Sunday, June 17, 2018

ජනාධිපති අපේක්ෂිකාව ශිරන්ති

ලැබෙමින් පවතින ආරංචි අනුව රාජපක්ෂ පිලෙහි ජනාධිපති අපේක්ෂිකාව වීමට වැඩි ඉඩක් ඇත්තේ නාමල් රාජපක්ෂගේ මව හා මහින්ද රාජපක්ෂගේ බිරිද මෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති වික්‍රමසිංහ මහතාගේ සහෝදරිය වන ශිරන්ති රාජපක්ෂ මැතිණියයි. ශිරන්ති රාජපක්ෂ මැතිණිය මූලික වශයෙන් රෝමානු කතෝලික කාන්තාවක් වන අතර ගෝඨාභය රාජපක්ෂට වඩා සිංහල බෞද්ධ නොවන ඡන්ද වලට ආමන්ත්‍රණය කල හැකි රාජපක්ෂ පවුලේ අපේක්ෂිකාවකි. නමුත් අප සලකා බැලිය යුත්තේ මෙතරම් ජනප්‍රිය රාජපක්ෂවරු සිටියදී ශිරන්ති රාජපක්ෂ 2020 ජනාධිපතිවරණයට තෝර ගැනීමේ පදනම කුමක්ද යන්නය. මුලික වශයෙන් රාජපක්ෂවරුන්ගේ මුළු දේශපාලන වැඩසටහනම පදනම් වන්නේ නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය මතය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටිනුයේ නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය වෙනුවෙන් ඕනෑම මිලක් ගෙවීමේ පදනමිනි. නමුත් බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන සහෝදරවරු නැවත බලය අත්පත් කර ගැනීම හා ඒ මත පදනම්ව ජීවිතයේ ඉතිරි කාලය ලංකාවේ ගතකිරීමත් සිමාන්තික වන නමුත් රට ගොඩනගා ඉතිහාස ගතවීමට ඇති අධික ආශාවකිනුත් පසුවේ. එමෙන්ම රටේ ආණ්ඩුවට විරුද්ධ බලවේග අඩුවැඩි වශයෙන් මෙම රාජපක්ෂවරු වටා ගොඩනැගෙමින් පවතී. එම දෙදෙනාම ලංකාවේ ආණ්ඩු විරෝදී දේශපාලනයේ කේන්ද්‍රය බවට පත්වී තිබේ. එසේම රටේ එක්තරා කොටසක් 2020  දී ගෝඨාභය නිශ්චිත වශයෙන්ම බලයට පත්වන බව විශ්වාස කරන අතර එම නිසාම දෙමල හා මුස්ලිම් ජනතාව භීතියට පත්වී තිබේ.

එම කාරණාව පදනම් කරගෙන විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම කෑලි කෑලිවලට කැඩී තිබේ. කෙසේ නමුත් ලැබෙමින්  පවතින ආරංචි අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටිනුයේ කිසිදු රාජපක්ෂ වරයෙකු හා බලය බෙදා හදා ගන්න ස්ථාවරයක නොවන අතර එතුමන්ගේ ස්ථාවරය වන්නේ රාජපක්ෂ කෙනෙකු හෝ තම පිලෙහි කෙනෙකු 2020 ජයග්‍රහණය කිරීම නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතයට මෙන්ම තමන් විසින්, තමන් වෙනුවෙන් රටේ ගොඩනැගී ඇති දේශපාලන බලවේගය අවසන් වීමක් ලෙසය. එබැවින් මහින්ද රාජපක්ෂ කල්පනා කරනුයේ එක්කෝ නාමල් රාජපක්ෂ නියමිත වයස හා පරිනත බව ලැබෙන තුරු විපක්ෂය තුල ගත කල යුතුය. නැතහොත් ජී. එල් පීරිස් වැන්නෙකු යොදාගත යුතු බවයි. කෙසේ නමුත ගෝඨාභයගේ නැගීමත්, බැසිල්ගේ සංවිධාන ශක්තියත් මත දේශපාලන හැඩගැස්ම ගොඩනැගී ඇති මේ මොහොතේ මහින්ද රාජපක්ෂගේ සුරක්ෂිත තෝරාගැනීම වන්නේ ශිරාන්ති රාජපක්ෂය. එය නාමල්ගේ දේශපාලනයට මහින්දට දිය හැකි හොදම සුරක්ෂිත කරගැනීම වේ.

