Monday, January 30, 2017

සුළග, නැගිටිමු, පෙරළමු, නිදියමු




පසුගිය සතිය අවසන් වූයේ ලංකාවේ දේශපාලන කරළියේ තවත් මහින්ද සමග නැගිටිමු හෙවත්, පෙරළියක ඇරඹුම රැළිය නුගේගොඩ පවත්වමිණි. එම රැළියට පැමිණිය හැකි උපරිම ජනතාව අටදහසකට අඩුවිය යුතුය. මන්ද, නුගේගොඩ එළිමහන් රංග පීඨය පිහිටා ඇති රථ ගාලේ උපරිම වශයෙන් මිනිසුන් එක්දහස් පන්සියයකට, දෙදහසකට වඩා හිටගෙන සිටිය නොහැකි බැවිනි. මීට අමතරව නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවත, වේදිකාව ඉදිරිපස කොටසේත්, පරණ කොට්ටාව පාරේත්, එම හංදියේත් ජනතාව උපරිම වශයෙන් පිරී සිටිය හැකි යැයි අප උපකල්පනය කළහොත් සහභාගී වූ මුළු ජන සංඛ්‍යාව පන්දහසත්, අටදහසත් අතර විය යුතුය. එම ජන සංඛ්‍යාව විකල්ප දේශපාලන ව්‍යාපාරයකට ඉතාම සතුටු විය හැකි ජන සංඛ්‍යාවකි. නමුත් අප අවධානය යොමු කළ යුත්තේ එම ජනතාව පැමිණියේ කොහෙන්ද ? ඔවුන් කවුරුන්ද ? හා ඔවුන්ගේ අභිලාෂය කුමක්ද ? යන්නයි.

මෙම පැමිණි ජනතාව අනුරාධපුරයේ චන්ද්‍රසේන මන්ත්‍රීවරයාගේ සිට මාතර මහින්ද යාපා දක්වා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්, ක්‍රියාකාරීන් හා සංවිධායකයින්ගේ මැදිහත් වීමෙන් බස්රථවල පටවා රැගෙන ආ ජනතාවයි. එම රැගෙන ඒමේ මුඛ්‍ය අරමුණ ජනතාව අතර එම කණ්ඩායමේ ජන බලය පෙන්වීමයි. එම අර්ථයෙන් ගත් විට මෙම රැළිය සාර්ථක රැළියකි. එදින කොළඹ ඉඩපාඩු ඇති තැන්වල නවතා තිබු මහින්දගේ ඡායාරූපය සහිත බස්රථ දකින්නෙකුට මෙහි දේශපාලන අභිමතය හා එහි සාර්ථක, අසාර්ථක බව දැනෙනු ඇත. මහින්ද හා එම කණ්ඩායම අතීත කාමයේ වෙලී සිටින අතර ඔවුන්ට ආණ්ඩු බලය නොමැතිව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම පිළිබද අවබෝධයක් ලබා ගත යුතුය. එම රැළියෙන් කොහොමටවත් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිලට ළබැදි ජනතාව තුළ ආශ්වාදයක් ඇති වීම සැබෑවකි. නමුත් ආශ්වාදයෙන් පමණක් ආණ්ඩු පෙරළා දැමිය නොහැක. එය ඉතාම සූක්ෂම බරපතල දේශපාලන ක්‍රියාවකි. මහින්දගේ දේශපාලන සිතියම තුළ වැඩකටයුතු සිදුවන ආකාරයෙන් පෙනී යන ප්‍රධානතම කාරණය නම් නැවත රාජ්‍ය බලය ලබා ගැනීමේ කිසිදු අභිලාෂයක් ඔවුන් තුළ නැති බවයි. ඔවුන්ගේ මුළු දේශපාලන ව්‍යාපාරයම පදනම් වී ඇත්තේ මෙම අමාරු කාලයේ පැවැත්ම හා ආරක්ෂාව වෙනුවෙනි. එයට අඩු වැඩි වශයෙන් ආණ්ඩුවේ සම්බන්ධයක් ඇතැයි විටෙක මටද සිතේ.

මහින්ද රාජපක්ෂ පමුඛ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම දිවිහිමියෙන් සටන් කරනුයේ තම දේශපාලන බලය ප්‍රදර්ශනය කිරීම සදහායි. ඔවුන් විසින් ක්‍රියාත්මක කරනු ලබන සියලුම දේශපාලන වැඩසටහන්වල පදනම හා හරය වන්නේ, ඔවුන් සතුව ඇති ජන බලය ප්‍රදර්ශනය කිරීමයි. මහින්ද සමග නැගිටිමු දේශපාලන රැළි මාලාව කොළඹ නගරය තුල පැවැත්වීමත්, ඒ සදහා අධික ලෙස වියදම් කිරීමත්, බලය ප්‍රදර්ශනය කිරීමත් තුළ පිළිබිඹු වන්නේ ඔවුන් විසින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට උත්සාහ කිරීමකි. ඔවුන්ට ඇති අපරාධ හා දූෂණ චෝදනා වලින් ගැලවීමට මගක් පාදා ගැනීමකි.

සැබෑ ලෙසටම ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මතය ආණ්ඩුවට අභියෝග කර රාජ්‍ය බලය ලබා ගැනීම සදහා දේශපාලන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට නම්, ඔවුන් විසින් කළ යුත්තේ බිම් මට්ටමේ සිට නැවත සංවිධාන ගත වීමයි. කොළඹ කේන්ද්‍රීය සිවිල් සංවිධාන හා දේශපාලන කණ්ඩායම් අතර දේශපාලන බලය ලබා ගැනීම සම්බන්ධයෙන් ගැඹුරු සාකච්ඡාවක් ආරම්භ කිරීමයි. එසේම විදේශීය තානාපති කාර්යාල හා ධූත මණ්ඩල එම සාකච්ඡාව ජාත්‍යන්තරය දක්වා ගෙන යාමයි. නමුත් මහින්ද රාජපක්ෂ මේ මොහොතේ ක්‍රියාත්මක වී සිටින දේශපාලන වැඩසටහන් තුළ ඇත්ත වශයෙන්ම ඇත්තේ, කොළඹ සිට ව්‍යාපාර කරනු ලබන ප්‍රචාරක හා වැඩසටහන් කළමණාකරන (Event Management) ආයතනවල කොල්ලෝ කුරුට්ටෝය. ප්‍රධාන පෞද්ගලික මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අංශයේ වැඩකරන ආධුනික මාධ්‍යවේදීන්ය. මහින්ද සුළග, මහින්ද සමග නැගිටිමු, පෙරළියක ඇරඹුම වැනි වැකි සියල්ල මෙම කොල්ලෝ කුරුට්ටන්ගේ මාකටින් ප්‍රචාරක උපක්‍රම මිස කිසිදු දේශපාලන ගැඹුරක් ඇති ව්‍යාපාරයන් නොවේ.

