Sunday, August 5, 2018

කුවේණි භීතියෙන් තවම අප පෙලන්නෙමු.

පසුගිය දාක මා හට ශ්‍රී ලංකා ගෘහණියන්ගේ සංගමයේ 60 වෙනි සංවත්සර සාදයට සහභාගි වීමට අවස්ථාවක් ලැබුණි. කිංස්බරි හෝටලයට ශ්‍රී ලාංකික ගෘහණියන් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් පැමිණ තිබුණි. මෙම සංගමය ආරම්භය වී තිබුනේ දැනට හැට වසරකට පෙරය. එනම් පනහේ දශකයේ දී ය. මා මෙතෙක් සහභාගී වී ඇති සියලුම සංගම් වල උත්සවවලට වඩා මෙහි ඇති විශේෂත්වය නම් මෙම සංගමයේ නියෝජනය කරන බොහෝ දෙනා තම දරු මල්ලන් හා සැමියන් වෙනුවෙන් තම ජීවිතය කැප කළ කාන්තාවන් වීමයි. ඔවුන් බොහෝ දෙනෙකු තම ජීවිතයේ එකම අරමුණ තම පවුලේ සුභසිද්ධිය කරගත් කාන්තාවෝ වෙති. ඔවුන් අතර ද්‍රවිඩ මුස්ලිම් හා සිංහල කාන්තාවන් විශාල ප්‍රතිශතයක නියෝජනයක් තිබුනේය. මෙම සංගමය තුල ජාතිය, ආගම, කුලය පිළිබඳ කිසි වෙනසක් නොමැතිව නියෝජනයක් දැකිය හැකි විය.

ලංකාවේ දේශපාලනය තුළ පසුගිය වසර හැත්තෑ වෙහි අප විසින් සිදුකරන ලද, කරන ලද විශාලතම වරදක් වන්නේ කාන්තාවන්ගේ දේශපාලන සහභාගිත්වය ඉතා ම පහළ අඩියක පවත්වාගෙන යෑමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ දේශපාලනය ඉතාම නරක ප්‍රතිරූපයක් අත්කර ගත් අතර මේ රටේ මුළු ජනගහනයෙන් සියයට පනහකටත් වඩා වැඩි කොටසක් වු කාන්තාවන්ගේ නියෝජනය උදෙසා කාන්තාවන් පත්කර නොගනී. එසේම පිරිමි මූලික සමාජය විශ්වාස කරන පිරිමින් විසින් කාන්තාවන් නියෝජනය කිරීම නිසා රටට සිදුවු හානියේ තරම කියා නිම කල නොහැකිය.

විශේෂයෙන් මහින්ද රාජපක්ෂ වැනි සූක්ෂම නායකයෙකු කාන්තාවන්ගේ ඡන්දය කිසිම දේශපාලන පදනමකින් තොරව රවටා ලබාගන්නා තත්වයකට පත්වුයේ මෙම කාන්තා දේශපාලන නියෝජනයේ තිබු දීර්ඝකාලීන දුර්වලතා නිසාය.

එක්සත් ජාතික පක්ෂය විටින් විට කාන්තා නියෝජනය ඉහළ දැමීමට උත්සාහ කළ ද එය එක්තරා ආකාරයක බලවේගයන් මගින් හැම අවස්ථාවකම පාහේ පහළට ඇද දමනු ලැබීය.

ආගම, කුලය හා ජාතිය තරන්ම ස්ත්‍රී පුරුෂ භාවය ද බෙදා වෙන් වුණු ප්‍රතිගාමී අදහසක් බවට අද වන විට පත්වී තිබේ. මුළු ලෝකයම ස්ත්‍රී පුරුෂභාවය අතාරින රටවල් බවට පත්වෙද්දී ලංකාව වැනි පසුගාමී සමාජ වල ස්ත්‍රී පුරුෂ භාවය තදින් සලකනු ලබන තත්වයක් බවට පත්ව තිබේ. ලාංකික සමාජයේ උසස් අධ්‍යාපන අවස්ථාව වැඩි වැඩියෙන් කාන්තා පාර්ශවය ලබා ගන්නා අතර රටේ රාජ්‍ය පරිපාලන ඉහළ තනතුරු බොහොමයක අද වන විට නියෝජනය කරනු ලබන්නේ කාන්තාවන් ය. නමුත් දේශපාලනයේදී කාන්තා සහභාගිත්වය ඉතා අඩු ප්‍රතිශතයකින් පවතිනුයේ දේශපාලනයට කාන්තාවන් සම්බන්ධ කරගැනීමට මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම පාහේ දක්වන අඩු උනන්දුව නිසාය. එය කෙතරම් බරපතළ තත්ත්වයක් බවට පත්වී ඇත්ද යතොත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුව විසින් පළාත් පාලන මැතිවරණයේදී හා පලාත් පාලන හා පලාත් සභා මැතිවරණයේ දී ඉදිරිපත් වන අපේක්ෂක සංඛ්‍යාව සියයට තිහක් වනතුරු කාන්තාවන් ඉදිරිපත් කළ යුතු බවට ව්‍යවස්ථාව මගින් යෝජනා කර තිබේ. එය එක්තරා ආකාරයකට ලංකාවේ කාන්තා දේශපාලන සහභාගිත්වය ඉහළ යාමට උපයෝගී වුවද. මේ රටේ පිරිමි හා දේශපාලන ක්ෂේත්‍රයෙන් නිරතවන්නන්ගේ අවංක උනන්දුවක් ඒ වෙනුවෙන් තිබේද යන්න තවමත් සැක සහිතය.

විශේෂයෙන් කාන්තාවන් තුළ ද ශ්‍රී ලංකාවේ දේශපාලනයට සම්බන්ධ වීමේ හෝ දේශපාලන ක්‍රියාවලියේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම අඩු උනන්දුවක් පවතී. විශේෂයෙන්ම එවැනි කාන්තාවන්ට අපහාස කිරීමට දේශපාලනයේ නිරත වන පිරිමි දේශපාලනඥයින් දිග දිගටම කටයුතු කිරීම ද එක් හේතුවකි. මෙහිදී මට මතක් වන්නේ රෝසි සේනානායක මැතිණිය දේශපාලනයට පිවිසි මුල් යුගයේදී එතුමියට විමල් වීරවංශ වැනි ග්‍රාම්‍ය දේශපාලකයින් විසින් ලන්සි පැපොල් කියමින් සෑම අවස්ථාවකදීම පාර්ලිමේන්තුව තුලදී අපහාස කිරීමයි. සැබවින්ම රෝසි සේනානායක වැනි ධෛර්යවන්ත කාන්තාවක් එම තත්ත්වය ඉවසාගෙන සිටියා මිස සාමාන්‍ය කාන්තාවක් නම් දේශපාලනය අතහැර යනු ඇත. විමල් වීරවංශ වැනි ග්‍රාම්‍ය දේශපාලන නායකයින් දිගින් දිගටම රෝසි සේනානායක හා වෙනත් කාන්තාවන් වෙනුවෙන් දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ වීමට එරෙහිව රට තුළ විශාල මතයක් ගොඩනැගීමද විශේෂයෙන් ප්‍රසිද්ධ රැස්වීම්වලදී කාන්තාවන්ගේ ස්ත්‍රී භාවය ට අභියෝග කිරීම පොදු ජන එක්සත් පෙරමුණ හා විමල් වීරවංශ වැනි අශිලාචාර දේශපාලනඥයින්ගේ ප්‍රධාන වැඩපිළිවෙළක් බවට පත්ව තිබේ. මෙම තත්ත්වය මත කාන්තාවන් දිගින් දිගටම දේශපාලනයේ නිරතවීමට අඩු උනන්දුවක් දක්වයි. එමගින් රටට කාන්තා සහභාගීත්වය ප්‍රතිපත්ති සම්පාදනයට අහිමි වීමෙන් විශාල හානියක් සිදු ව ඇති බව මාගේ පෞද්ගලික අදහසයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව ලෝකයේ ශීලාචාර සමාජයේ ඇති කතිකාවට අනුව කාන්තාවක් වූ පලියට වෙනස් කොට සැලකීමට ඇති අයිතිය සම්පූර්ණයෙන් අහෝසි කොට තිබේ. නමුත් ශ්‍රී ලංකාවේ ගෘහණියන්ගේ සිට සියලුම වෘත්තිකයන් දක්වා සෑම ස්ථානයකම සෑම අවස්ථාවකම කාන්තාවක් වීම නිසා වෙනස් කොට සලකනු ලැබේ .එය කිසිම අවස්ථාවක කාන්තාවට වාසි සහගත සතුටුදායක ආකාරයෙන් සිදු නොවන අතර ඒ සෑම අවස්ථාවකම කාන්තාවක් වීම නිසාම සමාජය තුළ පීඩනයට හා අසාධාරණයට ලක්වන අවස්ථාවන් විශාල ප්‍රමාණයක් දැකගත හැකි වේ .