රාජපක්ෂ වරුන්ගේ දේශපාලනයේ ඇති සුවිශේෂී තත්ත්වය වන්නේ මුළු දේශපාලන වැඩසටහනේම පදනමද වන්නේ ඔවුන්ගේ පවුල වටා වන අතර එයිනුත් වඩාත් සාර්ථක හා වියයුතු ලෙස සලකනු ලබන්නේ රාජපක්ෂ වරුන්ගේනුත් ශ්‍රේෂ්ඨම වියයුත්තේ මහින්ද රාජපක්ෂගේ න්‍යෂ්ටික පවුල බවයි. එම පවුලේ මුළු විශ්වාසය ඇත්තේද, සම්පුර්ණ දේශපාලන පෙළගැස්ම ඇත්තේද මහින්ද රජපක්ෂ වෙනුවෙන් බවත් එහි ප්‍රතිලාභ ලැබිය යුත්තේ එම පවුලට බවත්ය. ඉන්පසු අවශේෂ රාජපක්ෂවරුද, වීරතුංගලාද, අනෙකුත් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමද වේ. රාජපක්ෂ වරුන්ගෙන් පිටත අයෙකුට දේශපාලන සාර්ථකත්වය කෙසේ වෙතත් විජේරාම නිවසේ ආලින්දයේදී මහින්ද රාජපක්ෂ මුණගැසුණු විට වාඩිවීමට පුටුවක්වත් නොලැබේ. මුහුණු පොතේ පලවන රාජපක්ෂ වරුන් හමුවන විපක්ෂයේ දේශපාලකයින්  සියල්ලෝම ඔහු සමග කතා කරනුයේ හිටගෙනය. අඩුම තරමින් අබාධිතයකුට (අනුගාමික ) වුවද වාඩිවීමට පුටුවක් රාජපක්ෂ වරුන්ගේ විජේරාම නිවසේදී නොලැබේ. එවැනි තත්ත්වයක් තුල අපට කිවහැක්කේ අනිවාර්යෙන්ම ශිරන්ති රාජපක්ෂගෙන් තොර විකල්පයක් පිළිබදව ඔවුන් නොසිතන බවය.

එහිදී 2020 ගොඩනැගෙනුයේ ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන ශිරන්ති රාජපක්ෂත්, බොහෝවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කිරීමට යොදා ඇති අපේක්ෂකයාත්, එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයාත් අතර තුන්කොන් තරගයකි. සුපුරුදු ලෙස සිංහල ඡන්ද තුනට බෙදීයන වාතාවරණයක් තුල ජනාධිපතිවරණය ජය ගැනීමටනම් ඕනෑම අපේක්ෂකයෙකු උතුරු නැගෙනහිර දෙමල ඡන්ද හා මුස්ලිම් ඡන්ද දිනාගත යුතු වේ. එසේ නොවන අපේක්ෂකයෙකුට 2020 ජය ගැනීමට ඇති ඉඩ ඉතා අඩුවේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙල මෙන්ම එම පක්ෂයේ නායකයින්ගේ පැවැත්ම තීරණය වන්නේ දකුණේ සිංහල ඡන්ද මෙන්ම උතරේ දෙමල ඡන්දද, රටේ මුස්ලිම් වරුන්ගේ ඡන්දද දිනගත හැකි හැකියාව මතයි. 2020  අපේක්ෂකයා තවම නම්කර නැති වුවද එක්සත් ජාතික පක්ෂය එහි නායක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉදිරිපත් කිරීමට බොහෝ විට ඉඩ තිබේ. මන්ද ඔහු තරම් සුළු ජාතික ඡන්ද වලට බලපෑමක් කල හැකි දේශපාලන නායකයෙකු රටේ මේ මොහොතේ නොමැති බැවිනි. ඔහු තරගයට නොපැමිණෙන මොහොතක සජිත්, නවීන්, අකිල හෝ අජිත් පී පෙරේරාට වුව එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකත්වය හිමිවීමට ඉඩ තිබේ. මන්ද එක්සත් ජාතික පක්ෂය යනු සංවිධිත පක්ෂයක් වන අතර එහි ඕනෑම කෙනෙකුට එම මොහොතේ පවතින තත්ත්වය හා අවශ්‍යතාවය අනුව අවස්ථාව ලැබිය හැකිය.

