Sunday, October 15, 2017

කප්පමටයි පාර කියන්නේ



ශ්‍රී ලංකාවේ දේශපාලනය බලය නැවතත් උරගා බලන යුගයකට පිවිසෙමින් තිබේ. එනම් පළාත් පාලන මැතිවරණය ඉදිරි මාස කිහිපය ඇතුළත පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් වෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල්දැමීම විපක්ෂයේ මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අගයන බොහෝ දෙනාගේ විවේචනයට ලක්විය. පළාත් පාලන මැතිවරණය කල්දැමීමට හේතු වූ ප්‍රධානම කාරණය වූයේ පසුගිය ආණ්ඩුව විසින් සීමා නිර්ණය කොට තිබූ වැරදි ආකාරයයි. විශේෂයෙන්ම පසුගිය ආණ්ඩුව යෝජනා කරමින් තිබූ මෙම ක්‍රමයේ ද විශාල ගැටළු පැවති අතර 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙන්ම අවිද්‍යාත්මක හා අගතිගාමී ක්‍රමයකට සීමා නිර්ණය කොට තිබුණි. එය කෙතරම් විහිලු සහගත ලෙසද යත්, පිටකෝට්ටේ සිරිකොත කොට්ඨාශය බහු මන්ත්‍රී කොට්ඨාසයක් බවට පත් කොට තිබුණි. මෙම කොට්ඨාශයේ සියයට සියයක්ම වෙසෙනුයේ සිංහලයින්ය. නමුත් එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය පවතින එම කොට්ඨාශය ජය ගැනීමට අපහසු බැවින්, රාජපක්ෂවරුන්ට ජය ගැනීමට බහු මන්ත්‍රී කොට්ඨාසයක් බවට පත්කොට තිබුණි. රට පුරාම තත්ත්වය එසේම විය. මෙම තත්ත්වය නිසාම රට පුරා සිදුකර තිබූ සීමා නීර්ණය නැවත සමාලෝචනය කළේය. එහිදී සිදුකර තිබූ බරපතළ විකෘතීන් නිවැරදි කිරීමටත්, නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමටත්, අදාල අණ පනත් සම්මත කිරීමටත් කාලය ගත විය. දැන් පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට අදාල සියලු කටයුතු සිදුකර අවසන්ය.

එසේම පසුගිය සතියේ දේශපාලනයේ සිදුවූ ප්‍රමුඛතම සිදුවීම වන්නේ සිරස රූපවාහිනියට රටේ ජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධයයි. මෙම රූපවාහිනී චැනලයේ හැසිරීම කප්පම්කරුගේ තත්ත්වයට වෙනස් නොවන්නේය. මීට පෙර චයිනා හාබර් සමාගම සම්බන්ධයෙන් රට තුළ විශාල විරෝධයක් ගොඩනගන්නට උත්සාහකොට, එම සමාගමෙන් කප්පමක් ලබාගත් බවටද කසු කුසුවක් සමාජයේ තිබේ. එසේම එක්සත් ජාතික පක්ෂය තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කළයුතු යැයි සිතන බවක්ද පෙනෙන්නට තිබේ. 2001 - 2004 ආණ්ඩු සමයේදී මුදල් අමාත්‍යාංශය හා ආරක්ෂක අමාත්‍යාංශය තමන්ගේ හිතවත් මන්ත්‍රීවරුන්ට ලබාදෙන ලෙස බලපෑම් කළ බවටද විශාල මතයක් රට තුළ තිබේ.

එසේම එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව තමන්ට හිතවත් අයගෙන් පුරවන ලෙසද බලපෑම් කොට තිබේ. මෙම නිසාම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මෙම ආයතනය හා විශාල අර්බුදයක් ඇති කර ගෙන ඇති අතර, ඔවුන්ගේ ප්‍රවෘත්ති විකාශය තනිකරම රනිල්ට අවලාද නගන වැඩ සටහනක් බවට පත්කරගෙන තිබේ. එසේම එම වැඩසටහන තුළම එක් අතකින් රනිල්ට අවලාද නගන අතර අනිත් අතින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඔසවා තබයි. මෙම නිසාම එක්සත් ජාතික පාක්ෂිකයන් දැන් දැන් ජනාධිපතිවරයා සැක කිරීමටත්, ජනාධිපතිවරයා කෙරෙහි සතුරු ආකල්පයකින් කටයුතු කිරීමටත් පටන්ගෙන තිබේ. ඒ සඳහා ප්‍රධානතම හේතුව නම්, මෙම රූපවාහිනී චැනලය කටයුතු කරනු ලබන මෝඩ හා මුග්ධ ආකාරයයි.

මෙම චැනලයට ඇති ප්‍රධාන චෝදනා අතර රජය සතුව තිබූ අවසාන සංඛ්‍යාත ප්‍රමාණයත් සින්නක්කරව ලබාගැනීමත්, එමනිසා රජයට ඩිජිටලයිස් වැඩසටහනට විශාල අර්බූධයක් ඇතිවී තිබීමත්, රාජ්‍ය ආයතනවල අනුග්‍රාහක දැන්වීම් ජනාධිපතිවරයාගේ බලය භාවිතකොට බලහත්කාරයෙන් ලබා ගැනීමත්, අහිංසක ගායක ගායිකාවන් හා කලා කරුවන්ගේ ගීතවල අයිතිය රුපියල් සීයට දෙසීයට ලබාගෙන එම ගීත අනිත් චැනල්වල වාදනය⁣වද්දී ඒ වෙනුවෙන් ලක්ෂ ගණන් වල බිල්පත් එම ආයතනවලට යැවීමත් වේ.