මා පෞද්ගලිකව විශ්වාස කරනු ලබන්නේ කාන්තාවන් ශ්‍රී ලංකාවේ දේශපාලනයට මීට වඩා ක්‍රියාකාරීව සම්බන්ධ වන්නේ නම් රටේ අනාගතය මීට වඩා බොහෝ සුබදායි වීමට ඉඩ තිබේ. ඊට ප්‍රධාන හේතුව නම් කාන්තාවන්ගේ දේශපාලන සහභාගිත්වය මේ රටේ දේශපාලනය මෙන්ම ප්‍රතිපත්ති සම්පාදනය සුබදායී තලයකට පැමිණීමට ඉඩ තිබේ. උදාහරණයක් හැටියට රාජ්‍ය සේවයට කාන්තාවන්ගේ සහභාගීත්වය විශාල වශයෙන් ඉහල ගොස් තිබෙන  අතර එමගින් රාජ්‍ය සේවයේ අල්ලස, දූෂණය අකාර්යක්ෂමතාවය දුරු වී තිබෙන බව මාගේ පෞද්ගලික මතයයි. කාන්තාවන් අද රාජ්‍ය සේවයේ සෑම මට්ටමකම තනතුරු දරයි. රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවන ප්‍රධාන බලවේගය අද කාන්තාවන්ය. එම නිසා ඔවුන් ප්‍රතිපත්ති සම්පාදනයට සහභාගී කරගත යුතු බව යථාර්තවාදී අදහසකි.

අපේ සමාජයේ අරුම පුදුම තත්වය නම් දරුවන් හැදීම හා මේ රටේ සමාජය අද තිබෙන තත්ත්වයට පත්කිරීමට කාන්තාවන්ට වගකීම පවරන පිරිමින් හා එම දරුවන් ද වැඩිහිටියන් වූ පසුව කාන්තාවන් මේ රට මේ රටේ දේශපාලනයට සම්බන්ධ වීමට සුදුසු නොවන පිරිසක් බවට විශ්වාස කිරීමයි. එම නිසා මෙම තත්ත්වය හැකි ඉක්මනින් අවසන් කළ යුතු වේ.

එසේ නොවුනහොත් වසර 2500ක් තිස්සේ කුවේණියට තිබු භීතිය අප සමාජය විනාශ කර දමනු ඇත.

Sunday, July 1, 2018

මිලියන 1215 කට චීනයට විකිණුනු රාජපක්ෂවරු

පසුගිය සතියේ ලංකාවේ දේශපාලනයේ විශේෂිතම සිදුවීම වන්නේ ලෝකප්‍රකට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ප්‍රධාන පෙලේ ලිපියක් පලකරමින් පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේ ලංකාවේ ආර්ථිකයට හා දේශපාලනයට චීනයේ මැදිහත්වීම පිළිබඳව විස්තරාත්මක හෙළිදරව් කිරීම් ගණනාවක් සිදුකර තිබීමයි. මෙම ලිපියට අනුව රාජපක්ෂවරු විසින් හම්බන්තොට වරාය ඉදිකිරීමේදී සිදුකරන ලද සුවිශාල අක්‍රමිකතා රාශියක් හෙළිකරන ලද අතර මහින්ද රාජපක්ෂ විසින් එම වරාය ඉදිකිරීමේ මුලික කොන්ත්‍රාත්තුව චීනයට ලබාදීමේ දී විශාල ආර්ථික පාඩුවක් ද, අක්‍රමිකතාවයන් ද සිදුකර ඇති බව හෙළිකරන ලදී. එසේම එම ඉදිකිරීම් කටයුතු වලදී ඉදිරිපත් වූ පරිසර හා ශක්‍යතා වාර්තා සියල්ලම යෝජනා කරන ලද්දේ වරාය ඉදිකරන ලෙස නොව එය අසාර්ථක ව්‍යාපෘතියක් වීමට ඉඩ ඇති බවත් මෙම ව්‍යාපෘතිය ඉදි නොකර සිටින ලෙසත්ය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හැටපස්වන උපන්දිනයට ප්‍රථම එම වරාය ඉදිකොට විවෘත කිරීමේ දැඩි අවශ්‍යතාවයක් රාජපක්ෂවරුන්ට තිබූ බව එම පුවත්පත හෙළිකොට තිබේ. එසේම එම වරාය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රථමයෙන් ලබාදීමට අපේක්ෂා කොට ඇත්තේ ඉන්දියාවට වුවත් ඉන්දියාව ඒ ඉදිකිරීම ප්‍රතික්ෂේප කොට තිබේ. ඒ වෙනුවෙන් ඉදිරිපත් කොට තිබූ ශක්‍යතා වාර්තා වල තිබූ නිර්දේශ වලට අනුවයි. නමුත් ඔවුන් එම වාර්තා තඹ සතයකට මායිම් නොකර චීන සමාගමකට මෙම වරාය ඉදිකිරීමේ අතිවිශාල කොන්ත්‍රාත්තුව අධික පොලියට ලබාගත් ණය මුදලක් මත ලබා දී තිබේ. එම අවස්ථාවේදී ජපානය 0.5% ක පොලියක ණය මුදලකට එකඟ වී තිබියදීත් මෙහි මුල් කොටස චීනය විසින් ලබාගන්නා ලද්දේ සියයට තුනක අතිවිශාල පොලී අනුපාතයකට බව මෙම ලිපිය මඟින් පෙන්වා දී තිබේ. එසේම වරාය ඉදිකිරීමේ දෙවන සහ තුන්වන පියවරයන් සඳහා චීනයෙන් ණය ලබාගෙන ඇති පොලී අනුපාතයන් සියයට තුනේ, හතරේ හා ඵවැනි ඉහළ පොලී අනුපාතයන් වේ. එසේම කෙටි කාලීන ණය මුදල්වල එම ණය මුදල් හැකි ඉක්මනින් ගෙවීමට ලංකාවේ ආණ්ඩුවට සිදුවන ලෙස අවාසි සහගත ගිවිසුම් වලට එළඹ ඇති බව එම ලිපිය පෙන්වාදෙයි. පසුගිය වසර තුන තුළ යහපාලන ආණ්ඩුව මුහුණදුන් දහසකුත් ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වූයේ හම්බන්තොට සුදුඅලි වරායයි.

එම වරායේ නඩත්තුව වෙනුවෙන් කොළඹ වරායද බංකොලොත් තත්ත්වයට පත්වීමට ඉඩ තිබූ බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දී තිබුණේය. එයට ප්‍රධාන හේතුව වූයේ හම්බන්තොට වරායෙන් කිසිදු ආදායමක් නොලබන අතර චීනයට ගෙවිය යුතු ණය වාරිකය ගෙවීම හා නඩත්තුව කොළඹ වරායේ ආදායම මගින් සිදුකිරීමට සිදුවී තිබීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස කොළඹ වරායද අර්බුදයට යමින් තිබුණි. ලංකාවේ ලාභ ලබන රාජ්‍ය ආයතන කිහිපයෙන් එකක් වන කොළඹ වරායද බංකොලොත් තත්ත්වයට පත්වීමේ අවදානමකට ලක්විය. අවසානයේ මෙහි ප්‍රතිඵලය වූයේ හම්බන්තොට වරාය එය ඉදි කළ china harbour සමාගමට වසර 99 කට හිමි වීමයි. එසේම ඒ වෙනුවෙන් ආණ්ඩුවට ඩොලර් බිලියන  1.26 මුදලක් ද ලැබුණි. නමුත් එම මුදල චීන සමාගම ලබාගත් ණය මුදලට වඩා අඩු වන අතර ඔවුන් විසින් හම්බන්තොට ප්‍රදේශයේ එම වරායේ කටයුතු මෙහෙයවීම සඳහා ආර්ථික මර්මස්ථානයක් ඉදිකරන බවට වූ පොරොන්දුවක් නිසාවෙන් එය වාසිදායක පස් ගනුදෙනුවක් ලෙස දක්වා සිටිය හැක.

