Monday, March 26, 2018

සීලාචාර රනිල්

ලෝකය වේගයෙන් වෙනස් වෙමින් යුගයෙන් යුගය පසුකර යද්දී ශ්‍රී ලංකාව පසුගිය දශක ගණනාව පුරාම එක තැන හිර වෙමින් පල් වෙමින් තිබුණි. ලෝකයේ බොහෝ රාජ්‍ය වලදී  ආණ්ඩුව තව දුරටත් වැදගත් ආයතනයක් නොවන අතර එම රාජ්‍යන්ගේ පැවැත්ම ශක්තිමත් ස්වාධීන ශිලාචාර ආයතන විසින් මෙහෙයවනු ලබයි. මෙහිදී එවැනි රාජ්‍යයන්ගේ පැවැත්මට අභියෝග කරනු ලබන ඕනෑම ප්‍රපංචයකට  එරෙහිව කටයුතු කිරීමට එම රාජ්‍යයන්ගේ වාසය කරන ජනතාවට අවශ්‍ය ප්‍රතිපාදන හා ආරක්ෂාව නීති පද්ධතිය මගින් ලබා දී තිබේ. උදාහරණයකට දියුණු ලෝකයේ නවසීලන්තය හෝ උතුරු යුරෝපියානු රටවල් හෝ ජපානය මැලේසියාව,සිංගප්පූරුව, වියට්නාමය වැනි රටවල්ද ගත හැකිය. නමුත් ලංකාව හා එහි වාසය කරන ජනතාව නීති හා ආයතන මගින් රට පාලනය කිරීම පිළිබද එතරම් විශ්වාසයක් නොමැත්තේය. නිදහසින් පසු ගෙවී ගිය වසර 70 වකටත් වඩා වැඩි කාලයක් මෙරට ජනතාව විශ්වාස කරනු ලැබුවේ කවුරුන් හෝ විශ්ව කර්ම නායකයෙකු පහලවී රටත් ජනතාවත් මුහුණ දෙන සකලවිද ව්‍යාදීන්ගෙන් ගලවා ගනු ඇත යන්නයි.

මේ මිත්‍යාවේ ගිලුණු ලාංකික ඡන්දදායකයා එක නායකයෙකුට පසු තව එකෙකු වශයෙන් වසර 70 ක්ම විවිධ නායකයින් අත්හදා බැලු අතර ඒ සියල්ලෝම එකම අකාරයේ වට්ටෝරු නායකයෝ හෝ නායිකාවෝ විය. මේ වට්ටෝරු නායකයින්ගෙන් රට කෙසේ වෙතත් ඔවුන්ගේ පක්ෂවල උදවිය, නෑදෑ පිරිවරනම් ගොඩ ගියේය. බයිසිකලයක්වත් නැතිව දේශපාලනයට පැමිණි හෝ එයට සම්බන්ධ වුවෝ විශාල ධනපතියන් විය. මෙරට ධනපති පන්තියේ විශාල ව්‍යුහාත්මක  වෙනස්කම් සිදුවීම අාරම්භවූ වසර වන්නේ 1956 වසරයි. 1956 ඇරඹි ඒ ගමන අද වනවිට මෙරට ධනය හිමි පන්තිය මුළුමුනින්ම වාගේ දේශපාලන බලය හිමි පන්තිය බවට පත් වී තිබේ. ඒ ධනයට පසු බලය ලබා ගැනීම ලෙස නොව බලය ලබා ගත් පසු ඒ මත පදනම්ව ධනවත් වීමෙනි.

මේ සදහා අපූරු උදාහරණයක්  මා සතුව තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දිගු කාලීන ශරීර ආරක්ෂකයෙකු වූ එමෙන්ම මැදමුලන ගමේ ඔහුගේ අසල් වැසියෙකු වන තිස්ස වන්නිආරච්චි සම්බන්ධයෙනි. මහින්ද අගමැති ධූරයට පත්වෙද්දී සාමාන්‍ය සෙබළලෙකු ලෙස යුද හමුදාවේ සිටි ඔහු මහින්දගේ ශරීර ආරක්ෂකයෙකු ලෙස අගමැති ආරක්ෂක අංශයටත් ඉන් පසු ජනාධිපති ආරක්ෂක අංශයටත් අනුයුක්ත කරන ඔහු ඉතාම කෙටි කාලයක් තුල මහා ධනපතියෙකු බවට පත්වේ. දැනට ලංකාවේ අධිකරණ ගණනාවක ඔහුට එරෙහිව අයතා දේපල උපයා ගැනීම් පිළිබද නඩු ගනනාවක් විභාග වේ. ඒ අක්කර ගණනාවක ඉඩම්, බස් රථ, ඉන්දන පිරහුම් හල් වැනි දෑය.
ඔහුගේ හා ජනාධිපති මහින්දගේ ලග සම්බන්ධය පෙන්වන එක සිදුවිමක උදාහරණයක් දේශපාලන ලෝකයේ පවතී. එනම් සාමාන්‍ය සොල්දාදුවෙකු වූ තිස්ස ඔහුගේ පෙරැත්ත මත මහින්ද ගැසට් නිවේදනයක් මගින් මේජර් වරයෙකු බවට පත් කරයි. ඊට පසුදින උදැසන අරලියගහ මන්දිරයේ උදැසන තේ මේසයට කිරිබත් ගෙන්වා මහින්ද හා තිස්ස ඇතුළු කණ්ඩායම කිරිබත් කමින් මේජර් තනතුර ලැබීම සමරන අතරම තිස්සගේ පස්සට සෙමින් පහරක් එල්ල කොට "මූට ගිය කල යකෝ" කියා හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කොට මහා හඩින් සිනා වූ බව එතැන සිටි පොලිස් නිලධාරියෙකු මා සමග පවසා තිබේ.

