Sunday, July 9, 2017

සංඝ භේදය නොහොත් රාජපක්ෂලාගේ ආනන්තරීය පාපකර්ම




පසුගිය රෙජීමය බලය පවත්වා ගැනීම සදහා භාවිතා කරන ලද ප්‍රධානතම හා අධිපතිවාදී න්‍යාය වනුයේ ආගම සහ සිංහල ජාතිකත්වයයි. එය දේශපාලන උපකරණයක් ලෙස භාවිතා කිරීමේදී රාජපක්ෂලා තරම් දක්ෂයන් මහවංශයේ කිසිදු යුගයක දැකිය නොහැක. සිංහල ජාතිකත්වය  හා බුද්ධාගම දේශපාලනයට යොදා ගැනීමේදී ලංකාවේ කිසිදු රජවරයෙකුට වඩා සාර්ථකත්වයක් පෙන්නුම් කළේය. අපේ යුගයේ සිංහල ජාතිකත්ව දේශපාලනයේ න්‍යායාචාර්යවරුන් වන දොස්තර ගුණදාස අමරසේකර හා මහාචාර්ය නලින්ද සිල්වා පවා මවිත කරවීමට රාජපක්ෂවරුන්ට හැකිවිය. මහාචාර්ය නලින්ද සිල්වා ඔහුගේ ජීවිතයේ කිසිදු දිනක ජාතික චින්තක මතවාදය බලයට පත් වෙතැයි අපේක්ෂා නොකල අතර එම සිහිනය සැබෑකල රාජපක්ෂවරුන්ගේ ඔටුන්න හිමි නාමල් කුමරුට කොන්ද නමා වැද වැටීමට පවා මහාචාර්යවරයා පෙළඹුනේ එම සාර්ථකත්වය නිසාවෙනි.

නමුත් එම ආණ්ඩුවේ ප්‍රධානතම තාක්ෂණික දුර්වලතාවය වන්නේ තමන් රටට කියු ජාතිකවාදී ආගම්වාදී මතවාදය රාජපක්ෂවරුන්ද විශ්වාස නොකිරීමයි. එසේම එම මතවාදය පිළිබද රාජපක්ෂ පවුලේ (ආණ්ඩුවේ නොවේ ) දැනුම ඉතාම දුර්වල මට්ටමක තිබුණි. එම නිසාම ඔවුන්ට බුද්ධ දර්ශනය හා ජාතිකත්වය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දේශපාලන උපකරණයක් විය. එම තත්ත්වයෙන් ප්‍රයෝජනය ගත් ප්‍රධානතම බලවේගය වන්නේ මෙරට භික්ෂු සමාජය නොහොත් ගරුතර මහා සංඝරත්නයයි. එම නිසා රජයේ මුදල් රටපුරා තිබූ ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘතියට සම්බන්ධ පන්සල් වලට බෙදා හැරිණි. විහාර හා දේවාලගම් පනත වෙනස් කරමින් පවුලේ හා ආධාරකරුවන්ට හිතුමනාපෙට දේවාල හා පන්සල් පිංකැට මංකොල්ල කෑමට ඉඩ සැලසීය. එසේම බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා අකර්මණ්‍ය කළ අතර ප්‍රධාන විහාරස්ථානවල ආදායම් විගණන කටයුතු අවිධිමත් කළේය. එම විහාරස්ථානවල නායක ස්වාමීන්වහන්සේලාට දායක මුදල් රිසිසේ පරිහරණය කරන්නට ඉඩ ලබාදුන් අතර, එම සාංඝික මුදල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා රාජපක්ෂලාගේ මැතිවරණ කටයුතුවලට යොදා ගැනිණි. එහි ප්‍රතිඵලයක් ලෙස එම යුගයේදී අස්ගිරි - මල්වතු පාර්ශවයේ නායක ස්වාමීන්වහන්සේලාට වඩා බලවත් පාර්ශවයන් ශ්‍රී ලාංකික සංඝ සමාජය තුළ බිහිවිය.

මහනුවර නගරයේ දළදා මාළිගාව ඉදිරිපිට කාර් රේස් පැදීම, රුසියානු ගණිකාවන් නැටවීම, අරක්කු බාර් දැමීම රාජපක්ෂවරුන් විසින් අස්ගිරි මල්වතු පාර්ශවයන්ට හිතාමතාම සිදුකරන ලද තර්ජනයන්ය. එසේම අස්ගිරි මල්වතු නාහිමියන්ගේ මූණටම එම පාර්ශවය දෙකඩ කොට ධනවත් බලවත් නව පාර්ශවයක් ගොඩනගන බවට තර්ජනය කරන ලද බව අග්‍රාමාත්‍යවරයා විසින් ජූලි 08 වැනිදා අනුරාධපුර රුවන්වැලි සෑය ඉදිරිපිටදී හෙළි කරන ලදි. එසේනම් රාජපක්ෂවරුන් සිංහල ජාතිකත්වය හා බුද්ධාගම ප්‍රධානතම දේශපාලන උපකරණය ලෙස භාවිතා කරමින් සංඝ භේදය ඇතිකරමින් ආනන්තරීය පාපකර්මයක යෙදී ඇත. ඒ සදහා පසුගිය රෙජීමයට විශාල වශයෙන් පිංකැට මුදල් ලැබුණු බවටද වාර්තා පළවෙමින් තිබේ. රාජපක්ෂවරුන්ගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනයේ අපූර්වත්වය වන්නේ ඔවුන් කිසිවෙකුටවත් අවංක නොවීමයි. ඔවුහු මුස්ලිම්වරුන්ට පහර දුන්හ. මුස්ලිම්වරුන්ගේ ව්‍යාපාර ගිනි තැබූහ. ද්‍රවිඩ ජනතාව සමූල ඝාතනය කළහ. ඔවුන්ගේ අයිතිවාසිකම් උදුරාගත්හ. වතුර ඉල්ලු සියනෑ කෝරළයේ සිංහල ජනතාව මරා දැමූහ. අස්ගිරි මල්වතු පාර්ශවය දෙකඩ කර සංඝ භේදය ඇතිකර ආනන්තරීය පාපකර්මයක් සිදුකළහ. එම පාපකර්මය පදනම් කොටගෙන බලයෙන් එළියට විසිවූ රාජපක්ෂලා තවමත් මේ රටත්, ජාතියත්, ආර්තිකයත්, ප්‍රජාතන්ත්‍රවාදයත් විනාශ කරමින් රට ගිනි තැබීමට උත්සහ කරති.

