Monday, April 23, 2018

පොහොට්ටුවේ අර්බුදය

පළාත් පාලන මැතිවරණයෙන් ජයගත් අයෙක් බැලූ බැල්මට දැකගත නොහැකි තරමට ලංකාවේ දේශපාලනය දෝලනය වෙමින් තිබේ. එයට බලපාන හේතු ගණනාවක් තිබුනද ප්‍රධාන වශයෙන් බලපාන කාරණය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුගිය වසර තුනෙහි අවිද්‍යාත්මක ක්‍රියාකලාපයයි. එහි ප්‍රතිඵලය ඔවුන්ට උරුම වූ අතර පක්ෂයේ මන්ත්‍රීවරුන් දහසය දෙනෙකු අහිමි වූ අතර ඔවුන්ද දේශපාලනිකව අතරමන් විය. මෙයට ප්‍රධාන වශයෙන් ලංකාවේ මාධ්‍ය ආයතන වල දේශපාලන ලනු හා ඉහල නායකත්වයේ අඩුවක් නැති කුහකකම් හා කුඩුකේඩුකම් හේතු වූ බව මගේ හැගීමයි. මෙම අර්බුදයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණාත්මක අර්බුදයකට ගිය බව මගේ හැගීමයි. මා මීට පෙරත් ලියා ඇති පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමැති හැටහය වියැති මහල්ලෙකුගේ ගමනක අවසානය ඔවුන් ලගාකර ගත්තේය.

එක්සත් ජාතික පක්ෂයද පළාත් පාලන මැතිවරණයෙන් පසු තීරණාත්මක අර්බුදයකට තල්ලු කළේය. සැබවින්ම එය පැණි වරකා ගහට හෙන ගැහීමක් බදුය. පළාත් පාලන මැතිවරණය ආණ්ඩුවේ පාර්ශවයට එකතරා ආකාරයක අවාසිදායක තත්ත්වයක් පවතින බවට පුර්ව නිගමනයක් තිබු අතර නමුත් විපක්ෂයේ ඡන්දය දැමීමේ අඩු තත්ත්වය මත මේ මොහොතේ දුර්වලව පවතින ආසන ජය ලැබිය හැකියැයි තක්සේරු කොට තිබිණිඅ. නමුත් නව මැතිවරණ ක්‍රමයත්, ආණ්ඩුවේ ඇතුළතින් එල්ල වූ ජනධිපතිවරයාගේ පාර්ශවයේ ප්‍රහාරයත්, විපක්ෂයෙන් හා ජවිපෙන් එල්ල වූ  ප්‍රහාරත් මාධ්‍ය ආයතන කප්පම් නොගැවීම නිසා ඇතිවී තිබු
තත්ත්වයත් එසේම පක්ෂය අභ්‍යන්තරයේ තිබු පාක්ෂ්කයින්ගේ කලකිරීමත් මෙම තත්ත්වයට හේතු විය. ප්‍රචාරාත්මක අවාසියක් සිදුවූ බවටද කනින් කොනින් ඇසුණු අතර එයද එකතරා ආකාරයකට සත්‍යයක්යැයි පිලි ගත හැකිය. නමුත් දසක හතක වයසැති එක්සත් ජාතික පක්ෂය ජය පරාජයන් හොදින් හුරු පුරුදු පක්ෂයක් වන අතර පශ්චාත් මැතිවරණ කළමනාකරණය ගැන කප් ගැසූ පක්ෂයකි. එසේ වූ නමුදු මෙවර ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වය එක්සත් ජාතික පක්ෂය දුර්වල කිරීමේ අභ්‍යන්තර කුමන්ත්‍රණයක නිරිත වූ අතර එයට ජනාධිපතිවරයාගේ මැදිහත්වීම පක්ෂයට බරපතල තත්ත්වයක් විය. එය පක්ෂ නායකතුමන් හා පක්ෂය බුද්ධිමත්ව කටයුතු කොට හොදින් කළමනාකරණය කරගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස කුමන්ත්‍රණකාරී බලවේග කෑලිවලට කැඩී දුර්වල විය.

