව මෙලෝ රහක් නැති ආණ්ඩුවක් වන අතර මහින්ද පන්නයේ ආණ්ඩුවක් බවට මෙය පත්විය යුතු බවයි. ඔබ ආණ්ඩුවේ කන්තෝරුවකට ගියවිට ආණ්ඩුවේ මෙම කුසීත කඩාකප්පල්කාරී නිලධාරී පැලැන්තිය සෑම තැනකදීම හමුවිය හැක. ආණ්ඩුවේ මුහුණත වන්නේ ඔවුන්ය. ආණ්ඩුව කුසීත වන්නේ ඔවුන් නිසාය.

දෙවන කණ්ඩායම වන්නේ මේ රටේ සිවිල් බුද්ධිමතුන්ය. විශ්ව විද්‍යාල ආචාර්යවරු, මහාචාර්යවරු, රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්, කොළඹ කේන්ද්‍රීය අනේකවිධ ගැටළු සම්බන්ධ ක්‍රියාකරන බුද්ධිමතුන්, පර්යේෂකයින්, ලේඛකයින් වැනි කණ්ඩායම්ය. මොවුන් මෙම ආණ්ඩුව බලයට පත්කිරීමට තීරණාත්මක කාර්ය භාරයක් කළ කණ්ඩායමකි. එම කණ්ඩායම ජනවාරි 09 වනදා සිටම මෙම ආණ්ඩුවට විරුද්ධය. එහි වැඩපිළිවෙල මහින්දගේ වැඩපිළිවෙල බවම කියයි. හොරු අල්ලන ලෙස ආණ්ඩුවට බලපෑම් කරයි. විටෙක මාරාන්තික තර්ජනද එල්ල කරයි. ඔවුන් හොදින්ම දන්නා පරිදි මේ ආණ්ඩුව දස වසරක් වැරදි ක්‍රමවේදයන් මත පදනම්ව රාජ්‍ය පාලනයේ යෙදුණු නිලධාරීන්, ආයතන හා කැබිනට් මණ්ඩලයේ 50% ට වඩා වැඩි මහින්දවාදී ඇමතිවරුන්ගෙන් යුතු කණ්ඩායමකි. මෙම ආණ්ඩුව තුළ පොරොන්දු වූ යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට කැපවීමක් හා හැකියාවක් පෙන්වා ඇත්තේ අගමැතිවරයා හා එම පක්ෂයේ කණ්ඩායම පමණයි. සැබැවින්ම සිවිල් සංවිධාන, සිවිල් බුද්ධිමතුන් ඔවුන්ගේ පැවැත්ම තීරණය කරනුයේ මෙම ආණ්ඩුවට එරෙහිව මත ප්‍රකාශ කිරීමෙනි. එය ඉතාම සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර ලක්ෂණයකි.

තුන්වන කණ්ඩායම වන්නේ මේ ආණ්ඩුවට මාරාන්තිකව විරුද්ධ, ප්‍රාදේශීය මහින්ද වාදීන්ගේ කණ්ඩායම ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික කණ්ඩායමයි. ඔවුන් මෙම ආණ්ඩුවට මාරාන්තික විරෝධයක් එල්ල කරයි. එම විරෝධය එල්ල කරන අතරම ජනවාරි 08 වෙනිදා මෛත්‍රී පාලට ඡන්දය ලබාදුන් බවද (උපක්‍රමශීලීව) විටෙක කියයි. එසේම මෙම කණ්ඩායමට ලංකාවේ විද්‍යුත් මාධ්‍ය ආයතන තුනක් සම්පූර්ණයෙන්ම අයත් වේ. ඔවුන් විශාල වශයෙන් රාජපක්ෂවරුන්ගෙන් මුදල් ලබාගනිමින් එම ආයතන පවත්වාගෙන යයි. ඔවුන් විසින්ද විශාල වශයෙන් ආණ්ඩුවට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරයි.