අස්ගිරි මල්වතු පාර්ශවයන් දෙකඩ කිරීමට උත්සහ කිරීමෙන් නොනැවතුණු රාජපක්ෂවරු අනුරාධපුර අටමස්ථානයටද අත තැබූහ. අටමස්ථානයේ විශාලතම ස්තූපය වන රුවන්වැලි සෑයට වඩා උසින් හා විශාලත්වයෙන් යුත් සෑයක් අනුරාධපුර පූජා නගරය තුළ ඉදිකොට අස්ගිරි මල්වතු පාර්ශවය දෙකඩ කර ගොඩනගන ලද නව පාර්ශවයකට බාරදීමට සැලසුම් කළේය. මේ සියලු කටයුතු සිදුකරනු ලැබුවේ අටමස්ථානාධිපති හිමිවරුන්ගේ දැඩි විරෝධතාවය මධ්‍යයේ රණවිරුන්ගේ නාමයෙනි. මේ සියලු කටයුතුවල මූලික පදනම වූයේ ඔවුන්ගේ පරම්පරා ගණනකට මුදල් ඉපයීමය. මර්වින් සිල්වා කැළණියේ වගුරු බිමක් පුදබිමක් කරමින් දැවැන්ත කෝවිලක් ඉදිකරන ලද්දේද එම අභිලාෂයෙනි. බුදු දහම දේශපාලන උපකරණයක් කරගත් පසුගිය රෙජීමය අත්හැරීම වෙනුවට බදාගැනීම ප්‍රගුණ කළේ එසේය. මේ පිළිබද අවධානය යොමු කරන විට මට සිහියට නැගෙන්නේ අපේ ගමේ බුද්ධදාසය. ඔහු රස්සාවට කළේ ගගේ මාළු ඇල්ලීමය.

මෙම නිසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියනවාක් මෙන් මෙම ආනන්තරීය පාපකර්මයෙන් යම් ආකාරයක හෝ සහනයක් ලැබීමට අවශ්‍ය නම් රාජපක්ෂවරුන් කළ යුත්තේ අස්ගිරි මල්වතු පාර්ශවයේ පන්සලකට ගොස් දිග ඇදී වැද වැටී සමාව අයැද මාසයක කාලයක් ඉදලක් ගෙන අස්ගිරි පන්සලේ හතර කොණ ඇමදීමය. එසේම නැවත අනුරාධපුරයට ගොස් අටමස්ථානාධිපති මහානායක ස්වාමීන්වහන්සේ අබියස දිග ඇදී වැද වැටී සමාව අයැද මාසයක කාලයක් ඉදලක් ගෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ හතර කොණ ඇමදිය යුතුය. එසේම තවත් මාසයක කාලයක් අපේ රුවන්වැලි සෑයේ මහනායක ස්වාමීන්වහන්සේ අබියස ඉහත කී ආකාරයටම දිග ඇදී වැද වැටී සමාව අයැද මාසයක කාලයක් තිස්සේ ඉදලක් ගෙන රුවන්වැලි සෑ මළුව හතර කොණ ඇමදිය යුතුය. මෙම වතාවත් සිදුකළ පසු වෙනත් පාප නැතිනම්, එළොව කෙසේ වෙතත් මෙලොව ජීවිතයේදී රාජපක්ෂවරුන්ට සැනසීමක් ලැබෙනු ඇත.

කෙසේ වුවද විහාර හා දේවාලගම් පනතින් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට ලැබී ඇති බලතල අනුව ආගමික ස්ථාන ආදායම් විගණනය පවත්වාගෙන යා යුතු අතර, එය බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ වගකීමකි. එසේම අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා යෝජනා කරන පරිදි පුරාණ ආගමික ස්ථානවලට විදේශ සංචාරකයින්ගෙන් ලැබෙන අතිවිශාල ධනයෙන් කොටසක් එම එම පුරාවිද්‍යා වටිනාකමකින් යත් ස්ථාන සංරක්ෂණය කිරීම සදහා යෙදවිය යුතුය.

No comments:

Post a Comment