Monday, August 7, 2017

මංගලගෙන් උගනිවු





දීර්ඝ කාලයක් විපක්ෂයේ ගතකොට ආණ්ඩුවට ආ එක්සත් ජාතික පක්ෂයට හා ඒ මැති ඇමතිවරුන්ට මෙන්ම එම පක්ෂයේ අභ්‍යන්තර කටයුතු කරන්නන්ට විපක්ෂයේ කටයුතු පිළිබද කෙතරම් අත්දැකීම් තිබුණද පක්ෂය කළමණාකරනය පිළිබද දැනුම හා හැකියාව තිබුණද, ආණ්ඩුකරනය පිළිබද දැක්මෙහි හා හැකියාවෙහි විශාල තාක්ෂණික දුර්වලතා ඇති බව පෙනී යයි. සැබවින්ම මේ ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ පාර්ශවයේ නායකයින්ගෙන් ආණ්ඩු මාරුවෙන් පසු, පසුගිය රෙජීමයේ උගුල් වලට හසු නොවී යථාර්තවාදී දේශපාලනයක නිරත වෙමින් සාර්ථක වූ නායකයින් අතළොස්ස අතර මංගල සමරවීර ප්‍රධානයි. මංගල සමරවීර පිළිබද බොහෝ දේ කීමට පෙර කිවයුතු ප්‍රධාන දේ නම්, ආණ්ඩුකරනයේ මූලික පදනම පිළිබද මනා අත්දැකීමක් හා දැනුමක් මංගල සමරවීර සතු බවයි.

මංගල සමරවීර මා හට මුණ ගැසී ඇත්තේ ඉතාම මෑතදී කිහිප වතාවක් පමණි. 2015 ජනවාරී 8 වෙනිදාට පෙරත්, ඊට පසුත් ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ මංගල සමරවීරගේ භූමිකාව අතිශය තීරණාත්මකයි. එවැනි තීරණාත්මක දේශපාලන චරිතයකට තිබිය යුතු යැයි ශ්‍රී ලංකාවේ දේශපානඥයින් සිතන ප්‍රදර්ශනකාමී උත්කර්ශය මංගල සමරවීරගෙන් දැකිය නොහැක. ජනවාරි 8 වෙනිදාට පෙර වර්තමාන ආණ්ඩුව ජනතාවට පොරොන්දු වී ලබාගත් ජනවරමේ පදනම වන්නේ යහපාලනයයි. ඒ තුළ පොරොන්දූ වූ දේශපාලනඥයාගේ චරිත ලක්ෂණ වර්තමාන ආණ්ඩුවේ ඉහළ දේශපාලනඥයින් අමතක කර ඇත්නම් ඔවුන් පරිවාර රථ පිරිවරාගෙන මහ මාර්ගයේ යන්නේ නම්, පොලිස් නිලධාරීන් වටකරගෙන ආරක්ෂක පෝබියාවකින් පෙළෙන්නේ නම්, මහජන මුදල් හොරකම් කරන්නේ නම්, තමන්ට උදව් පදව් කළ පාක්ෂිකයින් ළගාකර ගැනීම කරදරයක් ලෙස සලකන්නේ නම්, බලහත්කාරයෙන් පාක්ෂිකයින්ගෙන් ගෞරවය බලාපොරොත්තුවන්නේ නම්, යාළු හිතමිතුරන් හා නෑදෑයින් හට තමන්ගේ බලය භුක්ති වීදිමේ හෝ භාවිතා කිරීමේ ප්‍රවේණි භුක්තියක් ඇතැයි සිතන්නේ නම්, ඔවුන් ජනවාරි 8 විප්ලවයට දායක නොවූ එහි න්‍යායාත්මක පදනම පිළිබද අවබෝධයක් නැති දේශපාලනඥයෝය. ඔවුන්ට මෙම ආණ්ඩුව තුළවත් වර්තමාන දේශපාලනය තුළවත් පැවැත්මක් නොමැති වන්නේය. හේතුව ඔවුන්ට ජනවරම පිළිබද අවබෝධයක් නොමැති වීමයි. ඔවුන්ගේ දේශපාලන ජීවිත අසතුටින්, අපකීර්තියෙන්, අගෞරවයෙන් විනාශය කරා ළගා වන්නේය. ඒ වෙනුවෙන් කටයුතු කිරීමට රාජපක්ෂ රෙජීමයෙන් ඔවුන්ට උරුම වූ වැරදි ආකල්ප සහිත නිලධාරීන් පැලැන්තියක්ද, රාජ්‍ය යාන්ත්‍රණයක්ද, හොරු රැළක්ද සිටී. ඔවුන් පාක්ෂිකයාට හෝ පක්ෂයේ කැපවීම කළ මිනිහාට හෝ ගැහැණියට වඩා බොහෝ සැප පහසුය. පඩුරු පාක්කුඩම් පුදයි. රසබර කතා කියයි. සාද පවත්වයි, ලිංගික අල්ලස් දෙයි, හොදින් අදියි, හොදින් කයි, හොදින් රමණය කරයි. එවන් මිතුරු සමාජයක් හෝ නෑදෑ පිරිවරක් ධනයක් අනිවාර්යයෙන්ම ඊනියා අනාගත දේශපාලන බලාපොරොත්තු දල්වයි. දේශපාලන ජීවිතය එහිදී සුරක්ෂිත බව පෙන්වයි. නමුත් රාජපක්ෂ රෙජීමය පරදවා දැන් වසර දෙක හමාරකි. එම රෙජීමයේ පැවැත්ම තීන්දු කළ සාධක වලට මේ ආණ්ඩුවේ හෝ වර්තමාන ජන සමාජයේ පැවැත්මක් නැත. ප්‍රචාරය හෝ දේශපාලන බලය සම්ප්‍රදායික මාධ්‍ය මෙහෙය වූ කාලය අවසන්ව ඇත. මේ තොරතුරු ජලය මෙන් සුලභ කාලයයි. තනි මිනිසුන් ස්වාධීනව ජනමතය හසුරවන අන්තර්ජාල යුගයයි. මහත්වරුණි ප්‍රවේශම්වන්න මංගලගෙන් ඉගෙන ගන්න.

මංගලගෙන් ඉගෙන ගත යුත්තේ කුමක්ද? මංගල සමරවීර මෙම ආණ්ඩුව බලයට පත්කිරීම සදහා තීරණාත්මක කාර්යභාරයක් කළ දේශපාලන නායකයයින් කිහිප දෙනා අතර දේශපාලන සත්ත්වයා බවට අවවාධිතය. ජනවාරි 8 වෙනිදාට පෙර දේශපාලනය මෙහෙය වූ මහ පොළවේ දේශපාලනඥයා ඔහුයි. රාජපක්ෂලාට වැඩිම වෛරයක් ඇත්නම් ඒ කිසිවෙකුත් සමග නොව මංගල සමරවීර සමගයි. නමුත් මංගල සමරවීර තමන්ට හිමි නිල ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනා සමග නිල වාහන වලින් සාමාන්‍ය මිනිසුන් මෙන් ගමන් බිමන් යයි. ඔහුට ආරක්ෂක පෝබියාවක් නැත. ඔහු ඇසුරු කරන ඔහු ගණුදෙනු කරන කණ්ඩායම ඉතාම සැප පහසු ලෙස ඔහු සමග ගණුදෙනු කරයි. නමුත් ඊයේ පෙරේදා ඇමතිවරු වූ මහත්වරුණි අල්ලපු ගෙදර එකාටවත් වෛරයක් ඇති නොවන හිගන්නන් වන ඔබට මෙතරම් ආරක්ෂකයින් කුමටද? ඔබට සේවය කරනවුන් ඔබට බියක් දක්වන්නේ නම් ඔබ යන්නේ වැරදි පාරේය. එම මාර්ගය වැටී ඇත්තේ විනාශයටය. එය අද සිදුනොවුනද හෙට අනිවාර්යයෙන් සිදුවණු ඇත. ඒ නිසා මංගල දෙස බලන්න, මංගලගෙන් ඉගෙන ගන්න.

