Monday, November 27, 2017

විහින් හුදෙකලා වීම


පසුගියදා කොළඹ ජනාධිපති නිල නිවසේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පැවැත්වුණා. එම මධ්‍යම කාරක සභාව අවසානයේ එළියට එනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභිකයින්ගෙන් මාධ්‍යවේදීන් සිදුවූයේ කුමක්දැයි විමසුවා. එහිදී ඔවුන් සියලුම දෙනාගේ පාහේ උත්තරය වූයේ ඒකාබද්ධ විපක්ෂය සමග එකතු වීමට තීන්දුවක් ගත් බවයි. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය පමණක් රථයේ වීදුරුව වසාගෙන පිටත්ව ගියා. මේ අනුව කිව හැක්කේ එම මධ්‍යම කාරක සභාව තුල, මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහින්ද පිළත්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත්‍රී පිළත් එකට එක්වීම සඳහා බරපතළ සාකච්ඡාවක නිරත වී ඇති බවයි. එහිදී ජනාධිපතිවරයා එම රැස්වීමේ මුලසුන හොබවන්නට ඇත. දේශපාලනයේදී සදාකාලික සතුරෝත්, සදාකාලික මිතුරෝත් නැති බව සැබෑවකි. නමුත් මේ රටේ හැටදෙලක්ෂයක් ජනතාව තම දිවි පරදුවට තබා රාජපක්ෂවරු දේශපාලනයෙන් අතුගා දැමීමට පාවිච්චි කරන ලද ජනවරම හිමි වර්තමාන ජනාධිපතිවරයා නැවත රාජපක්ෂවරු බලයට ගෙන ඒමේ ව්‍යාපෘතියට මුලසුන ගැනීම දෛවයේ සරදමකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක හැර වෙනත් කිසිවකු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, ජනාධිපති කිරීමේ සටනට උර දෙනු නොලැබීය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යනු එතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යහමින් බුක්තිවිදිමින් සිටි, රාජ්‍ය බලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එක්සත් ජාතික පක්ෂයට ලබා ගැනීම සඳහා, එක්සත් ජාතික පක්ෂය විසින් භාවිතා කරන ලද නායකයාය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිමතයට පිටින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජනවාරි 8 බලවේගවලට නායකත්වය ලබාදී, එම බලවේගය විසින් රාජපක්ෂවරු ගෙදර යැවීම සඳහා (තෝරා ගන්නා ලද) තුරුම්පුවයි. ඒ අනුව ජනාධිපතිවරයා කුමන මට්ටමේ පුද්ගලයකු වුවද මාගේ පෞද්ගලික තක්සේරුව නම් බුදුන්වහන්සේගේ තත්ත්වයට දශමයක් පහල තත්ත්වයකට පත්වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය, ආදරය හා ප්‍රේමය දිනාගත නොහැකි වනු ඇති බවයි. ඒ සඳහා ජනාධිපතිවරයා සිහින දකින්න උත්සාහ කරන්නේ නම් එය තකතීරු කමකි. විශාල දේශපාලන වැරැද්දකි.

මේ මොහොතේ ජනාධිපතිවරයා වටා සිටින සියලුම දෙනාගේ ඉරණම ද එයයි. නමුත් ඔවුන්ට ජනාධිපතිවරයා හා යහපාලන ආණ්ඩුවට එරෙහිව යාමෙන්, එක රැයකින් විපක්ෂයේ කණ්ඩායම් අතර පැවැත්මක් සකසාගත හැකි වෙයි. නමුත් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් එය එසේ නොවේ. ඔහු එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ වුව ද, අග්‍රාමාත්‍යවරයා සමඟ මාරාන්තික සටන්කට එක්වූව ද, රාජපක්ෂවරුන්ට මල් පහන් තබා පුද පූජා කළ ද, මෙම ජන පදනම තුළ පැවැත්ම සකසා ගත නොහැක්කේය. ජනාධිපතිවරයාගේ ජන පදනම වී තිබුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන ලැදි ජනතාවගේ ජන පදනමයි. මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ වැරදි දේශපාලන ගණන් හැදීම මගින් එම ජන පදනම තුළ ඔහු හුදෙකලා වී හෝ කොන්වී තිබේ. එසේම සමහර කොටස් වල මාරාන්තික විරෝධයක් ජනාධිපතිවරයා කෙරෙහි තිබේ.

