Sunday, August 13, 2017

දඩයක්කාරයා දඩයම වීමේ ඉරණම


යහපාලන ආණ්ඩුවේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය වන්නේ 2015 ජනවාරි 08 වැනිදාට පෙර ලංකාවේ ස්ථාපිතව තිබු සමාජ, ආර්ථික හා දේශපාලනික තත්ත්වයන් වල වෙනස්කමක් ප්‍රගතිශීලී ලෙස සිදුවී ඇත්නම් පමණි. දැවැන්ත ධනයක් සංවිධාන ශක්තියත් හා බලයක් මෙන්ම ජාතිකවාදී න්‍යායන් යොදා ගනිමින් රාජපක්ෂ රෙජීමය අයෝමය හස්තයකින් පාලනය කරන ලද ලාංකික සමාජය හා එම බලවේග ජනවාරි අට වැනිදා ශ්‍රී ලාංකික සිවිල් සමාජයත්, එක්සත් ජාතික පක්ෂයත්, මධ්‍යම පන්තියත්, ලාංකික සුළු ජන කොටසුත් විසින් තීරණාත්මක ලෙස පරාජය කරන ලදී. එසේම එම බලවේග වලට තවදුරටත් රාජපක්ෂ රෙජීමයේ අගතිගාමී වැඩ පිළිවෙල ක්‍රියාත්මක වන දැකීමට අපේක්ෂාවක් නැත.යථාර්තය එය වුවත් ශ්‍රී ලාංකික රජයේ අභ්‍යන්තරය රාජපක්ෂ අවතාර වලින් කුණු වී ගඳ ගහන නරා වලක් බවට පත්ව තිබේ. එම නිසාම යහපාලන බලාපොරොත්තු සහිත බලවේග එක්තරා ආකාරයකට අපේක්ෂා භංගත්වයකට පත්ව තිබේ. එසේ වුවද තවමත් එම බලවේගයන්ගේ බලාපොරොත්තුව මෙම තත්ත්වයන් නිවැරදි වනු ඇති බවයි.

ජනවාරි 8 වනදාට පෙර රාජපක්ෂ රෙජීමයේ බලකණු අතර ප්‍රධාන බලකණුවක් වුයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත්ය. ඔහු විසින් ශ්‍රී ලාංකික ආර්ථිකයේ මර්මස්ථාන ගණනාවක් පරිපාලන නිලධාරී කුඩාබාලගේ සමග සියතට ගෙන තිබුණි. මහජන බැංකුව, ශ්‍රී  ලංකා රක්ෂණ සංස්ථාව හා එම ආයතන දෙකෙහි අනුබද්ධිත සමාගම් විශාල සංඛ්‍යාවක් ඔවුන්ගේ සියතට ගෙන එම ආර්ථික අධිරාජ්‍ය ගොඩනගා තිබුණි. එම ආයතන තුල සිදුවී ඇති මුල්‍ය වංචා වල දල වටිනාකම ඩොලර් බිලියන 1.9ක් බව නීති උපදෙස් පතා  නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති නඩු ගොනු වල සඳහන් වේ. නමුත් මෙහි අපුර්වත්වය වන්නේ අද වනතුරුත් ගාමිණි සෙනරත් මහතා හෝ කුඩා බාලගේ මහතා අත්අඩංගුවට පත්වී නොමැති වීමයි.  ඔවුන් හට නඩු පැවරීමක්ද කර නොමැත. කුඩා බාලගේ සතුව අයුතු ලෙස උපයා ගත් විශාල මුදල් ප්‍රමාණයක් හා ගිණුම් පිළිබඳ වාර්තා පල වුවත් ඒවා හුදු ප්‍රවෘත්ති බවට පත්ව තිබේ. ලැබෙමින් පවතින තොරතුරු අනුව ගාමීණී සෙනරත්ගේ ව්‍යාපාර හා වැඩසටහන් තුල  වර්තමාන රජයේ හිටපු මහ බැංකු අධිපති කුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන්ගේ සිට ඇමතිවරු දක්වා විහිදුනු සම්බන්ධතා ජාලයකි. එසේම ආණ්ඩුවේ වැදගත් අමාත්‍යාංශය බොහොමයක ලේකම්වරු හා අතිරේක ලේකම්වරු ගාමිණි සෙනරත්ගේ ආර්ථික හා පරිපාලන මාෆියාවේ කොටස් කාරයෝ වෙති. එම අනුහසින් අදත් ගාමිණි සෙනරත් නිරුපද්‍රිතව යහතින් රටතුල ජීවත් වෙයි. නමුත් ඔහු යන එන තැන් වලදී ඔහුගේ පිටුපසට පල්හොරෙක් යැයි කියමින් මධ්‍යම පාන්තිකයෝ සිනහ වෙති.