හතරවන කණ්ඩායම වන්නේ මෙම ආණ්ඩුව පත්කළ මෙම ආණ්ඩුව තවදුරටත් පැවතිය යුතු යැයි විශ්වාස කරන, එමෙන්ම ආසාධාරණයට ලක්වූ එක්සත් ජාතික පාක්ෂිකයින්, පාවෙන ඡන්ද දායකයින්, තරුණ තරුණියන් හා සමාජ ජාලා තුළ දේශපාලනයේ යෙදෙන ක්‍රියාකාරීන්ය. අපට සමාජයේ සෑම තැනකදීම හමුවන මුණගැසෙන ආණ්ඩුව විවේචනය කරන්නන් වන්නේ මොවුන්ය. මොවුන්ගේ විරෝධය විටෙක රළු එකක් වන අතර ආණ්ඩුව අවධානයට ලක්කරගත යුතු එකකි. රටේ අතිමහත් බහුතරය ඉන්නේ මෙම කාණ්ඩයේය. එසේනම් යහපාලන ආණ්ඩුව මෙම කණ්ඩායමේ විවේචනයන්ට මුහුණ දිය යුතු අතර ඒවා මොනවාදැයි තදින් අවධාරණය කරගත යුතුය.

“අපි පක්ෂෙට බොක්කෙන්, පක්ෂෙ අපිට බෙලෙක්කෙන්” මේ දිනවල එක්සත් ජාතික පාක්ෂිකයින් අතර ජනප්‍රිය කතාවකි. ජනවාරි 08 වන දිනට පෙර මෙම කණ්ඩායම ඡන්දය දීමට අමතරව ක්‍රියාකාරීව ගම්මට්ටමේ සිට විවෘත්ත දේශපාලන කටයුතුවලට සම්බන්ධ වී, රාජපක්ෂවරුන්ගේ දැවැන්ත ම්‍රද්‍රිත, විද්‍යුත් හා සමාජ ජාලා ප්‍රචාරක යාන්ත්‍රණය පරදවමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට පත්කිරීමට කටයුතු කළ ගාමක බලවේගයයි. ඔවුන් ජනවාරි 08 න් පසු ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පිළිබද බොහෝ අපේක්ෂාවන් රදවාගෙන සිටි කණ්ඩායමයි. එනම් හොරු ඇල්ලීමේ සිට රට සංවර්ධනය කිරීම හරහා තමන්ගේ දරුවාට හෝ තමන්ට රැකියාවක් ලබාගැනීම තෙක් දහසකුත් බලාපොරොත්තු රදවා සිටි කණ්ඩායමයි. ඔවුන්ගේ බලාපොරොත්තු බිදවැටුණු පළමු දිනය වූයේ දින 100 ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන් දිනයයි.
තම දිවි පරදුවට තබා සටන් කළ ප්‍රාදේශීය මහින්දවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරයා මේ ආණ්ඩුවේ ඇමතිවරු වෙද්දී වික්ෂිප්තව බලා සිටියේය. එම ඇමතිවරු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට හා මහින්දවාදීන්ට තවදුරටත් රජයේ රැකියා ලබාදෙද්දී, ආණ්ඩුවේ තනතුරු වරප්ර‍සාද ලබාදෙද්දී ඔවුන් ඇසුවේ එක දෙයකි. “අපි රෙද්දක් ඇදන් පාරෙ යන්නේ කොහොමද?”. අද යහපාලනවාදී පාක්ෂිකයින් තුළ ඊටත් වඩා දරුණු ලෙස කලකිරීමක් වර්ධනය වී ඇත. එම කරුණ ම පදනම් කරගෙන අපට මගතොටේදී බරපතල ආණ්ඩු විවේචනයන්ට සවන්දිය හැක.

ඕනෑම ආණ්ඩුවකට ආණ්ඩුවේ ප්‍රථම වසර ගෙවී ගිය විට දරුණු දේශපාලන විවේචනයන් පැමිණීම සාමාන්‍ය තත්ත්වයක් වුවද ආණ්ඩුවක යුතුකම වන්නේ එම තත්ත්වයන් කලමණාකරණය කර ගැනීමයි. ඒ සදහා මේ ආණ්ඩුවට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විශාල පක්ෂ යාන්ත්‍රණයක් තිබේ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක මන්ත්‍රීවරු සංඛ්‍යාවක් සිටී. සියලුම මාධ්‍ය ආයතන වලට බලපෑම් කළ හැකි මට්ටමක සිටී. තවදුරටත් සමාජ ජාලා හා වෙබ් අඩවි තුළ, පැවති රජය කෙරෙහි විශාල විරෝධයක් පවතී. එසේනම් හැකි ඉක්මනින් මෙම තත්ත්වය කලමනාකරණය කරගත යුතුය. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මෛත්‍රී පිල විනාශයේ දොරකඩ ආසන්නයට පැමිණ ඇති අතර, මහින්ද පිල පරණ හොරුන් සමග ඉදිරි ගමන් අරඹා ඇත. ජනතාව තවමත් අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය කෙරෙහි බලාපොරොත්තු රදවාගෙන සිටී. එබැවින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව සිදුකළ යුතු ප්‍රමුඛ හා පළමු කාර්ය නම් හැකි ඉක්මනින් මෙම තත්ත්වය කලමනාකරණය කර ගැනීමයි.

පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම, පක්ෂයේ කේඩරය නැවත පුහුණු කිරිම, පක්ෂ දේශපාලනික ක්‍රියාකාරීත්වය ඉහල මට්ටමක තබාගැනීම, පක්ෂයේ ප්‍රාදේශීය මට්ටමේ නායකයින් ප්‍රාදේශීය පරිපාලනයට හා සංවර්ධන වැඩසටහන් වලට සම්බන්ධකර ගැනීම, රැකියා දස ලක්ෂය බිහිකිරීමේ වැඩසටහන වේගවත් කිරීම හා ආර්ථික සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැකිතාක් වේගවත්ව සිදුකිරීම හා ඒ පිළිබද පාක්ෂිකයන් දැනුවත් කිරීම සිදුකළ යුතුය.

හැකිතාක් ඉක්මනින් පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ පවත්වා ජයග්‍රහණයකොට පාක්ෂිකයින් අතර විශ්වාසය ජනිත කළ යුතුය. එසේම ඉදිරි මැතිවරණ වලදී යහපාලන ආණ්ඩුවේ පාක්ෂිකයින් ඡන්දපොලට ගෙන්වා ගැනීම ප්‍රමඛ හා අත්‍යවශ්‍ය කාර්යක් බවට පත්වී තිබෙන අතර ඒ සදහා විධිමත් වැඩපිළිවෙලක් දැන් සිටම ආරම්භකළ යුතුය.

Monday, February 6, 2017

නිදහස් අධ්‍යාපනය රටේ ප්‍රශ්න වලට විසදුම් සෙව්වාද ?



පසුගිය සතියේ ලංකාවේ දේශපාලනය ගිනියම් කළ සිදුවීම වන්නේ, සයිටම් ආයතනය පිළිබද දුන් අභියාචනාධිකරණයේ නඩු තීන්දුවයි. එම නඩු තීන්දුව අනුව එම ආයතනයේ අධ්යායපනය ලැබූ සිසුන්ට ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගැනීමට අවසර ලබා දෙන ලදි.

2015 ජනවාරි 08 වන දින ජනාධිපතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන පෙරමුණ සයිටම් විශ්ව විද්‍යාලය ස්ථාපිත ක්‍රියාවලිය, එහි තත්ත්වය හා මට්ටම පිළිබද බරපතල විවේචන එල්ල කරනු ලැබුවා. ප්‍රතිපත්තියක් ලෙස එක්සත් ජාතික පක්ෂය නිදහස් අධ්‍යාපන ක්‍රමය පවත්වාගෙන යාමට එකග වන අතරම පෞද්ගලික විශ්ව විද්‍යාල පවත්වාගෙන යාමටද පක්ෂය. C.W.W. කන්නන්ගර නිදහස් අධ්‍යාපනය ලබා දීමේදී එවකට තිබූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කල්පනා කරනු ලැබුවේ නිදහස් අධ්‍යාපනය මගින් බිහිවන දරුවන් අනාගතයේ මේ රට මුහුණ දෙමින් තිබෙන ගැටළු වලට විසදුම් සොයාවි යන්නයි. එය අදටත් එක්සත් ජාතික පක්ෂයේ නිදහස් අධ්‍යාපනය පිළිබද අධිපතිවාදී මතයයි. එනම් නිදහස් අධ්‍යාපනය පවත්වාගෙන යාම තුළින්, එමගින් බිහිවන දරුවන් මේ රටේ අනාගත ප්‍රශ්න වලට විසදුම් සොයාවි යන්නයි.

නමුත් අපි 69 වන නිදහස සමරන මේ මොහොතේ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවු දරුවන් මේ රටේ ප්‍රශ්න වලට විසදුම් සෙව්වාද? යන්න ගැටළුවකි. අධ්‍යාපනය හා සෞඛ්‍ය , ජලය මෙන් සුලභ විය යුතු අතර එය නොමිලේ රජයෙන්ද ලබා ගත හැකි අතර මුදල් ගෙවා හෝ ලබා ගැනීමට හැකියාව තිබිය යුතුයි. නමුත් අද නිදහස් අධ්‍යාපනය නිසා උසස් අධ්‍යාපනය සදහා වරම් ලබන සිසුන් විසින් පවත්වාගෙන යනු ලබන අධිපතිවාදී බලපෑම පෞද්ගලික අංශයේ උසස් අධ්‍යාපනය ලබන සිසුන් සදහා මාරාන්තික ප්‍රහාරයක් වී තිබේ.

