Monday, June 26, 2017

දොස්තර සංගමය රට ගැන හිතනවාද ?



රටේ තුනෙන් දෙකේ බලයක් සහිත ස්ථාවර ආණ්ඩුවක් තිබුණද දේශපාලන පෙළගැස්මෙහි ඇති යම් ව්‍යාකූලතාවයන් නිසා ආණ්ඩුව තුළත් ඉන් පිටතත් එක්තරා ආකාරයක අවිනිෂ්චිත බවක් පවතී. එසේ තිබුණද මේ රටේ සියලුම දෙනාත් විශේෂයෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ දේශපාලන කටයුතු වල යෙදෙන මැතිඇමතිවරු හා කාඩර්වරුනුත් විශ්වාස කරනුයේ මෙම යහපාලන ආණ්ඩුව 2020 ජනාධිපතිවරණය තෙක් නිරුපද්‍රිතව පවතින බවයි.

සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඉදිරිපත් කරනු ලබන වැඩපිළිවෙල හා විසදුම නිශ්චිතව පැහැදිලි නැතත් ඔවුන් විසින් ආණ්ඩුව හා රටේ ජනතාව වෙත එල්ල කරනු ලබන පීඩනය රටේ ජනතාවගේ දෛනික කටයුතු වලට සැලකිය යුතු බාධාවක් එල්ල කොට තිබේ.
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල වල අධ්‍යන ක්‍රියාවලියන්ගේ පසුබෑමක් දැකිය හැකිය. එදා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ අරගල වලදී ඔවුන්ට පහසුකම් සැපයූ න්‍යායාත්මක හා භෞතික සම්පත් සැපයු ජනතා විමුක්ති පෙරමුණ අන්තරයේ සයිටම් විරෝධය පදනම් කරගත් උද්ඝෝෂණ හා කඩාකප්පල්කාරී වැඩ සදහා අනුග්‍රහය හා සම්පත් සැපයුවේය. එසේම පෙරටුගාමී පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාවලියට කොන්දේසි විරහිත සහයෝගයක් දක්වන බව පෙනෙන්න තිබේ.

එසේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සයිටම් විරෝධී ස්ථාවරය වෙනුවෙන් ඕනෑම මිලක් ගෙවීමට සූදානම් බව රට ඩෙංගු ව්‍යසනයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් කැදවා දින දෙකක් පවත්වාගෙන යාමෙන් පෙන්නුම් කළේය. මෙම තත්ත්වය යටතේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් වඩාත් බැරැරුම් ලෙස කල්පනා කරන්නට ආණ්ඩුව තීරණය කර තිබේ.

එසේ වුවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අවිචාරශීලී හා තක්කඩි ක්‍රියාකලාපයත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මරිමෝඩ ක්‍රියාකලාපයත් තවදුරටත් ඉවසීමේ හෝ නම්‍යශීලී වීමේ ස්ථාවරයක් ආණ්ඩුවට නොමැති බව පසුගිය දින කිහිපයේ ආණ්ඩුවේ වැඩකටයුතු සිදු වූ ආකාරය විමසීමේදී පෙනී යයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය දශක ගණනාව තුළ ලංකාවේ සිදු වූ අනෙකුත් කිසිදු දේශපාලන අරගලයකට, වෘත්තීය අරගලයකට හෝ වෙනත් ප්‍රගතීශීලී හෝ ජනතාවට ආධාර උපකාරවන වැඩසටහනකට සහයෝගය නොදැක්වූයේය. හැමවිටම එම සංගමය කටයුතු කරන ලද්දේ ලංකාවේ සියලුම වෘත්තීන් ආයතන හා දේශපාලන තත්ත්වයන් නොසලකා හැර වෛද්‍ය වෘත්තිය යනු බුදුවීම තරම් සුවිශේෂ රස්සාවක් යන ආකල්පයෙනි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ රටේ නිදහස් අධ්‍යාපනයට කර ඇති හානිය සුළු පටු නොවේ. ඔවුන්ගේ අත්තනෝමතික තක්කඩි ප්‍රතිපත්තිය නිසා සම සෞඛ්‍ය ශිෂ්‍යයින්ට සායනික පුහුණුව නොලැබෙන අතර වසර හතරක ජාත්‍යන්තරය පිළිගත් උපාධියක් ලබා ගැනීමට ඇති අවස්ථාව අහිමි කොට තිබේ.

එසේම රටේ හෙදියන්ට පිළිගත් උපාධියක් ලබා ගැනීමේ අයිතියද අහිමි කොට ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විරෝධයයි. එමෙන්ම ආයුර්වේද වෛද්‍යවරුන්ට බටහිර වෛද්‍ය විද්‍යාවේ සායනික පුහුණුව හා දැනුම ලැබීමේ අවස්ථාව අහිමි කොට තිබේ. එසේම ඇටෙන්ඩන්වරු සපත්තු දැමීමේ සිට යෝජිත හින්දු ලංකා ආර්ථික ගිවිසුම දක්වා රටේ පවතින මෙකී නොකී සියලුම තත්ත්වයන් සිදුවිය යුත්තේ වෛද්‍ය සංගමයේ අනුමැතියෙන් බව සිතන තරමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උද්දච්ඡ වී තිබේ. ඔවුන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා ආණ්ඩුව කෙසේ වෙතත් මෙරට ජනතාව මහත් පීඩනයකට ලක්වී තිබේ. ජනතාව අතරද වෛද්‍යවරු කෙරෙහි විශාල තරහක් හා වෛරයක් ගොඩනැගෙමින් පවතී. මේ අරුම පුදුම යුගයේ සිදුවන එක් වැදගත් දෙයක් නම් අපි දෙවියන් වැඩ සිටින දේවාල යැයි වැදුම් පිදුම් කළ බොහෝ ස්ථාන ගැරඩි ළගින ගස් බෙන බව හෙළිවෙමින් පැවතීමයි.

