Sunday, February 25, 2018

නියත ජයක්, අමාරු වසර දෙකක්

පසුගිය වසර තුන තුල ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මේ රටේ සියලුම ජන කොටස් වලට එක්තරා ආකාරයකට කුකුසක් තිබුණි. එය සාමාන්‍ය තත්ත්වයක් ලෙසද හදුනාගත හැකිය. විශේෂයෙන් ප්‍රබල දරුණු පාලනයක් දිගු කලක් තිබුණු සමාජයකට එම රෙජිමය අවසන් වීමෙන් පසු ගොඩනැගෙන පාලන ක්‍රමයට හුරුවීමට එක්තරා කාලයක් ගතවේ. එසේම දුෂිතව යැපුණු බොහෝ කණ්ඩායම් නව පාලන ක්‍රමයට අකුල් හෙලීම සාමාන්‍ය දෙයකි. ලිබියාවේ, ඉරාකයේ හා ඉරානයේ සිදුවුයේ එයයි. එයම ප්‍රංශ විප්ලවයෙන් පසු 1789 සිට නැපෝලියන් බලට පත්වන තුරුම එනම් 1799 වතුරුම පැවතුණි. ප්‍රංශ විප්ලවය යනු සමාජ විපලවයකි. එය පැරණි සමාජ, දේශපාලන, ආර්ථික ක්‍රමය නියෝජන කල සියලුම දෙනා ඝාතනයකොට ගොඩනැගු සමාජ ක්‍රමයකි. නැතහොත් ගිලට්නය විසින් ගොඩනැගු ක්‍රමවේදයකි. එදා ප්‍රංශය ස්ථාවර වීමටත් වසර 11 ක් පමණ ගතවුණි නම් තොරතුරු හා දැනුම වතුර මෙන් සුලබ වූ යුගයක එම තත්ත්වය එයට වඩා අපහසු වන බව මාගේ තක්සේරුවයි. වර්තමාන ආණ්ඩුව හා එක්සත් ජාතික පක්ෂය මුහුණදෙමින් සිටින ප්‍රතිවිප්ලවකරුවන් ආණ්ඩුව තුල මෙන්ම ඉන් පිටතද ශක්තිමත්ව සිටී. පක්ෂයක් ලෙස පාක්ෂිකයින් අතර මෙන්ම පක්ෂයේ දීර්ඝකාලීන මිතුරන් අතර බරපතල විවේචනයන්ට මුහුණ දෙමින් සිටින තත්ත්වයක් තුල මැතිවරණයකදී දුර්වල වීම අරුමයක් නොවන්නේය. විවේචන එල්ලවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටි ආකාරයද එක්තරා ආකාරයක පිටුවහලක් සැපයු බව මාගේ හැගීමයි.

විශේෂයෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමේදී මේ රටේ ජනතාවක් වෙසෙන බවත්, එම ජනතාවට සංස්කෘතියක් හා ආකල්ප තිබෙන බවත්  පිළිගත යුතු අතර ඒවාට ගැළපෙන පරිදි ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකළ යුතුවේ. මන්දයත් ප්‍රමුඛම කාරණය වන්නේ බලය පවත්වා ගැනීමයි. බලය පවත්වාගතහොත් විනා මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කල නොහැකිවන බව පිළිබද එතරම් අවබෝධයක් තිබු බවක් පෙනෙන්නට නොතිබිණි.

ආණ්ඩුවේ කටයුතුවල එක්තරා ආකාරයක සන්විධිත බවක් අපේක්ෂා කලද එම ඉල්ලකය කරා කටයුතු මෙහෙයවීමේදී දැකිය හැකි නිලදධාරී පැලැන්තියේ ප්‍රතිගාමී බව රාජ්‍ය සේවයේ දීර්ඝකාලීන අකාර්යක්ෂමතාවය, රජයේ කටයුතු විධිමත්ව පවත්වා ගැනීමේ විශාල බාධාවක්ව පවතී. එමෙන්ම කැබිනට් සංශෝදනය මගින් අගමැතිතුමා නීතිය හා සාමය අමාත්‍යංශය ලබාගැනීම එතුමාගේ 2020 ඉරණම එතුමා විසින්ම විසදා ගැනීමක් වැනිය.