ඒ කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ඔහුගේ 2014 අග භාගයේ ජනාධිපතිවරණය සඳහා චීනයෙන් ඩොලර් මිලියන 7.5 ක අති විශාල මුදලක් ලබාගත් බවට ද එම ලිපිය මගින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පෙන්වාදෙයි. සැබෑ ලෙසම ලංකාවේ ආර්ථිකය අති විශාල අර්බුදයකට පත්කිරීමට හේතු වූ මෙම චීන - ශ්‍රී ලංකා ගනුදෙනුවල සැබෑ තත්ත්වය ලංකාවේ ජනතාවට අවබෝධ කරදීම වර්තමාන ආණ්ඩුවේ වගකීමක් බව මාගේ පෞද්ගලික තක්සේරුවයි. විශේෂයෙන් ලංකාවේ ජාතික ආදායමෙන් රජයේ ආදායම 11%  මට්ටමට ගෙන ඒමේ අති විශාල හානියක් ලංකාවේ ආර්ථිකයට සිදුකරන ලද්දේ මෙම චීන - ශ්‍රී ලංකා ණය ගනුදෙනු වලිනි. ලංකාවේ ආර්ථිකයට අනුව රජයේ ආදායම අඩුම තරමින් 22%  මට්ටමේ තිබිය යුතු බවත් එය එසේ නොවන්නේනම් ලෝකය පිළිගත් මූල්‍ය ආයතනවලින් ලංකාවට ණය ලබා ගැනීමේ හැකියාව අහිමි වන බවත් ආර්ථික විශේෂඥයින් පෙන්වාදී තිබේ. නමුත් රාජපක්ෂ රෙජීමය විසින් සිදුකරන ලද්දේ රජයේ ආදායම ඉහල දමාගැනීම වෙනුවට චීන ණය මුදල් මගින් ලංකාවේ ආර්ථිකය පවත්වාගෙන යාමයි. එහි උපරිම මට්ටමට 2014 වන විට ලංකා ආණ්ඩුව පත්ව තිබුණු අතර එම ණය මුදල් නැවත ගෙවීම ආරම්භවීමට නියමිතව තිබුණේ 2015 වසරේ සිටයි. යහපාලන ආණ්ඩුව බලයට පත්වන විට ලංකාවේ ආර්ථිකය විශාල ගිනිකන්දක තත්ත්වයට පත්වී තිබුණි.

රාජපක්ෂවරු වසර පහකින් ජනාධිපතිවරණයට යොමුවන්නේ ජාත්‍යන්තර බලපෑමෙන් එම ආර්ථිකය තවදුරටත් චීන ණය මත ගෙන යා හැකි තත්ත්වයක් නොමැති අවස්ථාවකය. යහපාලන ආණ්ඩුව මේ රට බාරගත් දා සිට ආණ්ඩුවට තිබූ ලොකුම අභියෝගය වූයේ පාපැදි ආර්ථිකයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමයි. මන්දයත් බංකොලොත් තත්ත්වයක තිබූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට පවා ශක්තියක් නොතිබුණි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් හා ප්‍රතිසංස්කරණ ඉටුකිරීම පොරොන්දු වී බලයට පත්වූ යහපාලන ආණ්ඩුවට එම ප්‍රතිසංස්කරණ ඉටුකිරීමටත් වඩා, හොරු ඇල්ලීමටත් වඩා තම කාලයෙන් වැඩි කොටසක් වැය වූයේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීමටයි. එනම් එදිනෙදා කටයුතු කරගෙන යාමට හැකි තත්ත්වයට ලංකාවේ ආර්ථිකය ගෙනඒමටයි. එය දේශපාලනික වශයෙන් විශාල අර්බුදයකට යහපාලන ආණ්ඩුව පත්කළ ද එම කටයුතු සිදු කිරීම අනිවාර්ය කොන්දේසියක්ව තිබුණි.

රාජපක්ෂවරුන්ගේ විශාල දූෂණ හා අක්‍රමිකතා නිසා හපවී තිබූ ලංකාවේ ආර්ථිකය අද වන විට නිවැරදි පීල්ලට පැමිණ තිබේ. අද රටේ එදිනෙදා කටයුතු කරගෙන යාමේ කිසිදු අපහසුවක් නොවන අතර රාජ්‍ය ආදායම 11%  ක සිට එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන 22%  සීමාවේ ආසන්නයට යාමටත් ඒ අනුව අනාගතයේදී ඉතාම අඩු පොලියට දීර්ඝ කාලීන ණය මුදල් ලබා ගත හැකි තත්ත්වයකටත් රට පත්වී තිබේ.

Sunday, June 17, 2018

ජනාධිපති අපේක්ෂිකාව ශිරන්ති

ලැබෙමින් පවතින ආරංචි අනුව රාජපක්ෂ පිලෙහි ජනාධිපති අපේක්ෂිකාව වීමට වැඩි ඉඩක් ඇත්තේ නාමල් රාජපක්ෂගේ මව හා මහින්ද රාජපක්ෂගේ බිරිද මෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති වික්‍රමසිංහ මහතාගේ සහෝදරිය වන ශිරන්ති රාජපක්ෂ මැතිණියයි. ශිරන්ති රාජපක්ෂ මැතිණිය මූලික වශයෙන් රෝමානු කතෝලික කාන්තාවක් වන අතර ගෝඨාභය රාජපක්ෂට වඩා සිංහල බෞද්ධ නොවන ඡන්ද වලට ආමන්ත්‍රණය කල හැකි රාජපක්ෂ පවුලේ අපේක්ෂිකාවකි. නමුත් අප සලකා බැලිය යුත්තේ මෙතරම් ජනප්‍රිය රාජපක්ෂවරු සිටියදී ශිරන්ති රාජපක්ෂ 2020 ජනාධිපතිවරණයට තෝර ගැනීමේ පදනම කුමක්ද යන්නය. මුලික වශයෙන් රාජපක්ෂවරුන්ගේ මුළු දේශපාලන වැඩසටහනම පදනම් වන්නේ නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය මතය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටිනුයේ නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය වෙනුවෙන් ඕනෑම මිලක් ගෙවීමේ පදනමිනි. නමුත් බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන සහෝදරවරු නැවත බලය අත්පත් කර ගැනීම හා ඒ මත පදනම්ව ජීවිතයේ ඉතිරි කාලය ලංකාවේ ගතකිරීමත් සිමාන්තික වන නමුත් රට ගොඩනගා ඉතිහාස ගතවීමට ඇති අධික ආශාවකිනුත් පසුවේ. එමෙන්ම රටේ ආණ්ඩුවට විරුද්ධ බලවේග අඩුවැඩි වශයෙන් මෙම රාජපක්ෂවරු වටා ගොඩනැගෙමින් පවතී. එම දෙදෙනාම ලංකාවේ ආණ්ඩු විරෝදී දේශපාලනයේ කේන්ද්‍රය බවට පත්වී තිබේ. එසේම රටේ එක්තරා කොටසක් 2020  දී ගෝඨාභය නිශ්චිත වශයෙන්ම බලයට පත්වන බව විශ්වාස කරන අතර එම නිසාම දෙමල හා මුස්ලිම් ජනතාව භීතියට පත්වී තිබේ.

එම කාරණාව පදනම් කරගෙන විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම කෑලි කෑලිවලට කැඩී තිබේ. කෙසේ නමුත් ලැබෙමින්  පවතින ආරංචි අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටිනුයේ කිසිදු රාජපක්ෂ වරයෙකු හා බලය බෙදා හදා ගන්න ස්ථාවරයක නොවන අතර එතුමන්ගේ ස්ථාවරය වන්නේ රාජපක්ෂ කෙනෙකු හෝ තම පිලෙහි කෙනෙකු 2020 ජයග්‍රහණය කිරීම නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතයට මෙන්ම තමන් විසින්, තමන් වෙනුවෙන් රටේ ගොඩනැගී ඇති දේශපාලන බලවේගය අවසන් වීමක් ලෙසය. එබැවින් මහින්ද රාජපක්ෂ කල්පනා කරනුයේ එක්කෝ නාමල් රාජපක්ෂ නියමිත වයස හා පරිනත බව ලැබෙන තුරු විපක්ෂය තුල ගත කල යුතුය. නැතහොත් ජී. එල් පීරිස් වැන්නෙකු යොදාගත යුතු බවයි. කෙසේ නමුත ගෝඨාභයගේ නැගීමත්, බැසිල්ගේ සංවිධාන ශක්තියත් මත දේශපාලන හැඩගැස්ම ගොඩනැගී ඇති මේ මොහොතේ මහින්ද රාජපක්ෂගේ සුරක්ෂිත තෝරාගැනීම වන්නේ ශිරාන්ති රාජපක්ෂය. එය නාමල්ගේ දේශපාලනයට මහින්දට දිය හැකි හොදම සුරක්ෂිත කරගැනීම වේ.