ඒ වට්ටෝරු නායකයෙකු වූ මහින්ද රාජපක්ෂගේ පාලනයේ ධනපතියන් බිහිවූ හැටිය. මෙවන් තත්ත්වයක් පවතින ශ්‍රී ලාංකික සමාජය තුල රනිල් වැනි නායකයෙකුට පැවතිය හැකි තත්ත්වයන්ගේ විශාල සීමාකම් පවතින බව මාගේ හැගීමයි. රනිල් වටා සිටින කිසිවෙකුත් අයුතු ලෙස ධනවතුන් වී නොමැත්තේය. යම් අවස්ථාවල පක්ෂය තුලින් මතුව එන විරෝධතාවලට හේතුවක් වන්නේද එයමය. වට්ටෝරු දේශපාලනයෙන් මිදී රටේ නියාමන ආයතන ශක්තිමත් කොට, ආණ්ඩුව වෙනුවට රාජ්‍යය ශක්තිමත් කල යුතුයැයි තදින් අදහන රනිල් වැනි නායකයෙකුට අවස්ථාවක් නොදී හැකි ඉක්මනින් ඉවත් කිරීම රට මංකොල්ලා කෑමට බලා සිටින සියලුම ප්‍රතිගාමී බලවේග වල ප්‍රාර්ථනයයි. රනිල් නැති එක්සත්  ජාතික පක්ෂය කැඩී සුනු විසුනු වන බව සක් සුදක් සේ දන්නා සතුරු බලවේග මෙන්ම රට නරකාදියට හෙලීමට කල් යල් බලන ඒ මත තමන්ගේ පටු අරමුණු ඉටු කරගැනීමට පෙරුම් පුරන බලවේගද කල්පනා කරනුයේ යහපාලන ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල හැකි ඉක්මනින් පරාජය කොට රටටත් එහි ජනතාවටත් ඇති ආරක්ෂව අවසන් කල යුතු බවයි. එමගින් මෙම වට්ටෝරු නායකයින්ගේ පැවැත්ම නැවත තහවුරු වනු ඇතැයි ඔවුන්ගේ බලපොරොත්තුවයි. එය පරාජය කිරීම එක්සත් ජාතික පක්ෂයට ඇති එකම විසදුම වේ.

රනිල්ට එරෙහිව ඉදිරිපත්ව ඇති දෝශාභියෝග යෝජනාව ඉදිරිපත් කල අයගේ ප්‍රධාන අරමුණ වන්නේ හැකිතාක් රටේ කටයුතු අවුල් සිදුකොට රට අස්ථාවර කිරීමයි.එමගින් රටේ එදිනෙදා කටයුතු වලට බාධා පමුණුවා නැගී එමින් පවතින ආර්ථික තත්ත්වය කඩාකප්පල් කිරීමයි. දිනන්නට නොහැකි බව දැන දැනම එය ඉදිරිපත් කිරීම මගින් ඔවුන් ආණ්ඩුවට එල්ල කරනු ලබන්නේ දේශපාලන ප්‍රහාරයකටත් වඩා ආර්ථික ප්‍රහාරයක් යනු මගේ හැගීමයි. මේ මොහොතේ රනිල්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට සතුරු පිළෙහි සියල්ලෝම එකාවන්ව සැදී පැහැදී සිටියදී එයින් විශාලම හානිය සිදුවන්නේ පක්ෂයට බව පාක්ෂිකයින් අවබෝධ කොට ගතයුතු වේ. කෙතරම් ප්‍රහාර එල්ල වුවද අගමැතිවරයා සෙමෙන් නමුත් ස්ථිරසාරව ඉදිරියට ගමන් කරයි.