අග්‍රාමාත්‍යවරයා සෑමවිටම පාහේ ජනාධිපතිවරයාගේ කැමැත්ත හා ආශ්වාදය යහපාලන ආණ්ඩුව කෙරෙහි තබා ගැනීමට දැඩි උත්සහයක් ගනී. එසේ වුවද ජනාධිපතිවරයා කල්පනා කරනුයේ එක්සත් ජාතික පක්ෂයට එරෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැති ඇමැතිවරුන් ජනාධිපතිවරයා හමුවේ, එක්සත් ජාතික පක්ෂයට එරෙහිව නගන අවලාද වලට යම්කිසි ආකාරයකින් අනුගත වෙමිනි. 2015 ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල ජනාධිපතිතුමා ජනතාව හමුවේ තැබුවේ ඔහු නිර්පාක්ෂික ජනාධිපතිවරයා කියාය. වර්තමානයේදී ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා හැටියට විශාල වගකීමක් පැවරී ඇති අතර ඔහු කටයුතු කරමින් සිටිනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාට හෝ ඒ ආසන්නයටය. එය එසේ කළ යුතු බවට ජනාධිපතිවරයා එදිරිව කොන්දේසි ගොඩනැගෙමින් තිබේ.

2015 ජන ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණය අවසන් වී දින කිහිපයක් තුළම ජනාධිපතිවරයා ගොඩවූයේ වැරදි බෝට්ටුවටය. තමන් අතහැර පැමිණි, එසේම තමන්ට ජනාධිපතිවරණයේදී ප්‍රබලතම සතුරා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය ලබා ගැනීම එක්තරා ආකාරයකින් දෛවෝපගත සරදමකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගැනීමේ කිසිදු වරදක් නොදකින නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා එළිපිට කටයුතු කිරීමට උත්සහ කිරීම (ජනාධිපතිවරයාගේ කණ්ඩායම) ලක්ෂ හැටදෙකක් වූ ජනතාව අතර ජනාධිපතිවරයා කෙරෙහි තරහක්, වෛරයක් ඇති කිරීමට හේතුවී තිබේ. දේශපාලඥයෙකු නම් ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ඔහුගේ පක්ෂය, ඔහුගේ පාක්ෂිකයන්ගෙන් හා ඔහු හැදුණු වැඩුණු ජන සමාජය තුළ ආශිර්වාදය තිබිය යුතුවේ. නැතිනම් විශාල ජන සමාජයක හුදෙකලා චරිතයක් බවට පත්වේ. ජනාධිපතිවරයෙකු එම ඉරණමට පත්වීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි.

ජනාධිපතිතුමා ඡන්ද පදනමක් නැති රාජ්‍ය නායකයා බවට පත්ව තිබේ. තමන්ට සැබෑ ලෙසම ආදරය කරන බිරිදක්, පවුලක් සිටියදී සතුරාගේ බිරිඳ සමඟ පවුල් කෑමට කල්පනා කරනු ලබන්නෙකුගේ තත්ත්වයට ජනාධිපතිතුමා ඇද වැටී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිතුමා පැවැත්මක් අපේක්ෂා කරන්නේ නම් එය මිරිඟුවකි. මන්දයත් ජනාධිපතිතුමා වටේ සිටින බොහෝ දෙනකු ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් ජනාධිපතිතුමා පාවා දීමට පසුබට නොවේ.