මෙම තත්ත්වය යටතේ ඉතාම මෑතකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දුටුවිට තමන්ගේ ඡන්ද කැඩෙති යැයි බයෙන් දේශපාලනඥයෝ හා දේශපාලන පක්ෂ පණ එපා කියා දුවන යුගයක් උදා වේ. එය අත ළගටම පැමිණ තිබේ.

සයිටම් විරෝධය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශකොට තිබේ. විශේෂයෙන් අගමැතිවරයා ඔහුගේ ස්ථාවරය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටත්, රටටත් ප්‍රකාශ කර ඇති අතර කිසිදු හේතුවක් මත සයිටම් විශ්ව විද්‍යාලයට අයත් රෝහල වසා නොදමන අතර එය රජයට පවරා ගනු ඇත. එසේම සයිටම් ආයතනයේ අධ්‍යාපනික තත්ත්වයේ උසස් බවක් හා ප්‍රමිතිය පවත්වාගෙන යාම පිළිබදව ආණ්ඩුව තදින් නියාමනය කරන අතර ඒ සදහා වෛද්‍ය සභාවේ සහයෝගය, දැනුම හා ක්‍රියාත්මක කිරීම අපේක්ෂා කර සිටී.

නමුත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අතකොලු පන්නයේ විරෝධතා ව්‍යාපාර මේ රටේ අධ්‍යාපනයටත් අනෙකුත් විශ්ව විද්‍යාල සිසුන්ටත් සිදුකරනු ලබන හානිය සම්බන්ධයෙන් ආණ්ඩුව බරපතල තීන්දු තීරණ වලට එළැඹෙන බව අගමැතිවරයාත්, මැතිඇමතිවරුනුත් පසුගිය සතියේ ප්‍රකාශ කර සිටියේය. එසේම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට විශාල හානියක් සිදුකරන අතරම එම සංවිධානයට සහයෝගය දක්වනු ලබන ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිලත් විශාල අමාරුවක දමන බව මාගේ හැගීමයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යහපාලන ආණ්ඩුවේ මාස හැටකින් අලුත් රටක් මැතිවරණ ප්‍රකාශනය තුළ ප්‍රධාන පොරොන්දුවයි. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට අගෝස්තු ජනවරමේ ප්‍රධාන කොන්දේසියක් වන්නේ පොරොන්දු වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමයි. එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහයෝගය ලබාදුන්නේ හා පෙනී සිටියේ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය හා එම පිළ වෙනුවෙනි. නමුත් එක්සත් ජාතික පෙරමුණ විසින් එම මැතිවරණයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත්, මහින්ද රාජපක්ෂත්, අන්තරයේ ක්‍රියාකාරීත්වයේ සැබෑ බලවේගවන පෙරටුගාමී පක්ෂයත් පරදවා මාස හැටකින් අලුත් රටත් වැඩසටහන සදහා ජනවරමක් ලබා ගත්තේය. ඒ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමටය. එහිදී එක්සත් ජාතික පෙරමුණට ජනවරම ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෝ වෙනත් පරාජය කරන ලද බලවේගයන්ගේ න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කිරීමට නොව ලැබූ ජනවරමට අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් සිදුකිරීමටය, මේ රටේ සෑම දෙනාගේම අධ්‍යාපන අයිතිය ආරක්ෂා කර දීමටය. අධ්‍යාපනය යනු ජලය මෙන් සුලභ විය යුතු සෑම දෙනාටම ලබා ගත හැකි, ළගා විය හැකි දෙයක් විනා දක්ෂයින්ට, පෝසතුන්ට, උගතුන්ට, අතපය නාහය තිබෙන අයට, සුදු අයට හා නාගරිකයන්ට පමණක් ඇති වරප්‍රසාදයක් නොව, මෙලොව ඉපදුණු සෑම දෙනාටම ඇති වරප්‍රසාදයකි. එයට අභියෝග කළ හැකි කිසිදු වෘත්තිකයෙක් හෝ සංවිධානයක් නැත.

