Sunday, January 14, 2018

වයර්ලස් යුගයේ සිට ඩිජිටල් යුගය දක්වා රනිල්


1970 රනිල් වික්‍රමසිංහ දේශපාලනයට පිවිසෙන විට ශ්‍රී ලංකාවේ අධිපති මාධ්‍ය වුයේ පුවත්පත් හා වයර්ලස් නැතහොත් නීත්‍යානුකූලව ක්‍රියාත්මක වූ ගුවන්විදුලියයි. එවකට ප්‍රමුඛම පුවත්පත් වූයේ රනිල් වික්‍රමසිංහගේ පවුලට අයත්ව තිබූ ලේක් හවුස් ආයතනයයි. එසේම ලංකාවේ නිත්‍යානුකූලව ක්‍රියාත්මක වූ එකම ගුවන්විදුලි සේවය වූයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි.

හැත්තෑව දශකයේ දේශපාලනයට පැමිණි ශ්‍රී ලංකාවේ එලිට් පවුල්වල සියලුම දෙනා පාහේ ශ්‍රී ලංකාවෙන් පිටත යුරෝපයේ අධ්‍යාපනය ලැබූ අය විය. විශේෂයෙන්ම මැතිවරණයකට ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තු ගතවී මැති ඇමැතිකම් ගත් කොළඹ එලිට් පවුල්වල සියලුම දෙනා පාහේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලැබූ උගත්තු වූහ. නමුත් ලංකාවේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබා නීති උපාධිය ලබාගෙන නීතිඥයකු බවට පත්වූ රනිල් වික්‍රමසිංහ ප්‍රථමයෙන් කැලණිය කොට්ඨාශයෙනුත් දෙවනුව බියගම කොට්ඨාශයේත් ආසන සංවිධායකවරයා බවට එක්සත් ජාතික පක්ෂයේ පත්වෙද්දී ඔහු ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබා මැතිවරණයකට ඉදිරිපත් වූ දෙවන එලිට් පවුලක සාමාජිකයා විය. ප්‍රථමයා වන්නේ ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාය.

හැත්තෑව දශකය යනු මේ රටේ දේශපාලනයේ ජනමාධ්‍යයේ වයර්ලස් යුගයයි. එකල හේන් ගොවිතැන් කරන, කුඹුරු වැඩ කරන ගොවීන් හා රැකියාවල නිරත වන ශ්‍රී ලාංකිකයින් සියලුම දෙනා සවස් කාලයේ තමන්ගේ ගෙදර හෝ තම අසල්වැසි නිවසක තිබූ වෑර්ලස් යන්ත්‍රය වටා එකතු වී සින්දු අසමින්, ගුවන්විදුලි නාට්‍යය වලට සවන් දෙමින්, ප්‍රවෘත්ති ප්‍රචාරයට සවන් දෙමින් කාලය ගත කළේය. හැත්තෑව දශකයේ අග භාගයේ සහ අසූව දශකය මුල් භාගයේ ලංකාවේ දේශපාලනයේ කේන්ද්‍රීය ආයතනය වූයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. එසේම පුවත්පත් මුද්‍රණය කළද ශ්‍රී ලංකාවේ ඈත පළාත්වලට පුවත්පත් බෙදාහැරීමේ විශාල දුර්වලතා තිබුණු අතර සමාජීය තොරතුරු දැනගැනීමේ හෝ තොරතුරු දැනුම ලබාගැනීමේ විශාල බාධාවන්ගෙන් පීඩිතව තිබුණි. කොළඹ ජීවත් වූ බොහෝ දෙනා වඩාත් බලවත්, වඩාත් ධනවාදී, ශ්‍රී ලංකාවේ සම්පත් වැඩියෙන් පරිභෝජනය කරන කොට්ඨාසයක් බවට පත්ව තිබූ අතර ඔවුන් දැනුම නිසාම සමාජයේ විශේෂ වරප්‍රසාදිතයෝ වූහ. 