Monday, March 19, 2018

කුවේණියගේ කදුළු

ලංකාවේ සිංහල හා දෙමල ජාතික වාදයේ පදනම මහාවංශයයි. එය වසර 2500 කටත් වඩා පැරණි මහා සම්ප්‍රදායක් වන අතර එයින් අපට රටක් ලෙස එදත් අදත් අහිමි වූ දෑ බොහෝය. මහාවංශයට අනුව සිංහල ජාතිකත්වයේ උපත සිදුවන්නේ ඉන්දියාවෙන් පැමිණි නාහෙට නාහන විජය කුමරයාගෙන්ය. ජාතියක් ලෙස උතුරු ඉන්දියානු සංස්කෘත බසින් බිදුණු සිංහල දකුණු ඉන්දියානු ද්‍රවිඩියන් දෙමළට වඩා වැඩි වරප්‍රසාදිත බාසාවක් ජාතියක්  බවට  සිංහලයින් කල්පනා කරන්නට පටන් ගත්තේ එය ආරම්බ වූ කාලයේ සිටමය. ඒ පිළිබද ප්‍රථම සාක්ෂිය වන්නේ විජය කුමාරයා විසින්ය. ඒ කුප්‍රකට මහාවංශය විසින් පෙන්වාදෙන කුවේණිට සිදුකල මහා රැවටීමය. එය අපරාදයකි. ඒ අපරාදය මතින් ඔවුන් ලියා තැබුවේ සිංහලයින් දෙමළුන්ට වඩා මාර පොර ජාතියක් කියාය.

විජය ලංකාවට ගොඩ බසින විටත් ලංකාව විශේෂයෙන් මල්වතු ඔයෙන් උතුරට වන්න ජනාවාසව පැවතුනි. සැබවින්ම දකුණේද ජනාවාස තිබුණු බවට සාක්ෂි දැන් ලැබී තිබේ. නමුත් විජයට මුණ ගැසෙනුයේ මල්වතු ගගින් උතුරේ කුවේණිගේ පරපුරය. එනම් තම්බපන්නියේ වාසය කළ වුන්ය. තම්බපන්නිය යනු මහා විල්පත්තු වන මැද පිහිටි ස්ථානයකි. විජය ලංකාවට පැමිණෙන විටත් ලංකාවේ උතුරෙහි සංස්කෘතියක් තිබුණු බවත් සංස්කෘතික මිනිසුන් වාසය කල බවටත් සාක්ෂි මහා වංශයේම තිබේ. එනම් කුවේණිය විජය ලංකාවට පැමිණෙන විටත් සිටිනුයේ කපු කටිමිනි. කපු කැටීම යනු විලි වසා ගැනීමට රෙදි පිලි නිෂ්පාදනය කිරීමයි. එසේනම් වසර 2550 කටත් වඩා ඈත කාලයේ ලංකාවේ මල්වතු ගගට උතුරින් රෙදි අදින සංස්කෘතික මිනිසුන් ජීවත් වී තිබේ. ඒ සියල්ලටමත් වඩා කුවේණිය විජය හා ප්‍රේමයෙන් බැදේ. ප්‍රේමය සංස්කෘතික සමාජයක දියුණු සමාජ හැසිරීමකි. සමාජ ගිවිසුමකි. කුවේණිය ඇතිකරගත් එම ගිවිසුම අනුව උතුරු ඉන්දියානු විජයට දකුණු ඉන්දියානු සංස්කෘතික ගැහැණිය මල්වතු ගගින් දකුණේ උතුරු ඉන්දියානු රාජ්‍ය පිහිටුවා ගැනීමට  සහයෝගය ලබා දෙයි. විය හැකි ලෙසම කුවේනියගේ සංස්කෘතිය දකුණු ඉන්දියානු විය යුතුය. මන්ද මන්නාරමේ සිට ඉන්දියාවට ඇති දුරත් ජනපද සියල්ල මල්වතු ගගින් උතුරේ පිහිටුවා තිබීමත් අදත් එම ප්‍රදේශ් වල ජනතාව දෙමල හා හින්දුන් වීමත් වැනි කාරණා නිසාවෙන් අපිට නිගමන කල හැක්කේ ඔවුන්ගේ සංස්කෘතිය දකුණු ඉන්දියානු ද්‍රවිඩ විය හැකි බවය. එසේම විජය කුවේනියගේ පරපුරට  පිටස්තරයෙකු වීමටත් කුවේණිය විජයට පිටස්තරයෙකු වීමටත් බල පෑ ප්‍රධානම හේතුව මෙම උතුරු දකුණු සංස්කෘතික නොගැලපිමය.

අද නුතන සිංහල ජාතික වාදීන් මහාවංශයේ සදහන් විජයගෙන් සිංහලයා පැවැත එතැයි යනුවෙන් දක්වනු ලබන කතාන්දරය තදින් ප්‍රතික්ෂේප කරනු ලබයි. එයට හේතු ගණනාවක් තිබුනද ඉන් ප්‍රධානතම හේතූන් වන්නේ විජයගේ ඉන්දියානු රස්තියාදුකාර ජන්මයත්, කුවේණියගේ දෙමළ සංස්කෘතියත් එසේත් නැතිනම් විජයට පෙර කුවේණිය මෙහි ජනාවාස ගතව සිටීම තුලින් ඇය මගින් මෙරට සිංහල අධිපතිවාදී මුල් ජනපදික මතය බිද දැමීමත්, මේ සියල්ලටම වඩා විජය කුවේණිය කෙරෙහි දැක්වූ කුරිරු සැලකීම සිංහල වැනි මාර සංස්කෘතික ජාතියකට නොගැලපෙතැයි ජාතික වාදී චින්තකයින් සිතයි. මෙම නිසාම සිංහල ජාතික වාදී චින්තකයින් රාවණා කතාන්දරය කරපින්නා ගෙන සිංහල ජාතියේ ආරම්භය පිළිබද වෙනත් මතවාදීමය තර්ක ගොඩ නගමින් සිටි.