Thursday, June 22, 2017

කුවේණියගේ ශාපයෙන් ගොඩඒමට දගලන ජාතිකවාදී පිරිමි


සිංහල ජාතිකවාදීන් හා ඒ මත යැපෙමින් බඩගෝස්තරය සාදාගන්නා ජාතිකවාදී සංවිධාන රටේ කුමක් හෝ කලබලයක් ඇති කිරීමට උත්සහ කරමින් සිටී. ලෝකයේ සියලුම පැරණි රාජ්‍යයන් තුළ ජාතිකවාදයට එක්තරා ආකාරයක ඉඩකඩක් විවරව පවතී. ශීලාචාර රාජ්‍යයන් විවිධ නීති හා සම්ප්‍රදායන් ගෙන ඒමෙන් ජාතිකවාදය මත බිහිවිය හැකි අන්ත මූලධර්මවාදී පීඩනයන් සමාජය මත පතිත වීම වළක්වා තිබේ. ලංකාවේ ව්‍යවස්ථාව තුළත් අනෙකුත් භාවිතාවන නීතීන් තුළත් ජාතිය, ආගම, කුලය හා අනෙකුත් වෙනස්කම් මත පදනම් වූ අසංතුලිතතාවය වර්ධනය වන ආකාරයට කටයුතු කිරීමට එරෙහි නීතී රීති තිබේ. එසේ තිබුණද අළුයට ගිණි පුපුර මෙන් ජාතිකවාදී බලවේග ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළත්, සමාජය තුළත් විටින් විට පැන නගී. මීට දශක ගණනාවකට පෙර ජාතිකවාදී ව්‍යාපාරයේ නායකයින් වූයේ ආචාර්යවරු, මහාචාර්යවරු, ප්‍රභූ පන්තියේ දේශපාලන නායකයින්, උගත් භික්ෂූන්වහන්සේලා, කතෝලික පූජකවරු හා මුස්ලිම් පූජකවරුන්ය. මන්ද එදා සිට අද දක්වාම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතීන් තුන තුළම ජාතිකවාදයට ඉඩකඩක් තිබුණි. එය දේශපාලනික හා ආර්ථික ජයග්‍රහණ උදෙසා මූලෝපායික න්‍යායක් ලෙස සැමදාම භාවිතා කෙරුණි. නමුත් අද ජාතිකවාදී ව්‍යාපාරයේ තත්ත්වය එදාට වඩා හාත්පසින්ම වෙනස් වේ. අද මාධ්‍ය වලින් අපි දකින රටේ ක්‍රියාකාරී ජාතිකවාදී ව්‍යාපාරයේ නායකයින් ( සියලුම වර්ගයේ) 80% කටත් වඩා ලුම්පන්වරුය. ඔවුන් අතාර්කිකය, කලහාකාරීය, මුදලට ගිජුය, ප්‍රසිද්ධියට මහත් ගිජුය. එසේම ජාතිකවාදී ව්‍යාපාරික ක්‍රියාකාරිකයෙකු සදහා තිබිය යුතු විනයක් ඔවුන් සතුව නැත. මෙවන් තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ ජාතික ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරනු ලබන තර්ක අතර එක් ප්‍රධාන තර්කයක් පිළිබද සාකච්ඡා කිරීමට කැමැත්තෙමි.

සිංහල ජාතිකවාදී දේශපාලන ව්‍යාපෘතියට ආකර්ෂණය වූ බොහෝ දේශපාලන ක්‍රියාකාරීන් හා එම මතයට සමපාත වන්නන් තුළ ඔවුන් ඉදිරිපත් කරනු ලබන තර්ක අතර ප්‍රධාන තර්කයක් වනුයේ සිංහල ජාතිකත්වය පිළිබද මහා වංශයේ සදහන් කරනු ලබන කතන්දරය අමු බොරුවක් බවයි. සිංහල ජාතිකවාදීන්ට මහා වංශය, නයාට අදු කොළ වාගේය.
මන්දයත් හින්දු ජනප්‍රවාදවල පැවත එන රාම රාවණා කතන්දරය සිංහල ජාතිකවාදීන් තුළ මහත් ආශ්වාදයක් ගෙන එයි. එනම් දඩු මොණරයෙන් ගමන් යන ඉන්දියාවට එරෙහිව සටන් කළ ප්‍රේමවෘත්තයක්ද සහිත රාවණා ප්‍රවාදය ජාතිකවාදීන් උත්කර්ෂයට පත්කරන්නක් වේ. කොටින්ම අද බයිසිකල් වින්කලයක්වත් ගොඩනගා ගත නොහැකි ජාතිකවාදියෙකුට රාවණාගේ දඩු මොණරය ගැන කීමෙන් පහසුවෙන් පොරක් විය හැක.

නමුත් මහා වංශය සිංහල ජාතිකත්වය ආරම්භය පිළිබද ඉදිරිපත් කරනු ලබන විජය, කුවේණි කතන්දරය මෙන්ම සිංහයෙකු හා රමණයෙන් බිහිවන විජය පෙළපත පිළිබද කතන්දරය ප්‍රතික්ෂේප කරන අතර, එය මහා වංශයේ ලියා තිබුණද ජාතිකවාදීන් ඉවෙන් මෙන් එහි ඇති අපකීර්තිය හදුනාගෙන තිබේ.

ඉන්දියාවෙන් පිටුවහල් කළ විජය ප්‍රමුඛ ඔහුගේ පිරිවර ශ්‍රී ලංකාවට ගොඩබසිනුයේ මල්වතු ගගට උතුරින් විල්පත්තු ඝණ වනාන්තරය මැද අදද දැකිය හැකි තම්බපණ්නිය නම් වූ ස්ථානයටයි. (එහිදී කුවේණිය යක්ෂ ගෝත්‍රිකයෙකු බව මහා වංශයේ කියයි.) කුවේණිය කපු කටිමින් සිටී. වසර 2500 කට පෙර ලංකාවේ මුල් ජනපදිකයින් කපු කටිමින් සිටියේ නම් ඔවුන් සංස්කෘතික ජාතියකි. එනම් ඔවුන් ඇදුම් ඇද නිරුවත වසාගෙන සිට තිබේ. එසේම ඔවුන් යක්ෂ ගෝත්‍රිකයින් ලෙස සිංහල මහා වංශ කතුවරයා කියනුයේ ඔවුන් මල්වතු ගගට උතුරින් ජීවත් වූ අය නිසා කිව හැකිය. එසේම විජය කුමාරයා පැමිණෙන විට ඔහු හා සන්නිවේදනය කිරීමට කුවේණිය සතුව ඉන්දියානු භාෂාවක් තිබී ඇත. එය විජය කුමාරයාත් භාවිතා කරන භාෂාවක් විය යුතුය. මාගේ තක්සේරුව නම් එය බොහෝ විට පාලි හෝ ද්‍රවිඩ හෝ සංස්කෘත යන භාෂා තුනෙන් එකක් විය හැකිය. එසේනම් ඉන්දියානු විජය ලංකාවට පැමිණීමට පෙර දකුණු ඉන්දියානු සංස්කෘතිය සහිත මිනිසුන් මෙහි වාසය කර තිබේ.