අනෙක් අතින් එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා දීගෙන් ලැබුණු කෙංගෙඩියක් නැති අතර රටට ලැබුණු කෙංගෙඩියක්ද නැත. තුනෙන් දෙකක බලයක් තිබුණද එම බලය උපයෝගී කොටගෙන ජනවාරි 8 හෝ අගෝස්තු 17 වෙනිදා ජනවරමට සාධාරණයක් ඉටු කිරීමට නොහැකි මට්ටමට ආණ්ඩුව පත්ව තිබේ යැයි මට සිතේ. එක්සත් ජාතික පාක්ෂිකයන්ට මේ මොහොතේදී මහින්ද රාජපක්ෂ හා රාජපක්ෂවරුන් සතුරන් වන්නේද, ජනාධිපතිතුමා හා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝද එතරම්ම සතුරන් වෙති. එම තත්ත්වය වහා වෙනස් කළ යුතු තත්ත්වයකි. ජනාධිපතිතුමා එක්සත් ජාතික පාක්ෂිකයින්ගේත්, එම දේශපාලකයින්ගේත් විශ්වාසය දිනාගැනීමට වහ වහා කටයුතු කළ යුතුය.

Sunday, November 19, 2017

බාධාකිරීම් මැද රනිල්, නැව ගමනාන්තයට යොමුකර තිබේ


2015 ජනවාරි 8 වන දා ජනාධිපතිවරණය නොපැවැත්තුවේ නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන්නේ මෙම සතිය තුළදීය. එසේ වූයේ නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හා ඔහුගේ පවුලේ රෙජීමය පසුගිය වසර දෙක තුළ මේ රට පාලනය කරනු ලබයි. එය එසේ වී තිබුණි නම් විය යුතුම පරිදි සිදු විය යුතුව තිබුණේ ලංකාව විසාලා නුවරක් බවට පත්වීමයි. 2015 මාර්තු 29 වන දා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නියමිතව තිබූ සම්බාධක පැනවූයේනම් එම සම්බාධක මත පදනම්ව රට තුළ ඇති වීමට නියමිතව තිබූ අර්බුධ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගය, ඉන්ධන හිඟය, බෙහෙත් හේත් හා විදේශ මුදල් හිගය, වැනි කාරණා මෙන්ම පිට රටවලට ගමන් කිරීමට ඇති අපහසුව වැනි කාරණා වලින් රට අවුල් ජාලයක් බවට පත්වීමට ඉඩ තිබුණි. වාසනාවකට මේ රටේ ජනතාව මෙම තත්ත්වය තේරුම් ගත් අතර එවකට පැවති අන්ත දූෂිත භීෂණකාරී සුදු වෑන්වලින් මිනිසුන් අතුරුදහන් වන, මහ මග මිනිසුන් මරා දමන, පාර්ලිමේන්තුව ඒකාධිපතිත්වයට පාර කපන මෙවලමක් වූ රාජපක්ෂ රෙජීමය පිළිබද අවබෝධ කරගත්තේය. එකල මත් ද්‍රව්‍ය බෙදාහැරීම සිදුවූයේ රජයේ අනුග්‍රහය ඇතිවය. මෙම අවාසනාවන්ත තතත්වය තේරුම්ගත් ජනතාව විසින් එම මොහොතේදී තීරණාත්මක ලෙස රාජපක්ෂ රෙජිමය පරදවන ලදී.