හෝඩියේ පන්තියට ඇතුළත් වන සිසුන්ගෙන් 10% ටත් වඩා අඩු සංඛ්‍යාවක් පමණ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට හැකියාව ඇතත්, ඉතිරි 80% කට වඩා වැඩි පිරිසක් අ.පො.ස. උසස් පෙළින් පසු තරගකාරී විභාග වලින් පරාජයට පත් වී එළියට විසි වේ. එසේනම් මේ රටේ සියලු ප්‍රශ්න වලට විසදුම් සෙවීමට මූලිකත්වය ගත යුත්තේ මේ රටේ ජනතාවගේ මුදල් වියදම් කරමින් උසස් අධ්‍යාපන වරප්‍රසාදය ලබන එම වරප්‍රසාධිත 10% කට ආසන්න ශිෂ්‍ය කණ්ඩායමයි. සැබවින්ම විශ්ව විද්යාරල අධ්‍යාපනය නොලබන ඉතිරි ශිෂ්‍ය කණ්ඩායමට රැකියා උත්පාදනය වැනි කටයුතුවලට ඔවුන්ගේ මැදිහත්වීම තිබිය යුතුයි. නිදහස් අධ්‍යාපනය පවතින සියලුම රටවල තත්ත්වය එයයි.

නමුත් ලංකාවේ විශ්ව විද්‍යාල වලින් එළියට එන ශිෂ්‍යයින් රජය විසින් ඔවුන්ට රැකියා හා අනෙකුත් වරප්‍රසාද ලබා දිය යුතු බවට ආණ්ඩුවට තර්ජනය කරයි. එපමණකින් නොනැවති අනෙකුත් දරුවන්ගේ අධ්‍යාපන අයිතියට එරෙහි වෙමින් රට ගිනි ජාලාවක් බවට පත් කරයි. මාගේ පෞද්ගලික අදහසනම් නිදහස් උසස් අධ්‍යාපන අයිතිය නොලැබු සිසුන් විසින් රජයෙන් තව දුරටත් රැකියා ඉල්ලන වරප්‍රසාධිත සිසුන්ට දැඩි විරෝධයක් එල්ල කළ යුතුය.
එක්සත් ජාතික පක්ෂයත් C.W.W. කන්නන්ගරත් අපේක්ෂා කළ පරිදි නිදහස් අධ්‍යාපන‍යෙන් බිහිවන දරුවන් මේ රටේ ගැටලු වලට විසදුම් සොයනවා වෙනුවට ඔවුන් ගැටලුවක් බවට පත් වී ඇත්නම් ආණ්ඩුව විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කළ යුතුය. මාගේ පෞද්ගලික අදහසනම් නිදහස් අධ්‍යාපනය පවත්වාගෙන යන අතරම ඊට සමගාමීව පෞද්ගලික අධ්‍යාපනය දැඩි රාජ්‍ය නියාමනයක් සහිතව පවත්වාගෙන යා යුතුය.

නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, කැනඩාව, මැලේසියාව, ඇමෙරිකාව, නේපාලය, බංගලාදේශය වැනි රටවල්වල අධ්‍යාපනය අලෙවි කිරීම එම රටවලට ඩොලර් බිලියන ගණන් ලබාදෙන ප්‍රධාන පෙළේ ව්‍යාපාරයි. ලංකාව තුළත් විධිමත් පෞද්ගලික විශ්ව විද්‍යාල හා පාසල් ආරම්භකොට ක්‍රියාත්මක කරන්නේ නම්, අපට රටෙන් එළියට යන විශාල ධනයක් ඉතුරු කරගත හැකි සේම මාලදිවයින හා දකුණු ඉන්දියාව, චීනය හා අනෙකුත් බෞද්ධ පදනමක් ඇති රටවල ජාත්‍යන්තර සිසුන්ට අධ්‍යාපනය ලබා දී විශාල මුදලක් උපයා ගත හැකිය.