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ඉහළම කණ්ඩායම් වලට පවතින ආණ්ඩුව පරාජය කොට බලය ලබා ගත හැකි යැයි කිසිදු බලාපොරොත්තුවක් හෝ හැකියාවක් නැත. නමුත් ඔවුන් සාර්ථක වූ එක් පැත්තක් තිබේ. එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කොට එම පක්ෂයේ මහජන මතය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට හා ඔහුගේ කණ්ඩායමට එරෙහිව මෙහෙය වීමට ගත් සාර්ථක උත්සහයයි. තාක්ෂණික වශයෙන් ගත්විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතල ලෙස කණ්ඩායම් දෙකකට බෙදීමෙන්, එම බෙදීම ජනාධිපතිවරයාගේ කණ්ඩායම තුළ උහතෝකෝටිකයක් ලෙසත්, මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම තුළ වීරත්වයක් හා සටන්කාමීත්වයක් ලෙසත්, එක්සත් ජාතික පක්ෂය තුළ ආශ්වාදයකුත් ජනිත කොට තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපිරිසේ බල අරගලය තුළ එක්සත් ජාතික පක්ෂය තව තවත් ශක්තිමත් වෙමින් ගම් හා නගර මට්ටමින් ශාඛා සංවිධාන පිහිටුවමින් ප්‍රධාන පක්ෂයේ හා අනුබද්ධ සංවිධානවල නායකයින් හා ක්‍රියාකාරීන් පුහුණු කරමින්, ප්‍රමාණවත් අයුරින් නොවූවද හැකිතාක් දුරට පක්ෂයට හා පාක්ෂිකයින්ට උදව් උපකාර කරමින්, රටේ රාජ්‍ය පාලන ක්‍රියාවලියේ නිමැවුම්කරුවා හා තීරණය කරන්නා වෙමින්, සෙමින් නමුත් ශක්තිමත්ව අධිෂ්ඨානශීලීව 2020 දක්වා ජයග්‍රාහීව ගමන් අරඹා ඇත.

පසුගිය දශක දෙක තුළ කවරදාටත් වඩා 2017 දී එක්සත් ජාතික පක්ෂය හා එම පාක්ෂිකයින් තුළ නව බලාපොරොත්තු ඇති වී තිබේ. ආණ්ඩුවේ රැකියා දස ලක්ෂයේ වැඩසටහන්, මහ නගර ව්‍යාපෘති, පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම්, හම්බන්තොට වරාය වැනි සුදු අලි ජාතික ආර්ථිකයට එක් කර ගැනීම, ජාත්‍යන්තරය සමග වාසි දායක වෙළද ගිවිසුම් වලට එළැඹීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම, නිවාස ලක්ෂ පහක් ඉදි කිරීම, අධිවේගී මාර්ග ගොඩනැගීම හා නැවත ආරම්භ කිරීම, රාජ්‍ය සේවයේ හා පරිපාලනයේ ප්‍රතිසංස්කරණ ඇති කිරීම, ආදායම් බදු හා රේගුවේ ප්‍රතිසංවිධානය, අධිකරණයේ හා අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ක්‍රියාකාරීත්වය නැවත ආරම්භ කිරීම වැනි වැඩසටහන් තුළින් මෙම වසර අවසන් වන විට මෙම ආණ්ඩුව ශ්‍රී ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවුණු ශක්තිමත්ම, බලවත්ම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව බවට පත්වනු ඇත.

නමුත් 2017 වසර අපේක්ෂා කළ යුතු පරිදිම අමාරු සංකීර්ණ වසරකි. එම වසර පසුකරමින් ජයග්‍රාහී ලෙස 2018 වසරට ගමන් කිරීමට ආණ්ඩුවට විභවාත්මක හැකියාවක් පවතී.

Thursday, January 26, 2017

ඩෙංගු යනු මොකද්ද ?



ඩෙංගු රෝගය ලංකාවේ මර්දනයට විශාල ශක්තියක් දමා 5% ත් 10 % ත් අතර ප්‍රමාණයක් සාර්ථක වු ව්‍යාපෘතියකි. ඩෙංගු රෝගීන් කළමණාකරනය කොට සුවපත් කිරීම ලංකාවේ රෝහල්වල 80% ක් පමණ සාර්ථක වී ඇත. එනම් නිවාරණ වැඩසටහන ආසාර්ථකයි, ප්‍රතිකාර වැඩසටහන සාර්ථකයි.

එසේනම් ඩෙංගු ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සදහා ඒ පිළිබදව දැනුවත්ව සිටීම ඉතා වැදගත්ය.

අනෙකුත් රෝග මෙන්ම ඩෙංගු රෝගයේද පුරවැසි ආකල්පය වනුයේ, එය කාට වැළදුනත් තමන්ට නොවැළදෙන බවයි. නමුත් එය ඉතාම වැරදි මාරාන්තික ආකල්පයකි. ඩෙංගු ඕනෑම පන්තියක, ලංකාවේ ඕනෑම සමාජ මට්ටමක, ඕනෑම ප්‍රදේශයක, ඕනෑම කෙනෙකුට වැළදිය හැකිය. මට නොහැදේ යන ආකල්පය ඇති මිනිසුන්ට ඉතා ඉක්මනින් ඩෙංගු රෝගය වැළදේ. මන්ද පරිස්සම නොමැති බැවිනි. එබැවින් ඩෙංගු මදුරුවාට හා එම රෝගයට නයෙකුට මෙන් බියවිය යුතුය.

