ලංකාවේ සිංහල හා දෙමල ජාතික වාදයේ පදනම මහාවංශයයි. එය වසර 2500 කටත් වඩා පැරණි මහා සම්ප්‍රදායක් වන අතර එයින් අපට රටක් ලෙස එදත් අදත් අහිමි වූ දෑ බොහෝය. මහාවංශයට අනුව සිංහල ජාතිකත්වයේ උපත සිදුවන්නේ ඉන්දියාවෙන් පැමිණි නාහෙට නාහන විජය කුමරයාගෙන්ය. ජාතියක් ලෙස උතුරු ඉන්දියානු සංස්කෘත බසින් බිදුණු සිංහල දකුණු ඉන්දියානු ද්‍රවිඩියන් දෙමළට වඩා වැඩි වරප්‍රසාදිත බාසාවක් ජාතියක් බවට සිංහලයින් කල්පනා කරන්නට පටන් ගත්තේ එය ආරම්බ වූ කාලයේ සිටමය. ඒ පිළිබද ප්‍රථම සාක්ෂිය වන්නේ විජය කුමාරයා විසින්ය. ඒ කුප්‍රකට මහාවංශය විසින් පෙන්වාදෙන කුවේණිට සිදුකල මහා රැවටීමය. එය අපරාදයකි. ඒ අපරාදය මතින් ඔවුන් ලියා තැබුවේ සිංහලයින් දෙමළුන්ට වඩා මාර පොර ජාතියක් කියාය.
විජය ලංකාවට ගොඩ බසින විටත් ලංකාව විශේෂයෙන් මල්වතු ඔයෙන් උතුරට වන්න ජනාවාසව පැවතුනි. සැබවින්ම දකුණේද ජනාවාස තිබුණු බවට සාක්ෂි දැන් ලැබී තිබේ. නමුත් විජයට මුණ ගැසෙනුයේ මල්වතු ගගින් උතුරේ කුවේණිගේ පරපුරය. එනම් තම්බපන්නියේ වාසය කළ වුන්ය. තම්බපන්නිය යනු මහා විල්පත්තු වන මැද පිහිටි ස්ථානයකි. විජය ලංකාවට පැමිණෙන විටත් ලංකාවේ උතුරෙහි සංස්කෘතියක් තිබුණු බවත් සංස්කෘතික මිනිසුන් වාසය කල බවටත් සාක්ෂි මහා වංශයේම තිබේ. එනම් කුවේණිය විජය ලංකාවට පැමිණෙන විටත් සිටිනුයේ කපු කටිමිනි. කපු කැටීම යනු විලි වසා ගැනීමට රෙදි පිලි නිෂ්පාදනය කිරීමයි. එසේනම් වසර 2550 කටත් වඩා ඈත කාලයේ ලංකාවේ මල්වතු ගගට උතුරින් රෙදි අදින සංස්කෘතික මිනිසුන් ජීවත් වී තිබේ. ඒ සියල්ලටමත් වඩා කුවේණිය විජය හා ප්‍රේමයෙන් බැදේ. ප්‍රේමය සංස්කෘතික සමාජයක දියුණු සමාජ හැසිරීමකි. සමාජ ගිවිසුමකි. කුවේණිය ඇතිකරගත් එම ගිවිසුම අනුව උතුරු ඉන්දියානු විජයට දකුණු ඉන්දියානු සංස්කෘතික ගැහැණිය මල්වතු ගගින් දකුණේ උතුරු ඉන්දියානු රාජ්‍ය පිහිටුවා ගැනීමට සහයෝගය ලබා දෙයි. විය හැකි ලෙසම කුවේනියගේ සංස්කෘතිය දකුණු ඉන්දියානු විය යුතුය. මන්ද මන්නාරමේ සිට ඉන්දියාවට ඇති දුරත් ජනපද සියල්ල මල්වතු ගගින් උතුරේ පිහිටුවා තිබීමත් අදත් එම ප්‍රදේශ් වල ජනතාව දෙමල හා හින්දුන් වීමත් වැනි කාරණා නිසාවෙන් අපිට නිගමන කල හැක්කේ ඔවුන්ගේ සංස්කෘතිය දකුණු ඉන්දියානු ද්‍රවිඩ විය හැකි බවය. එසේම විජය කුවේනියගේ පරපුරට පිටස්තරයෙකු වීමටත් කුවේණිය විජයට පිටස්තරයෙකු වීමටත් බල පෑ ප්‍රධානම හේතුව මෙම උතුරු දකුණු සංස්කෘතික නොගැලපිමය.
