Monday, March 6, 2017

මහීපාල ඇන්ඩ් ලිලාන් සමරේ ඇන්ඩ් සමරේ



පසුගියදා කෑගල්ල ශාන්ත මරියා පාසලේ වසර 150 ක් සපිරීමේ උත්සවයට සහභාගී වී සිටියදී මට අපූරු කතාවක් අසන්නට ලැබිණි. එනම් කෑගල්ල ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ලිලාන් අමරකෝන් මැතිතුමා එම උත්සවය අමතමින් කෑගල්ල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ විරැකියාව ඉහළ අගයක් ගන්නා ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයෙන් එකක් බවත් එම දිස්ත්‍රික්කය විරැකියාව අතින් දෙවැනි වන්නේ කිලිනොච්චි දිස්ත්‍රික්කයට බවත් ප්‍රකාශ කර සිටියා. එම අවස්ථාවේ එම උත්සව සභාවේ වසර 20 ක් සබරගමු පළාතේ මහඇමති ධූරය දැරූ මහීපාල හේරත් මැතිතුමා හා අග්‍රාමාත්‍යවරයාද රැදී සිටියා. බැලු බැල්මට මෙය සරළ දේශපාලන යථාර්තයක් සේ පෙනුනද කෑගල්ල දිස්ත්‍රික්කය විරැකියාව අතින් ඉහළ අගයක් ගැනීම ගැඹුරු දේශපාලන ප්‍රපංචයකි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ භූගෝලීය පිහිටීම වන්නේ, එක් පසෙකින් ලංකාවේ සංවර්ධනය ඉහළම දිස්ත්‍රික්කය වන ගම්පහ දිස්ත්‍රික්කයත්, අනෙක් පසින් නුවර දිස්ත්‍රික්කයත් මායිම් වේ. එසේම කුරුණෑගල, රත්නපුර අනෙකුත් අසල්වාසී දිස්ත්‍රික්කයන්ය. කොළඹ, නුවර ප්‍රධාන මාර්ගය වසර සිය ගණනක් කෑගල්ල දිස්ත්‍රික්කය මැදින් ගමන් කරන අතර කොළඹ සිට කෑගල්ල දිස්ත්‍රික්කයේ ආරම්භයට ඇති දුර කිලෝමීටර 50 කටත් අඩුය. මෙවන් භූගෝලීය පිහිටීමක් ඇති කෑගල්ල දිස්ත්‍රික්කය විරැකියාව අතින් වසර 30 ක් දරුණු යුද්ධයකට මුහුණදුන් වසර සිය ගණනක් කොළඹ දේශපාඥයින්ගේ කුඩම්මා සැළකිල්ලට ලක්වූ කිලිනොච්චියට පමණක් දෙවැනි වන්නේ ඇයි ? අප විසින් තේරුම්ගත යුතු විශාල දේශපාලන කතාවක් මෙම සංවර්ධන සාධකය සමග තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ පසුගිය දශක දෙක තුළ අසහාය දේශපාලන බලවතා වන්නේ සබරගමු පළාත් මහ ඇමතිවරයාය. ඉතාම කුඩා තැනින් ජීවිතය හා දේශපාලනය පටන්ගත් ඔහු අද කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලන චරිතයක් වන අතරම ඇදහිය නොහැකි තරම් ධනවතෙකුද වන බව කියයි. ඔහු විසින් පසුගිය වසර 20 තුළ රජයේ විමධ්‍යගත මුදල් වැය කරමින් කෑගල්ල දිස්ත්‍රික්කය පුරා පාරවල් හදමින් කාර්යාල ගොඩනැගිලි ඉදිකරමින් පාසල් භෞතික සංවර්ධනය කරමින් ප්‍රදේශයේ තරුණ තරුණියන් දහස් ගණනකට රජයේ රැකියා (මතක තබා ගන්න පළාත් සභාවේ රජයේ රැකියා) ලබා දී තිබේ. එසේ තිබියදීත් කෑගල්ල දිස්ත්‍රික්කය ලිලාන් අමරකෝන් මහතා කියන පරිදි විරැකියාවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයට පමණක් දෙවැනි වන්නේ එහි සංවර්ධන උපාය මාර්ගවල දිළිදු හා වැරදි බව නිසාය.

