ශ්‍රී ලංකාවේ පළාත් පාලන හා පළාත් සභා සඳහා දැනටමත් හඳුන්වාදී ඇති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හඳුන්වාදීමට නියමිත මැතිවරණ ක්‍රමය වන්නේ අර්ධ සමානුපාතික ක්‍රමයයි. එම ක්‍රමය හඳුන්වන්නේ "MMP" (Mixed Member Proportional) යනුවෙනි. මෙම මැතිවරණ ක්‍රමය ගොඩනැගීමේ දී මූලික වශයෙන් නවසීලන්තයේ දැනට පවතින මැතිවරණ ක්‍රමය අනුගමනය කර තිබේ. "MMP" මැතිවරණ ක්‍රමය දැනට ලෝකයේ පවතින ඉතා සාර්ථක නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ලෙස සලකනු ලැබේ. මෙම ක්‍රමය මගින් රටේ සිටින සෑම පුරවැසියකුටම තම ඡන්දයට නියෝජනයක් ලැබේ. එනම් සමානුපාතික ක්‍රමයේ දී මෙන්ම තමන් භාවිතා කරන ඡන්දයට පාර්ලිමේන්තු නියෝජනයක් අනිවාර්යයෙන් ලැබෙන අතර, පක්ෂය හෝ අපේක්ෂකයා විසින් වැය කළ යුතු විශාල ධනයක් මෙම ක්‍රමයේදී යෙදිය යුතු නොවේ. මෙය තවදුරටත් පැහැදිළි කළහොත් මනාප ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසී වී සමානුපාතික ක්‍රමය තවදුරටත් පවතිනු ඇත.
එමෙන්ම "MMP" ක්‍රමය තුළ කේවල මැතිවරණ ක්‍රමයද ක්‍රියාත්මක වේ. නිශ්චිත මැතිවරණ කොට්ඨාශයක තරග කරනු ලබන අපේක්ෂකයා ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් එක ඡන්දයක් හෝ වැඩිපුර දෙවැනි අපේක්ෂකයාට වඩා ලබා ගතහොත්, ඔහු තේරී පත්විය හැකි අතර, පරාජිත අපේක්ෂකයන්ගේ ඡන්ද සඳහාද පක්ෂ ලැයිස්තුවෙන් නියෝජනයක් ලැබේ. මෙම ක්‍රමය දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් වේ.
අපි මේ සඳහා උදාහරණයක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කය ගනිමු. ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 18 පැරණි සමානුපාතික ක්‍රමය අනුව තිබේ. නව ක්‍රමය අනුව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 18 ක් ගම්පහ දිස්ත්‍රික්කයට යෝජිත යැයි කියා (නව ක්‍රමය අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 223 බැවින් එය බොහෝ දුරට සිදුවිය හැකිය.) අපි සිතමු. ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ ක්‍රමය සීමා නිර්ණය අනුව මැතිවරණ කොට්ඨාස 13 ක් තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණ ඡන්දය භාවිත කිරීමේදී ඡන්ද දායකයා විසින් තම ඡන්ද පත්‍රිකාවේ ඡන්ද දෙකක් භාවිතා කරනු ලබයි. ඉන් එක් ඡන්දයක් තමන් කැමති දේශපාලන පක්ෂයට භාවිත කරන අතර, අනෙක් ඡන්දය තම මැතිවරණ කොට්ඨාසයේ තරග වදින අපේක්ෂකයන් අතරින් තමන් කැමති අපේක්ෂකයාට භාවිතා කරනු ලැබේ.