එක්සත් ජාතික පක්ෂය විශාල ප්‍රතිසංවිධාන ක්‍රියාවලියක නිරත වෙමින් තිබේ. පක්ෂයේ බලය සම්පුර්ණයෙන්ම පාහේ තරුණ නායකයින් අතට ලැබෙමින් පවතින අතර 2020 ජය ගැනීම සදහා නව බලයකින් කටයුතු කිරීමට එහි සියල්ලෝම සැදී පැහැදී සිටි. එමෙන්ම එක්සත් ජාතික පක්ෂය ජනවාරි 8 වැනිදා ජනවරමට අදාල වෙනස්කම් හා ප්‍රතිසංස්කරණ සිදුකිරීමට ජනාධිපතිවරයා පොළබවා ගැනීමට සිවිල් ප්‍රජාවට පොරොන්දුවී තිබේ. පක්ෂයේ කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුවේ ආකල්පය විශාල ලෙස වෙනස් කරන ලෙස අගමැතිවරයා අමාත්‍යවරුන්ට උපදෙස් ලබා දී ඇති බවද කනින් කොනින් අසන්නට ලැබේ. දැන් අර්බුදය ඇත්තේ පොහොටුවේය. එය සැබෑ ලෙසම කාලයක් තිස්සේ පක්ෂ අභ්‍යන්තරයේ පැවති බරපතල තත්ත්වයක් මතු පිටට පැමිණීමක් ලෙස දැක්විය හැකිය. එහිදී අර්බුදයේ සරල පැති කිහිපයක් එලියට පෙනෙන්නට තිබේ. ප්‍රධාන වශයෙන් මෙහි කණ්ඩායම දෙකක් තිබේ. එම කණ්ඩායම දෙක ජනාධිපති අපේක්ෂකයාගේ සිට පළාත් පාලන ආයතන පිහිටවීම දක්වා බෙදීමක් පෙන්වා දෙනු ලැබේ. පොදුජන පෙරමුණෙහි දේශපාලන පදනම මහින්ද රාජපක්ෂ වන අතර එහි ප්‍රධාන මෙහෙයුම්කරුවා වන්නේ බැසිල් රාජපක්ෂය. බැසිල් රාජපක්ෂ දක්ෂ සංවිධායකයෙකු වන අතර දේශපාලන උපාය කරුවෙකි. මගේ පෞගලික තක්සේරුවනම් ඔහුට සම්පුර්ණ චිත්‍රය පිළිබද අවබෝදයක් ඇති අතර එක්සත් ජාතික පක්ෂය තම අනෙකා ලෙස සැලකිය යුත්තේ බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ දේශපාලන වැඩ පිළිවෙලයි. දීර්ඝකාලීන අර්බුදයකින් පසු ජය ගැනීමට නියමිත වන්නේ එම වැඩ පිළිවෙලයි.

පොහොට්ටු පක්ෂයේ අනික් පිල වන්නේ විමල් වීරවංශ ප්‍රමුක ජාතික පිලයි. එහි රාජපක්ෂ නියෝජනය ලෙස ඔවුන් හදුන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂය. නමුත් මා කල්පනාකරනුයේ තාවාකාලික බෙදීමක හැඩ තිබුනද රාජපක්ෂවරුන්ගේ මෙම දෙවන පරපුර නොබෙදෙනු ඇත. තුන්වන පරපුර එසේ විය හැකිය. ඒ වෙනුවෙන් ඇති සියලුම වාස්තවික තත්ත්වයන් නාමල් වැනි අයෙකුට තිබේ. විමල් වීරවංශ යනු මහින්ද රාජපක්ෂ නැවත දේශපාලනයට සම්බන්ධ කරවීමට මුලික අඩිතාලම දැමු පුගලයායි. ඔහුට එරෙහිව ඉතා බරපතල නඩු කීපයක් අධිකරණයේ විභාග වේ. විශේෂයෙන් ඔහුට එරෙහි ගමන් බලපත් නඩුව බරපතල අවදානමක පවතී. එබැවින් ඔහු ඔහුගේම රජයක් ගොඩනගා ගැනීමේ විශාල අවශ්‍යතාවයකින් සිටි. එසේම දේශපාලන ලෝකයේ පාපිසි යට කතා වලට අනුව විමල් හා ජනාධිපතිවරයා අතර බරපතල සන්ධානයක් තිබේ. එය විය හැකි තත්ත්වයකි. ඔහුට නඩු හබ වලින් ගැලවීමට ආණ්ඩුවක ආරක්ෂව අවශ්‍යයැයි ඔහු සිතයි. ඒ ඔහු නියෝජනය කරනු ලබන දේශපාලනයයි. පොහොට්ටුවේ ප්‍රධාන බල කණ්ඩායම් දෙක වන්නේ මෙයයි.
             
මෙහිදී මහින්ද ආණ්ඩුවේ පැරණි මතවාදීමය බල කණ්ඩායම් විමල් වටා ගොනු කර ගැනීමට ඔහු සමත් වී ඇති අතර වයසක මහින්ද රාජපක්ෂට ජාතික ලයින් එක එල්ලා පෙරහරේ ගෙන යාම ඔවුන්ගේ පරම අබිලාසය බව පෙනේ. එමගින් සිංහල ඡන්ද හා එම ඡන්ද විශාල වශයෙන් ඇති දිස්ත්‍රික්ක ජයග්‍රහණ කිරීම හෝ එම බලය කේවල් කොට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවක් හැකි ඉක්මනින් ගොඩනැගීම ඔවුන්ගේ අරමුණ වේ. 2020 දී සිංහල ඡන්දවලින් පමණක් ගෝඨාභය ඉදිරිපත්කොට ජයගත හැකියයි එම පිල සිතයි. නමුත් විමල් එසේ සිතතැයි මා විශ්වාස නොකලත් ඔහුගේ පැවැත්ම වෙනුවෙන් රාජපක්ෂවරු ජාතික පෙරහරේ ගෙන යාම අනිවාර්ය කොන්දේසියක් ලෙස ඔහු සලකනු ලබන බව පෙනීයයි. ඔහුගේ වැඩසටහනේ සාර්ථක අසාර්ථක බව මැනීමට තවම කල් වැඩි නමුත් විමල් යනු වැඩ කල නොහැකි දේශපාලන සත්ත්වයෙකු බව ඉතිහාසය පෙන්වා දී තිබේ.

මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය ජනාධිපතිවරයා පරාජය කරමින් විසදී ඇති අතර එක්සත් ජාතික පක්ෂය අලුත් වෙමින් අගමැතිවරයා ජයගෙන තිබේ. දැන් පොහොට්ටුවේ වාරයයි. අපි අනාගතයට ඉඩදී බලා සිටිමු.

Monday, April 16, 2018

රනිල්ට එදිරිව මහින්ද

සියලුම දේ අනිත්‍ය නිසාම ජිවිතයද නිත්‍ය නොවේ. සියල්ලන්ටම අමතක වන සත්‍ය නම් ජීවිතය අනිත්‍ය බවයි. දේශපාලන ව්‍යාපාරයක් අනියත පුද්ගල ජිවිතයක් මත පදනම් වන්නේනම් එහි අනාගතය ශෝකාන්තයක් වනු නියතය. එම දේශපාලන ව්‍යාපාරය ගොඩනගන්න මෙන්ම එම සමාජය ජනතාවද විශාල අර්බුදයකට යාම වැලැක්විය නොහැක්කේය. ගඩාබිගෙන් පසු ලිබියාව, සදාම්ගෙන් පසු ඉරාකය, ජවෙස්ගෙන් පසු වෙනිසියුලාවද සිදු වූවාක් මෙන් පුටින්ගෙන් පසු රුසියාවටද සිදුවීමට නියමිත වන්නේ මෙම දුක්මුසු අවාසනාවන්ත ඉරණමයි. නමුත් මීට පරස්පර දේශපාලන ව්‍යාපාරයනම් පුද්ගල කේන්ද්‍රීය නොවුණු නමුත් තමන් ගොඩනැගු දේශපාලන ව්‍යාපාරය නිසා තමනුත් බැබලුනු තිරසාර රටවල් ගොඩනැගු බුදිමත් නායකයින් විසු සමාජයන්ය. ගාන්දි විසු ඉන්දියාව, මැන්ඩෙලා විසු දකුණු අප්‍රිකාව හා බටහිර සංවර්ධිත රටවල් සියල්ල අනියත ජීවිතයක් හිමි මිනිසුන් වෙනුවට ආයතන හා ක්‍රමවේදයන් පදනම් කරගත් දේශපාලන සමාජයන්ය. ඒවා සාමකාමිය, තිරසාරය. ඒවායෙහි වෙසෙන මිනිසුන් වාසනා වන්තයෝය. අවස්ථාවක් ලැබුනොත් ප්‍රථමයෙන් පෙන්වාදුන් සමාජයන්ගේ මිනිසුන් දෙවන සමාජ වලට පලා යනු ඇත.

ලංකාව මෙම ක්‍රම වේදයන් දෙක තුල දෝලනය වෙමින් තිබේ. ලංකික සමාජය හරි මැදින් දෙකට වෙන් වී තිබේ. සිංහල බහුතරයක් සහිත සිංහල බුදුදහම අදහන බහුතරයක් සහිත පිරිසක් අනියත ජීවිතයක් හිමි 70 වියැති මහින්ද පදනම් කරගත් පාලන ක්‍රමයක් වෙනුවෙන් බලාපොරොත්තු දල්වා සිටි. (බුදු දහමේ මුලික ඉගැන්වීම අනියත් බවයි ) අනික් පිරිස බහු ආගමික, බහු සංස්කෘතික, දේශපාලන, සමාජයීය, ආයතන හා ක්‍රම වේදයන්ගෙන් යුත් පාලනයක් පතයි. රනිල් නායකත්වය දෙනුයේ එම පිරිසටය, එම ක්‍රමයටය.

ලංකාවේ මේ මොහොතේ ප්‍රධාන බල කේන්ද්‍රයන් දෙක එයයි. මෙම බල කේන්ද්‍රයන් දෙක මත දෝලනය වන දේශපාලනයේ අනිකුත් සියලුම බලවේග හා කුඩුකේඩුකම් කරන්නෝ හාල් කෑලිය. දේශපාලනය මත තම පැවැත්ම උදෙසා ටෙලිවිෂන් මුදලාලිලාගේ කොන්ත්‍රාත් කාරයෝය. ටෙලිවිෂන් මුදලාලිලා යනු ලංකාවේ අන්ත ග්‍රෝත්‍රික පන්තියකි. ලොව පවතින සියල්ල තමන්ගේ ඉනෙන් පහලින් පාලනය වන්නක් යැයි සිතන්නෝය.