අවසාන වශයෙන් කිව හැක්කේ රටේ දේශපාලනයට ශිරන්ති රාජපක්ෂගේ ආගමනය කෙතරම් බලපෑමක් කරනු ඇතිදැයි කීමට තවමත් කල් වැඩි නමුත් මේ රටේ ජන හද ගැස්මෙහි තීරණය උරගා බැලීමට සියල්ලන්ටම අවස්ථාවක් ලැබෙනු ඇත.

Sunday, June 10, 2018

විපක්ෂයේ බෙදීම්

ලංකාවේ දේශපාලනය තුළ පසුගිය සතියේ දැකගත හැකි වූ ප්‍රධානතම ලක්ෂණය වන්නේ විපක්ෂයේ කණ්ඩායම් අතර සිදුවෙමින් පවතින තීරණාත්මක බෙදීමයි. මෙම බෙදීම වඩාත් ප්‍රදර්ශනාත්මක ලෙස කලඑළියට පැමිණියේ නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ දී පවත්වන ලද රහස් ඡන්දයේදීය. මෙහිදී ප්‍රථමයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයාගෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විමසා සිටියේ ඔවුන් විසින් කවුරුන් හෝ නියෝජ්‍ය කථානායකවරයා ලෙස පත්කරන්නේද යන්නයි. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ කණ්ඩායම හා විපක්ෂය නියෝජනය කරන කණ්ඩායමේ පිළිතුර වී තිබුණේ ඔවුන් විසින් අපේක්ෂකයෙකු නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ඉදිරිපත් නොකරන බවයි. මේ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් මොණරාගල පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි මහතා යෝජනා කරනු ලැබීය. ඉන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත් වූ කණ්ඩායම මගින් ඉදිරිපත් කරනු ලැබුවේ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණියයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂයේ කණ්ඩායම හා ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම එකතු වූ විට එම පිලට අඩුම තරමින් ඡන්ද 70 ක් හෝ ලැබිය යුතුව තිබුණ ද ඔවුන්ට ලබාගත හැකි වූයේ ඡන්ද 53 ක් පමණි. මේ අනුව ඒකාබද්ධ විපක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන් වූ පිලේ විශාල කණ්ඩායමක් ඡන්දය පාවිච්චි නොකර තිබුණි. එම සංඛ්‍යාව මන්ත්‍රීවරු 18 ක් පමණ වේ. ප්‍රධාන වශයෙන් රාජපක්ෂවරු සියලු දෙනාම පාහේ එම ඡන්දයෙන් වැළකී සිටියේය.

ඒකාබද්ධ විපක්ෂය තීරණාත්මක ලෙස දෙකට බෙදී ඇත්තේ බැසිල් පිල හා ගෝඨාභය පිල ලෙසිනි. මෙහිදී බැසිල් පිල විසින් ගෝඨාභය පිල පෙර සිදුකරනු ලබමින් පවතින දේශපාලනය තීරණාත්මක ලෙස විවේචනය කරනු ලබයි. ගෝඨාභය පිල විවේචන නොකර ද ඒකාබද්ධ විපක්ෂය විසින් ගොඩනගා ඇති ජන බලය ඔවුන් මතට යොමු කර ගැනීමේ විශේෂ ව්‍යාපෘති ගණනාවක් දියත්කර තිබේ. ගෝඨාභය පිල, සිංහල බෞද්ධ බලවේග මත විශේෂ නැඹුරුවකින් කටයුතු කරන ආකාරය දැකිය හැකි අතර එමගින් සිංහල බෞද්ධ ඡන්දවලින් 70% කට වඩා ගනිමින් ජයග්‍රහණය කළ හැකි යැයි ඔවුන් තක්සේරු කර තිබේ. එම මතය කෙතරම් දුරට සමාජගතවී ඇත්තේද යත් ගෝඨාභය රාජපක්ෂ වටා එක්තරා ආකාරයක දේශපාලන බල කේන්ද්‍රයක් ද ගොඩනැගී තිබේ. කෙසේ වුවද සිංහල සමාජය තුළින් විශාල විරෝධයක් ගෝඨාභය කෙරෙහි එල්ලවී ඇති අතර එයට බලපානු ලබන ප්‍රධානම ප්‍රශ්නය වන්නේ ගෝඨාභය රාජපක්ෂව, රාජපක්ෂ රෙජීමය පැවති කාලයේ ගෝඨාභය රාජපක්ෂ විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී හා සමාජ විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් මේ රටේ සිවිල් සමාජය තුළ පවතින විශාල විරෝධය හා භීතියයි. එමනිසා ඉදිරි ජනාධිපතිවරණයේදී අනිවාර්යෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ මෙම ක්‍රියාකලාපය එළියට ඇදී එන අතර ඒ වෙනුවෙන් විශාල සමාජ විරෝධයක් ගොඩනැඟීමට ඔවුන්ට එරෙහිව ඇති බලවේග ක්‍රියාත්මක වනු ඇත.