එම මැතිවරණයේදී ජනතාවගේ තෝරා ගැනීම වූයේ එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාය. එදා එම මොහොතේ රාජපක්ෂවරු තීරණාත්මක ලෙස පරාජය කිරීමට සම්බන්ධ වූ බලවේග සහ කණ්ඩායම් අද ප්‍රකාශ කරන කාරණා දෙස විමසා බැලීමේදී මා හට පෙනී යන එක් ප්‍රධාන කාරණයක් තිබේ. එනම් එදා තිබූ තත්ත්වය අනුව කුමන කොන්දේසියක් යටතේ හෝ රාජපක්ෂ රෙජිමය පැරදවීම ඔවුන්ගේ ඒකායන අරමුණ වූ බවයි. එහිදී ඇති වූ අරගලය තුළ ඔවුන් කිසිවක් බලාපොරොත්තු නොවූ අතර අඩුම තරමින් කාර්යක්ෂම, අවංකව වැඩ කරන ජනාධිපතිවරයකු වුව ද බලාපොරොත්තු නොවීය. එම අවස්ථාවේදී මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගත් එක්සත් ජාතික පක්ෂය හා ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මෙම විධායක ජනාධිපති ධූරය සම්පූර්ණයෙන්ම අහෝසි කරන බවට ජනතාවට ප්‍රතිඥා ලබා දුන්නේය. එම නිසා වර්තමාන ජනාධිපතිතුමා මෙම තනතුරට ගැලපෙනවාද නැද්ද යන්න එම අරගලයට සම්බන්ධ වූවන්ට හා එක්සත් ජාතික පක්ෂයට ගැටළුවක් නොවීය. අද එම ප්‍රථම පොරොන්දුව පිළිබඳව වගේ වගක් නොමැතිව ආණ්ඩුව සිටියද, විධායක ජනාධිපති ධූරය හා සබැඳුණු අසාධාරණකම්, බලය යෙදවීම් නිසාවෙන් ජනතාව තුළ නැවතත් ජනාධිපති ධූරයේ පැවැත්ම පිළිබඳව සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. වර්තමාන ජනාධිපතිවරයා මේ රටේ රාජ්‍ය නායකයා ලෙස පත්කර ගැනීමට ජනවරම ලැබුණේ ඔහු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර සියළු බලතල පාර්ලිමේන්තුවට පවරා දෙන බවට ලබා දුන් පොරොන්දුව මතයි. එබැවින් මේ රටේ ජනතාවට වර්තමාන ජනාධිපතිවරයා මේ රට ගොඩ දමතැයි, දැමීමට උත්සාහ කරයි හෝ එසේ කළද, ඔහු කළ යුතු යැයි කියා බලාපොරොත්තුවක් නොමැත. 2015 ජනවාරි 8 වැනි දා ජනාධිපතිවරණයේදී මේ රට සංවර්ධනය කරන වැඩ සැලැස්මක්, වෙනත් කිසිදු වැඩපිළිවෙලක් ජනතාව හමුවේ නොතිබුණු අතර ජනතාවට පොරොන්දු වූ එකම වැඩපිළිවෙල රාජපක්ෂ රෙජීමය ගෙදර යවා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර, පාර්ලිමේන්තුවට රටේ බලතල ලබා දෙන බවයි. ජනවාරි 8 යහපාලන ජනවරම එයයි. රට ගොඩදැමීමට හා දියුණු කිරීමට ජනවරමක් ඉල්ලා සිටියේ 2015 අගෝස්තු මහ මැතිවරණය තුළිනි. එහිදී මේ රටේ ජනතාව රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට රටේ ආර්ථික දියුණුවත්, සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ජනවරමත් ලබා දුනි. ජනාධිපතිවරයාගේ ජනවරම ඇත්තටම දින සියයේ ආණ්ඩුව සඳහා ලබාදුන් ජනවරමක් වන අතර ජනාධිපතිවරයා විසින් වර්තමාන ආණ්ඩුවේ කටයුතු මෙහෙයවිය යුතු යැයි මේ රටේ කුරා කූඹියෙක්වත් සිතන්නේ නැත. කවුරුන් හෝ එසේ සිතන්නේනම් හෝ ඒ සදහා උඩගෙඩි දෙන්නේනම් ඒ ජනාධිපතිවරයා අන්දවා මැති ඇමතිකම්, තානාපතිකම්, තනතුරු වරප්‍රසාද, බිස්නස් ආදිය ලබාගැනීමට බලාපොරොත්තු වන හොර ගෙඩියන්ය. රට ගොඩදැමීම තමන්ගේ වගකීමක් යැයි අඩුම තරමින් ජනාධිපතිවරයාවත් සිතන්නේ නැත. යහපාලන ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු සහ ජනාධිපති මාධ්‍ය අංශයනම් මේ රටේ සියල්ලම විධායක ජනාධිපතිවරයාගේ උර මත යැයි අඩබෙර ගසයි.