එබැවින් ඉදිරි වසර දෙක තුල ලංකාවේ දේශපාලනය දෝලනය වන ගතිකයන් වන්නේ මෙම පිල් දෙකෙහි ක්‍රියාකාරිත්වයයි. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ ගාමක බල කේන්ද්‍රය තවදුරටත් රනිල් වන අතර සමාජ දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ ගොඩනැගිය හැක්කේ රනිල්ට පමණක් බව සමාජයේ එම මතවාදය වෙනුවෙන් පෙනීසිටින පිලෙහි ඒකායන අබිලාසයයි. පක්ෂයේ අභ්‍යන්තර බල කේන්ද්‍රයේ අනික් පිල වන සජිත් ප්‍රේමදාස නියෝජනය කරනුයේ මහින්ද අසහාය නායකයා ලෙස පිළිගන්නා දේශපාලන බලවේගයයි. ඔහුගේ පරම විශ්වාසයද එයයි. නමුත් අවාසනාව වන්නේ මහින්දට සමකල හැකි නායකයෙකු මේ මොහොතේ එම පිලට ලංකාව තුල නොමැති අතර සජිත් නියෝජනය කරනුයේ වැරදි බලවේගයයි. තවදුරටත් සරලව පැහැදිලි කරන්නේනම් ඔහු අල්ලපු ගෙදර නියෝජිතයායි. තීරණාත්මක මැතිවරණයකදී පස මිතුරු පිලෙන් 3% වැඩිපුර දිනාගැනීමට සජිත් යොදාගත හැකි අතර එය තීරනාත්මකද විය හැක. සිරිසේන ජනාධිපතිවරයා සම්බන්දයෙන් 2015 දී තිබු තක්සේරුව එයයි. නමුත් මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂය නියෝජන කරනු ලබන දේශපාලන බලවේග හා සමාජ තීරුව ඔහුට නියෝජන කල නොහැක්කේය. සමහර විට විශාල වෙනස්කම් සහිතව අනාගතයේදී හැකිය. නමුත් අකිල, නවීන්, හරීන්, අජිත් හා රුවන් වැනි නැගී එන නායකයින් සමග ඔහුට සටනක් දිය යුතු වේ. මෙහිදී සජිත් හැර අනික් සියල්ලෝම එක්සත් ජාතික පක්ෂ සමාජ තීරුව හා මතවාදය නියෝජනය කරන්නෝය. එබැවින් රනිල් මෙම කදවුරෙන් ලංකාවේ දේශපාලන නියෝජනය කරද්දී අනිත් කදවුර මහින්දගේය. මෙම නායකයින් දෙදෙනාගේ බල අරගලය ලංකාවේ අනාගතය තීන්දු කරනු ඇත.

මා මුලදීත් පෙන්වාදුන් පරිදි මෙම ක්‍රමවේදයන් දෙකෙහි පැවැත්ම තීරණය වන්නේ මනුෂ්‍ය ජීවිතයේ අනියත බව මතයි. රනිල් නැති එක්සත් ජාතික පක්ෂයක් පිළිබද හැම කෙනාටම අදහසක් තිබේ. රනිල් නැතිව එක්සත් ජාතික පක්ෂය හා එහි වැඩ පිළිවෙල පවතිනු ඇත. නමුත් මහින්ද නැති කලෙක එම බලවේගයට කුමක් සිදු වනු ඇතිද? මහින්ද රාජපක්ෂ යෝජනා කරනු ලබන දේශපාලනයට ලාංකික සිංහල ජනතාව අතර පිළිගැනීමක් ඇත. ඒ අනුව ඔහු විසින් යෝජනා කරනු ලබන පොල් ලෙල්ලක් වුව සිංහල ජනතාවගේ ඡන්ද වලින් 39% ගනු ඇත. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මහරගම හා අනිකුත් පළාත්වල මැතිවරණ ප්‍රතිඵල වලින් පෙන්නුම් කරන ලද්දේ එයයි. නමුත් ජාතික මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් ජයගැනීමට සිංහල ජනතාවගේ ඡන්ද වලින් 39% ප්‍රමාණවත් නොවනු ඇත. අඩුම තරමින් සිංහල ඡන්ද 55% ගත්තද එයද ප්‍රමාණවත් නොවේ. මේ අනුව කිව හැක්කේ ජනාධිපතිවරණයක් ජයගැනීමට මහින්ද පිලට සිංහල ඡන්ද වලින් 70% ට වඩා ගත යුතුය. එනම් අපිට මගතොටේ හමුවන සිංහල ගැහැණු හා පිරිමින්ගෙන් දස දෙනෙකුගෙන් හත්දෙනෙකු මහින්ද මත දේශපාලන තීන්දුව ගත යුතුය. එය සිදු නොවන්නේය.

මන්ද මහින්ද නියෝජන කරනුයේ අන්ත ජාතිවාදී, ආගමවාදී ජාතික ලයින් එකය. ඔහුට දෙමල හා මුස්ලිම් ඡන්දද, කතෝලික ඡන්දද දිනා ගත හැකි හැකියාව අවමය. නමුත් අනිත් පසින් රනිල් නියෝජන කරනුයේ බහු ආගමික, බහු ජාතික සමාජයක් සහිත දියුණු ලෝකයේ පිළිගත් සමාජ දේශපාලන වටිනාකම් සහිත සමාජ බලවේගයයි. එම බලවේගය වේගයෙන් වර්ධනය වන අතර එම සමාජ මතයන් වර්ධනය වූ මොහොතේ ලෝක දේශපාලනයේද ගාමක බලයි.

මේ අනුව 2020 දී රනිල්ට අනිවාර්ය ජයක් අත් වනු ඇති අතර රනිල්ගෙන් පසු තවත් දශක ගණනාවක් එක්සත් ජාතික පක්ෂය මේ රටේ දේශපාලන බලය හොබවනු ඇත. නමුත් මහින්ද මත පදනම් වූ දේශපාලන බලවේගය ගඩාබිගෙන් පසු ලිබියාව මෙන් මහින්දගෙන් පසු අවසන් වනු ඇත. නැතහොත් එම බලවේගයට නායකත්වය දීමට  රටේ ඊලග එවැනි පන්නයේ නායකයා වන සජිත් ප්‍රේමදාස සුදුසු කම් ලබනු ඇත. ඒ අනුව අනාගතයේදී මේ රටේ පිල් දෙකම නියෝජන කරන නායකයින් ඉන්නා පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි.

Sunday, April 8, 2018

ජනාධිපතිවරණයක් ජයගත හැක්කේ රනිල්ට පමණි


ශ්‍රී ලංකාවේ 1978 ව්‍යවස්ථාව අනුව මුළු රටම එක මැතිවරණ කොට්ඨාශයක් ලෙස සලකා මැතිවරණයකට යන්නේනම් ඒ ජනාධිපතිවරණයකටය. එම ව්‍යවස්ථාව මගින් රටේ දේශපාලනය තුල ජාතිවාදී නායකයෙකුට බලයට පත් වීම සම්පුර්ණයෙන් වැලැක්වීමට කටයුතු කොට තිබුණි. මන්ද රටේ ප්‍රධාන පක්ෂ දෙක සිංහල ඡන්ද පදනම හා අනිකුත් ජාතින් අතරද 50 50 ලබා ගනිතියි පුර්ව නිගමනයක් අනුව 1978 දී ජනාධිපති ධූරය බිහි කෙරිණි. 1978 දී රටේ සිවිල් යුද්ධයක් නොතිබුන අතර ප්‍රභාකරන්ද දේශපාලනය තුල නොසිටියේය. එවැනි තත්ත්වයක් තුල ප්‍රධාන පක්ෂ දෙකට ලග ලග ප්‍රබල තරගයක් දී ආකර්ෂණීය නායකයා ජනාධිපතිවරනයක් දිනනනු ඇත. 1982 දීත්, 1989 දීත්, ගාමිණී දිසානායක ජීවත්ව සිටියේනම් 1994 දීත් සිදු වන්නේ එයයි. නමුත් 1989 ජනාධිපතිවරණයෙන් පසු 2010 දක්වා සියලුම ජනාධිපති මැතිවරණ වල ජයග්‍රාහකයා තීරණය කරන ලද්දේ ප්‍රභාකරන් විසිනි. එහිදී රනිල් ඉදිරිපත් වූ 2001 හා 2005 මැතිවරණයන් වල තීරක බලය වුයේ ප්‍රභාකරන්ය. එනම් 2001 මැතිවරණයේදී වැරදුනු බෝම්බ ප්‍රහාරයක් එල්ලකොට චන්ද්‍රිකා මැතිණිය නිකම්ම දිනුවේය. එසේම 2005 දී මහින්ද හා ප්‍රභාකරන් හවුල උතුරේ හා නැගෙනහිර දෙමල ජනතාවට මැතිවරණ වර්ජනයකට බල කොට වැඩි ඡන්ද හතලිස්දහසකින් රනිල් පරාජය කළේය. ප්‍රභාකරන් නොසිටියේනම් එම මැතිවරණ දෙකම ජයගන්නේ රනිල් වික්‍රමසිංහයි.

ඉන් පසු එළඹි යුගය තුල සිංහල ජාතිකවාදී පදනමකින් රාජපක්ෂවරු ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දකුණේ වැඩි බලයක් ගොඩනගා ගත්තේය. සැබවින්ම රටේ සියලුම සුළු ජාතීන්ට රනිල් වික්‍රමසිංහ හැර සියලුම ජාතික මට්ටමේ නායකයින් කොකා පෙන්වමින් ඔවුන්ගේ දේපල හා ජිවිත අනතුරේ හෙලන්නේය. ලංකාවේ ජනගහනයෙන් 31% වන සිංහල නොවන ජන කොටස් වල විශ්වාසය 80% ටත් වඩා දිනාගත් නායකයා රනිල් වික්‍රමසිංහය. එසේම එක්සත් ජාතික පක්ෂයේ සිංහල ඡන්ද පදනම ඕනෑම තත්ත්වයක් යටතේ 35%කි. මේ අනුව රනිල් වික්‍රමසිංහ ඉදිරිපත්වන අවස්ථාවක කිසිදු වෙනත් අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණයක් ජයගත නොහැක්කේය. සැබවින්ම 2015 ජනාධිපතිවරණයේදී ලංකාවේ දකුණේ සියලුම සිංහල ආසන ජනාධිපති සිරිසේන පරාජයට පත් වූ අතර ඔහු ජයග්‍රහණය කරනු ලැබුවේ උතුරු නැගෙනහිර ඡන්ද වලින්ය. එම ඡන්ද සියල්ල ලැබුනේ රනිල් වික්‍රමසිංහට වන අතර උතුරු නැගෙනහිර ජනතාවගෙන් 33% ක් සිරිසේනගේ නමවත් අසා නොතිබුණු බව එවකට සමීක්ෂණයකින් හෙළිවිය. මා පෞද්ගලිකව කල්පනා කරනුයේ 2015 මැතිවරණයද රනිල් ඉදිරිපත්කොට එක්සත් ජාතික පක්ෂයට ජය ගැනීමට හැකිව තිබුණි.

