Monday, December 4, 2017

රනිල් ඇයි මෙහෙම



ඉන්දියානු සාගර කලාපයේ කාලගුණය කැලඹෙන්නට පෙර ශ්‍රී ලංකාවේ දේශපාලනය තුල පසුගිය සති තුන ඇතුළත විශාල ලෙස කැලඹීමක් පැවතිණි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිල අතර පැවති සාම සාකච්ඡා නිසාවෙන් එම දෙපක්ෂය තුළත්, එක්සත් ජාතික පක්ෂය තුළත් විශාල කැළඹීම් ස්වරූපයක් තිබුණි. එමෙන්ම මහ බැංකු බැඳුම්කර සිද්ධිය මත අග්‍රාමාත්‍යවරයා බැඳුම්කර කොමිසමට පැමිණීමත්, එම පැමිණීමට හා සමානව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් දියත් කරන ලද බැඳුම්කර කොමිසම එක්සත් ජාතික පක්ෂය දඩයම් කිරීම උදෙසා යොදාගත හැකි උපකරණයක් ලෙස මාධ්‍ය වලට ප්‍රකාශ නිකුත් කිරීමත් වැනි කාරණා නිසා එක්සත් ජාතික පක්ෂය තුළ විචිකිච්චාවක් ඇති විය. එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු ගණනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කිරීමට උත්සහ කළ අතර සුජීව සේනසිංහ අමාත්‍යවරයා සෘජුවම ජනාධිපතිවරයා වෙත එම චෝදනා එල්ල කළේය. මෙම කාරණා දේශපාලන කරළිය තුළ සිදුවෙද්දී අග්‍රාමාත්‍යවරයා සිටියේ ඉන්දියානු සංචාරයේ නිරත වෙමිනි. එම සංචාරය අවසන් වී ශ්‍රී ලංකාවට පැමිණි විගස පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම හමුවේ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනු ලැබුවේ, ජනාධිපතිවරයාට විරුද්ධව, ජනාධිපතිවරයාගේ පක්ෂය විසින් සිදුකරනු ලබන දේශපාලන කාරණා වලට විරුද්ධව ප්‍රකාශ නිකුත් නොකරන ලෙසයි. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු ඒ සම්බන්ධයෙන් එතරම් සතුටට පත් නොවූහ. නමුත් පක්ෂ නායකයාට එකඟ වෙමින් ඔවුන් ජනාධිපතිවරයාට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව අදහස් දැක්වීම නවතා දැමිණි.

එක්සත් ජාතික පක්ෂයේ තත්ත්වය එසේ වුවත් රටේ රූපවාහිනී මාධ්‍ය ආයතනයක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් මෙන්ම එහි නායකයින් විසින් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව මඩ ගැසීම් හා එහි නායකයා විවේචනය කිරීමක් පවත්වාගෙන ආවේය. අද වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් එක්සත් ජාතික පක්ෂය විවේචනය කිරීමේ කටයුතු ගම් මට්ටමේ සිට ජාතික දේශපාලන දක්වා හැම ස්තරයකම සිදුකරගෙන යයි. නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ස්ථාවරය වන්නේ කිසිදු හේතුවක් මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන කටයුතු විවේචනය නොකළ යුතු අතර ජනාධිපතිවරයාට එරෙහිව කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාකාරකමක නොයෙදිය යුතු බවයි.