ඒකාබද්ධ විපක්ෂයේ මෙම බෙදීයාම විශේෂයෙන්ම පෙනී යන්නේ විමල් වීරවංශගේ ක්‍රියාකලාපය තුළිනි. විමල් වීරවංශ කල්පනා කරනුයේ රාජපක්ෂවරු සතු වූ මෙම ජන බලවේගය ගොඩනගන ලද්දේ ඔහු හා උදය ගම්මන්පිල විසින් බවයි. ඔවුන් මෙම බලවේග ගොඩනගන අවස්ථාවේදී දැනට මෙම බලවේග සදහා නායකත්වය දෙන බැසිල් රාජපක්ෂ මෙන්ම ගෝඨාභය රාජපක්ෂද, මහින්ද රාජපක්ෂද විවෘත දේශපාලනයෙන් මිදී හුදකලාව සිටි අතර විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල විසින් ආරම්භ කරන ලද මහින්ද සුළඟ වැඩසටහන මගින් නැවත මෙම දේශපාලන ව්‍යාපෘතිය ආරම්භ වූ බවත්, එමගින් ඔවුන්ගේ පක්ෂය ආරම්භ වූ බවත් විමල් වීරවංශගේ තක්සේරුවයි. එම වැඩසටහන ආරම්භ කරමින් විමල් විරවංශ අපේක්ෂා කරන ලද්දේ ඔහුට මහින්ද රාජපක්ෂ සතුව පැවති ජන ප්‍රසාදය නංවාගෙන ඔහුගේ පක්ෂයත්, ඔහු සතු බලවේගයත් ඉහළට ඔසවා ගැනීමයි. නමුත් සූක්ෂම දේශපාලනඥයින් වන රාජපක්ෂවරු විසින් ඉතාම දක්ෂ ආකාරයෙන් ඔවුන් සතු ජන බලය ඔවුන්ගේ පවුල කේන්ද්‍ර කරගත් දේශපාලන වැඩසටහනකට ගොනුකර ගැනීමට සමත්විය. මෙම තත්ත්වය විමල් වීරවංශ ප්‍රමුඛ අවශේෂ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් හට ගෝචර නොවන අතර මොවුන් තුළින් බැසිල් විරෝධයක් උපදින්නේ එබැවිනි.

එම විරෝධය කෙතරම්ද යත් අඛණ්ඩව බැසිල් රාජපක්ෂ පිල ඒකාබද්ධ විපක්ෂයේම ගෝඨාභය පිලට දැවැන්ත ප්‍රහාරයක් එල්ලකරමින් තිබේ. බැසිල් රාජපක්ෂගෙන් හා ගෝඨාභය රාජපක්ෂගෙන් වියුක්ත වෙනම දේශපාලන වැඩසටහනක් විමල් වීරවංශ විසින් විපක්ෂ කණ්ඩායම් අතර ක්‍රියාත්මක කරමින් තිබේ. එම වැඩසටහන සඳහා වාසුදේව නානායක්කාරගේ, දිනේෂ් ගුණවර්ධනගේ සහයෝගය ද විමල් වීරවංශට ලැබී තිබේ. අනෙක් අතින් බැසිල් රාජපක්ෂ විසින් ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන වැඩසටහනේදි විමල් වීරවංශ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ එම නායකයින් හා මුළු මන්ත්‍රී කණ්ඩායම අවසානයේ නොතකා හරින තත්ත්වයකට පත්වී තිබේ. මෙය විපක්ෂ කණ්ඩායම් වල තිබෙන විශාලතම චෝදනාව හා අසහනයයි. විශේෂයෙන් එ්කාබද්ධ විපක්ෂය විසින් ජයග්‍රහණය කරන ලද පළාත් පාලන ආයතන වලට ප්‍රධානීන් පත්කිරීමේදී බැසිල් රාජපක්ෂ ක්‍රියාත්මකවන ලද්දේය. කිසිදු දේශපාලන නායකයකු පිළිබඳ අවධානයක් යොමු නොකර තමන් කැමති කණ්ඩායම් හා පුද්ගලයින් පමණක් පළාත් පාලන ආයතනවල නායකත්වයට පත්කිරීමට බැසිල් රාජපක්ෂ වගබලා ගත්තේය. එමගින් ඔහු විපක්ෂ දේශපාලන බලවේගය ග්‍රාමීය මට්ටමෙන් සම්පූර්ණයෙන්ම පාහේ අත්පත් කරගැනීමට සමත් විය.