හැටේ දශකයේදී ලෝකයේ බොහෝ රටවල රූපවාහිනී සේවා ආරම්භ වුවත් ලංකාවේ ප්‍රථමයෙන් රූපවානිය ආර්ම්භ වන්නේ අසූව දශකයේ මුල් කාර්තුවේය. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයා වූ ශාන් වික්‍රමසිංහ මහතා විසින් ස්වාධීන රූපවාහිනිය ආරම්භ කරමිනි. රනිල් වික්‍රමසිංහ වයර්ලස් යුගයේ සිට වර්ථමාන ඩිජිටල් යුගය දක්වා අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කරයි. වයර්ලස් යුගයේ අවසන් කාර්තුවේදී රනිල් වික්‍රමසිංහ සාර්ථක දේශපාලනඥයකු ලෙස වර්ධනය වෙද්දී "රනිල් රනිල් ගොනා ගොනා, ගොන් පනතක් ගෙනා ගෙනා" යනුවෙන් එවකට සිටි ඊනියා මාධ්‍යෙව්දීන්, දේශපාලනඥයින් හා ප්‍රොපගැන්ඩා ඔස්තාර්ලා රනිල් වික්‍රමසිංහ විනාශකිරීමේ කටයුතුවල යෙදුනි. දශක තුනකට පසුවත් අදත් රනිල් වික්‍රමසිංහ ලංකාවේ සියලුම පුවත්පත්වල, ගුවන්විදුලියේ, රූපවාහිනියේ හා ඩිජිටල් මාධ්‍ය තුල ප්‍රමුඛ පුවත් මවන්නා වන අතර මීට දශක තුනකට පෙර ඔහු විනාශ කිරීමේ මාධ්‍ය මෙහෙයුම්වල යෙදුනු මාධ්‍ය සම්බැට්ටයින්ට වෙච්ච කෙරිච්ච දෙයක් නැත. ඔවුන් එකිනෙකාගේ ඉත්තන් බවට පත්ව රනිල් වික්‍රමසිංහ විනාශ කිරීමේ ව්‍යාපෘතිවල යෙදී අවසානයේ තමන්ට තිබූ තත්ත්වයද අහිමිකොටගෙන වේදිකාවෙන් බැස ගියේය. නමුත් රනිල් වික්‍රමසිංහ හා ඔහුගේ අනපනත් තීරණාත්මක සේවයක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනට සිදුකරමින් යහමින් වැජඹේ.

1994 න් පසුව එළඹුණු කාලයේ රූපවාහිනී යුගයේදී රටේ සියලුම රූපවාහිනී ප්‍රවෘත්ති වල වැඩි ඉඩක් වෙන්කරනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ බටලන්දට ඇති සම්බන්ධය මේ රටේ ජනතාවට පැහැදිලිකර දීමටය. එවකට රූපවාහිනී මාධ්‍යයේ ප්‍රමුඛතම ව්‍යාපෘතියක් වූයේ චන්ද්‍රිකා ජනාධිපතිනිය පිනවීමට රනිල් වික්‍රමසිංහ වැනසීමේ ව්‍යාපෘතියේ යෙදීමයි. රූපවාහිනිය ලංකාවට හදුන්වාදුන් වික්‍රමසිංහලාගෙන් කෙනෙකු වූ රනිල් වික්‍රමසිංහ එම මාධයේ දිග පළල හොදින් දැනසිටි අතර එදා ඔහුට ප්‍රහාර එල්ලකළ බොහෝ දෙනා වේදිකාවෙන් බැසගොස් තිබෙන නමුත් තවමත් රනිල් වික්‍රමසිංහ වේදිකාවේ සිටී. රූපවාහිනී මාධ්‍යයේ අදත් පුවත් මවන ප්‍රධානම දේශපාලනඥයා වන්නේ රනිල් වික්‍රමසිංහයි.

රූපවාහිනිය ඉදිරියේ වයර්ලස් හා පුවත්පත් පරාජය පිළිගෙන බැසගියා සේ ඩිජිටල් මාධ්‍ය ඉදිරියේ රූපවාහිනිය බැසයද්දී රනිල් වික්‍රමසිංහත් එක්සත් ජාතික පක්ෂයත් මේ රටේ දේශපාලන බලය හොබවමින් නිරුපද්‍රිතව සිටී.