මීට එරෙහි මගේ තර්කය වන්නේ සිංහල භාෂාව සංස්කෘත වලින් බිදී එන්නක් වීමත් එහි හඩ නේපාල භාෂාවට සමීප වීමත් බුදු දහමත් නිසාවෙන් අපි සංකෘතික වශයෙන් වැඩි නැඹුරුවක් දක්වන්නේ උතුරු ඉන්දියානු සම්බවයකටය. එම නිසා මහාවංශ කතුවරයාගේ සිංහල ජාතියේ උපත පිළිබද  කතිකාවට වැඩි බරක් තැබිය හැකි බව මගේ අදහසයි. මෙම තත්ත්වය තුල සිංහලයට ලංකාවේ පුරෝගාමී ජනපදිකයින් ලෙස කිව නොහැකි අතර එසේ කිවයුතුනම් කුවේණියගේ පරපුර අයත් වන්නේ කුමන ජන කොටසකටද ? අද ඔවුන්ට සිදුවුයේ කුමක්දැයි ඔප්පුකොට පෙන්විය යුතුය. එසේ නොවන්නේනම් දෙමල සුළුතරයද මෙරට පූර්වගාමී ජනකොටසක් ලෙස අපි වන අතර අපි සමාන අයිතිවාසිකම් ඇති අයවලුන් ලෙස එකම මේසයේ ඉදගෙන කටයුතු කල යුතුවේ හෝ එසේ කිරීමට හිත හදා ගතයුතු වෙයි.

මෙවන් තත්ත්වයක් යටතේ දෙමළා සහ සිංහලයා එකම මේසයක කටයුතු කරද්දී මුසල්මානුවා කටයුතු කල යුත්තේ දෙවන පුරවැසියෙක් ලෙසද ? ශ්‍රිලාංකික සමාජය මුහුණ දෙන අනෙක් ගැටලුව එයයි. මුස්ලිම් ආගම පදනම් කරගත් විශාල ජනතාවක් ලෝකය පුරා විසිරි වාසය කරයි. ඔවුන් මූලික වශයෙන් වෙළෙන්දෝය. වෙළදාම පදනම් කරගෙන ඔවුන් ලෝකය පුරා විසිරි ගිය අතර ලංකාවටද පැමිණියේ ශත වර්ෂ ගනනාවකට පෙර වෙළදාම උදෙසාය. ලංකාවේ මුස්ලිම් ජනතාව පිළිබද සිදුකරන ලද සියලුම අධ්‍යයනයන්ගෙන් ඔප්පු වී ඇත්තේ ඔවුන්ගේ ප්‍රථමයෙන් පැමිණ ඇත්තේ පිරිමි පාර්ශ්වය පමණක් බවයි. ඉන් අදහස් වන්නේ ඔවුන් විසින් සිංහල හා දෙමළ කාන්තාවන් හා සරණ ගොස් ලංකාවේ පදිංචිවී ඇති බවයි. එසේනම් ලංකාවේ ජීවත් වන සියලුම මුස්ලිම් වරුන්ගේ මව් රට ලංකාව බවයි. එනම් ලාංකික මවක් නොවන කිසිදු මුස්ලිම් වරයෙකු ඉතිහාසයේ කිසිදු දිනයක ලංකාවේ වාසය කර නොමැති බවයි. මේ අනුව මගේ නිගමනය වන්නේ ලංකාවේ සිංහල මුස්ලිම් හා ද්‍රවිඩ සියලුම දෙනා එකම මේසයේ වාඩිවිය හැකි සමාන අයිතිවාසිකම් ඇත්තෝ වෙති. මෙරට සිංහල, දෙමල, මුස්ලිම් ජාතින් තුනට අයත් ශ්‍රී ලංකික අනන්‍යතාවයෙන් කටයුතු කලයුතු රටකි. මෙහි අන්තගාමී ජාතිවාදීව කටයුතු කරන යමෙක් වේද ඔහු රටට සතුරුව කටයුතු කරන්නෙකු වේ. ඔවුන් අලුයම ලූ කෙල පිඩක් මෙන් ප්‍රතික්ෂේප කළයුත්තෝ වෙති. එසේ නොවන්නේ නම් අපට කුවේණියගේ සාපයෙන් මිදිය නොහැකි වන්නේය.