සිංහයාගෙන් පැවත එන යැයි කියන විජය හොදින් ඇද ඉන්දියානු භාෂාවක් කතා කරනු ලබන සංස්කෘතික ගැහැණියක් වූ කුවේණිය රවටාගෙන හෝ පැහැරගෙන ( මා විශ්වාස කිරීමට කැමැත්තේ රවටාගෙන යනුවෙනි ) මල්වතු ගගෙන් දකුණේ තැනිතලා ප්‍රදේශයට පලා ගියේය. එය අප අද විශ්වාස කරනු ලබන මහා වංශයේ ප්‍රකාශ කරනු ලබන සිංහල ජාතියේ ආරම්භයයි. එනම් සංස්කෘතික ගැහැණියක් වූ කුවේණිය උතුරු ඉන්දියානු පිටුවහලෙකු වූ විජය විසින් පැහැරගෙන විත් ආරම්භකරනු ලබන නව රාජ්‍යයයි. එය ආරම්භකරනු ලැබුවේ මල්වතු ගගෙන් දකුණේ අද අපි අනුරාධපුරය යැයි කියනු ලබන ප්‍රදේශයේය.

නමුත් ජාතියේ අපකීර්තිය ඇත්තේ යක්ෂ ගෝත්‍රිකයින් ( රෙදි අදින ) විසින් මරා දැමීමට නියමිතව සිටි විජයට ජීවිතය දුන්, තම ප්‍රේමය පුද කළ කුවේණිය පාවා දී නැවත එලවා දැමු මහා පිරිමියෙක් යැයි සිංහල ජාතිකත්වය ඇතිවීම පිළිබද කතන්දරය පිළිගැනීමට ජාතිකවාදීන්ගේ ඇති මැලි බවයි. එම නිසාම ලිඛිතව ලියා ඇති මහා වංශයට වඩා ප්‍රවාදයක් වූ රාවණා කතාව විශ්වාස කිරීමට ජාතිකවාදී නායකයින් හා එම ජනතාව අතර දැඩි ගිජුකමක් ඇත. එනම් තමන්ට ප්‍රේමය හා ජීවිතය පුද කළ ගැහැණියක් පාවා දී අවසනාවන්ත ඉරණමකට ලක්කළ පිරිමියෙකුගෙන් තම වර්ගයා බෝ වූවා යැයි කීමට ඇති දැඩි භීතියයි, අපකීර්තියයි. අපට කුඩා කළ සිට උගන්වන පරිදි කුවේණිය තම ගෝත්‍රිකයින් අතින් මරුණුවට පත්වීමට පෙර තම දරු දෙදෙනා වූ ජීවන්ත හා දිසාලා ආරක්ෂා කර වනයට පලවා හැර ශාප කලා යැයි කියයි. එම ශාපය හා අපකීර්තිය ජාතිකවාදීන්ට නයාට අදු කොළ මෙනි. නමුත් මේ මහා පුරුශයෝ හැන්දෑවට ගෙදර ගිය විට බත් තම්බා දෙනු ලබන්නේ කු‍වේණියගේ පරපුරේ අද ජීවත්වන ගැහැණුන්ය. ඔවුන්ද එදා කු‍‍වේණි වින්දාක් මෙන් දහසකුත් දුක් දෝමනස්නයන් මේ මහා කළු සිංහලයින්ගෙන් විදී. සිංහල ජාතිකත්වය හා එම ජාතික ව්‍යාපාරය සමාජයෙත්, ගෙදරත් දකින, හමුවන, ඇසුරුකරන කුවේණිලා මගහැර යාමට ඔවුන්ට මහා වංශය වෙනුවට රාවණා ප්‍රලාපය උගන්වයි. එසේ නොවුනහොත් සිංහල ජාතිකවාදීන් ප්‍රථමයෙන් බැට කන්නේ ගෙදර සිටිනා කු‍වේණි පරපුරේ ගැහැණුන්ගෙන්ය. ( කුවේණිලාගෙන්ය )

ගලබොඩ අත්තේ ඥාණසාර ඇතුළු ජාතිය ගැන උඩ පැන පැන පරසක්වල ගසන බොහෝ ජාතිකවාදීන් අපේ කාලයේ කුවේණිලාගේ දරුවන් වූ ජීවන්තලාය, දිසාලාය. එය නොපිළිගන්නා ඔවුන් තමන්ගේ ආශාව රාවණා ෆැන්ටසිය තුළ දියකර රට ගිනි තැබීමට අර අදී. මේ රටේ බුද්ධිමත් ජනතාව තේරුම්ගත යුත්තේ ශීලාචාර රාජ්‍යයන් සියල්ලේම ශීලාචාර මිනිසුන් බාධක මැද්දේ වුවද බහු ජාතික, බහු වාර්ගික ආකල්ප පවත්වාගෙන යනුයේ සාමය මිල කළ නොහැකි නිසාය. සාමය හා ජීවිතයට වඩා කිසිවක් වටින්නේ නැත.