අදද රනිල් වික්‍රමසිංහට ඔහුගේ දේශපාලන ජීවිතයේ හැමදාම මෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ලවේ. ඒ පිටුපස දැවැන්ත මාධ්‍ය හා ව්‍යාපාරික මාෆියාකරුවන් කිහිපදෙනෙකු සිටී. රනිල් වික්‍රමසිංහ එම කුඩා මාධ්‍යකරුවන්ට අලුත් සතුරෙකු හෝ අලුත් අත්දැකීමක් වුවද රනිල් වික්‍රමසිංහට මේ ඔහුගේ ජීවිත කාලය පුරාම ඔහුට එල්ලවූ ප්‍රචාරණ අභියෝගයයි. වයර්ලස් යුගයේ සිට ඩිජිටල් යුගය දක්වා අනුවර්ථනය වෙමින්, නවීකරණය වෙමින් එක්සත් ජාතික පක්ෂයත්, තමනුත් ආරක්ෂා වෙමින් ඉදිරියට ආ රනිල් වික්‍රමසිංහට මෙම මාධ්‍ය හා දේශපාලන මෙහෙයුම තම ජීවිතයේ මුහුණදුන් තවත් එක් සිදුවීමක් පමණි.

රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ජීවිතය අවසන් කිරීමට වසර හතලිහක් තිස්සේ වයර්ලස් යුගයේ සිට ඩිජිටල් යුගය දක්වා ප්‍රචාරක මෙහෙයුම් ක්‍රියාත්මක කළ සියලුම දෙනා වේදිකාවෙන් බැසයද්දී, තම ස්වයං විනාශය කැදවාගනිද්දී, තමන් සමාජයේ අවළංගු කාසි බවට පත්වද්දී රනිල් වික්‍රමසිංහ හැමදාම දේශපාලන කරළියේ ප්‍රමුඛ පුවත් මවන්නා විය. ඔහුගේ පැවැත්ම ස්ථිරසාරය. ඔහු සෙමින් අඩිය තියමින් බොහෝ දුර පැමිණ තිබේ. වසර හතලිහක් පාර්ලිමේන්තුව නියෝජනයකොට තිබේ. අද අපි දකිනා මෙම සමාජ ක්‍රමයට, ආර්ථික ක්‍රමයට අත්තිවාරම දැමූ නායකයා ඔහුයි. පෞද්ගලිකව මා කල්පනාකරනුයේ එතෙක් මෙතෙක් බිහිවූ දේශපාලනඥයින්ගෙන් සාර්ථකම දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ බවයි. එම දශක හතරක කාලය තුල බොහෝ දෙනා කරළිට පැමිණ වේදිකාවේ රගපා ඉන් බැසගියේය. ඒ අතර ජනාධිපතිවරු, අගමැතිවරු, ඇමතිවරු, කැරළිකරුවෝ ඇතුලු බොහෝදෙනා විය. ඔවුන් සියලු දෙනාම බැසගියද රනිල් වික්‍රමසිංහ තවමත් වේදිකාවේ සිටී.

එමනිසා අද රනිල් වික්‍රමසිංහට තර්ජනය කරන, අභියෝග එල්ල කරන බොහෝදෙනා වේදිකාවෙන් බැසයාමට නියමිත අතර ඔවුන් සමග ඔවුන්ට සම්බැට්ටකම් කරන මාෆියා මාධ්‍ය ආයතනද තමන්ගේ ගමන අවසන් කරනු ඇත. නමුත් රනිල් වික්‍රමසිංහත්, එක්සත් ජාතික පක්ෂයත් අඛණ්ඩව ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියේ පුවත් මවමින් වැජඹෙනු ඇත. එය රනිල් වික්‍රමසිංහගේ වචනයෙන් පැහැදිලි කරන්නේනම්, මේ රටේ ජනතාවට පොරොන්දු වූ ආර්ථික සමෘද්ධිය ලබාදෙන තුරු ඔහු දේශපාලන කරළියේ සිටිනු ඇත.

No comments:

Post a Comment