Wednesday, March 7, 2018

සීලාචාර මිනිස්සු ගෝත්‍රිකයින් කරමු, ගෝත්‍රිකයින් නායකයින් කරමු.

ජනවාරි 8 වැනිදා සිදුකළ දේශපාලන බල පෙරළියට මේ රටේ සිවිල් ප්‍රජාව ජනවාරි විප්ලවය යැයි කීවේය. එය එසේම විය යුතුව තිබිණි. 2014 වසර වනවිට ලාංකේය සමාජය සියවසේ අනතුරුදායකම වසරට පය තබා විනාශයේ අදුරු මාවතේ වේගයෙන් ගමන් කළේය. පාලක රාජපක්ෂ රෙජීමය තම පවුල් පාලනය වසර 70 ක් අඩුම තරමින් පවත්වාගෙන යන බවට එළිපිට ප්‍රකාශ කොට තිබිණි.

රටේ සියලුම සමාජ දේශපාලන හා පරිපාලන ආයතන රාජපක්ෂවරුන්ගේ යකඩ  සපත්තුවට යට වී තිබුණු අතර මිනිසුන් අතුරුදහන් වීම, නායකයින් මහ මග ඝාතනය වීම, ඉමක් කොනක් නොපෙනෙන රාජ්‍ය මුදල් හා දේපළ මංකොල්ලා කෑම, සිදුවූ අතර ජනතාවට තිබු ලොකුම තර්ජනය රාජ්‍යය විය. අවනීතිය රජ වී උතුරු කොරියාවේ මෙන් රජ පවුලක් ගොඩනැගෙමින් තිබුණි.

රටේ සියලුම මාධ්‍ය රජ පවුලට වන්දිබට්ට කම් කළ අතර රාජපක්ෂවරු වෙනුවෙන් ජාතිකවාදය පදනම් කරගත් දැවැන්ත ප්‍රචාරක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය. මෙම ප්‍රචාරක හා දේශපාලන වැඩපිළිවෙල මගින් දෙමල, මුස්ලිම් හා කතෝලික ජනතාවගේ පැවැත්ම වීශාල අනතුරක වැටුණු බැවින් ඔවුන් දවසේ වැඩි කාලයක් බියෙන් සැකයෙන් ගත කළේය. එම ජනතාව දෙවන පෙළ පුරවැසියන් බව රාජ්‍ය අනුග්‍රහය ඇතිව පෙන්වා දුන් අතර එවැනි වැඩසටහන්වලට යාන වාහන, මුදල් හදල් හා රටේ නීතියේ මුක්තිය හා ආරක්ෂාව ලැබිණි.
2015 ජනවාරි  8 වැනිදාට පෙර යුගය ලංකා ඉතිහාසයේ අප ජාත්‍යන්තරව කොන් වූ හුදකලා වූ යුගයයි. අපගේ දීර්ඝ කාලීන වැදගත් මිතුරන් වූ එංගලන්තය, ඇමරිකාව, ජපානය, දකුණු කොරියාව වැනි රටවල් වෙනුවට අපි අලුත් මිතුරන් ගොඩ නගා ගත්තේය. ඒ දේශපාලන අර්බුධ වලින් ගහන වෙනිසියුලාව, සිරියාව, ලිබියාව, අප්‍රිකානු කළාපයේ ස්වාසීලන්තය සිම්බාබ්වේ වැනි රටවල්ය. සැබවින්ම ලංකාව ජාත්‍යන්තර රස්තියාදුකාරයින්ගේ කණ්ඩායමට වැටි තිබුණි.

රටේ සඝ සමාජයේ විනය බින්දුවට පිරිහුණු අතර මහ මග ගෝරි වල සිට පොලීසි, උසාවි දක්වා සෑම තැනම පැවිදි සමාජයේ මැදිහත්වීමක් තිබුණු අතරම, ග්‍රාමීය මට්ටමේ බලහත්කාරකම් වලට ආගමික සමාජයේ දැඩි සම්බන්ධයක්  තිබෙන තරමට රාජපක්ෂ රෙජීමය යටතේ ආගමික සමාජය පිරිහී තිබුනේය. රටේ ආර්ථිකය වේගයෙන් ඇද වැටෙමින් අනාගතයේ එතැයි අපේක්ෂිත සම්බාධක නිසාවෙන් විශාල වශයෙන් විදේශ මුදල් හොර පාරෙන් රටින් පිට කරමින් ආණ්ඩුවේ හා අයුතු ලෙස උපයා ගන්නා ලද පෞද්ගලික දේපලද රාජපක්ෂවරු විසින් රටින් පිටකළේය. ලංකාව ඉමක් කොනක් නොපෙනෙන අගාදයක ගිලෙමින් ඉන්දියානු සාගරයේ තවත් උතුරු කොරියාවක් බවට පත්වෙමින් තිබුණි.