විධායක ජනාධිපති ධුරයේ බලතල අහෝසි කර එම බලතල පාර්ලිමේන්තුවට පවරා දීමට පැමිණි ජනාධිපතිවරයා ගැන ජනාධිපති මාධ්‍ය අංශයේ සහෝදර සහොදරියන් ප්‍රකාශ කරන පරිදි මේ මොහොතේ ජනාධිපතිවරයා විසින්  එක්සත් ජාතික පක්ෂය නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංයුතියකින් යුත් ආණ්ඩුවක් බිහි කිරීමට උත්සාහ කිරීම හිතළුවකි. මන්ද පසුගිය වසර දෙකකට වඩා වැඩි කාලයක් තුළ එක්සත් ජාතික පක්ෂය දේශපාලනයේ යෙදුණු ආකාරය අනුව සරල බහුතරය සහිත ආණ්ඩුවක් ගොඩනගා ගැනීම කජු කනවා වැනි වැඩකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපිලම එකතුවී කණ්ඩායමක් ගොඩනැගුවද ගොඩනගා ගත හැකිවන්නේ යන්තම් ආසන 75ක් පමණි. සරල බහුතරයක් ගොඩනැගීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපිලටම ආසන 113ක් තිබිය යුතුය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අගමැති ධූරය කෙසේ වෙතත් විපක්ෂ නායක ධූරයනම් අනිවාර්යෙන්ම ලබාගත හැකිය. ජනාධිපති කාර්ය මණ්ඩලයේ මහත්වරු වෙබ් අඩවිවලට කෙතරම් මඩ ප්‍රචාර යැවූවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු තමන්ගේ අමාත්‍ය ධූර අතහැර, විපක්ෂයට ගොස් තමන්ට පිනට හම්බවූ නිවසත්, වාහන තුනත්, කාර්ය මණ්ඩලයත්, අනෙකුත් වරප්‍රසාදත් අහිමිකරගැනීමට කැමති නොවනු ඇත. අනෙක් අතින් යූ. එන්. පී. කාරයෝ යනු යූ. එන්. පී. කාරයෝය. ඔවුන් පක්ෂයේ එකිනෙකා විවේචනය කරගැනීම සාමාන්‍ය දෙයකි. නායකයාට විරුද්ධව නාහෙන් ඇඩීම තේමා ගීතයක් වැනිය. නමුත් පක්ෂයේ අයෙකුට හෝ පක්ෂයට යම් ප්‍රශ්නයක් පැමිණි විට ඔවුන්ගේ රතු ලේ කොළ පාට වේ.

මෙම යූ. එන්. පී. කාරයින්ගේ කන්කෙදිරියට රැවටී තම අනාගතය අහිමිකරගත් අය අතර දයාසිරි ජයසේකරගේ සිට කරූ ජයසූරිය දක්වා බොහෝ දෙනෙක් සිටී.

මේ අනුව අවසාන වශයෙන් මට කිව හැක්කේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් 2025 දක්වා පවතින බවයි. යූ. එන්. පී. කාරයෝ බලය පවත්වාගැනීම සදහා කල යුත්තේ කුමක්දැයි වේගයෙන් ඉගෙනගනිමින් සිටින අතර අවශ්‍යනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂය හා එක්වී රාජ්‍ය පාලනයට සම්බන්ධවිය හැක.

Monday, November 6, 2017

පොහොට්ටුව පිපෙයිද ?



ශ්‍රී ලංකාවේ දේශපාලන⁣⁣ය විශේෂ වෙනස්කම් කිසිවක් පසුගිය සතියේ සිදු නොවුනද පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මැතිතුමා විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා වූ ගැසට් පත්‍රයට අත්සන් තබනු ලැබුවා. එම ගැසට් පත්‍රය අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තිබූ අවසාන නීතිමය බාධාවත් ඉවත් විය. මේ අනුව මැතිවරණය ජනවාරි මාසය අගදී සහ නාම යෝජනා කැඳවීම දෙසැම්බර් මාසයේ මැදදී සිදු වේ. එම මැතිවරණය රටේ සියළුම දේශපාලන පක්ෂ වලට හා බලවේග වලට තීරණාත්මක මැතිවරණයකි. මෙම පළාත් පාලන මැතිවරණය ජය ගැනීම එක්සත් ජාතික පක්ෂයේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ප්‍රධාන දේශපාලන පක්ෂවලත් අභිලාෂයයි. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදී ගොඩනැගී ඇති රාජපක්ෂවරුන්ගේ පොදුජන පෙරමුණ මෙම මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල අභියෝගයක් වනු ඇත.