රටේ ආර්ථිකය පිළිබද දැක්මක් ඇති ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය වෙනුවෙන් ජීවිතයම කැපකල ජාත්‍යන්තරය දිනාගත් රටේ සියලුම ජනකොටස් එක මිටකට ගොනු කල හැකි පරිනත නායකයා රනිල් වික්‍රමසිංහය. ඔහු දේශපාලන භූමියෙන් අතුගාදැමීමට සතුරන් දශක ගණනාවක් තිස්සේ උත්සහ කලද ඔහු නොදැවී දසක හතරක් දේශපාලන භූමියේ ප්‍රධාන භූමිකාව ඉටුකරයි. පසුගිය දශක හතර තුල ඔහු රටේ ප්‍රධාන දාරාවේ පත්තරවල, ගුවන්විදුලියේ, රුපවාහිනියේ හා අද සමාජ මාධ්‍යවල කතා බහට ලක්වන නායකයාය. දශක හතරක් අඛණ්ඩව දේශපාලනය තුල මධ්‍යගතවීම ඉතා අසීරු කාරණයකි. පසුගිය දශක තුන තුල ඔහුගේ නම මාධ්‍ය වල නොකියවුණු දවසක් නොමැති තරම්ය. එවන් නායකයෙකු සතු එක්සත් ජාතික පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ලබන හා ලැබිය යුතු, ජයග්‍රහණ කලහැකි නායකයා රනිල්ය.

එක්සත් ජාතික පක්ෂය වැනි දැවැන්ත පක්ෂයක් පවත්වාගෙන යාම ඉතා අසීරු කාර්යකි. එහි පුර්ණකාලින සේවකයින් සියගනනකි. ඔවුන්ට පඩිනඩි ගෙවිය යුතුය. පැමිණෙන සෑම මැතිවරණයකටම මුදල් වියදම් කොට තරග කල යුතුය. පක්ෂ සම්මේලන මැයි දින පැවැත්විය යුතුය. මේවාට කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් අවශ්‍ය අතර එම මුදල් ලබාදෙන පාක්ෂිකයින් සිය ගණනක් සමග ලග සම්බන්දයක් පවත්වාගත යුතුය. එවැනි භාරධූර තනතුරක් ආණ්ඩුවේ සල්ලිවලින් උදේට කෑමවේල ගන්න, දාන මාන දෙන හිස් මිනිසුන්ට කල නොහැකි වේ. එසේම ලක්ෂ 40ක් ඡන්දය දෙන පක්ෂෙක දිනපතා දහසකුත් ප්‍රශ්න ඇති වේ. ඒවාට මුහුණ දිය යුතුය. ආණ්ඩුවේ කටයුතු, පක්ෂයේ කටයුතු, සතුරු කරදර සමග කටයුතු කිරීමට ඉතා දියුණු දැක්මක් හා හැකියාවක් තිබිය යුතු අතර එය රනිල්ට හොදින්ම තිබේ. මාධ්‍යවේදී ළමයෙකුගේ මයික් එකකකට ප්‍රකාශයක් දුන් පලියට නායකයෙකු වී පක්ෂයක්, ආණ්ඩුවක් පවත්වාගෙන යා නොහැක්කේය.

මේ මොහොතේ මේ රටේ හා ජාත්‍යන්තරයේ දේශපාලනය කළමනාකරණයට මෙන්ම, ආර්ථික, සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කල හැකි, එමෙන්ම ඒවා විශ්වාශ කරන නායකයා රනිල් වික්‍රමසිංහ වේ. එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙකු පෙනෙන තෙක් මානයක තවම නැත. නමුත් ආණ්ඩුව පවතින මොහොතේ නායකයින් බිහිවනු ඇත. එසේ බිහිවන නායකයින්ට පක්ෂයේ වගකීම් පවරා දෙමින් හතලිස් වසර නොදැවුණු දේශපාලන ඉනිමක් ක්‍රීඩා කල රනිල් නම් පරිනත නායකයාගෙන් මෙරටේ සුක්කානම ලබා දී හැකි උපරිම සේවය ලබාගත යුතුය.

කවුරුන් කෙසේ කීවද රටේ ආර්ථිකය 2014 තිබුනට වඩා නිරෝගිය. එය නැවත බලාපොරොත්තු තබා ගත හැකි මට්ටමට පත්වී තිබේ. එම ක්‍රියාවලිය සාර්ථක කිරීමට විභවහාත්මක හැකියාවක් ඇති නායකයා රනිල්ය. මේ මොහොතේ පක්ෂයත් ආණ්ඩුවත් වෙනුවෙන් කිඹුල්කදුළු හෙලනුයේ එහි සතුරන්ය. එමෙන්ම මිතුරු වෙසින් සිටින සතුරන්ය, එබැවින් පක්ෂයේ ශක්තිය රනිල්ට ලබාදිය යුතුවේ.

එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් බිහිකොට රටේ මුළු බලය ප්‍රතිසංස්කරණ සදහා ඉල්ලා සිටිය යුතුය. එසේම ඒ වෙනුවෙන් වෙහෙස මහන්සිවී වැඩ කල යුතු පක්ෂයේ තරුණ පිරිස් වෙත බලය ලබා දියයුතුය.

Sunday, April 1, 2018

රනිල්ට ග්‍රාම්‍යත්වය මුණට මුහුණ හමුවීම

ශ්‍රී ලංකාවේ ගම, සාහිත්‍යයේ කියන තරම් සුන්දර න. උඩු ගුවනින් යද්දිනම් ගම ලස්සනය, කොළ පාටය, ඇල දොළ වෙල් එලි, කූඹින් වැනි අහිංසක මිනිසුන්ය, හරකා බානය, ලොකු කුඩා ගෙවල්ය, ඒවා එක්කෝ උළු සෙවිලි කල ගෙවල්ය. සමහරක් පිදුරුද සෙවිලි කර තිබේ. සියල්ල මනරම්ය. ඒ උඩින් පෙනෙන ගමය. නමුත් ඇත්ත ගම හා එහි වෙසෙන මිනිසුන් එයට හාත් පසින්ම වෙනස් වේ . ඇත්ත ගමේ ගම පුරා වැට කඩොලුය, ගල් ගොඩැලිය. දැන්නම් කොන්ක්‍රීට් පාරවල්ය. මිනිස් පහසින් අපිරිසිදු ඇල දොළය, කේඩෑරි වූ හරකා බානයෙ. ඔවුන්ද හංවඩු ගසා ඇත. ඒ ගමේ වෙසෙන මිනිස්සුන්ගේ නම් වලිනි එනම් සිරිපාල හෝ රන්නිමැකා ලෙසය. තැනින් තැන ඉන්දියානු බයිසිකල් හෝ අටා රථය. අපිරිසිදු වැසිකිලි ගෙවතු වල හැම තැනමය. අල්ලපු ගෙදර ළිදට හැකි තාක් සමීපව තමන්ගේ ගෙදර වැසිකිලිය හැදීම ගැමියන්ගේ ආශාවයි. බැලු බැලු අත දිළිදු බවේ, නුගත් බවේ සලකුණුය. සුරාකෑමට ලක්වීම ශ්‍රි ලාංකික ගැමියාගේ ආගමයි. එහි සලකුණු ගම පුරාමය.

ගමේ වෙසෙන මිනිසුන් මේ සියල්ලටම වඩා විනාශයකි. ඔවුන් අවුරුදු සිය ගණනක කෝන්තර හිතේ තබාගෙන දිවි ගෙවන්නෝ වෙති. කුලය, ධනය බලය, හැඩය ඇතුළු මෙකි නොකී දහසකුත් දේ වලින් බෙදී වෙන් වෙති. එකිනෙකා අතර සහජීවනයක් නොමැති අතර උගුල් අටවමින් අනෙකාගේ විනාශය පතමින්, දුක් විදිමින් දිවි ගෙවති. ගමෙහි උපන් මිනිසුන් නිදහස් අධ්‍යාපනයෙන් හෝ වෙනත් ආකාරයකින් අවස්ථාවක් ලැබුනහොත් හැකි ඉක්මනින් එයින් මිදී පලායයි. ඒ එක්කෝ විදේශයකටය, නැතහොත් මහරගමටය. ඉදහිට තවත් ගමකටය. නැතිනම් මහවැලි හෝ ගල්ඔය ජනවාසයකටය. නමුත් ඔවුන් ගමෙන් යන්නේ ඔවුන්ට ගමෙන් උරුම වූ ග්‍රාමය චින්තනයද සමගය.

ගමෙහි ඇති අනෙක් ප්‍රමුඛ ලක්ෂණයක් නම් කිසිවක් ස්ථිර නොවීමයි. ගෙවල් දොරවල්, පවුල් පන්සල්, ගති ලක්ෂණ සියල්ල වැනෙන සුළුය. පවතින්නේ යන්තමින්ය. එමගින් සියල්ලන්ටම ආරක්ෂාව ලැබේ. කවුරුන් හෝ ශක්තිමත් වූ විට ගමෙහි අනෙකුත් අය අනාරක්ෂිත වේ. මෙබැවින් සියල්ල දුර්වලව පවත්වා ගැනීමට ගැමියෝ නොදැනුවත්ම කටයුතු කරති. ගැමියන්ගේ ගති ගුණ පුදුමාකාරය. දවසින් දවස වෙනස් වේ.
මෙවන් පසු බිමකින් පැමිණි ජනාධිපතිවරයෙක් ලංකාවට ලැබී තිබේ. එහි අපුරුම දෙයනම් එවැනි ජනධිපතිවරයෙකුට කොළඹ එලිට් අගමැති වරයෙකු මුහුණට මුහුණ හමු වී තිබේ. මේ දෙදෙනාගේ සියල්ල අසමානය. පවුල අසමානය, අධ්‍යාපනය, පෙනුම, දේශපාලන පක්ෂය, කටයුතු කරන විදිය සියල්ල අසමානය. කොටින්ම සමාන කිසිවක් නැත. රනිල්ට තම ජිවිතයේ ප්‍රථම වතාවට තමන්ට උඩින් හෝ තමන්ට සමාන තත්වයේ ගැමියෙකු මුහුණට මුහුණ හමු වී තිබේ. ශ්‍රී ලංකාවේ පොදු ජනතාව රනිල්ට සුබ පැතිය යුතු අතර පාක්ෂිකයින් දෙවි පිහිට පැතිය යුතුය. මන්ද රනිල් මේ මොහොතේ ලාංකීය ග්‍රාම්‍ය වැඩපිලිවලක තර්ජනයකට තනියම මුහුණ දෙමින් තිබේ.