Sunday, June 3, 2018

විධායකය අහෝසි කිරීම

ලංකාවේ දේශපාලනය තුළ පසුගිය සතිය ඉතා තීරණාත්මක වේ. එයට බලපෑ විශේෂම හේතුව වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමයි. එය ඉදිරිපත් කිරීමට මූලික වූයේ ජනතා විමුක්ති පෙරමුණයි. ජනවාරි අට වැනි දා ආණ්ඩු පෙරළියට පාදක වූ දින සීයේ වැඩසටහන මගින් යෝජනා කර තිබූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව පදනම් කර ගෙන ජනතා විමුක්ති පෙරමුණ මගින් මෙම විසිවන සංශෝධනය ඉදිරිපත් කර තිබේ. නමුත් මාගේ පවතින එක තක්සේරුවක් නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පදනම් කොට ඉදිරිපත් කරන ලද මෙම විසිවන සංශෝධනය මගින් ඔවුන් විසින් රට අස්ථාවර කිරීමේ උපක්‍රමික යෝජනා ද ඉදිරිපත් කොට ඇති බවයි. විශේෂයෙන් ඔවුන් විසින් ඉදිරිපත් කොට ඇති විසිවන සංශෝධනය මගින් ඔවුන් ප්‍රධාන පක්ෂ දෙකෙහි නායකයින් අමතක කොට තිබේ. එසේම වර්තමාන අග්‍රාමාත්‍යවරයා ඉලක්ක කොට ගත් විශේෂ යෝජනා කිහිපයක්ද විසිවන සංශෝධනයට අන්තර්ගත වී තිබේ. එවැනි තත්ත්වයක් තුළ එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය නැතිව එය දිනාගැනීමේ විශාල බාධාවන් පවතින බව මාගේ තක්සේරුවයි. ජනවාරි 8 වෙනිදා පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවට තවදුරටත් අටුවා ටීකා අවශ්‍ය නැත. නමුත් එම සත් කාර්යය ඉටුකිරීමේදී දේශපාලන පක්ෂ හෝ  අවිද්‍යාත්මක පුද්ගලයින් විශේෂ කොට ගනිමින් යෝජනා ඉදිරිපත් කිරීම එතරම් ගෝචර නොවන බව මාගේ අදහසයි. එවැනි අවිද්‍යාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මගින් සිදුවිය හැකි බරපතල වරද වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්බුදයන් ඇති වීමයි. එම නිසා දේශපාලන පක්ෂ වල උවමනා එපාකම් ඉටු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සිදුකිරීම අවිද්‍යාත්මක යෝජනා වන අතර එමගින් දීර්ඝකාලීනව රටට විශාල හානියක් සිදුවනු ඇත.

ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ සිටම සිදු කරන ලද වූ දේශපාලන ක්‍රියාවලීන් නිසාවෙන් රටට තිබූ බොහෝ අවස්ථාවන් අහිමි වූ බව මාගේ පවතින අදහසයි. විශේෂයෙන් විසිවන සංශෝධනය ඉදිරිපත් කිරීම තනි රටක් හැටියට නොව රටේ සියලුම දේශපාලන පක්ෂ ජනාධිපතිවරයාගේ කැමැත්ත ඇතිව සිදුකළ යුතු වුවද ඔවුන් ඒ පිළිබඳව පුළුල් සාකච්ඡාවක් නොකොට තනි මතයට ඔවුන් විසින් මෙම සංශෝධන ඉදිරිපත් කොට තිබේ. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දරන මතය කුමක්ද යන්න කීමට තවමත් කල් වැඩිය. නමුත් රාජ්‍යයක ජනාධිපති නොමැති අවස්ථාවක වැඩබැලීම සඳහා කතානායකවරයා යෝජනා කර සිටීමෙන් ජනතා විමුක්ති පෙරමුණේ අරමුණ පැහැදිලි වේ. එවැනි තත්ත්වයක් තුළ එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය දිනා ගැනීමට හැකියාවක් ඇත්දැයි සැක සහිතය.

