Monday, November 6, 2017

පොහොට්ටුව පිපෙයිද ?



ශ්‍රී ලංකාවේ දේශපාලන⁣⁣ය විශේෂ වෙනස්කම් කිසිවක් පසුගිය සතියේ සිදු නොවුනද පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මැතිතුමා විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා වූ ගැසට් පත්‍රයට අත්සන් තබනු ලැබුවා. එම ගැසට් පත්‍රය අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තිබූ අවසාන නීතිමය බාධාවත් ඉවත් විය. මේ අනුව මැතිවරණය ජනවාරි මාසය අගදී සහ නාම යෝජනා කැඳවීම දෙසැම්බර් මාසයේ මැදදී සිදු වේ. එම මැතිවරණය රටේ සියළුම දේශපාලන පක්ෂ වලට හා බලවේග වලට තීරණාත්මක මැතිවරණයකි. මෙම පළාත් පාලන මැතිවරණය ජය ගැනීම එක්සත් ජාතික පක්ෂයේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ප්‍රධාන දේශපාලන පක්ෂවලත් අභිලාෂයයි. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදී ගොඩනැගී ඇති රාජපක්ෂවරුන්ගේ පොදුජන පෙරමුණ මෙම මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල අභියෝගයක් වනු ඇත.

පොදුජන පෙරමුණ මූලික වශයෙන් පළාත් පාලන මැතිවරණයේදී ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ උත්කර්ෂයට නංවනු ලබන කාරණා කීපයක් තිබේ. මාගේ පෞද්ගලික තක්සේරුවට අනුව නම් ප්‍රාදේශීය සභා නියෝජිතයින්ගේ නාම යෝජනා ලබාගනු ලබන හිටපු ප්‍රාදේශීය සභා සහ නියෝජිතයින්ගේ පසුගිය කාලයේ ක්‍රියාකාරකම්, මැතිවරණයකදී ඡන්ද ලබා ගැනීම සඳහා භාවිත කිරීමට නොහැකි තරම් දූෂිතය. විශේෂයෙන්ම ප්‍රාදේශීය සභාවල නියෝජිතයින් පාසල් වලට ළමයින් දැමීමේ සිට පාරවල් වලට කොන්ක්‍රීට් දැමීම දක්වා වූ සියලුම පොදු වැඩ වලදී අල්ලස් ලබාගෙන, කොමිස් ලබාගෙන කුජීත වී සිටිති. එය පොදුජන පෙරමුණ උත්කර්ශයට නංවනු ලබන ඔවුන් සතු හිටපු ප්‍රාදේශීය සභා නියෝජිතයින්ගේ ශක්තියේ විශාල දුර්වතාවයක් ද විය හැකිය. මන්ද මෙම මැතිවරණයේදී කොට්ඨාශය තුළ ඇති සෑම පවුලකම සෑම පුද්ගලයෙකුගේම ඡන්දය වැදගත් වන බැවිනි. එහි දී මැද ඡන්ද, තරුණ ඡන්ද හා අලුත් ඡන්ද රාජපක්ෂ වරුන්ගේ පෙරමුණට ලබා ගැනීමට ඇති ඉඩකඩ අඩුය. ඔවුන් ලබාගනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාම්ප්‍රදායික ඡන්ද පදනමෙන් කොටසකි. එම ප්‍රමාණය ග්‍රාමීය
කොට්ඨාස ජයග්‍රහණය කිරීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවනු ඇත.

පොදුජන පෙරමුණ විසින් මෙම මැතිවරණයේදී ගෙන එනු ලබන අනෙකුත් ප්‍රචාරක උපක්‍රමය වන්නේ සිංහල ජාතිකත්වය හා බුද්ධාගමයි. මෙම මැතිවරණ සටන් පාඨය නිසාම මැතිවරණ ආරම්භයේදීම පොදුජන පෙරමුණට දෙමළ, මුස්ලිම් හා කතෝලික ඡන්ද අහිමි වනු ඇත. නමුත් සිංහල පමණක් ඇති කොට්ඨාස වලට එය වාසියක් ලෙස පෙනුණද ග්‍රාමීය ජනතාව ඡන්දය ප්‍රකාශ කරනුයේ ජාතිය හා ආගම මත පදනම්ව