මේ තත්ත්වය යටතේ රාජපක්ෂවරු පරාජය කිරීම අනිවාර්ය කොන්දේසියක් විය. රටේ දැනුම් තේරුම් ඇති සීලාචාර සියලුම බලවේග තමන් අතර තිබු නොගැලපීම තාවකාලිකව අමතක කොට එක පෙරමුණකට පැමිණ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සමග එක් විය. රාජපක්ෂවරු පරාජය කොට ලංකාව විනාශයේ  දොරටුවෙන් මෙපිටට කැන්දාගෙන ඒමේ අවශ්‍යතාවය ගැන  මනා අවබෝධයක් තිබු එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පොදු අපේක්ෂකයෙකුට ඉඩ විවර කර දෙමින්, මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව මෙහෙය විය. අවසානයේ නපුර පරාජය වී හොද දිනුවේය. පසුදා පුවත්පත් වල පොල්ගෙඩි අකුරින් පල වූයේ වහල් යුගය අවසන් වූ බවයි. එය වචනයේ පරිසමාප්තයෙන්ම වහල්, බයි, අන්ත දුෂිත යුගයක අවසානයයි.

නමුත් ඉන්පසු එළඹි යුගය අලුත් යහපාලන ආණ්ඩුවට එතරම් සුබදායි නොවුණු බව මාගේ හැගීමයි. රට පුරා පරාජය කරන ලද ආර්ථික වැඩපිළිවෙල නිසා ඇති වූ සමාජ ආර්ථික ප්‍රශ්නය, රටේ ග්‍රාමීය ආර්ථිකය සම්පුර්ණයෙන්ම පාහේ ජාවාරම්කරුවන් අතට පත්වී තිබුණි. ජාත්‍යන්තර සම්බාධක පැනවීමට මාර්තු 29 වනතුරු සමහර රටවල් ඇගිලි ගනිමින් සිටියේය. නිලධාරීන් 80% කටත් වඩා පරාජය කරන ලද රෙජීමයේ වාසි ලද අය බැවින් ඔවුන් මුල සිට කකුලෙන් අදින්නේය. ආණ්ඩුවේ බාගයකටත් වඩා රාජපක්ෂවරුන්ගේ හොල්මන්ය. මෙවැනි වාතාවරණයක් තුළ ජනවරම රැක ගනිමින් කටයුතු කිරීම ඉතාම අපහසු කටයුත්තකි. නිදහසින් පසු මෙතරම් අපහසු කාලයක් උදාවු කිසිදු පක්ෂයක් හෝ ආණ්ඩුවක් නොතිබුණ බව මාගේ හැගීමයි .

එමෙන්ම ජනවාරි 8 වැනිදා පරාජය කරන ලද ජාතිවාදී බලවේග පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු නැවත නැගිටිමින් තිබේ. පසුගිය සති දෙක තුළ රට පුරා ඇති වූ පහරදීම් වල පිටුපස පොහොට්ටු පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ සම්බන්ධයක් ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම නුවර තෙල්දෙණියේ ඇතිවූ ගැටුම මුළුමනින්ම පෞද්ගලික ආරවුලක් දේශපාලන ක්‍රියාකාරීන් විසින් ජාතිවාදී අරගලයක් බවට පත් කරන ලද එකකි. එහිදී ඇති වූ ගැටුම් වලින් රුපියල් මිලියන සිය ගණනක දේපල හානි සිදු වූ බවට වාර්තා වේ. ආණ්ඩුව ඇතුලතින් සිදුවන ප්‍රහාර හමුවේ ආණ්ඩුව දුර්වල වන අතරතුරම  යක්ෂයාගේ බලවේග රට තුල තම රාජකාරි කටයුතු අරඹා තිබේ. රටේ මුස්ලිම් දෙමල හා කතෝලික ජනතාව සම්පූර්ණයෙන්ම පාහේ මහත් බියකට පත්ව සිටින අතර සිංහල ජනතාව අතරද බහුතර  සීලාචාර සමාජයක් බලාපොරොත්තුවුණ කණ්ඩායම් වල සිත් තුලද භීතියක් හටගෙන තිබේ.
ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම්වල තත්ත්වය කෙසේ වුවද සාමය හා ආරක්ෂාව ඇති කිරීමේ වගකීම අගමැතිතුමා ඇතුළු ආණ්ඩුවට තිබේ. සියලුම ජන කොටස් වල විශ්වාසය දිනාගත් දේශපාලන පක්ෂය ලෙස සමජයීය සහජීවනය උදෙසා ගෝත්‍රික බලවේග පරාජය කොට සියලුම ජනවර්ග වල ආරක්ෂාව තහවූරු කළ යුතු වෙයි.

Sunday, March 4, 2018

රනිල්ට එදිරිව වට්ටෝරුවෝ සහ පොහොට්ටුවෝ

නිදහසින් පසු වසර 70 ක් තුල ශ්‍රී  ලංකාව පොදුරාජ්‍ය  මණ්ඩලයේ එක්තරා ආකාරයක පසුගාමී රටක් බවට පත්ව තිබේ. අපට පසුපසින් සිටි ආසියාවේ රටවල් විශාල සංඛ්‍යාවක්  අප පසුකොට සැලකිය යුතු ආර්ථික, සමාජ හා දේශපාලන ප්‍රගතියක් ලබා තිබේ. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය හා කැනඩාව ලොව බලවත් රටවල් බවට පත්ව තිබියදී අප 1972 ව්‍යවස්ථාවෙන් පලවාහරින ලද ඩොමිනියන් තත්ත්වය ඔවුන්ගේ රටවලට ආශීර්වාදයක් බවට පත් කොට ගෙන තිබේ. දැන් අපට පිටුපසින් සිටිනුයේ ජාතිය, ගෝත්‍රය, ආගම හා ජනවර්ගය වෙනුවෙන් සටන් වදින දේශපාලන බලය ඔවුන්ගේ  දුෂණය හා පැවැත්ම වෙනුවෙන් යොදවන එකම වට්ටෝරුගත නායකයින් එකාධිපතිව පාලනය කරනා පොදුරාජ්‍ය මණ්ඩලයේ අප්‍රිකානු රටවල් පමණි .

පසුගිය පළාත් පාලන මැතිවරණය නැතහොත් ගම් සභා මැතිවරණය ආණ්ඩු විරෝධී පොහොට්ටු පක්ෂය විසින් 44% ක ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් ඉදිරියට ආවේය. මෙම පක්ෂය යනු වසර 10 ක් මේ රට අයෝමය හස්තයකින් පාලනය කළ අප්‍රිකානු හා ලතින් ඇමරිකානු පන්නයේ දේශපාලන, සමාජ, ආර්ථික ක්‍රමයක් පවත්වාගෙන ගිය, එම රටවල මෙන් සිවිල්  ආයතන සුන්නත් දුවිලි කළ, චීනය හා එක්ව ආර්ථිකය ගිනි පොළී බැංකුවලට යට කළ සමාජය, ජාතික ආගමික හා කුල අනුව බෙදා වෙන්කොට පාලනය කළ, රටේ ජාතික ආර්ථිකය  පාලක පවුලේ කීපදෙනෙකු මත කේන්ද්‍රගත කොට සාමාන්‍ය  සීලාචාර සිවිල් ජනයා වෙත සුදු වැන් එවූ, මහමග වියතුන් ඝාතනය කළ යුද්ධය අවසන් කොට ගෙන ආ සාමය රටවැසියා යකඩ සපත්තුවට පාගා මර්දනය කොට රටේ සම්පත් තම පවුලේ පැවැත්ම වෙනුවෙන්යැයි සිතමින් ජීවිත භුක්තියෙන් කටයුතු කළ, ඒ වෙනුවෙන් රටේ මුලික නීතිය නැතහොත් ආණ්ඩුක්‍රමය  තමන්ට උවමනා පරිදි සකස් කරගත් රාජපක්ෂ රෙජිමයයි. මෙම කල්ලියේ නායකයා මහින්ද රාජපක්ෂ වන අතර ඔහු ඉඩිඅමීන් උගන්ඩාවට ඩෑඩා වූ පරිදි, හිට්ලර් පියුරේ ජර්මනියට පියා වූ ලෙසම සිංහල අපට අප්පච්චි වෙයි. මෙම ජාතික වාදී හොල්මන විසින් අප සමාජය තවම රෝගී කරමින් ඔත්පල තත්ත්වයට වට්ටවමින්   තිබේ. වද පෙති වල සිට ගැමි  ලිංගිකත්වයට ආගම සම්බන්ධවීම දක්වා සියලුම ජාතිකවාදී වැඩසටහන් කියාපාන්නේ මෙම රෝගී සමාජ දේහයට රාජපක්ෂවරු ගෙන එනු ලබන දේශපාලන තිත්ත කල්කයයි. ලංකාව බහු වාර්ගික, බහු ජාතික රටක් ලෙස පිලි නොගන්නා රාජපක්ෂවරු මුස්ලිම්, දෙමල හා කතෝලික ජනයා පිටස්තර ලෙස ජනතාවට  පිලි ගන්නා ලෙස බලකරයි. එමෙන්ම ඔහුන්ගේ පවුලේ අයගේ ඇමරිකානු පුරවැසි බාවයද එම අවස්ථාවේම රැක  ගැනීමටද ඔවුන් දක්ෂ වේ.