ඩෙංගු රෝගය බෝවනුයේ මදුරුවන්ගෙන් නොව මිනිසුන්ගෙනි. ඩෙංගු මදුරුවා යනු වෛරසය රැගෙන යන්නාය. එසේනම් ඔබ අසල්වැසියන්, ඥාතීන්, යාළු මිත්‍රාදීන් ඩෙංගු රෝගය වැළදී ඇත්නම් එම රෝගීයා මදුරුවන්ගෙන් ආරක්ෂා කළයුතුවන්නා සේම අපද මදුරුවන්ගෙන් ආරක්ෂා වී සිටිය යුතුය. ඩෙංගු වෛරසයේ ජීවන චක්‍රය බිද දැමීම එම වෛරසයෙන් මිදීමට ඇති එකම මගයි.

එහි ප්‍රධානතම කාර්යයන් වන්නේ,

01. හැකිතාක් ඩෙංගු රෝගීන් අඩුකර ගැනීමයි.

02. ඩෙංගු වාහක මදුරුවා බෝවීමට ඇති පිරිසිදු ජලය රැදෙන තැන් සියල්ල අවධාරණයෙන් " සියල්ල " ඉවත් කළ යුතුය.

03. මදුරු දැල් හා මදුරුවන් පැමිණීම වළක්වන සියලුම උපක්‍රම භාවිතා කළ යුතුය. ( Air Condition තිබීම මදුරුවන් පැමිණීම වැළැක්වීමට හේතුවක් නොවේ. )

04. උණ, හෙම්බිරිස්සාව, ඔලුව කැක්කුම, ඇගේ අමාරුව වැනි රෝග ලක්ෂණ ඉතාම කුඩාවට හෝ පහළ වුවහොත් වගකීමක් සහිත වෛද්‍යවරයෙකු හමු වී වෛද්‍ය උපදෙස් මත අදාළ වෛද්‍ය පරීක්ෂණ සිදුකර ගත යුතුය.

05. ඔබ බස්නාහිර පළාතේනම් රෝහල් ගත වීමට තෝරාගත යුතු රෝහල් පිළිවෙලින් මෙසේය.

01. මීගමුව රෝහලේ ඩෙංගු මර්දන ඒකකය
02. රිජ්වේ ළමා රෝහල
03. අයි. ඩී. එච්. උණ රෝහල හා අනෙකුත් රජයේ රෝහල්
පෞද්ගලික රෝහල් ඩෙංගු ප්‍රතිකාර කළමණාකරනයේදී අඩුම කාර්යක්ෂමතාවක් පෙන්වා ඇත. (තත්ත්වය හා පහසුකම් ජීවිතය තරම් වටින්නේ නැත. )

06. ඔබේ දරුවා හෝ ඔබ ඉගෙන ගන්නා පාසැල, වැඩ කරන සේවා ස්ථානය, ඔබ දිනපතා   ජීවත්වන ප්‍රදේශ ඩෙංගු බෝවීමට උපකාරී වන ආකාරයෙන් නොපවත්වා ගැනීමට උපරිම ලෙස කටයුතු කරන්න. හැමදෙනාටම ඩෙංගු සෑදීමට ඇති අවධානම පිළිබද කතා කරන්න. සමාජය අවධියෙන් තබන්න.

ඩෙංගු මදුරුවා මෙතෙක් ලෝකයේ බිහිවූ භයානකම සත්ත්වයෙකි.

Monday, January 23, 2017

විමල් තාර්කික අවසානයකට ළගා වීම



විමල් වීරවංශ ශ්‍රී ලාංකීය දේශපාලනයේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරන චරිතයකි. ඔහු ප්‍රභාකරන් තරම් වැදගත්, මහින්ද තරම් අත්‍යවශ්‍ය, රනිල් වික්‍රමසිංහ තරම් පැවතිය යුතු, විජේවීර තරම් නායකත්වය දිය යුතු චරිතයකි. 1994 එක්සත් ජාතික පක්ෂය විපක්ෂයට ගිය මුල් දිනවල විමල් වීරවංශගේ ක්‍රමික නැගීම හොදින් හදාරන්නෙකුට දේශපාලන ව්‍යාපෘතියක් තුළ තනි මිනිසෙකුට කළ හැකි බලපෑම කෙතරම්දැයි අවබෝධ කොටගත හැක. එසේම තනි මිනිසෙකුට සතුරාගේ ශක්තියම භාවිතා කරමින් කෙතරම් ඉහළ නැගිය හැකිදැයි ඔහු ඔප්පු කොට තිබේ. 1997 පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය තුළ විමල් වීරවංශගේ භූමිකාව ලංකාවේ දේශපාලනයේත්, විමල් වීරවංශගේ පෞද්ගලික ජීවිතයේත් හැරවුම් ලක්ෂය සනිටුහන් කළේය. මගේ මතකය නිවැරදි නම් එම මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණත්, වික්‍රමබාහු කරුණාරත්නත් එකම වේදිකාවක සිට එවකට විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය. ඔහු එම මැතිවරණ වේදිකාවේදීම කියූ පරිදි ඔහුගේ කතාවේ එක් නිමේෂයක ඔහු විසින් එක්සත් ජාතික පක්ෂයට ප්‍රහාරයක් එල්ල කිරීම ආරම්භ කරයි. එසේම ඔහුගේ කතාවේ එතැන් සිට කොටස ජාතික රූපවාහිනියේත්, ස්වාධීන රූපවාහිනියේත් ප්‍රවෘත්ති විකාශය නරඹන ලෙස පැමිණ සිටි ජනයාගේ ඔල්වරසන් මැද ප්‍රකාශ කරයි. ඔහු විසින් එක්සත් ජාතික පක්ෂයට එල්ල කරන ලද එම දරුණු ප්‍රහාරය අදටත් එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ සිත් තුළ රැදී තිබේ.

ඔහු කියූ පරිදිම චන්ද්‍රිකා ආණ්ඩුවේ රාජ්‍ය මාධ්‍යය, ඔහුගේ කතාවේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ කොටසට විශාල ප්‍රචාරයක් ලබාදුන් අතර එම මැතිවරණය ජනතා විමුක්ති පෙරමුණේ නැවත නැගී සිටිමේ ආරම්භය විය. සතුරාගේ ශක්තිය භාවිතා කරමින් නැගී සිටි ජ.වි.පෙ. විටෙක චන්ද්‍රිකා ආණ්ඩුව පාලනය කරනු ලබන සුක්කානම බවටද පත්විය. එහි නිර්මාතෘ හා ප්‍රධාන පෙරගමන්කරුවා වූයේ විමල් වීරවංශයි. එකල ජනතා විමුක්ති පෙරමුණ විමල් වීරවංශ වන තරමට ඔහු දක්ෂ දේශපාලනඥයෙකු විය. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ සුදු රෙදි වලින් නිරුවත වසාගෙන සිටීමට ඔහු අමතක කළේ නැත.