රාජපක්ෂ වරුන්ගේ දේශපාලනයේ ඇති සුවිශේෂී තත්ත්වය වන්නේ මුළු දේශපාලන වැඩසටහනේම පදනමද වන්නේ ඔවුන්ගේ පවුල වටා වන අතර එයිනුත් වඩාත් සාර්ථක හා වියයුතු ලෙස සලකනු ලබන්නේ රාජපක්ෂ වරුන්ගේනුත් ශ්‍රේෂ්ඨම වියයුත්තේ මහින්ද රාජපක්ෂගේ න්‍යෂ්ටික පවුල බවයි. එම පවුලේ මුළු විශ්වාසය ඇත්තේද, සම්පුර්ණ දේශපාලන පෙළගැස්ම ඇත්තේද මහින්ද රජපක්ෂ වෙනුවෙන් බවත් එහි ප්‍රතිලාභ ලැබිය යුත්තේ එම පවුලට බවත්ය. ඉන්පසු අවශේෂ රාජපක්ෂවරුද, වීරතුංගලාද, අනෙකුත් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමද වේ. රාජපක්ෂ වරුන්ගෙන් පිටත අයෙකුට දේශපාලන සාර්ථකත්වය කෙසේ වෙතත් විජේරාම නිවසේ ආලින්දයේදී මහින්ද රාජපක්ෂ මුණගැසුණු විට වාඩිවීමට පුටුවක්වත් නොලැබේ. මුහුණු පොතේ පලවන රාජපක්ෂ වරුන් හමුවන විපක්ෂයේ දේශපාලකයින්  සියල්ලෝම ඔහු සමග කතා කරනුයේ හිටගෙනය. අඩුම තරමින් අබාධිතයකුට (අනුගාමික ) වුවද වාඩිවීමට පුටුවක් රාජපක්ෂ වරුන්ගේ විජේරාම නිවසේදී නොලැබේ. එවැනි තත්ත්වයක් තුල අපට කිවහැක්කේ අනිවාර්යෙන්ම ශිරන්ති රාජපක්ෂගෙන් තොර විකල්පයක් පිළිබදව ඔවුන් නොසිතන බවය.

එහිදී 2020 ගොඩනැගෙනුයේ ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන ශිරන්ති රාජපක්ෂත්, බොහෝවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කිරීමට යොදා ඇති අපේක්ෂකයාත්, එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයාත් අතර තුන්කොන් තරගයකි. සුපුරුදු ලෙස සිංහල ඡන්ද තුනට බෙදීයන වාතාවරණයක් තුල ජනාධිපතිවරණය ජය ගැනීමටනම් ඕනෑම අපේක්ෂකයෙකු උතුරු නැගෙනහිර දෙමල ඡන්ද හා මුස්ලිම් ඡන්ද දිනාගත යුතු වේ. එසේ නොවන අපේක්ෂකයෙකුට 2020 ජය ගැනීමට ඇති ඉඩ ඉතා අඩුවේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙල මෙන්ම එම පක්ෂයේ නායකයින්ගේ පැවැත්ම තීරණය වන්නේ දකුණේ සිංහල ඡන්ද මෙන්ම උතරේ දෙමල ඡන්දද, රටේ මුස්ලිම් වරුන්ගේ ඡන්දද දිනගත හැකි හැකියාව මතයි. 2020  අපේක්ෂකයා තවම නම්කර නැති වුවද එක්සත් ජාතික පක්ෂය එහි නායක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉදිරිපත් කිරීමට බොහෝ විට ඉඩ තිබේ. මන්ද ඔහු තරම් සුළු ජාතික ඡන්ද වලට බලපෑමක් කල හැකි දේශපාලන නායකයෙකු රටේ මේ මොහොතේ නොමැති බැවිනි. ඔහු තරගයට නොපැමිණෙන මොහොතක සජිත්, නවීන්, අකිල හෝ අජිත් පී පෙරේරාට වුව එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකත්වය හිමිවීමට ඉඩ තිබේ. මන්ද එක්සත් ජාතික පක්ෂය යනු සංවිධිත පක්ෂයක් වන අතර එහි ඕනෑම කෙනෙකුට එම මොහොතේ පවතින තත්ත්වය හා අවශ්‍යතාවය අනුව අවස්ථාව ලැබිය හැකිය.

අවසාන වශයෙන් කිව හැක්කේ රටේ දේශපාලනයට ශිරන්ති රාජපක්ෂගේ ආගමනය කෙතරම් බලපෑමක් කරනු ඇතිදැයි කීමට තවමත් කල් වැඩි නමුත් මේ රටේ ජන හද ගැස්මෙහි තීරණය උරගා බැලීමට සියල්ලන්ටම අවස්ථාවක් ලැබෙනු ඇත.

Sunday, June 10, 2018

විපක්ෂයේ බෙදීම්

ලංකාවේ දේශපාලනය තුළ පසුගිය සතියේ දැකගත හැකි වූ ප්‍රධානතම ලක්ෂණය වන්නේ විපක්ෂයේ කණ්ඩායම් අතර සිදුවෙමින් පවතින තීරණාත්මක බෙදීමයි. මෙම බෙදීම වඩාත් ප්‍රදර්ශනාත්මක ලෙස කලඑළියට පැමිණියේ නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ දී පවත්වන ලද රහස් ඡන්දයේදීය. මෙහිදී ප්‍රථමයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයාගෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විමසා සිටියේ ඔවුන් විසින් කවුරුන් හෝ නියෝජ්‍ය කථානායකවරයා ලෙස පත්කරන්නේද යන්නයි. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ කණ්ඩායම හා විපක්ෂය නියෝජනය කරන කණ්ඩායමේ පිළිතුර වී තිබුණේ ඔවුන් විසින් අපේක්ෂකයෙකු නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ඉදිරිපත් නොකරන බවයි. මේ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් මොණරාගල පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි මහතා යෝජනා කරනු ලැබීය. ඉන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත් වූ කණ්ඩායම මගින් ඉදිරිපත් කරනු ලැබුවේ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණියයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂයේ කණ්ඩායම හා ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම එකතු වූ විට එම පිලට අඩුම තරමින් ඡන්ද 70 ක් හෝ ලැබිය යුතුව තිබුණ ද ඔවුන්ට ලබාගත හැකි වූයේ ඡන්ද 53 ක් පමණි. මේ අනුව ඒකාබද්ධ විපක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන් වූ පිලේ විශාල කණ්ඩායමක් ඡන්දය පාවිච්චි නොකර තිබුණි. එම සංඛ්‍යාව මන්ත්‍රීවරු 18 ක් පමණ වේ. ප්‍රධාන වශයෙන් රාජපක්ෂවරු සියලු දෙනාම පාහේ එම ඡන්දයෙන් වැළකී සිටියේය.