දින 100 ආණ්ඩුවේ විදේශ ආමාත්‍යංශය මංගලට දෙනවිට එය අවුල් ජාලාවකි. එම අවුල රට ජාත්‍යන්තර උගුලකට හසු කර තිබුණේය. මංගල සමරවීර දින 100 ආණ්ඩුව අවසන් වනවිට එම අවුල් වලින් විශාල ප්‍රමාණයකින් රට මුදවාගෙන තිබුණි. එම සාර්ථකත්වයේ ගෞරවය ඔහු ලබා ගන්නවා වෙනුවට ඔහුට ඒ සදහා ආශිර්වාද කළ උපදෙස් ලබාදුන් ශක්තිය ලබාදුන් එම කාර්යය ඔහුට පවරා දුන් ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් ලබා ගැනීමට ඉඩ ප්‍රස්තාව ලබාදුණි. ඔහු එම කාලය තුළ විදේශ අමාත්‍යංශය දේශපාලනීකරණය නොකිරීමට ප්‍රවේශම් විය. ඒ සදහා සුදුසු පුද්ගලයින් පමණක් තෝරා බේරා ගනිමින් කිසිවෙකුගේත් උගුල් වලට හසු නොවෙමින් එම වැඩපිළිවෙල ඉතාම සාර්ථක ලෙස සිදුකළේය. මංගල සමරවීර යනු නායකයෙකුට විශ්වාසය තබා වැඩක් බාරදිය හැකි දේශපාලනඥයෙකි. ඔහු එවන්නෙක් වුවද මේ ආණ්ඩුවේ අලුත් ඇමතිවරු තම අමාත්‍යාංශ ආණ්ඩුකරනයේදී නිලධාරීන්ගේ ලණු කමින් හත්පොළේ ගා ගනිමින් සිටී. තම හත්මුතු පරම්පරාවේ නෑදෑයින් අමාත්‍යංශ වලට වද්දා ගනිමින් අමාත්‍යංශ අවුල් ජාලයන් බවට පත්කරගෙන තිබේ. එම ඇමතිවරු එළිපිට හෙළුවෙන් නටති. ඔවුන් පිළිබද තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්බොක්ස් තුළත් සාකච්ඡා මණ්ඩප තුළත්, ප්‍රසිද්දියේත් දිනපතා හුවමාරු වෙති. ඔවුන්ට හිනා වෙති. අපහාසයට උපහාසයට ලක් කරති. මහත්වරුණි ඔබේ අමාත්‍යංශවල කටයුතු කරනුයේ ඔබට අමාරු කාලයේ ඔබ ළග සිටි ඔබට විය පැහැදමට මුදල් දුන් ඥාතී හිතමිත්‍රාදීන් නම් ඔබ ඉන්නේ විනාශයට යන මාවතේය. මන්ද යහපාලන ආණ්ඩුවේ පදනම හා ජනවරම වෙනස්ය. ඔබ අද පැවතුණද හෙට විනාශවනු ඇත. මංගලගෙන් ඉගෙන ගන්න, තමන්ට අදාළ කටයුතු නිවැරදි ලෙස නිවැරදි මිනිසුන් සමග කරන්න.

මංගල සමරවීර නිවැරදි මිනිසුන් කාර්යයන් සදහා තෝරා ගැනීමේ විශේෂඥනතාවයක් දක්වයි. ඒ සදහා ඔහුගේ පෞද්ගලික කියවීමක් ඇතිබව පෙනේ. ඔහු ඇන්දවීමට හැකි කිසිවෙකුත් ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ නොමැති බව මාගේ පෞද්ගලික තක්සේරුවයි. ඔහු මුදල් හා ජනමාධ්‍ය ඇමති වූ පසු ඔහු සමග කටයුතු කරන කිසිවෙකුත් ඔහු විදේශ ඇමති යුගයේ එම අමාත්‍යංශයට වද්දා නොගත්තේය. එසේම එම යුගයේ ඔහු සමග වැඩ කළ නිලධාරීන්, වර්තමාන අමාත්‍යංශයට රැගෙනවිත් අවුල් ජාලාවක් කර නොගත්තේය. ඔහුට බැලූ බැල්මට ඉතාම හොද දේශපාලන නාඩියක් තිබේ. එම දේශපාලන නාඩිය මහා පොළවේ සිටු වීමට තරම් බුද්ධිමත්, නිර්මාණශීලී හැකියාවක් හා උනන්දුවක් තිබේ. මෙතරම් බාධා, තර්ජන, ගර්ජන තිබියදීත් මංගල සමරවීරගේ පැවැත්ම තීරණය වූයේ එම සාධකයයි. එසේම ඔහුගේ ජීවිතයේ පෞද්ගලිකව පවත්වාගෙන යන සරළ බව අවශ්‍ය වේලාවට ගණුදෙනු කළ හැකි නිහතමානී බව එඩිතර බව ඔහුගේ ජීවිතයේත්, ආණ්ඩුවේ පැවැත්මත් ස්ථාවර කොට තිබේ.

මහත්වරුණි තව බොහෝ දේ කීමට ඇති නමුත් කිවයුත්තේ ආණ්ඩුකරනය මංගලගෙන් ඉගෙන ගන්න, මංගල වගේ වෙන්න, ඒක පට්ට.

No comments:

Post a Comment