මෙම රෙජීමයේ බරපතල සතුරා වනුයේ එක්සත් ශ්‍රී ලංකාවක් රටට යෝජනා කරනු ලබන, ජනවර්ග වෙනුවට ශ්‍රී ලාංකිකතාවය උත්කර්ෂයට නන්වන ඔවුන්ගේ සංකෘතික වෙනස්කම් පිළිගනිමින් එකම ශ්‍රී  ලාංකික ජාතියක් යෝජනා කරනු ලබන, දහසකුත් විරෝධතා හා අපහාස උපහාස මැද පක්ෂය ජාතික සංහිදියා මාවතේ ගෙනයනු ලබන රනිල් වික්‍රමසිංහය. ගම්සභා ඡන්දය අවසාන වූ මොහොතේ පටන් රනිල් අගමැති ධූරයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණය කරන්නෝ රාජපක්ෂ රේජිමයේ අතවැසියෝ හා එම පවුලයි. ඔවුන් විවිධාකාරයෙන් ආණ්ඩුවේ කොටස් සමග ගනුදෙනු කරමින්, මාධ්‍ය ආයතන වෙනුවෙන් රුපියල් මිලියන ගණනනින් අල්ලස් දෙමින් රනිල් විරෝධී මතයක් රට තුල ගොඩ නගයි.  එයට ප්‍රධානතම හේතුව 2020 දී සියලු ජාතින් දිනාගත හැකි නායකයා රනිල් වන බැවිනි. එසේනම් රනිල් විරෝධී ප්‍රමුඛ  කණ්ඩායම පොහොට්ටුවෝය.

රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතුයැයි කියන අගමැති ධූරය පක්ෂයේ හෝ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ අයෙකුට දීමට කැස කවන අනෙක් පිරිස වන්නේ තක්කඩින් හා වට්ටෝරුවෝය. පසුගිය  වසර 70 තුල ලංකාව පාලනය කරන ලද්දේ මෙම වට්ටෝරු නායකයෝය. එනම් ඔවුන් කුමන පන්තියට අයත් අයෙකු වුවද?කුමන ප්‍රදේශයක් නියෝජනය කලද එකම වට්ටෝරුවට කටයුතු කරන අය වෙති. ඔවුන් ගැමි ගැහැණුන්ගේ ඉගටියට අත තබති. පිරිමින්ගේ බඩට තට්ටු දමති. ළමයි වඩා ගනිති. මිනිසුන් ඇන්දීම, රැවටීම, බොරු කීම දේශපාලන දක්ෂතාවයක් ලෙස කල්පනා කරයි. රටට වඩා පක්ෂයට වග කියයි. පක්ෂයට වඩා පවුල ගැන බලයි. මිනිස්සු තමන්ගේ ඡන්දය පාවිච්චි කරද්දී මෙම වට්ටෝරු නායකයින්ට ඡන්දය දීමට කැමත්තක් දක්වයි. එසේ මිනිසුන් ඡන්දය පාවිච්චි කරනු ඇතැයි පුර්ව  නිගමනයක්ද තිබේ. ඔවුන් පාලනය කළ රට අද විශාල අවුලකි. එම අවුල එකින් එක රනිල් විසින් ලිහමින් තිබේ. එතෙක් ජනතාව තුල ඉවසීමක් ඇති බවක් නොපෙනේ. නමුත් රනිල් යනු මෙම වට්ටෝරු දේශපාලනයෙන් මිදුණු එකම ජාතික නායකයාය. ඔහුට විරුද්ධ මෙම කදවුරේ බොහෝ දෙනා එක්කෝ මේ වට්ටෝරු නායකයින්ය. නැතිනම් වට්ටෝරුව සොයන්නෝය. එසේත් නැතිනම් ආණ්ඩුවේ සල්ලි හොරකන්කරන මාධ්‍ය  මුදලාලිලාය. නැතිනම් රාජ්‍ය දේපල මංකොල්ලා කෑමට දතකට මැදගෙන ඉන්නන්ය.

මේ සියල්ල මැද රනිල් ජනතාව ලබා දුන් ජනවරමට අනුව කටයුතු කරයි. රටේ ආර්ථිකය ගොඩ නැගීම, ප්‍රතිසංස්කරණය   සිදු කිරීම ඇතුළු කටයුතු සිදු කරයි. සියලුම ජාතීන්ට ආඩම්බරයෙන් තමන් ශ්‍රී  ලාංකිකයින් බවට ලොවට කිව හැකි රටක් ගොඩනගයි. 2020 එක්සත් ජාතික පක්ෂය තනි රජයක් ගොඩ නැගීමේ පොරොන්දුවට වැඩ කරයි. පොහොට්ටුව දැන් කළ යුත්තේ ගම්සභා ජනවරම මගින් ලැබූ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන එමගින් ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා ඉටු කිරීමයි.

2020 ජය ගැනීම එක්සත් ජාතික පක්ෂයේ එකම අරමුණය. පක්ෂයේ තරුණ නායකයින් සටන් වදින්නේ ඒ වෙනුවෙනි. පක්ෂ නායකත්ව කල්පනා කරනුයේ 2020 ජය ගැනීමට නිවැරදි ප්‍රතිසංස්කරණ පක්ෂය තුල කළයුතු බවයි. 2020 ජය ගැනීම මෙවර ගම්සභා මැතිවරණය අනුවද අසීරු ඉලක්කයක් නොවේ. නමුත් පක්ෂය එකමුතුව, එක කොඩියක් යට කටයුතු කිරීම අනිවාර්ය කොන්දේසියකි.