ජනාධිපතිවරයා විවේචනය කිරීම එක්සත් ජාතික පාක්ෂිකයින්ට තහනම් කොට තිබේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උපදෙස් ලැබී ඇත්තේ හැකි තාක් එක්සත් ජාතික පක්ෂ නායකයා හා පක්ෂය විවේචනය කරන්නටය. එකසත් ජාතික පක්ෂය ආණ්ඩුවේ කටයුතු විදිමත්ව සිදුකරමින් ආණ්ඩුව පවත්වා ගැනීමට කටයුතු සිදු කල යුතු බවට උපදෙස් ලැබී තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උපදෙස් ලැබෙනුයේ ආණ්ඩුවේ කටයුතු අවුල් කරමින් හැකිතාක් ආණ්ඩුව අස්ථාවර කිරීමට කටයුතු කරනා ලෙසය. මේ රනිල්ට ග්‍රාමය නායකයෙකු මුණගැසීම මිස වෙන කුමක්ද ?

ලැබෙමින් පවතින ආරංචි අනුව රාජපක්ෂවරු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් දැඩි තරහකින් පසුවෙයි. ඔවුන්ට සිදුවෙමින් පවතින තත්ත්වය රනිල්ට වඩා හොදින් අවබෝධ වන බව මගේ හැගීමයි. මන්ද රාජපක්ෂවරුන්ට ලාංකීය ගම ගැන ඔවුන්ගේම කියවීමක් ඇති අතර එය යථාවාදී හෝ ඊට ඉතා ආසන්නය. විශේෂයෙන් ගම්පහ යාගොඩ පල්ලෙවත්ත ගමරාලලාගේ කටයුතු ගැන බැසිල්ට හොද අත්දැකීම් තිබේ. ඔහුට ගම්පහ ඔරුතොට කාර්යාලය සම්බන්ධයෙන් කරන ලද මහා පවා දීම පිළිබද ඔහුගේම තක්සේරුවක් ඇති අතර ඔවුන් ජනධිපතිවරයා හා ගනුදෙනු කරනුයේ එම සීමාකම් පිළිබද අවබෝධයෙනි. අගමැතිවරයාගේ සීලාචාර භාවිතයන් ලාංකික ග්‍රාම්‍යත්වයට කොතරම් දුරට ඔරොත්තු දෙයිදැයි බලා ගත හැකි වන්නේ 4 වැනිදා විශ්වාශභංග යෝජනාවේදීය. මෙම විශ්වාසභංග යෝජනාව අනිවාර්යෙන්ම අගමැතිවරයා ජයගනු ඇත. නමුත් ප්‍රශ්නය ඇත්තේ තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ආණ්ඩු කෙරුවාව මගින් මෙම කර්කෂ, අශීලාචාර ග්‍රාමයත්වයේ ගොදුරක් බවට පත්වනවා ද යන්නයි. එක්සත් ජාතික පක්ෂය ඇතුලත ඇතිවී තිබෙන පීඩනය සමනය කල හැක්කේ තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ගොඩ නැගීම තුලිනි. ජනධිපතිවරයාගේ කාලය ඇත්තේ තවත් වසර එක හමාරක් පමණි. ඔහු වේගයෙන් අවලංගු වෙමින් පවතී. ඔහුත් සමග සාමය අපේක්ෂා කරන්නේනම් එය කිසි දිනක මෙවන් සීලාචාර ක්‍රම මගින් ලබාගත නොහැක්කේය. ඔහුට එල්ලකරනු ලබන එක ප්‍රහාරයකින් ලාංකීය ග්‍රාම්‍ය දේශපාලනය අර්බුදයට යනු ඇත.

මේ පැමිණ ඇත්තේ තීරණාත්මක තලයකටය. යටින් උගුල් අටවන්නන් මෙන්ම පසමිතුරු බලවේග පරාජය කලයුතු හෝරාව වන්නේ මෙයයි. තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට පක්ෂ අභ්‍යන්තරයේ වීශාල සහයෝගයක් තිබේ. එම තත්ත්වය යොදාගෙන හැකි ඉක්මනින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිගාමිත්වයෙන් මිදිය යුතුය. රනිල් වැනි නායකයෙකුට මහින්දට මුහුණ දිය හැකිය. ඒ ඔවුන් නියෝජනය කරනුයේ ශිෂ්ට ලෝකයේ නියෝජනය කරනු ලබන දේශපාලන ක්‍රම වේදයන් නිසාවෙනි. නමුත් ලාංකීය ග්‍රාම්‍ය බාවයට මුහුණ දීමට රනිල් සීලාචාර වැඩි බව මාගේ හැගීමයි. එබැවින් හැකිතාක් ඉක්මනින් මෙම යාහපාලන ආණ්ඩුවෙන් මිදී එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් ගොඩ නැගිය යුතු වේ. එලිට් රනිල්ට සිරිසේන මුහුණට මුහුණ හමුවීම රනිල්ට බියකරු සිහිනයක් බවට කිසිදු සැකයක් නොමැත. මහින්ද සිරිසේනට මුහුණට මුහුණ හමුවුන දිනට බියකරු සිහිනය මුණ ගැසෙනුයේ කාටදැයි කීමට තවම කල් වැඩිය.