Sunday, June 11, 2017

රනිල් ලිස්සන ගහ මුදුනට ළගාවීම


ආණ්ඩුවේ පැවැත්ම පිළිබද ලිපි ගණනාවක් ලියා තිබුනද ? නැවත නැවතත් මේ ආණ්ඩුවේ ආයුෂ පිළිබද ප්‍රශ්නය මතුවීම, ගෙවෙන හැම දවසකම පාහේ පක්ෂ විපක්ෂ, මිතුරු හතුරු සියලුම දෙනාගෙන් සැකයක් ලෙස මතුවීම නිසාවෙන්ම නැවතත් ඒ පිළිබදව ලියන්නට සිදු වී තිබේ. මූලික වශයෙන් කිව යුත්තේ මේ ආණ්ඩුවේ ආයු කාලය 2020 වනතුරු පවතින අතර ඉන් පසුවද සාර්ථක ජනාධිපතිවරණ ජයකින් පසු තවත් වසර පහක් පහසුවෙන් පවතින බවයි. එම ආණ්ඩුව මෙම ආණ්ඩුවට වඩා එක්සත් ජාතික පක්ෂයේ සංයුතියක් සහිත ආණ්ඩුවක් වීමට බොහෝ ඉඩකඩක් තිබේ.

මහාචාර්ය නලින්ද සිල්වා විසින් ඔහුගේ මුහුණු පොතේ පළකර ඇති වීඩියෝවක කියනා පරිදි මේ ආණ්ඩුවේ ජනවරම ජනාධිපතිවරයා සතු වන්නේ නව ව්‍යවස්ථාවක් වෙනුවෙනි. 2015 ජනවාරි 8 වැනිදා ජනවරම තනිකරම පදනම් වන්නේ විධායක ජනාධිපති ධූරය දින 100 කින් අහෝසිකොට අලුත් ව්‍යවස්ථාවක් සම්මතකොට අ‍ප්‍රේල් 23 වැනිදාට පසු ජනතාවගෙන් අලුත් ජන වරමක් ඉල්ලීමටයි, සැබවින්ම ජනාධිපතිවරයා සතුව ඇති ජනවරම දින 100 කට පසු කල් පිරුණි. එම දින 100 තුළ ජනාධිපතිවරයාට විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම කෙසේ වෙතත් තම පක්ෂයේත් තමන්ගේත් දේශපාලන දැක්මෙන් පිට සිතන්නට තරම් අවකාශයක් එතුමන්ට උදා නොවූ අතර එක්සත් ජාතික පක්ෂය පරදවා ශ්‍රී ලංකා ආණ්ඩුවක් හැදීමේ සිහිනයේ ගිලී සිටි එතුමා ජනතාවගේ ජනවරමට කෝචොක් දමමින් සිටියේය. ඒ වෙනුවෙන් උල්පන්දම් දීමට ඕනෑ තරම් ශ්‍රී ලංකා කාරයින් එතුමා වටා සිටියේය .සතුරන්ගේ සහයෝගයද ඇතිව 19 වැනි සංශෝධනය කඩිමුඩියේ සිදුකරන ලද්දේම මහින්ද නැති ශ්‍රී ලංකා ආණ්ඩුවක් හැදීමට මිස වෙන කිසිවකට නොවේ. නමුත් අවසානයේ සියල්ලෝම එතුමා පාවා දුන් අතර එතුමා නැති ආණ්ඩුවක් මහින්ද යටතේ ගොඩනැගීමට ශ්‍රී ලංකා කාරයෝ සූදානම් විය. එය යථාර්තයක් වීමේ ආසන්නයටම පැමිණි අතර තනියම එතුමාත් එක්සත් ජාතික පක්ෂයත් සිදු කල අසීරු සටනකින් පසු එය රනිල් වික්‍රමසිංහට ජය ගැනීමට හැකි විය. සැබවින්ම 2015 අගෝස්තු වනවිට එවකට ජනවරම හිමි ජනාධිපතිතුමන් විසින් එක්සත් ජාතික පක්ෂය ඉතා අසීරු අඩියකට තල්ලු කර තිබු අතර ආසන 45 ක් පමණක් තිබු එක්සත් ජාතික පක්ෂයත් ඉතාම අසරණ තත්ත්වයකට පත්ව තිබුණි.