තිරසාර සංවර්ධනය යනු භෞතික ගොඩනැගිලි ඉදි කිරීමත්, පාරවල් හැදීමත්, රජයේ රැකියා පාක්ෂිකයින් අතරේ බෙදා දීමත් නොව, ඊට වඩා දියුණු සංකීර්ණ ක්‍රියාවලියකි. පසුගිය දශක දෙක තුළ කෑගල්ල දිස්ත්‍රික්කය පදනම් කරගනිමින් සබරගමු පළාත් සභාවේ රැකියා උත්පාදනය කරනු ලබන ජනතාවගේ ජන ජීවිතය නංවා සිටින කිසිදු දේශපාලන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැත. අත්තනෝමතිකව රජයේ රැකියා ලබා දීමෙන් රටක ආර්ථිකයට හානියක් මිස වාසියක් වන්නේ නැත. රජයක් විසින් ව්‍යවසායකයන් හා ආයෝජකයන් දිරිමත් කොට ආයෝජන මත පදනම්වූ නව රැකියා බිහි නොකරන්නේ නම් රටක වැඩිවන ජනගහනයට සාපේක්ෂව රැකියා වෙළදපොල පුළුල් වන්නේ නැත. පළාත් සභාවල දහස් ගණන් නිලධාරීන් හා දේශපාලඥයින් රජය මගින් නඩත්තු කරමින් පවත්වාගෙන යන්නේ මෙම තත්ත්වයන් නිවැරදි කොට අනාගතය ගැන කල්පනා කොට ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමටයි. නමුත් පසුගිය දශක දෙක තුළ මෙම තත්ත්වය අවබෝධකරගත නොහැකි දේශපාලඥයෙකුගේ දැඩි පාලනයේ තිබූ දිස්ත්‍රික්කය අද මහා ඛේදවාචකයක් බවට පත්ව තිබේ. අප නිවැරදි කළ යුත්තේ මෙයයි. ඉදිරි අනාගතය ගැන සිතන එය තේරුම්ගත් ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් කළ හැකි අවම සුදුසුකම් සහිත නායකයින්ට පළාත් පරිපාලනය ලබා දීමට මෙරට ජනතාව කල්පනා කළ යුතුය. රජයේ මුදල් උපයෝගීතාවයේ වැදගත්කම නොසළකා දේශපාලන අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමට ආයෝජනය කිරීමේ අවසන් ප්‍රතිඵලය උගතුන් ඉන්නා නූගතුන් පාලනය කරනා දිළිදු අර්බුදයට ලක් වූ සමාජයක් සහිත විපරිත දිස්ත්‍රික්කයක් බිහි වීමයි. මෙය සබරගමුවට පමණක් නොව ඌව, උතුරු මැද, වයඹ හා දකුණු පළාතටද පොදුය. දැන් එම පළාත්වල ඉහළ පරිපාලනය වෙනස් කිරීමට කාලය එළඹ තිබේ. එය හැකි ඉක්මනින් සිදු නොකළහොත් යහපාලන රජයේ මධ්‍යම ආණ්ඩුවද අර්බුදයකට ලක්වීම නොවැළැක්විය හැකිය. මන්ද රටේ ජනතාවගේ ඉරණම තීන්දු කරනු ලබන බලතල විශාල සංඛ්‍යාවක් පළාත් සභාව සතු වන බැවිනි.

ආර්ථික හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දහසකුත් බාධක මැද ඉදිරියට ගියද රටේ සමාජ ප්‍රතිසංස්කරණවල සීඝ්‍ර දියුණුවක් ලබාගෙන ඇත. විශේෂයෙන් යහපාලන රජය මගින් ජනවාරි 8 වනදාට පෙර ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ යකඩ හස්තයේ මර්දනය අවසන්කොට ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්, නීතියේ ආධිපත්‍ය, නිදහස, සංහිදියාව වන ක්ෂේත්‍රවල සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබේ. මේ සදහා හොදම උදාහරණය නම් පසුගියදා ITN නාළිකාව තුළ විකාශය වූ ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කළ යූත් විත් ටැලන්ට් වැඩසටහනේදී විකාශය වූ සමරේ ඇන්ඩ් සමරෙගේ කුප්‍රකට වීඩියෝවයි.

එම වැඩසටහනේදී රජයේ ප්‍රධාන ජනමාධ්‍ය ආයතනය තුළ අගමැතිවරයාගේ අමාත්‍යාංශයක් මගින් සංවිධානය කරනු ලබන රජයේ ප්‍රවෘත්ති හා පාර්ලිමේන්තු කටයුතු ඇමතිවරයා ඉදිරිපිට සමරේ ඇන්ඩ් සමරේ අගමැතිවරයාගේ කටහඩ අනුකරණය කරමින් විශේෂාංගයක් ඉදිරිපත් කරයි. එම විශේෂාංගය තුළ වචන කිහිපයකින් වුවද අගමැතිවරයාට හා ඔහුගේ දර්ශනයට තියුණු ප්‍රහාරයක් එල්ල කරයි. නමුත් එමගින් අගමැතිවරයාටවත්, ගයන්ත ඇමතිවරයාටවත්, ස්වාධීන රූපවාහිනියේ සභාපති සමන් අතාවුදහෙට්ටි මහතාටවත් තරහක්, වෛරයක් හෝ අපහසුවක් දැනෙන්නේ නැත. ඔවුන් සැමදෙනාගේම සමීප රූප රාමු එම විශේෂාංගය අතරතුර තිරයේ දිස් වූ අතර ඒ හැමදෙනාම ඉතාම සතුටින් විනෝදයෙන් උපේක්ෂා සහගතව එම විශේෂාංගය නරඹන හැටි මුලු රටම දුටුවෝය.

ජනවාරි 8 වනදායින් පසු සමාජ ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රෙය් මේ රටේ ජනතාව ලැබු ජයග්‍රහණය නම් මෙයයි. සැමදෙනාටම නිදහසේ අදහස් පළ කිරීමට හැකි සමාජයක් සහ ඒවා උපේක්ෂා සහගතව ඉවසන ආණ්ඩුවක් රටට ලැබී තිබේ.

No comments:

Post a Comment