මෙම ආයතනයේ කටයුතුවලදී රජයේ ආයතනයක මෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපතිවරයා හා එකඟ වූ පරිදි, ජනාධිපතිවරයා විසින්, ජනාධිපතිවරයා වෙනුවෙන්, ලෙස යෙදීමට අමතක නොකරන්නේය. මෙම ආයතනය බාහිර ආයතන සමඟ කටයුතු කිරීමේ දී ජනාධිපතිවරයා තමන්ගේ සාක්කුවේ බව පෙන්වීමට විශේෂ උනන්දුවක් දක්වයි. එය අඩු වැඩි වශයෙන් සත්‍ය වේ. මන්දයත්, ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය සම්පූර්ණයෙන්ම මෙහෙයවනු ලබන්නේ මෙම රූපවාහිනී ආයතනයේ ගොබිලන් විසිනි. මෙම රූපවාහිනී ආයතනයේ හැසිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් සිටිනා මෙම යහපාලන ආණ්ඩුවේ සෞඛ්‍යයට විශාල බලපෑමක් සිදුකරනු ලබයි. කොටින්ම මෙම ආණ්ඩුව දෙකඩ වන තරමට මෝඩ, මුග්ධ ආකාරයට මෙම රූපවාහිනී ආයතනය හැසිරෙයි. ඒසේම ආණ්ඩුවේ ඇති අධිවේගී මාර්ග ගොඩනැගීමේ සිට රාජ්‍ය උත්සව සංවිධානය දක්වා සියළුම කොන්ත්‍රාත් මෙම ආයතනයට හෝ මෙම ආයතනය හරහා ලැබිය යුතුයැයි, මෙම ආයතනය සිතයි. එය විකාර අදහසකි. එසේ නොවන තත්ත්වයන් තුලදී ඔවුන් මාධ්‍ය තුලින් කර්කෂව විවේචන ඉදිරිපත්කොට, චරිත ඝාතනයකොට, මුළු කෝන්ත්‍රාත්තුවම හෝ කප්පම් මුදලක් ලබාගැනීමට උත්සාහ කරයි. මෙය වචනයේ පර්සමාප්ත අර්ථයෙන්ම ගොඩනැගීමට හදන මාෆියාවකි. නමුත් එය සාර්ථක නොවේ. උදාහරණ අවශ්‍යනම් 2015 ජනවාරි 08 වනදාට පෙර සාම්ප්‍රධායික මාධ්‍ය හැසිරුණු අකාරය අධ්‍යයනය කරන්න.

මෙම මාධ්‍ය ආයතන හැසිරීම ශ්‍රී ලංකාවේ අනාගතය මෙන්ම වර්තමාන ආණ්ඩුවේ පැවැත්මටද විශාල බලපෑමක් සිදු කරනු ලබයි. තනි ජන මාධ්‍ය ආයතනයකට රටක පැවැත්ම තීරණය කළ හැකි යැයි සිතීමම මානසික රෝගී තත්ත්වයකි. මෙය විශාල මිනිසුන් ගොඩනැගූ යහපාලන ආණ්ඩුව කුඩා මිනිසුන්ගේ පැවැත්ම තීරණය කරන සාධකයක් බවට පත්වීමේ ප්‍රතිඵලයක්ය. මෙම රූපවාහිනි ආයතනයේ මෝඩ අත්තනෝමතික ක්‍රියාකලාපය හැකි ඉක්මනින් තේරුම්ගෙන එයට උල්පන්දම් දෙන දේශපාලන නායකයින් එයින් ඉවත් නොවුනහොත් මෙම ආයතනය සමග එම නායකයින්ද කුණු කූඩයට වැටෙනු ඇත. මේ තනි මිනිසුන් ජනමතය හසුරවන යුගයයි. බැසිල් සිරස අර්බූධය තුළින් නැවතත් සනාථ වූයේ ලංකාවේ අධිපති මාධ්‍ය සමාජ මාධ්‍ය බවයි.

සාම්ප්‍රධායික මාධ්‍ය තුලින් රටේ තරුණ තරුණියන් වේගයෙන් ඉවත්වෙමින් තිබියදී මෙම රූපවාහිනී ආයතනයේ ක්‍රියාකලාපය ලෝකයේ කිසිදු මාධ්‍ය ආචාරධර්මයකට නොගැලපෙනවා සේම එය තවදුරටත් තරුණ තරුණියන් හා විද්වතුන් සාම්ප්‍රධායික මාධ්‍යයෙන් ඉවත්වී සමාජ මාධ්‍ය හා විකල්ප වෙත යොමුවීමට හේතුවනු ඇත. එසේම 2020 දී පැමිණීමට නියමිත ජාතික මැතිවරණයේදී තීරණාත්මක කාර්යභාර්ය ඉටුකරනු ලබන්නේ තනි පුද්ගල සමාජ මාධ්‍ය මිස මුදලාලිකරණය වූ කප්පම්කාර, මෙවැනි රූපවාහිනී ආයතන නොවේ.

No comments:

Post a Comment