අද නුතන සිංහල ජාතික වාදීන් මහාවංශයේ සදහන් විජයගෙන් සිංහලයා පැවැත එතැයි යනුවෙන් දක්වනු ලබන කතාන්දරය තදින් ප්‍රතික්ෂේප කරනු ලබයි. එයට හේතු ගණනාවක් තිබුනද ඉන් ප්‍රධානතම හේතූන් වන්නේ විජයගේ ඉන්දියානු රස්තියාදුකාර ජන්මයත්, කුවේණියගේ දෙමළ සංස්කෘතියත් එසේත් නැතිනම් විජයට පෙර කුවේණිය මෙහි ජනාවාස ගතව සිටීම තුලින් ඇය මගින් මෙරට සිංහල අධිපතිවාදී මුල් ජනපදික මතය බිද දැමීමත්, මේ සියල්ලටම වඩා විජය කුවේණිය කෙරෙහි දැක්වූ කුරිරු සැලකීම සිංහල වැනි මාර සංස්කෘතික ජාතියකට නොගැලපෙතැයි ජාතික වාදී චින්තකයින් සිතයි. මෙම නිසාම සිංහල ජාතික වාදී චින්තකයින් රාවණා කතාන්දරය කරපින්නා ගෙන සිංහල ජාතියේ ආරම්භය පිළිබද වෙනත් මතවාදීමය තර්ක ගොඩ නගමින් සිටි.
මීට එරෙහි මගේ තර්කය වන්නේ සිංහල භාෂාව සංස්කෘත වලින් බිදී එන්නක් වීමත් එහි හඩ නේපාල භාෂාවට සමීප වීමත් බුදු දහමත් නිසාවෙන් අපි සංකෘතික වශයෙන් වැඩි නැඹුරුවක් දක්වන්නේ උතුරු ඉන්දියානු සම්බවයකටය. එම නිසා මහාවංශ කතුවරයාගේ සිංහල ජාතියේ උපත පිළිබද කතිකාවට වැඩි බරක් තැබිය හැකි බව මගේ අදහසයි. මෙම තත්ත්වය තුල සිංහලයට ලංකාවේ පුරෝගාමී ජනපදිකයින් ලෙස කිව නොහැකි අතර එසේ කිවයුතුනම් කුවේණියගේ පරපුර අයත් වන්නේ කුමන ජන කොටසකටද ? අද ඔවුන්ට සිදුවුයේ කුමක්දැයි ඔප්පුකොට පෙන්විය යුතුය. එසේ නොවන්නේනම් දෙමල සුළුතරයද මෙරට පූර්වගාමී ජනකොටසක් ලෙස අපි වන අතර අපි සමාන අයිතිවාසිකම් ඇති අයවලුන් ලෙස එකම මේසයේ ඉදගෙන කටයුතු කල යුතුවේ හෝ එසේ කිරීමට හිත හදා ගතයුතු වෙයි.
මෙවන් තත්ත්වයක් යටතේ දෙමළා සහ සිංහලයා එකම මේසයක කටයුතු කරද්දී මුසල්මානුවා කටයුතු කල යුත්තේ දෙවන පුරවැසියෙක් ලෙසද ? ශ්‍රිලාංකික සමාජය මුහුණ දෙන අනෙක් ගැටලුව එයයි. මුස්ලිම් ආගම පදනම් කරගත් විශාල ජනතාවක් ලෝකය පුරා විසිරි වාසය කරයි. ඔවුන් මූලික වශයෙන් වෙළෙන්දෝය. වෙළදාම පදනම් කරගෙන ඔවුන් ලෝකය පුරා විසිරි ගිය අතර ලංකාවටද පැමිණියේ ශත වර්ෂ ගනනාවකට පෙර වෙළදාම උදෙසාය. ලංකාවේ මුස්ලිම් ජනතාව පිළිබද සිදුකරන ලද සියලුම අධ්‍යයනයන්ගෙන් ඔප්පු වී ඇත්තේ ඔවුන්ගේ ප්‍රථමයෙන් පැමිණ ඇත්තේ පිරිමි පාර්ශ්වය පමණක් බවයි. ඉන් අදහස් වන්නේ ඔවුන් විසින් සිංහල හා දෙමළ කාන්තාවන් හා සරණ ගොස් ලංකාවේ පදිංචිවී ඇති බවයි. එසේනම් ලංකාවේ ජීවත් වන සියලුම මුස්ලිම් වරුන්ගේ මව් රට ලංකාව බවයි. එනම් ලාංකික මවක් නොවන කිසිදු මුස්ලිම් වරයෙකු ඉතිහාසයේ කිසිදු දිනයක ලංකාවේ වාසය කර නොමැති බවයි. මේ අනුව මගේ නිගමනය වන්නේ ලංකාවේ සිංහල මුස්ලිම් හා ද්‍රවිඩ සියලුම දෙනා එකම මේසයේ වාඩිවිය හැකි සමාන අයිතිවාසිකම් ඇත්තෝ වෙති. මෙරට සිංහල, දෙමල, මුස්ලිම් ජාතින් තුනට අයත් ශ්‍රී ලංකික අනන්‍යතාවයෙන් කටයුතු කලයුතු රටකි. මෙහි අන්තගාමී ජාතිවාදීව කටයුතු කරන යමෙක් වේද ඔහු රටට සතුරුව කටයුතු කරන්නෙකු වේ. ඔවුන් අලුයම ලූ කෙල පිඩක් මෙන් ප්‍රතික්ෂේප කළයුත්තෝ වෙති. එසේ නොවන්නේ නම් අපට කුවේණියගේ සාපයෙන් මිදිය නොහැකි වන්නේය.
No comments:
Post a Comment