විමල් වීරවංශගේ බැසයාම ආරම්භ වන්නේ, ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වූ නිසා නොව, 2001, 2004 රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යධූර දැරූ කාලයේ ඔහු විසින් තෝරාගන්නා ලද ජාතිකවාදී දේශපාලන ව්‍යාපෘතිය නිසාය. පීඩිත සමාජ ක්‍රමය තුළ පීඩිතයාට පීඩකයා බවට පත්වීමට ඇති එක් සමාජ උපක්‍රමයක් වන්නේ, තම ගෝත්‍රයෙන් පිට අනෙකුත් ගෝත්‍රයක් හා සටනට එළඹීමයි. විධිමත් අධ්‍යාපනයක් නොමැති වුවද, විමල් වීරවංශට මෙම ඓතිහාසික ගෝත්‍රික ගැටුම පිළිබදව අවබෝධයක් තිබූ බව මාගේ අනුමානයයි. එසේම වීරයින් බිහිවන්නේ යුද්ධයෙන් බව ඔහු තදින් විශ්වාස කළේය. ඔහු විසින් එවකට පුරවන ලද්දේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකේ සීලාචාර නායකයින්ට අශීලාචාර ප්‍රභාකරන් හා සටන් වැදීමට ඇති නොහැකියාවට තිබු ඉඩකඩයි.

ඔහු ප්‍රථමයෙන් ජනතා විමුක්ති පෙරමුණ ජාතික ව්‍යාපාරයට ඈදාගෙන එය බොහෝ දුර රැගෙන ගියේය. ලංකාවේ මේ මොහොතේ පවතින එකම විධිමත් වාමවාදී ප්‍රබල පක්ෂයට ද්‍රවිඩ, මුස්ලිම් නායකයින් හෝ සාමාජිකයින් ආකර්ෂණය කර ගැනීමට නොහැකි වීමට හේතුව විමල් වීරවංශගේ එම දේශපාලන ස්ථාවරයයි. මේ මොහොතෙත් ජනතා විමුක්ති පෙරමුණ දෙස ද්‍රවිඩ, මුස්ලිම් හා කතෝලික ජනතාවත් ශ්‍රී ලංකාවේ මැද පාන්තික උගත්, බුද්ධිමත් ජනතාවත් නෙත් යොමනුවේ සැක සංකා හිතේ තබාගෙනය. ඒ විමල් වීරවංශ එම පක්ෂයට දුන් දායාදයයි. නමුත් විමල් වීරවංශ නොමැති ජනතා විමුක්ති පෙරමුණට උපරිම පාර්ලිමේන්තු ආසන හයකට වඩා ලබා ගැනීමට අදටත් නොහැකි වී ඇත. මා මිත්‍රයෙකු කියූ පරිදි ජවිපෙ පූර්ණ කාලීන මිත්‍රයෙකු වූ විමල් වීරවංශ යනු දේශපාලඥයෙකු නොව හූනියම් යකැදුරෙකි. සියල්ලෝම එකල ඔහුට බිය වී සිටියේය.

නමුත් 2005 න් පසු ආණ්ඩුවට එකතු වූ විමල් වීරවංශ විසින් ආණ්ඩුවට ලබා දෙනු ලබන ජාතික බලවේගයේ හයිය අතැතිව ප්‍රභාකරන් පරාජය කිරීම සදහා ආණ්ඩුවට න්‍යායාත්මක පදනමක් ලබාදෙන ලදි. විමල්ගේ පක්ෂයේ අය හා ඔහුගේ ඥාතීන් කියනා පරිදි විමල් වීරවංශ යනු යුද්ධය ජයග්‍රහණය කල වීරයාය. ඔහු වාහන අවභාවිතා කරන ලද්දේත් අති විශාල ලෙස මුදල් වංචා කරන ලද්දේත් යුද්ධය ජයග්‍රහණය කිරීම සදහාය. බැලූ බැල්මට මෙය විකාරයක් ලෙස පෙනුනද, එහි විශාල දේශපාලනයක් තිබේ. ඒ විමල් වීරවංශගේ දේශපාලනය මහින්ද රාජපක්ෂගේ නූගත් ආණ්ඩුවට මුල සිටම න්‍යායාත්මක පදනමක් ලබා දී තිබුණි. එයට කෘතගුණ දැක්වීමක් ලෙස මහින්ද රාජපක්ෂ විසින් විමල් වීරවංශට, ඔහුට හිග පාඩු තිබූ අවශ්‍ය තරම් ධනය රැස්කර ගැනීමට හා රාජ්‍ය දේපළ භුක්ති විදීමට අවස්ථාව ලබා දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස දක්ෂ දේශපාලඥයෙකු අද හිරේ විලංගුවේ වැටී ඇති අතර ඔහු විසින් නායකත්වය දෙන ලද ජාතික ව්‍යාපාරය උභතෝකෝටිකයකට මැදි වී ඇත. විමල් වීරවංශගේ ග්‍රාම්‍ය ඥාතීන් ඔහුට සිදු කරන ලද අපකීර්තිය වසා දැමීමට ලංකාවේ පෞද්ගලික මාධ්‍යයත්, මහින්දවාදී කණ්ඩායමුත් දරනු ලබන වෑයම විමල් වීරවංශගේ දේශපාලන ජීවිතය තවදුරටත් අවුලින් අවුලට පත්කරන ලදී. මන්ද ලංකාවේ ජාතික ව්‍යාපාරයේ කොදු නාරටිය මෙරට පහළ සහ ඉහළ මධ්‍යම පාන්තික කාන්තාවන් වන නිසාය.

රතන ස්වාමීන්වහන්සේ, උන්වහන්සේ වදාරන පරිදි උත්සහ කරමින් සිටිනුයේ විමල් වීරවංශගෙන් හිස්වු ජාතික ව්‍යාපාරයේ තාර්කික නායකත්වය උන්වහන්සේ වෙත පවරා ගැනීමටයි. දැනටමත් ඝෝටාභය හා චම්පික රණවක අතර මාරාන්තික සටනක් ඇති වී ඇති එම නායකත්වයට රතන ස්වාමීන්වහන්සේගේ පැමිණීම මෙරට ජාතිකවාදී කණ්ඩායම් වලට නව බලාපොරොත්තු ඇති කර තිබේ.