පමණක් නොවන අතර අනෙකුත් දේශපාලන පක්ෂවල සාම්ප්‍රදායික ඡන්ද පදනමෙන් ඉවත් වූ විට ඉතිරි ඡන්ද වලට එයින් බලපෑමක් කළ හැකිය. නමුත් එය කොට්ඨාසයක් ජයග්‍රහණය කිරීමට තරම් ප්‍රමාණවත් දැයි විමසා බැලිය යුතුය. පොදුජන පෙරමුණ විසින් ගෙන ඒමට නියමිත අනිකුත් මැතිවරණ සටන් පාඨය වනුයේ එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තියයි. එම ආර්ථික ප්‍රතිපත්ති වලට විරුද්ධව ඇති චෝදනා ඉතාම රසවත් ආකර්ෂණීය චෝදනා වේ. නමුත් මෙම චෝදනා රාජපක්ෂවරුන් ගේ ආර්ථික ප්‍රතිපත්තියයි. උදාහරණ ලෙස ඉඩම් විකිණීම පිළිබඳ ඇති චෝදනාව ගන්න. එය රාජපක්ෂවරුන්ගේ ප්‍රමුඛ ආර්ථික ප්‍රතිපත්තියයි. එක්සත් ජාතික පක්ෂයට මේවා ඉතා පහසුවෙන් නිශේධනය කළ හැකි චෝදනාය.

මෙම මැතිවරණයේදී පොදුජන පෙරමුණ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ගෙන ආ හැකි ප්‍රධානම චෝදනාවක් වන්නේ එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්‍රයට කටයුතු කරමින් සිටින බවයි. එම චෝදනාව මෙම පක්ෂ දෙක අපහසුවට පත් කරන නමුත් මැතිවරණයක් අවස්ථාවකදී සෑම දේශපාලන පක්ෂයක්ම බෙදී වෙන්වී සිටින තත්වයක් තුළ එම චෝදනාවට වටිනාකමක් නොලැබෙනු ඇති බව මාගේ විශ්වාසයයි. මන්ද මැතිවරණ සමයේදී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් තීරණාත්මක ලෙස බෙදී වෙන් වී මැතිවරණයට මුහුණ දෙන නිසාය.

එසේම මෙම මැතිවරණයේ පොදුජන පෙරමුණට ඇති අනෙකුත් විශාලතම අභියෝගය නම් එම පෙරමුණ සතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ආසන සංවිධායකයින් නොමැති වීමයි. අවසානයේදී ග්‍රාමීය මට්ටමේ වැඩකටයුතු තීරණය වන්නේ ආසන සංවිධායකගෙන් වන අතර ජනතාව සංවිධායකයෝ වටා එක්වී පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දෙන බව මාගේ මතයයි. ඒ කෙසේ වුවද ලංකා ඉතිහාසයේ පළාත් පාලන මැතිවරණ ජය සැමවිටම ලැබී ඇත්තේ පවතින ආණ්ඩුවට පක්ෂවය. මන්දයත් පළාත් පාලන මැතිවරණය ආණ්ඩු මාරු කරන ජාතික මැතිවරණයක් නොවන තත්ත්වයක් තුළ ජනතාව විසින් පවතින ආණ්ඩුවේ කණ්ඩායම් තම ගම් පළාතේ සංවර්ධන කටයුතු වලට සම්බන්ධ කරගැනීමට සහ පත්කර ගැනීමට උනන්දුවක් දක්වයි.

එසේම ග්‍රාමීය මැතිවරණ වලදී ඡන්දය දැමීමේ ප්‍රතිශතය 50% ක පමණ තත්ත්වයක පවතින අතර එහිදී ප්‍රධාන වශයෙන් පක්ෂයේ කණ්ඩායමක් ඡන්දපොළට නොයෑම සිදුවේ. ඒ හේතුව නිසා ආණ්ඩු කණ්ඩායම් සාර්ථක ව්‍යාපාරයක් මගින් ජනතාව ඡන්ද පොළට ගෙන්වා ගැනීමේ හැකියාව ඉහල නංවාගත් තරමට ජයග්‍රහණය ලැබීමට ඉඩකඩ වැඩිවේ.

පළාත් පාලන මැතිවරණ පුරෝකතනය අනුව කිව හැක්කේ එක්සත් ජාතික පක්ෂය විසින් මුස්ලිම් සහ ද්‍රවිඩ ඡන්ද ඇති ආසන සියල්ලම පාහේ දකුණු පළාතේ ජයගැනීමට හැකි අතර සිංහල බෞද්ධ බහුතරය ඇති ආසනවල වැඩි ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයට ජය ගත හැකිය. මන්දයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී ඇති තත්ත්වයක් තුළ යෝජිත නව මැතිවරණ ක්‍රමයේ පෙන්වා දෙනු ලබන බෞද්ධ ඡන්ද එක්සත් ජාතික පක්ෂයට ලබා ගත හැකි අතර ලැයිස්තු මන්ත්‍රීවරුන්ද විශාල ප්‍රමාණයක් ලබා ගත හැකිය. මෙම පළාත් පාලන මැතිවරණයේ වැඩිම වාසිය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටය.

No comments:

Post a Comment