පොදුජන පෙරමුණ මූලික වශයෙන් පළාත් පාලන මැතිවරණයේදී ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ උත්කර්ෂයට නංවනු ලබන කාරණා කීපයක් තිබේ. මාගේ පෞද්ගලික තක්සේරුවට අනුව නම් ප්‍රාදේශීය සභා නියෝජිතයින්ගේ නාම යෝජනා ලබාගනු ලබන හිටපු ප්‍රාදේශීය සභා සහ නියෝජිතයින්ගේ පසුගිය කාලයේ ක්‍රියාකාරකම්, මැතිවරණයකදී ඡන්ද ලබා ගැනීම සඳහා භාවිත කිරීමට නොහැකි තරම් දූෂිතය. විශේෂයෙන්ම ප්‍රාදේශීය සභාවල නියෝජිතයින් පාසල් වලට ළමයින් දැමීමේ සිට පාරවල් වලට කොන්ක්‍රීට් දැමීම දක්වා වූ සියලුම පොදු වැඩ වලදී අල්ලස් ලබාගෙන, කොමිස් ලබාගෙන කුජීත වී සිටිති. එය පොදුජන පෙරමුණ උත්කර්ශයට නංවනු ලබන ඔවුන් සතු හිටපු ප්‍රාදේශීය සභා නියෝජිතයින්ගේ ශක්තියේ විශාල දුර්වතාවයක් ද විය හැකිය. මන්ද මෙම මැතිවරණයේදී කොට්ඨාශය තුළ ඇති සෑම පවුලකම සෑම පුද්ගලයෙකුගේම ඡන්දය වැදගත් වන බැවිනි. එහි දී මැද ඡන්ද, තරුණ ඡන්ද හා අලුත් ඡන්ද රාජපක්ෂ වරුන්ගේ පෙරමුණට ලබා ගැනීමට ඇති ඉඩකඩ අඩුය. ඔවුන් ලබාගනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාම්ප්‍රදායික ඡන්ද පදනමෙන් කොටසකි. එම ප්‍රමාණය ග්‍රාමීය
කොට්ඨාස ජයග්‍රහණය කිරීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවනු ඇත.

පොදුජන පෙරමුණ විසින් මෙම මැතිවරණයේදී ගෙන එනු ලබන අනෙකුත් ප්‍රචාරක උපක්‍රමය වන්නේ සිංහල ජාතිකත්වය හා බුද්ධාගමයි. මෙම මැතිවරණ සටන් පාඨය නිසාම මැතිවරණ ආරම්භයේදීම පොදුජන පෙරමුණට දෙමළ, මුස්ලිම් හා කතෝලික ඡන්ද අහිමි වනු ඇත. නමුත් සිංහල පමණක් ඇති කොට්ඨාස වලට එය වාසියක් ලෙස පෙනුණද ග්‍රාමීය ජනතාව ඡන්දය ප්‍රකාශ කරනුයේ ජාතිය හා ආගම මත පදනම්ව

පමණක් නොවන අතර අනෙකුත් දේශපාලන පක්ෂවල සාම්ප්‍රදායික ඡන්ද පදනමෙන් ඉවත් වූ විට ඉතිරි ඡන්ද වලට එයින් බලපෑමක් කළ හැකිය. නමුත් එය කොට්ඨාසයක් ජයග්‍රහණය කිරීමට තරම් ප්‍රමාණවත් දැයි විමසා බැලිය යුතුය. පොදුජන පෙරමුණ විසින් ගෙන ඒමට නියමිත අනිකුත් මැතිවරණ සටන් පාඨය වනුයේ එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තියයි. එම ආර්ථික ප්‍රතිපත්ති වලට විරුද්ධව ඇති චෝදනා ඉතාම රසවත් ආකර්ෂණීය චෝදනා වේ. නමුත් මෙම චෝදනා රාජපක්ෂවරුන් ගේ ආර්ථික ප්‍රතිපත්තියයි. උදාහරණ ලෙස ඉඩම් විකිණීම පිළිබඳ ඇති චෝදනාව ගන්න. එය රාජපක්ෂවරුන්ගේ ප්‍රමුඛ ආර්ථික ප්‍රතිපත්තියයි. එක්සත් ජාතික පක්ෂයට මේවා ඉතා පහසුවෙන් නිශේධනය කළ හැකි චෝදනාය.