2020 ජනාධිපතිවරණයේදී අපට මෙම පෙළගැස්ම හොදින් තේරුම් ගත හැකිය. සිංහල ජාතිකවාදී අපේක්ෂකයින් තුන් හතර දෙනෙකු සමග එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට සටන් වදින්නට සිදුවනු ඇත. එබැවින් විමල් වීරවංශ මෙරට දේශපාලනයේ තවදුරටත් වලංගු නොවීම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ බලවේග වලට සාමය හා සතුට ගෙනදෙන්නක් නොවේ. කෙසේවුවත් බෙදුණු සතුරන් හා සටන් වැදීම එතරම් අපහසු කාරණයක්ද නොවන අතර අද දවසේ දේශපාලන පෙළගැස්ම 2020 දී අවසානයක් කරා ළගාවනු ඇත.

Monday, January 16, 2017

හම්බන්තොටින් ගොඩයෑම



පසුගිය සති දෙක ශ්‍රී ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළේය. රාජපක්ෂවරු ප්‍රමුඛ එම බලවේගය චීන සබදතාවයන්ට ඔවුන් විසින්ම අවසන් ඇණය ගසා දැම්වේය.

සීලාචාර බටහිර ලෝකයේ දේශපාලන සම්බන්ධතා බිදදමමින්, දශක ගණනාවක් පවත්වාගෙන ආ පැරණි ධනවත් වැදගත් මිතුරන් වූ දියුණු ලෝකයේ රටවල් සියල්ල අතහරිමින්, රාජපක්ෂවරු විසින් චීනය සමග දැඩි බැදීමක් ඇති කරගන්නා ලදී. විටෙක එම බැදීම ‘චීනයේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාවේ බලය සදාකාලිකවම පවත්වාගත හැකිය‘ යන මතය රට තුළ ඔවුන්ගේ අනුගාමිකයන් අතර ගොඩනැගීමට පවා හැකිවූ ශක්තිමත් බැදීමකි. එම බැදීම නාමල් රාජපක්ෂ විසින් පසුගියදා සිදුකරණ ලද චීන විරෝධී, රාජ්‍ය විරෝධී හා ප්‍රතිගාමී උද්ඝෝෂණය තුළින් චීන රාජපක්ෂ සබදතා බිදදමා අවසන් ඇණයද ගසා දැමුවේය.

සැබවින්ම ශ්‍රී ලංකා රජයේ මේ මොහොතේ පවතින ව්‍යාපෘතීන් අතර හම්බන්තොට වරාය ව්‍යාපෘතිය කේන්ද්‍රීය වැදගත්කමකින් යුතු එකකි. ඒ සදහා රජයේත්, රජයට පක්ෂ සියලු බලවේගවලත්, රාජ්‍ය ආයතන පද්ධතිය තුළත්, ඉහල වැදගත්කමක් හා ප්‍රමුඛතාවයක් ලබාදේ. එවන් වැඩසටහනකට මිනිසුන් පන්සීයක් රැගෙන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රමුඛ කණ්ඩායම බලපෑම් එල්ල කිරීමට සැලසුම් කිරීම මෝඩ මජරි අදහසකි.
එදින හම්බන්තොට සිදුවූයේ අගමැතිවරයා හා චීන තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මැති ඇමතිවරුන් හා නිලධාරීන් විශාල සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පවත්වන ලද රාජ්‍ය උත්සවයකි. එම උත්සවයේ අධි ආරක්ෂිත කලාපයට ඒ ආසන්නයේ ඇති කැළෑ රොද තුළින්ද පිරිසක් කඩාවැදුණු අතර එම ස්ථානයට පැමිණි පොලීසිය ගැටුමට මැදි වූ දෙපාර්ශවයටම කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ලකොට විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ගැටුම සමතයකට පත් කළේය.

මෙම සිදුවීම මෙසේ සිදුවෙද්දී උත්සව සභාව තුළ සාමාන්‍ය පරිදි උත්සව කටයුතු සිදුවූ අතර එය සජීවීව ජාතික රූපවාහිනිය ඔස්සේ රටටම විකාශනය කළේය. මාගේ තක්සේරුව නම් චීන තානාපතිතුමන්ට එම උත්සව සභාවේ සිටි දේශපාලඥයින් විසින් ඉතා හොදින් තත්ත්වය වාර්ථා කරන්නට ඇති බවයි.

නාමල් රාජපක්ෂගේ හා ඩලස් අලහප්පෙරුමගේ මෙම ක්‍රියා කලාපය නිසා ජාත්‍යන්තර දේශපාලනය තුළ රාජපක්ෂවරුන්ට අල්ලපු අත්තත් පයගහපු අත්තත් දෙකම නැතිවී තිබේ. ඊට පසු දින හිටපු ජනාධිපතිවරයා චීන තානාපති කාර්යාලය සමග හානිය අවම කරගැනීමට උත්සහ කළත් එය අසාර්ථක වූ බව අපට ලැබී ඇති ආරංචි වේ.

හම්බන්තොට වරාය ජාතික ආර්ථිකයට එක්කර ගැනීම ආණ්ඩුව මුහුණදෙමින් සිටින ආර්ථික සටනේ ප්‍රමුඛ අභිලාෂයයි. ඩොලර් බිලියන 1.8 ක් වැයකොට ඉදිකරන ලද එම වරාය තුළ වරකට සේවා සැපයිය හැක්කේ එක් නැවකට පමණි. එනම් එම වරායටම ඇත්තේ දොඹකර දෙකකි. එම වරායට අවශ්‍ය යන්ත්‍රෝපකරණ සවිකොට කාර්යක්ෂමව මුළු ධාරිතාවම ක්‍රියාත්මක කළ හැකි වරායක් බවට පත්කිරීමට පමණක් තවත් ඩොලර් මිලියන 400 ක් අවශ්‍ය වී තිබේ. එසේම නාවික බංකරින් කටයුතු සදහා තෙල් ටැංකි හා ජල ටැංකි ඉදිකිරීමට ඒ හා සමාන මුදලක් වැය වේ. එසේම මෙම ආණ්ඩුව යෝජනාකරමින් සිටින අනාගත කර්මාන්ත පුරයන් සදහා අඛණ්ඩ ජල සැපයුමක් හා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට, බලාගාර හා පිරිපහදුහල් ගොඩනැගීමට තවත් විශාල මුදලක් වැයකළ යුතුය. එසේම චීනය සමග එළැඹීමට නියමිත ගිවිසුම නැති වුවහොත් අපට ඉහත වියදම් වලට අමතරව නව ආයෝජන වලට හා ව්‍යාපාරවලටද මුදල් යෙදවීමට සිදුවේ.