උදාහරණයක් ලෙස ගම්පහ ආසනයේ ඡන්ද දායකයෙකු ගනිමු. ඔහු ඡන්ද පොළට ගිය විට ඔහුට ඡන්දය භාවිත කිරීමට ඡන්ද පත්‍රිකාව ලබාදෙන විට එහි එක පැත්තක එම ආසනයේ තරග කරනු ලබන දේශපාලන පක්ෂ වල නම් සහ ලාංඡන තිබේ. ඡන්ද දායකයාට එම දේශපාලන පක්ෂ අතරින් තමන් කැමති පක්ෂයකට ඡන්දය ප්‍රකාශ කළ හැකිය. එම ඡන්ද පත්‍රිකාවේ අනෙක් පස එම ආසනයේ තරගවදිනු ලබන අපේක්ෂකයන්ගේ නම, දේශපාලන පක්ෂය හා ලාංඡනය සඳහන් වේ. ඡන්ද දායකයාට එම අපේක්ෂකයන් අතරින් කැමති අපේක්ෂකයෙකුට ඡන්දය භාවිත කළ හැකිය. මේ අනුව ගම්පහ ආසනයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් අපේක්ෂකයාට ඡන්දය භාවිත කළ හැකිය. ගම්පහ ආසනයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අපේක්ෂකයා ප්‍රථමයෙන් එම ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වේ. ඉන් පසුව මුළු දිස්ත්‍රික්කයේම ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව ඉතිරි ආසන පහෙන් බෙදා ලැබෙන අගයට එක් එක් දේශපාලන පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාවට අදාලව ගණනය කර එක් එක් පක්ෂ ලබාගත් ලැයිස්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව තීරණය කරනු ලබයි. උදාහරණයක් ලෙස පක්ෂ වලට භාවිතා කරන මුළු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 100 ක් නම් ලැයිස්තු මන්ත්‍රී ධුර පහෙන් සියය බෙදූ විට ලැබෙන අගය විස්ස යැයි සිතමු. ඒ අනුව ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා ගැනීමට දේශපාලන පක්ෂයේ ඡන්ද විස්සක් ලබා ගෙන තිබිය යුතුය.
මෙම උදාහරණය තවදුරටත් පැහැදිලි කළහොත් A නැමති දේශපාලන පක්ෂය ඡන්ද 45 ක්ද, B නැමති දේශපාලන පක්ෂය ඡන්ද 30 ක්ද, C නැමති දේශපාලන පක්ෂය ඡන්ද 20 ක්ද, D නැමති දේශපාලන පක්ෂය ඡන්ද 5 ක්ද ගෙන ඇතැයි සිතමු. මෙහිදී A නැමති දේශපාලන පක්ෂයට ලැයිස්තු මන්ත්‍රීධුර දෙකක් හිමිවන අතර, ඒ සඳහා හේතූ වන්නේ ඔවුන් 20 දෙගුණයක් ලබාගෙන ඇති බැවිනි. එමෙන්ම B නැමති දේශපාලන පක්ෂයට ද ලැයිස්තු මන්ත්‍රීධුර දෙකක් ලැබේ. C නැමති දේශපාලන පක්ෂයට එක් ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවන අතර, D නැමති දේශපාලන පක්ෂයට රට පුරාම 5% සංඛ්‍යාවේ පවත්වාගෙන ගියහොත් ඔවුන්ටද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වේ.
මෙම මැතිවරණ ක්‍රමය අනුව ශ්‍රී ලංකාවේ දැනට පවතින ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ සියල්ලටම නියෝජනයක් ලැබෙන අතර, එය තමන් ලබා ගත් ඡන්ද සංඛ්‍යාවට සමානුපාතික වේ. පැරණි ක්‍රමය සහ මෙම ක්‍රමයේ ප්‍රධානතම වෙනස වන්නේ, නව ක්‍රමය මගින් ධනවත් අපේක්ෂකයන්ට පමණක් තිබූ අවස්ථාව අහෝසි වී යෑමය. මනාප ක්‍රමය අහෝසි වන බැවින් ධනවතුන් පමණක් දේශපාලනයට පිවිසීම අවසන් වනු ඇත. එසේම මෙම මැතිවරණ ක්‍රමය ලංකාවට උචිත අයුරින් තවදුරටත් සකස් වෙමින් පවතින අතර ශ්‍රී ලාංකික නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලන පක්ෂවල පැවැත්වෙයි. මෙම ක්‍රමය මගින් ශ්‍රී ලාංකේය දේශපාලනයේ ස්ථාවරත්වය තහවුරු වන බව මාගේ හැඟීමයි.
No comments:
Post a Comment