Sunday, April 16, 2017

කුණු දේශපාලනයේ සිට ආර්ථිකය දක්වා අනුන්ගේ පව් ගෙවීම



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ ගෙවමින් සිටිනුයේ ඔහුගේ වෘත්තීය ජීවිතයේ අභියෝගාත්මක හා අපහසුම කාලපරිච්ඡේදයයි. ඔහු විසින් ශ්‍රී ලංකාවට යෝජනා කරමින් තිබෙන සමාජ, ආර්ථික හා දේශපාලනික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට කිසිදු අවස්ථාවක් මෙරට දේශපාලන ක්ෂේත්‍රයෙන්වත්, සමාජයෙන්වත් අඩුමතරමේ ස්වභාවධර්මයෙන්වත් නොලැබෙන තත්ත්වයක් තිබේ. දැනට වසර 17 කට පෙර මෙරට ජනාධිපති ධූරයට පත්වීමට නියමිතව සිටි ඔහු, එවකට තිබුණු දේශපාලන තත්ත්වය අනුව ප්‍රභාකරන් විසින් උදුරා ගනු ලැබුවා. එදා ඔහු විසින් යෝජනා කරන ලද සමාජ, ආර්ථික හා දේශපාලනික ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කළේනම් ලංකාවේ අද දවස මීට වඩා හාත්පසින්ම වෙනස්වීමට තිබුණි. අද මෙන් එදා අධික ණය බරක් නොතිබුණු අතර ලංකාවට දැවෙන ප්‍රශ්නයක්ව තිබුණේ උතුරු, නැගෙනහිර බෙදුම්වාදී යුද්ධය පමණි. එදා ඔහු බලයට පත්වූයේ නම් විසදිය යුතු සංකීර්ණම ගැටලුව වූයේ උතුරු, නැගෙනහිර යුද්ධය පමණි. අනෙකුත් සියලුම සමාජ, ආර්ථික, දේශපාලනික හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔහුට කිසිදු ගැටලුවකින් තොරව විසදිය හැකි වාතාවරණයක් රට තුළ තිබුණි. එම යුගයේදී ලෝකයේ නව ලිබරල් ප්‍රතිසංස්කරණ සදහා විශාල ඉල්ලුමක් තිබූ අතර අපට ඒ සදහා හොදින් ජාත්‍යන්තර සහයෝගයද ලැබුණි. නමුත් අද තත්ත්වය ජාත්‍යන්තරිකව ඊට හාත්පසින්ම වෙනස් සංකීර්ණ තත්ත්වයකි. මෙම සන්ධර්භයේ සිට රනිල් වික්‍රමසිංහ විසින් මෙරටට යෝජනා කරන ලද ආර්ථික, සමාජ හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබදව විමසා බැලිය යුතුය.

මීතොටමුල්ල කුණු කන්ද නාය යාම පිළිබදව මෙරට සාම්ප්‍රදායික මාධ්‍ය, විශේෂයෙන් සිරස රූපවාහිනිය විසින් එහි වගකීම අග්‍රාමාත්‍යවරයා වෙත පැටවීමට මහත් උත්සහයක් ගන්නා බව පෙනේ. මෙම ආණ්ඩුවේ බල කේන්ද්‍රයන් දෙකකි. එකක් ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, අනෙක අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේත්ය. මීතොටමුල්ල කුණු කන්ද අදාළ පළාත් පාලන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, මහනගර අමාත්‍යාංශය මෙම ගැටලුව ඇති කළ ආරක්ෂක අමාත්‍යාංශය අයිතිවන්නේ රනිල් වික්‍රමසිංහට අදාළ නොවන බල කේන්ද්‍රයටය. නමුත් සිරස රූපවාහිනිය දිගින් දිගටම රනිල් වික්‍රමසිංහට චෝදනා කරමින් දෙස්දෙවොල් තබයි. මෙම ගැටලුව විසදීමට සහයවන කිසිදු ප්‍රවෘත්තියක් ඉදිරිපත් කිරීමට සිරස රූපවාහිනියට නොහැකිවූ අතර ඔවුන්ගේ ගද ගහන න්‍යාය පත්‍රය තුළම කටයුතු කළේය. සිරස රූපවාහිනියේ මාධ්‍ය භාවිතය ජනතාවගෙන් වියුක්ත වෙමින් හුදෙකලාව පවතින බව මාගේ පෞද්ගලික මතයයි.

ඒ කෙසේ වුවද අග්‍රාමාත්‍යවරයා කුණු කන්ද නාය යාමෙන් පසු ඇතිවු තත්ත්වය කළමණාකරනය කොට එම ගැටලුව තිරසාරව විසදීමට විශාල මැදිහත්වීමක් කරන බව දකින්නට ලැබුණි. මීතොටමුල්ල කුණු කන්දට ඉතිහාසයක් තිබේ. එය එසේ මෙසේ ඉතිහාසයක් නොව ප්‍රබල ඉතිහාසයක් තිබේ. පසුගිය රජයේ ඝෝඨාභය විසින් මෙහෙයවන ලද නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් කොළඹ පිරිසිදු කොට කොළඹ කුණු දැමීමට සොයාගත් ක්‍රමවේදයයි. ප්‍රථමයෙන් අක්කර 4 ක්වු එම ඉඩ ප්‍රමාණය පසුව තිරසාර හා ක්‍රමවත් කුණු බැහැර කිරීමේ ක්‍රමවේදයකින් තොරව අක්කර 19 ක් දක්වා වර්ධනය විය. එම ප්‍රදේශයේ ජනතාවගේ දෙපතුළටම කුණු කන්ද පැමිණියේය. ඝෝඨාභයලා කොළඹ ලස්සන කළේ වසර සිය ගණනක් පවතින විශාල පරිසර හානියක් හා ජල මූලාශ්‍ර දූෂණයක් සිදුකරමිනි. මීතොටමුල්ල කුණු කන්ද නිසාවෙන් එම ප්‍රදේශයේ ජල මූලාශ්‍රයන්ටත් පරිසර පද්ධතියටත් සිදුවූ හානිය අතිවිශාලය. මෙම කුණු කන්ද පිළිබද ගැටලුව විසදීමට මැදිහත්වූ සමාජ ක්‍රියාකාරීන්ට හා නීතීඥයින්ට තර්ජනය කරමින්, හිරේ දමමින්, අඩත්තේට්ටම් කරමින් මෙම කුණු කන්දේ ගැටලුව කිසිදු රජයකට පහසුවෙන් විසදිය නොහැකි විශාල අර්බුධයක් බවට පත්කළ අතර වර්තමාන රජය මුහුණදෙමින් සිටින පසුගිය ආණ්ඩුව විසින් ඇතිකරන ලද අනේකවිධ ගැටලු තේරුම් ගැනීමට මීතොටමුල්ල කුණු කන්ද හොදම උදාහරණයකි. මෙම කුණු කන්දේ ගැටලුව විසදීම ත්‍රස්තවාදය විසදීම තරම් සංකීර්ණ ගැටලුවක් බවට ප්‍රාදේශීය දේශපාලඥයින් විසින් පත්කර තිබේ. අන්තර්ජාලයේ සැරිසරනු ලබන ප්‍රසන්න රණතුංග හිටපු මහඇමතිවරයාගේ හොරෙන් පටිගතකරන ලද හඩපටයකට අනුව පෙනීයන්නේ මේ කුණු විකුණා කොමිස් ගැසීම දේශපාලඥයින්ගේ පරම අරමුණ වී ඇතිබවයි. කවුරුන් හෝ මෙම ගැටලුව විසදීමට උත්සහ කළහොත් එම උත්සහකරන්නාගේ, මීතොටමුල්ල ග්‍රාමසේවකගේ සිට පළාතේ මහඇමතිවරයා දක්වා මුදල් ඉල්ලන බව එම ප්‍රදේශයේ ජනතාවට ප්‍රසිද්ධ රහසකි.

මීතොටමුල්ල කුණු කන්ද පිළිබද ගැටලුවට තිරසාර විසදුමක් දියයුතු බව අවිවාධිතය. නමුත් ඒ විසදුම විය යුත්තේ එම කුණු කන්ද මීතොටින් ගලවා ජා ඇලට රැගෙන යාම නොව. මීතොටමුල්ලේදීම ප්‍රතිචක්ක්‍රීකරණය කළ හැකි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමය. දියුණු ලෝකයේ කුණු ප්‍රතිචක්ක්‍රීකරණය අද රොකට් තාක්ෂණය නොවේ. ඉතා සරළ මිනිස් දැනුමයි. මේ සදහා ආයෝජනය කිරීමට ඕනෑ තරම් ආයෝජකයින් ජපානය, කොරියාව වැනි රටවලින් සොයාගත හැකි අතර අවශ්‍යවන්නේ ප්‍රබල රාජ්‍ය මැදිහත්වීමකි.

මේ මීතොටමුල්ල කුණු කන්ද යනු පසුගිය රජය විසින් ඇතිකරන ලද එක් පරිසර ප්‍රශ්නයකි. එය කඩාවැටීමෙන් ජීවිත ගණනාවකුත්, නිවාස විශාල සංඛ්‍යාවකුත් විනාශයට පත්විය. එය රටේ සෑමදෙනාගේම අවධානයට ලක්වු ජාතික ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. නමුත් මේ රටේ ජනතාව තේරුම්ගත යුතු එක් දෙයක් ඇත. ඒ රාජපක්ෂ රෙජීමය විසින් ඇතිකරන ලද දරුණු ආර්ථීක අර්බුධය ඉක්මනින් විසදා ලංකාව සුවපත් නොකළහොත් රටේ ආර්ථිකය ඉතා ඉක්මණින් කඩාවැටෙනු ඇත. එය එසේ වුවහොත් ඇතිවන හානිය මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් ලක්ෂ වාරයකටත් වඩා වැඩි හානියකි. එය මේ රටේ මේ ආණ්ඩුවට පක්ෂ, විපක්ෂ සියලු දෙනාටම බලපානු ලබන බරපතල කාරණයක් වනු ඇත. එම නිසා මේ රටේ ජනතාව හැටියට අප තේරුම්ගත යුත්තේ පසුගිය රාජපක්ෂ රෙජීමයේ දශකය විසින් ශ්‍රී ලංකාවට සිදුකර තිබෙන සමාජ, ආර්ථික, අධ්‍යාපන හා පරිසර හානියෙන් මිදීම සදහා රනිල් වික්‍රමසිංහ විසින් යෝජනා කරනු ලබන ක්‍රමවේදයට සාධාරණ කාලයක් හා ඉඩක් ලබාදිය යුතු බවයි.

5 comments:

  1. මේකට පහුගිය ආණ්ඩුවට වරද පටවල වැඩක් නැහැ. මොකද ඒ ආණ්ඩුවේම හිටි කෙනෙක් තමයි දැන් ජනපති.

    මේ ආණ්ඩුව අවුරුදු දෙකක් තිස්සෙ අඩුමා තරමේ මිනිස්සුන්ට ආර්ථික අතින් දැනෙන්නවත් දෙයක් කරල නැහැ.

    පහුගිය ආණ්ඩුව තිබුනානම් හොඳයි කියල හිතෙන්නෙ මෙන්න මේ වෙලාවට තමයි හිටං.!

    ReplyDelete
  2. nedakin .. me ranila honda mala gewal wala nidi maranna.. nidi maraka ewunta athal denna meka patatn gaththoth mekata honda illumak thiyewee

    ReplyDelete
  3. රනිල්ගේ පිට කහන්න ලියපු එකක්.
    ඕනෙම පාලකයෙකුට කර ගහන්න වෙන්නේ අනුන්ගෙ පව් වලට තමයි. මහින්ද රටේ පාලනය බාර ගන්නකොට තිබ්බෙත් අනුන්ගේ පව් කන්දක් තමයි. තිස් වසරක් ඇදි ඇදී ගිය යුද්ධය, විදුලිබල අර්බුදය, අබලන් මාර්ග පද්ධතිය, රට පුරා තිබ්බ පැලවෙන මුල් ගල්. යුද්ධෙ ඉවරවෙනකම් කිසිම සංවර්ධන කටයුත්තක් කරන්න බැරි පරාජික මානසිකත්වය...මේ ඔක්කොම අනුන්ගෙ පව් තමයි.
    හැබැයි මහින්ද, රනිල් වගේ නහයෙන් අඬ අඬ හිටියේ නෑ. අනුන්ගේ පව් වලට කර ගැහුවා.
    ඔයාලගේ තර්ක වලට අනුව රනිල්ට රට දියුණු කරන්නනම් ලැබෙන්නේ ඕනේ....ණය නැති මූලික යටිතල ප්‍රශ්ණ ඔක්කොම විසඳිච්ච රටක්.

    තව අලි බොරුවක් තමයි, මීතොටමුල්ලේ කුණු දාන්න පටන්ගත්තේ ගෝඨා කියන එක. මීතොට මුල්ලේ කුණුදාන්න පටන් ගත්තේ, කොලඹ නගරසභාව මගින්. ඒ ගෝඨා නාගරික සංවර්ධන අධිකාරියබාර ගන්න කාලෙකට පෙර.
    තමන්ගේ කුණු ප්‍රශ්ණය විසඳ ගන්න කොලබ මහනගර සභාව කරල තියෙන්නේ මොනවද කියලත් හොයල බලල ලියන්න. අවුරුදු 56 කොලඹ නගර සභාව පවතින්නේ එජාප පාලනය යටතේ.

    ReplyDelete
  4. මේ කථා පැත්තක තියල 'හෙල්පිං මීතොටමුල්ල' කියල අක්කගෙ නමින් අකවුන්ට් එකක් දාගෙන කීයක් හරි හොයාගනිමු. ඔය මැරිච්ච ගෙවල් කැඩිච්ච වුන්ට හෙන ගැහුවත් මොකද?

    ReplyDelete