මේ මොහොතේ රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව ඉහත වියදම් කිසිසේත් මෙරට ආර්ථිකයට දැරිය නොහැකි අතර මෙම තත්ත්වයෙන් හම්බන්තොට වරාය ආදායමක් නොමැතිව පවත්වාගෙන යාමටද නොහැකිය. ආණ්ඩුව විසින් යෝජනා කරනු ලබන්නේ හම්බන්තොට වරාය හැකි ඉක්මණින් ජාතික ආර්ථිකයට එක්කරගත හැකි ක්‍රමවේදයකි. එය මේ මොහොතේ මෙරට ජීවත් වන ජනතාව මත බර පටවන්නේ නැති සෞඛ්‍ය සම්පන්න ක්‍රමවේදයකි.

අප හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ආණ්ඩුව යෝජනා කරන විසදුමට නොයන්නේ නම් චීන ණය ගෙවීම තවත් වටයකින් බදු ලෙස ජනතාව මත පැටවෙනු ඇත. අප මේ කටුක යථාර්ථය අවබෝධ කර ගත යුතුය.

Monday, January 9, 2017

රජ ගෙදරින් මහ පාරට. එතැනින් හිගමනට.



ආණ්ඩුව අවුරුදු දෙකක් අවසන් වී තුන ආරම්භ වන 2017 වසරේදී ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල ඵලදරන්නට පටන්ගෙන තිබේ. මෙම ආර්ථික වැඩපිළිවෙල තුළ එක්සත් ජාතික පක්ෂය හා අගමැතිවරයාගේ නව ලිබරල්වාදී ආකල්ප වල නව මානයක් පෙන්වාදෙයි. එනම්, ශ්‍රී ලංකාවේ සාර්ථකම කර්මාන්ත ඇමතිවරයා හැටියට ඔහු විසින් ඉදිරිපත් කරන ලද නිදහස් ආයෝජන සංකල්පය වඩාත් පුළුල් දැක්මකින් හා නව මානයකින් රට පුරා සියලු පළාත් පදනම් කරගෙන ක්‍රියාත්මක වීමයි. හම්බන්තොට වරායේත්, මත්තල ගුවන්තොටුපළේත් ආර්ථික උපයෝගීතාවය මෙරට ආර්ථිකයට එක්කර ගැනීමට ඔහු විසින් ආර්ථික ක්‍රමෝපායක් රටට ඉදිරිපත් කර තිබේ. නමුත් මා සාකච්ඡා කිරීමට අදහස් කරන්නේ මෙම වැඩපිළිවෙල සදහා රටේ ඒකාබද්ධ විපක්ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණේත්, පෙරටුගාමී පක්ෂයේත්, විරෝධයේ පදනමයි. අප කවුරුත් දන්නා පරිදි කඩිනම් මහවැලි ව්‍යාපාරය ආරම්භකළ අවස්ථාවේදී අධික පරිසර දූෂණය, කදු ගිලා බැසීම්, ජන ශුන්‍ය වීම්, නිවාස අහිමි වීම් වැනි බිල්ලන් මවමින් ජනතාව නොමග යැවූ මෙම බලවේගම ඇගළුම් ශාලා 200 වැඩ පිළිවෙල, නිදහස් වෙළද කළාප වැනි ආර්ථික ව්‍යාපෘති වලටද අපහාස උපහාස සිදු කළේය. නමුත් එම බලවේග වැරදි බව ඉතිහාසය මගින් ඔප්පුකර තිබේ. අපි කවුරුත් දන්නා පරිදි ජනතා විමුක්ති පෙරමුණ රූපවාහිනී සාකච්ඡා තුළ, ප්‍රසිද්ධ වේදිකා තුළ අඩි පොළොවේ හප්පමින්, තර්ජනය කරමින් යෝජනා කර සිටියේ නිෂ්පාදන කර්මාන්ත ආර්ථිකයක් ගොඩ නගන ලෙසයි. එසේම ඔවුන් බලය ඉල්ලුවේද එවැන්නක් ගොඩනැගීමටයි. නමුත් වර්තමාන රජය එවැනි වැඩපිළිවෙලක් ආරම්භකර ක්‍රියාත්මක කරද්දී ඒ සදහා මාරාන්තික විරෝධයක් දක්වයි. මාගේ පෞද්ගලික තක්සේරුව නම් මේ රටට හා සමාජයට ආදරය නොකරන සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රශ්න තුළින් තම මල්ල සරිකරගන්නා දේශපාලන තීරුව වන්නේ, ජනතා විමුක්ති පෙරමුණයි. ඔවුන් ශ්‍රී ලාංකික දේශපාලනය තුළ ඇති සියලුම ජනප්‍රිය මාතෘකා වලදී, ජනප්‍රිය සිදුවීම්වලදී කොන්දේසි විරහිතව ජනප්‍රිය පැත්තේ සිටගනී. ජනතා විමුක්ති පෙරමුණ යනු බණ පමණක් ඇති දානය නැති මල විකාරයකි. මෙරට මාධ්‍ය ආයතනද රට අද පත්ව ඇති තත්ත්වයට විශාල වශයෙන් වගකිව යුතු වේ. මෑතදී මෙරට ප්‍රධාන පෙළේ බුද්ධිමත්, ජනමාධ්‍ය සමග හිතවත් ඇමතිවරයෙකු මා සමග ප්‍රකාශ කර සිටියේ මෙරට වෘත්තීය කණ්ඩායම් අතර ආචාරධර්ම නැති වෘත්තිකයින් වන්නේ ජනමාධ්‍යවේදීන් බවයි. පසුගිය කාලයේ මෙරට ප්‍රධාන පෞද්ගලික නාලිකාවක් ආණ්ඩුවටත්, එක්සත් ජාතික පක්ෂයටත් අගමැතිවරයාටත් සැලසුම් සහගතව තීරණාත්මක ප්‍රහාරයක් එල්ල කළේය. එම මුළු ප්‍රහාරය තුළම විද්‍යමාන වූයේ එම ආයතන හිමිකරුවන්ගේ පෞද්ගලික හා ව්‍යාපාරික අභිලාෂයන්ය. එම අභිලාෂයන් යහපාලන ආණ්ඩුවට කිසි දිනක ඉටුකළ හැකි ඒවාද නොවේ. මන්ද මෙම ආණ්ඩුව බලයට පත් වූයේ සමාජ සාධාරණත්වය, නීතියේ ආධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස හා ආර්ථික දියුණුව මෙරට ජනතාවට පොරොන්දු වෙමිනි. එබැවින් පෞද්ගලික මාධ්‍ය හිමිකරුවන්ගේ දොළදුක් කරදර වලට කරගැසීමට මෙම ආණ්ඩුවට ජනවරමක් නැත. අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට කටයුතු කළ හැක්කේ ලක්ෂ හැට දෙකක ජනවරමට අනුවය. මාධ්‍ය ආයතන එම කටයුතු වලට බාධා කරන්නේ නම් රටේ පවතින නීතියත්, දේශපාලන බලයත් පාවිච්චි කොට ආචාරධර්ම වලට ගරු කරන මාධ්‍ය සමාජයක් ගොඩ නැගිය යුතුය. එසේම හම්බන්තොටදී නාමල් රාජපක්ෂ හා ඩලස් අලහප්පෙරුම වැන්වුන් විසින් සිදු කිරීමට උත්සහ කළ කඩාකප්පල්කාරී ක්‍රියාවෙන් ඔප්පු වන්නේ ඔවුන් තවමත් 2015 ජනවාරි 8 වෙනිදාට පෙර සිටි උන්මාද තත්ත්වයෙන් හිරි වැටී සිටින බවයි. නියත පරාජයක් ඇතිවන බව දැන දැනම තුනෙන් දෙකක ආණ්ඩුවක ප්‍රධාන වැඩපිළිවලවල් කඩාකප්පල් කිරීමට මිනිසුන් 500 කට හැකියැයි සිතීම පිස්සුවකි. රජ ගෙදරින් මහ පාරටද, එතැනින් හිගමනටද වැටීම කෙතරම් අවාසනාවන්ත තත්ත්වයක්ද ?