ඒකාබද්ධ විපක්ෂය තීරණාත්මක ලෙස දෙකට බෙදී ඇත්තේ බැසිල් පිල හා ගෝඨාභය පිල ලෙසිනි. මෙහිදී බැසිල් පිල විසින් ගෝඨාභය පිල පෙර සිදුකරනු ලබමින් පවතින දේශපාලනය තීරණාත්මක ලෙස විවේචනය කරනු ලබයි. ගෝඨාභය පිල විවේචන නොකර ද ඒකාබද්ධ විපක්ෂය විසින් ගොඩනගා ඇති ජන බලය ඔවුන් මතට යොමු කර ගැනීමේ විශේෂ ව්‍යාපෘති ගණනාවක් දියත්කර තිබේ. ගෝඨාභය පිල, සිංහල බෞද්ධ බලවේග මත විශේෂ නැඹුරුවකින් කටයුතු කරන ආකාරය දැකිය හැකි අතර එමගින් සිංහල බෞද්ධ ඡන්දවලින් 70% කට වඩා ගනිමින් ජයග්‍රහණය කළ හැකි යැයි ඔවුන් තක්සේරු කර තිබේ. එම මතය කෙතරම් දුරට සමාජගතවී ඇත්තේද යත් ගෝඨාභය රාජපක්ෂ වටා එක්තරා ආකාරයක දේශපාලන බල කේන්ද්‍රයක් ද ගොඩනැගී තිබේ. කෙසේ වුවද සිංහල සමාජය තුළින් විශාල විරෝධයක් ගෝඨාභය කෙරෙහි එල්ලවී ඇති අතර එයට බලපානු ලබන ප්‍රධානම ප්‍රශ්නය වන්නේ ගෝඨාභය රාජපක්ෂව, රාජපක්ෂ රෙජීමය පැවති කාලයේ ගෝඨාභය රාජපක්ෂ විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී හා සමාජ විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් මේ රටේ සිවිල් සමාජය තුළ පවතින විශාල විරෝධය හා භීතියයි. එමනිසා ඉදිරි ජනාධිපතිවරණයේදී අනිවාර්යෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ මෙම ක්‍රියාකලාපය එළියට ඇදී එන අතර ඒ වෙනුවෙන් විශාල සමාජ විරෝධයක් ගොඩනැඟීමට ඔවුන්ට එරෙහිව ඇති බලවේග ක්‍රියාත්මක වනු ඇත.

ඒකාබද්ධ විපක්ෂයේ මෙම බෙදීයාම විශේෂයෙන්ම පෙනී යන්නේ විමල් වීරවංශගේ ක්‍රියාකලාපය තුළිනි. විමල් වීරවංශ කල්පනා කරනුයේ රාජපක්ෂවරු සතු වූ මෙම ජන බලවේගය ගොඩනගන ලද්දේ ඔහු හා උදය ගම්මන්පිල විසින් බවයි. ඔවුන් මෙම බලවේග ගොඩනගන අවස්ථාවේදී දැනට මෙම බලවේග සදහා නායකත්වය දෙන බැසිල් රාජපක්ෂ මෙන්ම ගෝඨාභය රාජපක්ෂද, මහින්ද රාජපක්ෂද විවෘත දේශපාලනයෙන් මිදී හුදකලාව සිටි අතර විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල විසින් ආරම්භ කරන ලද මහින්ද සුළඟ වැඩසටහන මගින් නැවත මෙම දේශපාලන ව්‍යාපෘතිය ආරම්භ වූ බවත්, එමගින් ඔවුන්ගේ පක්ෂය ආරම්භ වූ බවත් විමල් වීරවංශගේ තක්සේරුවයි. එම වැඩසටහන ආරම්භ කරමින් විමල් විරවංශ අපේක්ෂා කරන ලද්දේ ඔහුට මහින්ද රාජපක්ෂ සතුව පැවති ජන ප්‍රසාදය නංවාගෙන ඔහුගේ පක්ෂයත්, ඔහු සතු බලවේගයත් ඉහළට ඔසවා ගැනීමයි. නමුත් සූක්ෂම දේශපාලනඥයින් වන රාජපක්ෂවරු විසින් ඉතාම දක්ෂ ආකාරයෙන් ඔවුන් සතු ජන බලය ඔවුන්ගේ පවුල කේන්ද්‍ර කරගත් දේශපාලන වැඩසටහනකට ගොනුකර ගැනීමට සමත්විය. මෙම තත්ත්වය විමල් වීරවංශ ප්‍රමුඛ අවශේෂ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් හට ගෝචර නොවන අතර මොවුන් තුළින් බැසිල් විරෝධයක් උපදින්නේ එබැවිනි.

එම විරෝධය කෙතරම්ද යත් අඛණ්ඩව බැසිල් රාජපක්ෂ පිල ඒකාබද්ධ විපක්ෂයේම ගෝඨාභය පිලට දැවැන්ත ප්‍රහාරයක් එල්ලකරමින් තිබේ. බැසිල් රාජපක්ෂගෙන් හා ගෝඨාභය රාජපක්ෂගෙන් වියුක්ත වෙනම දේශපාලන වැඩසටහනක් විමල් වීරවංශ විසින් විපක්ෂ කණ්ඩායම් අතර ක්‍රියාත්මක කරමින් තිබේ. එම වැඩසටහන සඳහා වාසුදේව නානායක්කාරගේ, දිනේෂ් ගුණවර්ධනගේ සහයෝගය ද විමල් වීරවංශට ලැබී තිබේ. අනෙක් අතින් බැසිල් රාජපක්ෂ විසින් ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන වැඩසටහනේදි විමල් වීරවංශ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ එම නායකයින් හා මුළු මන්ත්‍රී කණ්ඩායම අවසානයේ නොතකා හරින තත්ත්වයකට පත්වී තිබේ. මෙය විපක්ෂ කණ්ඩායම් වල තිබෙන විශාලතම චෝදනාව හා අසහනයයි. විශේෂයෙන් එ්කාබද්ධ විපක්ෂය විසින් ජයග්‍රහණය කරන ලද පළාත් පාලන ආයතන වලට ප්‍රධානීන් පත්කිරීමේදී බැසිල් රාජපක්ෂ ක්‍රියාත්මකවන ලද්දේය. කිසිදු දේශපාලන නායකයකු පිළිබඳ අවධානයක් යොමු නොකර තමන් කැමති කණ්ඩායම් හා පුද්ගලයින් පමණක් පළාත් පාලන ආයතනවල නායකත්වයට පත්කිරීමට බැසිල් රාජපක්ෂ වගබලා ගත්තේය. එමගින් ඔහු විපක්ෂ දේශපාලන බලවේගය ග්‍රාමීය මට්ටමෙන් සම්පූර්ණයෙන්ම පාහේ අත්පත් කරගැනීමට සමත් විය.

Sunday, June 3, 2018

විධායකය අහෝසි කිරීම

ලංකාවේ දේශපාලනය තුළ පසුගිය සතිය ඉතා තීරණාත්මක වේ. එයට බලපෑ විශේෂම හේතුව වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමයි. එය ඉදිරිපත් කිරීමට මූලික වූයේ ජනතා විමුක්ති පෙරමුණයි. ජනවාරි අට වැනි දා ආණ්ඩු පෙරළියට පාදක වූ දින සීයේ වැඩසටහන මගින් යෝජනා කර තිබූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව පදනම් කර ගෙන ජනතා විමුක්ති පෙරමුණ මගින් මෙම විසිවන සංශෝධනය ඉදිරිපත් කර තිබේ. නමුත් මාගේ පවතින එක තක්සේරුවක් නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පදනම් කොට ඉදිරිපත් කරන ලද මෙම විසිවන සංශෝධනය මගින් ඔවුන් විසින් රට අස්ථාවර කිරීමේ උපක්‍රමික යෝජනා ද ඉදිරිපත් කොට ඇති බවයි. විශේෂයෙන් ඔවුන් විසින් ඉදිරිපත් කොට ඇති විසිවන සංශෝධනය මගින් ඔවුන් ප්‍රධාන පක්ෂ දෙකෙහි නායකයින් අමතක කොට තිබේ. එසේම වර්තමාන අග්‍රාමාත්‍යවරයා ඉලක්ක කොට ගත් විශේෂ යෝජනා කිහිපයක්ද විසිවන සංශෝධනයට අන්තර්ගත වී තිබේ. එවැනි තත්ත්වයක් තුළ එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය නැතිව එය දිනාගැනීමේ විශාල බාධාවන් පවතින බව මාගේ තක්සේරුවයි. ජනවාරි 8 වෙනිදා පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවට තවදුරටත් අටුවා ටීකා අවශ්‍ය නැත. නමුත් එම සත් කාර්යය ඉටුකිරීමේදී දේශපාලන පක්ෂ හෝ  අවිද්‍යාත්මක පුද්ගලයින් විශේෂ කොට ගනිමින් යෝජනා ඉදිරිපත් කිරීම එතරම් ගෝචර නොවන බව මාගේ අදහසයි. එවැනි අවිද්‍යාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මගින් සිදුවිය හැකි බරපතල වරද වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්බුදයන් ඇති වීමයි. එම නිසා දේශපාලන පක්ෂ වල උවමනා එපාකම් ඉටු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සිදුකිරීම අවිද්‍යාත්මක යෝජනා වන අතර එමගින් දීර්ඝකාලීනව රටට විශාල හානියක් සිදුවනු ඇත.

ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ සිටම සිදු කරන ලද වූ දේශපාලන ක්‍රියාවලීන් නිසාවෙන් රටට තිබූ බොහෝ අවස්ථාවන් අහිමි වූ බව මාගේ පවතින අදහසයි. විශේෂයෙන් විසිවන සංශෝධනය ඉදිරිපත් කිරීම තනි රටක් හැටියට නොව රටේ සියලුම දේශපාලන පක්ෂ ජනාධිපතිවරයාගේ කැමැත්ත ඇතිව සිදුකළ යුතු වුවද ඔවුන් ඒ පිළිබඳව පුළුල් සාකච්ඡාවක් නොකොට තනි මතයට ඔවුන් විසින් මෙම සංශෝධන ඉදිරිපත් කොට තිබේ. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දරන මතය කුමක්ද යන්න කීමට තවමත් කල් වැඩිය. නමුත් රාජ්‍යයක ජනාධිපති නොමැති අවස්ථාවක වැඩබැලීම සඳහා කතානායකවරයා යෝජනා කර සිටීමෙන් ජනතා විමුක්ති පෙරමුණේ අරමුණ පැහැදිලි වේ. එවැනි තත්ත්වයක් තුළ එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය දිනා ගැනීමට හැකියාවක් ඇත්දැයි සැක සහිතය.

අනෙක් ප්‍රධාන කාරණය වන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන්ට අවශ්‍ය කළ පරිදි තැටිය රත් වී තිබූ අවස්ථාව නොදැනීමේ ආදීනව රට මුහුණ දෙමින් තිබේ. එම නිසා ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලටම මේ අවස්ථාවේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම අවාසිදායක වන බවට මත පළවෙමින් තිබේ. එම නිසා විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය එම පක්ෂයේ දේශපාලන අනාගතයට වඩාත් හොඳ බව එම පක්ෂ අභ්‍යන්තරයේ විශ්වාසයයි. එම නිසා එම පක්ෂය රටේ පවතින දේශපාලන තත්ත්වය සලකා බලා ජනාධිපතිවරණයකට මුහුණදීමට සූදානම් වේ. විශේෂයෙන් විධායක ජනාධිපතිධූරය ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙකු විසින්ම විධායක ජනාධිපති ධූරය අහෝසි කරනු ඇතැයි මාගේ විශ්වාසයයි. විධායක ජනාධිපති ධූරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සිටිනුයේ එය අහෝසි කළ යුතුය යන තත්ත්වයේ නමුත් එය අහෝසි කිරීමේ ව්‍යවස්ථා සං⁣ශෝධන ඉදිරිපත්වීමේදී රට තුළ වෙනත් විශාල ප්‍රශ්න හා අර්බුද ඇතිවන්නේ නම් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සහයෝගය ලබාදීමට උනන්දු නොවනු ඇත. 

ඒ අතරම කිවයුතු අනිත් විශේෂිත කාරණය වන්නේ රටේ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඇති විශාලතම බාධාව වන ජනමාධ්‍යයන්ගේ අවිද්‍යාත්මක හැසිරීමයි. විශේෂයෙන් විද්‍යුත් ජනමාධ්‍ය හා සම්ප්‍රදායික මුද්‍රිත මාධ්‍යය රටේ දේශපාලනය සම්බන්ධයෙන් හැසිරෙනුයේ ඉතා අවිද්‍යාත්මක හා මුග්ධ ආකාරයටය. එමගින් රටට හා රටේ ආර්ථික දේශපාලන සමාජයීය ප්‍රතිසංස්කරණ වලට සිදුවන හානිය මෙතෙකැයි කිව නොහැකිය. විශේෂයෙන් පසුගිය දිනවල රටේ විද්‍යුත් මාධ්‍ය වල දිගින් දිගටම තීරණාත්මක ලෙස ප්‍රචාරය කරමින් තිබෙන දේශපාලන කාරණා තුළින් රටටත් දේශපාලනඥයින්ටත් කිසිදු ප්‍රයෝජනයක් නොවන අතර එමගින් දේශපාලන ක්ෂේත්‍රය පිළිබඳව රටේ ජනතාව අතර ඇති විශ්වාසය බිඳ වැටෙනු ඇත. රටක දේශපාලන කණ්ඩායම් අතර විශ්වාසය ජනතාව තුළින් බිඳ වැටුනු විට සිදුවනුයේ කාටවත් කිසිවෙකුටත් පිහිට විය නොහැකි විශාල අර්බුදයකි. විශේෂයෙන්ම මෙවැනි තත්ත්වයක් තුළ රටක් අරාජිකවීම කිසිවකුටත් වැළැක්විය නොහැකිය.

අවසාන වශයෙන් කිව යුත්තේ අද රට මුහුණදී තිබෙන තත්ත්වයෙන් ගොඩ ඒමට නම් රටේ සියලුම දේශපාලන පක්ෂ ද මෙම සියළුම දේශපාලන නායකයින් ද සිවිල් සංවිධාන ද එම සංවිධානයේ ක්‍රියාකාරිත්වය ද ජනතාවද රාජ්‍ය නිලධාරීන්ද කැපවීමෙන් උනන්දුවෙන් හා බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවයි. විශේෂයෙන් මෙහිදී ආණ්ඩුව විසින් තමන්ට ලැබුණු ජනවරමට අනුව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වන අතර එම ජනවරමට පිටුපෑම අනාගතයේදී බරපතළ දේශපාලන ප්‍රතිඵලයන්ට මුහුණ දීමට හේතුවක් වනු ඇත. එය සම්බන්ධව අවබෝධයෙන් කටයුතු කිරීම සියලුම දේශපාලන පක්ෂවල වගකීමකි.

Sunday, May 20, 2018

දුෂ්ට මතවාද

ආණ්ඩුවේ කටයුතු පිළිබඳව ජනතාව තුළ එක්තරා ආකාරයක විචිකිච්ඡාවක් ඇති වී තිබේ. ඒ සඳහා බලපානු ලබන ප්‍රධානම හේතුවක් ලෙස මා හට පෙනී යන්නේ මෙම ආණ්ඩුවේ කටයුතු වල ඇති විනිවිදභාවය හා ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයයි. විශේෂයෙන් ආණ්ඩුවේ කටයුතුවල විශේෂ රහස් ස්වභාවයක් දැකිය නොහැකි අතර රට තුළ සිදුවන සියලුම කටයුතු මහජනතාවට හා ජනමාධ්‍ය වලට විවෘත වී තිබේ. එය එක අතකින් ප්‍රජාතන්ත්‍රවාදයේ දියුණු ලක්ෂණයක් වන අතරම තුන්වන ලෝකයේ රටක් වන අපගේ ජනතාවට එය එක්තරා ආකාරයක අලුත් අත්දැකීමක් වේ. විශේෂයෙන් පසුගිය වසර හැත්තෑවක කාලය තුළ මෙම වසර තුන තරම්ම ආණ්ඩුවේ කටයුතු වලට ජනතාවගේ මැදිහත් වීමක් හෝ විවේචනයන් ඉදිරිපත් වූ අවස්ථාවක් දැකිය නො හැකිය.

මෙම ආණ්ඩුව බලයට පත්වන්නේ එම ජනතාවට එවැනි තොරතුරු දැනගැනීමට ඇති අයිතිය ආදී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හා ලක්ෂණ, ආර්ථික ප්‍රතිසංස්කරණ  පොරොන්දු වෙමිනි. නමුත් මෙම කටයුතු සිදුකිරීමේදී ආණ්ඩුවේ මෙම ලක්ෂණය දුර්වලතාවක් ලෙස දැකීමට ද සමහරක් අය පුරුදු වී තිබේ. විශේෂයෙන් ආණ්ඩුවේ සියලුම කටයුතු සඳහා ජනතාවගේ මැදිහත් වීම ඉතා විශාල ලෙස ඉහල ගොස් ඇති අතර එය බදු ගැසීමේ සිට පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම දක්වාත්, සෞඛ්‍ය හා රෝගීන්ට වෙදකම් කිරීමේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය පරිපාලනය කිරීම දක්වාත් සියලුම ක්ෂේත්‍ර තුළ මුල සිට අගටත්, අගසිට මුලට ජනතාවගේ මැදිහත් වීමක් දැකිය හැකිය.

ආණ්ඩුවේ තොරතුරු දැනගැනීමේ පනත අද ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පරිපාලන ක්‍රමයේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩත් මෙම මහජන මැදිහත් වීමට විශාල උපකාරයක් වී තිබේ. එය එක් අතකින් දියුණු ලක්ෂණයක් ලෙස පෙනුනද අනිත් අතින් ආණ්ඩුවේ වැඩකටයුතු වලට විශාල බාධාවක් වී තිබෙන බව ද මා හට පෙනී යයි. මෙම තත්ත්වය අවස්ථාවාදී දේශපාලන ව්‍යාපාර වලට හා පසුගිය රෙජීමය විසින් පරාජය නොකරන ලද කණ්ඩායම් නැවතත් එම දුෂ්ඨ මතවාදය ද සමග නැගී සිටීමට මෙම තත්ත්වය ඉවහල් වී තිබෙන බව මගේ නිරීක්ෂණයයි. ඒ කෙසේ නමුදු 2015 ජනවාරි 8 වෙනිදා මෙම ආණ්ඩුව මේ රටේ ජනතාවට පොරොන්දු වූ පරිදි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඉටු කිරීමට ඇප කැප වී ඇති බව පෙනී යයි.

නමුත් ප්‍රශ්නය ඇත්තේ ආණ්ඩුව විසින් යෝජනා කරනු ලබන අලුත් ප්‍රතිසංස්කරණ යෝජනා පිළිබඳව සෑම විටම ජනතාව සැක සහිතව බැලීමට පෙළඹවීමයි. එයට ප්‍රධාන හේතුවක් වන්නේ සියලු තොරතුරු ජනගත වීමට ඇති අපහසුවයි. විශේෂයෙන් සමාජ ක්‍රියාකාරීත්වයත්, ආණ්ඩුවේ නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වයත් මෙම සත්‍යයට හේතුවී ඇති බව මාගේ තක්සේරුවයි. මෙය කෙතරම් විපරීත තත්ත්වයක් දැයි කිවහොත් ආණ්ඩුව මගින් සියලුම දෑ නොමිලේ ලබාදිය යුතු යැයි ජනතාව අපේක්ෂා කරනු ලබන අතර අධ්‍යාපනය සෞඛ්‍ය හා අනිකුත් සියලුම පහසුකම් ඉහළ මට්ටමෙන් ජනතාව අපේක්ෂා කරන අතර අනෙක් අතින් ආණ්ඩුවේ ආදායම ඉහළ නංවා ගැනීම සඳහා ආණ්ඩුව විසින් යෝජනා කරනු ලබන ක්‍රමවේදයන්ට මාරාන්තික විරෝධයක් රට තුළ ඇති කොට තිබේ. රටේ ජනතාව හා විපක්ෂ කණ්ඩායම කල්පනා කරන ආකාරය තේරුම් ගැනීමට හොඳම උදාහරණය, ආණ්ඩුව රජයේ ආදායම ඉහළ දමාගැනීම සඳහා සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණ සඳහා දක්වනු ලබන විරෝධය දක්වා සිටිය හැක.

සැබවින්ම පසුගිය රෙජීමය විසින් මෙම ආණ්ඩුවට රට භාරදෙන විට ආණ්ඩුවේ ආදායම මුළු ජාතික ආදායමෙන් 11% තත්ත්වයේ තිබිණි. නමුත් ලංකාව වැනි මධ්‍යම ප්‍රමාණයේ ආර්ථිකයක් ඇති රටක රජයේ ආදායම රටේ මුළු ජාතික ආදායමෙන් සියයට 22% තත්වයේ තිබිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් නිර්දේශ නිකුත් කොට තිබිණි. එම තත්ත්වයන්ට ආණ්ඩුවකට එකඟ විය නොහැකි නම් එම මූල්‍ය ආයතන විසින් කිසිදු විටක මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙනු නොලැබේ. මන්දයත් රජයේ ආදායම එතරම් අඩු තත්ත්වයක තිබියදී මුදල් නැවත ගෙවීමට ඇති හැකියාව ඉතාම අවම මට්ටමේ ඇති බැවින් කිසිදු මූල්‍ය ආයතනයක් ණය ලබාදෙනු නොලැබේ. එම නිසා මෙම ආණ්ඩුව බලයට පත් වූ විට තිබූ ප්‍රධානතම අභියෝගයක් වූයේ රජයේ ආදායම අවම වශයෙන් 18% මට්ටමටවත් පවත්වා ගත යුතු වීමයි. ආණ්ඩුව විසින් ඒ සඳහා බදු ක්‍රමය මාරු කිරීම සඳහා බදු පනතක් ඉදිරිපත් කළ අතර අපේ මුළු ආදායමෙන් සියයට අසූවකටත් වඩා ලබාගත් වක්‍ර බදු ක්‍රමය වෙනුවට ඍජු බදු ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මෙමගින් ආණ්ඩුව මූලික වශයෙන් අපේක්ෂා කරනු ලබන්නේ බදු ගෙවිය හැකි බදු ගෙවිය යුතු අයගෙන් බදු අයකොට දුප්පතුන්ගෙන් අයකරන බදු නවතා දැමීම හෝ අවම කිරීමයි. මන්දයත් වක්‍ර බදු මගින් හාල්, පොල්, සීනි, තේ කොළ හා කොත්තමල්ලි වැනි දෑට විශාල වශයෙන් බදු අය කොට එම බදු භාවිතා කරනු ලබන දුප්පතුන්ගෙන් එය අය කර ගැනීම ඉතාම අසාධාරණ ක්‍රමයකි. මෙම නිසා විශාල ආදායම් ලබන්නන්ගෙන් බදු අයකර ගනිමින් රජයේ ආදායම ඉහළ දමා ගැනීම ආණ්ඩුවේ අරමුණයි.

පසුගිය රෙජීමය විසින් සිදු කරන ලද්දේ විශාල වශයෙන් චීනයේ වාණිජ බැංකුවලින් ණය ලබාගෙන එම මුදල් රටේ ආර්ථිකයට එකතු කරගනිමින් රජයේ ආදායම ඉහළ දමාගැනීමට කිසිදු උත්සාහයක් නොගෙන රට පවත්වාගෙන යෑමයි. මෙම ආණ්ඩුව බලයට පත්වන විට එහි අවසානයකට පැමිණ තිබූ අතර තවදුරටත් ණය ලබාගත නොහැකි තත්ත්වයකට රට පත්වී තිබුණි.

මේ අනුව කිව හැක්කේ එක අතකින් රජයේ ආදායම වැඩිකර ගැනීමට රජය දරන උත්සාහයට මාරාන්තික විරෝධයක් හා බාධාවන් සිදුකරන අතර අනිත් අතින් රජයේ සුභසාධන කටයුතු ඉහළ දමන ලෙස රජයට බලපෑම් කිරීමයි. මෙම දෙක අතර ඇති අන්තර් සම්බන්ධය තේරුම් ගැනීමට හෝ එහි ඇති යතාර්ථවාදී බව අවබෝධ කර ගැනීමට කිසිවෙකුටත් අවශ්‍යතාවයක් නැති බව පෙනීයයි.