රට තුලින් මතුව එන හොරු අල්ලමු සටන් පාඨය එතුමා අතට ගැනීම කෙතරම් නිවැරදිදැයි අනාගතයේදී තීරණය වනු ඇත. ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කල යුත්තේ මුලින්ම හොද ස්ථාවර තත්ත්වයක් තුල සිටය. එසේ නොවන අවස්ථාවකදී ඇද වැටීමට ඇති ඉඩ කඩ වැඩිවේ. විශේෂයෙන් වසර 2500 පැරණි සමාජයකට ප්‍රතිචාර දක්වනුයේ ඉතාම සෙමිනි. ඒ පිළිබද අවබෝධයක් ආණ්ඩුවේ පාර්ශව වලට තිබිය යුතු බව මාගේ‍ හැගීමයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩි පිරිසක් 2020 මැතිවරණයේදී නැවත රාජපක්ෂවරුන්ගේ දෑත් ශක්තිමත් කිරීමට යන බව පිළිබද අවබෝදයක් එක්සත් ජාතික පක්ෂයට තිබිය යුතු අතර එතෙක් ආණ්ඩුව දුර්වල කිරීමට අවශ්‍ය සියලුම කටයුතු ඔවුන් විසින් සිදුකරමින් කටයුතු කරන බව අවබෝධ කරගත යුතු වේ. මෙතැන් සිට එළඹෙන යුගය වන්නේ ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලනය ගිහිලිහෙන යුගයයි. එහි ඡන්ද පදනම දැනටමත් ගිලිහී ඇති අතර එතුමන් විසින් ලබාගන්න ලද ඡන්ද ලක්ෂ 15 යහපාලනය වෙනුවෙ ඡන්දය ලබාදුන් පාවෙන ඡන්ද ලෙසද හැදින්විය හැක. එතුමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානතම ඉල්ලකය බවට එක්සත් ජාතික පක්ෂය පත්වූ බැවින් එමගින් අහිමි වූ ඡන්ද පදනම ලෙසද දැක්විය හැකිය.

කෑගල්ල හා ගම්පහ පසු ගිය මැතිවරණ වලදී එක්සත් ජාතික පක්ෂය ලබා ගත් ඡන්ද වලින් අහිමි වූ ඡන්ද වලට ආසන්න ප්‍රමාණයක් ජනාධිපතිතුමා ලබාගෙන ඇති බැවින් කිව හැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ‍ඔවුන්ගේ සම්ප්‍රදායික ඡන්ද වෙනුවට ආණ්ඩුවෙන් කැඩී ගිය ඡන්ද ලබා ඇති බවයි. මෙය එක්සත් ජාතික පක්ෂය අපේක්ෂා කළ තත්ත්වයට හාත්පසින්ම වෙනස් ප්‍රතිඵලයකි. එබැවින් එකට ආණ්ඩු කරමින් අලුත් සතුරන්ට අලුත් ප්‍රහාර වටයක් දියත් කල යුතු වේ. එය ලංකාවට අලුත් අත්දැකීමක් වනු ඇත.

මේ සියල්ලම මැද මිලියන 23ක් ජනතාවට එදිනෙදා කටයුතු සදහා ආණ්ඩුකරණය කලයුතු අතර ණය ගෙවීම, ආර්ථිකය ගොඩනැගීම, අධ්‍යාපන, සෞඛ්‍ය පහසුකම් ලබාදීම වැනි කටයුතු සිදුකල යුතු වේ. අවසාන වශයෙන් මට කිවහැක්කේ මෙයට සාර්ථකව මුහුණදීම මත 2020 ජයග්‍රහණය තීරණය වන බවයි. 2020  ජයගැනීමට සම්ප්‍රදායික දෙමල හා මුස්ලිම් ඡන්ද පදනම රැක ගතයුතු අතරම සිංහල ඡන්ද වලින් 50% ලබාගත යුතු වේ. එමෙන්ම වඩාත් වැදගත් දෙයනම් පක්ෂ අභ්‍යන්තරයේ කකුල් මාට්ටු දැමීම, කුමන්ත්‍රණය කිරීම අවසන් කල යුතු අතර එවැනි අය ජනතාවට හෙළිකල යුතු වේ. මෙම අමාරු කාලය අවසන් වන්නේ තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ගොඩ නැගුනු 2020 දීය. එතෙක් පක්ෂය කළමනාකරණය කරගැනීමත්, ජනතාව දිනාගැනීමත් කල හැකි, කල යුතු දෙයකි.

1 comment:

  1. මම හිතුවෙම රනිල් ආර්ථිකයට මොනවමහරි කරයි කියල. අන්තිමට උනේ බැඳුම්කරයට අහු උන එක. ඒ මදිවට සාගල ගෙ පොස්ට් එකත් රනිල් ගත්ත කියන්නෙ හොරුන්ට නං රජ මගුල්. කොහොම උනත් බත් කන හරක් ජනතාව ඉන්නකන් 2020 දි වෙන්නෙ ලස්සනට මහින්ද බලයට එන එක. ඒකට පාර කපන්නෙත් රනිල් මයිත්‍රී කියන ටොම් ඇන්ඩ් ජෙරී.

    ReplyDelete