අදද මේ මොහොතේද ආණ්ඩුවේ රැකියා දිය හැකි, සියලුම පක්ෂයකට වාසි ලැබිය හැකි, දේශපාලන යාන්ත්‍රණයක් වෙනුවෙන් යොදාගත හැකි ආයතන අමාත්‍යංශ  සතුව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිතුමාගේ පිලේය. නමුත් අගෝස්තු 17 වන දින ජනාධිපතිතුමාගේ ජනවරම වෙනුවට එක්සත් ජාතික පක්ෂයට අලුත් ජනවරමක් ලැබුණි. ඒ මාස 60 කින් අලුත් රටක් වැඩපිළි‍වලටය. එහි මූලික අවදානය ඇත්තේ ආර්ථික කරණා හා දේශපාලන මෙන්ම  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙරෙහිය. මේ මොහොතේ අගමැතිවරයා කටයුතු කරමින් සිටිනුයේ එම ජනවරමට අනුවය. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට ජනවරමක් නැති අතර ඒ වෙනුවෙන් ජනවරම සතු වන්නේ ජනාධිපතිතුමන්ටය. ඒ වෙනුවෙන් දැන් වුවද අවංක උත්සහයක් දැරිය හැකි වේ. එසේ නොවුනහොත් එක්සත් ජාතික පක්ෂයට නැවත ජනාධිපතිවරණයකට යාමට සිදුවන අතර ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෙනුවෙන්ද එදාට ජනවරමක් ඉල්ලීමට සිදුවනු ඇත. චන්ද්‍රිකා, මහින්ද මෙන්ම වර්තමාන ජනධිපතිතුමාද ව්‍යවස්ථාව වෙනුවෙන් ලැබූ ජනවරමට පයින් ගසා තිබේ. එක්සත් ජාතික පක්ෂය හැදු ව්‍යවස්ථාව ඉවත් කිරීමට මේ රටේ ජනතාව ශ්‍රී ලංකා කාරයින් වන ජනාධිපතිවරු තිදෙනෙකුට වසර 23 ක් තිස්සේ බලය ලබා දී තිබුනද ඔවුන් එය පැහැර හැර තිබේ. එසේ නම් 2020 දී එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙක් යටතේ ඉන් ගැලවීමට මේ රටේ ජනතාවට  සිදුවනු ඇත.

එසේනම් මේ මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ ජනාධිපතිතුමාට රටට බලපෑම් කළ හැකි මට්ටමේ ජනවරමක් හෝ බලයක් රට තුල නොමැත. මන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ ජනතාව විසින් පරාජයට පත් කරන ලද අතර මහින්ද රාජපක්ෂ කණ්ඩායම නියෝජනය කරනුයේ එම පරාජිත ශ්‍රී ලංකා කාරයෝය. අනෙක් ශ්‍රී ලංකා කාරයෝ ජනාධිපතිතුමා ලග රස්සාවට පැමිණි දේශපාලකයෝය. ඔවුන්ට අද අත් වී ඇති ඉරණම දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටිනා ශ්‍රී ලංකා කාරයින්ගේ ඉරණමය. එකම දේ ඔවුන්ට වැඩිපුර වසර පහක් ආණ්ඩුවක වරප්‍රසාද බුක්ති විදින්නට ලැබීමය. එයත් ලොවෙත් නැති නින්දා අපහාස  තමුන්ගේ පාක්ෂිකයින්ගෙන් විදිමින්ය. ඔවුන් ලග රැදී සිටිනා බොහෝ දෙනා ලොවෙත් නැති කපටි ශ්‍රී ලංකා කාරයින්ය. ඔවුන්ගෙන් ලණු මිස ලුණු නම් කිසිම දිනක මැති ඇමතිවරුන්ට ලබාගත නොහැකි වනු ඇත. එබැවින් මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම කෙසේවත් කල නොහැකි අතර, කලද තම පක්ෂයේවත් සියලුම පාර්ලිමේන්තු සාමාජිකයන්ගේවත් සහයෝගය ලබා ගැනීමට නොහැකි වනු ඇත.

මෙම තත්ත්වය තුළ 2020 දී අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයකට යාමට රටට සිදුවන අතර, එහිදී එක්සත් ජාතික පක්ෂයෙන් වත්මන් අගමැතිවරයා ඉදිරිපත් වනු ඇත. ද්‍රවිඩ ජන කොටස් දෙවර්ගයේම හා මුස්ලිම් ජනතාවගේ විශ්වාසය දිනාගත් නායකයා වනුයේ වත්මන් අගමැතිතුමාය. එය දශක ගණනක සිට ඔහු උපයාගත් දේශපාලනයයි. එසේම සිංහල කතෝලික ජනතාව මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂය හා අත්වැල් බැද ගෙන තිබේ. එසේනම් සිංහල ඡන්ද වල 40% පමණ එක්සත් ජාතික පක්ෂයේ පාරම්පරික ඡන්දය. කවුරුන් කෙසේ කීවද පාවෙන ජන්ද ප්‍රතිශතය ලොව පුරා සියලුම සමාජ වල 30% කට වඩා අඩුය. මෙම තත්ත්වය යටතේ එක්සත් ජාතික පක්ෂයේ සාම්ප්‍රදායික බලකොටු පවත්වාගෙන යාමෙන් වුවද ජනාධිපතිවරණයක් ජය ගත හැකිය. නමුත් ඒ වෙනුවෙන්ද පක්ෂ අභ්‍යන්තරයේ විශාල වැඩ කොටසක් කලයුතු අතර, පාක්ෂිකයා ඡන්දපොළට ගෙන යාමට හැකි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කල යුතුය.

මේ මොහොතේ පසුගිය රජය විසින් සිදුකරනු ලැබූ අකටයුතුකම් වල නොයෙදීම ජනවරමට අනුව කටයුතු කිරීමද මේ ආණ්ඩුවේත්, එක්සත් ජාතික පක්ෂයේත් අනිවාර්ය කොන්දේසියකි.

Sunday, June 4, 2017

අගමැතිට අමානුෂික වීම නොහොත් බල්ලාගේ වැඩේ බූරුවා කරන්න යෑම


මේ ආපදා අවස්ථාවේ රජයේ කාර්යභාරය ප්‍රශ්න කරන අයගේ ප්‍රධාන චෝදනාවක් වන්නේ රජයට වඩා සිවිල් සංවිධාන, ස්වේච්චා සංවිධාන, සමාජ ජාලා වෙබ් අඩවිවල ක්‍රියාකාරීත්වයක් තිබූ බවයි. එය සම්පූර්ණයෙන්ම සත්‍ය ප්‍රකාශයක් නොවේ. අර්ධ සත්‍යයකි. මෙවැනි ව්‍යසනයකදී වගකිව යුතු ආණ්ඩුවක ප්‍රධානම කටයුත්ත වන්නේ ආපදා කළමණාකරන යාන්ත්‍රණයක් ගොඩනැගීමයි. මන්ද රාජ්‍යයට වඩා විශාල කිසිදු සංවිධානයක් ලංකාවේ නොමැති බැවිනි. රාජ්‍යයේ කාර්යභාරයට වඩා මාධ්‍ය ආයතන, සමාජ වෙබ් අඩවි, සිවිල් සංවිධාන හෝ පුද්ගලයින් ( ජනාධිපති, අගමැති ඇතුලුව ) විශාල යැයි සිතන්නේ නම් එය විකාර සහගත අදහසකි.

ආපදාවට ලක්වූ තැනට එන හමුදා සොල්දාදුවා, ග්‍රාම නිලධාරියා, රජයේ නිලධාරියා, පොලිස් නිලධාරියා, හෙලිකොප්ටරය, බෝට්ටුව, කෑම පාර්සලය, වතුර බෝතලය, ගිලන් රථය, වෛද්‍යවරයා මෙකි නොකී සියල්ල රජය වේ. රජය විසින් ගොඩනගන ලද යාන්ත්‍රණය වේ. ආපදාව ආරම්භ වූ මුල් දින දෙකේදී විධිමත් ආපදා කළමණාකරන යාන්ත්‍රණයක් ගොඩනැගු අතර රජය ආපදාව සිදුවූ සෑම තැනකම සිටී. ඒ දිවි බේරා ගැනීමක් ලෙස, සහන සේවයක් ලෙස, නීතිය හා සාමය රැකීමක් ලෙස, දේශපාලනඥයෙකු ලෙස, උපදේශන සේවාවක් ලෙස හෝ සෞඛ්‍ය සේවාවක් ලෙසය. අගමැතිවරයාත්, ජනාධිපතිවරයාත් පැහැදිලිවම මුල් දින දෙක තුළ සිවිල් සංවිධානවල, සමාජ වෙබ් අඩවිවල, මාධ්‍ය ආයතනවල සහයෝගය ඉල්ලා සිටියේය.

කෙසේ වුවත් මීට මාස ගණනාවකට පෙර අගමැතිවරයා විසින් යොදා ගත් වෛද්‍ය පරීක්ෂණයක් හා ඒ හා සබැදි ශල්‍යකර්මයක් සදහා සෞඛ්‍ය හේතු මත නිල නිවාඩු දමා විදේශ ගතවීමට යොදාගෙන තිබුණි. මෙම හදිසි ආපදා තත්ත්වය පැමිණියේ අගමැතිවරයාගේ එම සෞඛ්‍ය පරීක්ෂණයට පිටත්ව යාමට තිබියදීය. මෙම ආපදා තත්ත්වය හේතුවෙන් මැයි මස 25 වනදා සිට අඛණ්ඩව අධික වෙහෙසක් ගෙන ආපදා කළමණාකරන යාන්ත්‍රණය ගොඩ නැගීමට කාර්ය බහුලව කටයුතු කළේය. 27 වනදා මධ්‍යම රාත්‍රියේ ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට පෙර ජනාධිපතිවරයාත් අදාළ නිලධාරීනුත් ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, මාධ්‍ය ආයතන හිමිකරුවන් හා මාධ්‍යවේදීන් ගණනාවක් හමුවූ අගමැතිවරයා ඔහුගේ සෞඛ්‍ය හේතූන් මත විදේශගත වීම පිළිබද දැනුවත් කළ අතර පෞද්ගලික කාර්ය මණ්ඩලයටද මෙම අසීරු අවස්ථාවේ කටයුතු කළ යුතු ආකාරය පිළිබද උපදෙස්ද ලබා දුන්නේය. එසේම ඔහු විසින් පහත සදහන් තීරණාත්මක තීන්දු ගණනාවක්ද ගනු ලැබුවේය. ඒවානම්,

01. රාජ්‍ය හා පෞද්ගලික බැංකු වලින් ණය ලබාගෙන සිටින විපතට පත් වූවන් සදහා 2017 මැයි 29 වනදා සිට මාස 3 ක සහන කාලයක් ලබාදීම.

02. හානියට පත් දේපළ හා ජීවිත හැකිතාක් ඉක්මනින් තක්සේරු කොට අදාළ රක්ෂණ සමාගම් හරහා වන්දි ගෙවීම කඩිනම් කිරීමට උපදෙස් ලබාදීම.

03. යහපාලන රජය විසින් ගිය වසරේදී දියත් කරනු ලැබූ ආපදා අවස්ථාවලදී ජීවිත හා දේපළ වලට වන්දි ගෙවීම සදහා රටේම සෑම පුද්ගලයෙක්ම හා දේපළක්ම ආවරණය වන පරිද්දෙන් මුලු රටම රක්ෂණය කරන වැඩපිළිවෙල යටතේ සියලුම ජීවිත හා දේපල වලට හැකි ඉක්මනින් වන්දි ගෙවන ලෙස අග්‍රාමාත්‍යතුමන් උපදෙස් දී තිබීම.

04. මෙම පළාත්වල කඩා වැටී ඇති ජන ජීවිතය හා ආර්ථිකය යළි නගා සිටුවීමට සෞභාග්‍ය හා ස්වශක්ති ණය වැඩසටහන් සදහා හැකි පමණ අතිරේක අරමුදල් සපයන ලෙස මහා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබාදීම ඇතුළු තීන්දු ගණනාවක් ගත්තේය.

නමුත් මා විසින් කියා සිටීමට අදහස් කරන්නේ ශ්‍රී ලංකාව කෙතරම් පසුගාමී ආකල්ප වලින් යුතු ජනතාවක් වාසය කරන රටක්ද යන්නයි. එනම් රටේ අගමැතිවරයා නිල නිවාඩු දමා ඔහුගේ පෞද්ගලික මුදලින් සෞඛ්‍ය හේතු මත විදේශ ගතවෙද්දී එයට එරෙහිව අපහාස උපහාස කරමින් මතවාද ගොඩ නගන සමාජ කොටස් ජීවත්වන රටක් බවට මෙය පත්ව තිබීමයි. රටේ මෙම කණ්ඩායම් බලාපොරොත්තු වනුයේ හෝ ඉල්ලා සිටිනුයේ අගමැතිවරයා පාලිත තෙවරප්පෙරුම කරන්නාක් මෙන් වැස්සට තෙමෙමින්, ඉන වටක් දියේ බැස මිනිසුන් ඔසවාගෙන යාමද ? අගමැතිවරයා වැනි පුද්ගලයෙකුගෙන් එවැනි තත්ත්වයක් බලාපොරොත්තුවන්නේ නම් එය විහිළුවක් නොවන්නේද ? උණක්, හෙම්බිරිස්සාවක් හැදුනත් නිවාඩු දමා නිදා ගන්නා රජයේ සේවකයින්, කාර්යාල සේවකයින්, ව්‍යාපාරිකයින්, දවසේම පැය 18 ක් මුලු ජීවිත කාලයේම රාජකාරියට වැය කළ අග්‍රාමාත්‍යවරයාගේ සෞඛ්‍යට ඇගිල්ල දික්කිරීම විකාරයක් නොවන්නේද ? මේ රටේ මෙම සමාජ කොටස් බලාපොරොත්තුවන්නේ රටේ ගැටලු වලට තිරසාර විසදුම්ද නැතහොත් මහින්ද පන්නයේ රැවටිලි සහගත ප්‍රදර්ශනකාමී විසදුම්ද යන්න තෝරා ගැනීමට කාලය පැමිණ ඇත.

රටේ ආපදා කළමණාකරන යාන්ත්‍රණය හොදින් ක්‍රියාත්මකවන බව දැන දැනත් සමහරක් මාධ්‍ය ආයතන ඉතාම අමානුෂික ආකාරයෙන් අගමැතිවරයා සම්බන්ධයෙන් කටයුතු කළේය. අගමැතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වයද නොසලකා විශාල මඩ ව්‍යාපාරයක් දියත් කළේය. ඒ එම මාධ්‍ය ආයතනම මෙම ආපදා අවස්ථාවම දඩ මීමා කරගෙන තමන්ගේ චැනල්, පත්තර හා මාධ්‍ය ආයතන සදහා ප්‍රචාරණයක් ලබා ගනිමින්ය.

මෙම ආපදා අවස්ථාවේ ආපදා කළමණාකරන කමිටුවත්, රටේ ආණ්ඩුවත්, ජනමාධ්‍ය හා සමාජ වෙබ් අඩවි සමග ගණුදෙනු කිරීමේදී ආපදාවේ නිවැරදි තොරතුරු ජනතාව වෙත ගෙනයාමට විශාල උත්සහයක් ගනු ලැබූ නමුත් මාධ්‍ය ආයතනත්, සමාජ වෙබ් අඩවිත් රටේ බොහෝ මත හසුරුවන්නනුත් කටයතු කරනු ලැබුවේ ඔවුන්ගේ පෞද්ගලික ප්‍රචාරනයටත්, ඔවුන්ගේ පෞද්ගලික ව්‍යාපෘති සදහාත් පමණි. එම අමානුෂික තත්ත්වය නොතිබුණේ නම් කිරිබත්ගල කන්ද නාය යෑමේ තොරතුරු සදහා විනාඩි දහයක් ගුවන්කාල වලින් වෙන්කරානම්, පත්තර වලින් අගලක් වෙන්කරානම්, සමාජ වෙබ් අඩවි අවධානය යොමු කරානම් අපට ජීවිත 160 ක් බේරා ගැනීමට තිබුණි. ආපදා අවස්ථාවේ ජනතාව වෙත ලගා වීමේ තොරතුරු ලබාදීම වෙනුවට මාධ්‍ය ආයතන, සමාජ වෙබ් අඩවි හා මත සාදන්නෝ බල්ලාගේ වැඩේ බූරුවා කරන්නට යාමෙන් මෙම ආපදාවේදී විශාල ජීවිත හානියකුත්, ආර්ථික හානියකුත් සිදුවිය. ජන මාධ්‍යයේ වගකීම නිවැරදි තොරතුරු වාර්තා කිරීම මිස රාජ්‍යයේ හෝ ආණ්ඩුවේ කටයුතු සිදු කිරීම නොවේ. බල්ලාගේ වැඩේ බූරුවා කිරීමට යාමෙන් ඕනෑම සමාජයක අවුල් වියවුල් සිදුවේ.