යෝෂිත රාජපක්ෂ නාවික නිළධාරියකු සිට රාජ්‍ය සේවයේ ව්‍යවස්ථාවද බිඳ දමා කාල්ටන් මාධ්‍ය ආයතනය ගොඩනගා රජයට රුපියල් බිලියනයක පමණ පාඩුවක්ද  උපයාගත් ආකාරය හෙලි කල නොහැකි රුපියල් මිලියන 600ක් පමණ  ආයෝජනයන්ද  කොට අදත් නිරුපද්‍රිතව දැහැමින් සෙමින් වැජඹේ.  ඔහුට විරුද්ධව නඩු පැවරුවද නීතිපති දෙපාර්තමේන්තුව වංගුවක් දමා මාධ්‍ය ආයතනය වසා දමා ඔහුට ගැලවී යාමට ඉඩ ලබා දුන්නේය. එසේම ඔහුමත පවරා ඇති අනෙකුත් සියළුම නඩු ගොනු නීතිපති දෙපාර්තමේන්තුවේ සොයාගත නොහැකි තැනක අස්ථාන ගත වී යැයි සිතිය හැකි තරම් කාලයක් ගත වී තිබේ. මෙම රජයේ නිල කාලය අවසන් වන තුරුවත් එම නඩු ගොනු නැවත පැමිණය හැකියැයි සිතිය නොහැක. නීතිපති දෙපාර්තමේන්තුව යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය අරුම පුදුමය. තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් නඩු පවරා ඇති ආකාරය එයට හොඳම උදාහරණයයි. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කැකිල්ලේ තීන්දුවකි. අපරාධකාරයා වෙනුවට අපාරධය සැඟවුවායැයි යනුවෙන් සඳහන් කොට පොලිස් නිලධාරීන් ගණනාවක් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කරමින් සිටී. එම අපාරාධය සැඟවු අයට එරෙහිව කටයුතු කල යුතු වුවත් අපරාධ කරුවන්ටද නඩු පැවරිය යුතුය. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව කැකිල්ලේ රජු කටයුතු කල ආකාරයට වැඩ කටයුතු වල යෙදෙමින් සිටී.

වර්තමාන රජය විසින් පසුගිය රජයේ මහා පරිමාණ දූෂණ වංචා හා අල්ලස් සම්බන්ධ ලිපි ගොනු 87ක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති අතර වසර දෙක හමාරකට පසු එම වැඩ කටයුතු අවසන් කොට චෝදනා ගොනු කර ඇත්තේ නඩු ගොනු පහලොවකට පමණි. මෙවැනි තත්ත්වයක් උඩ හිතාමතා හෝ ස්වාභාවිකව ආකාර්යක්ෂම නීතිපති දෙපාර්තමේන්තුවක් සහිත රටකට ජනතාවගේ යහපාලන අභිලාෂයන් ඉටු කල හැකිද?

නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය පිළිබඳව අරුම පුදුම සොයා ගැනීම් සිදු කිරීමට අවශ්‍යනම් කල යුත්තේ එම දෙපාර්තමේන්තුවේ සේවය කරන අයගේ ෆේස් බුක් ගිණුම් වෙත පිවිසීමයි. එම ගිණුම් තුල රාජපක්ෂවාදී ප්‍රචාරක පෝස්ටර් හා රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතියට අදාල තොරතුරු වලින් පිරි තිබෙයි. රාජපක්ෂ රෙජීමය පැවති සමයේ නීතිපති දෙපාර්තමේන්තුවත් අධිකරණ පද්ධතියත් සම්පුර්ණයෙන්ම පාහේ රාජපක්ෂකරණය කොට තිබු අතර ඔවුන්ගෙන් යහපාලන බලාපොරොත්තු ඇති කර ගත නොහැකි බව රජයටද අවබෝධ වෙමින් තිබේ.

මෙම තත්ත්වය නිතිපති දෙපාර්තුමේන්තුවට පමණක් ආවේණික තත්ත්වයක් නොවන අතර රටේ බොහෝ දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශවල තත්ත්වය එයම වේ. නමුත් දක්ෂ ඇමතිවරුන් කටයුතු කරන අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වල මෙම භයානක තත්ත්වය වෙනස් කොට නිවැරදි මාවතට යොමු කර ගැනීමට හැකියාව ලැබී තිබේ. මේ සඳහා හොඳම උදාහරණය විදේශ කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය වැනි අමාත්‍යාංශ ගත හැකිය. ඒවායේ පාලනය මුලු මනින්ම පාහේ එම ඇමතිවරු විසින් යහපාලන රජයේ පාලනයට ගෙන තිබේ. එසේ ගෙන නොමැති අමාත්‍යාංශවල අර්බුද ඇතිකරමින් ඒවා ආකාර්යක්ෂම කිරීමට රාජපක්ෂ රෙජීමයේ නිලධාරීන් කටයුතු කරමින් සිටී. එහි ප්‍රතිඵලයක් ලෙස හොරු ඇල්ලීමට ආ ආණ්ඩුවේ පුරෝගාමීන් හොරු ලෙස හංවඩු ගැසීමට රාජපක්ෂ රෙජීමයේ  පට්ට හොරුන්ට හැකිවි තිබේ. සැබවින්ම එම තත්ත්වය දඩයක්කාරයා දඩයම බවට පත්වීමයි. මෙම තත්වය දේශපාලන බල ව්‍යාපෘතියක ඉතාම ශෝචනීය තත්වයක් වේ. ඉදිරි සති කිහිපය තුල වෙනස් කර නොගතහොත් ඉතාම ඉක්මනින් වර්තමාන රජය අභ්‍යන්තරයේ දැවැන්ත කැරැල්ලක් ඇතිවනු ඇත. කෙසේ වුවත් ලැබෙමින් පවතින ආරංචි අනුව නීතිපති දෙපාර්තමේන්තුව අයත් ඇමතිවරයාට එරෙහිව ආණ්ඩුවේම ජව සම්පන්න තරුණ මැති ඇමතිවරු පිරිසක් කටයුතු කරමින් සිටී. එය ජයග්‍රහණයකින් කෙලවර වනු ඇතැයි යහපාලන ලැදි ජනතාවගේ පැතුමයි.

No comments:

Post a Comment