Monday, January 2, 2017

උඩ බලාගෙන කෙළ ගැසීම නොහොත් ජනවරමට කොලොප්පම් කිරීම




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදේශීය ජනමාධ්‍ය කැදවා කරන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී 2017 වසරේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග ඔහුගේ ප්‍රධානත්වයෙන් යුතු ආණ්ඩුවක් සෑදීමට ඔහුගේ ඇති කැමැත්ත ප්‍රකාශ කර සිටියා. විශේෂයෙන් එදින ආරාධනා කර සිටි විදේශ මාධ්‍ය ආයතන ඉදිරියේ යුද්ධය ජයග්‍රහණය කිරීම උදෙසා RAW සංවිධානයේ සහ CIA සංවිධානයේ සහයෝගය මතක්කර සිටි අතර එම සහයෝගය නිසා යුද්ධය ජයග්‍රහණය කළ බවද ප්‍රකාශකර සිටියා.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව මගින් මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ අලුත් ප්‍රශ්න ගණනාවක් පැන නැගී තිබෙනවා. ඉන් ප්‍රධානම දෙය නම් යුධ ජයග්‍රහණය මත පදනම්ව දේශපාලනයේ යෙදෙන ජාතිකවාදී බලවේගවල න්‍යායාත්මක පදනමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් විශාල ප්‍රහාරයක් එල්ලකර තිබීමයි. එනම් ජාත්‍යන්තර ඔත්තු සේවා ප්‍රභාකරන් පරාජය කිරීමේ යුද්ධයේදී ආණ්ඩුව සමග කටයුතු කළ බවයි. එය මේ මොහොතේ රාජපක්ෂවරුන්ගේ දේශපාලනයේ ප්‍රමුඛ කස කරකවන්නන් හා බෙරවායන් වන විමල් වීරවංශ, ගම්මන්පිල, නලින්ද සිල්වා, ගුණදාස අමරසේකර වැන්නවුන්ගේ මතවාදයන් උඩු යටිකුරු කර පොළොවට ඇද දැමීමකි. එමගින් මහින්ද රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපෘතිය නැවත වතාවක් ප්‍රශ්න කිරීමට ජාතිකවාදීන්ට අවස්ථාවක් ලබා දී ඇත. එසේම එහිදී බොදු බල සේනා ව්‍යාපෘතිය චම්පික රණවක විසින් මහින්ද රාජපක්ෂට අටවන ලද උගුලක් බව ඔහු ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ පිළිගත්තේය. එම කතාව තුළදීම හිටපු ජනාධිපතිවරයා වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා සමග හවුල් ආණ්ඩුවකට යෑමට ඇති ඔහුගේ අභිලාෂය ප්‍රකාශ කර සිටියේය. මෙම ප්‍රකාශයෙන් වඩාත් විශාල අර්බුදයක් කරා ගමන් කරනුයේ වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාය. මන්දයත් මහින්ද රාජපක්ෂ විසින් සිතාමතාම ජනාධිපතිවරයා වෙත එල්ල කරන ලද එම දැවැන්ත ප්‍රහාරයෙන් ජනාධිපතිවරයා කෙරෙහි එක්සත් ජාතික පාක්ෂිකයින් තුළ තිබු ගෞරවයට විශාල හානියක් සිදු විය.