අනෙක් ප්‍රධාන කාරණය වන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන්ට අවශ්‍ය කළ පරිදි තැටිය රත් වී තිබූ අවස්ථාව නොදැනීමේ ආදීනව රට මුහුණ දෙමින් තිබේ. එම නිසා ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලටම මේ අවස්ථාවේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම අවාසිදායක වන බවට මත පළවෙමින් තිබේ. එම නිසා විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය එම පක්ෂයේ දේශපාලන අනාගතයට වඩාත් හොඳ බව එම පක්ෂ අභ්‍යන්තරයේ විශ්වාසයයි. එම නිසා එම පක්ෂය රටේ පවතින දේශපාලන තත්ත්වය සලකා බලා ජනාධිපතිවරණයකට මුහුණදීමට සූදානම් වේ. විශේෂයෙන් විධායක ජනාධිපතිධූරය ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙකු විසින්ම විධායක ජනාධිපති ධූරය අහෝසි කරනු ඇතැයි මාගේ විශ්වාසයයි. විධායක ජනාධිපති ධූරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සිටිනුයේ එය අහෝසි කළ යුතුය යන තත්ත්වයේ නමුත් එය අහෝසි කිරීමේ ව්‍යවස්ථා සං⁣ශෝධන ඉදිරිපත්වීමේදී රට තුළ වෙනත් විශාල ප්‍රශ්න හා අර්බුද ඇතිවන්නේ නම් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සහයෝගය ලබාදීමට උනන්දු නොවනු ඇත. 

ඒ අතරම කිවයුතු අනිත් විශේෂිත කාරණය වන්නේ රටේ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඇති විශාලතම බාධාව වන ජනමාධ්‍යයන්ගේ අවිද්‍යාත්මක හැසිරීමයි. විශේෂයෙන් විද්‍යුත් ජනමාධ්‍ය හා සම්ප්‍රදායික මුද්‍රිත මාධ්‍යය රටේ දේශපාලනය සම්බන්ධයෙන් හැසිරෙනුයේ ඉතා අවිද්‍යාත්මක හා මුග්ධ ආකාරයටය. එමගින් රටට හා රටේ ආර්ථික දේශපාලන සමාජයීය ප්‍රතිසංස්කරණ වලට සිදුවන හානිය මෙතෙකැයි කිව නොහැකිය. විශේෂයෙන් පසුගිය දිනවල රටේ විද්‍යුත් මාධ්‍ය වල දිගින් දිගටම තීරණාත්මක ලෙස ප්‍රචාරය කරමින් තිබෙන දේශපාලන කාරණා තුළින් රටටත් දේශපාලනඥයින්ටත් කිසිදු ප්‍රයෝජනයක් නොවන අතර එමගින් දේශපාලන ක්ෂේත්‍රය පිළිබඳව රටේ ජනතාව අතර ඇති විශ්වාසය බිඳ වැටෙනු ඇත. රටක දේශපාලන කණ්ඩායම් අතර විශ්වාසය ජනතාව තුළින් බිඳ වැටුනු විට සිදුවනුයේ කාටවත් කිසිවෙකුටත් පිහිට විය නොහැකි විශාල අර්බුදයකි. විශේෂයෙන්ම මෙවැනි තත්ත්වයක් තුළ රටක් අරාජිකවීම කිසිවකුටත් වැළැක්විය නොහැකිය.

අවසාන වශයෙන් කිව යුත්තේ අද රට මුහුණදී තිබෙන තත්ත්වයෙන් ගොඩ ඒමට නම් රටේ සියලුම දේශපාලන පක්ෂ ද මෙම සියළුම දේශපාලන නායකයින් ද සිවිල් සංවිධාන ද එම සංවිධානයේ ක්‍රියාකාරිත්වය ද ජනතාවද රාජ්‍ය නිලධාරීන්ද කැපවීමෙන් උනන්දුවෙන් හා බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවයි. විශේෂයෙන් මෙහිදී ආණ්ඩුව විසින් තමන්ට ලැබුණු ජනවරමට අනුව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වන අතර එම ජනවරමට පිටුපෑම අනාගතයේදී බරපතළ දේශපාලන ප්‍රතිඵලයන්ට මුහුණ දීමට හේතුවක් වනු ඇත. එය සම්බන්ධව අවබෝධයෙන් කටයුතු කිරීම සියලුම දේශපාලන පක්ෂවල වගකීමකි.