එබැවින් උසස් අධ්‍යාපනය ඉන්දියානු සාගර කලාපයට අලෙවි කිරීමට හැකිනම් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල බලපෑමක් කළ හැකි අතර ඒ මත පදනම්ව විශාල විදේශ ආයෝජන ප්‍රමාණයක් රටට ගෙන්වා ගත හැකිය. එසේම ඒ මත පදනම්ව වෘත්තීය මට්ටමේ රැකියාවන් ලක්ෂ ගණනක් බිහිකළ හැකිය. දෙමාපියන්ට තම උසස් අධ්‍යාපනය ලබන දරුවන් තවදුරටත් විදෙස් රටවලට නොයවා තම සෙවනේම තබාගත හැකිය. බටහිර රටවල පෙට්‍රල් ෂෙඩ් වල වැඩකරන තුන්වන පංතියේ රැකියාවල යෙදෙමින් දුකසේ ශිල්ප කරන ශ්‍රී ලාංකික දරුවන් තවදුරටත් නොපවතිනු ඇත. එබැවින් සියලුම විෂයන් ශ්‍රී ලංකාවේදී මුදල් ගෙවා අධ්‍යාපනය ලැබිය හැකි, එම ලබා ගන්නා අධ්‍යාපනය පිළිගන්න ක්‍රමවේදයක් හැකිතාක් වේගයෙන් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කළ යුතුය. ඒ සදහා ප්‍රමාණවත් ජනතා සහයෝගයක් ඇති බව මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි නීරීක්ෂණය කිරීමෙන් අවබෝධ කරගත හැකි වේ.

එසේම සයිටම් විරෝධයේ මා නිරීක්ෂනය කරනු ලැබු කණ්ඩායම් දෙකක් තිබේ. එක් කණ්ඩායමක් සයිටම් ආයතනයෙන් අධ්‍යාපන ප්‍රමිතිය ප්‍රශ්න කරන හා එය නියාමනය කොට පවත්වාගෙන යා යුතු බවට බලපෑම් කරනු ලබන ලංකාවේ සිවිල් බුද්ධිමතුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමයි. මෙම කණ්ඩායමට නිර්මාල් රංජිත්, ප්රුදීප් කලංසූරිය, වෛද්‍ය සංකල්ප මාරසිංහ වැනි කොළඹ කේන්ද්‍රීය සිවිල් බුද්ධිමතුන් මෙන්ම, මධ්‍යම පාන්තික උගත් බුද්ධිමතුන් බොහෝ දෙනෙකු ඇතුළත් වේ. ඔවුන් සැකසංකා සහිතව රජයේ අභිමතය දෙස බලන අතරම සයිටම් ආයතනය හා රජය අතර සැක කටයුතු ඩීල් ඇතැයි සිතයි. එය ප්‍රශ්න කරයි. එසේම සයිටම් ආයතනයේ පාලන අධිකාරියේ අතීතයේදී පසුගිය රෙජීමය සමග තිබු සම්බන්ධය පිළිබද අවබෝධයක් ඇත්තෙකුට එවැනි සැකයක් තිබීම සාධාරණය. එබැවින් රජය විසින් සලකා බැලිය යුතු මට්ටමේ විරෝධයක් එම කණ්ඩායම විසින් එල්ල කරනු ලබයි. 
සයිටම් විරෝධී අනෙක් කණ්ඩායම වන්නේ, රජයේ වෛද්‍ය නිළධාරී සංගමයප්‍රමුඛ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, පෙරටුගාමී පක්ෂය හා සයිටම් සමග පසුගිය කාලයේ ගණුදෙනු කළ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමයි. මාගේ මතය නම් මෙම කණ්ඩායමේ ජනතා විරෝධී අගතිගාමී උද්ඝෝෂණ විසින් මෙම ගැටලුව විසදීමට කිසිදු සහයක් නොලැබෙන අතර මා ඉහතින් සදහන් කළ කණ්ඩායමේ අභිලාෂයන්ට බාධා කරන හා ඔවුනුත් පරාජය කරනු ලබන ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරයි. එම දෙවනි කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය තුළ සැගවුණු දේශපාලන න්‍යාය පත්‍රයක් ඇති අතර 2015 ජනවාරි 08 වෙනිදාට පෙර සයිටම් ආයතනය ලංකාවට හදුන්වාදීමට පියවර ගත්තේද ඔවුන්ය. මේ රටේ ජනතාව ප්‍රවේසම් විය යුත්තේ ඔවුන්ගෙනි.

අවසාන වශයෙන් කිව යුත්තේ මෙරට නිදහස් අධ්‍යාපනයෙන් හා පෞද්ගලික අධ්‍යාපනයෙන් බිහිවන සියලුම දරුවන් මේ රට අනාගතයේදී මුහුණදෙන ප්‍රශ්න වලට විසදුම් සෙවිය යුතු බවයි.