ජනාධිපතිවරයාගේ ජනවාරි අට ජයග්‍රහණය සදහා දිවි පරදුවට තැබු එක්සත් ජාතික පාක්ෂිකයින් තුළ ජනාධිපතිවරයා කෙරෙහි ඇති ගෞරවය හා බැදීම විනාශ කිරීමේ සූක්ෂම හා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බව මාගේ හැගීමයි. ඩිලාන් පෙරේරා එක්සත් ජාතික පක්ෂය හා පාක්ෂිකයින් විවේචනය කිරීමත්, මහින්දවාදී ප්‍රධාන පෞද්ගලික නාලිකා තුළ වැඩි ඉඩක් ගනිමින් එම කතා විකාශනය කිරීමත්, එසේම විශේෂ විදිවිධාන පනත කිසිදු ප්‍රකාශ කළ හැකි සාධාරණ හේතුවක් නොමැතිව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බලය හොබවනු ලබන පළාත් සභා වල පරාජය කිරීමත්, එසේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග ඒකාබද්ධ ආණ්ඩුවක් ගොඩනගන බව ප්‍රකාශ කිරීමත් යන කාරණා එකිනෙක ගැට ගැසුණු ඒකාබද්ධ කුමන්ත්‍රණයක කොටස් වේ. දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන් සැලකිය යුතු පිරිසක් අතර විශාල විවේචනයකට හා වෛරයකට ලක්ව තිබෙන ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ඔහුට මේ මොහොතේ ශක්තියක් හා සහයෝගයක් ලබා දෙන එක්සත් ජාතික පාක්ෂිකයින් අතරද වෛරයක් හා විරෝධයක් ඇති කිරීම එහි අරමුණයි. එක්සත් ජාතික පාක්ෂිකයින් හා කේඩරයින් හා නායකයින් අතර ජනාධිපතිවරයාට එරෙහි මතයක් ගොඩනැගුණහොත් ඔහු මේ රට තුළ හුදෙකළා නායකයෙකු බවට පත්වනු ඇත. මන්දයත් ඔහුගේ ජනවරම ඇත්තේ එක්සත් ජාතික පාක්ෂිකයින් පදනම් කරගෙනය.

එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේ සිටිනුයේ සුරක්ෂිත සරළ බහුතරය අගමැතිවරයාගේ ආණ්ඩුවට ලබාගෙනය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ කණ්ඩායම විසින් මෙම යහපාලන ආණ්ඩුවට ලබාදෙනුයේ තුනෙන් දෙකේ බහුතරයයි. ආණ්ඩුව පවත්වාගෙන යාම සදහා ප්‍රමාණවත් දෙකෙන් එකේ බහුතරය ඇති එක්සත් ජාතික පක්ෂය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කතාවෙන් අමන්දානන්දයට පත්වනු නිසැකය. මන්ද ඔවුන්ට වර්තමාන පාර්ලිමේන්තුවේ සරළ බහුතරයක් සුරක්ෂිතවී ඇති අවස්ථාවක එම ආණ්ඩුව පළවා හැර වෙනත් ආණ්ඩුවක් ගොඩනගනවා යැයි වහසි බස් දෙඩීම තුළ ඇති සූක්ෂම උපාය උපක්‍රම තුළින් වැඩි වාසිය ලැබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර මතයටයි. එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ව්‍යුක්තව හා එදිරිවාදීව පවත්වාගනිමින් මෙම ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාමට හැකිනම් එය එක්සත් ජාතික පක්ෂය ලබන ලොකුම ජයග්‍රහණයයි. ජනාධිපතිවරයා කෙරෙහි වුවද එක්සත් ජාතික පාක්ෂිකයින් අතර ප්‍රසාදයක් ඇතිවීම අනාගත දේශපාලන ව්‍යාපෘතිවලට සෞඛය සම්පන්න නොවන බවට එක්සත් ජාතික පක්ෂ නායකයින් අතර තක්සේරුවක් ඇති බව මාගේ විශ්වාසයයි. එබැවින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අභිලාශය ප්‍රකාශ කිරීම ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂයේ කොටස් අතර අමන්දානන්දයට හේතු වේ.

මේ තත්ත්වයන් කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂය විසින් මාස 60 කින් අලුත් රටක් බිහි කිරීමේ ක්‍රියාවලිය ඵලදරමින් තිබේ. විශේෂයෙන් පසුගිය මහමැතිවරණයේදී පොරොන්දු වූ රථවාහන කොටස් එකලස් කිරීමේ කර්මාන්තශාලාව මෙම සතියේ කුලියාපිටියේදී නිල වශයෙන් ආරම්භ වේ. රටේ ආර්ථිකය නිවැරදි දිශාවට ගමන් කරන බවට ලබා ගත හැකි හොදම උදාහරණය නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ආසියානු සංවර්ධන බැංකුවත් සහන පොලී පදනම මත දීර්ඝ කාලීනව ආපසු ගෙවිය යුතු ණය ලබා දීම නැවත ආරම්භ කර තිබීමය.
හම්බන්තොට වරාය හා ගුවන්තොටුපළ චීන ආයෝජන මත නැවත ඵලදායී ජාතික ආර්ථිකයට වාසි ලැබෙන ව්‍යාපෘතීන් බවට පත්කෙරෙමින් තිබේ. අලුත් අධිවේගී මාර්ග, මහා මාර්ග හා ග්‍රාමීය මාර්ග ඉදිවෙමින් පවතී. නව නගර සැලසුම්, අලුත් විශ්ව විද්‍යාල, තාක්ෂණික ආයතන, පාසල් යටිතල පහසුකම් සැලසුම් කරමින් පවතින අතර සමහරක් දැනටමත් ඉදි කිරීම්ද ආරම්භ කර ඇත. රජයේ රැකියා සාධාරණ ක්‍රමවේද මත සුදුස්සන්ටම ලැබෙමින් පවතී. නීතියේ ආධිපත්‍යය සාපේක්ෂව ස්ථාපිත වී ඇති අතර ආණ්ඩුවේ ඇගිලි ගැසීම්වලින් තොර වී ඇත.

අගමැතිවරයා පොරොන්දු වූ පරිදි මාස 60 කින් අලුත් රටක් ගොඩනැගීමේ ක්‍රියාන්විතය ආරම්භවී තිබේ. නමුත් අපේක්ෂා කළ පරිදිම කකුල් මාට්ටු දැමීම්, වෙට්ටු දැමීම්, බොරු ප්‍රචාර වලින් මෙම ආණ්ඩුවට කිසිම මදිපාඩුවක් නැත. ඒ සදහා හොදම උදාහරණය නම් සංවර්ධන විශේෂ විදිවිධාන පනතයි. ආයෝජකයින්ට තම ආයෝජන සුරක්ෂිත ලෙස ආයෝජනය කළ හැකි වටපිටාවක් ගොඩනැගීමට ඉදිරිපත් කළ එම පනත සුපිරි ඇමති පනතක් ලෙස යක් වෙස් ගන්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාලනය කරන පළාත් සභාවල පරාජය කළේ එබැවිනි.