මෙම මැතිවරණයේදී පොදුජන පෙරමුණ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ගෙන ආ හැකි ප්‍රධානම චෝදනාවක් වන්නේ එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්‍රයට කටයුතු කරමින් සිටින බවයි. එම චෝදනාව මෙම පක්ෂ දෙක අපහසුවට පත් කරන නමුත් මැතිවරණයක් අවස්ථාවකදී සෑම දේශපාලන පක්ෂයක්ම බෙදී වෙන්වී සිටින තත්වයක් තුළ එම චෝදනාවට වටිනාකමක් නොලැබෙනු ඇති බව මාගේ විශ්වාසයයි. මන්ද මැතිවරණ සමයේදී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් තීරණාත්මක ලෙස බෙදී වෙන් වී මැතිවරණයට මුහුණ දෙන නිසාය.

එසේම මෙම මැතිවරණයේ පොදුජන පෙරමුණට ඇති අනෙකුත් විශාලතම අභියෝගය නම් එම පෙරමුණ සතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ආසන සංවිධායකයින් නොමැති වීමයි. අවසානයේදී ග්‍රාමීය මට්ටමේ වැඩකටයුතු තීරණය වන්නේ ආසන සංවිධායකගෙන් වන අතර ජනතාව සංවිධායකයෝ වටා එක්වී පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දෙන බව මාගේ මතයයි. ඒ කෙසේ වුවද ලංකා ඉතිහාසයේ පළාත් පාලන මැතිවරණ ජය සැමවිටම ලැබී ඇත්තේ පවතින ආණ්ඩුවට පක්ෂවය. මන්දයත් පළාත් පාලන මැතිවරණය ආණ්ඩු මාරු කරන ජාතික මැතිවරණයක් නොවන තත්ත්වයක් තුළ ජනතාව විසින් පවතින ආණ්ඩුවේ කණ්ඩායම් තම ගම් පළාතේ සංවර්ධන කටයුතු වලට සම්බන්ධ කරගැනීමට සහ පත්කර ගැනීමට උනන්දුවක් දක්වයි.

එසේම ග්‍රාමීය මැතිවරණ වලදී ඡන්දය දැමීමේ ප්‍රතිශතය 50% ක පමණ තත්ත්වයක පවතින අතර එහිදී ප්‍රධාන වශයෙන් පක්ෂයේ කණ්ඩායමක් ඡන්දපොළට නොයෑම සිදුවේ. ඒ හේතුව නිසා ආණ්ඩු කණ්ඩායම් සාර්ථක ව්‍යාපාරයක් මගින් ජනතාව ඡන්ද පොළට ගෙන්වා ගැනීමේ හැකියාව ඉහල නංවාගත් තරමට ජයග්‍රහණය ලැබීමට ඉඩකඩ වැඩිවේ.

පළාත් පාලන මැතිවරණ පුරෝකතනය අනුව කිව හැක්කේ එක්සත් ජාතික පක්ෂය විසින් මුස්ලිම් සහ ද්‍රවිඩ ඡන්ද ඇති ආසන සියල්ලම පාහේ දකුණු පළාතේ ජයගැනීමට හැකි අතර සිංහල බෞද්ධ බහුතරය ඇති ආසනවල වැඩි ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයට ජය ගත හැකිය. මන්දයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී ඇති තත්ත්වයක් තුළ යෝජිත නව මැතිවරණ ක්‍රමයේ පෙන්වා දෙනු ලබන බෞද්ධ ඡන්ද එක්සත් ජාතික පක්ෂයට ලබා ගත හැකි අතර ලැයිස්තු මන්ත්‍රීවරුන්ද විශාල ප්‍රමාණයක් ලබා ගත හැකිය. මෙම පළාත් පාලන මැතිවරණයේ වැඩිම වාසිය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටය.