Monday, March 20, 2017

බයියන් ටොයියන් වීමට ගොස් කබ්බන් වීම නොහොත් ආණ්ඩුවේ ප්‍රොපගැන්ඩා



2015 ජනවාරි 8 වනදාට පෙර මේ රටේ තිබු දේශපාලන ක්‍රියාදාමය අසංවිධිත එකකි. සංවිධිත එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙල හැරුණුකොට මුළු දේශපාලන ක්‍රියාවලියම අවිධිමත්, අසංවිධිත, ප්‍රගතිශීලී එකකි. එම දේශපාලන ව්‍යාපාරයේ හැරවුම් ලක්ෂය හා ආරම්භය සනිටුහන් කරනුයේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එම ආණ්ඩුවේ 18 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමගයි. එය ක්‍රමිකව වර්ධනය වී රතුපස්වල හා හලාවත මර්ධනයන්, ශිරානි බණ්ඩාරනායක ඉවත් කිරීම, සුදු වෑන් වලින් අතුරුදහන් කිරීම හා දහසකුත් අයුතු අසාධාරණකම් වලින් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මෙරට දැනුම් තේරුම් ඇති සිවිල් සමාජ විසින් ගොඩනගන ලද දැවැන්ත දේශපාලන ව්‍යාපාරයකි.

ස්වාභාවිකව ගොඩනැගුණු මෙම ව්‍යාපාරයේ ප්‍රථම ඵලය 2014 අප්‍රේල්, දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය විසින් ලබාගත් අතර එහි දෙවන තීරණාත්මක ඇරඹුම ඌව පළාත් සභා මැතිවරණයයි. එම නැගී ආ ජන බලවේගයේ  ඉවට කලබල වූ රාජපක්ෂවරුන් නැවත ජනවරමක් ඉල්ලා සිටියේ රටේ ගොඩනැගෙමින් තිබූ අවිනිශ්චිත වාතාවරණයත්, නැගී ආ විරුද්ධ බලවේගත් ලෙයින්, යකඩින් මර්ධනය කොට තම පැවැත්ම තහවුරු කරගැනීමටය.

එම වසරේම නොවැම්බර් 21 වෙනිදා මෛත්‍රීපාල ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගනිද්දී රටේ ගොඩනැගෙමින් තිබූ අසංවිධිත දේශපාලන ව්‍යාපාරය මහා රූස්ස ගසක් බවට පත්ව තිබිණි. එම දේශපාලන ව්‍යාපාරය විසින් ඉල්ලා සිටි අසංවිධිත, නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයායි. ඔහුට අදටත් ඔහුගේ ජයග්‍රහණය අදහාගත නොහැක්කේ එම දේශපාලන ව්‍යාපාරය කවුරුන් විසින් හෝ මෙහෙයවන්නක් නොව ස්වයංක්‍රීයව ගොඩනැගුණු සමාජ ප්‍රපංචයක් වූ නිසාය. ඔහු උඩු යටිකුරු වී සිටිනුයේ මෙම ජනවරම කුමක්දැයි හදුනාගත නොහැකි වීමෙනි. ඔහුටද දීර්ඝ කාලයක් කල් ගත කළ බයි චින්තනයෙන් මිදීමේ අපහසුවක් තිබේ. එම ව්‍යාපාරය තුළ සිටි එකම සංවිධිත දේශපාලන ව්‍යාපාරය එක්සත් ජාතික පක්ෂය වූ අතර ජනතාව විශ්වාසය තැබූ නායකයා රනිල් වික්‍රමසිංහයි.(එම මොහොතේ පක්ෂය විසින් විශ්වාස නොකළ) එහි ප්‍රතිඵලයක් ලෙස අදත් මේ රටේ ජනතාව බරපතල ලෙස ගනු ලබන්නේ රනිල් වික්‍රමසිංහයි. මේ ආණ්ඩුවේ සකළවිධ දුර්වලතාවයන්ට දොස් පවරනු ලබන්නේ රනිල් වික්‍රමසිංහටය. සමාජය ජනාධිපතිවරයා මත බලාපොරොත්තු තබා නොමැත්තේ ඔහු ජනාධිපතිධූරයට පත් කරනු ලැබුවේ මෙම ධූරය අවසන් කිරීමට මිස එය පවත්වාගෙන යාමට නොවේ.

ටොයියන් යනු මෙම අසංවිධිත දේශපාලනය මෙහෙය වූ හා ඒ වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් වැඩකළ ලක්ෂ පහක් පමණ වන ජනවාරි 8 වනදාට පෙර ක්‍රියාකාරී දේශපාලනයේ නියැලුණු දැනුම් තේරුම් ඇති ජනතාවයි. ඔවුන්ගේ ප්‍රධාන දේශපාලන මෙවලම වූයේ කොම්පියුටරය, කාර්යාලය, පොදු ප්‍රවාහන පද්ධතිය මිස දේශපාලන පක්ෂයක් නොවේ. නමුත් මෙම දේශාපාලන ව්‍යාපාරයට නායකත්වය දුන් විධිමත් දේශාපාලන නායකයින් හා සිවිල් ක්‍රියාකාරීන් විශාල සංඛ්‍යාවක් මේ රට තුළ සිටී. තත්ත්වය එසේ තිබියදීත් නොවැම්බර් 21 දක්වාම මේ රටේ බයියන් පිරිසක් වූ රාජපක්ෂවාදීන් විශාල ප්‍රමාණයක් ආණ්ඩුව සමග එකතු විය. මේ ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පහළ සිට ඉහළටම අත්පත් කරගෙන සිටිනුයේ ජනාවාරි 8 වනදාට පෙර  හිටපු බයියෝය. ඔවුන් හදිස්සියේ ටොයියන් වීමට ගොස් කබ්බන් බවට පත්වී තිබේ. ආණ්ඩුවේ අමාත්‍යංශවලින් සියයට පනහකුත්, ජනාධිපතිවරයාගේත්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේත්, රජයේ මාධ්‍ය ආයතනවල වැඩි ප්‍රමාණයකුත් අත්පත් කරගෙන සිටිනුයේ ටොයියන් වීමට ගොස් කබ්බන් බවට පත් වූ හිටපු බයියෝය. ඔවුන් ජනවාරි 8 වනදාට පසු ආණ්ඩුවේ හා ජනාධිපතිවරයාගේ ප්‍රචාරක යාන්ත්‍රණය මුලුමනින්ම බයිකරණය වී ඇත. එය අගමැතිවරයාටද අඩු වැඩි වශයෙන් බලපා තිබේ. එම කාරණය නිසාම රජුට ඇන්දවීමේ සින්දු හැදේ, විශාල තොරණ් ඉදි වේ, කවි දෙවොල් මඩු බිහිවේ, පන්සල් පදනම් කරගත් දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක වේ, රණවිරු ගී ගැයේ, ශක්තිමත් ජනාධිපතිවරයෙකුගෙන් යුත් ආණ්ඩුවක් පිළිබද ඝෝෂා ඇසේ, ජාතිවාදී කෙදිරිලි සමග තනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිළිබද මත පළවේ. සැබැ ලෙසම ජනවාරි 8 වනදා මෙරට ජනතාව විසින් පරාජයට පත් කරන ලද්දේ රාජපක්ෂලා ක්‍රියාත්මක කළ දැනුදු ක්‍රියාත්මක කිරීමට වෙර දරණ මා ඉහතින් ඉදිරිපත් කරන ලද දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයයි. මෙයින් අදහස් වන්නේ යහපාලන රජයේ ජනවරමේ අභිලාෂයන් හා න්‍යායන් අවබෝධ කරගැනීමට එහි ප්‍රචාරක යාන්ත්‍රණයට නොහැකි වී ඇති බවයි. එම නිසාම ආණ්ඩුවට විශාල අපහසුතාවයකට පත් වීමට සිදුව තිබේ. ආණ්ඩුව ව්‍යුක්ත විය යුත්තේ කබ්බන් බවට පත් වු බයියන්ගේ මෙම ප්‍රචාරක ව්‍යාපාරයෙනි. ජනවරමට අදාළ න්‍යායාත්මක පදනමකින් යුත් ප්‍රචාරක ව්‍යාපාරයක ආණ්ඩුව නිරත විය යුතුය.

ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණය තුළ සිටිනා බහුතරයක් දෙනාට රාජපක්ෂවරු පරාජය කළ දේශපාලන ව්‍යාපාරය පිළිබද අවබෝධයක් නැත. ඔවුන්ට සුළු හෝ අවබෝධයක් ඇත්නම් ඒ නොවැම්බර් 21 වනදාට පසු සිදුකළ මැතිවරණ ව්‍යාපාරය පමණි. එම මැතිවරණ ව්‍යාපාරය යනු ගොඩනැගුණු විශාල වෘක්ෂයක අවසන් ඵලයයි. ඵලය තේරුම්ගෙන ගස ගැන විස්තර කිරීම මෝඩ කමක් බව පැරැන්නෝ නිතරම කියති.

එම නිසාම ආණ්ඩුවේ ප්‍රචාරණ යාන්ත්‍රණය අත්පත් කරගෙන සිටින්නෝ හට ජනවරමේ දිග පළල හා ගැඹුර පිළිබද අවබෝධය නොමැතිකම නිසාම ඔවුනුත් විනාශ වෙමින් ආණ්ඩුවත් විනාශ කරමින් සිටී.

අගැමැතිවරයාගේ දර්ශනය හා ප්‍රතිපත්ති ජනවාරි 8 ජනවරම හා කෙතරම් ඒකාත්මික වුවද එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් රට තුළ සිදුකරනු ලබන ප්‍රතිසංස්කරණ ජනතාව තුළට ගෙනයාම විශාල අඩුපාඩුවක් මේ මොහොතේත් ආණ්ඩුව හා අදාළ පාර්ශවයන් මුහුණ දෙමින් සිටී.

ආණ්ඩුව විසින් පසුගිය කාලයේ ලබාගත් ජයග්‍රහණ ජනතාව අතරට ගෙනයාමේ අඩුපාඩුව නිසාම ජනතාව අතර විටෙක මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හා අගමැතිවරයා විශාල අපහසුතාවයකට පත්වේ. මේ සදහා හොදම උදාහරණය නම් පසුගිය කාලයේ විශාල වශයෙන් පාඩු ලැබු රාජ්‍ය ආයතන ගණනාවක් ගිය වසරේ විශාල ලාභයක් පෙන්නුවද එය ආර්ථික ජයග්‍රහණයක් ලෙස ජනතාව අතරට ගෙන යාමට ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයට තිබූ නොහැකියාවයි. එම නිසා හැකිතාක් ඉක්මනින් මෙම වලිගය හපාගෙන සිටීමේ තත්ත්වයෙන් මිදී ඉදිරියට ගමන් කළ හැකි වැඩපිළිවෙලකට ආණ්ඩුවේ ප්‍රචාරක ව්‍යාපෘතිය යොමු විය යුතු අතර බයි ආකල්ප හා මතවාදයන්ගෙන් මිදි ජනවාරි 8 වනදා ජනතාව ලබාදුන් ජනවරමට අනුකූල ආකාරයට ආර්ථික, සමාජයීය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සිදුකරන්නාක් මෙන් ප්‍රචාරක යාන්ත්‍රණයද ටොයිකරණය කළ යුතුය.

1 comment:

  1. මේක තමයි තිත්ත ඇත්ත. රටේ පළමු පුරවැසියාගේ සිට පහලට යන සියලුම දෙනාට මෙය තේරුම් ගැනීමට බැරි කම ජාතියේම අවාසනාවන්ත කමයි.

    👊🏽

    ReplyDelete