Tuesday, May 15, 2018

ආණ්ඩුව ප්‍රචාරය හා මිත්‍යාව


යහපාලන රජය බලයට පත් වීමට ප්‍රථමයෙන් ලංකාවේ දේශපාලන සන්නිවේදනයේ කෙරුමෝ සියල්ල සිටියේ එවකට පැවති ආණ්ඩුව සමගිනි. ජනමාධ්‍ය ආයතන රාජපක්ෂවරුන්ට වහවැටී සිටියේය. මන්ද රජයේ මුදල්, ප්‍රචාරයට වියදම් කිරීමේදී කිසිදු වගවීමක් නොතිබුන රාජපක්ෂවරුන්ට අවශ්‍ය ඕනෑම ආකාරයකට ප්‍රචාරය දීමට ඔවුන් සැදී පැහැදී සිටියේය. රටේ සියලුම විද්‍යුත් ජනමාධ්‍ය ආයතන, පුවත් පත්, වෙබ් හා ලියන කියන මහත්වරු සියල්ල මහින්දගේ පැණි මුලට වහවැටී සිටියේය. විපක්ෂයට සතුව තිබුනේ මංගලගේ සම්බන්ධයන් තිබු වෙබ් පිටු කීපයත්, යුද හමුදාවේ බුද්ධි අංශය මගින් විපක්ෂයේ සටන් වලට යොදවා තිබු නිලධාරීන් විසින් පවත්වාගෙන ගිය වෙබ් පිටු 2ත් පමණි. (ඔවුන් කවුදැයි අපි හදුනාගෙන සිටි අතර දැලි පිහියෙන් කිරි කෑමට ඉගැන්වූයේ අප අතරින් සදහටම වෙන් වූ අසංග කරුණාරත්නය. ඒ ගැන පොතක් වුව ලිවිය හැකිය)
අවසාන මොහොතේදී හිරු එකතු වූ අතර සිරස වැනෙමින් නමුත් විපක්ෂයට යම් සහයක් ලබා දෙනු ලැබුවේය. මෙම තත්ත්වය නිසාම නිර්මාණශීලි තරුණ තරුණියන්ට සැලකිය යුතු ඉඩක් විවර වූ අතර නව යොවුන් වියේ සිටි කණ්ඩායම් ආණ්ඩු විරෝදී වෙබ් පිටු හා සමාජ ජාලා වැඩසටහන් වෙනුවෙන් පෙළ ගැසුණි. විශේෂයෙන් එවකට විපක්ෂයේ මාධ්‍ය මෙහෙයුම් බාරව සිටි බොහෝ දෙනෙකුට සමාජ මාධ්‍ය පිළිබද අද තරම් අවබෝධයක් නොතිබුන බැවින් තරුණ කණ්ඩායම් වලට නිදහසේ වැඩ කටයුතු කිරීමට අවස්ථාවක් ලැබුණි. මාගේ පුද්ගලික තක්සේරුවනම් මුළු රටේම ලක්ෂ පහක පමණ තරුණ පිරිසක් අවිදිමත් ආකාරයෙන් එම මැතිවරණයේදී පොදු අපේක්ෂකයා දිනවීමට කටයුතු කල අතර එය ලංකාවේ දේශපාලන ව්‍යාපාරයක වැඩිම ජන ක්‍රියාකාරිත්වයක් ලැබුණු අවස්ථාවයි. එම මැතිවරණ ව්‍යාපාරයේදී සමාජ මාධ්‍ය වෙනුවෙන් මුදල් වෙන් නොවුණු අතර ප්‍රජා සහභාගීත්ව ප්‍රවේශයකින් සිදු විය. කලකට ඉහත සමාජ ක්‍රියාකාරීන් වහවැටී සිටි PR ක්‍රමය හොදින් භාවිතයට ගත අවස්ථාවක් විය. සමාජ මාධ්‍ය යනු තොරතුරු තාක්ෂණයට අදාළ විෂයක් නොව මනෝ සමාජයීය විෂයක් බව මා ලියු විට දේශපාලන සන්නිවේදක කෙරුමෙකු මේ ලියුම්කරුට සත පහ දැමු හැටි තවම මතකයේ තිබේ. (අවුරුදු තුනයිනේ )

ජනවාරි නමවැනිදායින් පසු යුගය ඊට පෙර දිනයට වඩා වෙනස් දිනයකි. සියලුම දෙනා වෙහෙස මහන්සි වී වැඩ කරද්දී එදා විපක්ෂ බලවේගය තුල තවත් අපුරු කණ්ඩායමක් විය. ඒ දේශපාලන සන්නිවේදන කෙරුමෝය. ඔවුන් බොහෝ කාලයක් විපක්ෂයේ ගතකොට පරාජිත මැතිවරණ රාශියක කටයුතු කොට විපක්ෂ බලවේග අතර නම් දරු කණ්ඩායමයි. ඔවුන් තුල අපුරු අාකල්පයක්ද විය. එනම් උඹලා ආණ්ඩුව ගනිල්ලකෝ අපිනේ රට කොරන්නේ යන ආකල්පයයි. සමහර අවස්ථාවල ඔවුන් එය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කල අතර සබෑ ලෙසම එය එලෙසම සිදු විය.

ඉන්පසු පසුගිය වසර තුන තුල සැබෑ ලෙසම මෙම ආණ්ඩුව බලයට පත්කල බලවේග ආණ්ඩුවේ හෝ පක්ෂයේ ප්‍රචාරක යාන්ත්‍රණයට සම්බන්ධකරගැනීමට කිසිදු උත්සහයක් නොගත් අතර එම බලවේග පිළිබද එක්කෝ අවොබෝධයක් නොතිබිණි. නැතිනම් ඔවුන්ට සත පහ දැමිණි. එහි ප්‍රතිඵලය වුයේ සුපුරුදු හැම ආණ්ඩුවක් සමගම ගනුදෙනු කරන කණ්ඩායම් සමග කටයුතු කිරීමයි. එමගින් සිදු වී ඇති හානියෙහි දිග පළල මේ වන විට සියල්ලන්ටම අවබෝධ වී තිබේ. එසේ මෙම ප්‍රචාරක යාන්ත්‍රණයට පාක්ෂිකයින් සම්බන්ධ කරගැනීමට හැකියාව තිබූ බලවත් පුගලයින් අදාළ තනතුරු සියල්ල පත්කරනු ලැබුවේ අරුම පුදුම දේශපාලනයකටය. එහි ගද අද ආණ්ඩුව පුරාමය.

දැන් ආණ්ඩුව පැමිණ තිබෙනුයේ තීරණාත්මක තලයකටය. ඉදිරි මාස දහඅටක කාලය තීරණාත්මකය. මොලය සේවයට කැදවිය යුතු මොහොත මෙයයි. මොලය පාවිචියෙන් මිස වෙන කිසිදු ශරීර අවයවයකින් මෙම මොහොත ජයගත නොහැක්කේය. මේ මොහොතේ භාවිතයට ගත හැකි සෑම සම්පතක්ම, පුද්ගලයෙක්ම හා අදහසක්ම වටින්නේය. කුඩුකේඩුකම් වලට ඉඩක් හෝ කාලයක් නැත්තේය. නිවැරදිව මේ මොහොත කළමනාකරණය කල නොගතහොත් ආණ්ඩුව පමණක් නොව රටද ජීවිතද අහිමි වනු ඇත.

නැවත සමාජ මාධ්‍ය වලට දේශපාලන අධිකාරී බලයක් ලැබෙනුයේ ජාතික මැතිවරණයක් තුලදීය. එය කෘතිමව පාලනය කල හැකි සීමාවක් තිබේ. නමුත් සාම්ප්‍රදායික මාධ්‍ය ආණ්ඩුවේ ප්‍රචාරයට නිවැරදිව යොදා ගැනීමත්, එම තත්ත්වය පදනම් කර ගනිමින් සමාජ මාධ්‍ය මෙහෙයවීමත් කල යුතුය. ආණ්ඩුවට අද දේශපාලන තර්ජනයක් තිබෙනවානම් ඒ ප්‍රධාන වශයෙන් ලංකාවේ ⁣පුද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතන තුනකින්. ඒවා කලමනාකරණය කරන අතරම රජය මාධ්‍ය දේශපාලනිකව කලමනාකරණය කල යුතුය.

ඉදිරියේදී පැමිණෙන පළමු මැතිවරණය පැහැදිලිය. ඒ ජනාධිපතිවරණයයි. ඒ සදහා ඉදිරිපත්වීමට සුදුසුම පුද්ගලයා වනුයේ රනිල් වික්‍රමසිංහය. ඔහු ඉදිරිපත් නොවන්නේනම් පමණක් තවත් එක්සත් ජාතික පක්ෂ නායකයෙකුට ඉඩ ඇත්තේය.

අවසාන වශයෙන් කිවයුත්තේ වර්ථමාන ආණ්ඩුව තුල සියලුම වර්ගයේ මිනිසුන් සිටි. මෙවැනි සංකීර්ණ ආණ්ඩුවක් නිදහසින් පසු බිහිවී නැත්තේය. එසේම ආණ්ඩුව විසින් රටට ලබාදී ඇති ජයග්‍රහණ බොහෝය. ඒවා ඉටුකරගන්නා මාර්ගය ඇත්තේ කටු උගුල් වලින් පිරි මාර්ගයකය. මෙම මාර්ගයේ සීරුවෙන් ඉදිරි කාලය ගමන් කිරීමෙන් පමණක් 2020 ජයගත හැකිය.