සහජීවන ආණ්ඩුව පවත්වාගෙන යාමෙන් මේ රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂයට හා ජනාධිපතිතුමාට ලබාදුන් ජනවරම අනුව පොරොන්දු වූ කටයුතු ඉටු කිරීමට අගමැතිවරයාගේ කැපවීම අප අගය කළ යුතුයි. විටෙක ඒ සඳහා ඔහුට හා ඔහුගේ පක්ෂයට ගෙවීමට සිදුවන වන්දිය විශාල වුවද ජනවරමට අනුව කටයුතු කිරීමට අග්‍රාමාත්‍යවරයා අදිටන් කරගෙන ඇති බව බැලූ බැල්මට පෙනී යයි. කෙතරම් අපහසු තත්ත්වයක් තිබුණද දේශපාලන බලය පවත්වා ගැනීමෙන් එහාට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ආණ්ඩුකරණය පුළුල් දැක්මකින් හා පරිණත භාවයකින් යුතුව කරමින් සිටින බව අපට පෙනීයයි. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේ දී ජනතාව අතර සාපේක්ෂ ශක්තිමත් බවකින් පවතින අතර පළාත් පාලන මැතිවරණය දිනා ගැනීමේ ප්‍රබල හැකියාවක් ඇති බව අගමැතිවරයාගේ විශ්වාසයයි. එම නිසා මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන ක්‍රියාවලිය ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් දියත් කරනු ලබන වැඩපිළිවෙළට අකුල් හෙලීමෙන් වළකින ලෙසත්, එක්සත් ජාතික පක්ෂයට නියෝග කර තිබේ. මන්දයත් මේ ආණ්ඩුව ස්ථාවරව පවත්වා ගැනීමට නම් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව පැවතිය යුතු බව අගමැතිවරයාගේ අවබෝධයයි.
සැබවින්ම ඉදිරි එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිල නොහොත් පොදු ජන පෙරමුණට ජයග්‍රහණය කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව දැන් දැන් සමාජය තුළ විචිකිච්චාවක් පැනනැගී තිබේ. විශේෂයෙන්ම මහින්ද පිලට රට පුරා විසිරී පැතිරුණු පක්ෂ යාන්ත්‍රණයක් නොමැති නිසා එම මැතිවරණයට මුහුණ දීමේ විශාල අපහසු කම් අත්විදිමින් තිබේ. ජනතා විමුක්ති පෙරමුණටද සිදුවී ඇත්තේ එයයි. ඔවුන්ද රට පුරා ඇති සියලුම කොට්ඨාසවලට අපේක්ෂකයන් යොදවා ගැනීමේදී කාන්තා නියෝජනයට අදාළ කාන්තා අපේක්ෂකයන් සොයාගැනීම් විශාල අර්බුදයකට මුහුණ දී තිබේ.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, පක්ෂ යාන්ත්‍රණය සියයට හැත්තෑවකටත් වඩා සතුව ඇත්තේ ජනාධිපතිවරයාගේ පිලටයි. එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිතුමාගේ පිලට මෙම තත්ත්වයට මුහුණ දීමේ කිසිදු තාක්ෂණික අපහසුතාවයක් නැත. එසේම එක්සත් ජාතික පක්ෂයට මෙවැනි තත්ත්වයන් අදාලම නොවේ. මේ මොහොත වන විටත් එක්සත් ජාතික පක්ෂය අපේක්ෂක ලැයිස්තු සකස් කිරීමේ කටයුතු වල සියයට අසූවකටත් වඩා අවසන් කර ඇති අතර අපේක්ෂකයන් ඉතාමත් වේගයෙන් ග්‍රාමීය මට්ටමේ සංවිධාන කටයුතුවල යෙදෙමින් සිටී. මෙම තත්ත්වය මත එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දැඩි විශ්වාසය, මෙම මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි බවයි. එම නිසා යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකේ සහජීවනයට හානිවන ආකාරයේ කිසිදු දේශපාලන ක්‍රියාවලියක්, ප්‍රකාශයක් හෝ වැඩසටහනක් සිදු නොකරන ලෙස පක්ෂයේ සියලුම ස්තර වල ක්‍රියාකාරීන්ට හා නායකයින්ට අගමැතිවරයා විසින් තරයේ අවවාද කරන ලදී.

මෙම තත්ත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය එක්තරා අකාරයකට උවතෝකෝටිකයකට මුහුණදී තිබුණද රට තුළ ක්‍රියාත්මක වන ආර්ථික වැඩසටහන හා සමාජ, ආර්ථික, දේශපාලනික ප්‍රතිසංස්කරණය පිළිබද කතිකාව ජනතාව හමුවේ තබමින් පරිණත දේශපාලනයක යෙදෙමින් පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට අපේක්ෂා කරයි. එසේම චිරහත් කාලයක් වංචාවෙන්, දූෂණයෙන් හා අකාර්යක්ෂමතාවයෙන් පිළිණු වී තිබූ ප්‍රාදේශීය පරිපාලනයට දක්ෂ, උගත්, බුද්ධිමත්, අලුත් මුහුණු හදුන්වාදෙමින් ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහනගර සභා වල බලය අත්පත් කරගැනීමට අපේක්ෂා කරයි.

No comments:

Post a Comment